Tuesday, July 23, 2019

01 පළමු දවස 2019 ජූනී 22

..
01 පළමු දවස 2019 ජූනී 22
අද සිහිනමය සුන්දර දවසක්..දිව්‍යමය දවසක් කියල කියන්නත් පුළුවන්.සමහර විට මගේ ජීවිත කාලයම මැව්ව සිහිනය සැබෑ වෙන්න හෝ බොඳ වෙන්න තියෙන්නෙ හරියටම දවස් දහ අටයි.මේක ඇත්තක් කියල හිතා ගන්නත් බෑ.යාළුවෙක් කතා කරල මට දරුවෙක් දෙන්න කැමති අම්මෙක් ඉන්නව කියපු දවස වත් ,මම ඉස්සරලම ඒ අම්ම බලන්න ගිය දවසවත් ගැන හරි මතකයක් නෑ

.ඒත් අද 2019 ජූනී 22 මට ගලක කෙටුව අකුරක් වගේ මතක හිටියි.හරියටම කීවොත් දැන් 23 වනදා උදේ 2.08 යි.ඒත් සතුටට නින්ද යන්නෑ
සැමියෙක් ගැන හීනයක් පවා නොතිබුන කාලෙකයි මගෙ හීන වල චූටි පැට්ටෙක් හිටියෙ.එයාට ආදරේ දෙන හැටි එයා එක්ක ඉස්කෝලෙ යන හැටි ,සෙල්ලම් කරන හැටි ඡායාවක් වගෙ හිත ඇතුලෙ කොතන හරි ඇඳිල මැකිල යමින් තිබුන. උඹට ඕන කරන දේවල් ේකතු කල බැන්ද දවස ඉඳලමයි.ඒත් ආඩම්බර උඹ මං ළඟට එන දවස දවසින් දවස කල් දැම්ම
දෙපාරක් ඒ හීනෙ ඇස් අද්දරටම ඇවිත් මැකිල ගිය දුක තාමත් හිතේ








ඉතුරුයි.කාටද හිත හදාගෙන තමන්ගෙ අතට එන සුර දූතයන්ට පිටුපාන්න පුළුවන්...
ජීවිතෙ ලොකුම හීනෙ දවසින් දවස හීනයක්ම වෙනකොට විකල්ප අවස්ථා සලකා බැලුවෙ වාණිජ විෂයයන් වලින් ලැබුන පන්නරය හන්දම වෙන්න ඇති.

පරිවාස කාර්යයාල වල රස්තියාදු,ලෝයර්ල ලඟ පණ බයෙන් කරපු සාකච්ඡා ,බඩු ලිස්ට් ගන්න කඩවල් ගානෙ ගියපුව...ගමේ  මිනිස්සු නොදකින්න බෝඩිමට හොරෙන්ම  ගෙනත් හෝදපු නැප්කින් එකක්වත් මට හැබෑ ඒවා විදියට දැනුන් නෑ.

අද උඹ දරාගෙන ඉන්න අම්මගෙ ඇමතුම ලැබෙනකම්...

අක්කෙ කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක්ලු...
.
මට හැමදාම ඕන වුනෙ පුංචි දඟ පුතෙක්...ඒකයි රෝසපාට දැක දැකත් නිල්පාට තෝරගත්තෙ.
එදා ඒ දුප්පත් ගෙදර මං දැක්කෙ අවම අවශ්‍යතාවත් සම්පූර්ණ නැති ජීවිත තුනක්....එකම එක සෙල්ලම් බඩුවක් වත් නැති අවුරුදු දෙකක පැටියෙක්...උඹටත් ඒ ජීවිතේ නොදෙන්නයි ඒ අම්මටයි තාත්තටයි ඕන වුනේ...වල් කම් කරල නෙමෙයි . ආදරේ අහඹු  ප්‍රතිඵලයක් විදියට අහම්බෙන් ආව පැටියට ලස්සන ජීවිතයක් දෙන්නයි එයාලට ඕන..එයාල  ඒකට මාවම තෝරගත්ත ඒක  දෛ වයේ හාස්කමක්...


