Thursday, April 23, 2015

මංමුලා සෙවනැලි- 04 කොටස

“ආදරණීය බබෝ“

ඈ කටු අකුරින් එසේ ලියා තිබිණි.මේ සා කාලයකට පසුත් සුපුරුදු සෙනෙහස ඒ අකුරු අතරින් හමු විය.

“ආදරණිය බබෝ“

“මගේ වෙවුලන අතින් ලියන කැත අකුරු ඔයාට කියවන්න පුළුවන් වෙයිද කියලා මට සැකයි. ඔයාවත් මම ආදරේ කරන හැම දේමත් දාලා යන්න හොඳටම ළඟයි.මේ ලෝකේ මට දාල යන්න ලෝභ දේවල් අතරින් ඔයත් එකක්.ආදරෙන් හාමත් වුන ඔයාගේ ජීවිතයට මම අම්ම කෙනෙක්ගේ ආදරේ දුන්නා.මට මඟ ඇරුණු තරුණ කාලය මම ඔයාගේ ඇසුරින් ලබා ගත්තා.මම ඔයාට නොකිවුවට අපි දෙන්නම මේඛලා...ඔයා හෙට්ටි ආරච්චිලාගේ මේඛලා මනහාරී සූරියබණ්ඩාර.මම පරණ පේඩිගේ මේඛලා..ඉස්කෝලේ නම ලකුණු කරන්න විතරක් පාවිච්චි කළාට මගේ දෙමවුපියන්ගෙන් මට උරුම වුන නම ඒකයි.

“බබෝ ඔයා ඔයාගෙ හැම හැඟීමක්ම මාත් එක්ක බෙදා ගත්ත කාලයක් තිබුණා.ඒත් මට ගොඩක් මහන්සි වෙන්න උනා සම්පූර්ණයෙන්ම ඔයාට අවංක නොවී ඉන්න.මම ඔයාට බොරුවක් කලා කියලා කවදාවත් හිතන්න එපා. මම ඔයාව දැක්කේ පුංචි රෝස පොහොට්ටුවක් වගේ.මං දරාගෙන  ඉන්න කුණු දූලි වල බර ඔයාට දෙන්න මට හිත හදාගන්න බැරි වුනා.අනික ඔයා සාධාරණව ඒ සිදුවීම් දිහා නොබලයි කියලා මට බය හිතුනා.ඒත් මේ ලිපිය ඔයාට ලැබෙද්දී අත්දැකීම් ඔයාට ගොඩක් දේවල් උගන්නලා ඇති.මගේ අත් දැකීම්  මේ ලියුමෙන් බබාගේ අත්දැකීම් බවට පත්වේවි.ඒවා ඔයාව පෝෂණය කරාවි.මට වැරදුන තැන් බබා ජය ගනීවි.බබාගේ පරාජයකදී මගේ අත්දැකීම් බබාට ශක්තියක් වේවි.

බබා මාව දැක්කේ කෝටිපති ව්‍යාපාරිකාවක්,දරුවෙක් මල්ලෙක් ජීවිතයට බැඳලා තියන්න කවුරුත්ම නැති නිසා  මුළු සේසතම වියදම් කරලා දාන්න සමාජසේවෙටම කැප වුන කෙනෙක් හැටියට නේද?ඒත් බබා නොදැකපු දේවල් තව ගොඩක් තියනවා.මං පහු කරලා ආපු වේදනා ගැරහුම් අවලාද සූරාකෑම් අනන්තයි.බබාට හිතා ගන්න පුළුවන් අන්තිම නරක දේටත් වඩා අන්තයි.ඒවා මගේ හිතේ හැමදාම ජීවත් වුනා.මගේ මරණය තෙක්ම ඒවා මා හැර නොයාවි.මගේ මරණයෙන් පස්සෙත් බබාගේ මතකය තුල ඒවා ජීවත් වේවි.
ඔයා මවාගෙන හිටපු මගේ ශාන්තුවර ප්‍රතිරූපය මෙයින් බිඳ වැටේවි. ඒත් මං මේ දේවල් කියන්නේ බබාට මං ගැන අවබෝධයක්  ලබා ගන්න. බබා ඒ කාලෙ සමහර දේවල් තේරුම් ගත්තේ කොච්චර වැරදියටද කියලා තේරුම් කරලා දෙන්න.මම මේ දේවල් කියන්නේ බබාගේ ජීවිතේට.මේ දේවල් වලින් බබාට කොයි  තරම් දේවල් ජීවිතෙන් ලැබිලා තියනවද කියලා තේරුම් ගන්න උදවු කරන්න.ඒ අවබෝධය ජීවිතේ ලස්සන දකින්න ,ලස්සන විඳින්න උදවුවක් වෙයි.මම මගේ බර බබාගේ කරට පටවන්නේ  නෑ.ඒත් බබාට දුවක් සහෝදරියක් බිරිඳක් මවක් හැටියට බබාගේම ජීවි‍තේ බර ඔසවන් යන්න වේවි.එදාට මගේ අත් දැකීම්  බබාට ජීවිතය දකින්න පහසු කරාවි.

