Monday, June 20, 2016

සර්ප පුනරුප්පත්තිය

කුරුළු මලගම
මං කුරුල්ලෙක්.කළුවරෙන් ගල් ‍වෙච්ච පොලොවට රන් පාට වැස්සක් වගේ ඉර එලිය වැටෙනකොට මගේ පියාපත් වලට වඩා වේගෙන් හිත ඉගිලෙනවා...
ලස්සන දවසක්...ලස්සන දවසක් ..හිත මුර ගානවා
කුරුල්ලෙකුට කොයි තරම් නම් වැඩද? නිදං ඉන්න පුංචිම කැකුළු නුපුරුදු ඉර එලියට බයේ අඞද්දි නැලවිලි ගීත කියල නලවන්න ඕන...තාමත් ඇහැරෙන්න වේලාසන වැඩි බව හිතුවක්කාර වෙලා දඟලන පුංචි කැකුළු වලට ඒත්තු යන්නම කියා දෙන්න ඕන.
ඇහැරෙන්න ඕන- ඒත් ඇහැරෙන්න කම්මැලි මල් කිති කවල ඇහැරවන්න ඕන.තණ අග්ගිස්සෙ දිලිසෙන පුංචි පිණි කැට දොවල පුංචි පෙති දෙපෙති නොරිදෙන්න ඒවා මත තවරන්න ඕන.සුමුදු පෙති තලා නොගෙන හීං සීරුවේ ඇහැරෙන්න ඉවසීම දෙන්න ඕන.
මං හැමදාම යුහුයුළුව වැඩ කලා...සිංදු කියල කටහඞ ගොරෝසු වුනා..ඒත් කුරුළු ගීතයකට වඩා පිපෙන පුංචි මලක් කොච්චර වටිනවද?මං එහෙම හිතුව
කුරුළු ගීය ඇහෙන්නෙ ගයන වෙලාවට විතරයි.ඒත් පිපුන මලක් රුවට සුවඳට දවස් කීපයක්ම තියනව.මං තනියම හිතුව..
උඹල මහ කැලෑවක් මැද තනියෙං පිපිල ඉන්නව.හරිම සුවඳයි..ලස්සනයි..ඒත් කැලේ කටු අකුල් වලින් වැහිල..එලියෙ කාටවත් උඹලව දකින්න බැහැ...මට ඒ ගැන තිබුනෙ වචන වලින් කියල ඉවර කරන්න බැරි තරම් දුකක්...
ලස්සන මල් පිපිලා..එන්න ඇවිත් බලන්න...මං කැලේට පිපුන මල් ඔස්සේත් අංකුර ඔස්සේත් ලෝකයට හඞගාලා කිව්වා..
ඒ ගීත දිගේ ගොඩ වැදුන ලෝකයා මං තරමටම උඹලට ආදරය කරන්න ගත්තා..
කොච්චර ලස්සනද කුරුළු ජීවිතය.කොච්චර වටිනවද කුරුළු ජීවිතය...කොච්චර සතුටක්ද කුරුල්ලෙක් වෙන එක මං ‍ලෝකයට හඞ ගාල කිව්ව...මල් ගොඩක් මැද්දෙ ‍ගෙවෙන කුරුළු ජීවිතය...පාරාදීසියක් ....අන්තිමට මං තීරණය කලා...ම‍ගේ කූඩුව ඇතුලෙ එකම එක මලක් වත් පිපු‍නෙ නැතුවට මොකද...මගේ ජීවිතේම ගෙවෙන්නේ වෛවර්ණ මල් යායක....
ඒත් ඒ සර්පයෙක් මගේ කුරුළු හදවතට දෂ්ට කරන කල් විතරයි.සර්ප විෂ හදවතේ ශිරා විතරක් නෙමෙයි ධමනි ඔස්සේ ගලා යන කොට මං එක දෙයක් පසක් කර ගත්ත...
හිතට එකඟව කුරුල්ලෙක් වෙන එක කොයි තරම් මෝඩ වැඩක්ද?
නිකාං ඔහේ සිංදු කියන එක විතරක් කලා නං කොයි තරං නං හොඳද?
කුරුළු හදවතක් වුනත් සර්ප විෂ පැතිරුනාට පස්සෙ ඉස්සර වගේ පිවිතුරු නෑ...විෂ වලින් ඔත්පල උන හිත ඉස්සර වගේ කාර්යක්ෂමත් නෑ..
අන්තිමට මං තීරණයක් ගත්තා...මගේ ගීය මං ගයන්නං ...උඔලගෙ විදියට උඹල පිපියල්ලා...තීරණය ගත්තෙ කුරුළු හදවතද නැත්තං සර්ප විෂද කියල මට හරියට නිනවුවක් නෑ...ඒත් මං තීරණටක් ගත්තා...
හෙටත් ඉර ඇහැරෙයි....ඒත් මං සිංදු කියනවාම විතරයි...පිණි දිය දොවා ගන්න එක... මුදුවට පිපෙන්න උගන්නන එක මගේ පත්වීම් ලිපියේ කොතනකවත් සඳහන් කරල නෑ
