Thursday, May 26, 2016

මක් හිතුනාද අම්මේ


කඳු කපා හැලෙන සීතට
ඇ‍‍ඟේ ඇනි ඇනී දැවටී
හිතත් රිද්දන හී ගඩු මල
දාඩිය පිපෙනකොට
පරවෙලා බිම වැටුනට
දුක හිතුනාද අම්මේ

            ඒ ගැන හිතලමද
            ඉරත් අහසට  නැංගේ

බදු වගේ ඇඟේ එල්ලී
කූඩැල්ලො ලේ බොනකොට
ජීවිතේ තරං උස
රබර් ගස වටේ වන්දනාවෙදි
කකුල් රිදුනාද අම්මේ

            ඒ ගැන හිතල මද
            නිදිකුම්බ අතු පාවඩව බිම වැවුනේ

තරු රටා ඇඳි අහස
මැටි  බිත්තියට ඉහලා
කුඹුරකම මඩ ඇති බිම
එළුන වැරහැලි පදුරට
රෑ කරුවලත් ඇරගෙන
වත්තෙ මහත්තය එනකොට
බය හිතුනාද අම්මේ

            අහසටත් දුක හිතිලද
අනෝරා කඳුළු වැටුනේ

පනහක අරන් ලෝදිය
මිලියන පහක් වෙරි උන
උඹේ මුර දෙවියා
කානුවක  බුදියන කොට
පාං බාගෙට පොරකන
හීං උන්ගේ කෙඳිරිය
කනට කටු අනිද්දී
දුක හිතුනාද අම්මේ

            ඒ ගැන හිතිලමද
            කිරි පැනිත් නැති පුර හඳ

            වලාකුලකට වැහුනේ

Tuesday, April 26, 2016

මෝඩ ටීචර්


මම උසස්පෙල පංති වලට උගන්නන අතරම 6,7,8 පංති වල ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයේ ව්‍යාපාර කොටස උගන්වමි
.

අළුත් විෂය නිර්දේශයේ පෙල පොත දෑසින් දුටු විට මට තරු පංති පිටින් පෙනෙන්නට වූයේ මේ තරම් සංකීර්ණ විෂය කොටස් තාමත් සාරි පොටේ එල්ලී හුරතල් වෙන්නට තතනන පුංචි එවුන්ට අජීර්ණය නොසෑදෙන සේ ගිල්ලවන්නේ කෙසේදැයි කල්පනා වීමෙනි

විෂය නිර්දේශ පෙල පොත් සාදන්නේ ඊයේ පෙරේදා පත්වීම් ලැබූ සාමාන්‍ය ගුරුවරුන් වූ අපට වඩා “අථීශයිණ්ම විධ්වථ්“ පුද්ගලයන් නොවැ..ඒවා දරුවන්ට උගැන්වීම අපගේ රාජකාරිය නොවැ...රාජකාරිය දේවකාරියටත් වඩා උතුම්ම නොවැ...

අද මං උගන්වන්ට ගත්තේ “ ව්‍යාපෘති වාර්තා සැකසීම“යි...මම දන්නා තරම් සරල උදාහරන ගෙන දක්වමින් ඉගැන්වීම කලත් පීරියඩ් දෙකක් අවසාන වේගන යන ආසන්නයේ උස්මුරුත්තාවට ගියා සේ මුහුණු හදං උන් පුංචි උන් දැක මගේ පපු කැවුත්ත උණු වීම කරනකොට ගෙන විනාඩි 10කට කලින් පංතිය නවත්තා විහිළු කතා දෙක තුනකින් පොඩි උන්  හිනැස්සුවේ ඇත්තටම උනුත් මාත් අපි දෙගොල්ලම පවු කියල හිතුන හිංද
මගේ එක තේරවිල්ලකට පස්සේ පොඩි උන්ගේ තේරවිලි සුනාමියකට මං ඉබේම ගසාගෙන ගියා..

  • ·         ඔන්න මිස් එක මනුස්සයෙක් ජාත් තුනක් පටෝගෙන ලොරියක් එලවං යද්දි පොලීසියෙන් ඒක නැවැත්තුව.එයාල ඇහුව ප්‍රස්න දෙකක්...නම මොකක්ද???? ලොරියෙ මොනවද? ඔයා දෙකටම දුන්නෙ එක උත්තරයයි ඒක මොකක්ද?


ම්.......ම්ම්ම්ම්

නමයි ලොරියෙ පටවපු දේවළුයි

ම්ම්ම්ම්

අයියෝ මිස්

අනේ මං දන්නෑ පුතේ...

