Sunday, September 11, 2016

පාසල් විෂය නිර්දේශයේ මහා හිඩැස බ්ලූ ෆිල්ම් වලින් පුරවමුද??


මේ වසර හතකට එපිට සිද්දියකි.මගේ නංගී එවකට හතර වසරේය.මා ගෙදර යන විට අම්මා ඇයට නොසෑහෙන විදියට බැන වදිමින් උන්නීය.ඕපා දූප වලට කවදත් හිත ඇති මං එතනට කිට්ටු කලේ සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට.මට වඩා වසර පහලවකින්ම බාල ඇය පවුලේ හුරතලිය වූවා ඇගේ සිත රිදවන යමක් කිරීමට පවුලේ ඇත්තන්ට කවදාවත් හිත දෙන්නේ නැත.ඉකි බිඳිමින් ඇය කියූ කතාවේ සාරාංශයයි මෙය.

ඇගේ පංතියේ පෙම්වතියක් ඇත.නමුත් නිවැරදිව අකුරු ලිවීමට නොදනී.ලියන විට ඉස්පිලි පාපිලි අඩුව ලියයි.දහය වසරේ ඉගෙන ගන්නා සිය පෙම්වතාට ලියුම් ලියවා ගන්නේ නංගී මගිනි.හතර වසරේ පෙම්වතියක්....

සුරංගනාවියන් ,නපුරු කුරුමිට්ටං,පොල්පිති හරක් හා බළු පූස් පැටවුන්ට ආදරය කරමින් හතරෙ පංතියේ උගත් මා මෙය කෙසේ වටහා ගන්නද?

ඒ වන විට පාසල් අධ්‍යාපනය හමාර කර හිටි මං පවා ආදරය ආශාව ලිංගිකත්වය ගැන යම් අවබෝධයකින් උන්නේ මගේ දූරදර්ශී මව වරින් වර ගෙනත් දුන් යොවුන්  මනෝ විද්‍යා පොත් මගින් ,අත්දැකීම් ඇති මිතුරියන්ගේ  කතා බහවලිනි.අනතුරුව පාසලෙන් ලබා දුන් “උදාවූ යෞවනය හා සරුංගලය “  යන පොත් දෙකිනි.ඒවායෙහි හිස් තැන් පුරවා ගත්තේ ටෙලි නාට්ටිය හා නව කතාවලින් ගොඩනගාගත් මනෝ චිත්‍ර ආශ්‍රයෙනි.

හතර වසරේ දරුවෙක්!!!!!!!

මොනවද ලියල තිබුනේ???කුතුහලය උපරිමයට පැමිණි මං ඇසුවෙමි.

බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා වැටෙයි කියලා තිබුන...හ්ම්ම්ම්ම්...තව බස් එකේදි එයා එක්ක කතා කරන්න එපා.ගමේ මිනිස්සු ගෙදරට කේලම් කියයි කියල....තවවවවවවව......එයාට රෝස පැලයක් හොයල දෙන්න කිව.එයා මල් පාත්තියක් හදල.........අන්තිමට එයා බෝකොල දෙකක් ඇඳල එයාගෙ නමයි අයියගෙ නමයි ලියල ඊ තලයක් ඇන්දා...මං ඔයාගෙම ###### කියල කියල එයා අත්සං කලා“

මම හිතට හා හිනාව හංගා ගතිමි...“බෝ කොල  හ්ම්....“

මට මෙය නැවත සිහියට ආවේ අසල්වැසි පාසලක හතේ පංතියේ පෙම්තියක් ගැන මගේ මිතුරියක් කියූ තොරතුරු ආශ්‍රෙයනි.

පෙම්වතිය හතේ පංතියේය.පෙම්වතා අටේ පංතියේය.

දෙයියෝ සාක්කි

මාස තුනේ ප්‍රේමයට ලියුම් විසිපහක් ලියා ඇත.

ආහ්..මේ එස් එම් එස් ,ෆේස් බුක් යුගයේ තවමත් ලිව්ම් ලියන ජෝඩු ඉන්නව එහෙනම්

කොල්ල අතේ බ්ලූ ෆිල්ම් සීඩී තිබිල ඉස්කෝලෙට මාට්ටු වෙලත් තියනව

දෙයියෝ සාක්කි ..අටේ පංතියේ ළමයි....

කෙල්ල එක ලිව්මක ලියල තියනව අද ගෙදර කව්රුවත් නෑ ගෙදර එන්ඩ කියල...

කෙල්ල දැන්නම් කෙල්ලෙක් නෙමේ වෙන්ඩ ඇති...

කොල්ල පිලිගත්ත  ගෙදර ගියා කියල

දෙයියෝ සාක්කි....ගිහින් කරන්ඩ ඕන දේ ඌ දන්නවද බං...

බ්ලූ ෆිල්ම් බලන එකානේ...දන්නව ඇති ....කෙල්ල තාම ලොකු ලමයෙකුත් නෙමෙයි.....
හපොයි දෙයියනේ...

