Tuesday, April 26, 2016

මෝඩ ටීචර්


මම උසස්පෙල පංති වලට උගන්නන අතරම 6,7,8 පංති වල ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයේ ව්‍යාපාර කොටස උගන්වමි
.

අළුත් විෂය නිර්දේශයේ පෙල පොත දෑසින් දුටු විට මට තරු පංති පිටින් පෙනෙන්නට වූයේ මේ තරම් සංකීර්ණ විෂය කොටස් තාමත් සාරි පොටේ එල්ලී හුරතල් වෙන්නට තතනන පුංචි එවුන්ට අජීර්ණය නොසෑදෙන සේ ගිල්ලවන්නේ කෙසේදැයි කල්පනා වීමෙනි

විෂය නිර්දේශ පෙල පොත් සාදන්නේ ඊයේ පෙරේදා පත්වීම් ලැබූ සාමාන්‍ය ගුරුවරුන් වූ අපට වඩා “අථීශයිණ්ම විධ්වථ්“ පුද්ගලයන් නොවැ..ඒවා දරුවන්ට උගැන්වීම අපගේ රාජකාරිය නොවැ...රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ම නොවැ...

අද මං උගන්වන්ට ගත්තේ “ ව්‍යාපෘති වාර්තා සැකසීම“යි...මම දන්නා තරම් සරල උදාහරන ගෙන දක්වමින් ඉගැන්වීම කලත් පීරියඩ් දෙකක් අවසාන වේගන යන ආසන්නයේ උස්මුරුත්තාවට ගියා සේ මුහුණු හදං උන් පුංචි උන් දැක මගේ පපු කැවුත්ත උණු වීම කරනකොට ගෙන විනාඩි 10කට කලින් පංතිය නවත්තා විහිළු කතා දෙක තුනකින් පොඩි උන්  හිනැස්සුවේ ඇත්තටම උනුත් මාත් අපි දෙගොල්ලම පවු කියල හිතුන හිංද
මගේ එක තේරවිල්ලකට පස්සේ පොඩි උන්ගේ තේරවිලි සුනාමියකට මං ඉබේම ගසාගෙන ගියා..

  • ·         ඔන්න මිස් එක මනුස්සයෙක් ජාත් තුනක් පටෝගෙන ලොරියක් එලවං යද්දි පොලීසියෙන් ඒක නැවැත්තුව.එයාල ඇහුව ප්‍රස්න දෙකක්...නම මොකක්ද???? ලොරියෙ මොනවද? ඔයා දෙකටම දුන්නෙ එක උත්තරයයි ඒක මොකක්ද?


ම්.......ම්ම්ම්ම්

නමයි ලොරියෙ පටවපු දේවළුයි

ම්ම්ම්ම්

අයියෝ මිස්

අනේ මං දන්නෑ පුතේ...

මිස් මුකුත් දන්නෑනෙ

උත්තරේ තමා......................යි

P.T.C  නිහාල්

පී.ටී .සී.නිහාල්

පිටි -සීනි -හාල්

  • ·         ඔන්න එක මිනිහෙක්  යාළුවෙක්ගෙ ගෙදර යනකොට යාළුවා මොනවද කනවළු.ඉතිං ඒ මිනිහ ඇහුවළු ප්‍රශ්න දෙකක්.මොනවද කන්නෙ   ....මාත් කන්න එන්නද?යාළුවා දෙකටම එකම වචනෙකින් උත්තරයක් දුන්නළු..පුළුවං නං මිස් කියන්ඩ බලන්න

හපොයි දරුවනේ මං දන්න දෙයක් ගැන අහන්ඩකෝ

ඒ කියන්නේ ඒකත් මිස් දන්නෑ
ම්හු

අයියෝ මිස්

ඉතිං කියන්ඩකො උත්තරේ

වරකා

වර - කා (වරෙන් කාපිය)

  • ·         කැලෑ ගමේ කතාව

ඔන්න මිස් කැලෑ ගමේ අලි පැංචිගෙ උපංදින උත්සවේ තිබුනළු.ඉතිං වෙන ගමක රස්සාවකට ගිය(අලි කරන රස්සාව මං නොදන්නා අතර දරුවාද එය කීවේ නැත.)අයියට කීවලු උත්සවේට කලිං දවසෙ එන්ඩ කියල.ඒත් වැඩ හංද අයියට එන්ඩ පුළුවං උනේ උත්සවේ දවසෙ දවල්ලු..අයිය දැක්ක ගමං නංගි දෙයක් කිවුවලු.ඒ ඉංගිරිස් අකුරු ක්..ඒ අකුරු මොනවද?

