Wednesday, April 29, 2015

මං මුලා සෙවනැලි - 05 කොටස


මම ඉපදුනේ ................... අවුරුද්දේ.................................. ගමේ.ඒ ගම කොහෙද කියලා බබා හිතයි.නම ඒතරම් නුහුරුයි නේද?ඇත්තටම ඒක අයිති  සබරගමු පළාතට.ඒත් මම දැකපු එකම සිතියමකවත් ගමේ නම තිබුනේ නෑ.ඒත් සබරගමුවට ආවේනික හැම ලස්සනක්ම ගමේ තිබුනා.එක දිගට පැතිරුනු වෙල් යායවල්,ගම වට කරල මුර භටයො වගේ ඉහලට හිට ගත්තු කඳු වැටිය,උදේට මීදුම් පොරව ගත්ත ගස් වැල්,වෙල් යාය මැදි කරල සුදු පාටට බැබළුන පංසල මේ මතකය අවුවට කරාගෑටි වුන කොළඹ දී පවා හිතට සිසිලසක් ගෙනාවා.ගමේ හිටපු මිනිස්සුන්ගේ හත්මුතු පරම්පරාවම ජීවත් වුනේ ගමේම තමයි.පරණ පරම්පරාව මැරිල ගියේ තමන්ගේ ඉඩකඩම් දේපල සංස්කෘතිය විතරක් නෙමෙයි තරහ මරහත් තමන්ගෙ දරුවන්ට දායාද කරල දීලා.ලොකුම විහිළුව තමයි තුන්වෙනි හතරවෙනි පරම්රාවල්  වෙනකොට වෛරයට හේතුවවත් මතක නෑ.ඒත් පුංචි දේටත් දඩ බල්ලො වගේ කඩා පනිනවා.ගහ මරා ගන්නවා.
ගමේ තිබුන ලස්සන ගමේ මිනිස්සුන්ගේ හිත්වල තිබුනේ නෑ.ඒ අය තමන්ගේ සරල උවමනා එපා කම් ඉටුකරගෙන සතුටින් ජීවත් වුනා තමයි.ඒත් දිය යටින් ගිණි ගෙනයාම්,ඊර්ෂාව ,කේලම් ඒ අය අතරත් තිබුනා.කවුරු හරි ගෑණියෙකුගේ කයි කතන්දරයකට අම්මා ගෙයින් එලියට බහින්නේ චීත්තෙ තද කරලා අඳින ගමන් අමු තිත්ත කුණුහරුප වැලක් කියාගෙන.අපේ අම්මත් ගමේ ඕනම ගෑනියෙක් වගේ නියම කටු අත්තක්.ගොවිගම -හකුරු,ඇති-නැති,උගත්-නූගත් වගේ බෙදෙන්න පුළුවන් හැම විදියටම මිනිස්සු  බෙදිලා හිටියා.පංසලේ හාමුදුරුවොත් පෝය දවසට වටාපතෙන් මූණ වහගෙන ,ඇස් දෙකත් පියාගෙන “නජජ්ජා වසලෝ හෝතී “ දෙසුවට පද්දෙක් කියලා සමන් අයියව මෙහෙ පංසලේ මහණ කර ගන්න බෑ කිවුවා.
“පද්දන්ට මේ ගොයිගම අපිත් එක්ක මහන දම් පුරන්න..හහ්  මුං ඉදිමිලා තියන රඟ“ හාමුදුරුවෝ අප්පච්චි එක්ක කිව්වේ මම ඉන්නැද්දිමයි.
“නොදෝකින් ඉතරක් ...මේ ගනින්නාන්සෙලා බුදු බනත්  විකුර්ති කරනවා“අප්පච්චි කීවේ පංසල නොපෙනෙන මානෙට ඇවිල්ලා.
“මම නම් මූණටම ඕක කියනවා“මගදී හම්බුන ලොකු අයියා කීවේ තරහෙන්.සමන් පාල අයියා තමයි එයාගේ හොඳම යාළුවා.
“කියන්න නම් වටිනවා.ඒත් ඉතින් පාංසුකූලෙකටවත් පංසල එපායෑ මයෙ පුතා“
