Tuesday, July 23, 2019

01 පළමු දවස 2019 ජූනී 22

..
01 පළමු දවස 2019 ජූනී 22
අද සිහිනමය සුන්දර දවසක්..දිව්‍යමය දවසක් කියල කියන්නත් පුළුවන්.සමහර විට මගේ ජීවිත කාලයම මැව්ව සිහිනය සැබෑ වෙන්න හෝ බොඳ වෙන්න තියෙන්නෙ හරියටම දවස් දහ අටයි.මේක ඇත්තක් කියල හිතා ගන්නත් බෑ.යාළුවෙක් කතා කරල මට දරුවෙක් දෙන්න කැමති අම්මෙක් ඉන්නව කියපු දවස වත් ,මම ඉස්සරලම ඒ අම්ම බලන්න ගිය දවසවත් ගැන හරි මතකයක් නෑ

.ඒත් අද 2019 ජූනී 22 මට ගලක කෙටුව අකුරක් වගේ මතක හිටියි.හරියටම කීවොත් දැන් 23 වනදා උදේ 2.08 යි.ඒත් සතුටට නින්ද යන්නෑ
සැමියෙක් ගැන හීනයක් පවා නොතිබුන කාලෙකයි මගෙ හීන වල චූටි පැට්ටෙක් හිටියෙ.එයාට ආදරේ දෙන හැටි එයා එක්ක ඉස්කෝලෙ යන හැටි ,සෙල්ලම් කරන හැටි ඡායාවක් වගෙ හිත ඇතුලෙ කොතන හරි ඇඳිල මැකිල යමින් තිබුන. උඹට ඕන කරන දේවල් ේකතු කල බැන්ද දවස ඉඳලමයි.ඒත් ආඩම්බර උඹ මං ළඟට එන දවස දවසින් දවස කල් දැම්ම
දෙපාරක් ඒ හීනෙ ඇස් අද්දරටම ඇවිත් මැකිල ගිය දුක තාමත් හිතේ








ඉතුරුයි.කාටද හිත හදාගෙන තමන්ගෙ අතට එන සුර දූතයන්ට පිටුපාන්න පුළුවන්...
ජීවිතෙ ලොකුම හීනෙ දවසින් දවස හීනයක්ම වෙනකොට විකල්ප අවස්ථා සලකා බැලුවෙ වාණිජ විෂයයන් වලින් ලැබුන පන්නරය හන්දම වෙන්න ඇති.

පරිවාස කාර්යයාල වල රස්තියාදු,ලෝයර්ල ලඟ පණ බයෙන් කරපු සාකච්ඡා ,බඩු ලිස්ට් ගන්න කඩවල් ගානෙ ගියපුව...ගමේ  මිනිස්සු නොදකින්න බෝඩිමට හොරෙන්ම  ගෙනත් හෝදපු නැප්කින් එකක්වත් මට හැබෑ ඒවා විදියට දැනුන් නෑ.

අද උඹ දරාගෙන ඉන්න අම්මගෙ ඇමතුම ලැබෙනකම්...

අක්කෙ කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්ලු...
.
මට හැමදාම ඕන වුනෙ පුංචි දඟ පුතෙක්...ඒකයි රෝසපාට දැක දැකත් නිල්පාට තෝරගත්තෙ.
එදා ඒ දුප්පත් ගෙදර මං දැක්කෙ අවම අවශ්‍යතාවත් සම්පූර්ණ නැති ජීවිත තුනක්....එකම එක සෙල්ලම් බඩුවක් වත් නැති අවුරුදු දෙකක පැටියෙක්...උඹටත් ඒ ජීවිතේ නොදෙන්නයි ඒ අම්මටයි තාත්තටයි ඕන වුනේ...වල් කම් කරල නෙමෙයි . ආදරේ අහඹු  ප්‍රතිඵලයක් විදියට අහම්බෙන් ආව පැටියට ලස්සන ජීවිතයක් දෙන්නයි එයාලට ඕන..එයාල  ඒකට මාවම තෝරගත්ත ඒක  දෛ වයේ හාස්කමක්...


ඔයා වෙනුවෙන් විතරයි මම මේක ලියන්නෙ...මං වාසනාවන්ත නම්..ඔයා මං ළඟට ඒවි.සමහර විට මගේ හිත රිදෙයි කියල ඔයාට දැනගන්න ම ඕන ප්‍රශ්නයක් දවසක ඔයා  මගෙන් නාසා ඉඳීවි...

එදාට මම ඔයා ළඟ හිටියත් නැතත් ඔයාට මගෙ බ්ලොග් එක උත්තර දේවි...මං ඔයා මා ලඟට එන්නත් කලින් ඉඳල මං ඔයාට කොච්චර නම් ආදරේ කලාද කියල සමහර විට ඔයාට තේරුම් යාවි.ඒත් ඔයා මගේ ජීවිතයට ගෙනාවෙ කොච්චර ආලෝකයක් ද කියන්න නම් විශ්වයේ සියළුම භාෂා වල වචන වලින් වත් පැහැදිලි කරන්න නම් බැරි වේවි...


