Showing posts with label හිත උදුරා ගත් පොතක්. Show all posts
Showing posts with label හිත උදුරා ගත් පොතක්. Show all posts

Thursday, April 6, 2017

“උඹ මහම මහ වල් එකියක්“

“උඹ මහම මහ වල් එකියක්“

මේක ගුරුවරියක් අහගන්න වටින කතාවක්ද?ඒ මදිවට ඉස්කෝලයක් ඇතුලෙදීම

මේ චෝදනාව එල්ල කලේ මගේ ගුරුවර මිතුරියකි.පාසලේ ගුරු විවේකාගාරය තුලදීය

අවුරුදු තිහක් තිස්සේ රැකගෙන ආපු හොඳ නම ඉවරෙටම ඉවරයි..අනිත් උන් නං මදැයි ...යාළුවො කියල හිතං උන්න එවුනුත් මට මෙහෙම කයි කතන්දර කියද්දි රට්ටු මොනව කියයිද?

මේ තරම් කැත කතාවක් අහගන්න මම කලේ එකම එක වැරැද්දයි.

ඒ ක්‍රිස්ටියන් ග්‍රේ ට ආදරේ කරපු එක විතරමයි.

ක්‍රිස්ටියන් ග්‍රේ ...???

ඔහු සියැටල් වල පෝසත්ම අවිවාහකයාය.ලෝකයේ හොඳම නැව් නිපදවන්නාය.පුද්ගලික හෙලිකොප්ටරකද ජෙට් යානයකද අයිති කරුවෙකි.පැයටකට රුපියල් ලක්ෂයක් උපයන්නෙකි..

නමුත් මා ඔහුට ආදරය කලේ මේ කිසිවක් නිසා නොවේ..

“ක්‍රිස්ටියන්..මට ඕනෑ ඔයයි...ඔයා පමණයි...නැතුව ඔය විකාර නොවේ...“ඇනස්ටාසියා ස්ටීල්ද ඔහුට කියා ඇත.

මට ඔහු හමු වූයේ රංජිත් කුරුප්පු මහතා විසින් කරන ලද ප්‍රේම සැදෑවෝ පොත් පෙල තුලිනි.එය E.L. James ගේ  Fifty Shades of Grey නම් පොත් පෙලේ පරිවර්තනයකි.මම පළමු කොටස මිතුරියක් සතුව තිබී කියෙව්වෙමි.එහි පිටකොලය පවා පාසලක දැක්මට නුසුදුසු යැයි සුචරිතවාදීන් චෝදනා කිරීමට ඉඩ ඇති බැවින් මම පත්තරකොලයකින් පිටකොලයක්ද දැමීමි.මම ඊට ආශක්ත වූ තරම් කිවහොත් මුළු දැරණියගලත් අවිස්සාවෙල්ලත් පීරා හමු නොවූ කල ෆාස්ට් පබ්ලිකේෂන් වෙත ඇනවුමක් යවා තැපෑලෙන් ගෙන්වා ගතිමි.
මා ඉහත චෝදනාවට ලක් වූයේ මේ නිසාය...

ක්‍රිස්ටියන් සාමාන්‍ය පිරිමියෙකු නොවේ...සමාජසේවා කටයුතු සඳහා ප්‍රකෝටි ගනන් මුදල් වියදම් කරන්නෙකි..ලෝකයේ බඩගින්න නැති කිරීමට හදවතින්ම කැපවූවෙකි...

ඉතින් ඔහුට ආදරේ නොසිතේද?

නමුත් ඔහු පරපීඩා කාමුකයෙක් නම්....

මම  ඔහේ කරන්නන් වාලේ කරන කෙනෙක් නෙමෙයි. 

ගැහැණියකට දැනෙන්න ඒ දේ කරන කෙනෙක්..ඔහු ඇනා ස්ටීල්ට කීවේ එසේය.

ස්කාලා ගොඩනැගිල්ලේ තිස්වෙනි තට්ටුවේ වූ ඔහුගේ අති විශාල නිවස්කඩේ පරපීඩා කාමරයක්ද වේ.ක්‍රිස්ටියන් ඊට කියන්නේ රතු කාමරය කියාය.ඔහු සමඟ ගැහැණුන් පහලොස් දෙනෙකු වරකට එකා බැගින් ඒ කාමරය තුලට ගොස් ඇති අතර ක්‍රිස්ටියන් ඔවුන්ට දැනෙන්න “ඒ දෙය“ කර ඇත.