කියන්ඩ බලන්න මිස්

අයියෝ පුතේ දහයක්ම..එකක් දෙකක් නං හිතන්න තිබුනා

අයියෝ ඒ කියන්නෙ මිස් ඒකත් දන් නෑ

ම්හු

IOIAEANIQA

මොකක්

අයි-ඕ-අයි-ඒ-ඊ-ඒ-එන්-අයි-කිවු-ඒ

ම්ම්ම්ම්ම්ම්

අයියෝ අයියේ ඊයේ එන්නයි කිවුවෙ

ආහ්

  • ·         මිස් කියන්න බලන්න අලියෙක් ෆිජ් එකට දාන හැටි පියවර 03කින්

අලියා කෑලි වලට කපනවා දානවා

මිස් කීවේ පියවර දෙකයි

අනේ මංදා..

ඒ කියන්නෙ මිස් ඒක දන්නෙත් නෑ
ම්හු
1.       ෆිජ් එක අරිනව
2.       අලියව දානව
3.       වහන

ආහ්

·         ආ ඊලඟට ජිරාෆ් ෆිජ් එකට දැමීම පියවර අතරකින්
ආ ඒකනං පුළුවං ..මේ ජයග්‍රාහී අවස්තාවේ මගේ කැපිල ගිය ලකුණු සේරම දාගන්ඩ පුළුවන්

1.       ෆිජ් එක අරිනව
2.       ජිරාෆ් දානව
3.       බෙල්ල දෙකට නමනවා
4.       වහනව

අයි යෝ..මිස් ඒක දන්නෙත් නෑනේ

ඒ කියන්නෙ ඒක වැරදියි.

ඔවු මිස් ෆිජ් එකෙන් අලියව ගත්තෙ නෑ

අයියෝ....කටින් එලියට පනින්ට ආ “හුටා“ව අමාරුවෙන් ගිල ගනිමිං මං කිවුව

එතකොට පියවර හතර
1.                   ෆිජ් එක අරිනව
2.                   අලියව එලියට ගන්නව
3.                   ජිරාෆ් දානව.           
4.                   වහනව

  • ·         ඔන්න මිස් කැලේ ගමේ සාදයක් තිබ්බ.හැම සතෙක්ම ඒකට ගියා.එක්කෙනෙක් ගියෙ නෑ..ඒ කවුද

ගඟෙ මාළු

නෑ...

සිංහයා

අයියෝ මිස් ඒකවත් දන්නෑ

කියන්ඩ ඔයාම එහෙනං

ජිරාෆ්

ඇයි ඌ ලෙඩ වෙලාද

අයියෝ නෑ මිස් ඌව ෆිජ් එකට දාලනෙ

  • ·         ඔන්න මිස් ඔය ගමේ ලොකු ගඟක් තිබ්බ.ඒ ගගේ මිනි කන කිඹුලෙක් හිටිය.ගඟට එන හැමෝම මරං කනව.ඒත් එදා ආච්චි කෙනෙක් ගඟෙන් එගොඩ වුනා ..ඒ කොහොමද?