එදා ලිව්මේ හා අද ලිව්මේ වෙනස මට නොසිතා සිටිය නොහැකි විය.නංගීගේ පංතියේ හුන් ලාබාල පෙම්වතිය අද 11 වසරේ සිටිය යුතුය.ඇයත් කොතැනක හෝ ජීවිතය වරද්දාගෙන ඇත්ද මට නොසිතා සිටිය නොහැක.
මේ අපේ දේශයේ නොව ලෝකයේම හෙට දවසයි...දෙයියෝ සාක්කි..හපොයි දෙයියනේ කියා ...විස්කෝප වී අනතුරුව අපිට මෙය අමතක කල නොහැක.

දරුවා රැක ගැනීම දෙමාපියන්ගේ හා  සමාජයේ වගකීමක් බව හැබවි..එහෙත් අද කාලයේ දෙමාපියන් අතින් මේ වගකීම ඉටුවන්නේද?සමාජය නම් සිය වගකීම අමතක කර කල දුටු කල වල ඉහ ගන්නා බව කොයි කවරුත් දන්නා දෙයකි.

ගම් ගැන කතා කරන විට අපේ ගම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස වලින් අඩු වයස් මව්වරුන් වැඩිම පිරිසක් සිටින ගම ලෙස මේ වන විට කිරුළු පලඳා ඇති බව අභිමානයකින් තොරව ප්‍රකාශ කර සිටිමි.

මේ දරුවන් බිහිවීමට හේතුව දැරිය බලහත්කාර කමට ලක්වීමම නොවේ....99%ම සිය කැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකම වලට එක් වූ දරුවන්ය.

මෙයාලා බබ්බු හදන්නෙ කොහොමද?මෙයාලත් තාම බබ්බු කොට...

මේවාට මුල් වී ඇත්තේ කවර හේතු සිතා බලන විට පාසල් විෂය නිර්දේශයේද වරදක් තිබේදැයි කියා දෙවරක් හිතා බැලිය යුතුව ඇත.

මේ ප්‍රදේශයේ තාමත් වැඩි උගත්කමක් නැති දෙමා පියන් වැඩි ප්‍රතිශතයක් ඇත.බොහෝ දෙමාපියන්ගේ ජීවිත තේ වතු හා රබර් වතු මෙන්ම කුලී වැඩ මේසන් වැඩ වඩු වැඩ ආදී කර්මාන්ත සමඟ ගෙවී යයි.

එසේම දරුවන් දෙමාපියන්ට වඩා තාක්ෂණයත් සමඟ පෙර ගමන් ගොස් ඇති නිසා දෙමාපියන්ගේ කනෙන් රිංගීම දරුවන්ටද කිරි කජුය.

එසේම අපි තාමත් ලිංගිකත්වය කුණුහරුපයක් සේ සලකන ජාතියක්මු.ඒ ගැන වචනයක් හෝ කතා කරන්නෙකු අම්බ වලෙක් සේ සිතන ජාතියක්මු.කාමරේ දොර වසා යතුල්ලා පමණක් පෙම් සුවය විඳිය යුතුයැයි හිතන ජාතියක් වන්නෙමු.

ජීවිතය වැරදීම යනු දෙවන ගමන දවසේ රතු පැල්ලමක් තබා බන්දේසියක අසුරා ප්‍රදර්ශනය කරන්නට සුදු රෙද්දක් නැති වීම බව මම කිසි ලෙසක නොකියමි.ජීවිතය වැරදීම යනු ඊට වඩා බොහෝ සංකීර්ණ වූවකි.

එනම් ජීවිතය ඇරඹීමටත් පෙර අතර මැද කඩා වැටීමයි..අනුන්ගේ රූකඩයක් වී ඔවුන්ගේ පදයට නටමින් ජීවත් වන්නට සිදුවීමයි.තම දෙපයින් හිට ගැනීමට තමාට ශක්තියක් නොමැති වීමයි.තමා පරාජිතයෙකු බවට තම සිතේ විශ්වාසයක් ඇති වීමයි.මහා ලොකු සුචරිත වාදී සමාජය විසින් පිළිකුලට ලක් කිරීමයි...සතුටක් නැතිව ජීවත් වන්නට සිදු වීමයි,තමාගේ යැපුම සරි කර ගන්නටවත් තමන්ට මාර්ගයක් නොමැති වීමයි.මූලික අවශයතාවත් හිමි කර ගත නොහැකිව ජීවත් වීමට සිදු වීමයි...ආදරය බැඳීම අන්‍යෝන්‍ය ගරුත්වය හා විශ්වාසය එකතු නොවූ ශාරීරික බැඳීමකට යටත් වීමට සිදු වීමයි.අවසානයේ තමන් සේම සමාජයට බරක් විය හැකි තවත් ජීවියෙකුට උපත දෙන්නට සිදු වීමයි.

