Friday, August 28, 2015

වදනින් නොකී ආදරේ



මගේ බාල විය ගෙවී ගියේ හුදෙකලාවම නොවේ...හූ හඩක් ඇසෙන නොඇසෙන මානයේ තවත් මනුස්ස වාසයක් නොතිබුනත් මගේ හීන තුරු ලතා හා ආදරණීය - වඩාත් ආදරණීය චරිත රැසක් එකල මා වටා විය.මගේ බාල විය ගෙවී දශක දෙක හමාරක් ගතවී ඇතත් ඒ මතක තවමත් මා හුදෙකලාවෙන් රැක ගනී.


ඔවුන්ගෙන් මුල් තැන ගත්තේ ටෝනිය.ඔහුගේ මරණය හැර ඔහු මගේ ජීවිතයට එකතු කලේ ඉතා සුන්දර අත් දැකීම් සමුදායකි.

මා ඉපදෙන විට ඉතා දුෂ්කරව ජීවත් අම්මාටත් තාත්තටත් හැකි වූයේ අළුත උපන් දරුවා ගෙන ඒමට කබොක් ගලින් බිත්ති බැඳ වහලයක් ගසා ගත් එක් කාමරයක් හදා ගැනීමට පමණි.කුඩා මාත් අම්මාත්  නිදා ගන්නා රාත්‍රින් වල බිත්ති දිගේ ඇවිදින සර්පයන්ගෙන් අප ආරක්ෂා කිරීමට තාත්තාත් ටෝනිත් අවදිව සිටියාළු.දවසම පොළව සමඟ පොර බදන තාත්තා වෙහෙස නිසා නොදැනීම නිදි කිරා වැටෙන විටත් අවදිව සිටි ටෝනි අනතුරක් දැනුනු වහාම සෙසු බල්ලන් කරන්නා සේ මහ හඩින් බුරා නොවැටී තෙත දිවෙන් තාත්තාගේ කන ලෙවකා ඔහුව අවදි කලේ මා අවදි නොවන ලෙසළු.


එකල කුස්සිය වූයේ අප මා තබා තිබූ කාමරයෙන් මීටර් 50 පමණ එහායින් වූ මඩුවකි.තාත්ත වත්තට යද්දී අම්ම කුස්සියට යද්දී මගේ ආරක්ෂකයා වී ඇත්තේ ටෝනිය.අම්මාට හා තාත්තට හා වත්තෙ වැඩට සිටි ඩෙකර්ටත්  හැර වෙන කිසිවෙක් මා බැලීමට කාමරය තුලට ඇතුළු වීමට ඔහු අවසර දුන්නේ නැතිළු.වෙනත් අයෙක් ඔවුන් තිදෙනාගෙන් අයෙකු සමග කාමරයට ආවත් ටෝනිගේ සාංකාකූල ඇස් ඔහුගේ හැම චලනයක් දෙසම නිහඩව යොමුව තිබුනාළු.


යන්තම් දණ ගාන මා රබර් කට්ටියට ගෙන ගොස් සෙල්ලම් බඩු කිහිපයක් ළඟට දී  ආරක්ෂාවට ටෝනිව ලඟ හිඳුවා අම්මලා කිරි කැපීමට යයි.එතැන් සිට මගේ ආරක්ෂකයා මෙන්ම සෙල්ලම් සඟයාද වන්නේ ඔහුය.මගේ පිරිමැදීම් කෙනිත්තීම් මිරිකීම් හැකි පමණ දරා සිටියේ ඇතැම් විට වේදනාවෙන් කෙඳිරි ගාමින්ළු.දරා ගත නොහැකිම තැන වැතිර සිටි තැනින් නැගිට වෙනත් තැනක වාඩි ගන්නවා හැර දත් විලිස්සීමට වත් මා පෙනෙන මානයෙන් ඉවත් වීමට වත් ඔහු කිසිදා උත්සහා කලේ නැතිළු.


