මගේ පාසල් නිවාඩු කාලය මට කිසිසේත්ම විවේක
සුවයෙන් ගතකිරීමට නොහැකි වූයේ වසර 40 පමණ පැරණි අපේ ගෙදර ට ෆුල් රෙපෙයාර් එකක්
දෙන්ට පටන් ගැනීම නිසාය.එම නිසා මාසයක් පමණ සයිබරයෙන් ඉවත් වී හිඳින්නටද මට
සිදුවිය.
මගේ වන් & ඔන්ලි මස්සිනාගේ කාරුණික
අනුග්‍රහය ලැබිච්ච හින්ද අපේ ගෙදර තිබුන සබ්බ සකලමනාවම පියවර දොලහක් එපිටින් තිබුන
එයාගේ ගෙදර තැම්පත් කලා.බඩු මුට්ටු පොදි ගහපු කාඩ්බෝඩ් පෙට්ටි පෙරහැරක් සැරන් සැරේ
පහල ගෙදරට ගමන් කලා
.
අන්තිමේදී තමයි ගෙදර තිබුන ලීබඩු එකින්
එක කෑලි කරන්ඩ ගත්තේ.නැන්දම්මයි මාමණ්ඩියි
සහයෝගයෙන් ගෙයි කොනක තිබුන කැබිනට් එකක් ගලවන්ඩ ගත්තේ මේ අහුඅස්සේ.මං කැන්දන්
ඇවිත් දැන් අවුරුදු හතරකටත් වැඩි වෙච්චි එදා මෙදා තුර ඒකට කවුරුවත් අත තබාවත්
තිබුනේ නැත.
එක පාරටම එතනින් පැන නැග්ගේ මහා
හිනාවක්.පුටු පුටු ග ගා මොන මොනවාදෝ කියවන සද්දෙකුත් ඒ එක්කම ඇහුනා.ඕනෑම ඕපයකට හා
කන් දැමීමේ ප්‍රවීනතාවයකින් යුත් මම සියළු වැඩ පැත්තක දාලා එතනට පාදුර්භූත වුනේ
ඇහි පිය සැලෙන මොහොකතින්.
සේරම වැඩ අතරමැද දමා මමත් එතනින් තප්පලං ගසා
ගතිමි.මා වෙනුවෙන් නිධාන කතාව පවසන්නට තරම් තාත්තා අනුග්‍රහශීලි විය.
පියදාස එකල පවුලේ හිත මිත්තරයෙක් විය.තාත්තලා
එකල ජීවත් වූ ගම් පියසක විසූ හේ පංසලේ ප්‍රධාන දායකයා විය.භාවනා සමිතියේ සභාපති විය.පාසැලක ගුරුවරයෙක්ද විය.
මෙසේ දැහැමෙන්
සෙමින් ජීවත් වන අතර ඔහු සෝ සයුරේ
ගිල්ලමින් ඔහුගේ හිතාදර බිරිය මිය ගියාය.දරුවන් තිදෙනෙකු සමඟ මෙලොව හුදෙකලා වූ
ඔහුට කෙමෙන් කෙමෙන් හුදකලාව දැනෙන්නට විය.මැදිවයසේ හුන් ඔහුට
යලි විවාහයක් කර දීමට ඥාති හිත මිත්තර කිසිවෙක් උනන්දු නොවුනේ
ඉස්මුරුත්තාවටම ආ ධර්මිෂ්ට කම නිසා ජීවිතයේ ඉතිරිය අනගාරිකව සිටීවියැයි උපකල්පනය
කල නිසා විය යුතුය.
දිනක් ඔහු සමිතියේ ලේකම් ගේ ගෙදරට ගොඩ වුනේ දෙපැත්තම පුරවන ලද හාෆ්ෂීට් කොලයක් පරිස්සමට
ඔතාගෙනය.
“මේං මේක උඹල සමිතියෙන් දාන විදියට පත්තරේට දාල
දියං“
එය ලේකම් - තාත්තාට දෙමින්
පැවසුවාලු.
