Tuesday, March 29, 2016

ළමයි ගැයූ රී මික්ස් සිංදු ,පොදු සරල කුණුහරුපය හා වැසිකිලි යාම


සිංදු රී මික්ස් කිරීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ..

මා හිතන හැටියට අපට රෙකෝඩ් බාර් එකකට ගොස් පපුව පුම්බා

“දෙන්ට මට ජෝතිගේ අළුත් සිංදු “ කියා ඉල්ලා හිටින්නට හැකි වී ඇත්තේ මේ නිසාය.නැත්තං දශක දෙකකට පමණ පෙර මිය පරලොව ගිය මිනිසෙකුගේ අළුත් යමක් මිහිපිට තිබිය හැකිද?

අනෙක පුරාණ සිංහල චිත්‍ර පට බොහොමයක හිංදි තනුවක ට සිංහල වචන ඔබා ඒ තාලයට ගයන සිංහල සිංදු බොහොමවක් දැකිය හැක...

ඉතින් අනුකරණයේ දක්ෂ අපේ යක්ෂ ලමයි සිංහල සිංදු වලටම වෙනත් පද යෙදීම අරුමයක්ද?

මේ සිංදු බොහොමයකටම ආහාර ජීර්ණ පද්දතියේ අවසන් කෙලවර හඳුන්වන අකුරු දෙකේ වචනයක්  හා ඒ වචනයට අදාල ක්‍රියාව ආශ්‍රිත පද නිතරම යොදා ගන්නේ ප්‍රසිද්ධියේ කිව හැකි “මහා කුණුහරුපය“එය යැයි ළමුන් සිතන නිසා වද්ද????
1.       බාලිකාවියන් ..තක්සලා දොරෙන්
ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්....
මේ අපි අසා ඇති ගීයයි.
බාලිකාවියන් ලැට් එකේ ඉඳන්
ඉස්සිලා හොරෙන් බලාවි වතුර ගේන කං...........

මේ ලමයි ගයන ගීයයි

2.       එදා තරම් මගේ හිතේ රැඳුනේ නෑ තව දවසක්...මගේ මතකයේ හැටියට මෙය ගයන්නේ ඉන්ද්‍රානි පෙරේරාය

එය අපේ ළමයි ගයන්නේ මෙසේය

එදා තරම් මගේ  *කේ රැඳුනේ නෑ *න්ඩ බරක්
මගෙ *ක වට කර හිටියා නිල මැස්සෝ දස දහසක්
සැනකෙලියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක්
තිබුනෙ එකම වැසිකිලියයි - ඒකෙත් තඩි * තලියක්






3.පිණි බර යාමේ සැවුලන් හඩලනවා
    අම්මා වට කර  ලිප ගිණි මෙලවෙනවා
කොළඹ කෝච්චිය රජ ගමනට යනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා
මේ මවු ගුණ කියවෙන ලයාන්විත ගීයකි

පිණි බර යාමේ සැවුලන් හඩලනවා
    අම්මා වට කර  ලිප ගිණි මෙලවෙනවා
කොලඹ බාප්පා පිළි කන්නේ *නවා
නැගිටින් පුතුනේ * ගඳ ගෙට එනවා
අපේ ලමයි  ගයති



4.       කවියන්ගෙ රස හැඟුම් පුබුදා තියා
සුදු නංගියා  මාගෙ හිනැහී ගියා

මේ ගීයද අපේ  ළමයි මග හැරියේ නැත

මම  *න්නෙ පිලිකන්නෙ කොලයක් තියා
තටමන්න ඉස්සරම *ඩයක් ගියා
*කෑලි හැම තැනම විසිරී ගියා
නිල මැස්සො මා එක්ක හිනැහී ගියා.


5.      හොරෙන් බලා කියා පාන දේට වඩා
දෙනෙත් පුරා ....

මට ගීයේ ඉතිරි පද මතකයට නොඑයි

නමුත් ළමයින් ගැයූ ඊට සමාන ගීයක් මට මතකය

හොරෙන් රෑට පොල් කඩනා පිස්සු ජෙමා
එදා රෑම ගහෙන් වැටිල එතන මලා
මල ගේකුත් වුනා
තුන් මාසෙත් ගියා
හඳ පායන කාලේ ඔබ මතක් වෙලා

මෙහි අවසන් පදය වෙනස් නොකලේ මන්දැයි මට වැටහෙන්නේ නැත.