එබැවින් හෙට දවස උදෙසා මෙම තත්වය පිටු දැකීමට කුමක් හෝ කිරීම අප සියල්ලන්ගේම වගකීම වන්නේය.

එදා විස්තීරණ පවුලෙන් ලද ආදරය සුරක්ෂාව අද දරුවන් නොබන බව අප දනිමු.සංකීර්ණ උවමනා ජාලයක හිරවී සිටින අප නොනවතින ජීවන අරගලයක දිවා රෑ නොලබා යෙදෙන්නෙමු...මේ සියල්ල දරුවාගේ හෙට දවස උදෙසායි අවසානයේ හිත හදා ගන්නෙමු...මේ මොහොතේදී දරුවාගේ අද දවස විනාශ වනු ඇතැයි සිහිනෙන්වත් නොසිතන්නෙමු.


අප රැකියාවේ දහසකුත් වැඩ නිම කර ගෙදර එන්නේ දෙයියනේ කියා යමක් කා ඇඳට වැටීමට බලාගෙනය.නමුත් දරුවෝ අප එනතුරු බලා සිටින්නේ දවසේ ගොඩ ගැහුණු දහසකුත් ප්‍රශ්න අප සමග කතා කිරීමටය.එවිට අපට නොරිස්සුමක් ඇතිවීම ස්වභාවිකය.

අප දරුවාට සවන් නොදී දරුව ඉවත් කරන විට දරුවා එය වටහා ගන්නේ අප ඔවුන්ට ආදරේ නැති ලෙසය.එවිට ආදරේ යැයි කියමින් දරුවාට සවන්දෙන ඕනම අයෙකුට ඕනෑම ආකාරයකට දරුවා ලං වීම වැලැක්විය නොහැක.

එබැවින් අපගේ විවේකය හා දරුවාගේ ප්‍රශ්න අතර සමතුලිත ලක්සය සොයා ගැනීමට අපට හැකි විය යුතුමය
යමෙකු තම අදහස වෙනුවෙන් ආදරය මවා පාන විට දරුවා ආදරය කියන්නේ එය යැයි විශ්වාස කිරීමට ගනී.කාර්යබහුල ජීවිතය මැද දරුවාට වැඩිපුරම අවශ්‍ය අවධානය බව අමතක කරන ඕනෑම දෙමව්පියෙකුගේ දරුවෙකු ඉදිරියේ මෙම අණතුර ඇත.

අප ගම් පලාතේ සලකා බලන විට දරුවන්ගේ දෙමාපියන්ද විවාහ වී ඇත්තේ අඩු වයසිනි....උතුරා ගිය ආදරයේ අතුරු පලයක් ලෙස පොරු මස්තකාරූඩව පැමිණියා නොව පාලනය කර ගත නොහැකි ආශාවන්ට මොහොතකට වහල්ව අනතුරුව දීගය ඇරඹෙන්නේය. එබැවින් සවිමත් මානසික හා ආර්ථික පදනමක් නැතිව අටවා ගන්නා මේ දීග ටිකින් ටික ඒකාකාරී වී නීරස වන්නට පටන් ගන්නා විට වෙනස් රසයක් සොයා යාමට බොහෝ අය නොපැකිලෙකි.එබඳු පව්ලක බිහිවෙන දරුවෙකුට ආදරය හා ලිංගික ආශාව අතර වෙනස හඳුනා ගත නොහැකි වීම අරුමයක් නොවේ.

තවද අඩු වයසින් මව / පියා මිය යාම නිසා ඉතිරි කෙනා ජීවිතයට සවියක් සොයා තවකෙකුට ලංවීමද මෙබඳු ගැටළු ඇති කරන්නට හේතුවකි.

මේ සියල්ලේම වරද දරුවාගේ පවුල පිට දමා තවත් ගැඹුරට බලන කල ඒ දෙමාපියන්ගේ ජීවිත ඊටත් වඩා ඛේදවාචකයන්ය

අඩු වයසින් දරුවන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂන පහල වීමේ ප්‍රවනතාවක්  වර්ථමානයේ දක්නට ලැබේ.එවිට හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා මෙබඳු හැගීම් පහල වේ.එය ජාතික අපරාධයක් නොවේ.නමුත් තම අනාගත යහපත උදෙසා මෙම හැඟීම් කලමණාකරණය කිරීමට දරුවා උගත යුතුය.

එය සිදුවිය යුත්තේ දරුවාට වඩාත්ම සමීප මව / පියා විසින් බව අවිවාදිතය.නමුත් එය ඉටු නොවන්නේය ..එය උන්ගේ කරුමයය කියා අපට අත පිහදා ගත හැකිද?

