මේ මොන නාස්ති කාරකමක්ද ළමයිනේ..අපි පොඩි කාලෙ
අයියටයි මටයි අරන් දෙන්නෙ එකම එක ගල් කූරයි.ඒකත් සත පනහයි.අපි ඒක දෙකට කඩල බෙදා
ගන්නවා.ඇඟිලි වලින් අල්ලන්ඩ බැරි තරම් කොට වෙනකොට අපි ඒකට පොඩි උන බට කෑල්ලක්
ගහලත් ලියනවා...අපේ වැරැද්ද ....මේක අපේ වැරැද්ද...අපි උඹලට සැප දෙනව වැඩියි
ළමයිනේ .....
අනුමත නොකරන රැවුමකින් කැත වුන තාත්තාගේ
මුහුණට ඉහලින් ,උවමනා ප්‍රමාණයටත් වඩා දිගට වැවුනු ඔහුගේ කැරළි කෙස්ද කැරලි
ගැහුවේය.
නඩු භාණ්ඩය වූ පිටු හාරසියයයේ සී .ආර් පොත ඔහුගේ ඇඟිලි අතර තෙරපී ඉකි ගසනු
පෙනුනි.චූදිතයා වූ මා බිම බලන් උන්නේ නඩු භාණ්ඩයට හිමි වනු ඇති විවිධ ඉරණම්
උපකල්පනය කරමින් බියපත් වෙමිනි.
එය ලිපට යාවිද,දුං කාමරයේ උඳුනට යාවිද එහෙමත්
නැත්තං පිටු ඉරා අබ්බගාත කරන ලදුව අගලපල්ලට විසිවේවිදැයි කිව නොහැක.
මොකාද මේ හැලි වඳුරා...සී ආර් පොතේ පිටුවක
සුවපහසුවට ඉඳගෙන තමා දෙස බලා ඇසක් ඉඟි මරන මගේ ප්‍රථම ප්‍රේමය දවා හළු කරන තරම්
බැල්මක් ඔහුගේ දෑසේ වෙයි.
අහෝ!! මේ මගේ ජීවිතයයි.මේ මගේ හදවතයි...මේ
මගේ ආත්මයයි.කෑ මොර දෙන ආත්මයක් සහ ගොළු හදවතක් උරුම මගේ ජීවිතයේ පැහැයන් තවරා
ඇත්තේ මේ පිටු මතයි.අන් තැනක නොවේ...දැන් ඉතින් ඒ සියළු පැහැයන් බොඳව ගොස් අළු
පැන්සල් රේඛා පමණක් ජීවිතයට ශේෂ වනු ඇත.මෙය පමණ ඉක්මවා ගිය වේදනාවකි.දා හතර
හැවිරිදි හදවතකට ඔරොත්තු නොදෙන තරම් වියෝගයකි.
“ඉතින් මං මෙතන තමයි....උඹ මට මොකද කරන්නේ“
පිටු අතර ඉඳ ෂාරුන් ඛාන් තාත්තාගෙන් ප්‍රශ්න කරන නිහඞ හඞ මට ඇසෙයි...
“ඒ මදිවට හැමතැනම මල් අලවලා....අපෙන් බොරු
කිය කියා සල්ලි අරගෙන ඉස්ටිකර් කාඩ් අරගෙන මේව තමයි
කරන්නේ..නාස්තිකාරකම...නාස්තිකාරකම..“.
“නෑ...නෑ..මං බොරු කීවෙ නෑ ..ඇත්තමයි තාත්තේ
මං අවුරුද්දට වැඳල හම්බකර ගත්ත සල්ලි වලින් තමයි ඒව ගත්තෙ..“
“හොටු පෙරන සින්දු කෑලියි...මොනවද මේ
රචනාද?නෑ නෑ අමුතු නං...මොනවද මේ ලියල
තියන විකාර..“
“ඒ ඒ...ඒ.. පොත් වල....“
“ආ....ආ...මේක ගන්නව...මේ විකාර නැතුව පාඩම්
වැඩ කරනව....ආයෙ එහෙම කරල අහුවෙන්නෑ....“
අවසානයේ ක්‍රිස්තු වර්ෂ 2005ක් වූ එක් තෙත්
බරිත හැන්දෑවක මගේ හදවත භූමදානය කරන තරම්
වේදනාවකින් මම ඒ නඩු භාණ්ඩය පරණ කාඩ්බෝඩ් පෙට්ටියක දමා අටුවට දැම්මෙමි.ඒ පිළිබඳ වූ
මගේ මතකය කාළයේ වැලිතලාවෙන් වැසී යද්දී..අටුවේ ඈතම මුල්ලේ දූවිලි කැරපොතු හා මී
වසුරු ගොඩක් මැද එරී නඩු භාණ්ඩය එසේම පැවතිනි....වසර දහ තුනකට පසුව මා විසින්ම එය
ගොඩ ගන්නා තුරුම.