මිස් මුකුත් දන්නෑනෙ

උත්තරේ තමා......................යි

P.T.C  නිහාල්

පී.ටී .සී.නිහාල්

පිටි -සීනි -හාල්

  • ·         ඔන්න එක මිනිහෙක්  යාළුවෙක්ගෙ ගෙදර යනකොට යාළුවා මොනවද කනවළු.ඉතිං ඒ මිනිහ ඇහුවළු ප්‍රශ්න දෙකක්.මොනවද කන්නෙ   ....මාත් කන්න එන්නද?යාළුවා දෙකටම එකම වචනෙකින් උත්තරයක් දුන්නළු..පුළුවං නං මිස් කියන්ඩ බලන්න

හපොයි දරුවනේ මං දන්න දෙයක් ගැන අහන්ඩකෝ

ඒ කියන්නේ ඒකත් මිස් දන්නෑ
ම්හු

අයියෝ මිස්

ඉතිං කියන්ඩකො උත්තරේ

වරකා

වර - කා (වරෙන් කාපිය)

  • ·         කැලෑ ගමේ කතාව

ඔන්න මිස් කැලෑ ගමේ අලි පැංචිගෙ උපංදින උත්සවේ තිබුනළු.ඉතිං වෙන ගමක රස්සාවකට ගිය(අලි කරන රස්සාව මං නොදන්නා අතර දරුවාද එය කීවේ නැත.)අයියට කීවලු උත්සවේට කලිං දවසෙ එන්ඩ කියල.ඒත් වැඩ හංද අයියට එන්ඩ පුළුවං උනේ උත්සවේ දවසෙ දවල්ලු..අයිය දැක්ක ගමං නංගි දෙයක් කිවුවලු.ඒ ඉංගිරිස් අකුරු ක්..ඒ අකුරු මොනවද?

කියන්ඩ බලන්න මිස්

අයියෝ පුතේ දහයක්ම..එකක් දෙකක් නං හිතන්න තිබුනා

අයියෝ ඒ කියන්නෙ මිස් ඒකත් දන් නෑ

ම්හු

IOIAEANIQA

මොකක්

අයි-ඕ-අයි-ඒ-ඊ-ඒ-එන්-අයි-කිවු-ඒ

ම්ම්ම්ම්ම්ම්

අයියෝ අයියේ ඊයේ එන්නයි කිවුවෙ

ආහ්

  • ·         මිස් කියන්න බලන්න අලියෙක් ෆිජ් එකට දාන හැටි පියවර 03කින්

අලියා කෑලි වලට කපනවා දානවා

මිස් කීවේ පියවර දෙකයි

අනේ මංදා..

ඒ කියන්නෙ මිස් ඒක දන්නෙත් නෑ
ම්හු
1.       ෆිජ් එක අරිනව
2.       අලියව දානව
3.       වහනව

ආහ්

·         ආ ඊලඟට ජිරාෆ් ෆිජ් එකට දැමීම පියවර අතරකින්
ආ ඒකනං පුළුවං ..මේ ජයග්‍රාහී අවස්තාවේ මගේ කැපිල ගිය ලකුණු සේරම දාගන්ඩ පුළුවන්

1.       ෆිජ් එක අරිනව
2.       ජිරාෆ් දානව
3.       බෙල්ල දෙකට නමනවා
4.       වහනව

අයි යෝ..මිස් ඒක දන්නෙත් නෑනේ

ඒ කියන්නෙ ඒක වැරදියි.

ඔවු මිස් ෆිජ් එකෙන් අලියව ගත්තෙ නෑ

අයියෝ....කටින් එලියට පනින්ට ආ “හුටා“ව අමාරුවෙන් ගිල ගනිමිං මං කිවුව

එතකොට පියවර හතර
1.                   ෆිජ් එක අරිනව
2.                   අලියව එලියට ගන්නව
3.                   ජිරාෆ් දානව.           
4.                   වහනව

  • ·         ඔන්න මිස් කැලේ ගමේ සාදයක් තිබ්බ.හැම සතෙක්ම ඒකට ගියා.එක්කෙනෙක් ගියෙ නෑ..ඒ කවුද

ගඟෙ මාළු

නෑ...

සිංහයා

අයියෝ මිස් ඒකවත් දන්නෑ

කියන්ඩ ඔයාම එහෙනං

ජිරාෆ්

ඇයි ඌ ලෙඩ වෙලාද

අයියෝ නෑ මිස් ඌව ෆිජ් එකට දාලනෙ

  • ·         ඔන්න මිස් ඔය ගමේ ලොකු ගඟක් තිබ්බ.ඒ ගගේ මිනි කන කිඹුලෙක් හිටිය.ගඟට එන හැමෝම මරං කනව.ඒත් එදා ආච්චි කෙනෙක් ගඟෙන් එගොඩ වුනා ..ඒ කොහොමද?

එදා කිඹුල සිල් අරගෙන

නෑ....කිඹුල්ලු සිල් ගන්නවය

කිබුලට එදා බඩේ අමාරුව හැදිල

අයියෝ මිස් ඒක දන්නෙත් නෑ

ම්හු

ඇයි මිස් කිඹුල කැලෑ ගමේ උත්සවේට ගිහින්නෙ

මේ දුර්දසාවෙන් මං බේරා ගනිමිං බෙල් එක නාද විය

අන්තිමට
අන්තිමට
අන්තිමට
මං පුංචි අටේ හපනෙකු තරං දක්ෂයෙක් නොවෙමි