එසේ නම් ඒ සඳහා පුළුල් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කල යුතුය.දරුවා ට නිවස හැර ඊළඟට සමීප තැන පාසලය.එසේ නම් පාසල් පද්ධතිය හරහා මෙය සිදු කල නොහැක්කේ මන්ද?10 වසර දී එක් පාඩමක් තිබුනත් අපේ දරුවෝ දැන් දැණුම ලබා ගන්නා මූලාශ්‍ර බොහෝමයකි.

8 වසරේ දරුවාත් බ්ලූ ෆිල්ම් බැලීම ඛේදවාචකයකි.මා මෙය කියන්නේ ඊනියා සුචරිත වාදියෙකු ලෙස නොව.තමාට ගැලපෙක හා තමා තෘප්තිමත් වන අයුරින් ඕනෑම කාර්යයක් කිරීමට නිදහස් මනුශ්‍යෙයකුට අවසර තිබිය යුතුය..(තවකෙකුට ඉන් හානියක් නොවන තාක්)නමුත් දරුවන් යනු හොඳ නරක පැහැදිලිව තෝරා ගත නොහැකි උදවියය.අපගේ මඟපෙන්වීම ඔවුන්ට වැදගත්ය.ඔවුන් මේ වයසේදී යම් අසම්මතයක් සම්මතය සේ සිතත්ද අනාගතයේදී ඔවුන් සම්මතය අසම්මතය ලෙස දකිනු ඇත.සම්මතය කියාදී නිසි වයසේදී ඔවුන්ගේ රුචිය තෝරා ගැනීමට ඉඩ හැරිය යුතුය.

කවුරුන් කෙසේ කීවත් දරුවන්ගේ චර්යයා සම්මත රාමුවට හැඩ ගැස්වීම යෝග්‍ය බව මගේ පුද්ගලික මතය වන අතර නිසි වයසේදී ඔහු සිය කැමැත්ත මත තීරණ ගනු ඇත.

අනෙක කෙසේ කීවත් හත වසර දරුවා අතද අද ජංගමයක් ඇත.ඉන් අන්තර් ජංජාලයට සම්බන්ධවීමට වැඩිහිටියෝ නොදනිතත් දරුවෝ දකිති.මේ ජාලය අපේ දරුවෝ භාවිත කිරීමේදී ජංජාලයක්ම වන්නේ එබැවිනි.

දරුවන් තාක්ෂණයෙන් ඈත් කල නොහැක.අපට කල හැක්කේ තාක්ෂණය යහ භාවිතයට දරුවා හුරු කරවීම පමණි.

අනෙක දරුවා ට මේ ලිංගිකත්වය පිළිබඳ ඇත්තේ හුදෙක් කුතතුහලයකි.මෙම කුතුහලය සංසිඳවන ලෙස විෂය නිර්දේශය සකස් කිරීම කල යුතුම දෙයකි.අඩු ගානේ 3 වසරේ දරුවාට තම අවයව තමාට පුද්ගලිකයි යන හැඟීම තරයේ සිතට ඇතුලු කිරීමට අපට හැකි විය යුතුය.

අප පාසල් ගිය කාලයේ “උදා වූ යෞවනය“ නමින් පොතක් පෙල පොත් සමඟ හිමි වූ බවට මතකයක් ඇත.කවරෙක් හෝ ගුරු මවක් ලබා දී “සරුංගලේ“ නමින් වූ පොතක්ද කියවූවා මතකය.වර්ථමානයේ එය පාසල් පුස්තකාල වල ඇතත් යෞවනය හා ලිංගිකත්වය යනු කුනූහරුප බවට සලකන සාමාජයක දරුවෙක් ගුරුවරයෙක් ඉදිරියේ එම පොත කියවීමට එඩිතර වෙයිද?

ක්‍රිඩා සෞන්දර්යය විෂයන් මගින් මනෝ විද්‍යානු කූලව දරුවාට යහ වින්දනයක් ලබා ගැනීමට හැකි වන පරිදි විෂය නිර්දේශ සකස්කල යුතුය.නැත්නම් ඒවාද“ ඒ “ලබා ගැනීමේ තරගයේදී තවත්  එක “ඒ“ එකක් ලෙස සැලකීමෙන් වින්දනයක් නොලැබෙනු ඇත.

හයෙන් ඉහල සියළු දරුවන්ට ක්‍රමාණුකූලව ලිංගික අධ්‍යාපන ලබා දිය යුතුය.එවිට කුතුහලය නැතිවනු ඇත.
වැල සයිට් වලින් කියවෙන ආකාරයට අම්මා අප්පා සහෝදරයා බල්ලා හෝ වෙන ඕනෑම එකෙකු නැත්තං යට ඇඳුමක් හුරතල් ටෙඩි බෙයාර් කෙනෙක් සමඟ හෝ ලිංගය උපයෝගී කරගෙන කරන නරි නාඩගමක් හෝ තම පීඩනය මුදා හැරීමක් ලිංගික එක් වීමක් ලෙස දරුවා නොදකිනු ඇත.

