Monday, April 22, 2019

මා දයාබර මිතුර


දයාබර මිතුර,

මට ඔබ අමතක කල නොහැක.මඟ හැර යා නොහැක.

එකම තාප්පය දෙපස ඔබත් මාත් දෙදෙනා විසුවේ උපන්දා සිටමය.ඔහුත් මාත් වෙන් වූයේ අපේ වත්ත මායිමේ පිහිටි කම්බි පොටවල් කිහිපයකිනි.

නමුත් අප පාසල් ගියේ එකටය.එකම පාසලටය.සෙල්ලම් කලේ එකටය ..ඒ අප කාගේ හෝ ගෙදරකය..නැත්තං ගම්මානයේම කොල්ලො කුරුට්ටො සමඟ හිස් ඉඩමකය.

අප තිදෙනාගේ ජීවිතයේ සෑම මොහොතකම සියළු බර සම සමව දරා ගත්තා අමතක නැත.මගේ ජීවිතයේ වසන්ත සමයන් වලදී අප තිදෙනා නැංවූ සිනහ හඞේ අවතාර තාමත් මගේ සවන් තුල හිරවී ඇත.

ජීවිතයේ අනේක කුණාටු සමයන්හිදී මගේ දෙඅත් අල්ලාගෙන මා රැක ගත් ඔබ දෙදෙනාගේ ශක්තිමත් මිත්‍රත්වයේ දෑත් වල උණුසුම සදහටම මගේ සම තුල නිධන්ව ඇත. 

ඔබේ අම්මාගේ වටලප්පන් රසයට වඩා ඔබගේ මිතුරු කම රස වැඩිය.ඔහුගේ අම්මාගේ කේක් රසයට වඩා ඔහුගේ මිතුරු කම රසය.ඔබ නාවත් මා සැම දාම ඔහු සමඟ නත්තල් දේව මෙහෙයට ගියෙමි.

ඔරසන් නොකීවත් ඒ මධුර සංගිතය රසවිඳීමි.වෙසක් දාට ඔහු මා සමඟ දන්සන් වඳිමින් පන්සල් යද්දී ඔබ අපේ රියදුරු වෙමින් අප පැමිණෙන තුරු ගේට්ටුව අසලට වී සිටියේය.තොරන් වෙසක්කූඩු අපි මෙන්ම රස වින්දේය.අප තරමටම කැවුම් කොකිස්රස හඳුනා සිටියේය

.ඔබගේ උපවාස කාලයේදී අපේ කෑම පෙට්ටි ද ගෙදර දමා පාසලට ආවේ එතනදීද ඔබ තනි නොකිරීමටය.එවැනි දිනක සවසට රස සුප් ජෝගුවක්ද උණු බුරියානි බතක්ද ගෙන අපේ ගෙවල් වලට දුව ඒම එදා මෙදා තුර කිසි දිනක ඔබ අමතක කළේම නැත.අපි එකම ඒකකයක කොටස් තුන වීමු.

අද ඔහු සීතල මස් කුට්ටියකි.අප තිදෙනා එක්ව නානාගේ සයිවර් කඩෙන් බඩ පැලෙන තුරු තෝසෙ කෑවේ පෙරේදාය.අද ඔහු සීතල මස් කුට්ටියක්ම පමණි.එතකොට ඔහුගේ මිණී මරුවා ඔබද?මට ඇදහිය නොහැක.මට දරාගත නොහැක.

ඔබේ දෑස් ද මගේ දෑස් මෙන්ම ඉදිමී රතු වී ඇත.ඔබත් මා මෙන්ම ඊයේ රාත්‍රිය පුරා හඞා වැටුනාවද්ද?

ඔබත් ඔහුත් අපේ නිවසට ඒම ඉර පායනවා,බහිනවා සේම ස්වභාවික සංසිද්ධියකි.නමුත් ඔහු නම් ආයේ කවදාවත්ම එන්නේ නැත.

දැන් ඔබ පැමිණ සිටී..වෙනදා ඔබ දුටු විටම ඔබේ කකුල් දිගේ බඩගාන පුංචි එකාට ඔබ වෙත පැමිනීමට නොහැකි වන අයුරින් මස්සිනා ඔහු මිරිකාගෙන සිටී.පුංචි එකා හඞයි වැලපෙයි.ඒත් මස්සිනා ඔහු අත නොහරී.ඔබගේ කලිසම් සාක්කුවෙන් නෙරා තිබුනු සැක කටයුතු පොදිය දෙස මම එක වරකට වඩා බැළුවෙමි.තාත්තා සෑම තත්පර දහයකටම වරක් ඒ දෙස බැළු අතර මල්ලී ඇසිපිය නොහෙලා ඒ දෙස රවාගෙන උන්නේය.

