Saturday, October 10, 2015

පූසෙකු සමග සවාරියක්


ඕනෑම බල්ලෙකු පූසෙකු දුටු විට උමතුවකට ආසන්න ලැදියාවක් ඇති වීමේ අසාමාන්‍ය රෝගයෙන් මං පීඩා විඳින්නේ උපන් දවසේ ඉඳලම.මගේ දෙමවුපියන් නොසැලකිලිමත් ලෙස  ඉස්පිරිතාලෙන් ගෙදර ගෙන ආ දා පටන්ම මගේ මුර රාජකාරිය ටෝනීට  (බල්ලෙකි) පැවරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වැලඳුනු මෙය අද සුව කල නොහැකිව අසාධ්‍ය වී ඇතුවා මෙන්ම මගෙන් නංගීටත් මල්ලීටත් දෙදෙනාටම සම්ප්‍රේෂණය වී තිබීම ඉතා කණගාටුදායකය.

මගේ රෝගය පාලනය කිරීමට අම්මා උත්සහා කලා නං පොඩි උන් දෙන්නා බේර ගැනීමට හැකියාවක් තිබෙන්නට ඉඩ තිබුනත් ඇය එසේ නොකල නිසා මේ කිසිදු ආන්තරාවක වගකීම මම කිසි සේත්ම බාර නොගනිමි.

මගේ බෝඩිම අසල ගෙදරක පූසියක් දරු දෙදෙනෙකු ප්‍රසූත කිරීමත් මගේ වරදක් නොවේ.බෝඩිමේ ඇන්ටි උදේ හවා උන්ගේ රූප සොබාව හා ඒ පූස් පරම්පරාවේ ගම්බීරත්වය වර්ණනනා කරද්දී අහිංසක මා  ඊට රැවටී නොමග යාමත් මගේ වරදක් නොවේ.ඒ හින්දම නිරායාසයෙන් ඇතිවුන“දඩුලේන් වල්ගයක් සහිත පූස් පැටවු“ පිස්සුව මගේ අනුදැනුමකින් තොරවම මට හැදුන ලෙඩක්.


කකුල් හතරක ඕනෑම සතෙක් ගෙදරට පැටවීම මගේ නැන්දමම්ට අරහංය.දඩුලේන් වලිග පූසා මට ඕනෑමය. බෝඩිමේ උදවිය පූසෙකුත් බෝඩ් කර ගන්න කැමති වෙන එකක් නැතිය.මගේ අයිස්ටයින් මොලය පහුගිය සතියේම යෙදවුනේ මේ “ගෙදර ගියොත් අඹු නසී.මග හිටියොත් තෝ නසී“ ටයිප් එකේ රාජ තාන්ත්‍රික ගැටළුව විසඳීමටය.

අන්තිමට මගේ ඔළුවට ඒ විශිෂ්ට විසඳුම ආවේය.

මං පූසව මගේ මහ ගෙදරට පටවනවා....මෙබදු සරල පිලිතුරක් කලින්ම මගේ කාර්යක්ෂම මොලයට නාපු එක මට තාමත් පුදුමයක්ය.

“එවිට මට මගේ නොවන මගේම පූසෙක් ඉන්නවා“ කියන්න මට හැකිය.දැලේ දාගත හැකි හොඳම කෙනා නංගීය.අම්මාත් තාත්තාත් මගේ හීන් නූලේ කපටි කං වලට පදං වී ඇති බැවින් අන්දවනවා බොරුය.මල්ලී සාමාන්‍යෙයන් නිහඩය.ගෙදර විප්ලවකාරිය නංගී නිසා කෙසේ හෝ ඇය ජය ගනු ඇත.ඇයට පූසා ඕන නං.ඇයට පූසා එපා නං “ඕනෑ කම ඇතිකිරීම “ අක්කා කෙනෙක් හැටියට මාගේ පරම යුතු කමකි.

අල්ලපු ගෙදරට කඩං පැන්න හොරිකඩ පර පූසෙකු අසරණ පැටවු දෙන්නගෙන් එකෙක් හපා මරා දැමීම කෙසේවත් මගේ අනු දැනුමින් වූ දෙයක් නොවේ.අනිකවත් මරා දමාවියැයි බය වුන ගෙදර උදවිය එදා රෑම අනෙක් පැටවා මගේ බෝඩිමට පැටවීමද මගේ අනුදැනුමින් වුන දෙයක් නොවේ.