දවසක උඹ ලස්සනට පිපෙන එක විතරමයි මගේ හිතේ තිබුනෙ...මමත් එහෙන් මෙහෙන් අහුල ගත්ත පිණි කැටයත් දෙකක් උඹේ මුදු දෙපෙති මත තවරන්න මං දෙපාරක් නොහිතුවෙ ඒකයි.
මං උඹට විශේෂයක් කලාද ..මං තාමත් මගෙන් අහනව...සමහර විට උඹ මගේ හීන ලෝකෙ හිටපු පුංචි කට කාර දඟය හින්ද එහෙම උනාද දන්නෑ..
මං දැන ගත්තු හැම දෙයක්ම උඹලගෙ ලෝකෙ ලස්සන කරන්න යොදවන්නයි මට ඕන උනේ.
සමහර විට එහෙම සරසන්න කෙනෙක් මගේ ජීවිතේ නැති නිසා වෙන්න ඇති
ඒත් මගේ පුද්ගලික අහිමි වීම් වලට උඹල පලි නෑ...ඒක නිදහසට කාරණයක් නෙමෙයි
ඒත් ඒ අඩුව අද තරම් කවදාවත් මට දැනිලත් නෑ
මං උඹට දුන්න පිණි බිංදුවක් ගානෙ මට ස්තූති කරපු උ‍‍ඹේ කිනිත්ත ඒ පිණිම මට ආයුධයක් විදියට දික්කරේ කොහොමද කියල මං තාමත් කල්පනා කරනව
අනිත උඹ ටිකක් මල් වත්තෙ කරක් ගහල බැළුවනං දැන මං පිණි ඉස්ස එකම කැකුළ උඹ විතරක්ම නෙමෙයි කියලා.ජීව විද්‍යාත්මක නමට අමතරව මමම රෙජිස්ටර් කරපු එකම නම බූරු පැටියා විතරක්ම නොවන බව
ඉත්තෑ බබා...කම්මැලි කොල්ලා...මෝඩ කෙල්ල,අඞන බබා..යක් පැටවු...සිඟිති කතා...පිස්සු පූසා...දඟ මල්ල ...අන්ඩ පාලස්... සේරම ඉන්නෙ ඔයි මල් වත්ත ඇතුලෙම තමයි
මටම අයිති මලක් නැති වීමේ අඩුව උඹලගෙන් පුරව ගන්න ගිහින් මං ආත්මාර්ථකාමී උනාද කියලා දැන් කල්පනා කරන කොට මට හිතෙනව.
මං මං ගැන දන්නව...උඹත් ජීවිතේ කොයි යම්ම හරි මොහොතක දැන ගනීවි
නැතත් ඒ ගැන දුකක් නෑ....නිදහසට කාරනා ඉදිරි පත් කරන්න ඕනත් නෑ..අතේ ඇඟිලි ගානට වඩා අඩු උනත් මාව අවබෝධකරගෙන විශ්වාස කරන යාළුවෝ මට තාමත් ඉතුරු වෙලා ඉන්නව.සේරටම වඩා මගේ ජීවිතේ වටිනාම වස්තුව හැම අහිමිවීමක්ම මැද්දේ කිසිදා අහිමි නොවන වටිනාම සම්පත තාමත් මං ලඟම ඉන්නව..පියාපත් වලින් මාව තුරුල් කරගෙන ආදර ගීයක් මුමුන මුමුනා කැඩෙන හිත හදන සාස්තරේ තාමත් එයාට මතක තියනව..ඒත් වසර තිහක් පුරා රැකපු ආත්මගෞරවය විතරක් පුපුරු ගහනව
සිංදු විතරක් කියන කුරුල්ලෙක් වීමේ වැදගත්කම මගේ ඇට මිදුළු වලටම කා වැදෙනව.රෑ වැටුන වලට දවල්ට පනින්න ඕන නෑ කියල හැඟිල යනව...ජීවිතේ තම තමංගෙ පොදි තම තමන්ට උස්සගෙන යන්ඩ වෙන බව මං දන්නව..
කුරුල්ලෙකු නොවී සර්පයෙකු වීම වාසි සහගත බව මට දැනෙනව...කුරුල්ලා සිංදු කියනව...ඒත් සර්පය ගොළුයි..සර්ප සින්දුවක් අහන බලාපොරොත්තුවක් කාටවත්ම නෑ...
කුරුල්ල එළි මහනේ ඉගිලෙන කොට හැමෝම ඇස් ඩොගිත්තාගෙන බලං ඉන්නව..ඒත් අඳුරු අහු මුළු වල බඩ ගාන සර්පයෝ කාගෙවත් ඇහැ නොගැටී ඉන්න දන්නව..
චූටි කුරුළු හොටක සීරීමකට වඩා විෂ සර්ප දළ පහරක් බලගතුයි කියල දන්නව...
කොච්චර ලේසිද සර්පයෙක් වෙන එක...දිරා යන රොඩු ගොඩක හැංගිලාම ඉන්න එක.අනතුරක් දුටු සැනින් මැරිල වැටෙන්නම දෂ්ට කරන එක...කොයි තරම්ම සහනයක්ද කුරුල්ලෙක් මරල සර්ප පුනරුප්පත්තියක් ලබන එක.

