දේ දුන්නක්
පායලා
හිමිදිරි පාන්දර වේලාසනින්ම මිය ගොස්ය. ටීක්
බෝල තරම් වැසි බිඳු වල පහරින් වේදනාවට පත් මිදුලේ සිය ගස් හිස බිමට නවා සිටිනු
දකින මට සිහි වූයේ විපතකදී වැල්ලේ හිස ගසා ගන්නා පැස්බරෙකි ක්‍රම ක්‍රමයෙන් දැඩි
වන වර්ෂාව විසින් උදෑසන අසිරිය සොරකම් කරගෙන ඇත .හිරු බියෙන් නිවී ගොස්ය. මල්පෙති
පිපෙන්නටත් පෙර වර්ෂාව විසින් තලා දමා ඇත.ගලා යන බොරදියෙන් ගෙමිදුල සේදී ගොස්ය.
මගේ දෑසින් ගලන දිය වැහි දිය හා මුසු වීම පිණිස ජනේලයෙන් පැන මිදුලට රිංගා ගන්නේ
පපුවේ නිධන් ගත ඉකිබිඳුම සෙමින් දිය කර හරිමිනි. අපට උඹලත් වැඩි නැතැයි පවසමින්
බොර දිය ඒවා පිළි ගනුයේ ආදරයෙනි. මේ වසින දෛවයේ අනෝරාවට සේදී සේදී ගලා යන්නේ මගේ
අහිංසක බලාපොරොත්තුය. මගේ ජිවන ගංගාව දෛවය විසින් කසල නිම්නයක ට හැරවූ නිසා මඩ සමග
මිශ්‍ර වී ගලා යන්නේ මගේ ජීවිතයයි. විපතකදී වැල්ලේ හිස ගසා ගන්නා පැස්බරෙකු සේ
මමත් සියල්ල ඇතුලාන්තයේ තෙරපා ගනිමි. යම් දිනෙක පුපුරා මා මිය යන තුරුම දිනෙන් දින
සියල්ල ඇතුලාන්තයේ ගැඹුරින්ම තෙරපා ගනිමි.
මල් පෙත්තක සිනිදු බව ඉල්ලා පොපියූ දෙතොලට
උරුම වූයේ රළු ඇතැගිලි පහසයි. ආදර වදනක් ඉල්ලූ සවන ඇනුම් බැනුම් වර්ෂාවකින් දැදුරු
වී ගියේය. දෙතොල් අග පිපි සිනහව ඉකිබිදුමකට ඉඩදී පරවී ගියේය.මං ඉදිරියේ ශේෂ වි
ඇත්තේ වේදනා බර අනාගතයකුත් ගරා වැටුනු ආත්මයකුත් පමණි.
ඔහු
යහන මත සුව නින්දක. මගේ ජීවිතය වැසි වලා කුලකින් ඔතා දමා ඔහු සුව නින්දක. ඔහුගේ
රළු අතැගිලි මගේ කොපුලක සටහන් කර තබා ඔහු සුව නින්දක .කටුක වදන් තවමත් දෙසවන තුල
සිරවි ඇත. මම හඩමි හදවත උගුලුවා දමන් වේදනාව දියකර හරින්නට හඩමි. ඔහු සුව නිනදක.
සැනසුම් වදනක් වත් නොදොඩාම.
මා රැක බලා ගන්නා බවට හතර වරිගය ඉදිරියේ සපථ
කල ඔහු අද නිහඩය. මා දැඩි ශාරීරික මානසික
වේදනාවෙන් නොනදා රැය පහන් කරද්දී ඔහු සුව සේ නිදි.
ජතික රෝහලේ පෝලිම තුලදී මා විදි කායික
මානසික වේදනා නිමක් නොවීය. දුක සැප බෙදා ගැනිමට සපථ කල ඔහු කිසිදු දුකකින් තොරව
ඉවත හැරි සුව සේ නිදි. හදේ ඇති වූ ගැඹුරු තුවාලයන් ගැලූ රුහිරු කදු බවට පත්ව වැසි
දිය හා මුසුවිය. උඹට දැන් කවුරුවත් නෑ. දැන් උඹ තනි වෙලා. තනියම ජීවිතය විඳවපන්..