එදා කිඹුල සිල් අරගෙන

නෑ....කිඹුල්ලු සිල් ගන්නවය

කිබුලට එදා බඩේ අමාරුව හැදිල

අයියෝ මිස් ඒක දන්නෙත් නෑ

ම්හු

ඇයි මිස් කිඹුල කැලෑ ගමේ උත්සවේට ගිහින්නෙ

මේ දුර්දසාවෙන් මං බේරා ගනිමිං බෙල් එක නාද විය

අන්තිමට
අන්තිමට
අන්තිමට
මං පුංචි අටේ හපනෙකු තරං දක්ෂයෙක් නොවෙමි



Friday, April 15, 2016

මාමා බැලූ හින්දි පිචෑර්


ඔබ වර්ෂ 1980-1990  දශකය තුල උපන් අයෙකු නං ඔබ

  • ·         ළමාකාලයේදී ෆොටෝ කෑල්ලක් ගැනීම දුෂ්කර ක්‍රියාවක් වූ අවසන් ළමා කණ්ඩායමට අයිතිය
  • ·         කොළපත් පැදීම වැලි සෙල්ලම් බත් ඉවීම පොල් පිති හරකා බැඳීම වැනි සෙල්ලම් කල අවසන් ළමා කණ්ඩායමට අයිතිය
  • ·         ඇලේ දොලේ නෑමට මිතුරන් හා සෙල්ලම් කිරීමට ටියුෂන් වලින් අවහිරයක් නොවූ අවසන් ළමා කණ්ඩායමට අයිතිය
  • ·         ටී.වී බැලීම සුඛෝපභෝගී දෙයක් වුන අවසන් ළමා කණ්ඩායමට අයිතිය


එකල හූනියම් පෙට්ටිය යනු මැජික් එකකි.මුළු ගමටම තිබුනේ එක හූනියම් පෙට්ටියකි.නැත්තං දෙකකි.

මං ඉතා කුඩා කාලයේ දී හුළු එලියක් දල්වා ගෙන කූඩැල්ලො කඩාගෙන බෙඩ්සීට් පොරෝගෙන මල්ලිවත් කරේ හිඳුවාගෙන(තාත්තාගේ) කෝපිකඩේ බලන්ට අසල්වැසි ගෙදරකට ගිය අයුරු තාමත් මතකය.අපේ අසල් වැසි නිවාස එකිනෙක තිබුනේ සෑහෙන ඈතීන් ය

සමහර විට චාර්ජ් කල හැකි බැටරියකින් ටී.වී බැලූ අවසන් ළමා පරපුරත් අප විය හැක.

එදිනට ටී.වී එක අයිති ගෙදර උදවිය සාලයේ පුටු අයින් කර බිම පැදුරු එලන්නේ ඉඩකඩ පිරිමසා ගැනීමටය.
එක් විශේෂ වෙලඳ දැන්වීමක් මට මතකය.මං හිතන හැටියට එය ටාටා හෝ මොන යම් හෝ වාහන ඇඩ් එකකි.

ඈත සිට එන ලොරියක් වැනි වාහනයක් තිරය ඉදිරියටම එන විට අපේ මලයා පසු නොබලා දුවන්නේ ඒ වාහනය තමා යට කරාවි යැයි පණ බියෙනි.පසුබිමින් “හිරු ඉපදෙන විට නෙළුම් පිපෙන ලෙස මට ඔබ විස්වාසායි“කියා ගායනයක් ඇහෙන ඇඩ් එකක්ය ඒක

අපේම ගෙදරට ටී.වී එකක් ගෙනා පසු මල්ලිත් මාත් රහසින් කතිකා කොර ගත්තේ රත්තරං බඩු සාප්පුවක ඇඩ් එකක් යන වෙලාවක ඒකෙ තිරය බිඳීමටයි.එවිට වීදුරුවෙන් එහා ඇති රත්තරං වලින් අපට පෝසත් වීමට හැකි බව අපි හිතුවෙමු..තාත්තාගේ වාසනාවට එය ක්‍රියාත්මක නොවීය.

මේ අතුරු කතාය.

මේ අපේ ගෙදරට හූනියං පෙට්ටිය ඒමට කලින් වූ සිදු වීමකි

ඒ වන විට මං ලඟ ගෙදර අක්කා කෙනෙක් සමග මගේ මුල්ම හින්දි චිත්තරපට අත් දැකීම ලබා හිටියෙමි.එහි නම මට මතක නැතත් මීදුමින් පිරි රබර් වැනි ගස් ඇති විසාල වත්තක කොන්ඩය උඩට බැඳගත් ගෑනු කෙනෙකු “අයියෝ ගියෝ ගියො මුජ ප්යාර්කෝ“ වැනි වචන ඇති  ගීයක් ගයමින් වැලපෙමින් පාවෙන්නා ලෙස ඇවිද ගිය දර්ශනයක්  මතකයේ ඇත.