Monday, June 6, 2016

සාලාව කොස්ගම භීෂණය-ජීවිතය උදෙසා ගමක් සමඟ දිව්වෙමි


අද ඉරිදායි.මගේ නිවාඩු දවස් දෙකින් එකක්.ඊයේ දවස බේත් ගෙනෙන්නට යාමෙන් වියදම් විය.මා රස්සාවට ගොස් හෙමබත්ව පැමිනෙන හැමදාම කුස්සියේ හැලි වලං සමඟ ඔට්ටු වන නෑනාට වේලක විවේකයක් දීමට සිතා රෑ ආහාර පිසීමේ වැඩ මුරය මම බාර ගතිමි.

අපේ ගෙදර කඩා දමා නැවත හදමින් පවතින බැවින් අපේ පවුලේ හතර දෙනාටත් ආහාර පිසුවේ මීටර් 02ක් පමණ පහලින් ඉදිකර තිබූ ඔවුන්ගේ ගෙදරය.
මම කුස්සියේ සිටියෙමි.වෑංජන ලිපේ තිබ්බා පමනි.කරන්ට් එක ගියේය.

හුටා....මං කීවෙමි..බත් එක රයිස් කුකර් එකේ ගහල හමාරයි.දැන් පිඹපන්කෝ ලිපට ** ඉරාගෙන...
10 දෙනෙකුට සෑහෙන්න තරම් බත් මුට්ටියක් ලිපේ ඉදවීම ඇඞෙන වැඩකි.


ඩෝං...
යකෝ වහින්නෙවත් නැතුව හෙන ගහනවනේ...
ඩෝං....ගල්බෝරද???
ඩෝං ඩෝං ඩෝං........ඩෝං ඩෝං...ඩෝං... යකාගෙ හෙන ගැහිල්ලක්නේ..