මගේ රත්තරං පැටියෝ එන්න ජීවත් වෙන්න....
අපි තුන්දෙනා එකතු වෙලා ආදරය පිරුණු පුංචි ලෝකයක් හදා ගමු
..අගෝස්තු නම වෙනිදා ඔයා මේ ලෝකෙට එනකල් අපි මඟ බලාගෙන ඉන්නෙ.

අපේ ජීවිත දෙකට අරමුණක්...ලෝකයට ආදරෙත් පුංචි අත් දෙකේ ගුටි කරන් ඔයා එනකල් අපි බලන් ඉන්නවා...මගේ රං කැටේට බුදු සරණයි..දොස්තර මාමලා එන්න කියනකල් ඔය අම්මගෙ බඩ ඇතුලෙ සනීපෙට ඉන්න..පරිස්සමින් මේ ලෝකෙට එන්න.ඊට පස්සෙ මේ අම්මයි තාත්තයි ඔයාව හුස්ම පොද වගේ රැක බලා ගන්නවා

Monday, April 22, 2019

මා දයාබර මිතුර


දයාබර මිතුර,

මට ඔබ අමතක කල නොහැක.මඟ හැර යා නොහැක.

එකම තාප්පය දෙපස ඔබත් මාත් දෙදෙනා විසුවේ උපන්දා සිටමය.ඔහුත් මාත් වෙන් වූයේ අපේ වත්ත මායිමේ පිහිටි කම්බි පොටවල් කිහිපයකිනි.

නමුත් අප පාසල් ගියේ එකටය.එකම පාසලටය.සෙල්ලම් කලේ එකටය ..ඒ අප කාගේ හෝ ගෙදරකය..නැත්තං ගම්මානයේම කොල්ලො කුරුට්ටො සමඟ හිස් ඉඩමකය.

අප තිදෙනාගේ ජීවිතයේ සෑම මොහොතකම සියළු බර සම සමව දරා ගත්තා අමතක නැත.මගේ ජීවිතයේ වසන්ත සමයන් වලදී අප තිදෙනා නැංවූ සිනහ හඞේ අවතාර තාමත් මගේ සවන් තුල හිරවී ඇත.

ජීවිතයේ අනේක කුණාටු සමයන්හිදී මගේ දෙඅත් අල්ලාගෙන මා රැක ගත් ඔබ දෙදෙනාගේ ශක්තිමත් මිත්‍රත්වයේ දෑත් වල උණුසුම සදහටම මගේ සම තුල නිධන්ව ඇත. 

ඔබේ අම්මාගේ වටලප්පන් රසයට වඩා ඔබගේ මිතුරු කම රස වැඩිය.ඔහුගේ අම්මාගේ කේක් රසයට වඩා ඔහුගේ මිතුරු කම රසය.ඔබ නාවත් මා සැම දාම ඔහු සමඟ නත්තල් දේව මෙහෙයට ගියෙමි.

ඔරසන් නොකීවත් ඒ මධුර සංගිතය රසවිඳීමි.වෙසක් දාට ඔහු මා සමඟ දන්සන් වඳිමින් පන්සල් යද්දී ඔබ අපේ රියදුරු වෙමින් අප පැමිණෙන තුරු ගේට්ටුව අසලට වී සිටියේය.තොරන් වෙසක්කූඩු අපි මෙන්ම රස වින්දේය.අප තරමටම කැවුම් කොකිස්රස හඳුනා සිටියේය

.ඔබගේ උපවාස කාලයේදී අපේ කෑම පෙට්ටි ද ගෙදර දමා පාසලට ආවේ එතනදීද ඔබ තනි නොකිරීමටය.එවැනි දිනක සවසට රස සුප් ජෝගුවක්ද උණු බුරියානි බතක්ද ගෙන අපේ ගෙවල් වලට දුව ඒම එදා මෙදා තුර කිසි දිනක ඔබ අමතක කළේම නැත.අපි එකම ඒකකයක කොටස් තුන වීමු.

අද ඔහු සීතල මස් කුට්ටියකි.අප තිදෙනා එක්ව නානාගේ සයිවර් කඩෙන් බඩ පැලෙන තුරු තෝසෙ කෑවේ පෙරේදාය.අද ඔහු සීතල මස් කුට්ටියක්ම පමණි.එතකොට ඔහුගේ මිණී මරුවා ඔබද?මට ඇදහිය නොහැක.මට දරාගත නොහැක.

ඔබේ දෑස් ද මගේ දෑස් මෙන්ම ඉදිමී රතු වී ඇත.ඔබත් මා මෙන්ම ඊයේ රාත්‍රිය පුරා හඞා වැටුනාවද්ද?

ඔබත් ඔහුත් අපේ නිවසට ඒම ඉර පායනවා,බහිනවා සේම ස්වභාවික සංසිද්ධියකි.නමුත් ඔහු නම් ආයේ කවදාවත්ම එන්නේ නැත.