ඔයා වෙනුවෙන් විතරයි මම මේක ලියන්නෙ...මං වාසනාවන්ත නම්..ඔයා මං ළඟට ඒවි.සමහර විට මගේ හිත රිදෙයි කියල ඔයාට දැනගන්න ම ඕන ප්‍රශ්නයක් දවසක ඔයා  මගෙන් නාසා ඉඳීවි...

එදාට මම ඔයා ළඟ හිටියත් නැතත් ඔයාට මගෙ බ්ලොග් එක උත්තර දේවි...මං ඔයා මා ලඟට එන්නත් කලින් ඉඳල මං ඔයාට කොච්චර නම් ආදරේ කලාද කියල සමහර විට ඔයාට තේරුම් යාවි.ඒත් ඔයා මගේ ජීවිතයට ගෙනාවෙ කොච්චර ආලෝකයක් ද කියන්න නම් විශ්වයේ සියළුම භාෂා වල වචන වලින් වත් පැහැදිලි කරන්න නම් බැරි වේවි...


මගේ රත්තරං පැටියෝ එන්න ජීවත් වෙන්න....
අපි තුන්දෙනා එකතු වෙලා ආදරය පිරුණු පුංචි ලෝකයක් හදා ගමු
..අගෝස්තු නම වෙනිදා ඔයා මේ ලෝකෙට එනකල් අපි මඟ බලාගෙන ඉන්නෙ.

අපේ ජීවිත දෙකට අරමුණක්...ලෝකයට ආදරෙත් පුංචි අත් දෙකේ ගුටි කරන් ඔයා එනකල් අපි බලන් ඉන්නවා...මගේ රං කැටේට බුදු සරණයි..දොස්තර මාමලා එන්න කියනකල් ඔය අම්මගෙ බඩ ඇතුලෙ සනීපෙට ඉන්න..පරිස්සමින් මේ ලෝකෙට එන්න.ඊට පස්සෙ මේ අම්මයි තාත්තයි ඔයාව හුස්ම පොද වගේ රැක බලා ගන්නවා

Monday, April 22, 2019

මා දයාබර මිතුර


දයාබර මිතුර,

මට ඔබ අමතක කල නොහැක.මඟ හැර යා නොහැක.

එකම තාප්පය දෙපස ඔබත් මාත් දෙදෙනා විසුවේ උපන්දා සිටමය.ඔහුත් මාත් වෙන් වූයේ අපේ වත්ත මායිමේ පිහිටි කම්බි පොටවල් කිහිපයකිනි.

නමුත් අප පාසල් ගියේ එකටය.එකම පාසලටය.සෙල්ලම් කලේ එකටය ..ඒ අප කාගේ හෝ ගෙදරකය..නැත්තං ගම්මානයේම කොල්ලො කුරුට්ටො සමඟ හිස් ඉඩමකය.

අප තිදෙනාගේ ජීවිතයේ සෑම මොහොතකම සියළු බර සම සමව දරා ගත්තා අමතක නැත.මගේ ජීවිතයේ වසන්ත සමයන් වලදී අප තිදෙනා නැංවූ සිනහ හඞේ අවතාර තාමත් මගේ සවන් තුල හිරවී ඇත.

ජීවිතයේ අනේක කුණාටු සමයන්හිදී මගේ දෙඅත් අල්ලාගෙන මා රැක ගත් ඔබ දෙදෙනාගේ ශක්තිමත් මිත්‍රත්වයේ දෑත් වල උණුසුම සදහටම මගේ සම තුල නිධන්ව ඇත. 