මං කෝකටත් කියා මිදුල පැත්තට හොස්ස පෙව්වෙමි..මස්සිනාත් අක්කාත් බාසුත්...අහස දිහා බලාගෙන කට උඩට හරවගෙන

ඩෝං ඩෝං ඩෝං........

සාලාව කෑම්ප්පෙකේ ගින්නක්ලු...ආයුද ගබඩාවකලු


ඔත්තුව ලැබිනි.මස්සිනා කෑම්ප්පෙකේ  ඉඳන් ගෙදරට දුර කොච්චර දැයි ගණනය කිරීමට පටන් ගත්තේය.

ඒ අතර කරන්ට්ටෙක ආ නිසා මං රයිස් කුකර් එක ගැසීමට ගියෙමි.

ආපසු එන විට මස්සිනා ඕපා දූප බලං එන්ට පාරට ගොස්ය.බාසු හඞමින් සිටී
මේ මොකද?

“ඩෝං ඩෝං ඩෝං........“
ඒ නම් පෙරට වඩා සද්දයෙන්

මේ මොකද බාසුට්ටෝ...

“අනේ පුංචි මෙහෙට බෝම්ම ආවොත් ටෙඩියයි පෙත්තයි මැරෙයිද?ඊඊඊඊඊඊඊඊඊඊ

අපූරු කොළු පැංචා....තමනුත් මැරෙයි කියන එක අමතක කරපු අපූරුව ..

සාලාවෙ මිනිස්සු වගයක් පයිංම ඇවිත් පහල කඩේ ගාව ඉන්නවළු...පාරේ ගමන් ගත් අයෙක් වාර්තාව දුන්නේ නිවි සැනසිල්ලේය

පවු අනේ ...මොන ගිංදරකද ඉන්නව ඇත්තෙ...අපි එකඟ වීමු

බත් එක ඉදෙන්ට හැර පරණ බත් පිඟානක් බෙදා ගත් මං ගෙදර ආවේ දෝණීට කන්ට දීමටය..

දෝණී -අපේ බල්ලා...හරියටම කිවහොත් බැල්ලී(වසර හතරක අරගල නිම විය...අවසානයේ මට මගේම බල්ලෙකු හිමි විය)

බයික් පෝලිමක් හෝන් ගහගෙන පාරේ යයි

.යකෝ මුං සේරගෙම හෝන් හිරවෙලාද???....සුද්දා පාරට පැන්නේය...

ඒ වේගයෙන්ම ගෙට දිව්වේය..“කෝ මට ටී ෂර්ට් එකක්....බල්ලව ගන්න ..දං වැල දාන්න...අම්මලා කෝ...
මේ මොකදැයි... මම එලියට ආමි
ඩෝං ඩෝං ඩෝං........“
හිටං ඉන් නැතුව ලෑස්ති වෙනව...මිනිස්සුන්ට අයින් වෙන්න කියලා...දුවමු කන්දට...

ඔහු බල්ලා කිහිලි ගන්නා ගත්තේය.මම දංවැල දැම්මෙමි...පූසා ආ ගිය අතක් නැත..ඔවුන්ද පවුලේ සාමාජිකයෝය..මරනය සඳහා අත හැර දමා යා නොහැක

අයියේ පූසා නෑ..

ඌ හොය හොයා ඉන්ඩ බෑ යමු යමු...

නැන්දම්මාත් මාමාණ්ඩියත් නැත.

මා පාර අද්දර හිට්ටවූ ඔහු “අයියලාට කියලා එන්නම් යැයි කියා පහලට දිව්වේය..

ඒ වෙලාවේ ත්‍රිවිල් එකක් අරං ආ සුදු පුතා..නගින්න නැන්දේ කී විට මම නැග්ගෙමි....මොහොතකින් සුද්දාද දුව ගෙන ඇවිත් මං ළගින් ඉඳ ගනු ඇත
.
ඩෝං ඩෝං ඩෝං........“

හැමෝම තිරසාර ලෙස හැකි උපරිම වේගයෙන් ඉදිරියට ඇදෙති

මස්සිනා ෂර්ට් එකක්වත් නැතිව ඇවිත් රියදුරු අසුනේ වාඩි වුනේ බාසුත් කෙල්ලත් ඇදගෙනමය.නෑනා ටෙඩියා හරහට වඩාගෙනය...

