Wednesday, April 29, 2015

කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද- 01 කොටස

01.නුපුරුදු කැලයක ඇතැයි කියන මල් වත්ත සොයා
වෙලාව පාන්දර දෙක හමාරයි.ඉර තාමත් හීන දැක දැකා නිදි.කුරුල්ලො නිදි වුනාට යකඩ කුරුල්ලා ගානට වෙලාවට යුතුකම් ඉෂ්ඨ කරමින් මර ලතෝනි දුන්නා.සිහින දෙවුදුව වේගයෙන් ජනේලයෙන් එළියට පැනලා පලා ගියා.මම මලක්.පිරුවට පේ වෙලා ඉන්න ඕන සුදු වැඩිහිටි  සමන් මලක්.පුංචි මල් කැකුළු වලට සුවඳ හම හමා පිපෙන හැටි කියා දෙන්න දෛවයෙන් නියම වුන මලක්.දැන් ඉතින් මට ඉරටත් කලින් ඇහැරෙන්න වෙලා.
මම ඉස්සර මලක් නෙමෙයි.තටු ලැබිලා නිදහසේ අහසේ ඉගිල්ලිලා හතර දිග්බාගෙම කරක් ගහපු කිරිල්ලියක්.දැන් තටු කපලා දාලා නිසසල මලක් වෙන්න බල කරලා.ඇනුම් බැනුම් පෝලිමක් මල් නටුව දිගේ උඩටම ගලාගෙන එනකොට මං මල් පෙති තද කරලා පියා ගත්තේ ඒවා වචන වෙලා හුළඟට එක් වෙයි කියලා බයෙන්.
මුල්ම වැරදිකාරයා මාත් එක්ක එකම කිනිත්තෙ වාඩි වෙලා ඉන්න අනිත් මල.එයා මලක් වෙලා තැන්පත්ව ඉන්න කොට මම කිරිල්ලියක් වෙලා  නිදහසේ පියාඔන එක එයාට ඔරොත්තු දුන්නේ නෑ.අන්තිමට මට වුනේ අත්තටු දෙක අකමැත්තෙන් හරි හලලා දාලා මලක් වෙලා එයා ළඟින්ම ඉන්න.ඊළඟ වැරදිකාරයා මල් තෝරන විභාගය පවත්වපු කට්ටිය.එයාලා මාව ෆේල් නොකර පාස් කරලා තිබ්බේ මගේ අවාසනාවට.
දැන් ඉතින් ඉරටත් කලින් ඇහැරලා මල් වත්තට පාවෙන්න ඕන.පුංචි පුංචි මල් කැකුළු වලට පිපෙන හැටි කියා දෙන්න ඕන.ටිකින් ටික පිපෙනකොට මලේ රොන් සුණු පරිස්සම් කර ගන්න හැටි කියා දෙන්න ඕන.බඹරුන්ගෙන් පරිස්සම් වෙන ගමන් සමනළයෝ එක්ක යාළු වෙන හැටි කියා දෙන්න ඕන.රතු පාට වද මල් කැකුළු,නිල් පාට කටරොළු මල් කැකුළු,දුඹුරු පාට තුත්තිරි මල් කැකුළු,ගින්දර පාටට ලස්සනට තියන නියඟලා මල් කැකුළු,ඔහේ අකුලක් මැද බුම්මගෙන ඉන්න රත් මල් කැකුළු,සමනල්ලු වගේ පෙනිලා ඇස රවටන බෝවිටියා මල් කැකුළු, කාලෙකට විතරක්. පිපෙන එරබදු මල් කැකුළු,රෑට විතරක් පිපෙන කඩුපුල් මල් කැකුළු.හවස ටික වෙලාවකට විතරක් පිපෙන හෙන්දිරික්ක මල් කැකුළු විතරක් නෙමෙයි කලාතුරකින් හම්බෙන බාදුරා මල් කැකුළු මේ සේරම එක එක පාට, එක එක සුවඳ ,එක එක හැඩයේ  මල් ජාති එකම වත්තකට ගෙනල්ලා පිපෙන්න උදවු කරන්න ඕන.නටුවෙන් ගිලිහිලා බිමට වැටෙන දවස එනකන්ම මේ චක්කරේ එකම විදියට කැරකෙනවා.
ඒ මදිවට මගේ මල් කිනිත්තයි මල් වත්තයි අතර දුර ආලෝක වර්ෂ වලින් මනින්නත් පුළුවන්.මල් කිනිත්තයි මල් වත්තයි දෙකටම මාව ඕන.මේ දෙක අතර දුර පාවෙලා යන එක වැඩිහිටි මලකට උනත් ඔරොත්තු දෙන්නේ නෑ.මේ සේරම ඔළුවට එනකොට මලේ තිබුනු මධු බිංදු කඳුළු වෙලා බිමට වැටුනා

5 comments:

  1. එල යැ! ඔන්න අපිත් ආව එහෙනම්.

    ReplyDelete
  2. මගේ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි කියන මං ආසම කරන ගීතයට දීපු ප්‍රති උත්තරයක් වගේ.. බොහෝම ඉහල පරිකල්පනයක් නේ..

    ReplyDelete
  3. සාදරයෙන් පිළිගන්නවා මගේ චූටි ටීචර් බස්සිවයි කල්‍යාන මිත්‍රවයි.මට වැඩිය තාක්ෂණික දැනුමක් නැති නිසා ටීචර් උදවු නොකල නම් මම මේ බ්ලොග් කෙරුවාව අත ඇරලා දානවා.අනිත් එක කඩදාසි වල ලියලා පොත් රාක්කේ හංගලා තියන් නැතුව බ්ලොග් එකට ලියන්න ඕන කියන අදහස මට ලැබුනෙත් බස්සිගේ නවාතැනින්ම තමයි

    ReplyDelete
  4. මට නම් කිසිම අදහසක් නෑ...මේ තාම හිතනව.....

    ReplyDelete
    Replies
    1. දිගටම හිතමු...අදහසක් එයි

      Delete