Friday, July 31, 2015

සුපුරුදු අටපෙතියා සුවඳ



ජීවිතය මිටින් ගෙන
සමනළුන් හඹා යද්දී
නුඹ හිටියා දොරකඩම
සිවුරකුත් පොරෝගෙන
ලස්සන අටපෙතියා මලේ..............

හීන පොදි ඇහිඳිමින්
හිසේ බර කරට ගෙන
තක්සලා බිමේ කොන
සුපුරුදු හිනාවෙන් නුඹ
දොරකඩ අස්න ගැයුවා
ඒ මලම නොවුනත්
සුපුරුදු සුවඳ දැනුනා...........

සුභ පැතුම් පුරෝගෙන
පෝරුමස්තක මත නැග
දොරට වඩින දින
මගුල් සිලෝ ගී අතරින්
නුඹේ සිනා හඩ ඇසුනා
ඒ නුඹම නොවුනත්
සුපුරුදු සතුට දුන්නා....

ජීවිතය විසිරිලා
මළගිය සිහින මිට ගෙන
ආ මග කෙලවරේ
තවමත් නුඹම හිටියා
ඉපල් ගස මුදුනෙම
වැහැරුණු මුව අයා
මද සිනා තවරගෙන
මෙතරම් කලට පසුවත්
සුපුරුදු සුවඳ දැනුනා..............

Friday, July 24, 2015

අප්පච්චී...........

දහදියෙන් ඇනූ සිමෙන්ති මත
ගඩොලින් ගඩොල බඳිමින්
ජීවිත බිත්ති බැඳ
ඉහල යන පලංචිය මත හිඳ
දහදිය මල් නෙලා
සිනාසුනා නුඹ හරි ලස්සනට..................

සොයා ගස වට පරිධිය
කඳුළු කිරි උනවමින්
ජීවිතේ පොල්කටු පුරවන්න
දා බිඳු වගුරමින්
සෙනෙහසේ දුම් ගෙය පුරා
සිනා සුනා නුඹ තෙත් ඇස් හංගා..........

අවු වැසි සුළං  රැක
දළු ලන විටදි මදහස
නොරිදෙන ලෙස නෙලා
සිහිනෙන් සිහින උපයා
අපේ ලොව පුරවලා
සිනා සුනා නුඹ හිස් අතින්ම..........

Sunday, July 19, 2015

දික්කසාද බිරිඳගෙන් පළමු සැමියාට

හිරුත් මියගිය උදෑසන ඉඳ නුඹේ සෙනෙහස හිඟ   හිඟා
පස් වසක් මම බලා උන්නෙමි ජීවිතය වන තුරු     ලඟා
ඔබේ පාමුල මට උරුම වූ නිමක් නැති තැවුලන්    නිගා
අතැර අබිනික්මන් කලෙමි මම සතුට මට වන තුරු ලඟා

හදවතින් නොව නිඟාවෙන් නුඹ යදම් ලූ  පය බර වුනා
කැණි මඩල ගිනි වැදී ඇවිලී සිරි යහන අන් සතු වුනා
කඳුළු රැස් වැද පිපිගෙන ආ ලැම හසුන් මන් මත් වුනා
නුඹට තුරුළුව නුරා සුව විදී මීවිතට මම       පැරදුනා

තඹර විල මුකුලිතව ගියදා හිරු රැසින් මොන සැපය දෝ
තනි යහනෙ ඉකි ගසන කඳුලින් හැඟුම් දියවී  ගියාදෝ
සුරත් රතදර මිලින වී ගොස් සඳත් අවරට ගියාදෝ
මගේ සඳ ඔහු නැගී ආවිට අමාවක කොහි ගියාදෝ

උණු සුසුම් මැද නුරා බස් මැද  සෙනෙන් සිත පිරිමැද ඉතා
පිණි ඉසින විට තඹර පෙති මත ලෝකයම මම යැයි      සිතා
මගේ දෙඅදර  ඔහුට උරුමයි දුන්නු සඳ සෙනෙහස ගොතා
මතු මතුත් මම සසර සරනෙමි විඳින මේ සෙනෙහස පතා

Thursday, July 16, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 13 කොටස උදේ රැස්වීමේ රියහසල් එක