බාසුගේ ඇස් වලින් කඳුළු බේරෙන්නේ ගිරවා ගැනීමට වෙලාවක් නැති වූ නිසාය

තවත් කවුද කවුදෝ තද බද වෙවී රිංගුවේය...10ක් පමණ තෙසක්රිය ඇතුලේය.

සුද්දාට තබා සුදුපුතාටවත් එහි ඉඩක් නැත

ආ...නැග්ගද?ඔහොම යං ..අපි එන්නං.... රිය ඉගිල්නි ..සුද්දා මඟය.
.
මගේ සැමියා මග දමා බළු මොටෙක් ආරක්සා කර ගන්ඩ මං ගමනේය....මා බැස්ස හොත් පයිං යන සුද්දාගේ ගමන් වේගය  හති අරින මා නිසා අඩු වීම අනතුරු දායකය.ඔහු රැක දෙන මෙන් මතක් වූ සියළු දෙවියන්ගෙන්ම ඉල්ලීමි.ඔහු මට කෙතරම් වටිනා වස්තුවක්ද,ඔහුගෙන් දුරස් වීම කෙතරම් වේදනාවක්දැයි මට මුල් වරට හැඟී ගියේ මෙහිදීය..
.පාර පුරා මිනිස්සුය..කෙතරම් හෝන් ගැහුවත් අයින්ද නොවේ

වාහන එන බවට ඔවුන් සංවේදී නැත. ඉදිරියට...වඩ වඩා ඉදිරියට...ඔවුන්ගේ එකම සිතිවිල්ල එය වන්නට ඇත.

සියල්ලොම උඩ බලාගෙනය.කොයි මොහොතේ හෝ කොහෙන් උන්ඩ කැබැල්ලක් ඒවිද?
පවුලේ ඉතිරි උදවිය අපිටත් කලින් පයින්ම ගමන් අරඹා ඇත.හිතට මද සැනසිල්ලකි....අපි ඔවුන් පසු කර ඉදිරියට ගියෙමු.

ඩෝං ඩෝං ඩෝං........“
කන්ද සැබවින්ම කන්දකි...හිටගෙනම දනඉස හපන්ඩ හැකි තරම් ආනතියක් ඇත.

රිය මග දමා අපි පයින්ම ඉදිරියට දිව්වෙමු....

කොහේ යනවාද නොදනිමි.මම පෙර හැර සමග ඉදිරියටම ගියෙමි..

සෙනග පාරේ එන්ඩ බෑ...වාහනේ දාලා පයිංම දිවිව..ඒ යකඩ ගොඩ වගේද ළමයි ටික...කවුදෝ කියනු ඇසිනි..එකිනෙකාගේ මුහුණු නොපෙනෙන තරමටම අඳුර බලවත්ය

මේ සා කන්දක් මේ සා වේගයෙන් මේ සා බර බල්ලෙකුත් උස්සන් කිසි දාක තරණය කර නුපුරුදු මම නිරායාසයෙන් පවුලේ උදවියගෙන් පසු බැස්සෙමි....මා වට පිටේ ඇත්තේ නන්නාදුනන උදවියය.ඔවුන්ගේද මුහුනු දැක ගත නොහැක.

“බලන්න අක්කේ...අම්ම නැති දරුව..මාත් නැති වුනොත් මොනව වෙයිද?එකෙක් අඞයි..මම ඔහු නොහඳුනනමි...කුඩා දරුවෙක් ඔහුගේ කර තබාගෙන හති අරිමින් ඔහු දුවයි....

“මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳන් කරදරමයි...ඉස්සරලාම ඉඩෝරෙ...ඊළඟට ගං වතුර....දැං මේක...තුහ් නොදකිං
යුද්දයක් අස්සෙත් මහිංද මහත්තයගෙ ආණ්ඩුව මේක පරිස්සං කලා...මුංට මේ කාලෙවත් බෑ..... පිළිතුරු ලැබෙයි...

කඳු උඩ ඉන්න හොඳනෑ..මුවා වෙලා ඉන්ඩ ඕනෑ...එකෙක් කියයි..ඒත් කන්දට යන පිරිස සමඟ ඔහුත් උඩටම ඇදෙයි..

“මාව දාල උඹල පලයල්ලා“....ආච්චි කෙනෙක් අඩමින් කියයි.ඇය දෙපසින් අල්ලන් ඉන්න මුනුපුරාත් මිනිපිරිත්-ඔවුන්ට වයස අවුරුදු දහයක් පමනය- ඈ ඇදගෙන මෙන් එයි..පුංචි උන් හති දායි.අපහසුවෙන් හුස්ම ගයි...ඒත් නැවතීමක් නැත.

ඒ මදිවාට මද වැස්ස..කරුවර..වහින එකේ වැහැපංකො යකෝ පහුගිය දවස් වල වගේ දෙගොඩතලා යන්ඩ...අර ගින්න නිම්ලම යන්ඩ

.යන්නේ පාරකද කැලේකද නොහැගේ.ඉස්සරහ එකා යන පාරේ මාත් යමි

මම පසු පස හැරි හැරී  බලමි.සුද්දාගේ සෙවනැල්ලක් වත් නැත.

ඩෝං ඩෝං ඩෝං........“තවමත් නොනැවතී ඇසෙයි

තව දුරටත් බල්ලා ඔසවන් යා නොහැක..මගේ හුස්ම හිරවෙයි...මගේ සැමියා ආ ගිය අතක් නැත...ඔහු ඉන්න දිහාට බෝම්බ කෑලි විසි වුනාද..ඔහුට තුවාල උනාද මම කිසිවක් නොදනිමි...ඔහු මා අසල උන්නා නං ඔහුත් මාත් මාරුවෙන් මාරුවට බල්ලා ඔසවාගෙන යමි.

අවසානයේ මස්සිනා මා සොයා ආවේය...වචන හොයා ගැනීමටත් බැරි තරමට විඩාපත් මම ඔහුට හිතෙන් බැන වැදුනෙමි.

“ළමයි දෙන්න පරිස්සං තැනකට එක්කං යන් නැතුව ආව මෙතන මාව හොයං

ඔහු බල්ලා ගත්තේය....අතර මැද ගෙයක අපි රැඳුනෙමු..
.
අපේ දරුවෝත් නෑනාත් සුරක්ෂිතව එහි වූහ

ටී.වී...එක දමලාය...
සිරස....
සුපර් ස්ටාර් අමතක කර සිද්දිය පිළිබඳ විස්තර විචාරයක් ගෙනෙයි.ගෙදර උදවිය තේ කොප්ප වතුර කෝප්ප අරගෙන ගෙය පුරා මිදුල පුරා පාර පුරා නොනවතින ගමනේය.

තවත් ගබඩාවත් තියනවළු...ආයෙත් කසුකුසු පැතිරෙයි...

අවසානෙයේ සුද්දාත් එතැනට ආවේ සීරිමක් වත් නැතුවය...

ඇතැම් පවුල් වල උදවිය මඟ හැරී ඇත..අම්මාත් තාත්තාත් මෙහි හිඳිද්දී දරු දෙදෙනෙක් කවුදෝ පිරිසක් සමඟ අවිස්සාවේල්ලටම පයින් ගොස්ය..

නෑනාගේ මොබයිලයා ඕල්වේස් වැඩය.

“ත්‍රිවිල් එකක් අරං ගෙන්ඩ ...අනේ පරිස්සං වෙන්ඩ...ළමයි පරිස්සං කර ගන්ඩ...ඇගේ අම්මා හඞයි.