ඔබ එය සාක්කුවෙන් ඇද පොඩි එකාට දික්කල අතර ඔබ හැමදාමත් රස කැවිලි ගෙනන බව දැන සිටි, පුංචි එකා සමඟ රණ්ඩු කරමින් ඒවා කෑ නංගී වහාම එය උදුරා ගත්තේ පෙරේත කමට නොවන බව ඇගේ බැරෑරුම් මුහුණ දැකීමෙන්ම මම තේරුම් ගතිමි.ඇය ඒ මල්ලට එබී බලා අනතුරුව මුළු මනින්ම එය පොඩි එකාට දිගු කලාය.

ඔබටත් මටත් ඔහුටත් සම්බෝලයි බතුයි අනා එකටම කැවූ මගේ අම්මා _පොඩි එකාගේ අත්තම්මා_ ඔහු දෙස බලා උන්නේ මේ දැන් මුණුපුරා මැරී වැටෙනු ඇතැයි සංකා සහිතවය.
මේ අපට කුමක් වූවාද?

මට ඔබ දෙදෙනාම අහිමි වූවාද?තාමත් මට වටහා ගත නොහැක.

නමුත් දයාබර මිතුර,

තවමත් අපේ මිත්‍රත්වය නිම වී ඇතැයි මට නොහැඟේ.එයට විෂ බිඳුවක් එක් වූවා පමණි.එදා මෙන්ම පවිත්‍ර හදවතින් මට ඔබගේ කරට අත දමා ගත නොහැකි බව සත්‍යකි.එදා මෙන් පිරිසුදු සිතින් ඔබ හා මුසු විය නොහැකි බව සත්‍යකි.ඔබේ නිවසට ආ ගිය නොහැකි බව සත්‍යකි.නමුත් අපේ මිත්‍රත්වය මිය ගොස් නැති බවද එමෙන්ම පරම සත්‍යයකි.අපි මදක් හදවතින් ඈත් වූවා පමණ.

එය මට දරාගත නොහැකි වේදනාවකි.මතක ඇති කාලයක අපි තිදෙනා වෙන් වී සිටියේ නැත.එකි නෙකාගෙන් ඈත් වී ජීවත් වන විදියක් අපි තුන්දෙනාම දැන උන්නේ නැත.ඔහු නැත.නැත්තටම නැත.දැන් මට ඉතිරි ඔබම පමණි.ඔබත් මට අහිමි වේද?

මේ ජාතිය,ආගම,අන්තවාදය සම්බන්ධ කරුණක් නොවේ..අනේ දෙවියනි එබඳු කිසිම කරුණක් නොවේ.

ඊට එකම හේතුව හුදෙක් මා මගේ ජීවිතයට ආදරය කිරීමය.මගේ ආදරණීයයන්ගේ ජීවිත වලට මගේ ජීවිතයටත් වඩා ආදරය කිරීමය.

එබැවින් සැකයේ වාසිය ඔබට ලබා දිය නොහැක.

 එය මගේ හදවතින් කොටසක් ඉවත් කිරීමක් සේ මා දවයි.

එහෙත් හදවතේ කැබැල්ලකින් හෝ පණ කෙන්ද ගැට ගසා ගැනීම නුවණක්කාර බව මගේ බුද්ධිය අණතුරු අඟවයි.

එහෙත් මට ඔබ හැර දැමිය නොහැක.එබැවින් මදක් දුරස්ව හෝ තාමත් ඔබ වෙත රැඳෙමින් සිටිමි.ඒ ඔහුගේ අහිමි වීමේ වේදනාව උසුලා ගනිමින්මය.

නමුත් ඔබ තාමත් අපේ  සැබෑ...සැබෑ..සැබෑම මිතුරා බව ඇතැම් විට කාලය විසින් ඔප්පු කරනු ඇත.එතෙක් බලාපොරොත්තු සහගතව නමුත් විමසිලිමත්ව මම ඔබ සමීපයෙන්ම ඉමි.

-සිංහල බෞද්ධ-

6 comments:

  1. සැකයේ වාසිය ඔබට ලබා දිය නොහැක. බලා ඉමු.

    ReplyDelete
  2. අපිට දැන් ඕනේ තෙල් හා වතුර කළවම් කළ හැකි කැරිස්මැටික් නායකයෙක්... මහත්මා ගාන්ධි වගේ...

    ReplyDelete