අපි හැමෝම එදා වේල හොයං කාපු මිනිස්සු.හැමෝටම ගොඩ මඩ ඉඩං තිබ්බා.ඒ ආදායම කාටවත් අත නොපා ඉන්න සෑහුනා.හේන් කුඹුරු කැපුනට පස්සෙ මුළු ගමම එකම මඟුල් සක්වලක් අළුත් චීත්ත සරම් ඇටමාල රස කැවිලි සතුටු සිනා පුරා‍ජේරු කතා ගම පුරාම. මිනිස්සුන්ට ඉර හඳත් ගෙනැල්ල ගෙදර එල්ලගන්න ඕන වෙනවා.ඊට පස්සේ ටිකින් ටික හුලං බැහැලා පරණ දාඩිය ගඳ රොස් පරොස් රණ්ඩු සරුවල් ආයෙමත් උපදිනවා.ආයෙත් බේබද්දන්ගේ කවි සද්දෙ ඇහෙන්නඩ ගන්නවා.අන්තිමට ඊළඟ කන්නෙ වගා කරන්ඩ කඩේ මුදලාලිට හරි පොල් වත්තෙ මහත්තයට හරි ණය වෙනවා.සංසාර චක්‍රය වගේ මේ චක්‍රයෙන් මිදෙන්න කාටවත්ම බෑ.
වහින කාලෙට දිය වෙන්න වහිනවා.පායන කාලෙට කර වෙන්න පායනවා.ඔය අතරෙ අපිත් වැස්සට පෙඟෙනවා ,අවුවට වේලෙනවා.ගම ලස්සනයි කියලා වර්ණනා කරපු හැම කවියෙක්ම ගම මතුපිටින් අතගාලා විතරයි.ඒත් කවුරු හරි ගමේ හදවතට කිඳා බැස්ස නම් තේරෙයි ලෝභයෙන් ,දෝෂයෙන් ,මෝහයෙන් නගරය වගේම ගමත් දූෂණය වෙලා කියලා.
ඒත් අපේ ගෙදර තත්වය ඊට ටිකක් වෙනස් වුනේ අපේ අප්පච්චි නිසා.එයා කවදාත් බිව්වෙ නෑ.කවුරුවත් එක්ක රණ්ඩු කලෙත් නෑ.අත පය හිරි ඇර ගන්න කවදාවත්ම අපට තැළුවෙත් නෑ.එයාත් ගමේ අනිත් උදවිය වගේම ගොවියෙක්.ඒත් එයා කුඹුරෙන් සුදා නෝනගෙ හොර කසිප්පු තිප්පලට ගියේ නැති නිසා අපිව උකුලෙ තියන් ජාතක කථා ,ගම් මැදි හෑලි,ජන කවි කියා දෙන්න එයාට ඕන තරම් කාළය තිබ්බා.මට ජීවිත කාලයටම මුණ ගැසුනු නානාප්‍රකාර චරිත අතර අප්පච්චි තරම් පුළුල් ජීවන දෘෂ්ඨියක් තියන කිසිකෙනෙක් මට තාම හම්බුන් නෑ.එයා කරත්ත කාරයෙක් වුන කිරිඅප්පච්චිත් එක්ක රට පුරාම සවාරි ගහපු කෙනෙක්.හොඳට රට තොට දැකපු කෙනෙක්.නයෙක් ගහලා සනීප වෙන කල් අනුරාධපුර පංසලක ඉඳිද්දී පොඩි නමකගෙන් ලියන්න කියන්නත් ඉගන ගත්ත කෙනෙක්.අටමස්ථානෙත් වැඳ පුදා ගත්ත කෙනෙක්.රට පුරාම කරක් ගහලා කොච්චර රූපවන්තියො දැක්කත් අන්තිමට තමන්ගෙම ඇවැස්ස නෑනට පිටු නොපා ඈව ගෙදරට කැන්දන් ආව කෙනෙක්.
අප්පච්චි ඒ කාලෙ කතන්දර වලදි කියන අම්මගෙ ලස්සන අපිට දකින්න ඉතිරි වෙලා තිබුනේ නෑ.මට මතක ඇති කාලෙ ඉඳන්ම අම්මා දරුවො වදලයි ,බර වැඩ කරලයි දිරාපත්වෙලා.එයාටත් දරුවො නම දෙනෙක්ම ලැබිලා.ඒත් ජීවත් වෙලා හිටියේ මමයි අක්කයි,අයියල දෙන්නයි විතරයි.ඉපදෙන එක මැරෙන එක අපට සාමාන්‍ය දේවල්.නංගිලා දෙන්නෙක්ම වලදාන්න මම අයියලට උදවු වෙලත් තියනවා.හැම ලෙඩකටම තිබුනේ බේත් වලට වඩා යන්තර මන්ත්‍ර ගුරුකම්.ඒවා අහපු නැති ලෙඩ්ඩු බාර කලේ කරුමෙට.අලි ගහල,සර්පයො ගහල,මැලේරියාව,වැදුම්ගෙයි සන්නිය,ගඟේ ගිලිල,ගස්වලින් වැටිල මිනිස්සු නිතරම මැරුණා.