මා වැඩෙද්දී..අපේ ගෙදර නැවතී මා බලා ගැනීමට අයෙක් පැමිනෙද්දී ටෝනි සිය ආරක්ෂක වලල්ල වත්තේ හතරමායිම දක්කාම පුළුල් කලේය.මට ඔහු අහිමි වූයේ එබැවිනි.වත්තේ මායිම් මොනවාදැයි හොඳින් දැන සිටි ඔහු පොල් ඉරටුවක් වත් කාටවත් ගැනීමට ඉඩ දී නැත.එසේ පැමිනෙන ඕනෑම අයෙකුගේ සිරුරේ ඕනෑම ස්ථානයකට සිය තියුණු දත් කිඳා බැස්සවීමට ඔහු පැකිලී නැත.එබඳු අයෙක් දුන් වස නිසා කැලයේ කොල පාටට වමනේ දමමින් මරනාසන්න ව හුන්  ඔහු අසබඩ මා විලාප දී හඩා වැටෙද්දී අඩන්න එපා කීමට මෙන් ලා දුඹුරු පාට වලිගය යන්තම් එසවීමට ඔහු ගත් උත්සහය මට තාමත් කඳුළු නැති දෙනෙතකින් සිහිපත් කල නොහැක.


ලකී අපේ ගෙදරට ආවේ කෙසේදැයි මට මතක නැතත් මල්ලීට මතක තියේ.ඔහු පවසන ආකාරයට ලකී ගෙනවිත් ඇත්තේ අපේ ගෙදර වැඩට හිටි ඩෙකර් විසිනි.ඌ ලැයිමේ සිට ගෙන ආ බැවින් දෙමල බල්ලෙකි.තනි කළු කැහුටු සිරුර මට තාමත් මතකය.ලකී ජීවයෙන් පිරි ආදරණීය අයෙක් වුවත් කවදාවත් පුෂ්ටිමත් බල්ලෙකු වූයේ නැත.කුමක්දෝ හේතුවකට මට ඔහුගේ බාල විය සිහිපත් නොවේ.ඊට හේතුව විය යුත්තේ පාසල් යාම සදහා නෑ ගෙවල් වල නැංගුරම් දාපු අහිකුන්ටික ජීවිතයක්  මා ගත කිරීම විය යුතුය.

 හය වසරේ සිට යලිත් අම්මලා සමඟ ගෙදර විසීමට හැකි වූයේ ඒ වන විට දිනකට හතර වරක් ධාවනය වන සී ටී බී බසයක් ගමට ලැබී තිබුන නිසාය. උදේ 6.10 බසයෙන් පාසලට යා හැකි අතර හවස 2.20 බසයෙන් යලි පැමිණිය හැක.මේ අවධිය වන විට මල්ලීද පාසල් යාම ආරම්භ කලා පමණි.ලඳු කැලෑවල සැඟවී දරුවන් බිලි ගන්නා දූෂකයන් ගැන බියකින් තොරව ගලා ගිය ඒ යුගයේ මල්ලීත් මාත් තනිව බසයට එවීමට වැඩිහිටියෝ බිය වුනේ නැත.උදේ බසය සඳහා අප ගෙදරින් පිට වන්නේ 5.30ටය.පෙරමුනේ රාල ලෙස ලකී ඉදිරියෙන්ම යයි.පාර හරහා සර්පයන් මාරු වේද වල් ඌරෙකුගේ ඉව දැනේදැයි ඔහු විමසිලි මත් වෙයි.ඊළඟට උණ බට පන්දම ගත් මාය.පන්දම සදා ඇත්තේ උණ බටයක පුරුක් 2ක් කපා එක් කොනක පුරුක ඉවත් කොට ඒ තුලට ලාම්පු තෙල් වක්කර රෙදි වලින් ඇබයක් ගැසීමෙනි.තෙල් වලින් පෙඟුනු රෙදි ගුලිය ඇවිලෙද්දී හතර වටේටම එලිය විහිදේ.ඌරන් හා සර්පයින් අපේ මගින් ඉවත් වේ.