අතීත ප්‍රේමයේ වියෝගයන් එකින් එක මා ඉදිරියේ
සිතුවම් වෙද්දී ප්‍රීතිය හා වේදනාව සම්මිශ්‍රණය වූ හැඟීමකින් මම එකිනෙක පිටුව දිග
හරින්නට වීමි.
“චැරීට්!! සන්තෝස වන්න....යානි ගොපල්ලා ජෙරී
ඩරල්ට කීවේය..එළුවෝ ගොතගසන්නා සේ එකිනෙකාට කෑගසමින් ඔලිව් ගස් අස්සේ ගලා
ගියහ....බට්ටිච්චෝ මහත් කලබලයෙන් නද දුන්නහ.මර්ට්ල් පඳුරු අතරේ සිටි රොබින්
කුරුල්ලෙක් ඉදුනු නාරං ගෙඩියක් මෙන් ළය පුම්බා ගීතයක් ගායනා කළේය.පින්නෙන් පෙඟී
ගිය,උදා හිරු කිරණික් ප්‍රමුද්ත වූ දිවයින පිබිදෙන ජීවයෙන් ප්‍රාණවත් විය..සන්තෝස
වන්න!!!මෙවැනි සමයක වෙනත් දෙයක් විය හැකිද?“එහි පළමු පිටුවේම මගේ පොල්ගෙඩි ළමා
අත්අකුරෙන් ලියා තිබිණි.
මේ කොෆූ දූපතේ මෙන් ලංකාවේ සබරගමුවේ මර්ට්ල්
පඳුරු ඔලිව් ගස් හෝ රොබින් කුරුල්ලෝ නැතිවා
විය හැක.එහෙත් රැයක් වට වැස්සෙන් හේදුනු මීදුම් තිරයෙන් අඩක් සැඟ වුන උදෑසනක පිණි
තවරාගත් කැළෑ පින්නමල් දකින, වට පිටාවෙන් නම නොදන්නා කුරුල්ලන් රැසකගේ පසුබිම් ගායනය ඇසෙන උදෑසනක මා අත් විඳින්නේ ජෙරී
වින්ද ඒ සතුටම නොවේද?“මගේ පවුලයි අනිත් සත්තුයි“ ලියැවෙද්දී ජෙරී ඩරල් ග්‍රහනය
කරගෙන ඇත්තේ මා අද විඳින මේ ආත්මීය වින්දනයම නොවේද?..
සන්තෝස වන්න!!!මෙවැනි සමයක ඇත්තටම
වෙනත් දෙයක් විය හැකිද?
“අහෝ!!! ඔහු ඇත්තටම අදහස් කළ දේ අවුරුදු ගණනාවකට පසුවය ,ඇයට
හොඳින් අවබෝධ වූයේ..ඔහු අදහස් කල දේ තේරුම් නොගිය නමුත් ,මුල් ගුරුතුමා ගැඹුරු විශ්වාසයකින් යුතුව හොඳ ළමයා යි
කීවේය.අසංවර ක්‍රියාවකදී පවා ඔහුගේ වදන් ඇගේ හදවතේ පිළිරැවු දිනි.එබඳු විටක දෙයියෝ
සාක්කි ඇයට ඉබේම කියැවිනි..ටෝමෝවෙහි සිටි කාලය තුල කොබයාෂි මහතා නැවත නැවතත් එසේ
කීවේය.ඒ වැදගත් වචන ඇගේ මුළු ජීවිතයම තීරණය කළා විය හැකිය
...දන්නවද ඔයා හරිම හොඳ
ළමයෙක්....