ඌ ආ වෙලේ පටන් මුකුත් නොකා නොබී එක සීරුවට එකම ටෝන් එකෙන් විලාප තැබීමටද මගේ ඇති සම්බන්ධයක් නැත.නමුත් පූසා නැලවීමට ගොස් නින්ද කැඩුනේ අහිංසක මගේය.බැරිම තැන  ඌ බෙඩ් ෂිට් එකෙන් ඔතා මගේ උකුලේ ගුලි වී නිදා ගන්නා තුරු මට අවදිව ඉන්ටත් සිදුවිය.

මගේ මායම් හැට හතරම යොදා යාන්තමට නංගී ෂේප් කර ගත් මං පසුදාම ඌ ගෙදරට පැටවීමට හිතුවේ මගේ අහිංසක නිදි දෙවු දුවගෙන් වෙන්වී තවත් භයානක රාත්‍රියක් ගත කිරීමට වෙතැයි හිතට දැනුන මාරාන්තික බිය නිසාමය.

පසුදා උදේ වන විට බිය ඇරී බෝඩිම වටා දුව පැන සෙල්ලම් කිරීමට හුරුව හිටි පූස් පැටවාට හැමෝම එකා වන්ව ආදරය කරන්නට විය.

හෙට පවත්වන ගුරු උපහාර උලෙලේ නැටුම් කණ්ඩායම් වල පුහුණු වීම් බැලීමටවත් නොයිඳ මම හැරෙන තැපෑලෙන්ම බෝඩිමට දිව්වේ  හවස 2.45 බස් එකේ පූසාවත් පටවාගෙන දැරණියගල නගරයට යාමට සූදානං විය යුතු හින්දාමය.

හවස 2ට පාසල අසලින් යන බස් එකෙන් ළමයි හා ගුරුවරු සියළු දෙනාම යන බැවින් මං පූසෙකු ප්‍රවාහනය කරන හැටි  පාසලේ කවුරුත් නොදකිනු ඇත.

සවල් පාරවල් තුන හතරකින් බත් පිඟාන අහවර කල මම බිස්කට් පෙට්ටියකට හිල් විද රෙදි කෑලි අසුරා පූසාව ආරක්ෂිතව ඇසුරුම් කලෙමි.අසරණ පූසාගේ ප්‍රවාහන යහපැවැත්ම ගැන ඕනෑවටත් වඩා සංවේදී ඌ බෝඩිමේ ඇන්ටී වහාම පෙට්ටියේ සිදුරු විශාල කිරීමේ ව්‍යාපෘතියක් දියත් කලාය.එහි අවසාන ප්‍රතිඵලය වූයේ පූස් ඔළුවක් එලියට දැමීමට තරම් විශාල සිදුරක් පෙට්ටියේ ඇති වීමත් ඉන්  හිස එලියට දමා අනුකම්පාව ඉල්ලා කෑ ගසන පූස්  විලාපයට සංවේදිව පාර දෙපස සිටින සෑම කෙනෙක්ම මා දෙස වැඩි අවධානයකින් බැලීමත්ය.

කමක් නෑ මේ වෙලාවට අඳුනන කවුරුවත් වත් නෑනේ කියා හිත හදාගෙන බස් හෝල්ට් එකට ගිය මට දකින්නට ලැබුනේ හිත කම්පා කරවන දර්ශනයකි.දැරණියගල දෙසට ගමන් ගන්නා සියළුම ගුරුවරු හා ළමයි එක සීරුවට හිඳ විලාප තියන පූසා දෙස ඇස් නලලට ගෙන බලා සිටියේ විනෝද හිනාවකුත් කටේ තොලේ තවරගෙනය.

හැමෝටම පූසාව බැලීමට ඕනෑ විය.මේ අවධානයෙන් තක්බීර් වී ගිය පූසාට විලාප තබන්න අමතක වී ගියේය.ඉන් මට මද අස්වැසිල්ලක් දැනින.

එවිටය බස් එක ආවේ.කෙඳිරි ගගා කඳු අද්දන වීදුරු කිටි කිටි හඩ නගන කබල් බස්එක දකින්නත් පෙරම බියට පත් අසරණ පූසා  තමන්ගේ තමන්ගේ අති උච්චතම ස්වරයෙන් දීර්ඝ විලාපයත් තිබ්බේය.

කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................

හිත කැලඹුන විට දහයට ගනින්න මාස කිහිපයක් පමක් ජීවත් වුන පූසා ඉගෙන ගෙන හිටියේ නැත.

ඉතින් තිරසාරව නැගෙන කබල් බස් ඇන්ජින් සද්දෙන් රතු කට්ට ඉක්මවා බය වුන පූසා උපරිම ජවයෙන් පෙට්ටිය තුල දඟලන්නට වූයේ හරියට බයානක සද්දය නගන්නේ අසරණ කාඩ්බෝඩ් පෙට්ටිය යැයි හිතාගෙන වගේය.