මේ ඇතැම් කවි අපි ළමයි කාලයේ ද ඇසූ ඒවාය.එ කල ඇම්ඩන් කතා රැල්ලක්ද විය.මං 11 වසරේ සිටියදී තදේටම ඇදී ගිය මේ රැල්ල පංතියට ගෙනාවේ පංතියේ පෙම්වතියන්ය.උන්ගේ කොල්ලන් උන්ට මෙම කතා හා සිංදු කියාදී ඇති අතර උන්ගෙන් අපි උගත්තෙමු...

අපේ ජාතිය නිර්මාණශීලී නැතැයි කීවේ මොකාද???ඌට මේ කවි ටික පෙන්නමුද
.
****** ලකුණු තම තම නැණ පමණින් දැන ගත යුතුය.



Sunday, March 27, 2016

නෙළුම් යාය 2015- වීරයන් මුණ ගැසීම හා බලාපොරොත්තු කඩ වීම


අසරණ මං හීනෙන් වත් නොසිතූ ලෙසින් බස්සීගේ නවාතැනෙදී හම්බුන පෙළඹවීමකට රැවටී  බ්ලොග් ලෝකයට සම්බන්ද වූයේ පසුගිය වසරේ අප්‍රේල් 29 වනදාය.හරියටම කිව්වොත් බොගක් ලෙස අටවා ගත් මගේ බ්ලොග අටමා විසින් මල් වත්තකට හරවන ලදුව හුදී ජන පහං සංවේගය සඳහා මුදා හැරියේ එදාය
මා කියන්නට හැදුවේ බ්ලොග් ලෝකයට පා තබා අවුරුද්දක්වත් ගත වී නැති මං බ්ලොග ගැන දන්නා මෙලෝ දෙයක් නැති බවය.

ඔය අහු අස්සේය 2016/03/26 වන දින නෙළුම් යාය 2015 බ්ලොග් සම්මාන උලෙල සංවිධානය වූයේ.

හොඳම නවකතා 5 අතරට මගේ නම නිර්දේශ වූයේ සංවිධායක මණ්ඩලයට වූ වැරදීමකින් බව සිතා එදත් ගෙදරට වී නිකං හිටින්ට මුලිංම මං කල්පනා කලෙමි.එහෙත් කොමෙන්ටු අස්සේ හා මුහුණු පොතේ හමු වී ඇති  මිතුරන් සැබෑවටම හමුවීමට ලැබෙන අවස්තාව නැති කර ගැනීමට තරම් හිත දුන්නේ නැත.විශේෂයෙන් මගදී අතහැර දැමීමට හිතං උන් බ්ලොග් කෙරුවාව මේ දක්වා ඇදගෙන ඒමට අත දුන් කල්‍යාණ මිත්තරේ, අටමා හා සුට්ටං කසුට්ටා මුනගැසීම අතපසු කර ගැනීමට හිත දුන්නේම නැත.

සයිබරයේ හමු වූ මුත් මුහුණ මතක නැති ආගන්තුකයන් මැද්දෑවේ මට හුදෙකලාව වහලේ සිවිලිං ෂීට් ගනන් කොරන්ඩ වේ දැයි බියෙන් මං සුද්දාට ආයාචනා කොර සිටියේ මගේ බොඩිගාඩ් තනතුර දරා මාත් එක්ක ජන මාද්දිය අමාත්‍යාංසෙට එන ලෙසයි.

සුද්දාගේ තෙතමනයක් නැති ක්ෂණික පිලිතුර වූයේ නිදාගැනීමට සිතේ නං දේසන සාලාවක පුටුවකට වඩා ගෙදර ඇඳ සුව පහසු වගය

ඉතිං මං බණ්ඩා කොළඹ ගියා සේ සෑහෙන පිරිසකගෙන් මග තොට ලකුණු අසා යාන්තං පොට් එක සොයා ගතිමි.
තනිව උඩ බලං ඉන්ට ගිය මට එසේ සිටීමට වූයේ නැත.මගදීම හමු වූයේ කුරුටු හා කුරුටී ය.උන්දෑ මං තරං වත් අනිත් උදවිය නොහඳුනන බව හඳුනා ගත් පසු මගේ බය හරි අඩකින්ම අඩු විය

ඒ අස්සේ මිත්තරේ එවෙලේම රෝද තුනකින් එතනට ප්‍රාදුර්භූත විය.මා හිතං උන්නා සේම ඔහු උසය මහතය කළුය.බුකියේ එල්ලා තිබූ පොටෝ කෑලි වලට පිං දෙන්ට මං දුටු සැනිං ඔහු හඳුනා ගතිමි.