කොහොමිං කොහොමිං හරි එය පත්තරේට නොගිහිං කැබිනට්
ලාච්චුවක් පතුලේ නිදං වී ඇත.එදා හමුවන
තුරුම.අළුත් පදිංචියත් සමඟ ඔහු උන්නදැයි මලාදැයි නොදන්නා බව අම්මා කීයේ දැන් ඔහු විවාහකදැයි මා ඇසූ පුස්නයටය.ඔහුගේ
වයස අනුව මේ වන විට ඔහු වැලලූ තැන ගසුත් පැලවී තිබීමට පුළුවන් බවත් දරුවන්
තිදෙනාගෙන් දෙදෙනෙකුම විදේශ ගතවූ බව නං දන්නා බවත් තාත්තා කීය.
මේ ඒ ලිපියයි
යුධ හමුදාවේ මාණ්ඩලික නිලයක් දරා බිරිඳගේ
බලවත් ඉල්ලීම පරිදි ඉන් අස්වී ඇත.ඉන් පසු කොළඹ ******* අමාත්‍යාංශයේ විධායක
නිලධාරියෙක් ලෙස වසර දෙකක් සේවය කර ඇත.එයිනුත් බිරිඳගේ ඉල්ලීම නිසයි අස්වී
තිබෙන්නේ.ඇයට උවමනා වී තිබුනේ තම ස්වාමියා නිවසේම තබාගෙන සිටීමටයි(ඒ ආදරය වැඩි
නිසයි)
එසේම ගමේ උදවිය ද මේ මහතාට සලකන්නේ
දේවතාවෙකුට ලෙසිනි.මෙතුමා **************** පංසලේ සීල සංවිධානයේ භාවනා උපදේශක නිසා
අපිම ඒ මහතා නැති අවස්ථාවක යෝජනා කර ගත්තේ නැවත විවාහයක් කර දීමටයි.
ඔහුට එය ඉදිරිපත්
කල විට ඔහු ආදරය, කරුණාව දයාව හඳුනන නිහඩ
ජීවිතයක් ගත කිරීමට යන හර බර වචන ගොඩක් යොදා කීවේ එහෙම අයෙක් ලැබුනොත් අකමැත්තක් නැති බවයි.**************** ජාතික
පාසලේ විශ්‍රාමලත් විදුහල්පති වන**************** මහතාද මෙතුමාගෙන් උපදෙස් ලබා
ගන්නා නිසා ම ඔහුගේ මැදිහත්වීම නිසාම අපි සියළුදෙනා ඉතා අමාරුවෙන් එතුමාව කැමති
කරවාගෙනයි මේ ලිපිය ලියන්නේ.
මේ මහකාගේ බිරිඳ විද්‍යා උපාධිදාරි ගුරු
මහත්මියක්.ඇය තම ස්වාමියාත් දරුවනුත් සමඟ සෑම පාසල් නිවාඩුවකටම වන්දනා ගමනක්
යනවා.තමන්ගේ වාහන වලිනුයි යන්නේ.
මේ මහත්තයයි නෝනයි ඩ්‍රැයිවරුයි දරුවනුයි
තමන්ගේ කාර් එකෙන් දින 02ක වන්දනා ගමනක් ගිය අවස්ථාවක අදික රුධිර පීඩනය නිසා නෝනා
මියගොස් ඇත. ** ශ්‍රී කාරයක්ද ශ්‍රි ලාන්සර් වර්ගයේ කාරයක්ද ඇත.
ජීවත් වීම සඳහා බැංකු ගිණුම් වල තැන්පත්
මුදල් ඇත.රබර ඉඩමක්ද මැලේසියානු රඹුටන් වගාවක්ද (කුඩා කල සිට අල්ලපු ගෙදර විසූ
තාත්තා දැක ඇත්තේ නං ගස් 5ක් පමණයිලු) ලක්ෂ 20 පමණ වටිනා දෙමහල්
ගොඩනැගිල්ලක්ද(නිවසක්??????) ඇත.අංග සම්පූර්ණ ලක්ෂ ගානක ගෘහ භාණ්ඩද ඇත.
(මෙය අපහාසය තකා නොව හුදෙක් උපහාසය තකා කරන
ලද ඉදිරිපත් කිරීමක් වන අතර මිනිසාගේ සිතිවිලි හා ඒවා එලි දක්වන විෂම ආකාරයන් පිළිඹද මඳක් සිතා බැලීමට ඔබ යොමු වෙතැයි උදක්ම
සිතමි)