මම මගේ ජීවිතෙ අවසාන කාලය කැප කලේ මම විඳවපු වේදනා වලින් අනිත් අයව බේර ගන්න. ඒ මගේ පවු හෝදගන්න නෙමෙයි.ඒ දුක උහුලන්න අමාරු බව මම දන්න නිසා.තව කෙනෙක් ඒ තත්වෙට වැටෙන එක මට උහුලන්න බෑ.දැන්  මං අවුරුදු හතකින් විතර ඔයාව දැකලා නෑ.දැන් බබා ලස්සන ගෑනු ළමයෙක් වෙලා ඇති.මගේ ජීවිතේ අන්තිම කාලේ ප්‍රීතිමත් කළේ ඔයා.මම ඔයාගෙන් ඉල්ලන්නේ මගේ ජීවිතෙන් පාඩම් අරගෙන ඔයාගේ ජීවිතේ ගොඩනගාගන්න කියලයි.

ඉතින් බබා මං මේ ඔයාට කියන්න යන්නේ මගේ කතාව.ඒත් මගේ විතරක් නෙමෙයි කාලෙන් කාලෙට මාත් එක්ක ජීවිතේ බෙදා ගත්ත හැමෝගෙම කතාව.මං සල්ලි වලින් හිනා මූනෙන් ලෝකයෙන්  හංගගෙන හිටපු  පිළිකුල් සහගත කථාව.

බබා  මම මේ ලියමනෙන් විශේෂයෙන්ම ඔයාට කියන්න හදන්නේ මතුපිටින් අතගාලා බලලා ,සමාජය අලවලා තියන ලේබල් කියවලා මිනිස්සු මනින්න බෑ කියලා.සම්මත සමාජ රාමුව ඇතුලේ ජීවිතයක් කොටු කරන්න බෑ.

මගේ ආදරණීය බබෝ කිරි සුදු හරි කට්ට කළු හරි චරිත සැබෑ ලෝකේ නෑ.මේ හැම කෙනෙක්ම මේ අන්ත දෙක අතර  කොතනක හරි තමයි ඉන්නේ.හැමෝම උත්සහ තරන්නේ තමන්ට,තමන්ගේ ආදරණීය අයට තමන් මේ ලෝකේ හොඳම දේවල් කියලා හිතන් ඉන්න දේවල් ලබාදෙන්න.බුදුන් වහන්සේ,රහතන් වහන්සේලාගෙන්  පස්සේ සීයයට සීයක්ම පරාර්ථකාමී කෙනෙක් මේ ලෝකෙට තාම බිහිවෙලා නැතුව ඇති.අපි හැමෝම හැම දේම කරන්නේ  සතුට වෙනුවෙන්.එක එක්කෙනා සතුට කියල හිතන දේවල් එකිනෙකට වෙනස්.ඒ අනුව තමයි මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ.සමහරු සතුට තියනවා කියලා හිතන් ඉන්නේ සල්ලි කන්දක් යට.එහෙම නැත්නම් සුරාව ,සූදුව මත.ඒක එහෙම නෙමෙයි කියලා දැනටමත් ඔයා දන්නවා.තව අය දේපල, තත්වය,රැකියාව තමයි සතුට කියලා හිතනවා.තව අය තමන්ගේ සතුට වෙන කවුරු හරි මත පටවනවා.දූදරුවෝ,දෙමවුපියෝ,පෙම්වත්තු,සැමියා,බිරිඳ මත.ඊට පස්සේ එයාලා තමන්ගේ සතුට වෙනම හොයන්න ගත්තට පස්සේ දුක් වෙන්න ගන්නවා.ලොකුම විහිළුව කියන්නේ මෙයාල කවුරුවත් සතුටින් නැති එක.හැමෝටම දැනෙන්නේ තමන් හැර අනිත් අය සතුටින් ඉන්නවා කියලයි.අපි හොයන සතුට ලඟා කරගන්න සදාකාලිකවම විවර වෙලා තියන ගේට්ටු දෙකක් තියනවා.එකක් තමයි තමන්ට හරි අනුන්ට හරි රිදවන්න වෙන මාර්ගය.අනික තමයි නොරිදවා නොරිදවී සතුට හොයන මාර්ගය.මේ අන්ත දෙකින්ම අන්තයටම ගිය අය අපි පිස්සෝ කියලා කියනවා.ඇත්තටම අපි සතුට සොයා යන්නේ මේ අන්ත දෙක අතර කොතන හරි ඇති ලක්ෂයක් අතරින් ගමන් කරලා.