ලිෆ්ට් වලදී පුරුද්දක් ලෙස ඔළුව කැරෙකෙන හින්දා හති හල හලා තරප්පු වල බඩ ගාන මං වීරයා වගේ මිත්තරේ එක්කම ඒකකම ආවේ තැන හොයා ගන්ඩ බැරිවෙයි කියන බය ඊටත් වැඩි හිංදයි.

ඔමා මට හම්බුනේ එතනදිමය.මං ඇය ගැන හිතං උන්නේ ස්ට්‍රේට් කොන්ඩෙ කන දෙපැත්තෙන් කඩා වැටෙන පුංචි කාලෙ ආසාවෙන්  බලපු නයිල් නදී කුමරිය කාටුන් එකේ කුමරිය වාගේ කියාය.ඊට සම්පූර්ණ කනපිට පෙනුමකින් යුත් ඇය හමුවීම සතුටක් ගෙන දුන්නත් මගේ නයිල් නදී කුමරිය එතැන නොසිටීම ගෙනාවේ බලාපොරොත්තු කඩ වීමේ දුකක්.

ඊ ලඟට ඉවාන්ය.කොමෙන්ටු අප කෙතරම් නොමග යවන සුළුද?.කොමෙන්ටු අනුව මා මවා උන් ළදරු පෙනුමින් යුත් බෝලයක් බඳු ඉවානයෙක් එතැන සිටියේ නැත.එතැන උන්නේ සැබෑ කඩවසම් හාදයෙකි. එතැනදීද මා මවා හුන් චරිතය නොවීය.


අනතුරුව හමුවූයේ සුරංගය.ඔහු නං යාං හෑල්ලේදී වගේමය.ඒත් ආච්චිගේ කයි කතන්දර සියල්ලට කට පියං ඉන්න අහිංසකයෙකුගේ මුහුනක් නං ඔහුට තිබුනේ නැත.බ්ලොගේ නොලීවාට ඇතැම් විට ආච්චිට අම්බානක රිටන් එකක් දී තිබීමට පුළුවන.ඔහු මට වඩා මාසයයි දවස් හතරක් බාල බව සොයා ගැනීම මගේ දවසේ විශිෂ්ටම සොයා ගැනීම විය.

මා ආසන්නයේම උන්නේ ටෙක් සයුරේ චූටි මල්ලියාය.ටෙක් සයුරක් ඇති බව වත් මං දන්නේ එවෙලේය. තාක්සනික දේ කවදත් ඇලජික් මට එසේ වීම අරුමයක් නැතත් පුංචි එකා ඉස්සරහා මට දැනුනේ අපහසුවකි.
තරහ වෙන්ඩ එපා මල්ලියෝ ඉස්සරහට නං නොතේරුනත් කියවනව ඕං.

ඩ්‍රැකීද ලඟින්ම ඉඳන් හිටියේය.

තරු රසී කියවන විට මා හිතං හිටියේ බස්සීටත් වඩා ලා බාල චූටි තරු ඇස් ඇති නංගියෙක් ගැනය.මට පිටුපසින් වාඩි වී සිටි ඇය දුටු විට මට හැඟුනේ ඇය මගේ වයසේම විය හැකි බවයි.(මගේ ඇස් සමගර විට මා රවටා තිබීමට පුළුවන)

පැත්තක හිද වේදිකාවට ඒකාත්මික වී හුන් මා අත වනා ඔහු උන් තැනට කැඳවා ගත්තේ සුට්ටං කසුට්ටාය.මගේ රජ තුං කට්ටුවෙං එකෙකි.

නමුත් මා හිතං උන් තරං කසුට්ටා සුට්ටං නැත.කසුටු වෙනුවට “ඩයිනෝසර හදවත“ වැනි නමකිං බ්ලොග නම් කලා නං මට වැරදෙන්නේ නැත.දැන් සුට්ටං කපා දමා වෙනත් විශේෂන පදයක් හොයංට වීම මං සම්මාන උලෙලෙන් උස්සං ආ අමතර කරදරයකි.

මාතලං ගැන මං හිතං උන්නේ පපුවේ මරුවා බුදු වේවා! කියා පච්ච ගසා  ඉනේ උල් පිහියක් ගහගෙන ඉන්න හතර රියං කලු තඩි නැඩ මිනිසෙක් ලෙසය.පස් හය දෙනෙකුම පෙන්වා හඳුන්වාදෙන තුරුම මං ඔහු මාතලං බවට මං විස්වාස කලේ නැත.

