මීට අවුරුදු එකහමාරකට කලින් මම ඉස්කෝලෙට ආවේ ව්‍යාපාර
අධ්‍යයනය ගුරුවරිය විදියට.නියෝජ්‍ය විදුහල් පති තුමා මගේ විෂය ඇර මං කරන්ඩ කැමති
විෂය මොකක්ද කියල අහනකොට “ඉතිහාසය“ කියල මං පැනල උත්තර දුන්නෙ මගේ පාසල් කාලයේ මං වාඩාත්
ආස කරපු විෂයවුනේ ඒක නිසයි.වාසනාවකට හෝ අවාසනාවකට පාසලේ එකම ඉතිහාසය පිළබඳ
උපාධිදාරී ගුරුවරයෙක් වත් නොහිටි ඒ කාලයේ මට ඉතිහාසය උගන්නන්න හම්බුනේ 8 වසරට.
අට ඒ පන්තිය
අවුලක් නෑ....ඒත් අට බී පන්තියට ගියාමයි මට දෙයියො සිහි වුනේ.පංතිය එකම පිස්සන්
කොටුවක්.කොල්ලො බර ගානක්.කෙල්ලො අඩු ගානක්.එකෙක් හැමදාම ඔළුවෙ කැක්කුමයි කියල
බොරුවට නිදි.පිටිපස්සෙ පේලියේ දරුවන්ගේ කියවිල්ල මක් කරලවත් නවත්ත ගන්න බෑ
.වැඩි
දෙනෙක් පොත් ගේන්නෑ.හතර දෙනෙක්ටම විතර පිලිවෙලට අකුරු ලියා ගන්න බෑ.එක්කෙනෙක්
අකුරු අඳුනන්නෙම නෑ.එකෙක් මක් කරලවත් විනාඩි 5ට වඩා පුටුවෙ වාඩි කරල හිටියොත් යකා
නටන්න ගන්නව.මේ වගේ තැනක විෂය නිර්දේෂය කවර් කිරීමේ මහා අභියෝගය!!!!
ඉගනගන්න ඕන කියන
එක ,ඉගනීම ජීවිතයට හුඟක් වටින දෙයක් කියන හැඟීම උඹල කාටවත් තිබුන් නෑ.කාලෙ ගෙවා
ගන්න ඉස්කෝලෙ ආවා.ඉගෙන ගන්න කම්මැලි හිතුනාම දඟ කරලා ගුරුවරයාගේ අවධානම පාඩමෙන්
ඈත් කරන්නයි උඹලට ඕන වුනේ කියල මට තේරුම් ගියා.අට බී පන්තියේදි ඉතිහාසය ඉගැන්ම
එතරම් සාර්ථක නැති බව ආපහු හැරිල බලද්දි මට හිතෙනව.මාත් ඉල්ලං කාපු පරිප්පුවේ
අපූරුව මං හුග වෙලාවට තනියම කල්පනා කලා
2015
දෙසැම්බර් ලං වෙද්දි මං සැනසුම් සුසුම් හෙළුවෙ මේ පිස්සං කොටුවට උගන්නපු කාලය
අවසානයි.මං දැන් නිදහස් කියල හිතාගෙන.ඒත් මං නිවාඩුවක් ගත්ත දවසකම විදුහල්පතිතුමා
2016ට පන්තිබාර ගුරුවරු පත් කරල.9 බී පංතියට මං.ඒ කියන්නේ මේ යකා නටන පංතිය
අවුරුද්දක් මට බාර ගන්ඩ වෙලා.
මට හීන්
දාඩියයි මහ දාඩියයි දෙකම දැම්ම ඒක ඇහුවම.අධ්‍යපන ඇමතිගෙ පටන් සියළුදෙනාගෙම මවු
දෙමවුපියො සිහිකරමින් පැය තුන හතරක් අහක හිටපු අහිංසක සුද්දාට දෙහි කැපුවෙ හිතේ
අමාරුව වැඩි කමටමයි
අන්තිමට
දුෂ්කරයි කියා
හැර යා යුතුද ජීවිතය
කටු පොකුරු
සිප ගතිමි හෙට මලක් වනු පිණිස කියල
- හිතං ඕන අට මගලයක් සඳහා හිත හදා ගත්ත.ඒක
අභියෝගයක් කියල හිතල බාර ගත්ත.
“මං කීයටවත්
අසාර්ථක වෙන්නෑ...මට අසාර්ථක වෙන්නත් බෑ...“ මං මටම කියා ගත්තෙ තදින්
අන්තිමට
කොල්ලො 17 ක් හා කෙල්ලො තුන්දෙනෙක් ඉන්න 9 බී පංතියේ පන්තිබාර කම මට පැටවුනා.
