Saturday, May 23, 2015

නව කතාව -මංමුලා සෙවනැලි-06 කොටස


5 කොටස මෙතැනින්


ඕන තරම් මරණ දැකලා තිබුනත් මේ මරණය අපට සාමාන්‍ය දෙයක් වුනේ නෑ.අසාමාන්‍ය වේදනාවක් අපි හැමෝම වින්දා.ආයෙත් කතන්දර කියන්න,මොර කඩන්න අපව කර තියන් කැලේට යන්න,අඩු ගානේ බූරු ඇඳ උඩ වැතිරිලා දිලිසෙන ඇස් වලින් හිනාවෙන්න අප්පච්චි ආයෙ එන්නේ නෑ.


ඉපදෙනවා ..මැරෙනවා..සංසාරෙ හැටි...කියලා මාව තුරුල් කරගන්න හදපු මුත්තම්මා තල්ලු කරලා දාලා මම ලොක්කයිය හොයාගෙන දිව්වා..


එයාලට තේරෙන්නෑ...එයාලට තේරෙන්නෑ..මේක අපේ දුක..මැරුනේ අපේ අප්පච්චි....මාව තුරුල් කරගෙන ලොක්කයියත් මං වගේම අඬා වැටුනා.


“අනේ දෙයියනේ රොඩ්ඩක් වෙලා ඇඳට වැටිලා හරි ඇහෙන පේන මානයෙන් හිටියනම් හිතට හයියක් ....“අම්මා හඩා වැටුනේ අප්පච්චි වෙනුවෙන් විතරක් නෙමෙයි.අපි ගැනත්,එයාට දැන් තනියම කර ගහන්න වෙන ජීවිතේ බර ගැනත් හිතලා.

ඊලඟට අපි මොකද කරන්නේ කියලා අපි කාටවත් සිහි කල්පනාව තිබුන්නෑ.ඒ වෙලාවේ තමයි පොඩි මාමා අපේ ජීවත වලට එකතු වුනේ.අපේ අප්පච්චිගේ අන්තිම ගමනට අපෙන් හම්බුනේ කඳුළු විතරයි.ඉතිරි සේරම දේ ලබා දුන්නේ පොඩි මාමා.


හත් දවසෙන් හීල් දානෙ පංසලට දුන්න අපි අමාරුවෙන් හරි  පරණ පුරුදු ජීවිතේට ඇතුළු වුනා.ඒත් ගෙවුන හැම විනාඩියකම අපි අතරෙ තිබුන හිස් තැන වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තා.හැමෝම අනිත් අයට හොරෙන් කඳුලක් පිහ දාගත්තා මිසක් ඒ ගැන කතා කරන්න කවුරුවත් එඩිතර වුනේ නෑ.


මැරුණු මිනිස්සුන්ගේ  මතකය හිතේ පුරෝගෙන ජීවත්වෙන මිනිස්සු ඉදිරියට යනවා.මේ ධර්මතාව අපටත් පොදු වුනා.හැම දුකක්ම කාලයා දුරු කරනවා කිවුවට අප්පච්චි අහිමිවීමේ වේදනාව අද මේ ලියන මොහොතෙත් නැතිවෙලා නෑ.

මහා වනස්පතියක් වගේ දුක් වේදනා කරදර වලින් අපි රැකගත් අප්පච්චි උදුරා වැටුනට පස්සෙ ඒ සෙවනෙ හිටපු පුංචි පැල ලෝකයේ හැම උවදුරකටම නිරාවරණය වුනා.

මැලේරියාව අප්පච්චි උදුරගත්තේ නැත්තං දුවක් බිරිඳක් අම්මාකෙනෙක් හැටියට මට බොහොම සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න තිබුනා.එහෙමනම් මේ තරම් වේදනාකාරී ජීවිතයක් මට උරුම වෙන්නේ නෑ.ඒ හැම දෙයක්ම මතක් වෙනකොට මට දරා ගන්න බෑ.