අවසානයේ බෝඩිමේ ඇන්ටි කරුණාවන්තව පලල් කල සිදුරෙන් එලියට මගේ උකුලට පැන්නේ බස්රියේ සිටි ගුරු සිසු හැමෝම ආආආආආආඅආආආආආආආආආආ............... යනුවෙන් පසුබිම් ගායනය කරදීමය.අතරින් පතර “ඔන්න ඔන්න“..“පනියි අල්ල ගන්ඩ“...“එලියට පැනල බස් එකට යටවෙයි“යනාදී ලෙස පසුබිම් ගායනය රැප් කරනු අතරින් පතර ඇසිණි.

සාරිපොටේ තදින් ඔතාගත් පසු අසරණ පූසා  බස්නාගල සිට දැරණියගලට යන දීර්ඝ විනාඩි හතලිස්පහ තුලදීම ඒකාකාරීව විලාප තිබ්බේය.

කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................
කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................
කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................
කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................

බස් එක කන්දක් නගින විට හෝ හෝන් එක හඩවන විට මේ විලාපයේ හඩ එක් වරම ඉහල යයි..

ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෑකෑකෑකෑකෑ ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌයියියියියියියි


මුල් විනාඩි 20දී මාව අපහසුතාවට පත් කරමින් හැමෝගෙම අවධානය මා දෙසට යොමු විය.කිසිදා නොලැබුනු මේ අවධානයෙන් වික්ෂිප්තව රත්වූ මුහුණින් කොහු ඇනෙන කබල් ආසනයේ වාඩි වී දඟලන ඉලවු පූසෙක් මෙච්චල් කරන මා විශේෂයෙන් පාසලේ දරුවන්ට රසඳුනක් වන්නට ඇත.මගේ ජීවිතේටම මම මෙතරම් චාටර් වී නැත.පරාණයක් නොවේනම් ජනෙල් වීදුරුවෙන් එපිට මීදුමේ හැංගුන කඳු පල්ලමකට මා පූසාව විසි කර දමනවා නියතය.බලල් මයිල් මගේ ඇඟ පුරාමය.වීදුරු ජනේලයෙන් රිංගන හුලඟ ඉන් වැඩි හරියක් මගේ නාසය තුලට හරවා යවන්ට තරම් කරුණාවන්ත විය.ඒවා පිසදැමීමට ගොස් උමතුවෙන් බසය පුරා දුවන බලල් නට්ටෙකුගේ අවධානම ගන්ටත් මට නොහැක.

කල්පයක් සේ ගෙවී ගිය මිනිත්තු 20කට පමණ පසු හැමෝටම පූස් විලාපය සාමාන්‍යකරණය වූයෙන් මම ඉල ඇදෙන අවධානයෙන් මිදී යන්තං හුස්මක් කටක් ගතිමි.

අවසානයේ යාන්තං ගාටමින් පැමිණි කස් බට්ට දැරණියගලට සේන්දු විය.මං අලිම අමාරුවකට වැටුනේ මේ වෙලාවේදිය.අහිංසක කාඩ්බෝඩ් පෙට්ටිය පරම හතුරෙකු සේ සැලකූ පූසා ඒ තුලට රිංගීම එක හෙලාම ප්‍රතික්ෂේප කලේය .මගේ ගුරු පට්ටමේ ගවුරවය නිසා යන්තම් ඉවසා වදාල රියදුරු තැන ගේ ඉවසීමේ සීමාව ඉක්මෙන්නට පෙර හෑන්ඩ් බෑක්කෙක කරේ එල්ලාගෙන හිස්පෙට්ටියත් අතින අරන් අනිත් අතින් පුසාව ගෙඩි පිටින්ම කිහිලි ගන්නාගෙන බස්එකෙන් මං බැස්ස .

පූසෙක් කිහිලි ගන්නගෙන ටවුම මැද්දෙන් යන මං දිහා හැමෝම විපරමෙන් බැලුවත් වට පිට නොබල තිරසාර ගමනෙන් මං නැවතුනේ මාමලාගේ කඩේ අස්සෙ.