ඉන් එක් ගැහැණියක් සිවිලිමේ ඇති කොකු  වල එල්ලූ බව ඔහුම පිලිගෙන ඇත.ඒ මදිවාට කාමසම්භෝගය පිළිබඳ ටියුෂන් පංතියකටද සහබාගි වෙන්නෙකි.

ඇනා ස්ටීල් අහිංසකය.පරපීඩා කාමුකත්වය තබා කිසිඳු කාමුකත්වයක් ගැන ඇයට අත්දැකීම් නැත.
“අවුරුදු විසි එකක් ඔයා ලිංගිකත්වය මඟ ඇරල ජීවත් වුනේ කොහොමද??/“ක්‍රිස්ටියන්ද සැබෑම මවිතයෙන් ඇයගෙන් ඇසුවේ එබැවිනි.

බිඳී ගිය පවුල් සංස්ථාවක්  මැද සුළු පියා සමඟ වැඩුනු ඇය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය ඉංග්‍රිසි සාහිත්‍ය සම්බන්ධ උපාධි අපේක්ෂිකාවකි.

ඔහුගේ රතු කාමරය ඇය දකින්නේ මධ්‍යකාලීන යුගයේ උසාවියක් හෝ සිරගෙයක් ලෙසිනි.
නමුත් ඇය පෙම් කරන්නේ එහි සිවිලිමේ ඇයව එල්ලා තැබීමෙන් හෝ ඇයට කසපහර දීමෙන් තෘප්තිමත් වීමට කැසකවන පිරිමියෙකුටය.

 ඇය ඔහුගෙන් වයින් බෝතලයක් සමඟ තෑගි ලද බැලුම් බෝලය නවා කොට්ටය යට තබා ගැනීමට තරම් ආදරයේදී භාවාතිශ තැනැත්තියකි..

ඔහු යහනට නැගීමට පෙර ගැහැණියගේ අත් පා ගැට ගසා මුකවාඩම් දැමීමට කැමති අයෙකි.

ඇය ඔහුගෙන් ආදරය පමණකි ඉල්ලන තැනැත්තියකි.


ඔහු කාර් ලැප්ටොප් ටැබ් සියල්ල දුන්නත් ආදරය දීම මානසික වහල් බවක් බව විශ්වාස කරන අයෙකි.

ප්‍රේම සැදෑවෝ නම් මේ දෙදෙනා ඒ පරතරය පියවා ගන්නා ආකාරය ගැන කතාකරන තැනකි.

සිය මිතුරිය ගේ පුවත්පත වෙනුවෙන් ක්‍රිස්ටියන් සමඟ අනපේක්ෂිත ලෙස සම්මුඛ සාකඡ්ජාවක යෙදීමට ඇයට සිදුවේ .සියල්ල ඇරඹෙන්නේ එතැනිනි.

මත්ලෝලී ගණිකා මව හා ඇය සොයා එන පිරිමින් ජීවිතයේ මුල් සතර වසරක කාලය මුළුල්ලේම  ක්‍රිස්ටියන් අපයෝජනය කල අතර.අවසානයේ ඔහුට ජන්මය දුන් වේසාවිය සියදිවි නසාගත් පසු පිංපියෙක් මිනිය සමඟ සතර හැවිරිදි දරුවා තනිකර දමා දොර වසා පිටතට ගොස් ඇත.

මිනිසුන්ට ඔවුන් සොයාගැනීමට දවස් හතරක් ගතවූ අතර  ඒ වන විට විජලනයෙන් පෙලෙමින් සිටි දරුවා රෝහල් ගත කෙරිනි.ග්‍රේස් නම් වෛද්‍යවරියගේ ඇස ගැටුනු ඔහු දරු පල නොමැති ග්‍රෙස් -කාරික් යුවලගේ පළමු දරුවා ලෙස පවුලට එක් කර ගත් අතර ඔහුගේ ජීවිතය ගොඩ නැගුවේ ඔවුන් දෙදනාය.
 ඒ මදිවාට ඔහු පහලොස් වියේදී හදාගත් මවගේ මිතුරියක් විසින් ඔහු පරපීඩා ලිංගික සම්බන්ධතා සඳහා පාවිච්චි කර ඇත.