වැසි දිනයකදී මේ පෙරහැර වෙනස් වේ.මල්ලී කරට ගත් තාත්තා පන්දම අතට ගනී.වතුර සමග බද්ධ වෛරයක් සමඟ ඉපදුනත් ලකී සිය වගකීම පැහැර හැරියේ නැත.අප කුඩ රේන් කෝට් වලින් ආවරණය වෙද්දී නිරුවත් සිරුරේ දිය බේරෙද්දීත් ලකී හැමදාම අපේ උදේ පෙරහැරේ පෙරමුනේ රාල වී සිටියේය.ඒ මදිවාට අප ඇරලා ගෙදර එන විට “ගෙයි කූඩැල්ලන් හලනවා ..යනවා එලියට “කියමින් බැන වදින අම්මාගේ කෙනෙහිලි කම්ද දරාගෙන සිටියේය.


අප බසයට ඇරලවා ආපසු යන ලකී යලි හවස අප ආපසු එක්කාගෙන යාමට පැමිනෙයි.2.20ට දැරණියගලින් එන බසය  හවස 3 වෙද්දී ගමනාන්තයට ලඟාවෙයි.කන දෙපසට ඇඳ දත් දෑන්දම පෙන්වන ප්‍රීතිමත්  හිනාවකින් හා දඟර නැටුමකින් අප පිලිගන්නා ලකී ගෙදරට පිටත් වෙයි.ඇල කටවල් 03ක් පසුකර යා යුතු ගමන ඇත්තෙන්ම විචිත්‍රවත්ය.අපි සුවඳ වැඩි කමට සිපගත් කල ඔළුව කැක්කුම ගෙනෙන ගොඩ මානෙල් හා සමනල මල් කඩමු.අහම්බෙකින් වල් හාවකු දුටු විට ඌ අල්ලන්නට දුවමු.නැත්නම් කොතන හෝ ඇල කටක නැවතී බෙල්ලෙ එල්ලන් සිටින වතුර බෝතල් වලින් හා කෑම පෙටිටි පියනෙන් මාළු අල්ලමු.ඒ මුකුත් නැත්තං ඇලට කෙල තලියක් ගසා මාළුන් ඊට පොර කන අයුරු බලමු.මේ හැම අවස්ථාවකදීම ඉවසිලි මත් බවක් පලකරමින් විපරම් ඇසින් ලකී අප අසලම හිදී.ඔහු සැබවින්ම ඉතා විචක්ෂණශීලී ගමන් සඟයෙකි.මා හවස පන්ති ඇති දවසට 2.20 නොපැමිණි කල හවස 5.30 බසය එන වෙලාවට පැමිණීමට තරම් ඔහු බුද්ධිමත්ය.


එසේම ඔහු පවුලේ ආරක්ෂකයා බවට තමා විසින්ම පත් කරගෙන හිටියේය.දවසක් ගොළු කුමාර අයියා විහිළුවක් කරන ගමන් තාත්තාට අතින් සුළු පහරක් දුන්නේ නිකමටය.එදා සිට අපේ ගෙදර හැදුන වැඩුන කුමාර අයියාට ලකී ආදරේය.ඒත් අපේ තාත්තාට ඊට වඩා ආදරේ බැවින් එක්වරම කඩා බැන කුමාර අයියාගෙ තට්ටමේ රස බැලීමට ඔහු දෙවරක් හිතුවේ නැත.එය ඇත්තටම විහිළුවක් බව ඔහුට අවබෝධ කර ගත හැකි නොවුනත් ඉන් අනතුරුව මල්ලීත් මමත්  කුමාර අයියා සමග පෙර පරිදිම සෙල්ලම් කල බැවින් සතියකට පමණ පසු කුමාර අයියා දකින විට කෝපයෙන් දත් විලිස්සීම නවතා දැම්මේය.


දවසක් අප රුවන්වැල්ලෙ මහගෙදර  ගියේ සියළු ජනෙල් දොරවල් තද කොට වසා දමා අමතක වීමකින් ඉදිරි දොර හායි ගා හැර දමාය.අපේ නොසැලකිල්ල වටහා ගත් ලකී සිය යුතුකම අකුරටම ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය.අප ගෙදර නැති වුනත් පොල් කඩා දාන ලෙස  යන ගමන් විස්වාස වන්ත ලැයිමේ වාසියෙකු වූ චන්ද්‍රන්ට කීවෙමු..