අපේ දුප්පත් අම්මගෙ හිතට තනියම අපේ බර උහුලන්න බැරි වුනා. අප්පච්චිගේ මරණගෙදර බර දරන්න උදවු වුන මාමාත් එක්කම ඒ බර බෙදා ගන්නයි අම්මට ඕන කළේ.

ඒත් ඒකට විරුද්ධව මුල්ම වෙඩි මුරේ පත්තු කලේ ලොක්කයියා. අප්පච්චි මිය යනකොට එයාගෙ ඇල්ම බැල්ම ආදරය අදහස් වගේම හිතත් ලොක්කයිය ලඟ ඉතුරු කරල ගිහින් තිබුනා.



“අම්මගෙ මොලේ විකාරද?...යසයි ළමිස්සියො ඉන්න තැනකට පිට පිරිමියෙක් නවත්ත ගන්න“නැති කරදරත් ඇතිවේවි ..“එයා අම්මට කසුකුසුවෙන් කීවේ මාමා ආව දාමයි..

“ඌ මගේ සහෝදරයා වෙච්චි....උඹලගේ මාමණ්ඩි වෙව්වි... මොනවද ඔය අව කැපෙන කතා...“


“ඉනෙන් පහලට නෑදෑ කම නෑ....උවමනාවෙදි කබරගොයත් තලගොයා වගේ පෙනෙයිලු.....උගේ කැරැට්ටුවත් අපි නොදන්න එකක්යැ..“ලොකු අයියාගේ හඩ එන්න එන්නම උස් උනා.....


“මහ මිනිහ මලාට මං තාම මැරුන්නෑ නොවැ...උඹලට ඕන දේවල් කරපල්ලා....මාත් මලාට පස්සෙ...“


“කවදාවත්ම නැති විදියට අම්මට රවපු ලොකු අයියා පිට වෙලා ගියේ එතැන තිබුණු වතුර කළගෙඩියට පයින් පාරක් දෙන ගමන්....බිමට වැටී බිඳුණු  කලගෙඩිය ඇතුලේ තිබිලා හැළුන වතුර වගේ මගේ ජීවිතෙත් විසිරිලා යන්න පටන් ගත්තේ එදා....


ටික දුරක් ගිය ලොකු අයියා ආපහු හැරුණා....“දෙයක් වෙලා තිබුන දවසක මගේ අතින් ආනන්තරික පාප කරුමයක් වෙයිද දන්නෑ....මම සේරමලා බාවලා මහ උළු ගෙදර යනවා“.....


මම අඩාගෙනම ලොක් අයියාගේ කකුල් බදා ගත්තා...“අනේ ලොක්කයියේ මාව දාල කොහෙවත්ම යන්න එපා“...අප්පච්චිත් ගියා .....“ලොක්කයියා මාව කිටි කිටියේ ඇඟට හේත්තු කර ගත්තා....අප්පච්චි ළඟින් දැනුන සුපුරුදු සුවඳ මට ඒවෙලාවේ ලොක්කයියා ළඟිනුත් දැනුන..


මගේ දයාබර ලොක්කයියා...අප්පච්චි වගේම එයාත් දුර දැක්කා...එයා ඇහැක් විදියට අපේ පරෙස්සම බැළුවා....දවසක් හිච්චයියා යාළුවොත් එක්ක සෙල්ලමට වැටිලා පරක්කු වෙද්දී මං තනියම ආවා...එදා ලොක්කයියා ඉලපත කැඩෙනකල්ම හිච්චට තැළුවා.....

එච්චරකට කැප වෙලත් ලොක්කයියාට මාව රැක ගන්න බැරි වුනා....වැට ගොයම් කන හරකාට නොදැනම උදවු දුන්න නිසා තමයි මෙහෙම උනේ....අම්මලා දුර දිග නොහිතා ගන්න සමහර තීරණ  වලින් දෙගොල්ලොම සදාකාලිකව විඳවනවා...