 අප්පච්චි නම් කීවේ හැම මන්තරේකටම වඩා බුද්ධ මන්තරේ බලගතුයි කියලා.මම ලෙඩින් වැටුනාම  මගේ පැදුරු කොනේ වාඩිවෙලා ඔළුව අත ගගා තුන් සූත්‍රය කියන අප්පච්චිගේ හඬ තාමත් අසනීප වෙලාවකදී මට ඇහෙනවා වගේ.අප්පච්චි මගේ ජීවිතේ හැබෑවටම ජීවත්වුනේ ටික කාලයක් වුනාට එයාගේ බලපෑම් මගේ ජීවිතේ පුරාවටම දැනුනා.
හේතුවක් නොදන්නව වුනාට අප්පච්චි වැඩියෙන්ම ආදරේ මට කියලා මටත් අනිත් අයටත් දැනිලා තිබුනා. කොහේ හරි යන්න ඕන වුනාම එයාගේ තනියට අඬගැහුවෙ මට.අප්පච්චිත් එක්ක මම කැලේ ඈතට ගියා.ඒ මගේ විශ්ව විද්‍යාලය.දුර ඈත තියන මූද ගැන පවා එයා මට කියලා දුන්නා .මම සොබා දහම රස විඳින්න ඉගෙන ගත්තේ මගේ අප්පච්චිගෙන්.මම එදා වස්ගමුව කැලේදී ඔයාට විස්තර කරල දුන්න හැම දෙයක්ම ඒ වචන වලින්ම අප්පච්චි මට කියපු දේවල්.
................... ගමට ඉස්කෝලයක් දානවා කියපු දවස මගේ මතකයේ තදින් ඇඳිලා තියන දවසක්.ඒ අපේ ගමට අල්ලපු ගම.
දවල් බතෙන් පස්සේ සෙල්ලමට වැටෙන පොඩ්ඩටයි මටයි අම්මා කතා කරන්නෙ හෙන්දිරික්ක මල් පිපෙන වෙලාවට.අපි මුලින්ම බැළුවේ අම්ම අතේ ඉරටු මිටිය තියනවද කියලා.අපි අකමැති දේවල් අපි ලවා කරවන්න ඉරටු මිටිය හරි හපන්.ගෙදර නුහුරු වටපිටාවක්.අප්පච්චි ගෙයි පඩිය උඩ ඉඳ ගෙන විට ඒදනවා.ලොකු අයියයි අක්කයි මැටි බිත්තියට හේත්තු වෙලා හිටියේ වැරද්දක් කරලා මේ දැන් අහු වුණා වගේ.
“උඹලගෙ හැටි බලාපල්ල මඩ නාගෙන“ අම්ම කීවත් තරහ පාටක් මූනෙන් පෙනුනේ නම් නෑ.අම්මගෙන් පෙනුනේ වික්ෂිප්ත බවක්.අප්පච්චි අපි දිහා බලලා වෙනද වගේම කරුණාවෙන් හිනාවුනා.එයාගෙ හිතේ තරහක් නෑ කියලා තේරුන නිසා මම දුවගෙන ගිහින් ඔඩෙක්කෙ වාඩි වුනා.අප්පච්චිගෙ ඇඟිලි මගෙ හිස කෙස් අස්සෙ ඇවිදිද්දි මම ඇස් පියා ගත්තෙ සනීපෙට.
“නාකි හුරතල්“..
“හෙටම ලෑස්ති වෙයල්ලා දරුවනේ ඉස්කෝලෙ යන්න“
“ඉස්කෝලේ...“පොඩ්ඩ බය වෙලා වගේ කෑගැහුවා.
“ඔන්න උඹලට අඩු එච්චරයි....ඉස්කෝලයක්“අම්ම කීවෙ අමනාපෙන්.“ඒ මදිවට මේ කෙල්ලොත් ..අම්ම මුත්ත කාලෙවත් අහපු දේවල්ද මේ“
“...................... ගමේ ඉස්කෝලයක් දාලා.ම‍ගේ  දරුවො සේරමලා ඉස්කෝලෙ යන්නම ඕන. අකුරක් දෙක් වත් ඉගෙන ගන්න ඕන.“අප්පච්චි කීවේ මුදු නමුත් ස්ථිරව.
“ඔව්ව මොකටද හැබෑටම..කෙල්ලො මගෙන් ගේ දොර වැඩ ඉගෙන ගනියි.කොල්ලො උඹෙන් කැත්තෙ උදැල්ලෙ වැඩ ඉගෙන ගනියි.තවත් දේවල් වලින් උන් මක්ක කොරන්නද“ඒ එදා මගේ දුප්පත් අම්මා අධ්‍යාපනය ගැන හිතුවෙ මෙහෙමයි.
“නෑ ඉස්සරහට උන්ට ඒකේ පල පොරෝජන  ලැබෙයි“