නමුත් ආපසු එන ගමනේදි අප නවත්වා ගත් චන්ද්‍රන් කීවේ
“මැණිකෙ කෝමද පොල් කඩාඩාඩාන්නෙ..බල්ල මිදුලටවත් යන්ඩ දුන් නෑනේ කියාය...“


හැමදාම තම පංගුවෙන් කරවල කට්ටක් දෙකක් ලකීට දෙන චන්ද්‍රන් අවිස්වාස කිරීමට හේතුවක් නැති බැවින් අපි මවිත වීමු.මීට පෙර අප කිසිවෙකු නැති දවස් වල ලැයිමෙන් බත් ගෙන ගොස් දී ලකී ඉතා ආස කරන කුරුම්බා ලොඳද උගුල්ලා දුන් ඔහුට  ලකී ඇළුම් කල අතර ඔහු පැමිනෙද්දී පෙර ගමන් ගොස් පිළිගැනීමට තරම් සුහදව හිඳ  එක්වරම නපුරු වූයේ ඇයිද යන්න මහත් ගැටළුවක් විය.අප ගෙදරට ගොඩ වන විටදී ගොළු කුමාර අයියා දොරේ පිල මත වාඩි වී හිටියේය.


“මෙයා කොහොමද දොර ඇර ගත්තේ“ තාත්ත තමාටම මෙන් කියා ගන්නා හඩ මටත් ඇසිනි


ඔහු ලකී සිය ප්‍රීතිමත් ඉරියවු සියල්ල විදහා පාමින් අප පිලි ගත් අතර,කුමාර අයියා අතපය විසිකරමින් ගොළු බසින් කියූ කතාවේ සාරාංශය මෙසේ විය.

අප උදේ පිටත්ව ගොස් ඇත්තේ දොර හැර දමාය.ගෙදර කිරි කැපීමට එන මනුස්සයාටවත් පොතක් ඉල්ලා ගැනීමට පැමිණි එහා ගෙදර මල්ලිටවත් චන්ද්‍රන්ටවත් මිදුලට පය ගැසීමට වත් ලකී ඉඩ දී නැත. 
 කුමාර අයියාට පමණි ලකී නිවස ඇතුලට යාමට ඉඩ දී ඇත්තේ.කාමරයක් කාමරයක් පාසා ගොස් අප සොයා බැළු කුමාර අයියා පසු පස ලකීද ගොස් ඇත. ඔහු  නිවස තුල වූ  කිසිවකට අත තැබූ සැනින් ලකීගේ තරහ මූන එලි දැක්විනි.

අසරණ බල්ලා බඩගින්නෙ බැවින් කුමාර අයියා තමන්ගේ නිවසින් බත් ගෙනැවිත් වෙනදා දමන පිඟානට දැම්මත් ඔහු කෑමට ගොස් නැත.දොර හරස් කරමින් පඩිය පාමුල පා පාපිස්සේ වකුටු වී සිටියාළු.බත් පිඟාන එතැනටම දුන්නාට පසු ඔහු කෑවාළු.අන්තිමේදී අප පැමිනෙන තුරු කොල්ලාද බල්ලා අසල හිඳ බලා සිටියාළු.


  මල්ලී පාසල් නොගිය එක් වැසි දවසක් දවසක් මට මතකය.හවස පංති තිබෙන බව මම අම්මාට කීවෙමි.තාත්තා කොහේ හෝ දුරකට ගොස්ය.එදා ගඟ එක්වරක් පිටාර ගලා පසුව බැද ගියත් නැවත උතුරා යාමේ අවධානමක් ඇති බැවින් සවස පංති අවලංගු කරනු ලැබුවෙන් මම 2.20 බසයේ ගෙදර ආවෙමි.එකල මහ ඇලට බෝක්කුවක් දමා නොතිබු අතර අනිත් දින වල ලැසි ගමනින් ගලා යන දිය පාර වැසි දා පිම්බී සැඩ වන්නේ අලියෙකු වුව ගහගෙන යාමට හැකි අයුරිනි.එසේ ගහගෙන යන කවරෙක් වුව යාර කිහිපයක් යාමට කලින් ගලක වැදී හිස් කබල බිඳි යාම නොවැලැක්විය හැකි ඉරණමක් බැවින් වැසි දින වල අප ඇලෙන් එගොඩ කර ගැනීමට අම්මා හෝ තාත්තා පැමිණීම අනිවාර්ය දෙයක් විය.මා කලින් බසයේ නොඑන බව දැන සිටි අම්මා ඇලේ සැඩ පහර ගැන නොසිතුවත් ලකී සිය සුපුරුදු රාජකාරි ගමන හද්දා වැස්සේද අරඹා තිබිණි.නමුත් ඉදිමී තිබූ ඇල ඔහුගේ මග හරස්කොට ඇති නිසා උඩු බුරලමින් විලාප තියමින් ඔහු එගොඩට වී සිටියේය.මට තනිව එගොඩ විය නොහැකි බව පැහැදිලිය.