දැන් මාස අටක්
ගෙවිල.හිතා ගන්න බැරි තරම් දේවල් සිද්ද වුන අට මාසයක්.ලබන සතියේ ඉඳන් මට උඹලව නැති
වෙනව.ආයෙත් උඹලට ඉතිහාසය උගන්නන්ඩ මට බෑ.ඒ වෙනුවට 12 පංතියට ඉකෝන් උගන්නන්න වෙලා.මේ
පිස්සන්කොටුවෙන් ඈත් වෙන එක මගේ ඇහැට කඳුළු ගෙනේවි කියල මට කවදාවත් හිතුනෙ නෑ.
මං කීප
සැරයක්ම උඹල එක්ක අසාර්ථක වුනා.මට ඒව අමතක නෑ
විජිත - විට
කහට බැඳිච්ච දත් පෙන්වා කට කොනකින් හිනා වෙන ,බොරුවට ඔළුවෙ කැක්කුමයි කියල
හැමදාමත් පංතියේ නිදා ගත්ත උඹ සම්බන්ධයෙන් මං අන්තිම අසාර්ථකයි.උඹව ඉස්කෝලෙ රඳව
ගන්න මට බැරි වුනා.අස්වෙන්න හැබෑ හේතුව උඹ නොකිව්වත් මට තේරුම් ගන්න අපහසු නෑ.උඹ
පංතියෙ අනිත් ළමයින්ට වඩා අවුරුදු 2ක් වැඩිමාල්.විෂය කරුණු ධාරණය කරගන්න එක උඹට මල
වදයක් වෙන්ඩ ඇත්තේ අකුරු ලිවීම සම්බන්ධයෙන් උඹේ දුර්වලතා මේ වෙනකොටත් තිබුන
හන්ද
.ඒත් උඹ පාසලෙන් එලියෙ දැක්ක නිදහස් යෞවනයට වහල් වුනේ නැත්තං උඹ තාමත් පාසල් යන දරුවෙක්.විට කෙල
ගසමින් හන්දියේ රස්තියාදු ගහන එක,මල්පැන් පොදක රසය විඳින එක,දඩුමොනරෙක නැගල පියාඹන
එක ජීවිතය නෙමෙයි කියල උඹට කියා දෙන්න මට බැරි වුනා.ඒ නිදහස හොයාගෙනයි උඹ ගමේ
ඉස්කෝලෙට ගියේ.දැන් උඹ එතනිනුත් හැලිල.උඹව රඳව ගන්න මට ශක්තියක් නොතිබුන එක ගැන
මගේ හෘද සාක්ෂිය තාමත් මට දොස් කියනව.
ඒ මතකය ඇරෙන්න
උඹල එක්ක මං හුඟක් ලස්සන කාලයක් ගෙවල දැම්ම.උඹල දඟයි තමයි .හුඟක් දඟයි.ඕනවටත් වඩා
දඟයි.ඒත් මේ ඇත්ත පිලිගන්න මං ලැජ්ජ වෙන්නෑ.මං උඹලට ඉගැන්නුවට වඩා හුඟක් දේවල් උඹල
මට ඉගැන්නුව.
කවීෂා- මේ පන්තියේ
මගේ වටිනාම උපයාගැනීම උඹයි.උඹ අට වසරෙ ඉඳ්දි යාළුවාගෙ පොත අරගෙන බලා ඇඳීමක් වගේ
අකුරු ලියාගත්ත.කවදාවත්ම පන්තියේදි කට ඇරියෙ නෑ.උඹෙන් අහන ඕනෑම ප්‍රශ්නෙකට උත්තර
දුන්නෙ යාළුවො...
එහෙවු උඹ අද
අකුරු ගැට ගහ ගෙන පොත් කියනව.පංතිය ඉස්සරහට ඇවිත් කතා පවත්වනව.අසාධ්‍ය ලිව්කේමියා
රෝගියෙක් වෙලා ඉන්න කාලේ උඹේ ඔළුවට වැටුන “බැහැ“කියන විෂබීජය මරන්න උඹට නොදැනෙන්න
මං කොයි තරම් මහන්සි වුනාද?අද අඩුගානේ උඹ උත්සහ කරල බලන්න හරි හදනව...මහා ලොකු
විප්ලවයක් නොවුනත් උඹ ජීවිතයට උත්සාහය එක් කර ගත්ත එක ගැන මං සතුටු වෙනව
පංතියේ කාගෙ
හරි අවනඩුවක් ගැන පැමිනිල්ලක් නැතුව මං පාසලෙන් පිට වෙලා ගිය එකම දවසක්වත් මේ
මාසඅට තුල නැතුවට ඊට වඩා උඹලගෙ සමහර වැඩ වලින් මං හිනා වුනා.