මමත් ඔය වගේ කාලෙන් කාලෙට සතුට කියල එක එක දේවල් ලං කරගත්තා.ඒත් ඒ ගොඩක් දේවල් ගොඩ කාලයක් මම ළඟ රැඳුනේ නැහැ.ඒ නිසයි අන්තිමට මම මා තුලම සතුට හෙවුවේ.අන්තිමේදී මට සතුට ලැබුනා.මාරයාගේ ඇල්ම බැල්ම යට මේ කතාව ලියන මොහොතේ පවා මම ඇත්තටම සතුටින් ඉන්නේ.
ඉස්සර මම අම්මා ළඟින් එන සුවඳට ආදරේ කලා.දාඩිය මුසු කිරි සුවඳක් මට මතක ඇති කාලෙක ඉඳලම අම්මා ළඟ තිබුනා.අදත් ඇස් දෙක පියා ගත්තාම හීනෙන් ඒ සුවඳ විඳින්න මට පුළුවන්.හැබැයි ඒකට හේතුව  මගෙන් පස්සේ හම්බවුන නංගිලා දෙන්නයි,මල්ලියි අපිව දාලා යනකොට ඒ සුවඳ අරන් යන්න අමතක වුනු එකද දන්නේ නෑ.ඊට පස්සේ මගේ ලෝකය වුනේ බූල්, මගේ බළු පැටියා.ඊට පස්සේ මා දං කැලේ,අප්පච්චි,ලොකු අයියා,ඉස්කෝලෙ ,පල්ලිය,මුහුද ,රැකියාව,සැමියා,දරුවා ,සමාජශලාවල්,මත්පැන්,වගේම මරණයත්  මම සතුටට හේතුවක් කර ගත්ත කාළයක් මට තිබුනා.ඒත් මට හැමදාම හිමි වුනේ තාවකාලික  සතුටක් විතරමයි.ඊට පස්සේ මට නොලැබුන සතුට මම අනිත් අයට ළඟා කරල දෙන්න  උත්සහ කරන්න ගත්තට පස්සේ මට මගේ සතුටත් නිරායාසයෙන්ම හම්බවුනා.මගේ සතුට මට හොයලා දුන්නේ වීදි දරුවෝ,ගණිකාවො,ඒඩ්ස් රෝගීන්.දැන් මම හොඳටම දන්නවා සතුට තියෙන්නේ තමන් ළඟ කියලා.තමන් එදිනෙදා මුහුණදෙන දෙන සිදුවීම වලත් අපි සතුටට පත් කරන දේවල් හොයා ගන්න පුළුවන් අපි ටිකක් හිතල බලනව නම්.හිතට හැඟෙන දැනෙන විදියට හෘදසාක්ෂියට එකඟව ජීවත් වෙන එක තමයි සතුට කියන්නේ.මට ඒ අවබෝධය ලැබුනේ මගේ ජීවිතේ අවසාන කාලයේ.මගේ අත්දැකීම් එක්ක බබාට ඊට කලින් ඊට වඩා පහසුවෙන්  සතුට හොයා ගන්න පුළුවන් වෙයි.ඒක බබාගේ ජීවිතේ ලස්සන කරාවි.
මගේ නිදහසමට උරුම කරල දුන්නේ මාරයා.එයාල තව දුරටත් මාව රඳවගත්තේ නැත්තේ මම ඒඩ්ස් රෝගියෙක් නිසා.මගෙන් ගණුදෙනු කාරයන්ගේ ජීවිතේ අණතුරේ වැ‍ටෙන නිසා.ආයතනය  අපි ගැන ගොඩක් කරදර වුනා.අපේ රූපය ගැන ,අපේ සෞඛ්‍ය ගැන.මාසෙකට සැරයක් අපි සේරමලගේ රුධිර පරීක්ෂාවකුත් කලා.එතෙන්දි තමයි දැනගත්තේ මටත් ඒඩ්ස් රෝගය වැළඳිලා කියලා.එදා තමයි මගේ ජීවිතේ සතුටුම දවස.මම මගේ නිදහස දිනා ගත්තා.දැන් ඉතිරි වෙලා තියන මුළු ජීවිත කාලයම මගේ විතරමයි.මේක ඔයාට කම්පණයක් වෙයි බබා.

ඔවු මම ඒඩ්ස් රෝගියෙක් වගේම විශ්‍රාම ගිය ගණිකාවක්.