දැන් ඔබ පැමිණ සිටී..වෙනදා ඔබ දුටු විටම ඔබේ කකුල් දිගේ බඩගාන පුංචි එකාට ඔබ වෙත පැමිනීමට නොහැකි වන අයුරින් මස්සිනා ඔහු මිරිකාගෙන සිටී.පුංචි එකා හඞයි වැලපෙයි.ඒත් මස්සිනා ඔහු අත නොහරී.ඔබගේ කලිසම් සාක්කුවෙන් නෙරා තිබුනු සැක කටයුතු පොදිය දෙස මම එක වරකට වඩා බැළුවෙමි.තාත්තා සෑම තත්පර දහයකටම වරක් ඒ දෙස බැළු අතර මල්ලී ඇසිපිය නොහෙලා ඒ දෙස රවාගෙන උන්නේය.

ඔබ එය සාක්කුවෙන් ඇද පොඩි එකාට දික්කල අතර ඔබ හැමදාමත් රස කැවිලි ගෙනන බව දැන සිටි, පුංචි එකා සමඟ රණ්ඩු කරමින් ඒවා කෑ නංගී වහාම එය උදුරා ගත්තේ පෙරේත කමට නොවන බව ඇගේ බැරෑරුම් මුහුණ දැකීමෙන්ම මම තේරුම් ගතිමි.ඇය ඒ මල්ලට එබී බලා අනතුරුව මුළු මනින්ම එය පොඩි එකාට දිගු කලාය.

ඔබටත් මටත් ඔහුටත් සම්බෝලයි බතුයි අනා එකටම කැවූ මගේ අම්මා _පොඩි එකාගේ අත්තම්මා_ ඔහු දෙස බලා උන්නේ මේ දැන් මුණුපුරා මැරී වැටෙනු ඇතැයි සංකා සහිතවය.
මේ අපට කුමක් වූවාද?

මට ඔබ දෙදෙනාම අහිමි වූවාද?තාමත් මට වටහා ගත නොහැක.

නමුත් දයාබර මිතුර,

තවමත් අපේ මිත්‍රත්වය නිම වී ඇතැයි මට නොහැඟේ.එයට විෂ බිඳුවක් එක් වූවා පමණි.එදා මෙන්ම පවිත්‍ර හදවතින් මට ඔබගේ කරට අත දමා ගත නොහැකි බව සත්‍යකි.එදා මෙන් පිරිසුදු සිතින් ඔබ හා මුසු විය නොහැකි බව සත්‍යකි.ඔබේ නිවසට ආ ගිය නොහැකි බව සත්‍යකි.නමුත් අපේ මිත්‍රත්වය මිය ගොස් නැති බවද එමෙන්ම පරම සත්‍යයකි.අපි මදක් හදවතින් ඈත් වූවා පමණ.

එය මට දරාගත නොහැකි වේදනාවකි.මතක ඇති කාලයක අපි තිදෙනා වෙන් වී සිටියේ නැත.එකි නෙකාගෙන් ඈත් වී ජීවත් වන විදියක් අපි තුන්දෙනාම දැන උන්නේ නැත.ඔහු නැත.නැත්තටම නැත.දැන් මට ඉතිරි ඔබම පමණි.ඔබත් මට අහිමි වේද?

මේ ජාතිය,ආගම,අන්තවාදය සම්බන්ධ කරුණක් නොවේ..අනේ දෙවියනි එබඳු කිසිම කරුණක් නොවේ.

ඊට එකම හේතුව හුදෙක් මා මගේ ජීවිතයට ආදරය කිරීමය.මගේ ආදරණීයයන්ගේ ජීවිත වලට මගේ ජීවිතයටත් වඩා ආදරය කිරීමය.

එබැවින් සැකයේ වාසිය ඔබට ලබා දිය නොහැක.

 එය මගේ හදවතින් කොටසක් ඉවත් කිරීමක් සේ මා දවයි.

එහෙත් හදවතේ කැබැල්ලකින් හෝ පණ කෙන්ද ගැට ගසා ගැනීම නුවණක්කාර බව මගේ බුද්ධිය අණතුරු අඟවයි.

එහෙත් මට ඔබ හැර දැමිය නොහැක.එබැවින් මදක් දුරස්ව හෝ තාමත් ඔබ වෙත රැඳෙමින් සිටිමි.ඒ ඔහුගේ අහිමි වීමේ වේදනාව උසුලා ගනිමින්මය.

නමුත් ඔබ තාමත් අපේ  සැබෑ...සැබෑ..සැබෑම මිතුරා බව ඇතැම් විට කාලය විසින් ඔප්පු කරනු ඇත.එතෙක් බලාපොරොත්තු සහගතව නමුත් විමසිලිමත්ව මම ඔබ සමීපයෙන්ම ඉමි.

-සිංහල බෞද්ධ-