Wednesday, April 29, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 5 කොටස


05. කිඩාරම් මල සහ අපාය
අද තවත් දවසක්.සුපුරුදු විදියටම දහඩිය පෙරාගෙන යන්තම් වෙලාවට මල් වත්තට ගොඩ වැදුනා.“අද මම ඉස්සරලම යන්නේ පිපෙන්න අර අදින මල් පාත්තිය බලන්න“ මම වැඩිහිටි සමන් මල් මැද්දේ කිව්වේ නිකමට. “එහෙනම් ඉක්මනටම දුවන්න.....දඟම දඟ මල් කැකුළු ටිකක් තමයි ඒ පාත්තියේ පිපිලා තියෙන්නේ.....නැත්තම් ඔයා පරක්කුවෙන එක විනාඩියකින් එයාලා රණ්ඩු කරලා පෙතිත් ඉරාගනී.“  මේ උපදේශය අහපු මං උදේ ඉඳලා එකතුවුනු පිණි වල බරත් දරාගෙනම මල් පාත්තිය දිහාට පියෑඹුවා.එක එක පාට කැකුළු ගොඩක් මං දිහා බලා ඉන්නේ කුතුහලයෙන්.
මම මගේ ගීතයේ තාලය ටිකක් වෙනස් කලා. පළපුරුදු සමන් මල් මට දුන්න උපදෙස් නිසා අවධානමට කලින් සූදානම් වෙන්න පුළුවන් වුනා.
“මම අද කොහොමත් පිපෙනහැටි ඔයාලට උගන්නන්නේ නෑ.....මං අද ඔයාලට කියා දෙන්නේ ලස්සන සුවඳ රෝස මල් කැකුළක් ගැන කතාවක්. අනේ ඒත් ඒ මල් කැකුළට කවදාවත් පිපිලා ඉවර වෙන්න බැරි වුනා.ඒකට හේතු වුනේ එදා ඉඳන් අද වෙන කල්ම දුඟද විහිදන එක කිඩාරම් මලක් ඒ මල් කැකුළ පොඩි කරලා දාපු එක.කැකුලේ මවු මලත් බෝගම්බර වැවේ ගිල්ලලා දැම්මා.“ මේ මල් කැකුළු එක සීරුවට සේරම අහගෙන හිටියා.හැම දෙයක්ම තේරුම් ගත්තා වගේ එහෙට මෙහෙට වැනුනා.කවදා හරි ලස්සන සුවඳ මල් වෙලා ඉක්මනටම හෙට ලෝකෙට මේ මල් කැකුළු පිපේවි.සතුට මගේ හිතේ පිනුම් ගැහුවා.ඒ සතුට මධු බිංදුවක් වෙලා හිතේ රැඳුනා.ඒත් ටික වෙලාවකට විතරයි.
“කිඩාරම් මල අපායේ ගියාද ?රෝස මල් කැකුළට පිපෙන්න දුන්නේ නැති නිසා.“පළපුරුදු සමන් මල් මට බොරු නොකී බව මට ප්‍රත්‍යක්ෂ වුනා.
මොකද වුනේ කියලා හිතා ගන්න මට ටික වෙලාවක් ගියා.
“මල් කැකුළ මාව විහිළුවකට ගත්තද?“මම කල්පනා කලා.සුදු පෙති රතු පාටින් පාට වේගෙන එනවා කියලා මට දැනුනා.නව මොහොතකින් සමන් මල් සුවඳ වෙනුවට කුණු ගඳක් මං ළඟින් වහනය වෙන්න යන බව මට තේරුණා.
ඒ සිතිවිල්ලෙනුයි මං මල් කැකුළ දිහාට හැරුනේ.ඒත් ඒ මල්කැකුළ මත සරදමක් හෝ හිනාවක් රැඳිලා තිබුනේ නෑ. කුතුහලයක් විතරමයි රැඳිලා තිබුනේ.මම වහාම ගිනියම් වෙමින් ආ පෙති වසා ගත්තා.
“ඔවු ......පවු වැඩ කරන අය අපායට යනවා තමයි“මම දෙකටම නැති උත්තරයක් දීලා ආපසු හැරුණා.
ඒත් ඒ මල් පාත්තියෙන් එළියට එනකොට මගේ හිතේ තිබුනේ පරාජිත බවක්.මං එයාලට කියල දුන්නු තාල එකක්වත් එයාලා නිවැරදිව ග්‍රහණය කර නොගත් බව මට අවබෝධ වුනා.ඒ මදිවට මාව විහිළුවකට ගන්න ඇති කියන වේදනාවත් හිතේ තිබුනා...
මං මේ කැකුල සම්බන්ධයෙන් ඊළඟට ගන්න පියවර මොකක්ද?මගේ රිදුනු හිත පළපුරුදු මලක් ඉදිරියේ දිග හැරියේ මට ඊළඟට මොකක්ද කරන්න පුළුවන් කියලා දැන ගන්න.
“පිපෙන්න අර අදින වයසේ කැකුළු වලට ඔය වගේ ප්‍රශ්ණ තියනවා.එකත් එකටම ඒ කැකුළ හැදුණු කිනිත්තේ වැඩිහිටි මලක් එහෙම කියලා දෙන්න ඇති......“පළපුරුදු සමන් මල හිනා වුනා.ඒ හිනාවෙන් කියවුනේ ඔය වගේ  ප්‍රශ්න බොහොමයකට එයා පිළිතුරු දී ඇති බවක්.
මගේ ගිණියම් වුනු පෙති ඒ කැකුළට නොපෙන්වීම ගැන මගේ හිතට ඇති වුනේ සැනසිල්ලක්.මං අසාර්ථක වෙන්නම ගියා.ඒත් මම අසාර්ථක වුනේ නෑ...
එතකොටම මට මතක් වුනේ මං මල් වත්තට ආපු පළවෙනි දවස.එදා සූරියකාන්ත මල මට මෙහෙම කිවුවා

“අපිට හිතෙනවා පුංචි මල් කැකුළු හැමදේම දන්නවා කියලා....ඒත් ඇත්තටම එයාලා දන්නේ නෑ“

ඩබ්.කේ

2 comments:

  1. හැමෝම හැමදේම දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. හුම්...ඒත් මට ඒක කලින් තේරුම් ගන්න බැරි වුනාන‍ේ

      Delete