ඔබේ අම්මාගේ වටලප්පන් රසයට වඩා ඔබගේ මිතුරු කම රස වැඩිය.ඔහුගේ අම්මාගේ කේක් රසයට වඩා ඔහුගේ මිතුරු කම රසය.ඔබ නාවත් මා සැම දාම ඔහු සමඟ නත්තල් දේව මෙහෙයට ගියෙමි.

ඔරසන් නොකීවත් ඒ මධුර සංගිතය රසවිඳීමි.වෙසක් දාට ඔහු මා සමඟ දන්සන් වඳිමින් පන්සල් යද්දී ඔබ අපේ රියදුරු වෙමින් අප පැමිණෙන තුරු ගේට්ටුව අසලට වී සිටියේය.තොරන් වෙසක්කූඩු අපි මෙන්ම රස වින්දේය.අප තරමටම කැවුම් කොකිස්රස හඳුනා සිටියේය

.ඔබගේ උපවාස කාලයේදී අපේ කෑම පෙට්ටි ද ගෙදර දමා පාසලට ආවේ එතනදීද ඔබ තනි නොකිරීමටය.එවැනි දිනක සවසට රස සුප් ජෝගුවක්ද උණු බුරියානි බතක්ද ගෙන අපේ ගෙවල් වලට දුව ඒම එදා මෙදා තුර කිසි දිනක ඔබ අමතක කළේම නැත.අපි එකම ඒකකයක කොටස් තුන වීමු.

අද ඔහු සීතල මස් කුට්ටියකි.අප තිදෙනා එක්ව නානාගේ සයිවර් කඩෙන් බඩ පැලෙන තුරු තෝසෙ කෑවේ පෙරේදාය.අද ඔහු සීතල මස් කුට්ටියක්ම පමණි.එතකොට ඔහුගේ මිණී මරුවා ඔබද?මට ඇදහිය නොහැක.මට දරාගත නොහැක.

ඔබේ දෑස් ද මගේ දෑස් මෙන්ම ඉදිමී රතු වී ඇත.ඔබත් මා මෙන්ම ඊයේ රාත්‍රිය පුරා හඞා වැටුනාවද්ද?

ඔබත් ඔහුත් අපේ නිවසට ඒම ඉර පායනවා,බහිනවා සේම ස්වභාවික සංසිද්ධියකි.නමුත් ඔහු නම් ආයේ කවදාවත්ම එන්නේ නැත.

දැන් ඔබ පැමිණ සිටී..වෙනදා ඔබ දුටු විටම ඔබේ කකුල් දිගේ බඩගාන පුංචි එකාට ඔබ වෙත පැමිනීමට නොහැකි වන අයුරින් මස්සිනා ඔහු මිරිකාගෙන සිටී.පුංචි එකා හඞයි වැලපෙයි.ඒත් මස්සිනා ඔහු අත නොහරී.ඔබගේ කලිසම් සාක්කුවෙන් නෙරා තිබුනු සැක කටයුතු පොදිය දෙස මම එක වරකට වඩා බැළුවෙමි.තාත්තා සෑම තත්පර දහයකටම වරක් ඒ දෙස බැළු අතර මල්ලී ඇසිපිය නොහෙලා ඒ දෙස රවාගෙන උන්නේය.

ඔබ එය සාක්කුවෙන් ඇද පොඩි එකාට දික්කල අතර ඔබ හැමදාමත් රස කැවිලි ගෙනන බව දැන සිටි, පුංචි එකා සමඟ රණ්ඩු කරමින් ඒවා කෑ නංගී වහාම එය උදුරා ගත්තේ පෙරේත කමට නොවන බව ඇගේ බැරෑරුම් මුහුණ දැකීමෙන්ම මම තේරුම් ගතිමි.ඇය ඒ මල්ලට එබී බලා අනතුරුව මුළු මනින්ම එය පොඩි එකාට දිගු කලාය.