මම අම්මේ අම්මේයි ..හඩ ගෑවත් වැස්ස මගේ හඩ වෙනතක ගෙන ගියේය.තනිව කෙසේ හෝ එතෙර වීමට මම ඉටා ගතිමි.මා පයක් ඉදිරියට තිබ්බා පමණි..ඊට පෙර හෝ පසු කවදාවත් ඔහුගෙන් අසන්නට නොලැබුනු  විලාපයක් නගමින් ලකී දියට පැන්නේය..ඔහු මඳ දුරක් ගහගෙන යද්දී  විලාප තිබ්බේ මමය.ඇල කණ්ඩිය අයිනේ සැඩ පහර වඩා රළු නොවූ බැවින් ඔහු දඟලා යන්තමින් ඉවුරට ගොඩ විය.මම මගේ පය ආපස්සට ගත්තෙමි.ඔහු හති ඇරීම සඳහා වාඩි වූයේය.මම නැවතත් පය පෙරට තිබ්බෙමි.ලකී කෑ ගසමින් සතර පයෙන් සිට ගත්තේය.ඔහු නැවත දියට පැනීමට පෙර මම පය ආපස්සට ගතිමි.

අපේ හඩ ඇසුණු ඇල  ලඟ ගෙදර මාමා පැමිණ මා ඔහුගේ නිවසට රැගෙන ගියත් හිතුවක්කාර මා නැවත දියට පැනීමට ඉඩ ඇති බැවින්  මහ වැස්සට තෙමෙමින් බට පඳුරක් යට ඔහු වාඩි වී රැකවල් ලා සිටියේය. හවස 7ට පමණ ගෙදර යන ගමන් තාත්තා මා ද රැගෙන යාමට පැමිනෙන විටත් සීතලෙන් කට කට ගා හැහෙමින් එතැනම හිඳ ඔහු ඇල දෙස බලා සිටියේය.

ලකී වයසට යන විට විකී අපේ ගෙදරට පැමිණියේය.අනතුරුව අපේ ගමන සඟයා වූයේ විකීය. තවදුරටත් ඇවිදීමට වාරු නැති ලකී දවසම වැලිගොඩේ නිදා හිටියේය.දවසක් අප කැටුව යාමට පැමිණි විකී ඉතා නොයිවසිලිමත් බවක් පලකලෙන් ඔහුට අනුව අපිත් නිවසට දුව ගියෙමු.එදා අම්මාත් තාත්තාත් නොසිටි දිනකි.ලකී දෙහි ගස යට ඇද වැටී සිටි අතර දිමි ඔහුගේ ඇඟ පුරා සිටියේය.අපි අඩමින් වතුර ගැසුවේ දිමි පලවා හැරීමටයි.අප දුටු ඔහු එක්වරක් අප දෙස බැළුවේය අනතුරුව දෑස් පියා ගත්තේය.අපි හඩමින් ඔහුට කතා කලෙමු.විකීද ඔහුට ලංව ඔහු දෙස බලා හුන්නේය

ලකී...ලකී..ලකී

අපි හඩනු කෑ ගසනු එගොඩ කන්දට ඇසී ඩුබායි සීයා දුවගෙන ආවේය.ලකී දෙස පරික්ෂාවෙන් බැළුවේය.මල්ලීත් මාත් බලෙන් මෙන් ඇදගෙන ගේ තුලට ගියේය.