“අනේ මෙවුව නිකං රට්ටු හිනස්සන වැඩ.උඹලට ඕනෑම නං කොල්ලො ඇරපන්...දෑහෙ මූනෙ තියාගෙන හදපු කෙල්ලො ඔව්වායෙ ඇරල පදයක් හදාගත්තාම ආයෙ දීගෙක අරින්නද වැදගත් විදියට.
“උන් දෑහේ මූනේ තියන් හදන්න අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑ නොවැ.මට ඕනැන්නෙන් නෑ උන්ටත් මේ කඳු වලල්ලෙම හිරවෙලා ඉන්ඩ අරින්න.උන් ලෝකෙ දකින්න ඕන.කොල්ලො කෙල්ලො කියල උන්ගෙ වෙනසක් මට නෑ“
අම්මගෙ අකමැත්ත පිටම අපේ ඉස්කොල ගමන තීන්දු වුනා.අප්පච්චිම ඇවිත් අපිව ඉස්කෝලෙට බාර දුන්නා.ගොඩ දෙනෙක් අම්මා හිතපු විදියට හිතපු නිසාද කොහෙද ගෑනු ළමයි වැඩි දෙනෙක්  හිටියෙ නෑ.ඉස්කෝලෙ ගමන අපට සතුටක් වුනා.අප්පච්චි පංසලේ ඉඳිද්දී ඉගන ගත්තු අකුරු ලොක්කට උගන්නලා තිබුනා.එයා මිදුලෙ වැල්ලෙ අකුරු ලියල අපි තුන් දෙනාට කියලා දෙනවා.අපි ඒවා කියවනවා ලියනවා.ඒ නිසා බෝල ඉරි ඇඳලා අකුරු ලියන්න පටන් ගන්න අපි කාටවත් ඕන උනේ නෑ.ඉස්කෝලේ නොනලා අපිට ආදරේ කලා.එයාලගේ පොත් පවා අපට  දුන්නා කියවලා ගෙනත් දෙන්න කියලා.
අපි ගොඩක් දුර පයින් ආවා ගියා.ඒ වෙලාවේ ලොක්කා අපිට කතන්දර කවි කියා දුන්නා.මට අදත් මතකයි ඒ කවි.ඒ කට හඬින්ම.එයාට ඒවා කියලා දීලා තිබුනේ අප්පච්චි.
බබා මගේ ලොකු අයියා සමරසේන ඔයාට කවදක්වත් හිතා ගන්න බැරි තරම් අපූරු කෙනක්.හරි සුන්දර චරිතයක්.එයාගෙ හැම දේකම මොකක්දෝ පරිපූර්ණ කමක් දැක්කා. එයාගෙ හිනාවක රැවීමක පවා ඒ දේ තිබුනා.
ඉස්කෝලෙන් වැඩි දෙයක් ඉගෙන ගත්තෙ නැතත් ඉස්කෝලෙ නෝනලා කියවන්න දුන්න පොත් එක්ක අපි ලෝකෙ පුරාම  ගියා.ක්‍රිස්තියානිය ,සිංහල,භූගෝලය,අපි ඉගෙන ගත්තා.මගේ කැමතිම පාඩම් වුනේ  භූගෝලය . ඒත් මම ආශාවෙන් ඉගෙන ගත්තේ අසම්පූර්ණ විෂය නිර්දේශයක් කියලා මම තේරුම් ගත්තේ ගොඩ කාලෙකට පස්සේ.ලෝකය -භූ විෂමතා, ලෝකය-දේශපාලන, කිය කියා උගන්නපු භූගෝලයට ලෝකය සහ මිනිසා අමතක වෙලා තිබුනා.කාලය ගලා ගියා.ඒ කාලය ගැන මට තියෙන්නේ අපැහැදිලි මතකයක්.ඒ කාළයේ අපි එකින් එක ඉහල පංති වලට ගියා.ගං වතුර ආවා,නියඟය ආවා.අන්තිමට ආවේ ගැහෙන උණ.ඒක ඇත්තටම මොන විදියේ  ලෙඩක්ද කියගා මට මතකයක් නෑ.අඩු ගානේ අද මම දැනගෙන ඉන්න ලෙඩ වට්ටෝරුවෙන් ඒ ලෙඩේ ඇත්ත නම මොකක්ද කියලා මට අදත් තේරුම් ගන්න බෑ.කලින් දෙකටම කරන්න බැරි වුන දෙයක් ගැහෙන උණට කරන්න පුළුවන් කම තිබ්බා.ඒ කරුමක්කාර ලෙඩේට අප්පච්චිව ගතින් වගේම සිතිනුත් එක්තැන් කරන්න පුළුවන් වුනා.