ඒ සිනාසෙන සිරියාවන්ත මිනිසා ඔහුගේ අකුරු අතරින් මා දුටු  මරුමුස් මිනිසාට චුට්ටක් හෝ සමාන නොවීය.
රූපේ හා මහේෂ් මල්ලිලානම් බුකියේ දුටු ආකාරයෙන්ම වූ මුත් රූපේගේ රූපේ හඳුනා ගැනීම මට ටිකක් අපහසු විය.

විදානේ මට පුටු කීපයක් එහායිං ඉඳගෙන උන්නත් ඔහු සම්මානය ගන්ට වේදිකාවට නගින තුරුම ඔහු කවුදැයි නොදැන කතා නොකර හිනාවකින් පමණක් සෑහී උන්නෙමි.ඒ ගැන මගේ බලවත් මෙව්වා එක.
ළඟින්ම අඳුනා ගත් අය අතර ගිම්මිගේ කොලම ලියන චූටි නංගියා හා ඔහුගේ කටකාර ඥාති අයියණ්ඩියද හඳුනා ගැනීම සතුටකි.

The sahan නම් බුකියේ පිංතූර වල ඉන්නවා වාගේම නිසා ඈතිං දුටු සැනින්ම අඳුනා ගත් අතර බස්සා හා බස්සීද කිසිඳු අපහසුවකින් තොරව දුරදීම අඳුන ගත් අය අතර විය.

ගීත හා නාට්ටිය සුපිරිම විය.ටොයියා හා බයියා අප ඇති තරම් හිනැස්සුවේය.

ඈතින් දුටු රසික ලොජිස්ට් ,විචාරක තුමා අජිත් පැරකුම්,නාලක ගුණවර්ධනයන් දැකීම පමණක්ම සතුටක් විය.
බොහෝ දෙනා සමඟ කතා කිරීමට කාලය ඉඩ නොදුන් අතර රෑ බෝ වූ පසු ආ පාර හොයා ගැනීමට නොහැකිව අතර මං වෙතැයි බියෙන් සැකෙන් සිටි මට සුහද පිලිසඳරක යෙදීමට තරං මූඩ් එකක් තිබුනේද නැත.

මා අටමා පැමින නැතැයි හිතං උන්නත් අවසානයේදී කසුට්ටා සම්මාන උලෙලේ දොරෙන් එපිට උන් ඔහු මට සොයා දුන්නේය.

මෙසේ බ්ලොග් ලෝකයේදී මගේ  සුපිරි වීරයා  මුහුණට මුහුණ හමු විය.ඔහු දුටු සැනින් කොහෙන් හෝ නැටුං තෙල් මූඩියක් පෑගී ඇති බව මට  හිතුනි.

අනතුරුව සුසෙයි හා මිත්තරේ ගැන එකම අසමජ්ජාති කතාව මට පස් වරක්ම කී නිසා මූඩි පහක්ම පෑගී ඇතැයි නිකමට නිගමනය කලෙමි.



කෙසේ වුවත් ඔහු හමු වීම විශේෂ දවසක් සුවිශේෂ කිරීමට හේතු විය.ඔහු නැත්තං කැලේ මල් පිපෙන්නේ නැත.කැලේ මල් පිපුනේ නැති නං මේ සා සුන්දර දවසක් මගේ ජීවිතයට එන්නේද නැත.

ඒ වෙනුවෙන් මිත්තරේට හා කසුට්ටාට වෙනමම ස්තූති කල යුතුය.

අජිත් ධර්මා නං මා මවා සිටි පුද්ගලයාම වූ අතර කොට භාවය හා හිසකෙස් ගැන තිබූ කොමෙන්ටු කියවා හුන් මට සැක හැර ඔහු අඳුනා ගත හැකි විය.
.
බොහෝ සුන්දර දවසක් මෙසේ ගත විය.බොහෝ දෙනෙකු සමඟ කතා බහ කිරීමට නැවතීමට නොහැකි වීම ගැන පමණි මට කණගාටුව ඇත්තේ.

නෙළුම් යාය 2015- වීරයන් මුණ ගැසීම හා බලාපොරොත්තු කඩ වීම

ලෙස මේ ලිපිය නං කලේ බ්ලොග් ලෝකයේ මගේ වීරයන් සියළු දෙනාම පාහේ ඈතින් හෝ දැක ගැනීමට අවස්ථව ලැබුනත් බොහෝ දෙනා  ඔවුන්ගේ වචන තුලින් මා දුටු මිනිසුන් පෙනුමෙන් එසේ නොවූ බැවින් උපන් බලාපොරොත්තු කඩ වීමේ ශෝකයෙනි