මගේ චයිනීස් කටුව ගෙදර අමතක වීමත් ..ගං වතුර සමයේ අකුණක් වැදී අපේ මහගෙදර ටීවි එක පිච්චිමත් යන දෙකටම ස්තූති කරමින් සැනසුම් සුසුම් හෙලුවා පමණි.අම්මා නෑනාගේ මොබයිලයෙන් එබුනාය.කවුදෝ කේලමෙක් ඇය අවුස්සා ඇත...අප සියල්ලංම පණපිටින් බව මං කීමි

මෙහිදී  සිරස දෙරණ නාලිකා දෙකට විශේෂයෙන්ම ස්තූති කල යුතුය...ඔවුන් නිසි තොරතුරු අපට ලබා නොදුන්නා නං අප තීරණ ගන්නේ එහෙං මෙහෙං අහුලා ගන්නා ඔපා දූප මතය.එසේ නං අප කුමක් කරාවිද? රජයේ නාලිකා දෙකම නිදිගත් අයුරින් තමංගේ වැඩ සටහන් එලෙසම කරගෙන යද්දිත් අවධානමක් දරමින් නිවැරදි තොරතුරු අපට ලබා දුන් ඒ මාධ්‍ය වේදීන්ට අපගේ කෘතඥතාව හිමිවේ.

අවසානයේ අපි යලිත් ගෙදර ආවෙමු...ගමම පණ කඩං දිව්වාට එක උණ්ඩයක්වත් අහල පස් ගවුවක වැටී ඇති බවට තවමත් ආරංචියක් නැත.ගෙදර දමා ගිය පූසාත් ගිරවාත් ඇතුළුව සියල්ලෝම  සීරීමක් වත් නැතුවපණපිටිං සිටියහ.


Sunday, June 5, 2016

සුනාමියකට මැදි උනෙමි


ස්ටීවන් ලිසෙන්බර්ග්,වික්‍රම් ලිසෙන්බර්ග්,නිඛිල් ලිසෙන්බර්ග්,මමී ලිසෙන්බර්ග්....මල්ලීගේ කටහඞ තණතිල්ල උඩින් පියඹා යයි.ඒ මුදු වදන් මද පවන විසින් මුළු පෘතුවි ගෝලය පුරා ගෙන යයි.එහි ගැබ් වූ සතුට සාමය ආදරය,අන්‍යොන්‍ය විශ්වාසය දෑතින් ස්පර්ෂ කිරීමට තරම් ගනකම්ය

මමී ලිසෙන්බර්ග් !!!!!...සොනාලි ඊට විරෝදය පායි.



“මල්ලී ඇයි ම‍ගේ නම් දෙකම වැරදියට කිව්වේ... ඒ මම නෙමෙයි“

නිවුයෝක් නුවර උද්‍යාන බංකුවක් මත හිඳ සිය අනන්‍යතාවය විමසා බලන ගැහැනියක්...“මමී‘ යන පදවියෙන් තොරව තමා කවුදැයි වටහාගත නොහැකි ගැහැනියක්...එත් තත්පරයකින් මුළු ලෝකයම අහිමි වූ ගැහැනියක්,නටඹුන් වූ ලෝකය පීරා මතක වතකම් එකින් එක සීරැවෙන් රැස් කරන ගැහැනියක් ..

සොනාලි දැරණියගලගේ දෙනෙතින් උතුරා යන කඳුළු මගේ දෙකොපුල් ඔස්සේ රූරා වැටෙන්නේ කෙසේදැයි මට නොහැඟේ.

2014 දී සීමා බිඳගෙන ගොඩ ගැලූ උදම් රල පහරට අසුව ‍ෙසානාලිගේ ලෝකය සේදී ගියේය.

ඇගේ සැමියා..දයාබර ස්ටීව්,පුතුන් වික් හා මල්ලී...අම්මා තාත්තා යන සියල්ල ලවන ජල‍යේ සේදී ගියේය.
ඒ සා ආදරණීය පවුලක්,සංස්කෘතින් දෙකක් යා වුනත් ඒ සා අවබෝධයෙන් සිටි පවුලක්,ඒ සා සුරතල් දරු පැටවුන් දෙදෙනෙක්...මට අදහා ගත නොහැක..අදහා ගත නොහැක...