මා පිය ආදර විඳි ඔහුගේ භෞතික ලෝකය සවිමත්ව ගොඩනැගුනත් මනස තාමත් ළදරුවියේ විනාශ වූ අයුරින්ම පැවතිනි.කිසිවෙකු සමඟ සමීප සබඳතාවක් ඇතිකර ගැනීමට බිය ඔහුගෙන් ඇනා පතන්නේ සසර සර ආදරයක් පමණි.

නමුත් ඔහුගෙන් ලැබෙනුයේ කෙලවරක් නැති කොන්දේසි හා මිලාධික තෑගි බෝගය.

ඔහු ගැහැණිය දුටුවේ මිලට ගෙන පාවිච්චි කල හැකි කාර් එකක් වැන්නක් මිස ඊට වෙනස් අයුරකින් නොවේ.ඇත්තෙන්ම ඔහුට පෙර හමු වූ ගැහැනුන්ද සැබෑවටම එසේමය.

නමුත් ඇනස්ටාසියාගේ මිහිරි ආත්මය ඔහු හඳුනාගත්තේය
.
ඇගේ ජීවිතයට අවැඩක් වෙතැයි සිතා ඇගෙන් දුරස් වීමට උත්සහා කලේය.

ඇය සතුටු කිරීමට රැක ගැනීමට  උත්සාහ කළේය.

ඇගේ ජීවිතය ඔහුගේ ආගම විය.මනෝ චික්ත්සකයා සමඟ පමණක් බෙදා ගත් රහස් ඇය හා බෙදා ගත්තේය.

ඇය නැති වේ යැයි බියෙන් සිය දුෂ්චරිතය ඇගෙන් සඟවා ගැනීමට උත්සහා ගත්තේය.


ඇය කිසිඳු පිරිමියෙක් ගැන අත් දැකීම් නැතිවම ඔහු ළඟට ආවාය.

අතිශයින් බිය උපදවන හා වේදනාකාරී ක්‍රම වලින් ඔහු සතුටු කිරීමට උත්සහා ගත්තත් සිය අනන්‍යතාවය බිඳ නොගැනීමට තරම් ආත්ම ශක්තියක් ඇති කර ගත්තාය.

ඔහුගේ පෞර්ෂය වර්ධනය වන කාලයේ එසේ නොවීම නිසා ඔහු මුහුන දෙන ගැටළු සියල්ල උපේක්ෂාවෙන් ඉවසුවාය.

අහස පොළව සේ  පරස්පර තම රුචිය හා ඔහුගේ රුචිය අතර මධ්‍ය ලක්සයක් සොයා වෙහෙසුනාය.

ඒවා සරල දේවල් නොවේ.ඔහු ඇයට ශාරීරිකව හා භාවාත්මකව රිදවූයේය.ඇය ඒ සියල්ල දරා ඔහු අසලින් හිඳ ඔහුගේ නරක අතීත මතක සියතින් පිස දැමීමට උත්සහ දරන්නීය.

ඒ මදිවාට ඔහු ආදරයයැයි කියන්නේ ඇය ආදරය යැයි අදහන දෙයට නොවේ...මේ සියළු අලකලංචි මැද ආදරය ජීවත් කිරීමට ඔවුන් දෙදෙනාම දරන වෙහෙස ඇසට කඳුළු නංවන සුළුය.

“මේ ලෝකයේ මා නොදන්නා පැති කඩක් තියනවා...ඔබ මගේ චිත්ත සන්තානයේ  මෙතෙක් මා අත් නොවිඳපු මට තේරුම්ගත නොහැකි දෙයක් ජනිත කර තිබෙනවා..එය මා අවදිකරන්නට නැගූ සයිරන් නලා හඞක් වගේ..“

අවසානයේ ක්‍රිස්ටියන් ඇය පිළිගත්තේය.ඇයට ආදරය කලේය.ඇය සමඟ යහන පමණක් නොව ජීවිතයද බෙදා ගැනීමට උත්සහා කලේය.නමුත් ඔහුගේ පැරණි යහන් සඟයන් ඔවුන් තනාගත් ජීවිතය මැදට වරින් වර බාධකව කඩා වදී....මා තවමත් කියෙව්වේ කොටස් 3ක් පමණි.දන්නා විදියට 4 කොටස තවම මුද්‍රණය වී නැත.