මේ සුන්දර අවස්ථාව උදාකල හැමට තුති.සම්මාන දිනූ හැමට සුභ පැතුම්


ප.ලි
මගේ කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද කොටස් 1-12 තෙවන ස්ථානය දිනා ගත් අතර එම සම්මානය මං කොටස් 5 කට කඩමි

1.       ඉන් එක කොටසක් කැලෑ මල් පිපිමට පසුබිම සකසා මල් වලින් හැකි තරම් ඈතින් සිටීමට කැමති මගේ සුදු මහත්තයාට දෙමි
2.       කැලෑ මල් පිපිමට මුලින්ම අත හිත දී  හැම විටම මට දිරියක් වන හරියටම මට වඩා වසර 10කින් වැඩිමහළු අයියණ්ඩිය කල්‍යාන මිත්තරේට තව කෑල්ලක් දෙමි
3.       කැලෑ මල් සඳහා මුලින්ම මඟ පෙන්වා ඊලඟට ඉඳ හිට ඇවිත් නොපෙනී හිඳ ඊයේ හැබෑවටම හමුවූ මිතුරා සුට්ටං නැති කසුට්ටාට ඊලඟ කෑල්ල දෙමි
4.       අවසන් කොටස් දෙක බ්ලොග් ලෝකයේ හිත හොඳ මිනිසා-කැලයක් කපා මල් වලට ඉඩ හසර දුන් මිනිසා දයාබර අටමාට දෙමි

මලක සුවඳ මේ යැයි මට හඳුන් වා දුන් මගේ කුළුඳුල් ගෝලයා දිමුතු පුතු ඇතුලු බස්නාගල දූ දරුවන්ට වෙසෙසින් ස්තූති කරමි.
අඅළුතෙන් අඳුන ගත් මිතුරනි...මං මුහුනු පොතේ ඉන්නේ්මෙතැනයි




Friday, March 25, 2016

කොයි තරම් සහනයක්ද හිත බිඳෙන එක

කොයි තරම් සහනයක්ද හිත බිඳෙන එක
උන්නත් මලත් එක සේ හැඟෙන
මතකය හිත පතුලේම වළලන
කොයි තරම් සුන්දරද හිත බිඳෙන එක

සොඳුරු තනිකම විතරක්ම තනි රකින
දෑස් අහසෙන් අනෝරා ඇද හැලෙන
ටික දිනකින්ම උපේක්ෂා හිරු මුදුන් වන
කොයි තරම්ම මිහිරිද හිත බිඳෙන එක

සුසුම් උදම් හිත කණපිට හරවන
මොහොතකට දුක යටවී සතුට උඩ මතුවන
ආයෙ ආයෙත් සසර වෙරලේ
දුක් සිතිවිලි රළම ගැටෙන
කොයි තරම් සහනයක්ද හිත බිඳෙන එක



ලෝකයක් වැඩ අතපසු කරන
දෑස් පියාගෙනම මතකයේ කිමිදෙන
ඉඳහිට කඳුළු පින්නක් උව මතුවන
කොයිතරම් සුන්දරද හිත බිඳෙන එක


මල ගිය හීන මිහිදන් වන
අළුත් සිතිවිලි උපදින
වෙනස්ම හෙටක තිරපට ඇරෙන
කෙතරම් මිහිරක්ද හිත බිඳෙන එක

සතුට බිඳෙන් බිඳ මතුවන
දේදුන්නෙන් ආයෙත් හීන පාට වන
අළුත් ජවයකින් හිත වෙව්ලන
අහා....
මේතරම් සහනයක්ද හිත බිඳෙන එක

Tuesday, March 22, 2016

ගෙවුනු අතීතය

යශෝධා උපමාලි තාමත් 10 වසර ඉගෙනුම  ලබන දරුවෙකි.දක්ෂ ලෙස නර්ථනයේද යෙදෙන්නියකි.මේ කවිය ඇගේ නිර්මාණයකි.ඔබගේ එක් කුඩා මඟ පෙන්වීමක් ඇයට මහඟු ශක්තියක් වනු ඇති.