ඔබටත් මටත් ඔහුටත් සම්බෝලයි බතුයි අනා එකටම කැවූ මගේ අම්මා _පොඩි එකාගේ අත්තම්මා_ ඔහු දෙස බලා උන්නේ මේ දැන් මුණුපුරා මැරී වැටෙනු ඇතැයි සංකා සහිතවය.
මේ අපට කුමක් වූවාද?

මට ඔබ දෙදෙනාම අහිමි වූවාද?තාමත් මට වටහා ගත නොහැක.

නමුත් දයාබර මිතුර,

තවමත් අපේ මිත්‍රත්වය නිම වී ඇතැයි මට නොහැඟේ.එයට විෂ බිඳුවක් එක් වූවා පමණි.එදා මෙන්ම පවිත්‍ර හදවතින් මට ඔබගේ කරට අත දමා ගත නොහැකි බව සත්‍යකි.එදා මෙන් පිරිසුදු සිතින් ඔබ හා මුසු විය නොහැකි බව සත්‍යකි.ඔබේ නිවසට ආ ගිය නොහැකි බව සත්‍යකි.නමුත් අපේ මිත්‍රත්වය මිය ගොස් නැති බවද එමෙන්ම පරම සත්‍යයකි.අපි මදක් හදවතින් ඈත් වූවා පමණ.

එය මට දරාගත නොහැකි වේදනාවකි.මතක ඇති කාලයක අපි තිදෙනා වෙන් වී සිටියේ නැත.එකි නෙකාගෙන් ඈත් වී ජීවත් වන විදියක් අපි තුන්දෙනාම දැන උන්නේ නැත.ඔහු නැත.නැත්තටම නැත.දැන් මට ඉතිරි ඔබම පමණි.ඔබත් මට අහිමි වේද?

මේ ජාතිය,ආගම,අන්තවාදය සම්බන්ධ කරුණක් නොවේ..අනේ දෙවියනි එබඳු කිසිම කරුණක් නොවේ.

ඊට එකම හේතුව හුදෙක් මා මගේ ජීවිතයට ආදරය කිරීමය.මගේ ආදරණීයයන්ගේ ජීවිත වලට මගේ ජීවිතයටත් වඩා ආදරය කිරීමය.

එබැවින් සැකයේ වාසිය ඔබට ලබා දිය නොහැක.

 එය මගේ හදවතින් කොටසක් ඉවත් කිරීමක් සේ මා දවයි.

එහෙත් හදවතේ කැබැල්ලකින් හෝ පණ කෙන්ද ගැට ගසා ගැනීම නුවණක්කාර බව මගේ බුද්ධිය අණතුරු අඟවයි.

එහෙත් මට ඔබ හැර දැමිය නොහැක.එබැවින් මදක් දුරස්ව හෝ තාමත් ඔබ වෙත රැඳෙමින් සිටිමි.ඒ ඔහුගේ අහිමි වීමේ වේදනාව උසුලා ගනිමින්මය.

නමුත් ඔබ තාමත් අපේ  සැබෑ...සැබෑ..සැබෑම මිතුරා බව ඇතැම් විට කාලය විසින් ඔප්පු කරනු ඇත.එතෙක් බලාපොරොත්තු සහගතව නමුත් විමසිලිමත්ව මම ඔබ සමීපයෙන්ම ඉමි.

-සිංහල බෞද්ධ-

Wednesday, January 16, 2019

මගේ ආත්මය හාමත්ව නිහඞවම හුදෙකලාව මියයමින් සිටී...


මගේ ආත්මය හාමත්ව නිහඞවම  හුදෙකලාව මියයමින් සිටී...


මට මහා මෙරක් ඕනෑ නැත.උවමනා දූවිල්ලක් පමණි.