“ලකී මැරිලා“

අපි හඩා වැටුනෙමු.අප දැක මියැදෙන්නටම ඔහු පණ ඉතුරු කරගෙන සිටින්නට ඇත.

 ජීවත්ව උන් කාලයේ අප හොඳට ඔහුට සැලකූ බැවින්ද ඉතා හොඳ ගුණ යහපත් බල්ලෙකු වූ බැවින් ඔහු හොඳ ලෝකයකට යන්නට ඇති බැවින්ද අප දුක් නොවිය යුතු බව පවසද්දී තාත්තාගෙ ඇස් වලත් කඳුළු තිබිණි.අදටත් මට මගේ ජීවිතයේ සිදුවූ වේදනාබරම අහිමි වීම ඔහුය.

විකී මට අහිමි වූයේ බසයට අසුවෙලාය.මා එතැයි සිතා ඔහු 2.20 බසයට ආවත් මට එදා සවස පන්ති තිබුනි.ලකී මෙන් විචක්ෂණශීලී බුද්ධියක් නැති හිතුවක්කාර බල්ලෙකු වූ විකී ඒ බස්එකට අසුවී මිය ගොස් තිබිනි.එදා සිට අද දක්වාම අපේ බල්ලන්ට ඇලෙන් එගොඩ වීම තහනම්ය.අණ්ඩපාල බල්ලෙක් දෙන්නෙක් ඒ තහන්චි බිඳ නොදැම්මාම නොවේ.

ලකීගේ ඇඹණීය වූයේ ලස්සන බූල් වලිගයක් සහිත උණුසුම් හදැති ලයිකාය.ඇය මෙන්ම ඔවුන්ගේ පැටියාද ඉතා අඩු වයසින් අප හැර ගියේ ලකීගේ මරණයටත් පෙරය.මා පාඩම් කරද්දී මේසය යට නිදන ලයිකාගේ බූල් පිරුණු සිරුරේ උණුසුම නිදි මත මගෙන් ඈතට ගෙන ගියා පමණක් නොවේ මගේ තනිකම පාළුවද නැසුවේය.


මා බල්ලන්ට පිස්සුවෙන් ඇළුම් කරන බව දත් නගරයේ සිල්ලර වෙලඳසලක් හිමි මාමා කෙනෙක් මා පාසල් ඇරී එද්දී බල්ලෙකු පෙට්ටියක දමා පාර්සල් කර මට දුන්නේය.මම ඔහු ගෙදර ගෙනාවෙමි.මගේ බළු පිස්සුව දරා හිඳීමට තරම් මේ වන විට ඉවසීම ප්‍රගුන කරගෙන සිටි අම්මා වෙනසක් නැතුව ඔහුද බාර ගත්තේය.ඉතා ක්‍රියාශීලි බල්ලෙක් වූ ඔහු රෙදි පටියක් බෝලයක් කෝටුවක් සමඟ දවස පුරාම වුව සෙල්ලම් කිරීමට සැදී පැහැදී සිටියේය. ඔහු මට අහිමි කලේ තඩි පිඹුරෙකි.කුරු බල්ලෙක් වූ පැටී සඳහා පිඹුරා දමා තිබුනේ එකම එක වෙළුමකි.කෝපය ඉහ වහා ගිය තාත්තා අධි ශක්තියකින් මෙන් පිඹුරා මරා දැමුවත් ඒ වන විටත් පැටී අප දමා ගොස්ය.තාත්තා ඔහු ඔසවා ගන්නා විට මස් වැදැල්ලක් සේ ඔහු නැමුනේය.කටින් ලේ දහරාවක් වැක්කෙරිනි.ඔහුගේ හැම ඇට කටුවක්ම බිඳී ගොස් තිබිනි.ඉතා කුඩා කාලයකට පැමිනි පැටී නොයන්නම අපේ හදවත් වල ලැගුම් ගත්තේ පිඹුරන් පිලිබඳ ජන්මාත්තර වෛරයක් අපට ඉතිරි කර දෙමිනි.