මානෙල් වතු සුද්ද ඕළු මල්
ම සිත
මල් අසපුවක අතරමං කිරීමට තරමි

තාත්තා වැවූ පිච්ච වැල
මල් දරා සිටින කල්හි
මා දුටුවේ
වන දෙවොලියන් මල් ගවසා ඇති බවය

ඈත කන්දට වැටුන හිරැ රැස්
මෑත  වන අරණ ගෙන ආ මඳ නල
කුඩා කල අත්විඳි මිහිර
දිරාගිය පැල්පතක් සේ
ගරා වැටෙනු පෙනේ
හිරු රැස් වැටෙන කඳු නැත
උනුසුමද ගත දවයි
ගොඩනැගිලි දසන්තෙන්
පවුරු වී ලඟ හිදී

ආච්චි අම්මාට
වෙනිවැලක් සොයන්න
මායම් සිදාදියේ
දිව යුතු  සැතපුමක් දෙකක්

ජීවිත වාළුකාවේ
අතරමංව හතිවැටී
යලි යලිත් දැනේ මට

අතීතය කෙම් බිමකි

Saturday, March 12, 2016

ආයෙමත් එනවා නිවාඩුව

ජනෙල් කූරු අතරින්
කෑලි කැඩී වැටෙන ඉර දැක
අවදිව ඇඟ මැලි කඩන්න
හීන් හාදුවක් නලලත තවරා
ආයෙත් තුරුල්ව නිදියන්න

ආයෙමත් එනවා නිවාඩුව

රිමෝට් එකට රණ්ඩු කරකර
ටීවි බලන්න
සී.ඩී කඩ වල රස්තියාදු ගහන්න
ගේ දෙදරන සිංදු අහන්න  

ආයෙත් එනවා නිවාඩුව

පූස්ව උකුලට ගන්ඩ රන්ඩු කරන්න
එක එක කෑම හදා බඩ නරක්කර ගන්න
ආදරේ වැඩි කමට ලාවට රණ්ඩුවක් වෙන්න

ආයෙමත් එනවා නිවාඩුව

මිදුලෙ මල් පැල වෙනස් කරන්න
පොඩි උන් එක්ක ජම්බු ගහට පොරකන්න
ආදර උනුසුමක ගුලි වෙන්න

ආයෙමත් එනවා නිවාඩුව


Sunday, March 6, 2016

ගුරු දිවියේ රසවත් කතා



දහතුනේ පංතිය

මෙවර අගෝස්තුවේ විභාගෙට වාඩි වන 13 පංතියේ ටියුෂන් යාම මට හිසරදයක් වී ඇත්තේ සතියට දවස් 03ක්ම පංතියේ ඩෙස් පුටු වලට ඉගැන්වීමට සිදු වන නිසාය.

පන්තියටම ඇත්තේ එකම එක ගෝලයකු වීම තත්වය තවත් නරක් කලේය.කරුමයකට හෝ ඒකා ඇණ ගත්තා නම් පාසලේ කොමස් ප්‍රතිඵලය 100% ඩවුන්ය.ඒ හින්දා අපි කොළුවාට බලහත්කාරයෙන් ඉගැන්වීමේ පියවරක් මේ දින වල අනුගමනය කරමු.උදේ පාසලට එන කොළුවාව අපි නිදහස් කරන්නේ හවස 5ටය.ඒ අසරණයාත් අපට හොරෙන් ඈණුම් ඇර ඇර ඉගන ගන්නා බව මවා පායි.

එක් පංති නොයන දිනකත් මූ පාසල් නොපැමිණීම මට පුෂ්පය ටොන් ගානක් ජම්ප් කරවන්නට හේතු වූ අතර අඛණ්ඩව මුදා හල දරුණු එස්.එම්.එස් රැසකින් පසුව 1.45න් පසු පාසලට පැමිණීමට කොළුවා එකඟ කර ගතහැකි විය.

එදින වෙනදාට වඩා වැඩි වෙලාවක් නිදා ගැනීම නිසාදෝ කොළුවාගේ මුහුනේ ප්‍රබෝධමත් බවක් විය...

“අද පාඩම ඉවර කරල මිසක් යන්න දෙන්නෑ...කම්මැලිකමට ඉස්කෝලේ නාවට දඩුවම ඒක“

මම සැර පරුසව මගේ අවම බලය පාවිච්චි කලෙමි/

අසරණ කොළුවා දුක්මුසුව හිස වැනීමෙන් මගේ අධිකාරී බලයට හිස නැමුවේය
.
මම විෂය නිර්දේශයේ අග සිට පටන් ගත්තේ මුල් පාඩම් ටියුෂන් එකෙන් කල පසු ප්‍රශ්න පත්‍රයක් දී ඒ දැනුම පරීක්ෂාකරනවා කියා හිත හදාගෙනය.කොළුවාගේ සීමිත කාල සම්පත අසීමිත ටියුෂන් පංති මැද දියව යන විට අසරණ පාසල් ගුරුවරුන් වූ අප ලද දෙයින් සැනසෙනු විනා වෙන මක් කරන්නද?