අන්තිමට පූසාගෙ පෝෂණය ගැන හිතූ මං පිටි කිරි පැකට් එකකුත් නංගිට අරන් දුන්න.අපේ ගෙදර සේරමල පිටි කිරි බොන්න කැමැත්තක් නැති හින්ද ගෙදර ඒව නැති බව මං හොඳින්ම දන්නව.නංගියි මායි පිටිකිරි අත ඇරියෙ ඉස්කොලෙ යන්ටත් කලින්.මල්ලී තුන් හැවිරිදි වියේ ඉඳන්ම කිරි එක්ක ජන්මාත්තර වයිරයි.අම්ම බලෙන් කිරි පොවන්න පස්සෙන් පන්නද්දී වැටිල උන්දැ අතකුත් කඩා ගත්ත.වැරදි වෙද්දු 5-6 දෙනෙක්ගෙන් බේත් කරල වැරදියට හයි වෙච්ච අත සැරෙන් සැරේ කඩ කඩා අවුරුදු 04ක් විතර උන්දැට බේතුත් කලා.

අන්තිමට මං පූසා සමඟ සවාරිය හමාර කරල බෝඩිමට ආපහු ආවෙ පොපියන නහය අමාරුවෙන් වලංගු කරගෙන.පෙනහැල්ල දිගින් දිගටම බලල් මවිල් ප්‍රතික්ෂේප කලා.ඒත් මහපාරෙදි ඒ ටික ආපහු එන්න තරම් හයියෙන් කිඹුහුම් අරින්නෙ කොහොමද මං.අන්තිමේදි වැස්සටත් තෙමිල ගෙදරට ආව මගේ නහය රෑ වෙද්දි හොඳටම බරයි.

ඒ මදිවට නංගී රෑ කෝල් කරල කිවුව දෙයින් මං උඩ විසි වුනා.පූස් පැටියට කිරි හදලා දුන්නාම ඌ එව්ව බීල.පස්සෙ ආපු අපේ ලොකු සුදු පූසා “අංගුලිමාල“ පොඩි එකාගෙ කට ඉව කරල මොනවද බීල තියෙන්නේ කියල බැළුවළු.තමන්ගෙ පූස් රාජධානිය ආක්‍රමණය කරල ඉන්න අළුත් එකා ගැන ඉරිසියාවෙන් අංගුලිමාල අභිනිෂ්ක්‍රමනය කරයි කියල නංගි කොහොමත් බයෙන් උන්නෙ.ඉතින් උගෙ හිත හදන්න වහාම කිරි ටිකක් හදල ලොකු පූසටත් නංගි දීල.තව පස්සෙ එ තනට ආව චූටි බානු “ඇයි කිරි අපට නැද්ද ..පූසන්ට විතරද “වගේ අහන බැල්මක් නංගි දිහා දැමිමලු.හිත උනු වෙලා ගිය නංගි ආයෙත් කිරි හදල බල්ලො දෙන්නටමත් දීල.

අන්තිමට මගේ දඩුලේන් වල්ග පූස් පිස්සුව සනීප වුනා.ඒත් ඒ වෙද්දි නාකි බල්ලො දෙන්නෙකුටයි තඩි පූසෙකුටයි පොඩි පූසෙකුටයි මාස 5-6ක් කිරි අරන්දෙන්න මං බැඳිල ඉවරයි.ඊ ළඟට හුස්ම ගන්න අමාරු හෙම්බිරිස්සාවකුයි කැස්සතුයිත් මට උරුම වෙලා ඉවරයි.

13 comments:

  1. ඔන්න නමෝ විත්තියෙන් පලවෙනි කමෙන්ට් එක මගෙන්. අදමයි කමෙන්ට් කරන්නෙ. මෙච්චර දවසක් කියවලා ගියා. මැදෑ පූස් පැංචා බයවුණ තරමට උගේ මව් භාෂාවත් අමතක වෙලා තියෙන හැටි. මමත් සත්ත්ව උණ තදින්ම තියෙන කෙනෙක්.ලියවිල්ල ලස්සනයි.. ඒත් පූසො කියන්නෙ බඩකට පිරුණම අපිව අමතක වෙන. එයාල ඕන වෙලාවට අපිට වද දෙන මහා ආත්මාර්ථකාමී සතෙක්.දිගටම ලියන්න ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව මගේ මල් වත්තට.ඒක හරි සුජීව.පූසො ආත්මාර්තකාමියි.උන්ට ඕන වෙලාවට අපි උන්ව හුරතල් කරන්ඩ කන්න දෙන්න උකුලෙ තියං ඉන්න ඕන.නැත්තං හපල සූරල හැඳි ගාල හරි අපේ අවධානය ගන්නයි හදන්නේ.දිගටම එන්න හොඳේ

      Delete
  2. කියවනකොට හිනත් ගියා බන්. මාත් පූසන්ට හරිම කැමතියි. පූසන්ගෙ අවුල තියෙන්නෙ රෑට පොරකන එක. පූසෙක් නැති ගෙයක් අම්බලමක් කියල මට හිතෙන්නෙ.
    කතාව රසවත්.