විඳවපන්.. විඳවපන් වැස්ස මට මුරගා කියන්නේ එයද? බෙහෙත් ගඳ රෝගී කෙදිරිලි මැද මා
හුදකලාව ගෙවු තෙපැයක වේදනාව වදන් වලට ගොනු කිරීමෙන් මා බලාපොරොත්තු වූයේ සැනසුම්
වදනක් පමණක් නොවේද ?මෙතෙක් මා ලග මව යෙහෙලියක් හෝ මල්ලී හෝ උන්නා නොවේද නමුත්
ඔහු.... මා වඩාත්ම විශ්වාසය තැබූ ඔහුම මට මෙසේ කළේ මන්ද?
ඔහු කිසිම දාක කිසිමම දාක ඔහුගේ වදන් වලට
ආදරය එක කන් හැන්දක් එක් නොකලේ මන්ද? වැස්ස තවමත් එක සීරාවටම විලාප දේ.
ලා දම්පාට මල්පෙති මුල තද දම් පැහැ රේනු
එල්ලී ඇත. ලා කොල පාට පත්‍ර මුල ගොම කොල පාට දැවටිලාය. සුන්දර හිතක් හිමි
මැහුම්කරුගේ රතැගිලි තුඩින් අපේ යහනත අලංකාර වී ඇත. “Good
night” මල් කිනිත්තේ
අගිස්සේ මුද්‍රණය කර ඇත. එබදු ආශිංශනයක් නම් මට අවශ්‍යමය. එවිට කවදා හෝ මටත් සුභ
රාත්‍රියක් එලඹෙනු ඇතැයි
බලාපොරොත්තු තබා ගත හැක.
කොට්ටය මත වූ මල් කැකුළු පවා පිපෙනවාද
නැද්දැයි දෙගිඩියාවට පත්ව මා දෙස බලා හිඳී.වැසි අඳුර පලා ඉරා යහනට එබෙන හිරු කිරණ
පවා වහ වහා පලා යන්නනේ එහි පවතින ගුප්ත අඳුරට බියෙනි.සීතලට ගල් වූ හදවතකුත් මළ ගිය
ආත්මයකුත් දරා සිටින මෙම යහනට මල් පෙති හිරු කිරණ වැනි සෞම්‍ය සුන්දර වස්තු අකැපය.
මගේ සියළු සිහින මිහිදන් කල සොහොන් පිටියක්
බඳු වූ මේ බිත්ති හතරක සිර ගෙය තුලදී පවා හිරු එළිය වන් හදවතකුත් මල් පියලි බඳු
සිනහවකුත් මතකයට ඒම වැලැක්විය නොහැකිමය.ඝන රැයක පිපුනු කණා මැදිරි විතක් සේ නිවි
නිවී දැල්වෙන ඒ මතකය විසින් මිය මගේ ආත්මය සීතල වන්නට නොදී රැක බලා ගන්නා ලදී.තවමත්
නිවස නිඳි බිඳ නැත.මේ නිශ්චලත්වය සදහටම පවතී නම් මා සිතින් වත් ඔහුගේ වනු ඇත.එසේ
නම් මේ සීතල යහනටත් හිරු එබෙනු ඇත.මල් සුවඳ යහන මත රැඳෙනු ඇත.
මම
ඔහු සිතෙහි ඇඳ ගතිමි.ඒ අකීකරු කෙස් රොද නිරන්තරයෙන්ම බලා සිටින්නේ නළල මතට
පනින්නටය.උපැස් යුවලට යටින් වූ දෙනෙත තුල කාරුණික බව මෙන්ම දැඩි බවත් සදාකාලික
තරඟයකය.දෙතොල සිනහවකින් වක ගැසෙන විට දෑස දැල් වී මුහුණම ආලෝකමත් වන අයුරු දකින්නට
අපූරුය.“චූටි“ යි මා අමතන හඩ කෙතරම් දයා බරිතද?මගේ හිස පිරි මදින විට ඒ ස්පර්ෂය
කෙතරම් මුදු මොලොක් වුනාද?එතරම් දයාබර හඩක් ,ඒ තරම් ළබැඳි ස්පර්ෂයක් වෙනුවෙන් මට
කැප කල නොහැක්කේ මොනවාද?එබඳු ආදරයක් ඉල්ලා මගේ ගොළු හදවත කෙතරම් මුරගාන්නේද?