එය ආදරය ආශාව සුහදත්වය අනෙ‍්‍යාන්‍ය ගරුත්වය පෙරටු කරගෙන කරනු ලබන ජීවිතය හා ශරීරය බෙදා ගැනිමක් බව දරුවාට ඉගැන්විය යුතුමය.කවියක් චිත්‍රපටයක් රස විඳින්නා සේ ලිංගිකත්වයද රස විඳිය යුතු දෙයක් බවත් එය කුණු හරුපයක් හෝ තහනම් දෙයක් නොවන බව දරැවාට වටහා දිය යුතුය.තවද ශරීර දෙකක් අතර සුන්දර ලෙස ජීවිතය  බෙදා හැනීමට නම් ඊට පෙර සම්පූර්ණ කර ගත යුතු සාධක ඇති බවත් දරුවාට මතක් කර දිය යුතුය.හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය දෙයක් බවත් එමඟින් එම හැඟීම්  පහල වීමට ජාතික අපරාධයක් නොවන බවත් ඒවා කලමනාකරණය කිරීමට යෝග්‍ය ක්‍රමත් ගැන දරුවා දැනුවත් කල යුතුය


නැතිනම් වහාම ක්‍රියාත්මක වන පරිදි 1 සිට විශ්ව විද්‍යාලය සඳහා ජිම්නාස්ටික් ක්‍රිඩාව හර විෂයක් ලෙස ඇතුලත් කල යුතුය.නැත්තං වැල වීඩියෝ ගුරු කර ගන්නා අපේ පුංචි උන් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන දිනක ඔවුන්ගේ කොඳු බිඳෙනු බෙලි කැඩෙනු  වලක්වා ගත නොහැකි වනු ඇත.





Thursday, September 8, 2016

උඹ නුදුටු ඉසවු මම දුටුව උනත් මට වැරදුනාද පුතුනේ




 මීට අවුරුදු එකහමාරකට කලින් මම ඉස්කෝලෙට ආවේ ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරිය විදියට.නියෝජ්‍ය විදුහල් පති තුමා මගේ විෂය ඇර මං කරන්ඩ කැමති විෂය මොකක්ද කියල අහනකොට “ඉතිහාසය“ කියල  මං පැනල උත්තර දුන්නෙ මගේ පාසල් කාලයේ මං වාඩාත් ආස කරපු විෂයවුනේ ඒක නිසයි.වාසනාවකට හෝ අවාසනාවකට පාසලේ එකම ඉතිහාසය පිළබඳ උපාධිදාරී ගුරුවරයෙක් වත් නොහිටි ඒ කාලයේ මට ඉතිහාසය උගන්නන්න හම්බුනේ 8 වසරට.

අට ඒ පන්තිය අවුලක් නෑ....ඒත් අට බී පන්තියට ගියාමයි මට දෙයියො සිහි වුනේ.පංතිය එකම පිස්සන් කොටුවක්.කොල්ලො බර ගානක්.කෙල්ලො අඩු ගානක්.එකෙක් හැමදාම ඔළුවෙ කැක්කුමයි කියල බොරුවට නිදි.පිටිපස්සෙ පේලියේ දරුවන්ගේ කියවිල්ල මක් කරලවත් නවත්ත ගන්න බෑ

.වැඩි දෙනෙක් පොත් ගේන්නෑ.හතර දෙනෙක්ටම විතර පිලිවෙලට අකුරු ලියා ගන්න බෑ.එක්කෙනෙක් අකුරු අඳුනන්නෙම නෑ.එකෙක් මක් කරලවත් විනාඩි 5ට වඩා පුටුවෙ වාඩි කරල හිටියොත් යකා නටන්න ගන්නව.මේ වගේ තැනක විෂය නිර්දේෂය කවර් කිරීමේ මහා අභියෝගය!!!!


ඉගනගන්න ඕන කියන එක ,ඉගනීම ජීවිතයට හුඟක් වටින දෙයක් කියන හැඟීම උඹල කාටවත් තිබුන් නෑ.කාලෙ ගෙවා ගන්න ඉස්කෝලෙ ආවා.ඉගෙන ගන්න කම්මැලි හිතුනාම දඟ කරලා ගුරුවරයාගේ අවධානම පාඩමෙන් ඈත් කරන්නයි උඹලට ඕන වුනේ කියල මට තේරුම් ගියා.අට බී පන්තියේදි ඉතිහාසය ඉගැන්ම එතරම් සාර්ථක නැති බව ආපහු හැරිල බලද්දි මට හිතෙනව.මාත් ඉල්ලං කාපු පරිප්පුවේ අපූරුව මං හුග වෙලාවට තනියම කල්පනා කලා