ඉතින් බියකරු අතීත සෙවනැලි වලින් මිදී තමාට සැබෑවටම ආදරය කරන ගැහැණිය සමඟ සතුට සොයා ගැනීමට වෙරදරන ඒ උත්සහවන්ත මිනිසාට ආදරය නොකර සිටින්නේ කෙසේද?

ආ...මේ පොත මරු..ආයෙ මුළු ක්‍රියාවලියම පටන්ගන්න තැන ඉඳන් ඉවර වෙනකල්ම තියනව....ඒක කියවනකොට මගෙ රෝඕඕඕඕමෝද්ගමනය වුනා.....මිතුරියක් පැවසුවාය....නංගිට එහෙම අහු වෙන්න තියන්න එපා..උපදෙස් ද දුන්නාය...

මෙය ඇමරිකා ජාතිකයෙකු විසින් ලියන ලද්දක් විය යුතුය...කතාවට පසුබිම්ව ඇත්තේ ඇමරිකාවේ නගර ආදියයි.

ඇමරිකාව ගෙදර කවුරුත් නැති ලොවක හෝ  ගෙදර උදවිය තුන් නින්දත් නිදන වෙලාවක දොර යතුල්ලාගෙන නිශ්ශබ්ධව “ඒ දෙය “ කරන රටක් නොවේ.අම්මට සිරි ලංකාව වැනි ලිංගිකත්වය කුණුහරුපයක් සේ සිතන මිනිසුන් සිටින රටක් නොවේ...

මේ පොත පුරාම ඇනා හා ක්‍රිස්ටියන් ලිංගිකව හැසිරෙන ආකාරය පියවර සහිතව විස්තර කෙරේ....

ඔවුන් කියවූයේ එයයි....

මම මහා වලත්තියක් ලෙස ඔවුන් දකින්නට ඇත්තේ ඒ නිසා විය හැක.

නමුත් මා කිය වූයේ ඔවුන් ලිංගිකව හැසිරුනු ආකාරය නොවේ.

තමා ආදරය කරන පිරිමියා සතුටු කිරීමට ශාරීරික වේදනා උසුලමින් තම තෘප්තිය කැප කල ගැහැණියකගේ හදවතයි...
තමා ආදරය කරන ගැහැණියගේ සතුට වෙනුවෙන් අතීත කටුක වේදනාවේ මතක දරා ගනිමින් ජීවිතය පරිවර්ථනය කරගැනීමට උත්සහා කරන පිරිමියෙකුගේ ආත්මයයි.

ඒ නිසා මගේ සිත වේදනාවෙන් සතුටින් හා තෘප්තියෙන් පිරුනා විනා රෝමෝද්ගමනය වූයේ නැත.

මා ගණනය කලේ ඔවුන් සුරතාන්තයට පැමිණුනු වාර ගනන නොවේ..

ඇනාගේ දෑසින් වැටුන කඳුළු කැට ගානය.

ඇනා වේදනාවෙන් හඞද්දී සිය හිස කෙස් ඇදගනිමින් ක්‍රිස්ටියන් නිහඞව වැලපුන වාර ගනනය.

ඇනා සතුටුවෙතැයි සිතා ක්‍රිස්ටියන් වරින් වර ඇය ඉදිරියේ දිග හල අතිත කතා ගනනය.

ඒ ඔස්සේ ඇය ක්‍රිස්ටියන් ගැන ලද අවබෝධයේ දිග පලලය

එබැවින් කාම කතාවක් කියවා ලබන තෘප්තිය ඉන් ලබා ගැනීමට මට නොහැකි විය.එය මගේ වරදක් විය හැක.මක් නිසාද යත් මා දැනටමත් සොයාගෙන ඇති ආකාරයට මගේ මොලේ අංශක කිහිපයක විකෘතියක් ඇත..