අන්තිමට ලෙඩින් ඉන්න අප්පච්චිට කැඳ ටිකක් වත් දෙන්න වත්කමක් නැති වුනාම ලොක්කයියා ඉස්කෝලෙ ගමන නැවැත්තුවා.ඒ අප්පච්චිට නොදැනෙන්න.අපිත් එක්ක ඉස්කෝලෙ යන වෙලාවට එළියට බහින අයියා ටික දුරක් අපිත් එක්ක ඇවිත් මඟින් හැරිලා වෙලට හරි හේනට  හරි යනවා.
මට තාමත් මතකයි ඒ කාලේ හැන්දෑවල්.අන්තිමට කථා කර ගන්නවත් වාරු නැති අප්පච්චි ඇඳටම වුනා.අනිත් අය හේනට යද්දී  මම අප්පච්චි ගේ බූරු ඇඳ  යටින් වාඩි වෙලා එයාට ඇහෙන්න පොත් කියෙව්වා.නැත්තම් මම ඉස්කෝලෙ රැස්වීමේදි කරපු කතාවක් එයාට ඇහෙන්න ආයෙත් කලා.එයාගේ ශරීරයේ පණ ඉතිරිවෙලා තිබුනේ ඇස් දෙකේ විතරයි.ඒ ඇස් එතකොට දිලිසෙන්න ගන්නවා.
හැමොම දවසේ වැඩ අහවර වෙලා පිල ළඟ ඉඳගෙන දවසේ වෙච්ච දේවල් කතා තරන්නනේ අප්පච්චිට ඇහෙන්නමයි.
එතකොට අප්පච්චිගේ ඇස් ලොක්කයියා ලඟ නතර වෙලා තියෙන්නේ එයාට නොකියන රහස කියන්න කියලා බල කරන්න වගේ.
“අනේ අප්පේ ලොක්කා මේ දවස් ටිකට ඇදිලා පැදිලා තියන අපූරුව“ අම්මා කියන්නේ අපට දිරි දෙන්න වගේ.
“ඔවු අම්මේ ම් පාඩම් විභාගෙ මතක් වෙන කොට කන ඒවත් පත්තියම් වෙන්නේ නෑ“එතකොට ලොක්කයියා කියනවා.අප්පච්චිගේ ඇස් දිලිසෙන්නේ ඒත අනුමත කරන්න වගේ.
“ඒක හරි අමාරුයිළු.සුද්දන්නේ ඉස්කෝලෙ ගිය විදානෙ ගෙදර ලොකු අප්පොටත් ඒක කරගන්න බැරි වුනාලු“ අක්කා කියන ඒ ආරංචිය නම් ඇත්ත එකක්.
එකකොට අප්පච්චිගේ දිලිසෙන ඇස් දිහා බැළුවම ඒ බොරුව පාපයක් නෙමෙයි කියලා දැනෙනවා.
ඒ විදියේ බොරු දිගින් දිගටම කරන්න වුවමනා වුනේ නෑ.අප්පච්චී අපේ හීන සේරමත් අරගෙනම අපි දාලා ගියා.



.....................................................................................................................................................................

4 comments:

  1. අපි වගේ නැතුව දිගටම ලියමු

    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. අහම්බෙන් මේ පැත්තට ගොඩ වුනේ.. කතාව ලස්සනයි..

    කොටස් කීපයක් එක දවසේ දාන එකේ නරකද දවසට එකක් වෙන්න වගේ ටිකක් දිගට පෝස්ට් එක දැම්මනම්..

    ReplyDelete
  3. ස්තූතියි සී.ජේ....ස්තූතියි වර්ණ.........ඉදිරියට එහෙම කරන්නම්.මම දැන් හිතන් ඉන්නේ සතියකට පෝස්ට් දෙකක් විතර දාන්න.කටුස්සා අයියා කිවුවට පස්සෙ තමයි තේරුනේ එක දිගට පෝස්ට් දාපුවාම කියවන අයට කියවන්න වෙලාවක් නෑ කියලා

    ReplyDelete
  4. අනේ වත්සලා දැන්නම් කාලය ඇති වගේ. දැන් ඉතින් අලුත් පෝස්ට් එකක් දාන්නකෝ

    ReplyDelete