2015 දෙසැම්බර් ලං වෙද්දි මං සැනසුම් සුසුම් හෙළුවෙ මේ පිස්සං කොටුවට උගන්නපු කාලය අවසානයි.මං දැන් නිදහස් කියල හිතාගෙන.ඒත් මං නිවාඩුවක් ගත්ත දවසකම විදුහල්පතිතුමා 2016ට පන්තිබාර ගුරුවරු පත් කරල.9 බී පංතියට මං.ඒ කියන්නේ මේ යකා නටන පංතිය අවුරුද්දක් මට බාර ගන්ඩ වෙලා.
මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැම්ම ඒක ඇහුවම.අධ්‍යපන ඇමතිගෙ පටන් සියළුදෙනාගෙම මවු දෙමවුපියො සිහිකරමින් පැය තුන හතරක් අහක හිටපු අහිංසක සුද්දාට දෙහි කැපුවෙ හිතේ අමාරුව වැඩි කමටමයි

අන්තිමට
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය
කටු පොකුරු සිප ගතිමි හෙට මලක් වනු පිණිස කියල 


- හිතං ඕන අට මගලයක් සඳහා හිත හදා ගත්ත.ඒක අභියෝගයක් කියල හිතල බාර ගත්ත.

“මං කීයටවත් අසාර්ථක වෙන්නෑ...මට අසාර්ථක වෙන්නත් බෑ...“ මං මටම කියා ගත්තෙ තදින්

අන්තිමට කොල්ලො 17 ක් හා කෙල්ලො තුන්දෙනෙක් ඉන්න 9 බී පංතියේ පන්තිබාර කම මට පැටවුනා.

දැන් මාස අටක් ගෙවිල.හිතා ගන්න බැරි තරම් දේවල් සිද්ද වුන අට මාසයක්.ලබන සතියේ ඉඳන් මට උඹලව නැති වෙනව.ආයෙත් උඹලට ඉතිහාසය උගන්නන්ඩ මට බෑ.ඒ වෙනුවට 12 පංතියට ඉකෝන් උගන්නන්න වෙලා.මේ පිස්සන්කොටුවෙන් ඈත් වෙන එක මගේ ඇහැට කඳුළු ගෙනේවි කියල මට කවදාවත් හිතුනෙ නෑ.
මං කීප සැරයක්ම උඹල එක්ක අසාර්ථක වුනා.මට ඒව අමතක නෑ

විජිත - විට කහට බැඳිච්ච දත් පෙන්වා කට කොනකින් හිනා වෙන ,බොරුවට ඔළුවෙ කැක්කුමයි කියල හැමදාමත් පංතියේ නිදා ගත්ත උඹ සම්බන්ධයෙන් මං අන්තිම අසාර්ථකයි.උඹව ඉස්කෝලෙ රඳව ගන්න මට බැරි වුනා.අස්වෙන්න හැබෑ හේතුව උඹ නොකිව්වත් මට තේරුම් ගන්න අපහසු නෑ.උඹ පංතියෙ අනිත් ළමයින්ට වඩා අවුරුදු 2ක් වැඩිමාල්.විෂය කරුණු ධාරණය කරගන්න එක උඹට මල වදයක් වෙන්ඩ ඇත්තේ අකුරු ලිවීම සම්බන්ධයෙන් උඹේ දුර්වලතා මේ වෙනකොටත් තිබුන හන්ද

.ඒත් උඹ පාසලෙන් එලියෙ දැක්ක නිදහස් යෞවනයට වහල්  වුනේ නැත්තං උඹ තාමත් පාසල් යන දරුවෙක්.විට කෙල ගසමින් හන්දියේ රස්තියාදු ගහන එක,මල්පැන් පොදක රසය විඳින එක,දඩුමොනරෙක නැගල පියාඹන එක ජීවිතය නෙමෙයි කියල උඹට කියා දෙන්න මට බැරි වුනා.ඒ නිදහස හොයාගෙනයි උඹ ගමේ ඉස්කෝලෙට ගියේ.දැන් උඹ එතනිනුත් හැලිල.උඹව රඳව ගන්න මට ශක්තියක් නොතිබුන එක ගැන මගේ හෘද සාක්ෂිය තාමත් මට දොස් කියනව.