    ReplyDelete
    Replies
    1. අනිවා යාළු.පූසෙක් බල්ලෙක් ළමයෙක් නැති ගෙදර ගෙදරක් නෙමෙයි.පොරකන එක..රෑට අවලමේ ගිහින් කොල දිවියන්ට අහු වෙලා මැරුං කන එක තමයි ඉවසන්න බැරි.ගෙදර පූස ඇවිදින හින්ද ගෙදර නවත්ත ගන්න ඕන හින්ද මේ පූසිව ගෙදර පැ‍ටෙව්වෙ.ඒත් ඒකිට වයස මදි මගෙ හිතේ.තාම පැටිය බං.

      Delete
  3. මේ…...බෝඩිම්වල මොකෝ කොරන්නෙ? නැන්දම්ම පයින් ගහල දොට්ට වත් දැම්මද?....කෝ දැන් අර සුදුම සුදු පාට කිරි කෑල්ල වගේ ඉන්න සුදු මහත්තය?

    පූසො නම් මට පෙන්නන්ට බෑ...ඒ දවස්වල මගෙ හිතගිය අන්ගනාවියන්ගෙන් ඉස්සෙල්ල නම අහල ඊලඟට අහන්නෙ " මේ ඔයාල පූසො ඇතිකරනවද? " කියල ඔව් කිව්වොත් ඊට පස්සෙ මම පැත්තවත් බලන්නෙ නෑ.

    ලියවිල්ල නම් ආය කියල වැඩක් නෑ. විශිෂ්ඨයි.

    ReplyDelete
  4. මං හද්ද මූකලානක ඉස්කෝලෙක නොවැ උගන්නන්නේ.ගෙදරින් 5ට ගිහිල්ලත් එහෙට යනකොට 8යි.බැරිම තැන බෝඩ් උනා.සුදු මහත්තය නැන්දම්මට බලාගන්න කීව මං ට්‍රාන්සර් එකක් ගන්නකල්.

    මගේ නැන්දම්ම එහෙම නෑ හරිය.ඇත්තටම මං වාසනාවන්තයි ඒ වගේ නැන්දම්මෙක් ලැබෙන්න.

    මං නං පණ ඇරල.මං පාරෙ ඉඳල උස්සන් ගිය පූසෙක් සුදු මහත්තයගෙ තනියට ඉන්නව මං නැතුවට.සති අන්තෙ නං ගෙදර

    ReplyDelete
  5. මමත් ගොඩක් පූසොන්ට ආසයි. අපාර්ට්මන්ට් ජීවිතය පටන්ගත්තයින් පසුව තමයි පූසෙක් නැතිව ජීවත් වෙන්න පුරුදු වුනේ. පොඩි කාලේ පූස් පැටව් කීප දෙනෙක් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා, පැටියෙක් දොරට අහුවෙලා මිය යාම නිසා ඇතිවුන කම්පනයක් තාම හිතේ තියෙනවා. කොහොම වුනත් බල්ලොන්ට අයිතිකාරයා ගැන තියෙන ලෙන්ගතු කම පූසොන්ට නැහැ. පූසන් බැඳෙන්නේ සිටින නිවහනට වගත් බල්ලන් බැඳෙන්නේ නිවැසියන්ට වගත් අහල තියෙනවා.

    ReplyDelete
  6. අනිවා පූසො අත්මාර්ථකාමියි.ස්තූතියි ආවට යාළු

    ReplyDelete
  7. අනේ මේ ඔෆිස් එකද කියලා අමතක වෙන්නම මට හිනා ගියා. ඔයා ලස්සනට ලියනවා. අර බල්ලො ගැන තිබ්බ පොස්ට් එකට තමයි මම වැඩිපුරම කැමති. ඔයා මාව ලස්සන අතීතයකට අරගෙන ගියා.

    ReplyDelete
  8. ස්තූතියි මලි.වැඩිය හයියෙන් හිනා එපා.බොසාට මාට්ටු වෙයි වැඩ නොකර බ්ලොග් කියවනව කියල

    ReplyDelete
  9. මට කොහොමද මේ පූස් පොස්ට් එක මග හැරුනේ........ මටනම් පූසෝ පෙන්නන්න බෑ.... මහා කෙලෙහෙගුනයක් නැති ජරා සතෙක්. ඒකට බල්ලෝ... අන්න සත්තු, මල් තියලා වඳින්න ඕනේ.....

    ReplyDelete
  10. lassanai oyage writing style eka... suba pethum...

    ReplyDelete

  11. මමත් අාස තඩි වල්ගයක් තිෙයන පූසන්ට.

    ReplyDelete