ඊට පසුදා අපේ දුරින් නෑයෙකු වූ මාමා කෙනෙක් අපේ ගෙදරට නෑගං ආවේය.

මගේ චිත්තරපටි අත්දැකීමෙන් ප්‍රමුදිතව උන් මං ඒ ගැන වහාම ඔහු හා වර්නනා කරන්න ගතිමි

මක් නිසාද යත් අම්මත් තාත්තත් මා කට අරින්ට හදන හැම වෙලේකම “අපි දැං ඕන සිය වතාවක් ඇහුවානේ“ කියා අනිත්පැත්තට හැරී ඔවුන්ගේ වැඩක් බලා ගැනීම මගේ කෝපයට හේතු වුන නිසාය

ඒකෙ ගෑනු කෙනා හලීලීලීලී ලාත්තනයි...

හ්ම්..හැම නිලියක්ම ලස්සනයි

එයා කොන්ඩෙ බනිස් ගෙඩියක් වගේ බැඳල මලකුත් ගාල හිටිය

හ්ම්

ඒ අයිය හලී ලස්සනයි..ගෙවල් ලත්තනයි...මල් වතු ලත්තනයි

හ්හ්හ්හ්ම්

මෙයා මේ එකක් බලල අපිට කනක් ඇහෙන්ඩනෑයියෙ...

අපෝ මං නං ගොඩක් බලල තියනවා

මං පිනා ගියෙමි..

අනේ මාමේ මට ඒ කතා කියන්නකෝ..

එව්ව කතන්දර නෙමෙයි මාමාට තේ ටිකක් බොන්ඩවත් දෙන්නෑනේ මේ ලමයා

කමන්නෑ නංගි පොඩි එකාගේ ආසාවනේ

ආ....මමත් ඉතින් පසඟ පිහිටුවා වාඩි වුනේ සැදැහැ සිතින් කතා ටික අහ ගන්ඩය

පළවෙනි එක තමයි “ගුළු බායි ගුලල් බායි“.

ග්ගුලුබායිගුලල්බායි  මං කියද්දී අම්ම අංසක 90ට බෙල්ල අනිත්පැත්තට හරවනවා ලාවට දැක්ක

ඔවු

ඉතින් කතාව කියන්නකෝ මාමෙ

“හින්දියෙන් බායි කියන්නෙ සහෝදරයට.මේ අයියෙක්යි මල්ලියෙක්ගෙයි කතාව...

ඉතිං

මාමා ටිකක් ඇඹරුනේය...

මට ඉතුරු ටික මතක නෑ..

බෑ...කියන්නම ඕනෑඈඈඈ...තාත්තාගේත් මාමාගේත් ඇස් ක්ෂනිකව එහේ මෙහේ විය

ඉතිං...තාත්තා කතාව පටන් ගත්තේය....

තාත්තත් දන්නවද

ඔවු මාත් බැළුව
ආන් දැක්කට මට කීවෙවත් නෑ

ඉතිං කරදර නොකර කතාව අහගන්ඩකො..නැත්තං තාත්තටත් අමතක වෙයි...

දවසක් සෙල්ලං කර කර ඉද්දි අයියයි මල්ලියි හුලඟකට අහුවෙලා දෙපැත්තකට ගහං ගියා..

ඉතිං

මල්ලිට හිටිය බලලෙක්..අයියට හිටිය බල්ලෙක්...ඒ දෙන්න ඉවෙන් හොයාගෙන අයියයි මල්ලියි මුන ගැස්සුව...

ඉතිං තාත්තේ අර හුලඟට බල්ලයි පූසයි ගහගෙන ගියේ නැද්දැයි ඇසීමට තරම් මොලයක්  ඇති දියණියක් නොසිටීම තාත්තගේ වාසනාවකි.