මගේ විවාහය-යුතුකම හා වගකීමෙන් පමණක් බැඳී
ඇති මගේ විවාහය විසින් මා යන්ත්‍රයක් බවට හරවා තිබේද?මගේ හැඟීම් දැනීම් සියල්ලේම
උල්පත සිඳි ගොස් ඇත්ද?මල් කැකුලක්,පිණි බිඳුවක්,සියොත් රාවයක් දැන් දැන් මා තුල
නොරුස්සනා හැඟීම් දනවන්නේ මන්ද?
මා සුන්දර සිහින ලෝකයෙන් නිරයක් බඳු සැබෑ
ලෝකයට ඇද දමනු ලැබුවේ විලාප තබන දුරකතනය විසිනි.සිතින්වත් සතුට සොයා යාමට ඉඩ නොතබන
දෛවයට ශාප කරමින් මම එය අතට ගත්තෙමි.නමුත් අද දින මගේ දෛවය මට තිළින කලේ මහ මෙරුව
තරම්ම සුවිසල්,සප්ත මහා සාගරය තරම්ම පුළුල් සතුටකි.මගේ සිතිවිලි වල උන්නේත් ඔහුම
නොවේද?
“චූටියෝ ඔයා වැඩකද?“ ඒ සුපුරුදු දයාබරිත
හඩ.....
මම වහා මගේ සිතිවිලි මනසින් පිසදා
හැරියෙමි.වහා වහා දයාබර සොයුරියකගේ බැටළු හම පොරවා ගතිමි.
“අද ඔයාට මොනව හරි විශේෂ වැඩක් තියනවද?“
“නෑ අයියේ“
“ළමයට මාත් එක්ක පොඩි වැඩකට යන්න එන්න
පුළුවන්ද “මගේ සිත පිනුමක් ගැසුවේය.
“අපෝ මොකද බැරි. මම එන්නම්“ඔහු සිත වෙනස් කර
ගනු ඇතැයි බියෙන් මම වහා පිළිතුරු දුනිමි.
“එහෙනම් මම 10ට එන්නම්.බලධාරියාගෙන් අවසර
අරන් ලෑස්ති වෙලා ඉන්නකෝ“
“කොහෙද අප්පේ යන්නේ.කියන්න පුළුවන් නේද?“
“අනේ බං...කියන්න බැරි තැන් වලට මම මගේ
නංගිව අරගෙන යනවද?ඕ......නම නං ඉතින් මගේ ගෑනිව නම් අරන් යන්න තිබුනා....“
එය මට හොඳ කම්මුල් පහරක් විය.ඔහු මගේ සිත
කියවුවාවත්ද?ඔහු මා පිළිබඳව සිතන්නේ සහෝදරියක් ලෙසින් පමණක් බවත්,ඔහුගේ සදාතනික
ආදරයේ එකම හිමිකාරිය මගේ අක්කාම පමණක් බවත්මට නොකියා කීවාවවද්ද?
නැත.... නැත...එය කිසිසේත්ම සිදුවිය හැක්කක්
නොවේ.මගේ හදවතින් පිටට මගේ සිතිවිලි වලින් එක් දශමයක් වත් කාන්දු නොවුන බව මට ඕනෑම
තැනක දිවුරිය හැක.මම හැම විටම ඔවුන් ඉදිරියේ කෙළිලොස් සළුව දවටා ගත්තේ මගේ ඊර්ෂ්‍යාවේ
නිරුවත ඔහුන් හඳුනා ගනිතැයි බියෙනි.ඔහු හුදෙක් විහිළුවක් කලා පමණක්ම විය හැක.
“හලෝ හලෝ හලෝ චූටි“.........