මේ සියල්ල ටෝමෝ පාසලේ මුල් ගුරු කොබයාෂි
මහතා හා ටොට්ටෝ චං අතර සිදු වූ දෙයකි. නමුත් ලංකාවේ පාසලක ගුරුවරයෙකු වූ මට එය
අදාල නොවන්නේද,පාසලේ දඟම හිතුවක්කාරම කොල්ලන් දහ අට දෙනෙක් ගෙන් යුත් පන්තියක
පන්ති බාරකාරය දරද්දී මා අනුකරණය කළේ කොබයාෂි මහතාවම නොවේද?ඒ සර්ව කාලීන සර්ව
භෞමික ගුරුවරයාට මගේ උත්තමාචාරය වේවා...
“ඔවු ශීතකාලය පැමිනේවි...තද ශීත කුණාටු
හමාවි...හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි.එහෙත් වසන්තය එනවා සත්තකයි..“තමාත්
තම එළිපිට නොකී පළමු ආදරය වූ දුයිෂෙන් ගුරුතුමාත් ආදරයෙන් වඩා හිඳවූ පොප්ලර් තුරු
සෙවනේ බිඳුණු හදින් යුතුව අල්තීනායි මුමුණා තිබුනාය...
නැන්දාගේ පාවාදීමෙන් පසුව ද
රතු මුහුණා විසින් දරුණු ලෙස දූෂණය කිරීමෙන් අනතුරුව පවා අල්තීනායිගේ ජීවිතයට
වසන්තය පැමිණ තිබේ....ඉඳින් මා කටුක ගිම්හානයේ වියැලෙමින්,වැසිකුණාටු වලින්
දියවෙමින් හෝ වසන්තය එන බලාපොරොත්තුවෙන් ජීවිතය ඇඳගෙන නොයා හිඳින්නේ මන්ද?
මතු
දිනයක ජීවිතය විඳීම පිණිස අද ජීවිතය ගැටගසා ගැනීමට උත්සහා නොදරා සිටීමට තරම් මා
දුර්වල විය යුතු නොවේ.
“හදවතේ ගැස්ම වැඩි විය.ඔහුගේ සිහින සැබෑ
විය.පාවෙල් වටා තිබුණු අයෝමය වලල්ල බිඳ දැමීමට ඔහු සමත් විය.ඔහු නැවත - මේ වර අළුත් අවියක් ගෙන- සටන් පෙරමුණට හා
ජීවතුන් අතරට පැමිණියේය“...... සිව්වන පිටුවේ තරමක කැත අකුරෙන් එසේ ලියා තිබිණි.මේ
පාවෙල් කොර්චාගින්ය.දීප්තිමත් කොම්සොමොල් සාමාජිකයෙකි.නමුත් අන්ධ භාවය ඒ සියළු
විප්ලව වලින් ඔහුව නෙරපනු ලැබීය.අවසානයේදී ඔහු තමාට හැසිරවිය හැකි අළුත් අවියක්
තනා ගෙන නැවතත් විප්ලවයට සම්බන්ධ විය.ඒ පෑනයි.කෙක්කෙන් බැරිනම් කොක්කෙන් යැයි
සිංහල කියමන මෙතනටද වලංගුය.
තමා ඉදිරියෙන් වූ මාර්ගය සදහටම වැසී ගිය පසු අළුත්
පාරක් කපා ගත යුතු බව නිකොලායි ඔස්ත්‍රොව්ස්කි
මට කීවේ එසේය.
සැබෑය ...මල බැඳුනු වානේ නැවත පන්නරය ලබා ගත යුතුය.