ඇයි අනේ “හින්දියේ ජලක්“ ඒ සැනින් අම්මාද එක්කලේ හිනාවෙන් පිපිරෙමිනි

ඔයාල අලි නරකා...චිත්තර පටි ගොඩක් බලල මට කතාව කීවෙ ලෑ.ලෑලෑලෑ

ආ ඒක අම්මයි තාත්තයි බඳින්න කලින් බලපු චිත්තර පටියක්නෙ...මාමා තාත්තට ඇහින් ඉඟි කරමින් කියයි

මේ මල්ලි ඕන නැති කතා කියන්ඩ එපා...අම්ම තරහක් පායි

අලේ අම්මෙ ඒකෙ කතාවත් කියන්ඩකෝ.....මම බැගෑපත් වෙමි

ඒක මේ රෙදි කඩයක් කරන ගෑනු ලමයෙක් ගැන තියන එකක්

අලේ ***********මාමලාගේ රෙදි කඩේ වගේ එකක්ද

නෑ...නෑ ඊට වඩා ගොඩක ලොකු එකක්.අනික ඒක තිබුනෙ ඉන්දියාවේ....

ඉතිං කතාව කියන්ඩකෝ

මේ..මේ  ඒ ලමය කම්මැලි කමට රෙදි මහල තිබුනේ බාගෙට...ඉතින් එයා ට විකුනන්න උනේ ඉරුන රෙදි

ඉචිං

අන්තිමට ගමේ මිනිස්සු එයාගෙ කඩේ කඩල එයාව ගමෙන් පැන්නුව

පවුනේ

කරන වැඩ හරියට නොකරන කම්මැලි ලමයිට වෙන්නෙ එහෙම තමයි...

“පූකිනකේබෙල්තේරේ“

ඒ මොකක්ද තාත්තේ

ආ ඒ මාම බලපු තවත් හින්දි චිත්තරපටියක් වෙන්ඩ ඇති

මොකක්ද මාමේ ඒකෙ නම

පූකි නකේ බෙල් තේරේ

දැන් ඉතින් උඹම කියහං කතාව....

මම අහන්ඩත් කලින් තාත්ත කීව

ඇයි තාත්ත ඒක බලල නැද්ද?

නෑ

අලී...මාම එහෙනං අපිට ඇහෙන්ඩ ඒක තියන්ඩ..තාත්ත බලලත් නෑලු

ඒ..මේ...ඒ..මේ

මොකද අදින්නේ..කියහං ඉතිං ළමයට

මේ...මේ ..ඒ හෝටලයක් කරපු වයසක මනුස්සයෙක් ගැන එකක්...

ඉචිං

ඒ මනුස්සයට සෙනසුරාදා උයන්ඩ ඕන කරන තෙල් කඩෙන් අරන් තියන්ඩ බැරි වෙලා.ඉරිද නිවාඩු දවසනෙ...තෙල් කඩ වහල..ඉතින් උයන්ඩ තෙල් නෑලු

ඉචිං ඉවුවේ කොහොමද

මිනිහට තෙල් හම්බුනා අන්තිමට

කොහොමද?

දෙයියො දීලා

අනේ තව බලපු එකක කතාව කියන්ඩ මාමේ

තව අළුත් එකක් ආව මං හිතන්නෙ..කළු අයිය දන්නව

මොකක්? ඒ අම්මාය

මිනිහගේ කඩෙත් ගහලා තිබුනෙ

??????අම්මගෙයි තාත්තගෙයි ඇස් නලලේය..

අනේ පලයං අයියෙ ඒ විංකලේ ඉන්න මනුස්සයයි මායි බලන පිචෑර්

අම්මප නංගියේ මිනිහගෙ කඩේ ඉස්සරා ගහල තිබ්බ බයිසිකරෙ පෙයාර් කෙරේ කියල

අනේ මාමෙ ඒ කතාවක්...

මං ඒක බලල නෑ...

අනේ අම්මෙ..

මං බලලත් නෑ..අම්ම කීවෙ හිනාව හංගෙගෙන බව මට හොඳටම විස්වාසයි

තාත්තෙ???

මාත් බලල නෑ ලමයෝ...තාත්තයි මාමයිත් හිනා වෙනව...එයාල චිත්තර පටිය බලල මට ගනං උස්සනව කියල දැං නං මට හොදටම විස්වාසයි

ඔයාල බොළු කියන්නෙ...මං තලාම තලායි.......මං ලොකු වෙලා සල්ලි ගොඩක් හම්බ කරල ඔය සේරෝම බලනව.ඔයාල බලල නැති එවුවත් ගොඩක් බලනවා