“භාණු“මමත් මල්ලීත් සීයාගෙන් හොරකම් කර ගෙන ආ බල්ලාය.අප කොපමණ බල කර ඉල්ලුවත් සීයා ඌ අපට දීමට කැමති වූයේ නැත.අපි පරාජව පසුබැස ගියත් බාප්පාගෙ ඇඹෙනිය දුරකතන ඇමතුමක් දී අපට කියා සිටියේ මේ බළු පැටියා තමාට මල වදයක් බවත් සීයා උදේ කිරි කැපීමට යන බැවින් ඒ වෙලාවට පැමිණ බළුපැටියා රැගෙන යා හැකි බවත්ය.


සොර කම් කිරීමේ ආදීනව ගැන දේශනයක් තාත්තාගෙන් බලාපොරොත්තු වුනත් ඔහු කලේ සිනාසීම පමණි.
සීයා බනියි“ අම්මා කීවත් අපි එය ද නොතැකුවෙමු.අපට මග වියදම් තාත්තා සැපයීය


මමත් මල්ලීත් පාන්දර 6.30 බසයේ පිටත් වූයෙමු.දැරණියගලින් බසයට නැග්ගේ කඩේකින් ඉල්ලා ගත් කාඩ්බෝඩ් පෙට්ටියක් සමඟමය.උදේ 10.30 වන විට අපි මහ ගෙදරට ගියෙමු.නිදන් උන් බළු පැටියා ගෙඩි පිටින්ම පෙට්ටියට ඔබාගත් අපි එය පිහියකින් සිදුරු කපා බාප්පගේ ඇඹෙනිය දුන් ලණුකින් පෙට්ටිය බැඳගෙන තේ බීමටවත් නොසිට ඒ බස් එකේම ආපසු ආවෙමු.

ඊට පසුදාම සීයා බළු පැටියා බැලීමට අප ගෙදරට පැමිණියත් ආපසු ඔහු ගෙන ගියේ නැත.බල්ලා කඩල මරුවෙක් බව පැවසීමට පැමිණි බව අපට කීවේය.එතැන් සිට ඔහු වෙනුවෙන් අප අකමැති කඩල කෑමට අපි සැදී පැහැදී හිඳිමු.තව දුරටත් ගුණ දේවල් නොකන බව කියමින් අපට බැන වැදීමට අම්මාව සිදු නොවීය.

ඔහු බෙල්ලෙ හඳක් හා කකුල් වල සුදු මේස් දමා සිටින ඉතා කාරුණික හදවතක් හිමි බල්ලෙකි ..අද වන විට ඇස් පෙනීම අහිමිව වයස්ගතව සිටියත් ආදර රඟපෑම් තවමත් වියපත් වී නැත
.
නැගිට නැට්ට වනවනා ඔහු පාර දිහා බලා ඉන්නවා නම් පවුලේ කවරෙක් හෝ පාර දිගේ නොපෙනන දුරක එන බව ගෙදර ඇත්තන්ට දැන ගත හැක.

ඔහුගේ ඇඹෙනිය කුක්කු මැණිකා විය.ඇය ගෙනාවේ අම්මාගේ ගමෙනි.මා දකින විටත් වැඩුනු පැටියෙකු වූ ඇය කාඩ්බෝඩ් පෙටිටියක ඔබාතැබීමට නොහැකි තරම් සවිමත්ය.විලාප දෙමින් පහුරු ගාමින් ඇය එලියට ඒමට තැත් කලාය.

විලි ලැජ්ජාවවට වඩා බළු සුරතල් වටිනා බැවින් රෙදි කැබැල්ලක් ගෙන ඇය ඔතා ගනිද්දීත් ඇය නිසොල්මන්ව හුන්නාය.මම ඇය හරහට වඩා ගතිමි.මගේ උරහිසට හොම්බ තියා ඇය නින්දට වැටෙද්දී අපි දන්නොරුවේ සිට බස් 03ක දැරණියගලට පැමිණියෙමු.එක් බසයකදී මා දරුවෙක් වඩා ගත් අයෙක් බව සිතා ආසනයක් දෙන ලෙස කොන්දොස්තර වරයා කෑ ගසද්දී තාමත් පාසල් යන මගේ මූන රතුවිය.ඒ බල්ලෙක් බව හඳුනාගත් බසයම සිනා සාගරයක ගිලෙද්දී ගැස්සී අවදි වුවත් ඇය දැඟළුවේ නැත.