එබැවින් මගේ දෘෂ්ටිකෝණයෙන් මම වලත්තියක් නොවෙමි..

මගේ දෑස් උඩ ගියේ මෑත දී විවාහ වූ මිතුරියක් මගෙන් මේ පොත ඉල්ලද්දීය

“දැන් මං බැදලානෙ ...මං දැන් ඒක කියෙව්වට කමන් නෑ....“


“හුටා... මං එතකොටයි දන්නෙ අවිවාහක උදවියට ඒ පොත ගැන වාරණ නියෝගයකුත් දීල තිබුන බව

Sunday, June 5, 2016

සුනාමියකට මැදි උනෙමි


ස්ටීවන් ලිසෙන්බර්ග්,වික්‍රම් ලිසෙන්බර්ග්,නිඛිල් ලිසෙන්බර්ග්,මමී ලිසෙන්බර්ග්....මල්ලීගේ කටහඞ තණතිල්ල උඩින් පියඹා යයි.ඒ මුදු වදන් මද පවන විසින් මුළු පෘතුවි ගෝලය පුරා ගෙන යයි.එහි ගැබ් වූ සතුට සාමය ආදරය,අන්‍යොන්‍ය විශ්වාසය දෑතින් ස්පර්ෂ කිරීමට තරම් ගනකම්ය

මමී ලිසෙන්බර්ග් !!!!!...සොනාලි ඊට විරෝදය පායි.



“මල්ලී ඇයි ම‍ගේ නම් දෙකම වැරදියට කිව්වේ... ඒ මම නෙමෙයි“

නිවුයෝක් නුවර උද්‍යාන බංකුවක් මත හිඳ සිය අනන්‍යතාවය විමසා බලන ගැහැනියක්...“මමී‘ යන පදවියෙන් තොරව තමා කවුදැයි වටහාගත නොහැකි ගැහැනියක්...එත් තත්පරයකින් මුළු ලෝකයම අහිමි වූ ගැහැනියක්,නටඹුන් වූ ලෝකය පීරා මතක වතකම් එකින් එක සීරැවෙන් රැස් කරන ගැහැනියක් ..

සොනාලි දැරණියගලගේ දෙනෙතින් උතුරා යන කඳුළු මගේ දෙකොපුල් ඔස්සේ රූරා වැටෙන්නේ කෙසේදැයි මට නොහැඟේ.

2014 දී සීමා බිඳගෙන ගොඩ ගැලූ උදම් රල පහරට අසුව ‍ෙසානාලිගේ ලෝකය සේදී ගියේය.

ඇගේ සැමියා..දයාබර ස්ටීව්,පුතුන් වික් හා මල්ලී...අම්මා තාත්තා යන සියල්ල ලවන ජල‍යේ සේදී ගියේය.
ඒ සා ආදරණීය පවුලක්,සංස්කෘතින් දෙකක් යා වුනත් ඒ සා අවබෝධයෙන් සිටි පවුලක්,ඒ සා සුරතල් දරු පැටවුන් දෙදෙනෙක්...මට අදහා ගත නොහැක..අදහා ගත නොහැක...

උගුරේ පෙරලෙන හැඩුම නවත්වා ගත්තත් කඳුළු නොනවතී...වැහිබිඳු තරම් කඳුළු කැට උකුලේ තබා හිඳින පොත මතට වැටේ..

එදා සොනාලිගේ ලෝකය ගිලී ගිය ලවන තලය මැද මගේ හදවතද කිඳා බහිනු දැනේ...

හිත් පිත් නැති රළ කුමක්වත් නොවුනා සේ මගේ උකුල උඩ නිහඞය ..නිශ්චලය...

මුහුදු රළ සේමය..තමා කල විපතක තරම කිසිසේත් හඳුනා නොගෙන පසුතැවීමකින් තොරව තවමත් නගින බසින මුහුදු රළ සේමය

 ලන්ඩනයේ පදිංචි ඔවුන් මෙරටට පැමිණියේ මරනය සොයා නොවේ...තම ආදරණීයයන් සමඟ නත්තල සැමරීමටයි.නත්තල සාමයේ පණිවිඩය ලද දවසයි...