“අයියේ“
“ඒ ඩිංගට ගිය කල්පනාවේ දිග“
“බය වෙන්න එපා ..මම අයිතිකාරයගෙන් අවසර
ගත්තා...ළඟට යන්නේ...............ටවුමට“
“අපෝ එන්නම්“ මොකටද හැබෑටම“
“මතක නැද්ද ...උඹේ අක්කා මට නාස් ලණුව දාලා
අදට අවුරුදු දෙකයිනේ.....හවස පොඩි පාටියක් දාන්න..උයන පිහින බඩු ගැන මම දන්නෑනෙ කන
දෙවල් ගැන මිසක්“
එකල නව යොවුන් මට ඒ ප්‍රේම කතාව සුරංගනා
කතාවක්ම විය.අක්කා පසු කල හැම ඡවනිකාවක්ම මුහුණ අපැහැදිලි පෙම්බරෙකු සමඟ සිහින
ලොවේදී මමත් රඟපෑවෙමි.නමුත් මට ඒ අපැහැදිලි මුහුණ කෙතරම් මග බලා සිටියත් සැබෑ
ලොවේදී හමුනොවූ බැවින් හමු වූ මුල්ම පුද්ගලයා සමඟ රඟපෑමට එකඟ වුනෙමි.
“ඉතින් අක්කා එන්න බෑ කිව්වද?“ මම ඇහුවේ
හුදෙක් කුතුහලය නිසාමය.ඔවුන්ගේ සාදය මා සංවිධානය කල යුත්තේ ඇයි?
“නෑ නංගෝ ගෑනි පැංචි එක්ක ඔට්ටු වෙලාම බාගෙට
මැරිලා ඉන්නේ.ඒක අමතක වෙලාද කොහෙද?මම යන්නේ එයාව පුදුම කරවන්න.“අනේ ඔහු කෙතරම්
ආදරබරද?මට මෙබඳු සුන්දර අවස්ථා උදා නොවූයේ ඇයි?
“මං එන්නං....පාටියට කීයක් විතර එනවද?“
“හතරයි“
“මොකක්“
“මමයි මගේ ගෑනියි..උඹයි උඹේ මිනිහයි“
“නියමා.........යි“ යලිත් දඟකාර සොයුරියකගේ
චරිතයට පණ පොවමින් කෑගැසීමි.එහා පසින් සිනාසෙමින් රිසීවරය තබන හඩ ඇසිණ.මට මොහොතකට
ඹහුගේ විය හැක.
අප තෝරා ගත්තේ සඳ එලියේ පැහැය ගත් රාත්‍රි
ඇඳුමකි.එය ඔහුගේ සංවත්සර තෑග්ගයි.
ඔහු ඉන් දෙකක් ඉල්ලා සිටියේය.උඹටත් මගෙන්
තෑග්ගක්.....
“අනේ එපා අයියේ.....අරයත් හැම මාසෙකම මට
ඇඳුමක් ගන්න කියලා සල්ලි දෙනවනේ“මම කීමි.
“ෂං උඹ වාසනාවන්ති.........මට නම් එහෙම
කරන්න බෑ....මම දුප්පත් ගුරෙක් විතරනේ....ඒ උනාට මගේ නෑනාට තෑග්ගක්.... මේක ගන්නම
ඕන“......
හැබවින්ම සෑම මාසයක් අගදීම ඇඳුමක් ගැනීමට
කියා මා වෙත දිගු කරන දෙදෙහසේ කොලය මට සිහිවිය.මා වාසනාවන්තියක් කලේ ඒ වටිනාකමක්
නැති කඩදාසි කොළයද?එය වෙනුවට ඔහු විසින් තේරූ එක ලේන්සු පොඩියක් මා වෙත තිලින කලේ
නම් මා ඊට වඩා කෙනරම් වාසනාවන්ත වනු ඇද්ද?මුදලේ වටිනාකමට වඩා ඔහු මා වෙනුවෙන් ගත කල කාලය,වෙහෙස තෑග්ගට වටිනා
කමක් එකතුකරනු ඇත.
