Saturday, May 30, 2015

විත්‍යා මගෙ නංගියේ





විත්‍යා මගෙ නංගියේ
එකින් එන හැඩ අකුරු අමුනා
හීන ඇහිඳින වංගියේ
විත්‍යා මගෙ නංගියේ


දෙපා තබනා වැලි කැටත්
අද ගොළුව ඉන්නා සන්දියේ
එදා ගිණි ගත් උතුර අදටත්
නිවී නෑ මගෙ නංගියේ

විත්‍යා මගෙ නංගියේ...

දිනක මල් යහනකදි සැතපෙන
සීනයෙන් නුඹ නංගියේ
මල් සමයෙ මල් හීන පොදි බැද
තනිව ඉන්නා වංගියේ

නොදැනුනිද මරු සැඟව හිටි බව
නුඹට හුරු ඒ හන්දියේ
එකින් එක සළු ලෙහී යද්දී
කුමක් හිතුනද නංගියේ

අවදි වුනු සර්පයන් නුඹ තුල
රසය සොයනා වංගියේ
නුඹේ කෙඳිරිලි මියුරු ගී ලෙස
උන්ට දැනුනද නංගියේ..

ගිණි වැදුනු ගත සතවපන්නට
උන්ගෙ මවු නැති සන්දියේ
පුංචි කැකුලක් විෂ දලින් තැළු
සැපය ඉතිරිද වන්දියේ

විත්‍යා මගෙ නංගියේ
උඹත් මිය ගිය වංගියේ
කඳුළු පමණයි අපට දෙත හැති
මක් කරන්නද නංගියේ






විප්ලව වාදියාගේ මළගම

කුමකටද හිස් අහස
කඳුළු වගුර වන්නේ
මළගමක් වේද මෙය?
මවකගේ දරුවෙක්
ඇගේ තුරුලටම වැදීම
නොහඬන්න මූසලය
අපිදු නොහඬමු............

කුමකටද මැයි ගස
ඉවත ලන්නේ ළපැටි පණ
කුමටද ඔහුට පාවඩ
දූලි හුරු දෙපයට
            නොවැටෙන්න මැයි මල
            අවැසි නැත සෝභන......

කුමකටද සුදු නෙළුම්
නිදි කිරා වැටෙන්නේ
පොකු‍ණේ නිසල බව වෙත
මැඩියෙක් පැන්න හින්දද?


            නොනිදන්න නැගිටින්න
            උන් තාම අවදියෙන්.....



කුමක්ද රැහැයියෝ
මේ මර ලතෝනිය
ඔහු නිහඬ වූයෙත්
නොබිඳාම නිහඬ බව


            යොමා නුඔ සවන් යුග
            අරුත් ගන්වනු ඊට....


සියොතුනේ පලා යවු
කිරි සයුර නිම් සොයා
කොක්කුන්ගෙ වාරයයි
මෙ එලඹි නිමේෂය



            තිත්තයෝ මැරී ගොස්
            කොකුන් කුස ගින්නේය..

කුමකටද වසත් සඳ
ආල වට්ටම් කෑලි
කොහිද මෙහි කුමුදු මල්
නුඹ එක්ක හිනැහෙන්න



            අටවකට ඉඩ දියන්
            පසුව හිනාහෙනු පිණිස...

කුමකටද මද සිනා
ලෝකයම මළ ගෙයක්
මෝඩ ඇස් බමන්නේ
හිස් ලොවක රජ වෙලා


            ලැජ්ජා නැද්ද තොට
            කල්පාන්තෙට පායනු....