එහෙත් මේ දරුණු මුහුදු රකුසා සොනාලිගේ ලෝකය මකුළු හුයක් සේ කඩා බිඳ දැමීමට එදාම තෝරා ගත්තේ මන්දැයි මට නොවැටහේ.

මුහුද තම ආක්‍රමණය සඳහා නත්තලම - සාමයේ දවසම තෝරා ගත්තේ ඇයි?? මට නොවැටහේ..

සුනාමියෙන් වසර 10කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත.ස්ටීව්,වික්,මල්...සොනාලිගේ ලෝකයෙන් නික්ම ගොස් වසර දහයක් ගතවී ඇත.

එහෙත් ඇය තාමත් ඔවුන්ගේ උණුසුම විඳින්නීය....ඔවුන්ගේ ආදරය විඳින්නීය..ඔවුන්ට ආදරය කරන්නීය...සොබාදහම සිය කුරිරු හස්තයෙන් වෙන් කලත් සොනාලිගේ හදවත තුලතවමත් ඔවුන් ජීවමානය...සදාකාලික නොමියෙන ආදරයක මල ගම පැතු සොබා දහම පරාජය වී ඇත.පරාජය වී ඇත.


නිවුයෝක් නුවර හීතල කාමරයක බිත්ති මැද පවා තවමත් ඇය සිය ආදරය දල්වා ගෙන හිඳී...

වික් ස්ටීව් හා මල් නැතිව තමාට අනන්‍යතාවක් නැති බව ඈ පවසන්නීය..එහෙත් ඇය නොදන්නා විය යුතුය..ඔවුන් නැතිව- ඔවුන් සමඟම ඇය අළුත් අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් හිදී...

ඈ සොනාලි දැරණියගල නම් ලේඛිකාවයි...ස්ටීව්ගේ ආදරය අවබෝධය,මල්ගේ හුරතලය හා වික්ගේ නිමක් නොවන ප්‍රශ්න ඇසීම් අහිමි වී ගියත් මේ සියල්ල අලලා ඇය ලියූ “රළ“මැද ඇගේ ඒ ජීවිතය සුරක්ෂිතය.

දැන් ලෝකයම දනිත් ඇය-මොඩ කොළුවන් තිදෙනෙකුගේ මමී ලිසෙන්බර්ග් වූවා සේම සොනාලි දැරණියගල බව.

ලෝකයක් අහිමිවීම තුල ලෝකයක් හිමිකර ගත්..අහිමි වූ සතුට මැද හිනාවක් ගොඩනගාගත් සැබෑම දිරිය ගැහැණියක් බව

සොනාලි දැරණියගලගේ - Wave(A memoir of life after the Tsunami)

ඔබත් කියවා බලන්න...විඳවීම විඳිමක් කර ගත් ගැහැණියකගේ කතාව

Wednesday, April 29, 2015

හිත උදුරා ගත් පොතක් මගේ පවුලයි අනිත් සත්තුයි

නව කතා විචාරය
ග්‍රන්තය-My Family & other animals
                Mr. Gerald Durrell
පරිවර්ථනය - රාණි සේනාරත්න  රාජපක්ෂ මිය