මෙබඳු ඇඳුමකින් සැරසී ඔහු ඉදිරියේ පෙනී
සිටීමෙන් පලක් වේද?කිසි දිනක ඔහු මගේ සුන්දරත්වයක් ගැන කතා කර නැත.ඇඳුමක ලස්සන බව
අගේ කොට නැත...“ඔය හොඳයි...ඉක්මනට............පරක්කුයි.......“එයයි ඔහුගේ
ඇගයුම.එබැවින් සුන්දර සිතිවිලි උපදවන ඇඳුමකින් මට ඵලක් තිබේද?මා පා පිස්ස දවටා
ගෙයින් එලියට බැස්සද ඔහු එය නොදකිනු ඇත.
“අපෝ චූටි ...මොකද කල්පනා සාගරයේ
ගිලිලා....වතුර පෙවිලද කතා නැත්තේ.........?“
“නෑ ...නෑ
ලොකු මේවට කැමති වෙයිද?....“
“කැමති බව දන්න නිසානේ ගත්තේ....ගෑනි කැමති
දේවල් නොදන්න මිනිහ මොකාද?“අනේ මගේ අක්කා කෙතරම් වාසනාවන්තද?ඒ වාසනාව මටම පමණක්
අහිමිවූයේ ඇයි.අක්කා මට වඩා රූමත් හෝ ගුණවත් නැත.එසේ තිබියදී වාසනාවන්තිය මා නොවී
ඇය වූයේ ඇයි?මා පාර්සලය ළමැදට තුරුල් කර ගතිමි.
“කල්පනාව කොච්චරවත්.....මොකද මණ්ඩලේ
කචල්ද?........“
“අපෝ නෑ යං යං“
“වෙන්නම එපැයි......සුරා සූදුවෙන් දුරා
චාරයෙන් තොර බෑනා පොඩ්ඩක් හොයලා මාමාණ්ඩියයි මායි සක්වල කළඹපු හැටි දන්නේ මමයි මගේ
දුප්පත් සපත්තු දෙකයි විතරනේ“
එය සැබෑවකි.එහෙත් සුරා සූදුවෙන් මෙන්ම ඔහු
හදවතකින්ද තොර බව කිසිවෙකුට අවබෝධ නොවූයේ මන්ද?
හදවත?එය මට අවබෝධ කර ගත නොහැකිය.උණෙන්
පෙලෙමින් මා වේදනාවෙන් හඩද්දී වික්ෂිප්ත මුහුනෙන් මා දෙස බලා හුන් ඒ දෑසේ වූ
සංකාකූල බව මට නොවැටහුනේද?මට උවමනා පොතක් ගැන කියූ විට කොහෙන් හෝ එය ගෙදරටම
නොහෙනාවේද?
ඔහු මා සම්බන්ධයෙන් සියළු යුතුකම් ඉටු කරන
සැමියෙකි.නමුත් මට උවමනා යුතුකමක් නැත.මට උවමනා ආදරයයි.ඔහු මගේම ශරීරයේ රුධිරයේ
කොටසක් වනු දැකීමයි.මා ඔහුගේම ශරීරයේ රුධිරයේ කොටසක් වනු දැකීමයි.මට උවමනා
කරුණාවයි.මගේ සියළු නන් දෙඩවිලි ,මැසිවිලි වලට සවන් දීමයි.මට උවමනා අවබෝධයයි.මා
බලාපොරොත්තු වන ආදරය කෙබඳු ආකාරයේ එකක්ද?මට හැඟෙන්නට ආදරය කරන්නේ කෙසේදැයි ඔහු අවබෝධ කර ගැනීමයි.මා සමඟ ජීවිතය
බෙදා හදා ගැනීමයි.
සවසට හතරගාතෙන් ගෙදර විත් මා පෙලයි නම් මට
ඔහුට වෛර කල හැක.පර අඟනුන්ගේ පහස ලබන්නේ නම් මට ඔහු හැර දැමිය හැක.මගේ උවමනා එපා
කම් නොසලකා හරින්නේ නම් මට ඔහු හෙලා දැකිය හැක.එසේ නම් මා මෙතරම් පීඩා විඳිනු නැත.