ඒ මතකය ඇරෙන්න උඹල එක්ක මං හුඟක් ලස්සන කාලයක් ගෙවල දැම්ම.උඹල දඟයි තමයි .හුඟක් දඟයි.ඕනවටත් වඩා දඟයි.ඒත් මේ ඇත්ත පිලිගන්න මං ලැජ්ජ වෙන්නෑ.මං උඹලට ඉගැන්නුවට වඩා හුඟක් දේවල් උඹල මට ඉගැන්නුව.
කවීෂා- මේ පන්තියේ මගේ වටිනාම උපයාගැනීම උඹයි.උඹ අට වසරෙ ඉඳ්දි යාළුවාගෙ පොත අරගෙන බලා ඇඳීමක් වගේ අකුරු ලියාගත්ත.කවදාවත්ම පන්තියේදි කට ඇරියෙ නෑ.උඹෙන් අහන ඕනෑම ප්‍රශ්නෙකට උත්තර දුන්නෙ යාළුවො...
එහෙවු උඹ අද අකුරු ගැට ගහ ගෙන පොත් කියනව.පංතිය ඉස්සරහට ඇවිත් කතා පවත්වනව.අසාධ්‍ය ලිව්කේමියා රෝගියෙක් වෙලා ඉන්න කාලේ උඹේ ඔළුවට වැටුන “බැහැ“කියන විෂබීජය මරන්න උඹට නොදැනෙන්න මං කොයි තරම් මහන්සි වුනාද?අද අඩුගානේ උඹ උත්සහ කරල බලන්න හරි හදනව...මහා ලොකු විප්ලවයක් නොවුනත් උඹ ජීවිතයට උත්සාහය එක් කර ගත්ත එක ගැන මං සතුටු වෙනව

පංතියේ කාගෙ හරි අවනඩුවක් ගැන පැමිනිල්ලක් නැතුව මං පාසලෙන් පිට වෙලා ගිය එකම දවසක්වත් මේ මාසඅට තුල නැතුවට ඊට වඩා උඹලගෙ සමහර වැඩ වලින් මං හිනා වුනා.
උඹල පාලනය කරන්න අපහසුයි.එක තැන රැඳෙන්න තරම් සන්සුන් නැති කමයි 9 බී පන්තියේ අනන්‍යතාවය වුනේ.

ඒත් අපි හැමෝම පිලිගත්ත එක දෙයක් තියනව.උඹල පුංචි වැඩිහිටියො නෙමෙයි ළමයි.පුංචි පුංචි දඩුවම් දුන්නෙ අහිතකින් නෙමෙයි.උඹල හරි පාරෙම තියා ගන්න ඕන හංද.අදට වඩා ලස්සන හෙටක් හොයා ගන්න උඹලට මඟපෙන්වන එක මගේ රාජකාරිය කියල හිතපු හංද.


ඒත් මගේ ළමා කාල ගෙවිල ගිය විදියට නෙමෙයි උඹලගෙ ළමා කාලය ගෙවෙන්නෙ.මං හැදුනෙ සුරක්ෂික ආදරණීය පරිසරයක.උඹලගෙන් බොහොම දෙනෙකුට ඒහෙම දෙයක් උරුම වෙලා නැති බව දන්නව.ඒ දේවල් දන්න මට උඹල ඒ දේවල් අතරින් නගන එක හිනාවක් කෝටියක් වටිනව.

මට ඕන උනේ උඹල හීනයක් දෙන්න.ඒත් උඹල මට හිතා ගන්නවත් බැරි තරම් යථාර්ථයට ලංවෙලා.රුපියල් 1000ක් හම්බෙන හින්ද අයියල එක්ක පෙලපාලි ගිය තාමත් ඡන්ද අයිතිය වත් නැති උඹව,මං නිවාඩු කාලෙ ගෙදරදි සෙල්ලම් කරල පාඩම් කරල ගත කරල තියෙද්දි උඹල කුලීවැඩට ගිහින් විසි තිස් දාහ උපයපු උඹව,කරාබු ගම්මිරිස් කඩල ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන උඹව මට ටිකක් ගෝචර නෑ.ඉගනීමත් එක්ක බැඳුන හීන උඹලට නෑ

.පාසලේ දරුවො වැඩි දෙනෙකටත් නෑ.

ගනන් බැරි හින්ද සාමාන්‍ය පෙල ෆේල් වෙනව කියල දැන්නම හිතාගෙන දුර රස්සාවල් වලට යන්ඩ හීන මවන උසස්පෙල /සරසවි හීනයක් නැති උඹලට හීන දෙන්න මට තේරෙන්නෙත් නෑ..

උඹල ගැන මං කලකිරුණු අවස්ථා නැතිවත් නොවේ.පාසල තුලදී නොවුනත් නමය වසර දරුවෙක් රා බෝතලයක් සමඟ මගේ අතටම අහු වුන එක මට හුඟක් දරා ගන්න අපහසු වුනේ ඒකයි.මගේ දෑසට නොනවත්තාම කඳුළු නැගුනෙත් ඒකයි.මං උඹලට ආදරය කල පලියට උඹල සර්ව නිර්දෝෂී වෙන්නෙ නෑ කියල මං තේරුම් ගත්තෙ එදා.

අන්න ඒකයි අමධ්‍යප ව්‍යාපාරයත් එක්ක මත් පැන් වල ආදීනව ගැන විෂය නිර්දේශයට අදාල නොවූ දේසනයක් කලේ.

එදා මගේ ප්‍රශන වලට උඹලගෙ උත්තර මට තාම මතකයි

“ඔයාලගෙ තාත්තල බොන අය ඉන්නවනං අත උස්සන්න“උඹලගෙ ජීවිතේ හුඟක් දේවල් අවංකවම මං එක්ක කියනව කියල මං දැනගෙන හිටිය. උඹලගෙන් දෙතුන් දෙනෙක් ඇර අනිත් සේරම අත ඉස්සුව.