9 වසර ඒ පංතිය ගිය සතියේ උදය රැස්වීම සංවිධානය කල දිනයේ පටන් තාම අටේ පන්තියේ සිටින මගේ දරු රොත්තටත් උදය රැස්වීමක් සංවිධානය කිරීමේ උණක් පහල විය.පොඩි උන්ටික වැඩේ අනාගෙන ළමයි 365ක් ඉදිරියේ චාටර් වී යාවි යැයි බියක් දැනුනත් පොඩි උන්ගේ එඩිතර කම හමුවේ මම මගේ සිතිවිලි හකුලා ගතිමි.
අනතුරුව එළඹියේ විශේෂාංග බාර දීමේ අවස්ථාවයි.සාමාන්‍යෙයන් සිදු වන්නේ ප්‍රධාන විශේෂාංග කිහිපයටවත් ළමුන්ගේ ප්‍රමාණවත් තරම් ඉදිරිපත් නොවන නිසා බලෙන්ම විශේෂාංග ඔවුන් වෙත පැටවීමයි...සබකෝලය ඉහවහා ගිය ඔවුන්ගෙන් ඇතමෙක් අදාල දිනයේ පාසල් නොපැමිනීමද සාමාන්‍ය සිද්ධියක්  විය.

නමුත් මට මුහුණ දීමට සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් අකරතැබ්බයකටය.පන්තියෙන් වැඩි දෙනෙකුට කුමක් හෝ ඉදිරිපත් කිරීමට වේදිකාවට නැගීමට උවමනා විය.ළමුන් 22 දෙදෙනෙකුගේ විශේෂාංග 22ක් වේදිකාව මත දිග හැරෙද්දී වේදිකාව දෙස බලා සිටගෙන සිටින ළමුන්ගෙන් අඩක්වත් සිහිසුන්ව යාමේ අවදානමක් ඇති බැවින් කුමක් කරන්නදැයි සිතා ගත නොහැකිව මම හොල්මන් වී ගියෙමි.
අවසානයේ දමිළ ගීතයක්,ඉංග්‍රිසි කතාවක්,දවසේ පුවත් විස්තරයක්,ලිපියක්,ජන ගායනයක් ඔබා යන්තම් වැඩි දෙනෙකුගේ හිත සැදීමට මට හැකිවිය.

අවධානමකට පෙර සූදානමක් තිබිය යුතු බැවින් මම මගේ ඉතිහාසය කාලජේදය වැය කලේ උදය රැස්වීමේ පෙර පුහුණුවක් පැවැත්වීමටයි.හදිසියේ මගේ ඔළුගෙඩියට රිංගා ගත් මේ අදහස නිසා විශේෂාංග සඳහා සූදානම් නොවූ දරුවන් අමාරුවේ වැටුනෝය.විශේෂයෙන් දවසේ පුවත්  ලබා ගත යුත්තේ ඉදිරිපත් කිරීම කල යුතු දිනයේ උදෙන්ම බැවින්  රියහසල් එක දිනයේ ඉදිරිපත් කිරීමට ඔවුන්ට පුවත් නොවීය.
නමුත්පසුබට නොවූ ඔවුන් එය ඉදිරිපත්කලේ මුළු පන්තියම සිනා සාගරයේ ගිල්වමිනි..


පුවත් සංස්කරණය -8 වසර ඒ

ඉදිරිපත් කිරීම  -ජීවන්ත ශශීක නාමල්
                      -සප්න ඉමෂාන්

මෙන්න දවසේ ටකරං පුවත්

සිරස්තල
කුඩා අලියා මරුට
ටිං ටිං නෝනා මරුට
ඔබේ දරුවාට විශේෂ පානයක්
ඇමරිකාව කුඩේ කුඩු


දේශිය පුවත්
දැවැන්ත කූඹියා සමඟ සටන් වැදුනු  කුඩා අලියා මරුට
තම ස්වාමිපුරුෂයා වූ තම්බි මල්ලී සමඟ දබර වූ ටිංටිං නෝනා කංකුං ගසේ එල්ලී මරුට
ඔබේ දරුවාගේ ඈලි මෑලි ගතියට ලෑලි කෑලි දෙකක් තම්බා හුළං කළං එකක් සමඟ දෙන්න