නමුත් ඔහුගේ සිත තාමත් මට තහනම් උද්‍යානයකි.එය
ඉබි යතුරු දමා වසා ඇති අතර එයට හිමි යතුර කවර හැඩයක් ගනීදැයි මේ සා කාළයකට පසුවත්
මට වටහා ගත හැකි නොවීය.එබැවින් ඔහුගේ උදාසීන සිත හමුවේ දැනෙන වේදනාව විඳ දරා ගනු
විනා වෙනත් විකල්පයක් මේ වන තුරුත් මට සොයා ගත නොහැකි විය.මගේම සොයුරිය ජීවිතය
ආදරණීයව විඳිද්දී මට ඇයට ඊර්ෂ්‍යා කිරීමට සිදුවී ඇත්තේ ඒ හේතුවෙන් නොවේද?
ඇගේ ජීවිතය අසුරා ඇති කුඩා ඉඩ කඩ තුල ඈ හා
මුමුණමින් ,ඇය වෙනුවෙන් සුළු සුළු දේ කරමින් ඈ අසලින්ම ඔහු හිඳී.ඔවුනොවුන් සමීපයේ
නොසිටින මොහොතවලදීද මතකය ඔස්සේ ආදරය කතා කරමින් එකිනෙකාට තනි රකියි.
මා ඉදිරියේ ඇත්තේ හුදෙක් වැලි පමණකින් යුත්
කතරකි. අනන්තය තෙක් පෙනෙන එකම සෘජු පාරකි.එහි එකම ධාවකයා මමය.මා ඉදිරියට යා යුතු ඒකාකාරී
මාර්ගයේ අවසන වේදනාවෙන් දැවී හළු වී යාම බව මම දනිමි.
ඉතින් මම මේ ආදරයට ලොබ කිරීම වැරදිද?ශූන්‍ය
වාළුකා තලය තුලදී මා දුටු එකම පතොක් මලට
ආකර්ෂණය විම නොවිය හැකි දෙයක්ද?එක් නිමේෂයකදී පිපුන පතොක් මලේ සුවඳින් පමණක් සතුටු
වීම වැරදිද?එහි කටු වල වේදනාවට මලේ සුවඳ හෝ ලස්සන මකා දැමිය හැකිද?
“චූටි............මොකද?“ඔහුගේ මුහුනේ හුදෙක්
කුතුහලයක් නොයිවසිල්ලක් පමණක් නොව බියකුත් රැදී ඇත.
“ඇයි නංගෝ ....ප්‍රශ්නයක් නම් මට කියන්න........“
මම කුමක් කියම්ද?
“ඇයි නංගියේ මම උඹේම අයියා කියලා හිතන්න
බැරිද?ඕනම දෙයකට මමයි අක්කයි උඹට ඉන්නවා කියලා උඹ දන්නවනේ“ මා තද කරගෙන සිටි
සියල්ල ට පිටවාන පමණක් ප්‍රමාණවත් නොවීය.වැව් බැම්ම පුපුරා සියළු හැඟීම් දහරා සතර
අතට ගලාගෙන යන කල මම හඩාගෙනම ඔහුට තුරුළු වුනෙමි.ඔහු ඉතා මුදුව මගේ හිස කෙස්
අතරින් ඇඟිලි දිවෙව්වේය.
“කියන්න නංගෝ“....
මා කුමක් කියම්ද ?මා හුදෙකලා වී ඇති බව,මට
ආදරය උවමනා බව,මා මගේ අක්කාගේ සැමියාට ආදරය කරන බව...........මින් කුමක්
කියන්නද?අනේ මා මෙහෙමම මිය යනවානම්.
“එයා හරිම ගුප්තයි අයියේ...“අවසානයේ මම
සාධාරණ හේතුවක් සොයා ගතිමි.