ඔයාල බොන අය අත උස්සන්න

අනේ හැබෑට.....මං රා බෝතලයත් සමඟ අහුවුන උඹට දැම්මෙ නෝක්කාඩු බැල්මක්
අම්මප මං ඉස්සර බීව..දැන් නෑ

හැබෑටම..මං තාමත් උපහාස ස්වරයෙන්......කවද ඉඳන්ද අමධ්‍යප සංගමේට බැඳෙන්න හිතුනෙ....
අර මිස් අඩපු දවසෙ ඉඳන් තාම බිව්වෙ නෑ මිස්..අම්මප ආයෙ බොන් නෑ කියල හිතා ගත්ත...උඹ කීව..උඹ සමහර විට ඒ කීවෙ ඇත්තම නොවෙන්න ඇති...ඒත් එවෙල මගේ ඇහැට ඉනුවෙ සතුටු කඳුළු
අද තමයි නරකම දවස.උඹල පීරියඩ් කට් කරන්න පටන් අරගෙන.පංතියට නොගිහින් හිටපු උඹල තුන් හතර දෙනෙක් මගෙ ඇහැ ගැටුනෙ අහම්බෙන්.

අද රිලීෆ් පීරියඩ් දෙකක්ම දාගත්තෙ මේ අවුලත් ලෙහා ගන්ඩ ඕන හින්ද.මං වෙනදා වගේම විහිළුවෙන් ඉගැන්නුව.මුලදි උඹල මූනෙන් මූන බලා ගත්තෙ උදෙන්ම දේශනයක් හම්බෙයි කියල බලං හිටපු හංද වෙන්න ඇති.

මගෙ හිතේ තරහක් තිබුනෙ නෑ.ඒත් උඹ කලේ වරදක් කියල උඹලට අවබොධ කරවන්න මට ඕන කමක් තිබුන.හැමදාම බොරුවට විහිළු ටොකු ඇනපු නොරිදෙන්න උඹලගෙ කනින් ඇදපු මම අද නම් ඇත්තටම වේවැල් පාරවල් 02 ගානෙ ගැහුව.උප නායකයාත් මේ මගඩියට හවුල් කියල දැනගත්තාම උඹට 3ක් ගැහුවෙ නායකයා තමන්ගෙ පරිවාරයට වගකිය යුතු බව උඹට තේරුම් ගන්නයි.

එලිමහන් පන්ති කාමරයට එක්ක ගිහින් කාටවත් නොපෙනෙන්න වේවැල් කසාය දුන්නෙ උඹලට ලැජ්ජාවක් නොවෙන්නයි

ඒත ඒ පාරක් ගානේ උඹලට වැඩියෙන් මට රිදුන.ඒකයි ඊලඟ පීරියඩ් එක පටන් ගන්න කලින් උඹල හැමෝගෙම අත් අල්ලල වැවිරි පාරක් තිබුනද කියල මං බැළුවෙ.මගෙ පසුතැවීම උඹලට පේන්න ඇති.ඒකයි උඹල මං අහන්නෙ නැතුවම 

“වැඩිය රිදුනෙ නෑ මිස් කියල කීවෙ.“

උඹලගෙ හිතේ මං ගැන තරහක් ඇති වුනාද කියල බලන්නයි මං උඹලගෙ ඇස් වලට එබිල බැළුවෙ.ඒත් උඹලගෙ ඇසුත් වෙනදවගේම මාත් එක්ක හිනා වුනා.මං කරපු නපුරු වැඩේ මගෙ හිතට එකඟ නෑ...ඒත් පන්ති කට් කිරීමේ ආදීනව ගැන දේෂනයකින් මේ තරම් සාර්ථකව මේ පණිවිඩය උඹලට දෙන්න බැරි බව මං දන්නව.


මං ගැහුවෙ තරහකින් නොවන බවත්,ගහන්න හේතුවත් උඹල දන්නව....අඩු ගානෙ මාස 2ක් වත් යනකල් මේ වැරැද්ද උඹල කරන්නැති බව මට විස්වාසයි.

නමට පංතිබාර කාරත්වය තිබුනත් මට පංතියට යන්ඩ අවස්තාවක් නැති හංද වෙනද වගේ උඹලට ලංවෙන්ඩ මට අවස්තාවක් නෑ.

ඒත් උඹල වෙනුවෙන් මගේ හිතේ වෙන් වුන ඉඩ හැමදාමත් එහෙමමටි.මගේ ගුරු භූමිකාව සාර්ථක වුනත් අසාර්ථක වුනත් මං උඹලට ආදරේ බව උඹල දන්නව... උඹල සාර්තක වුන දවසට මාත් සාර්ථක බව මට හැඟෙනව