ඉතින් මා පටන් ගත්තේ කලමනාකරණ තොරතුරු පද්ධති පාඩමයි.

මෑතකදී අපේ පාසලට අපූරු කලමනාකරණ තොරතුරු පද්ධතියක් හඳුන්වා දී තිබීම මගේ කටයුතු පහසු කරන්නක් විය.නැතහොත් ව්‍යාපාර පරිසරය ගැන පොතේ දැනුමට අමතරව කිසිඳු ප්‍රායෝගික දැනුමක් නැති කොළුවෙකුට මේවා කියා දීමට ගොස් මා වැටෙන්නේ අලි අමාරුවකය.මා ඔහුට සමීප උදාහරණ සොයාගත යුතුය.

“යම් ගුරුවරයෙකු පීරියඩ් එකේ මුල් විනාඩි 5 ඇතුලත පංතියට නොගියා නං දරුවකු විසින් කාර්යාලයට ගොස් එහි ඇති කොලයක කතිරයකින් ඒ බව සලකුණු කිරීම මෑතකදී හඳුන්වා දුන් කලමනාකරණ ශිල්ප ක්‍රමයකි.

“සමහර දරුවන් උගන්වන ගුරුවරුන් ගැන ඔෆීසියට කේලම් කීමට අකමැති වීමත්,දරුවන් ගුරුවරුන්ගේ ඇද කුද හෙවීම අප මදක් අපහසුතාවයට පත්කිරීමට හේතු වීමත් මැද එය යම් තරමකට සාර්ථක වෙමින් පවතී.

“අවාසනාවට මා උදාහරණයට ගත්තේ විදුහල්පතිට තොරතුරු ලබා ගැනීමට සකස්කල මෙම පද්ධතියයි“

මම තොරතුරු පද්ධති වල වාසි උගන්වමින් සිටියෙමි.එතෙක් සියල්ල යහපත්ව සිදුවිය.

  • 1         නිවැරදි තොරතුරු නිසි වෙලාවට ලබා ගත හැකි වීම

පංති කාමර වල නිසි පරිදි උගැන්වීම් කටයුතු නොකරන පන්තිකාමර ගැන විදුහල්පති දැන ගන්නා අතර වහා එම අඩු පාඩුව මඟ හැරවීමට ක්‍රියාත්මක විය හැකි වීම
  • 2.       නිවැරදි තීරණ ගත හැකි වීම

විදුහල්පති තුමාට රාජකාරීය හරියට නොකරන ගුරුවරුන් ගැන දැන ගෙන ඔවුන් නිවැරදිකිරීමට ක්ෂනිකව ක්‍රියාතමක විය හැක

ඩංඩ ඩංඩ ඩං.... ඩංඩ ඩංඩ ඩං .....
ඔන්න එවිට ඊළඟ කරුණ
  • 3.       නිෂ්පාදිත වල ගුණාත්මක භාවය වැඩි වීම


හොඳයි පුතේ නිවැරදි තොරතුරු නිසි වෙලාවට දැන ගැනීම නිසා නිෂ්පාදිත වල ගුණත්වය ඉහල යනවා..හොඳයි කියන්න බලන්න පාසලේ නිෂ්පාදනය කරන්නේ මොනවද කියලා....


 ළමයි......

කටින් වචනය පිටවෙන්නා හාම තමා කියූ දෙයෙහි වෙනස් අර්ථයක් ඇති බව ඔහුට වැටහෙන්නට ඇත.මහ හිනාවක් දරුවාගේ මුවින් පිටවෙද්දී  උසස්පෙල පංති වලදී ගුරු ගෝල පරතරය වහා අමතක වෙන සුළු මමද නිරායාසයෙන්ම ඊට එක් වීමි

දැන් දීපල්ලකෝ උත්තර...
.
මම වහලයේ උළු ගනිමින් කල්පනා කලේ ඊට ඉහලින් වූ දේව මණ්ඩලයෙන් වත් සහයක් ලැබේවායි පතමිනි
හදිසියේම ...හදිසියේම...හදිසියේම... ඉතා හදිසියෙන් .... බිත්තියේ ගසා ඇති පාසලේ දැක්ම අහම්බෙන් මගේ ඇස ගැටින.

පාසලෙන් බිහිවන නිෂ්පාදිතය “තිරසර හෙටක් තැනුමට සුපසන් දරුවෙක්“(පාසලේ දැක්ම) විනා “ළමයි“ නොවන  බව කියමින් මං යාන්තමට ජාමේ බේරා ගත්තෙමි.