උගුරේ පෙරලෙන හැඩුම නවත්වා ගත්තත් කඳුළු නොනවතී...වැහිබිඳු තරම් කඳුළු කැට උකුලේ තබා හිඳින පොත මතට වැටේ..

එදා සොනාලිගේ ලෝකය ගිලී ගිය ලවන තලය මැද මගේ හදවතද කිඳා බහිනු දැනේ...

හිත් පිත් නැති රළ කුමක්වත් නොවුනා සේ මගේ උකුල උඩ නිහඞය ..නිශ්චලය...

මුහුදු රළ සේමය..තමා කල විපතක තරම කිසිසේත් හඳුනා නොගෙන පසුතැවීමකින් තොරව තවමත් නගින බසින මුහුදු රළ සේමය

 ලන්ඩනයේ පදිංචි ඔවුන් මෙරටට පැමිණියේ මරනය සොයා නොවේ...තම ආදරණීයයන් සමඟ නත්තල සැමරීමටයි.නත්තල සාමයේ පණිවිඩය ලද දවසයි...

එහෙත් මේ දරුණු මුහුදු රකුසා සොනාලිගේ ලෝකය මකුළු හුයක් සේ කඩා බිඳ දැමීමට එදාම තෝරා ගත්තේ මන්දැයි මට නොවැටහේ.

මුහුද තම ආක්‍රමණය සඳහා නත්තලම - සාමයේ දවසම තෝරා ගත්තේ ඇයි?? මට නොවැටහේ..

සුනාමියෙන් වසර 10කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත.ස්ටීව්,වික්,මල්...සොනාලිගේ ලෝකයෙන් නික්ම ගොස් වසර දහයක් ගතවී ඇත.

එහෙත් ඇය තාමත් ඔවුන්ගේ උණුසුම විඳින්නීය....ඔවුන්ගේ ආදරය විඳින්නීය..ඔවුන්ට ආදරය කරන්නීය...සොබාදහම සිය කුරිරු හස්තයෙන් වෙන් කලත් සොනාලිගේ හදවත තුලතවමත් ඔවුන් ජීවමානය...සදාකාලික නොමියෙන ආදරයක මල ගම පැතු සොබා දහම පරාජය වී ඇත.පරාජය වී ඇත.


නිවුයෝක් නුවර හීතල කාමරයක බිත්ති මැද පවා තවමත් ඇය සිය ආදරය දල්වා ගෙන හිඳී...

වික් ස්ටීව් හා මල් නැතිව තමාට අනන්‍යතාවක් නැති බව ඈ පවසන්නීය..එහෙත් ඇය නොදන්නා විය යුතුය..ඔවුන් නැතිව- ඔවුන් සමඟම ඇය අළුත් අනන්‍යතාවයක් ගොඩ නගා ගනිමින් හිදී...

ඈ සොනාලි දැරණියගල නම් ලේඛිකාවයි...ස්ටීව්ගේ ආදරය අවබෝධය,මල්ගේ හුරතලය හා වික්ගේ නිමක් නොවන ප්‍රශ්න ඇසීම් අහිමි වී ගියත් මේ සියල්ල අලලා ඇය ලියූ “රළ“මැද ඇගේ ඒ ජීවිතය සුරක්ෂිතය.

දැන් ලෝකයම දනිත් ඇය-මොඩ කොළුවන් තිදෙනෙකුගේ මමී ලිසෙන්බර්ග් වූවා සේම සොනාලි දැරණියගල බව.

ලෝකයක් අහිමිවීම තුල ලෝකයක් හිමිකර ගත්..අහිමි වූ සතුට මැද හිනාවක් ගොඩනගාගත් සැබෑම දිරිය ගැහැණියක් බව

සොනාලි දැරණියගලගේ - Wave(A memoir of life after the Tsunami)

ඔබත් කියවා බලන්න...විඳවීම විඳිමක් කර ගත් ගැහැණියකගේ කතාව