විදේශ පුවත්
ඇමරිකාවට වැටුනු පරමාණු බෝම්බයකින් හිරෝෂිමාවේ කූඹි තුන්දෙනෙක් මරුට


ක්‍රීඩා පුවත්
මුල් වතාවට වොලි බෝලයකින් ක්‍රිකට් ගසයි


පාසල් පුවත්
නා ගසේ කොළයක් වැටෙයි (අප පාසල් මිදුලේ පෞරාණික පෙනුමින් යුත් දැවැන්ත නා ගස් දෙකකි.ඉන් එකක් තට්ටු දෙකකින් යුතු ගොඩනැගිල්ලක ඉහල මාලයේ වූ මගේ දරුවන්ගේ පංතිකාමරය ආසන්නයේම ඇත.“නා ගසෙන් කොළයක් වැටීම පාසල් පුවතක් වූයේ ඒ නිසා විය හැක.)


මම එවෙලේ නම් මුළු පන්තියම සමඟ එක්ක බඩ බදාගෙන හිනා වූ බව හැබැයි.නමුත් පසුව නිවී හැනහිල්ලේ කල්පනාකර බලද්දී මගේ දෑසට ඉණුවේ කඳුලක්.ඒ උඹලාගේ නිර්මාණශීලී බව නිසා උපන් සතුටු කඳුලක්.
උඹලා තාම පුංචි දරුවෝ...තව මම වසර දහයකින් උඹල අතරින් ප්‍රෙඩී සිල්වාකෙනෙක්වත් ,මිස්ට බීන්  කෙනෙක් වත් බලාපොරොත්තුවෙන්නේ නෑ.ඒත් උඹලා හාස්‍ය අඳුනනවා.උඔලා හිනාවෙන්න අනිත් අය හිනස්සන්න දන්නවා. දහසක් ගැටළු මැද හිනාව සොයාගන්න දැනටමත් උඹලා දන්නවා.එය උඔලාගේ ජීවිතය රසවත් කරාවි.උඹලා අනිත් අයගේ ජීවිතත් රසවත් කරාවි.මටත් උවමනා එච්චරමයි.




ප.ලි - මගේ දරුවන් අද උදෑසන රැස්වීම මෙහෙය වන ලදී.8 වසර දරුවන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් හොඳින් ඔවුන් එය ඉටුකල බව මගේ පුද්ගලික මතයයි.වාසනාවට උදෑසන රැස්වීම වෙනදාට වඩා දිග් නොවීය.කලන්තය දැම්මේ යන්තම් 5ක් හෝ 6ක් පමණි.

Sunday, July 12, 2015

මං මුලාව


මාල බැන්ද ගෙල හැඩ කර සොයාගෙන පැසුනු මී අඹ උණ,ඹ ගැට ඇහිඳ ඇයි ඔබ මාල ගිරවියේ............... කැදැල්ලක රසය ගුණ විඳ උදුල සඳමඩල සේ හිඳ සුළි සුලං වවුලෙකුට හද පිදු මාල ගිරවියේ................. ගයා පෙම් ගීත මනහර ලොවෙන් නෙතු වැසුන මොහොතක ගැලෙවුවද නුඹේ අත්තටු ස්වර්ණ හංසියේ................... දියෙන් කිරි ගන්න බැරුවම පියාපත් සවිය නැතිවම කැකුළු මල් තුඩින් බිඳ දැමු හංස රැජිනියේ.................... කැඩුනු තටු තදින් පිරිමැද සනසන්න වරම් නැතිවම මගේ කඳුළු කවි ඇසුනද බිහිරි කෙවිලියේ............ පස් මහා බැළුම් බලමින් මතු භවේ සොයා එන්නම් එතෙක් දරාගෙන ඉනු මැන කඳුළු සමනලී........... අසා මගේ රණ ගී වෙන් කරන් දියෙන් කිරි බිඳු පරවියෙක් එවනවද මට

පවන් රැල් අතේ...........

Friday, July 10, 2015

දයාබර නුගේගොඩ.