ඒත් අපි හැමෝම පිලිගත්ත එක දෙයක් තියනව.උඹල පුංචි වැඩිහිටියො නෙමෙයි ළමයි.පුංචි
පුංචි දඩුවම් දුන්නෙ අහිතකින් නෙමෙයි.උඹල හරි පාරෙම තියා ගන්න ඕන හංද.අදට වඩා
ලස්සන හෙටක් හොයා ගන්න උඹලට මඟපෙන්වන එක මගේ රාජකාරිය කියල හිතපු හංද.
ඒත් මගේ ළමා
කාල ගෙවිල ගිය විදියට නෙමෙයි උඹලගෙ ළමා කාලය ගෙවෙන්නෙ.මං හැදුනෙ සුරක්ෂික ආදරණීය
පරිසරයක.උඹලගෙන් බොහොම දෙනෙකුට ඒහෙම දෙයක් උරුම වෙලා නැති බව දන්නව.ඒ දේවල් දන්න
මට උඹල ඒ දේවල් අතරින් නගන එක හිනාවක් කෝටියක් වටිනව.
මට ඕන උනේ උඹල
හීනයක් දෙන්න.ඒත් උඹල මට හිතා ගන්නවත් බැරි තරම් යථාර්ථයට ලංවෙලා.රුපියල් 1000ක්
හම්බෙන හින්ද අයියල එක්ක පෙලපාලි ගිය තාමත් ඡන්ද අයිතිය වත් නැති උඹව,මං නිවාඩු
කාලෙ ගෙදරදි සෙල්ලම් කරල පාඩම් කරල ගත කරල තියෙද්දි උඹල කුලීවැඩට ගිහින් විසි තිස්
දාහ උපයපු උඹව,කරාබු ගම්මිරිස් කඩල ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරන උඹව මට ටිකක්
ගෝචර නෑ.ඉගනීමත් එක්ක බැඳුන හීන උඹලට නෑ
.පාසලේ දරුවො වැඩි දෙනෙකටත් නෑ.
ගනන් බැරි
හින්ද සාමාන්‍ය පෙල ෆේල් වෙනව කියල දැන්නම හිතාගෙන දුර රස්සාවල් වලට යන්ඩ හීන මවන
උසස්පෙල /සරසවි හීනයක් නැති උඹලට හීන දෙන්න මට තේරෙන්නෙත් නෑ..
උඹල ගැන මං
කලකිරුණු අවස්ථා නැතිවත් නොවේ.පාසල තුලදී නොවුනත් නමය වසර දරුවෙක් රා බෝතලයක් සමඟ
මගේ අතටම අහු වුන එක මට හුඟක් දරා ගන්න අපහසු වුනේ ඒකයි.මගේ දෑසට නොනවත්තාම කඳුළු
නැගුනෙත් ඒකයි.මං උඹලට ආදරය කල පලියට උඹල සර්ව නිර්දෝෂී වෙන්නෙ නෑ කියල මං තේරුම්
ගත්තෙ එදා.
අන්න ඒකයි
අමධ්‍යප ව්‍යාපාරයත් එක්ක මත් පැන් වල ආදීනව ගැන විෂය නිර්දේශයට අදාල නොවූ දේසනයක්
කලේ.
එදා මගේ ප්‍රශන
වලට උඹලගෙ උත්තර මට තාම මතකයි
“ඔයාලගෙ
තාත්තල බොන අය ඉන්නවනං අත උස්සන්න“උඹලගෙ ජීවිතේ හුඟක් දේවල් අවංකවම මං එක්ක කියනව
කියල මං දැනගෙන හිටිය. උඹලගෙන් දෙතුන් දෙනෙක් ඇර අනිත් සේරම අත ඉස්සුව.
ඔයාල බොන අය
අත උස්සන්න
අනේ
හැබෑට.....මං රා බෝතලයත් සමඟ අහුවුන උඹට දැම්මෙ නෝක්කාඩු බැල්මක්
අම්මප මං
ඉස්සර බීව..දැන් නෑ
හැබෑටම..මං
තාමත් උපහාස ස්වරයෙන්......කවද ඉඳන්ද අමධ්‍යප සංගමේට බැඳෙන්න හිතුනෙ....