12 පංතිය

අඛන්ඩව කැලෑ මල් සමඟ රැඳුන අය නම් මගේ ගොලයාගේ වැඩ කිඩ දැනටමත් දනිති.සතියකට වරක් හෝ අප හොල්මන් කරවීමේ පුරුද්ද තවමත් ඔහු අත් හැර නැත.ඔහුගේ සියළු නස්කූට්ටු වැඩ මැද ඔහු ගැන වූ ආදරය නොසෙල්වී තිබීමම පුදුමයක් වුවත් ඒ කරුමය පලදී ඇති පාසලේ එකම ගුරුවරයා මා පමණක් නොවන බව ස්ටාෆ් රූම් එකෙදී හුවමාරු වන ඕපා දූප ඔස්සේ මා දැන ගත්තේ මෑතකදීය.

මගේ ගෝලයා 12 පංතියේය.පාසලේ ක්‍රිඩා නායකයා ශිෂ්‍ය නායකයෙකු මෙන්ම මාර්තු 21 වනදා පවත්වන කොන්සට් එකේ රැඟුම් ගැයුම් කීපයකට ද මේ දවස්වල පවත්වන කොට්ඨාස ක්‍රිඩා තරඟ වලටද සහබාගී වීම නිසා අතිශය කාර්යය බහුල වී ඇති ඔහු මේ දින වල ඇහැට දැක ගැනීම පවා අසීරුය...ඔහු පංති කාමරය තුල දුටු දින පසුවී බොහෝ කලක් ගතවී ඇත.


කොටින්ම කිවහොත් වෘත්තීමය ජීවිතයේ මගේ වටිනාම බලාපොරොත්තුව ඔහුය

එබැවින් නිකමට හෝ දින කීපයකට වරක් ඇමතුමක් දී ඔහු පාඩම් කරන බව අසා ( පාඩම් නොකලත් කලත් එය දැන ගැනීමට මට ක්‍රමයක් නැති බැවින් මට ඔහුගේ වචන විස්වාස කිරීමට සිදුවේ) හිත සනසා ගැනීමට මම පුරුදුව සිටිමි.

කොට්ඨාස තරඟ වලදී ඔහු සහබාගී වූ එල්ලේ හා වොලි බෝල් යන තරඟ 2න්ම අප පාසල පරාජය වීම ඔහුගේ හිතට දුකක් ඇතිකරවන්නක් වන්නට ඇත.

මා නිකමට ඔහු ඇමතුවේ මූ ක්‍රිඩා නොකරන දින වත් පාඩම් කරනවාදැයි සිතමිනි.

මිස්...

ඉතින් පුතේ අද මොකෝ ඉස්කොලෙ නාවේ..

ඊයෙ බෝල ගහල අමාරුයි මිස්...

ඉතින් ඔය දැන්ද නැගිට්ටේ...

නෑ දැන් ටික වෙලාවක් මිස්...

ටී.වී එක ඉස්සරහ විවේක ගන්නවා ඇති නේද?

නෑ ..නෑ මිස් ... ‍ටියුෂන් පන්තියේ පේපර් එකක් දෙනවා කිව්වා.ඒ හින්දා මේ ටිකක් පාඩම් කරනවා...(නියමයි ෂෝක් කොල්ලා...මං මටම කියා ගත්තේ සතුටිනි.)

දැන් ලබන සතියෙත්  තරඟ ඇති නේද?ඒ සතියෙත් උගන්නන්න වෙන්නෑ...සිලබස් කවර් කරන්න ගියාම තමයි ඇඩෙන්නේ...මං මගේ දුක් ගැනවිලි ඉදිරිපත් කලෙමි..

තරඟ වලට ගියාට වැඩක් නෑ මිස්..හැමදාම පරාදයිනේ මිස්...

අපෝ එහෙම හිතන්න එපා පුතේ ...ජය පරාජයට වඩා වැදගත් වෙන්නේ සහභාගීත්වයනේ..“මං උපදේශාත්මකව පණ්ඩිත හෑල්ලක් දෙසාබෑවෙමි.

ඒක ඇත්ත වෙන්න ඇති  හැමෝම එහෙමනේ කියන්නේ...නේද මිස්....කොල්ලාගේ කටහඩ පරම අහිංසක විය..

ඒකනේ එහෙම හිතන්නෙපා පුතේ

මිස්..ඒක ඇත්තනං විභාගෙ පාස් වෙන්න ඕනත් නෑ...සහබාගිත්වයනේ වැදගත්....නිකමට ගිහින් ලිව්වාම ඇති

මං යලිත් වතාවක් කට උත්තර නැතිව ගොළු වී ගියෙමි