අල පොතු අරිද්දී තුවාල වුනු ඇඟිල්ල ඔබ වෙත පෑවේ මගේ නොසැලකිලිමත් කම ගැන ඔබෙන් බැනුම් ඇසීමට නොවේ.ඔබ එක් වරක් ඇඟිල්ල අල්ලා බලා “ඉක්මනට සනීප වෙයි“ කීවානම් එය මට හොඳටෝම ඇතිය.එහෙත් ඔබ ඒ දිහා බැලුවේවත් නැතිය.එවෙලේ  ඇඟිල්ලට වඩා රිදුම් දෙන ලෙස හිත තුවාල වී ගියේය.

ඔබට වඩා දවස මට වෙහෙසකරය.ඔපීසියෙන් ගෙදර එන්නේ වැඩ ඇරිලා ආයෙමත් යන්නේ වැඩට බව නොදැන නොවේ..එවන් දවසක ඔබ රෑපවාහිණිය ඉදිරියේය.මම තනිව කුස්සියේය.ඔය වාහිණීය නිවා දමා මා උයන මුළු කාලය මුලුල්ලේම කයියක් ගසමින්  එකම එක  ලූණු ගෙඩියක් පොතු ඇරියත් එය මට සතුටකි.වෙහෙසකර දවස වියැකෙන්නේය.

ඔබ රූපවාහිණීය සමඟ කාලය බෙදා ගනිද්දී හැලිවලං අතර ඔට්ටු වන මට දැනෙන්නේ  මා අතහැර දමා ඇති බවකි.හුදෙකලා බවකි.එය වේදනාවකි.ඉන් දවසේ බර ,තවත් බර කරන්නේය.නලලත තවරන පුංචි හාදුවකින්,අනපේක්ෂිත වැලඳ ගැනීමකින් සතියක ජවය මට ලැබෙන්නේය.ඔබට තත්පරයකින් උරුමකල හැකි ඒ සතුට පවා මට නොදී සිටීමට තරම් ලෝභ ඇයිදැයි මට වැටහෙන්නේ නැත.

මගේ උපන්දිනයට මට බැංකොක් තායිලන්ත සවාරි ඇවැසි නැත.අවදි වූ මොහොතේ ම ඔබේ සුභ පැතුමකින්  මගේ උපන්දින දවස අරඹන්න මං මනාපය.හවස මගේ අතින් අල්ලා ගමේ පංසලට එක්ක ගෙන ගොස්  සයිවර් කඩයකින් උණු වඩේ එකක් සමඟ ප්ලේන්ටියක් අරන්දීම ඊළඟ උපන්දිනය තෙක්ම සෑහෙන්නේය..අපේ මුළු විවාහය පුරාවටම එක් දිනක් හෝ ඒ සතුට මට  උරුම වී නැත.

මට සතුටු වීමට ලොව වටා රටවටා සවාරි අවැසි නැත.ගෙට පල්ලෙන් ගලන දොලපාරට මසකට වතාවක් වත් මා නෑමට එක්ක යෑම සෑහේ..එය පවා ඔබෙන් මට උරුම නැත.මා ඊට ගියේ ,අසල්වැසියන් සමඟය.ඔවුන්ට සේ අත් දැකීම් හෝ සතුට හෝ බෙදාගැනීමට පවුලක් මට නැත.ඔබේ සතුට මගෙන් හුඟක් ඈතය.

රස මසවුළු,කසී සළු මට අවැසි නැත.ඒත් වැඩ ඇරී එන විට නෙල්ලි ගෙඩියක් ටොෆියක් අරන් ඒමට බැරිතරම් ඔබ දුප්පතෙකු නොවන බව මම දනිමි..ඒත් ඒ කැපවීම මා උදෙසා ඔබට නැත.