දයාබර නුගේගොඩ
අදත් ඒ වගේමයි
දහසක් මතක සිත දරා
නිහඩවම නිසලවම....
සිහිලැල් බෝධි පාමුල
ඉපදුනු සොඳුරු සෙනෙහස
කවියක්ව රැකගත්
නොමල හදවත නුඹ නුගේගොඩ....
ආදර දබර විඳගෙන
උණුසුම් සුසුම් මැනගෙන
එදත් මේ වගේමම
බලාහිටියා නුඹ නුගේගොඩ..
සීන පොදි විසි කොට
නික්ම ගියපසු මා සඳ
දෙනෙතින් ගැලූ දුක් කඳ
දරා ගත්තෙත් නුඹ නුගේගොඩ...
මෙතරම් කලක පසුවත්
දැනේ සුපුරුදු උණුසුම
මියගිය මතක පණ දෙන
හදේ කොටසකි නුඹ නුගේගොඩ
ඩබ්.කේ
2015/07/10

Thursday, July 9, 2015

මී විතට දිය වූ සිත..


සීත පවනැලි අතර
මන්ද ස්වරයෙන් ගැයූ
ප්‍රේමයේ වෙන මිහිර ගොළු වුනා.....

ඉකි ගසන කඳුළු කැට
ගිණි වැදුන යහන මත                                              
මධුයාම සිහින ගෙන වැලලුනා......

 දුර ඈත කිරි සිහින
 සඳ සාවි ගෙන ගිහින්
තරු පොකුර මැද තනිව සැඟ වුනා.....

ජීවිතය සැතපෙව්ව
 දෑත් මත පර වෙද්දි
 සිනාවේ මළ බෙරය හැඬවුනා .....

සෙනේ ඉතිරූ දෑස
ගිනි ගනී මත් දියට
 මීවිතට ආදරය සැඟවුනා.......



පිපුනු වතුසුදු යාය
ගසමතින් ඇද වැටී
 පිණි බිඳක් සොය සොයා ලතවුනා.....



Saturday, July 4, 2015

දිසාපාමොක් නොදනී



දිවා රැය නිදි නැතුව
දුක සතුට සමව ගෙන
කැකුලක්ව පුබුදන්න
ගසක් දුක් විඳි තරම්
අනේ දිසාපාමොක් නොදනී....

හීන අහුරු අහුරු ගෙන
දේදුන්නේ පාට ඉල්ලා ඇඳි
බලි කුරුටු වල කතාව
අනේ දිසාපාමොක් නොදනී....
.
පෙති දෙපෙති විහිද ගෙන
උදා හිරු දකින්නට
මල් කැකුළ පැතු පැතුම්
අනේ දිසාපාමොක් නොදනී....

බිඳී ගිය මල් බඳුන
පාස්සා ගනු බැරිව
ගස හඩා වැටෙන බව
අනේ දිසාපාමොක් නොදනී....

පරව ගිය මල් කැකුල
බිමට නොවැටෙන ලෙසට
ගස දරා ඉන්න යුරු
අනේ දිසාපාමොක් නොදනී....





Wednesday, July 1, 2015

මමත් අම්මා කෙනක්





සඳ දිය දොවා ගෙනැවිත්
තරු කැට සමඟ ගවසා
සුදු නෙළුම් යහනට
වැඩමවන්නේ කෙලෙස නුඹ මම.....

සුදු ගවුම පොඩ කොට
පොත් මිට අතුල යහනත
නිකලැල් සෙනෙහෙ හොරු ගත්
ළඳු කැලේ ගැන නොකියවමි මම....

ධවල ඇත් පොව්වෙක්
පැදකුණු නොකල යහනක
නින්දා වළඳමින්
කඳුලැල් පොවමි කිරි කොට......

ආදර දෙවොල ඉදිකොට
ගිලිහෙන විටදි සළුපොට
සිතිවිලි ලෙහී විසිරුණ
සැනින් දුටුවෙමි සැබෑ නිරුවත....

ගුගුරවා මිහිකත
හැංගී අකුණු පහරක
වැඩිය මුත් කුස යහනට
නුඹත් කැකුලකි සුවඳ විහිදන.....
පොරු මස්තක නැතිවම
කිරි බර ඉසිදු දෙතනට
දහසක් නුරා නෙත්
හී සර විදී දින දින......

නින්දා රසය දැන දැන
මගේ  දුක් විල පිපි නුඹ
විසිරුණ සිහින පොදි බැඳ
සඟවයි සිතේ තැන තැන....

කිරි කවඩි නැති මුත්
පෙණ පිඬු විසිර ගිය මුත්
නොපියවා නුඹ නෙත්
නිදන් පුත ඉර එබෙයි අපටත්.....