මගේ රත්තරං අප්පච්චි නොමැරුනා නං....අම්ම ලොක්කයියගෙ කීම ඇහුව නම් මේ වෙනකොටත් අපේ පවුල ලස්සනට එකමුතුව ඉන්න පවුලක්....එහෙනම් බිරිඳක් ගැහැණියක් මවක් විදියට සර්ව සම්පූර්ණ ජීවිතයක් මටත් ලැබෙන්න තිබ්බා..

අපේ ගෙදර ගිණි පත්තු වුනේ ලොක්කයියා හිතුවටත් වඩා කලින්.අපි දවසක් ඉස්කෝලේ ගිහින් එන කොට අම්මයි අක්කයි තරඟෙට අඩනවා..ලොක්කයියාගේ මූණ පර වෙලා ගිහින් තිබ්බා.

ලොක්කයියාගේ තරහ මූණ,සතුටු මූණ,ආදර මූණ,නපුරු මූණ,හිනා මූණ,හුරතල් මූණ මේ සේරම දැනගෙන හිටිය මට මේ අළුත් මූන අඳුන ගන්න බැරි වුනා....

වෙනදා බයට ලොක්කයියි ළඟට දුවන් යන මම එදා නම් පුංචයියට කිට්ටු වුනා...මට නොතේරුනාට එයාට තේරිලා වගේ...පුංචයියා මාව තුරුල් කරගෙන හඩා වැටුනා...ඒක දැකලා අක්කා තවත් හයියෙන් ඇඩුවා..



ලොක්කයියා නොනවත්තාම කලේ අම්මට බනින එක...අම්මා බිත්තියේ හැපි හැපී ඇඩුවා...

.

එදා රෑ ලොක්කයියා මාව බදාගෙන හඩා වැටුනා...මට තිබුනේ එක ප්‍රශ්ණයයි..ඇයි එයා ඇඩුවේ...අම්මා ගැහුවේ අක්කටනේ...මාමා මාස ගානකට ආයේ ගෙදර ආවේ නෑ...

.මාමා ඉන්නකොට මාව උකුලේ කියාගෙන කිති කවනවා....මාව ඉඹිනවා ,මිරිකනවා....මාමා නැති පාළුව මට තදට දැනුනත්...මාමා ගැන අහන්න මට බය හිතුනා...ලොක්කයියා නිතරම හිටියේ තරහින්....සමහර දවස් වලට හේනෙම නතර වුනා...


එදාට මමයි පුංචයියයි එයාට බත් අරගෙන ගියා...ටික ටික...අපේ ගෙදර ලෝක තුනක් හැදුනා...අයියලා දෙන්නයි මමයි එක පැත්තක,අම්මයි අක්කයි වෙන වෙනම....අයියලාගේ ලෝකයේ කේන්ද්‍රය මං කියලා පුංචි උනත් මට දැනුනා...මගේ සතුට කැමත්ත මතයි එයාලාගේ හැම තීරණයක්ම ගත්තේ...




අපේ එකම බලාපොරොත්තුව උඹම තමයි...ඉගෙනගෙන ලොකු මිනිහෙක් වෙයං හිච්චි....අයියලා නිතරම කියන්න පුරුදු වෙලා හිටියා....එයාලගේ ඒ බලාපොරොත්තුව බිඳ වැටුන දවසේ එයාලට දැනෙන්න ඇති හැඟීම මට සිහිවෙනකොටත් මගේ මුළු හිතම වේදනාවෙන් විලාප දෙනවා.



මේ සිද්ධිය වුනේ ලොක්කයියා මාසෙකට විතර පස්සේ හේනේ ඉඳලා ගෙදර ආව දවසේ.අම්මා ලොකු අයියා ඇණ බා ගෙන උන්න පිල වටේ තුන් හතර පාරක් කැරකුනේ  කියන්න යන දේ කියන්න දහිරිය ගන්න වගේ..පුංචයියා ලොක්කයියා ළඟටම වෙලා හිටියා...මං හිටියේ ලොක්කයියගේ ඔඩෙක්කෙ ඔළුව තියාගෙන.අක්කා කාමරේ සද්දයක් නෑ...