ඔහු මගේ හිස අතගෑවේ දයාවෙනි. අනතුරුව සිනාසුනේ
අනුකම්පාවෙනි. ඒ සිනාවෙන්ම ඔහු මගේ දෑසට
එබී බැළුවේය.කිසිඳු චකිතයකින් තොරවම මට දැන් ඒ දෑස් දෙස බැලිය හැක.කඳුළු විසින්
සියළු කුණු කසල සෝදා දමා ඇත.ඒ දෑසේ පිරි තිබුනේ හුදෙක් ආදරයමය.රාගය බිඳක්වත්
නොතැවරුණු පිරිසිදු ආදරයමය.බාල සොයුරියකගේ දඟයට තරවටු කරන බැල්මක් එහි ගැබ්ව
තිබිණි.එය ආලය නොවේ.ආශාව නොවේ,අනුකම්පාව නොවේ...පරම පවිත්‍ර සහෝදර ප්‍රේමයක් ඒ දෑස
තුලින් මට හමුවිය.මගේම අයියා නොවුනත් මෙතෙක්ම මා නරකින් හා නපුරින් රැකගත් අයියා
ඔහුය.මතුවටත් එසේම වනු ඇත.අක්කාගේම වුනු මේ නිර්මල මිනිසා අදෘශ්‍යමාන ආශීරිවාදයක්
වෙමින් නරකින් හා නපුරින් මා ගලවාගනු ඇත.ඔහු මගේ අයියාමය....මගේම අයියාමය. වෙන
කිසිවෙකුත් නොවේ....ඒ හැඟීම මගේ ඇට මිදුළු තුලටම කා වැදී ගියේ ඒ අවස්ථාවේදීය.මම
ඔහු දෙස බලා සිනාසී කඳුළු පිස දමා ගතිමි.
“ආහ්...ඒක තමයි මචං කාරයා කිව්වා ඔයා
අවුලෙන් වගේ කියලා.....එයත් එක්ක වැඩිය කථා කරන්නෑ කියලා මට අහලා බලන්න කිව්වා...“
“මොකක්“ මම ඒ නිහඩ මිනිසා ගැන ජීවිතේ පළමු වතාවට වෙනස්
අයුරකින් සිතන්නට වීමි.ඔහුට මා දුකෙන් බව දැනී ඇත.එය විසඳීමට අයියාට බාර දී ඇත.
“මාත් එක්ක පොල්කිච්චි වගේ කියවනවා.එයා අහන
දේකටත් උත්තර දෙන්නේ තනි වචනෙන් කිව්වේ“
මම මොහොතකින් මා අතෙත් වරදක් ඇති බව අවබෝධ
කර ගතිමි.මම කවරදාකවත් ඔහුට අවස්ථාවක් නොදුන්නෙමි.ඔහු නිහඩව වසර දෙකක් පුරාවට එය
දරා ගන්නට ඇත.ලොකුම වරදකරු මාය.
මා තැත් කලේ මගේ සැමියාගේ විශ්වාසයට පිටු
පෑමට නොවේ.අක්කාගේ සතුට උදුරා ගැනීමටද නොවේ.මා අක්කාට වෛර කලාද ?නැත.කිසිදාක
නැත.මා ඇයට ඊර්ෂ්‍යා කලා පමණි.ඇය විඳින සේ සරලව සැහැල්ලුව ආදරය විඳ ගැනීමට නොහැකි
වීම පිලිඹඳව දුක් වූවා පමණි.මා පැතූ සතුටම මට අහිමිව වෙන අයෙකුට හිමි වීම ගැන
තැවුනා පමණි.මා පැතුවේ අයියාගේ ආදරයද?නැත....අයියා අක්කාට දක්වන අන්දමේම ආදරයකි.කිසිඳු
ආදර අත්දැකීමක් නැති මට උවමනා වූයේ පොත් වලින් චිත්‍රපට වලින් දුටු ආකාරායේ විචිත්‍ර
ආදරයකි. අයියාත්,සැමියාත් වෙනස් පරිසර දෙකකින් පැමිණි දෙදෙනෙකු බව මම අමතක කලෙමි.සැබෑ
ජීවිතයේ චරිත අපට උවමනා ආකාරයට කපා කොටා ඔපමට්ටම් කල නොහැකි මම අමතක කලෙමි.