ජෙරි ඩරල් ලෙස ලොව පුරාම ආදරයට පාත්‍ර වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් ස්වභාව විද්‍යාඥයෙකු,සත්ත්වෝද්‍යාන පාලකයෙකු,වන ජීවි සංරක්ෂකයෙකු,රූපවාහිනී වැඩ සටහන් රචකයෙකු,පමණක් නොව ලේඛකයෙකුද වේ.තවද වඳ වී යන සතුන් සංරක්ෂණයේ ලා ඔහු සිදුකරන ලද සේවය ප්‍රසංසනීය වේ.
එහෙත් සියල්ලම සිදු වූයේ මීට බොහෝ කාලයකට පසුවය.
එවකට ජෙරී දස හැවිරිදි දරුවෙක් පමණි.ඔහුගේම වදන් වලින් නම්“සුකුමාර,භාවාතීශ “දස හැවිරිදි වියේය. එකල මිහිපිට  ජීවත් වූ වෙනත් දස හැවිරිදි දරුවන්ගෙන් ඔහු වෙනස් වූයේ ස්වභාව ධර්මය කෙරෙහි ඔහු දැක්වූ උමතුවකට ආසන්න ලැදියාව නිසාය.පවුලේ ඇත්තන්ගේ විරෝධය ,සරදම,හා කලාතුරකින් දක්වන ලද අනුග්‍රහය මැද ඔහුගේ මුළු ජීවිත කතාවවේම කටු සටහන ඇඳ ගන්නා ලද ආකාරය පියවරෙන් පියවරට “මගේ පවුලයි අනෙක් සත්තුයි“ කෘතියෙන් ගෙන හැර දක්වා ඇත.
ඩරල් පවුල ග්‍රීසියට ආසන්න කොෆූ දිවයිනේ ගත කරන ලද ආනන්ද ජනක මතකාවර්ජනයක් බඳු මෙම කෘතිය දස වියැති දරුවකුගේ දෘෂ්ඨි කෝණයෙන් ලියවී ඇති නිසා වැඩිහිටියන්ගේ ඇතැම් ක්‍රියා දරුවෙකු කෙතරම් හාස්‍ය ජනක ලෙස ග්‍රහනය කර ගන්නවාදැයි සිතෙත්ම සිතේ ඇති වන්නනේ මඳ සිනාවකි.කුඩා ජෙරී සිය දෑසින් විඳ ගත් සියල්ල හා එහි ඇතුලාන්තයේ ගැබ්ව ඇති හාස්‍ය රසයට අප කැඳවාගෙන යාමට ඔහුගේ බස් වහර සමත් වී ඇත.පරිවර්ථිකාව එහිදී දක්වනු ලැබූ ප්‍රතිභාවද මෙහිදී අමතක කල නොහැක.
ඔහුගේ බස උචිතම වදන වලින් උචිතම ස්ථාන වල යොදා ඇත.එය විටක මධුර මනෝහර වේ.තවත් විටෙක හාස්‍ය ජනක වේ.
“ක්‍රම ක්‍රමයෙන් දිවයිනේ චමත්කාරය මලක පරාග තැන්පත් වෙන්නා  මෙන් මුදු ලෙස,ස්ථිර සාර ව අප වසාගෙන තැන්පත් විය.හැම දවසක්ම කාලයෙන් ඔබ්බෙහි පිහිටියා වැනි ශාන්ත බවකින් යුක්ත වූයේ කවදාවත් දවස කෙලවර නොවන්නේ නම් හොඳ යැයි සිතෙයි.එහෙත් රැයෙහි අඳුරු පටලය කුමයෙන් පහව යයි.ළමා චිත්‍රයක් මෙන් අලංකාර ,එතරම්ම යථාර්ථයෙන් ඈත් වූවා සේ දැනෙන වෛවර්ණවත් තවත් දවසක් අප එන තෙක් බලා සිටී“.මෙහි බස හසුරවා ඇත්තේ ශෘංගාර රසය ඉස්මතු කරවා අප තුල ශාන්ත රසයක් ඇති කරලීමට සමත් ආකාරයෙනි.නැගෙන පෙරලෙන උදම් රළ සේ වෛවර්ණවත් හැඟීම් දහරාවක් අප සිත එක් නිමේෂයකට ස්පර්ෂ කිරීමට සමත්වේ.“  අඩ සිහියෙන් පසුවන විශාල සොසේජයක් බඳු බලු පැටියා කිහිලි ගන්නාගත් අම්මා කාරයට ගියාය.එය පදවා ගෙන ගෙදර ආවේ මේ අළුත්ම සාමාජිකයා පවුලේ අයට ආඩම්බරයෙන් පෙන්වන අටියෙනි.මේ අවස්ථාව සිහි කටයුතු එකක් බවට පත් කරගැනීමට අධිෂ්ඨාන කර ගත් බලු පැටියා කාරයට ඇතුළු වූ වේලේ සිට පිට වෙන තෙක් ම හොඳටම වමනය කරන්නට විය.....................