“අහෝ කම් නැත..අහෝ කම්නැත සිදුවෙලා ඇත මීට
වැඩි දෑ....“.සීටා ගයයි.ෆිලිස් රිවාරේස් හෙවත් ඇට මැස්සා එය අසා හිඳී.ඔහුට ජෙම්මා
වැරන් සිහිවන්නට ඇද්ද.....ඉස්තරම් ලොවිච්චි සහිත කොටු ගව්ම් කොටයකින් සැරසී කොණ්ඩා
කරලක් පිට දිගේ වක්කරගෙන පුංචි කැත කෙල්ලෙක්ව සිටි අවධියේදීත් ඔහු ඇයට ආදරය කර
තිබුනේය.ඇය ඒ බව දැනගත්තේ ඔහුගේ මරණයත් පසුය...ඒ සා විසල් භක්තිමත් ආදරයක් හා කැපවීමක් කෙතරම් නිෂ්ප්‍රයෝජනවත් ලෙස
මියැදුනාද?වේදනා දෙන හදවතක් විනා ජෙම්මාට ශේෂ වූයේ කුමක්ද?එහෙත් ඇය විප්ලවය උදෙසා
ඒ මාරාන්තික පහරත් දරා ගත්තා නොවේද?කිරීමට විප්ලවයක් නැති මම ආදරය යන අදහසට ආදරය
කොට වරක් ඇදවැටුන විට එය ලෝක අවසානය ලෙස සැලකිය යුතුය.ටෙස් ඩුර්බවිල්,ඇනා
කැරණිනා,එමා බෝවාරි...මට වඩා මිලියන ගුණයකින් නිශ්පල ආදරයෙන් දැවී නොගියේද,එසේනම්
මා ජේන් අයර්, තෙල්මා බ්රූස් එරින්ටන් මෙන් පවිත්‍ර ප්‍රේමයකින් සැනසිය යුතු නොවේද?
මට නොවුනත් අන් අයට හෝ මීට වඩා දෑ සිදුවී ඇති හෙයින් ඉතා සුළු දෙයකින් මා හුණුසල්
සේ කුඩු වියයුතුද?
“ලෝකයේ සැපක් හෝ දුකක් හෝ ඇත්තේ නැත.ඇත්තේ
එකක් අනෙක හා සසඳා බැලීම පමණි..උපරිම සැපයවිඳිය හැක්කේ දරුණුම දුක විඳි
තැනැත්තාටය.මිය යාම යනු කුමක්දැයි අපට හැඟි ගොස් ඇත.එම නිසා ජීවිතයේ උපරිම ආනන්දය
අපට ලැබිය හැක.මගේ හදවත හා සමාන දරුවනි,ජීවත් වන්න.සැපසේ ජීවත් වන්න! මිනිසාගේ
අනාගතය දෙවියන් වහන්සේ අනාවරණය කරන දිනය එළඹෙන තුරු ,සකල මනුෂ්‍ය ඤානයම
බලාපොරොත්තුවෙන් ජීවත්වන්න යන වචන තුනෙහි අන්තර් ගත බව කිසි විටෙක අමතක නොකරන්න...
එද්මොන්
දාන්තේ හෙවත් මොන්තක්‍රිස්ටෝ සිටුවරයා
මක්සිමිලියන් මොරේල්ට ලියූ ලිපියේ එසේ සඳහන් වූ බව ඩූමා කියයි.මම මගේ
පියා කුසගින්නේ මිය යන අයුරු අත් නොවින්දෙමි.මගේ දයාබරයා මගේ හැතිරියට සිය හදවත
පුදනු අත් නොවින්දෙමි.වරද කුමක්දැයි වත් නොදැන වසර දහ තුනක්ම අන්ධකාර බිම් කුටියක
සිරගත නොවූයෙමි.එබැවින් ඔහු විඳි දුකින් දශමයක් හෝ මා විඳ නැත. එබැවින් උපරිම සැපත
මට විඳිය නොහැකි වනුද විය හැක.නමුත් ඔහු තරම් දරුණු වේදනා මට දරාගැනීමට සිදු
නොවේ.එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන සුළු කොනිති ගැසීම් හිත්පෑරීම් ලෝක විනාසය සේ මා
දකිනුයේ මන්ද?එද්මොන්ගේ පීඩනය,මර්දීසිගේ වේදනාව,ඇල්බෙයා මෝසර්ෆ්ගේ නිර්භීත බව සමඟ
සසඳද්දී මගේ අත්දැකීම් මහ මෙරුව අභියස එක් දූලි අංශුවක්ම පමනි.එය මහමෙරුව සේ සිතා
අසීරුවෙන් දරා සිටීම කොපමණ මෝඩ කමක්ද?“
සත්‍ය නම් මා මගේ කෙටි ජීවිත කාලයේ අත්
විඳින හැබෑ සිතිවිලි ඈන් ෂර්ලි මෙන්ම එමිලි බයර්ඩ් ස්ටාර්ද විඳ තිබුනහ.දැඩිව ආදරය
කිරීම....මනෝ ලෝකයේ ඉබාගාතේ යමින් පියවි
ලෝකය පිටුදැකීමේ හැකියාව අතින් ඔවුන් දෙදෙනා හා කරට කර සිටීමේ හැකියාව මටද වේ.ඔවුන් මා වන්නේද මා ඔවුන් වන්නේද එබැවිනි.