මායාවේ අඳුරු තිමිර පට ඉරා දමා යථාර්ථයේ
හිරු උදා වී ආවේය.අයියා දිගින් දිගටම නිහඩව රිය පැදෙව්වවේය.මම දිගින් දිගටම ඒ නිහඩ
මිනිසා ගැන සිතන්නට වීමි.පසු ගිය අවුරුදු දෙක පුරා මතකයේ ඇඳුනු සියළු ලොකු කුඩා
සිදුවීම් ගෙන අළුතින්ම සිතා බලන්නට වීමි.ගොළු හදවත දොඩමළු ව ඔහුගේ ආදරණීය ඉඟි
එකින් එක මගේ දෑස් ඉදිරියේ ම රඟ දෙන්නට විය.ඒවා නොසලකා හැර ඔහුගේ හදවත ගොළු කර
ඇත්තේ මා විසින්මය.සිතෙන් මවා ගත් යමක් ආදරය ලෙස නම් කොට එය ඔහුගෙන් ඉල්ලමින්
සිටියේ මාය.
අප යන විට ඔහු මිදුලට වී අක්කා සමඟ කතා
කරමින් සිටියේය.මම විගසින් ඔවුන් වෙත දිව ගියෙමි.අක්කා මා තුරුල් කර ගත්තාය.අයියාත්
අක්කාත් සමඟ ගෙවූ පැය කිහිපය තුල වඩාත් ආදරණීය,සුහද ශීලී කෙලිලොල් මිනිසෙකු මට
හමුවිය.අවසානයේ මගේ දොඩමළු බව ඔහු
ඉදිරියේත් ජීවමානව තබා ගැනීමට මම උගත්තෙමි.ඒ සමඟම සීමා මායිම් බිඳ වැටී ඔහුගේ
හදවතේ දොරගුළු හැරෙනු මට දක්නට ලැබිණි.
විශ්ව විද්‍යාලයේදී මෙන්ම මිශ්‍ර පාසලක උගත්
මම කිසිවෙකු ඉදිරියේ කිසි දිනක කුලෑටි නොවීමි.නමුත් ජනප්‍රිය බාලක පාසලක උගත්,විවාහය
තෙක්ම සංගීතය, හුදෙකලාව,සහ පොත් පත් පමණක් ලෝකය කරගත් අයෙකු ජීවිතයේ එක් වරම ඇතිවූ
මේ වෙනස නිසා වික්ෂිප්ත විය හැක. හදා ගත් හේතු තුල සිටිමින් මමද මෙතෙක්ම ඔහුගෙන්
ඈත් වී සිටියෙමි.
ඔහු මට ආදරය කරන්නට ඇත.මා ඉල්ලූ ක්‍රමයට නොව
ඔහුගේම ක්‍රමයට ඔහු මට ආදරය කරන්නට ඇත.. මගේ වෙනස මා සමීපව ඇසුරු කරන අයට දන්වා ඊට
හේතු සොයන්නට උත්සහා කලේ ,මා මේ වෙන තෙක්ම ඔහු සමඟ හදවතින් සමීප නොවූ නිසා විය
යුතුය.ඉදිරිය ගැන නොසිතාම සමාන්තර සරල රේඛා දෙකක් ඔස්සේ අප ඇවිද ආවෙමු.දැන් රේඛා
වල හැඩය වෙනස් කර අප ඡේදන ලක්ෂයට ලඟා වී සිටින්නෙමු.
ඔහු තුල වූ ලැජ්ජාශීලී බව ආදරයේ සුරතින් මා
පිස දැමිය යුතු නොවේද?
අක්කලා අපට සමු දීමට මිදුලට පැමිණියහ.අපේ
කුඩා සාදය තුර වැටි මුරුගසන් වර්ෂාව දැන් තුහින වැස්සක් බවට පත්වී ඇත.වැහි කළුව
ඉරා නැගෙන හිරුගේ උණුසුම අප දෙදෙනාගේ හදවත් වල විය.මගේ උරහිස යාන්තමින් ස්පර්ෂ කල
ඔහු කඳු වළළු දෙකක් යා කරමින් ඉපදුන දේදුන්නක් දෙස සිය දබරගිල්ල දිගු කලේය.
ඩබ්.කේ
ඩබ්.කේ
මොකක්ද මේ ලින්ක් දෙකක වෙනස? එකම බ්ලොග් එකේද? නැත්නම් දෙකක්ද? මං ඒත් බැලුවා ඇයි ඔබේ බ්ලොග් එක කාලෙකින් අප්ඩේට් නොවුනේ කියලා..
ReplyDelete