එයා විතරයි මෙතනට අඩු කියලා හිතුවට කාමරේට ගිහින් එයා ව එක්ක එන්න මට දහිරිය තිබ්බේ නෑ.ඇරත් අක්කයි..ලොක්කයියයි දෙන්නට දෙන්නා මඟ අරිනව වගේ හැඟිමක් මගේ හිතටත් දැනිලයි තිබුනේ..


“අර සේන ඉලන්දාරියා කැමතියි කියන්නේ ලොකු එකී සහේට ගන්න“ අම්මා කියනකොට චුට්ටයියා කට හැදුවේ අමුතුවට...


පුං ...ඌ අවුරුදු විස්සකට විතර කලින් නම් ඉලන්දාරියෙක් වෙන්න ඇති...“

චුට්ටො උඹ නොදන්න දේවල් වලට හොට නොදා ඉඳපන්...මං ඇහුවෙ ලොකූගෙන්...

හ්ම්...ලොක්කා උත්තර දුන්නා...


දැන් ඉතින් ඒකි කොහොමත් පෙලවහකට යන වයසේනේ....

හ්ම්... කලින් උත්තරය ආයෙමත්

“බස්සෙක් වගේ හූම් හූම් ගාලා වැඩක් තියද?මං එහෙනං ඌට කියන්නද උඹත් කැමතියි කිවුවා කියලා“
ලොක්කයියා එකපාරටම නැගිට්ටේ එයාගේ ඔඩෙක්කෙ උන්න මාවත් අමතක වෙලා..මං විසිවෙලා වැටෙන්න යනකොට ඉක්මනට මාව අල්ලගෙන පිළ උඩින් ඉඳෙවුවා...


“ඇයි උඹ එක පාරක් ඒකිට කැටපු විනේ මදි වෙලාද තව එකක් කොරවන්න යන්නේ“එදා සිද්ධියෙන් පස්සේ ලොක්කයියා කවදාවත්ම අම්මට අම්ම කියලා කතා කලේ නෑ.උඹ කියලාමයි කීවේ...

ලොකූ..


“මං උඹට කිවුවනේ ....ඌ බේබද්දෙක් ,සල්ලාලයෙක්..නයා ගහල මල ඩිංගිරාගේ ගෑනි විතරක් නෙමෙයි....වත්තෙ බංගලාවේ සුද්දගෙ නාකි අම්මත් එක්කත් මොකද්දෝ හුට පටයක් තියනවා...ඩිංග මැරිලා අවුරුදු දෙකක් යන්නත් කලියෙන් අර රතු කෙල්ල ඉපදුනේ හුලඟටද?


ඒත් ලොකූ සල්ලං වෙච්චි එකී එහෙම හරි දීගෙක දෙන්න එපැයි


“මං කැමති නෑ...“

“උඹ අකමැතියි කියලා කොහොමද?එහෙමවත් මිනිහෙක් කැමති වුනා මදැයි“


“කවුද ඒකිට එහෙම කලේ“...


“ඒකි සල්ලං කරපු එකාට ඒකිව දෙන්න බෑ නොවැ...නෑ කම හරිනෑ....“


“ඕනෑ කමදි උන්ට නෑකම මතක් වුනේ නැද්ද?“ලොක්කයියා ගිගුරුවේ එලියට බැහැලා හුළු අත්තක් පත්තු කරන ගමන් මයි...අක්කගෙ කාමරෙන් හීන් ඉකිබිඳුමක් ඇහුනා...


හිටහං අයියේ මාත් එන්නම්....