මෙහිදී බස හසුරවා ඇත්තේ හාස්‍ය රසය දැනවෙන අයුරිනි.එකම පුද්ගලයෙකු  තුල පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින අතර ඒ එක් එක් පුද්ගලයා වරින් වර කරලියට පැමින විවිධ ශිල්ප දක්වමින් රසිකයා කුල්මත් කිරීමට සමත් වේදිකා නාට්‍යක් බඳු කෘතියකි මෙය.අප තුල සංකල්ප රූප මවමින් ජෙරී එදා විඳි අත්දැකීම් වල මතක සුවඳ මේ සා කාලයකට පසුවත් අප වෙත ගෙන ඒමට රචකයා සමත් වි ඇත්තේ නිරුත්සාහයෙනි.
තවද සිය පවුලේ ඇත්තන් තමාගේ සත්ත්ව ලෝලීත්වය  සමග ගැටුනු අයුරු ද්වේෂයෙන් නොව හාස්‍ය ජනක ලෙස   දැකීමට කතු වරයා සමත් වී ඇති හැටි අපූරුය.“කපුටු පවුලේ සදාචාරය ගැන මට දැනටමත් දේශනාවක් ලැබිලයි තියෙන්නේ.........ඇයි තමුසෙලා කවුඩු පනික්කි වන්දනාව පටන් ගන්නේ නැත්තේ දේවාලෙකුත් හදාගෙන.....“ලොරීගේ අවලාද වලින් පාඨකයා කුපිත නොවන්නේ ඊට පෙර නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කර ගත හැකි තර්ක  ලොරීගේ චරිතය විකාශය කිරීමේදී ජෙරී ඉදිරි පත් කර ඇති නිසාය.
“ලොරී කෙතරම් මරණීය පෙනුමක් පිළිබිඹු කලේද යත් පනික්කන් වහාම අනතුරින් මුදවා ගත යුතු යැයි මට සිතුනි.“යමෙක් දකින යථාර්ථයෙන් ඉඳුරාම කණපිට ,සිද්ධියක් දැකීමට ජෙරී තුල වූ දක්ෂතාවය නිසා මුළු පොත පුරාවටම පාඨකයාට එකම ප්‍රහසන නාටකයක් තාත්විතව වින්දනය කිරීමට හැකියාව ලැබී ඇත.
එසේම ඔහු විසින් සපයාගෙන ඇති  උපමා ද ස්වභාව විද්‍යාවට අදාල ව තෝරාගෙන තිබීමම ඔහු ඒ  විෂය සම්බන්ධයෙන් කෙතරම් උම්මන්තකයෙකුදැයි අපට වටහා ගත හැක.  “වයසට ගිය පෙන්ගුයින් කුරුල්ලෙකු“ වැනි උපමා බහුලව යොදාගෙන ඇත.ඒ සියළු උපමා නව්‍යතාවයකින් යුක්තය.අපට නුහුරු නුපුරුදු අත්දැකීම්ද අප කිසි සේත්ම නොදන්නා රුචි නොකල විෂයක් අප වෙත සමීප කරවීමට ජෙරි සමත් වී ඇත.
සත්‍ය වශයෙන් ම පාඨකයාට හැඟී යනු ඇත්තේ තමාද දස හැවිරිදි වියේදී ජෙරී සමඟ කොෆූ දිවයිනේ සිටි බවය.ඔහු සමඟ ඒ අත්දැකීම් වලට මුහුන දුන් බවය.ඩරල් පවුලේ සාමාජිකයෙකු බවය.
ස්වභාව විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන අයෙකුට මෙය පාඨ ග්‍රන්තයකි.නමුත් ඒ පාඨ ග්‍රන්තයේ නීරස භාවය නැති කිරීමට විචිත්‍ර පෞර්ෂයන්ගෙන් යුතු ඩරල් පවුලේ ඇත්තෝ සමත් වී ඇත.එහිදී පරිවර්තිකාව මේ නුහුරු පරිසරය සහ නුහුරු අත්දැකීම් අපට සමීප කරවීමට  සාර්ථක උත්සහායක් දරා ඇත.
සමස්ථයක් ලෙස ගත් කල “මගේ පවුලයි අනෙත් සත්තුයි“ සාහිත්‍ය අඹර තුල ඇති දීප්තිමත්ම තරු කිහිපයෙන් එකක් බව අවිවාදයෙන්ම පිළිගත යුතුව ඇත.

ඩබ්.කේ