 ඔයා ඒ දවස්වල කියපු හැම දෙයක්ම වැරදියි කියලා තේරුම් ගන්න ඒ ටිකම ඇති නේද?

මම ජීවත් වුනු   කාලයම මම කැප කලේ මට වුනු දේවල් වලින් අන්අය රැක ගන්න.ආයතනය අපේ ලේ පරීක්ෂා කලේ අපට ඇති ආදරයකට නෙමෙයි.එයාලගේ කීර්ති  නාමය රැක ගන්න.ඊට පස්සේ එයාලා බළලුන්ටත් එපා වුන කුණු මාළු කෑලි වගේ අපිව පාරට ඇද ලා දානවා.ඊට පස්සේ එයාලා යන එන මං නැතුව තමන් දන්න එකම රස්සාව ආයෙත් කරන්න ගන්නවා.එයාලා තව තවත් ඒඩ්ස් ව්‍යාප්ත කරනවා.දැන් තේරෙනවද බබා මම එහෙම අයට උදවු කරපු නිසා එයාලට තව දුරටත් එයාලගේ රස්සාව කරන්න ඕන වුනේ නෑ.ඒකෙන් ටික දෙනෙක්ගේ හරි ජීවිත රැකෙන්න ඇති නේද?මමත් දුර දිග බලලා කටයුතු නොකලා නම් මටත් අයිති වෙන්නේ ඒ ඉරණමමයි.ආයතනය දුන්න සුර සැප සදාකාලික නෑ කියලා හිතපු මම සල්ලි එකතු කලා.හිතා ගන්න පුළුවන්ද බබා ඒ කාලේ මගේ මාසෙක වැටුප කීයද කියලා.

මම මේ දේවල්  කියන්නේ ඒ කාලේ බබාට නොතේරුන දේ තේරුම් කරලා දෙන්න තරම් ඔයා දැන් වැඩිලා නිසා.මම ජීවිතය දැක්කේ මරණය පෙනි පෙනී.ගොඩ දෙනෙක් ජීවිතය දාල යන්නෙත් ජීවිතේ රස විඳින්නේ නැතුව.සමාජය සතුටු කරන්න ඔහේ රඟපාලා මැරිලා යනවා.මං මගේ ජීවිතය ගැන බබාට කියන්නම්.මේ දේවල් වලින් බබාගේ ජීවිතයට යමක් එකතු වේවි.එයින් ඔයාගේ ජීවිතය අර්ථවත් වේවි.ඔයා දක්ෂ කල්පනාකාරී දරුවෙක්.ඒ නිසා ඔයාට පුළුවන් වේවි මාව අවබෝධ කර ගන්න.ඒ අවබෝධයෙන් බබාට පුළුවන් වේවි  ලෝකය ලස්සන තැනක් කරන්න පුංවිම දෙයක් හරි කරන්න.මේ අමුද්‍රව්‍ය ඔයා සුදුසුයි කියලා හිතෙන විදියට පාවිච්චි කරන්න.

මේක මගේ කථාව .මෙච්චර කාළයක් කාටවත්  කියන්න තරම් එඩිතර නොවුන මගේ හැබෑ ජීවිතය.
..................................................................................................................................................................


5 කොටස මෙතනින්

6 comments:

  1. "ඒ නිසා ඔයාට පුළුවන් වේවි මාව අවබෝධ කර ගන්න.ඒ අවබෝධයෙන් බබාට පුළුවන් වේවි ලෝකය ලස්සන තැනක් කරන්න පුංවිම දෙයක් හරි කරන්න."ලස්ස්සනට ලියලා අගෙයි

    ReplyDelete
  2. "ඒ නිසා ඔයාට පුළුවන් වේවි මාව අවබෝධ කර ගන්න.ඒ අවබෝධයෙන් බබාට පුළුවන් වේවි ලෝකය ලස්සන තැනක් කරන්න පුංවිම දෙයක් හරි කරන්න."ලස්ස්සනට ලියලා අගෙයි

    ReplyDelete
  3. ස්තූතියි ප්‍රියන්ති ආවට සහ අදහස් දැක්වුවාට.අඩුපාඩුත් පෙන්නලා දෙනකල් හරි ආසාවෙන් බලා ඉන්නවා

    ReplyDelete
  4. මං මොනවා කියාගන්නද කියලා හිතාගන්න බැරුව ලතවෙනවා වත්සලා..ඒ ලියුම හරිම සජීවියි..

    ReplyDelete
  5. මොනව හරි කියන්න තරුවේ.අඩුගානේ ඉතිරි කොටස් ටිකවත් බලලා කියන්නකෝ

    ReplyDelete