උඹ හිච්චි බලාගෙන හිටහං...තව මොන නයි පොලොංගු රෙද්ද පල්ලෙ දාගනීද කවුද දන්නේ...ලොක්කයියා අඳුරට මුහු වෙලා නොපෙනී යනකං පුංචයි මායි බලාගෙන හිටියා..


හූල්ලන සද්දයක් ඇහිලා අපි දෙන්නම හැරිලා බැළුවේ එක පාරටම.අක්කා උළුවස්සට හේත්තු වෙලා උන්නා...


“මං සේනය එක්ක යන්නම්...



“ඔල්මාදෙ හැදිලාද?ඒකා මහ තිරිසනෙක්...


“මං කොහොමද හිච්චි හොඳ මිනිහෙක් එක්ක දීග කන්නේ...මං හොඳ ගෑනියෙක් නෙමෙයි දැන්


චුට්ටයියා මුකුත්ම කීවේ නෑ.ඒත් ඇස් දෙකේ පිරුණු කඳුළු මගේ හිස් මුදුනට වැටුනා...ඒ කඳුලේ හීතල මේ මොහොතේ පවා මගේ ලේ කැටි ගස්සනවා...


අන්තිමට අක්කා එයාගේ ඇඳුම් සේරම අරගෙන සේන අයියලගේ පැත්තක් ගරා වැටුන කබල් ගෙදර පදිංචියට ගියා...ලොක්කයියා එදා කෑමටවත් ගෙදර ආවේ නෑ...


“සල්ලං වෙච්ච නගා දීග දෙනකොට අයියෙක් සතුටු වෙන්න එපැයි...“යසෝ නැන්දා ඇණුම් පද කිවුවේ ලොක්කට


“ඕපාදූප කාර නපුරු නාකිච්චි....චුට්ටා කීවේ කේන්තියෙන් තද කරගත් දත් අතරින්...මේ මල මගුල් දවසේ නෙමෙයිනං මං කියනවා ඕකිගෙ රෙදි ලෙහෙන්න,,,




සේන අයියගේ නපුරු ලෝභ අම්මණ්ඩිත් එක්ක අක්කා කොහොම ඉහ ගහන්නද?බෝල බෝල අකුරු ලස්සනට ලිවුව අක්කා...ලස්සනට තාලයට කවි කියපු අක්කා...එයාගේ ඉරණම නතරවුනේ එතැන



.....................................................................................................................................................................

8 comments:

  1. මම මේක මුල ඉඳන්ම කියවන්න ඕනෙ. මේක කියෙව්වට අගක් මුලක් හරියට හොයා ගන්න බෑ.

    ReplyDelete
  2. හොඳයි හොඳයි කියවන්නකෝ....තාම කොටස් 6ය නොවැ දැම්මේ

    ReplyDelete
  3. ඔක්කොම කියවල යමක් ලියන්නං.කලින් කොටස් බලන්න බැරි උනා නොවැ.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි හැලපේ අනිවා ඔයාගේ අදහස කියන්න හොඳේ

      Delete
  4. කතාව ලස්සනයි... නමුත් අවාසනවට ඇත්ත කතාවක්ද? මට නම් හිතෙන්නේ ටිකක් පරණ කාලේ වගෙ භාශා රටාව...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අවුරුදු 10යක ඉඳන් හිතේ තිබුනා....දැන් තමයි ටික ටික ලියවෙන්නේ...දන්න කියනකෙනෙකුට වුන දෙයක් නම් නෙමෙයි

      Delete
  5. අපි නොදැක්කට, මේ වගේ සිද්දීන් කොහොමයක් සිදුවෙනවා ඇත්ද, අප අවට ඇති පවුල්වල........

    ReplyDelete
    Replies
    1. දැන් වෙන්නනේ මීටත් වඩා අසික්කිත දේවල්නේ.හොඳට ඉන්න අපිත් උම්මන්තකයෝ වෙන සයිස් එකේ ඒවා.......අර යාපනේ අහිංසකීම බලන්නකෝ

      Delete