කකුලේ යකඩ ඇණයක් ඇණුන දිනය අදවගේ මතකය.එදා බෙහෙත් විදින්නට ගොස් ඔබ   ඔබේ මිතුරෙකු සමඟ සුහද කතාවේය.තනි කකුලෙන් පඩිපෙල නැගගන්නට බැරුව අනේ  එදා මා අසරණ වුන තරම් ....අනේ තාත්තා හිටියා නම් මා එතැන තනිකර දමා යන්නේ නැත...මා කර තබා හෝ රැගෙන යනු ඇත...එදා ඔබේ මිතුරා මගේ අසරණ කම දැක ඔබට නොපෙන්නුවානම් ඔබ කවදාවත් ම එය දැක ගන්නේ නැත.මා  බඩගාගෙන හෝ තනිවම එය තරණය කරනුඇත.

මගේ කුඩා කුඩා ජයග්‍රහණ ඔබ සමඟ බෙදා ගැනීමට කැමතිය...නමුත්ඒ කිසිවකට ඔබ ආවේ නැත.එකම හේතුව ඒවාට ඒමට ඔබට කම්මැලි සිතීමයි.ඔබට නොවැදගත් මට වැදගත් දෙයක් වෙනුවෙන් ඔබේ ජීවිතයේ එක් දවසක් වත් කැපකිරීමට ඔබට හැකියාවක් නැත.

ජෝඩු දමා ඔබේ අතේ එල්ලී ඇවිද යාමට සාප්පුවකට ගොස් ඇඳුම් තේරීමට ,තම ආදරණියයා සමඟ අත්දැකීම් බෙදා ගැනීම කොයි බිරිඳගේත් සිහිනයකි.එහෙත් තනිව බඩු ලැයිස්තුවක් ලියා ගෙන, අතින් කටින් බඩු මළු උස්සාගෙන ටවුම මැද්දෙන් බස් එකට දුවන මට ඒ බොළඳ ආදරණීය අත්දැකීම විඳ ගැනීමට දෛවය ඉඩ තබා නැත.

මා උදෙසා ඔබේ ලෝකයේ කිසිදු ඉඩක් නැත.ඔබේ මිතුරන් දෙමාපියන්ට ඔබ අයිතිය.නමුත් මට ඔබේ අයිතියක් නැත.

මා හුදකලාවේය...මා ඉල්ලන්නේ ආදරය කන් හැන්දකුත්...අවධානය මිලි ග්‍රෑම් පහකුත්, තත්පර කීපයක සිප වැළඳගැනීමකුත් පමණී.නමුත් ඔබ හුඟක්ම ලෝභය.

ඉතින් මගේ ආත්මය හාමත්ව අඟලෙන් අඟල මිය ඇදෙමින් සිටී.මගේ ජීවනාලිය සිඳී ගොස්ය...ජීවිතය හා දවස ඔසවාගෙන සිටිය නොහැකි තරම්ම බරය...

තව දුරටත් දරාගත නොහැකි තරම් මය....දැනටම ආදරය බිඳී ගොස් උදාසීන හැඟීමකින් හිත පිරී ඇත...එය ද වියැකුන විට ආදරය වෛරයක් බවට පත්ව ඔබ දාවාලයිදැයි මට සැක හිතේ...නොතකා හැරීම් මිලියනයකට...හිත රිද්දීම් ට්‍රිලියන දහයකට වගඋත්තර කරු වන ඔබ මගේ ආත්මය මරා දැමූ මිණී මරුවාය...ආත්මය සමඟ ශරීරයත් මියගියා නම් ඔබට බිය වීමට කිසිඳු කරුණක් නැත
.
මියැදුන ආත්මය සීතලය..හදවත බිඳී ඉරිතැලිලාය.....ආදරය දැනටමත් වියැකී ඇතිඅතර හිස් ඉඩ වෛරයෙන් හා වචන ඊතල වලින් පිරී යතැයි මට හුඟාක් බියය.....

ඉතින් ඒවායින් ඔබට හුඟක් රිදෙන්නට පුළුවන...ඒ මල ගිය ආත්මයකට ඔබේ තබා මගේ වත් හැඟිම් වලට සංවේදී විය නොහැකි බැවිනි.