අර මිස් අඩපු
දවසෙ ඉඳන් තාම බිව්වෙ නෑ මිස්..අම්මප ආයෙ බොන් නෑ කියල හිතා ගත්ත...උඹ කීව..උඹ
සමහර විට ඒ කීවෙ ඇත්තම නොවෙන්න ඇති...ඒත් එවෙල මගේ ඇහැට ඉනුවෙ සතුටු කඳුළු
අද තමයි නරකම
දවස.උඹල පීරියඩ් කට් කරන්න පටන් අරගෙන.පංතියට නොගිහින් හිටපු උඹල තුන් හතර දෙනෙක්
මගෙ ඇහැ ගැටුනෙ අහම්බෙන්.
අද රිලීෆ්
පීරියඩ් දෙකක්ම දාගත්තෙ මේ අවුලත් ලෙහා ගන්ඩ ඕන හින්ද.මං වෙනදා වගේම විහිළුවෙන්
ඉගැන්නුව.මුලදි උඹල මූනෙන් මූන බලා ගත්තෙ උදෙන්ම දේශනයක් හම්බෙයි කියල බලං හිටපු
හංද වෙන්න ඇති.
මගෙ හිතේ තරහක් තිබුනෙ නෑ.ඒත් උඹ කලේ වරදක් කියල උඹලට අවබොධ කරවන්න
මට ඕන කමක් තිබුන.හැමදාම බොරුවට විහිළු ටොකු ඇනපු නොරිදෙන්න උඹලගෙ කනින් ඇදපු මම
අද නම් ඇත්තටම වේවැල් පාරවල් 02 ගානෙ ගැහුව.උප නායකයාත් මේ මගඩියට හවුල් කියල
දැනගත්තාම උඹට 3ක් ගැහුවෙ නායකයා තමන්ගෙ පරිවාරයට වගකිය යුතු බව උඹට තේරුම් ගන්නයි.
එලිමහන් පන්ති කාමරයට එක්ක ගිහින් කාටවත් නොපෙනෙන්න වේවැල් කසාය දුන්නෙ උඹලට ලැජ්ජාවක් නොවෙන්නයි
එලිමහන් පන්ති කාමරයට එක්ක ගිහින් කාටවත් නොපෙනෙන්න වේවැල් කසාය දුන්නෙ උඹලට ලැජ්ජාවක් නොවෙන්නයි
ඒත ඒ
පාරක් ගානේ උඹලට වැඩියෙන් මට රිදුන.ඒකයි ඊලඟ පීරියඩ් එක පටන් ගන්න කලින් උඹල
හැමෝගෙම අත් අල්ලල වැවිරි පාරක් තිබුනද කියල මං බැළුවෙ.මගෙ පසුතැවීම උඹලට පේන්න ඇති.ඒකයි
උඹල මං අහන්නෙ නැතුවම
“වැඩිය රිදුනෙ නෑ මිස් කියල කීවෙ.“
උඹලගෙ හිතේ මං
ගැන තරහක් ඇති වුනාද කියල බලන්නයි මං උඹලගෙ ඇස් වලට එබිල බැළුවෙ.ඒත් උඹලගෙ ඇසුත්
වෙනදවගේම මාත් එක්ක හිනා වුනා.මං කරපු නපුරු වැඩේ මගෙ හිතට එකඟ නෑ...ඒත් පන්ති කට්
කිරීමේ ආදීනව ගැන දේෂනයකින් මේ තරම් සාර්ථකව මේ පණිවිඩය උඹලට දෙන්න බැරි බව මං
දන්නව.
මං ගැහුවෙ
තරහකින් නොවන බවත්,ගහන්න හේතුවත් උඹල දන්නව....අඩු ගානෙ මාස 2ක් වත් යනකල් මේ
වැරැද්ද උඹල කරන්නැති බව මට විස්වාසයි.
නමට පංතිබාර
කාරත්වය තිබුනත් මට පංතියට යන්ඩ අවස්තාවක් නැති හංද වෙනද වගේ උඹලට ලංවෙන්ඩ මට
අවස්තාවක් නෑ.
ඒත් උඹල
වෙනුවෙන් මගේ හිතේ වෙන් වුන ඉඩ හැමදාමත් එහෙමමටි.මගේ ගුරු භූමිකාව සාර්ථක වුනත්
අසාර්ථක වුනත් මං උඹලට ආදරේ බව උඹල දන්නව... උඹල සාර්තක වුන දවසට මාත් සාර්ථක බව
මට හැඟෙනව