එදා නඩු භාණ්ඩය වූයේ එකළ මම ආසාවෙන් කියවූ
පොත් රැසක උද්වේගකර හා හදවත කොනිති ගැහූ ඇතැම් ඡේද ඇතුලත් කොට සකස් කර ගන්නා ලද
පොතකි.එහි පිටු වලින් ¾ක්ම
හිස්ය.නමුත් සෙසු පිටු අතරින් අදත් මගේ ජීවිතයේ හරය යාන්තමින් ස්පර්ශ කිරීමට ඒ වචන පොකුරු සමත්ය.
සේවා ස්ථානයෙත් ඉන් පිටතත් සිදුවනකාලීන
ඕපාදූපයන් පිළිබඳ වූ මගේ නොදැනුවත්කම විහිළුවක් සේත්, සැම විටම පොත් කියවීම
විකාරයක්සේත් ,කතා පොත් මිලට ගෙන එක් රැස් කර ගැනීම පිස්සුවක් සේත් දකින මගේ මිතුරු
පිරිස එමටය.
ඔවුන්ට මගේ ඇතුලාන්තයේ දැවෙන හැඟීම
පැහැදිලි කර දීමට හෙළ බසේ වදන් ප්‍රමාණවත් නැත.එය හිතට දැනෙන හදට ස්පර්ෂ
වෙන යමක් විනා සුවඳක් පාටක් හැඩයක් ඇති යමක් නොවේ.
මා පොත් කිය වන්නේ ඒ තුල පණ ගැහෙන ජීවිතය මට
ස්පර්ෂ වෙන බැවිනි.
මට වඩා විශාල දුක් වේදනා අනුභව කල ආතර් බර්ට්න්,එද්මොන්
දාන්තේ,එමා බෝවාරි, වැනි උදවිය මා කඩා වැටීමෙන් වලකා ගනී.
ඈන් ෂර්ලි,ලෝරා
ඉංගල්ස්,එමිලි ජීවිතය සොබා දහම හා ආදරය විඳින හා බෙදන අයුරු මට උගන්වයි
.මා ඇත්තෙන්ම
සැනසෙන්නේත් නැළවෙන්නේත් ඔවුන් සමඟය.මගේ හොඳම මිතුරන් ඔවුන්ය.ඔවුන්ගෙන් මට
බැල්මකින් හෝ හානියක් නොවනවා මෙන්ම මගේ කවර ක්‍රියාවකින් හෝ ඔවුන්ට අනර්ථයක් සිදු
නොවේ.
එදා මා පොත් වල උද්වේගකර හා හැඟුම්බර ඡේද
පොතක පිටපත් කළේ නැවත නැවත කියවා රස විඳීමටය.නමුත් තවදුරටත් මට කහ ගැහුණු පිටුවලින් යුතු ඒ දුර්වර්ණ කඩදාසි
ගොන්න අවැසි නැත.ඒ සියළු පොත් හා තවත් පොත් සහිත පුස්තකාලයක්ම මා සතුව ඇත.ඉදින්
දැන් ඒ ගැන දැන් චෝදනා නොකරන්නේ සුද්දාය.
සපත්තු ගන්නට ඉතිරිකර ගත් මුදල් පොත් ගන්නට
ලබා දෙමින්....පොතක නමක් කියු විට සක්වල ගල පෙරලා හෝ එය ගෙනත් දෙන ,පොතක්
කියවද්දී නැගෙන කඳුල හා හිනාව උපේක්ෂාවෙන්
බලා ඉන්න සුද්දාය.ඔහුත් පොත් රාක්කයත් මා සතු වන තාක් අහිමි කිසිවක් වෙනුවෙන් පසු
තැවීමක් මා තුල ශේෂ වන්නේ නැත.මා ඉඳින් ප්‍රීතියේ පරම කෝටිය විඳිමි