ඇය නිසා අසරණ භානු මුහුන දුන් දුක් කරදර නිමක් නොවීය.රැලේ යන කාලෙට අහල පහල පර බල්ලන් 10-15 කෙල හලමින් අපේ ගෙදර දෙස බලා හිඳී.
එය භානුගේ ඉවසීමේ සීමාව නැති කරන්නකි.ගෙදර උදවිය එකතුව ගෙදරටම ගෙනවිත් දුන් පැණි කැවුම වෙන එකෙකුට දීමට ඔහු සූදානම් නැත.ඔහු ගුගුරා හැලෙයි.බළු පොර බේරීමට අපි වතුර බාල්දි අරන් වත්ත වටේ දුවමු.

උන් එලවා ඔහුගේ අයිතිය ලබා ගැනීමට ගල් කැට පොලු කෑලි වලින් ආක්‍රමණිකයන්ට පහර දෙමු

ඔවුන්ගේ විවාහයෙන් දරු තිදෙනෙකු ලැබුවත් එක් අයෙකු ළමා වියේදීම මිය ගිය අතර අනෙකා මගේ ළමා වියේ මිතුරිය රැගෙන ගොස් “චබී“යන නමදී ආදරයෙන් ඇති කරගනු ලැබ මෑතකදී මිය ගියේය.

අනෙකා භාණුගේ ලොම් කබාය කිසිඳු මයිලක වෙනසක් නැතුව උරුම කර ගෙ හිටි නිසා “චූටි භානු“ ලෙස නම් කල අතර  පසුව “චුට්ටං කොල්ලා “ යන ආදර නාමය ඔහුට දුනිමු.ඔහු තාමත් ගෙදර හිඳි.පිය පාර්ශවයේ විචක්ෂණ නුවන හෝ මවු පාර්ශවයේ සංසුන් බව උරුම නැති ඕපපාතිකයෙක් බදු ඔහුට දඟ කාර ආදරණීය හදක් උරුම වුවත් කල්පනා ශක්තියක් නම් ඇත්තේම නැත.ඒ නිසාය මල්ලී ඔහුට “ගොං බල්ලා “ලෙස බැන වදින්නේ.එවිටද නැට්ට වනන ඔහුගේ සාමාන්‍ය බුද්ධිය ගැන අපට ඇත්තේ සැකයකි.අනෙක් කවර බල්ලෙකුට වුවත් එසේ බැන්න විට කන් බිමට නවාගෙන මරණීය පෙනුමක් ආරුඩ කර ගනු ඇත.


ගෙදර අප ගේ පමණක් නොව ගෙදර ඉන්නා සෙසු සතුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම  ද ඇත්තේ තමන්ට බව භානු සහ භානු සිතාගෙන සිටියි. ඒ නිසාය ඔවුන් දෙදෙනා එකතුව කළු මල්ලීට පහර දුන් කොල දිවියෙක් මරා දැමුවේ.


කළු මල්ලී යනු පූසෙකි.දවසක් අපි රෑ කමින් සිටියදී වහලයෙන් ඤාව් සද්දයක් ඇසිනි.කුමන සතෙක් ගැන උවත් උමතුවකට ආසන්න රුචියක් ඇති මම වහා මාළු කෑල්ලක් සමඟ වහලයට නැග්ගෙමි.කුසගින්නෙ හිටි ඔහු - ඇත්තටම ඇය- එයට ඇදී ආවාය.මං ඇය වඩා ගන්න විටත් මාළු කෑල්ලට ඉව අල්ලමින් සිටියා විනා දැගළුවේ නැත.අපි කෑමදී ඇය යාළු කර ගතිමු.ඇය අපට පැටවු  03ක් දුන්නාය.එකෙකු කුමාර අයියා රැගෙන ගිය අතර අනෙත් දෙදෙනා සුදු නංගී හා කළු මල්ලී කියා නම් තබා අපි ඇති කර ගතිමු.


සුදු නංගී ඉතා දක්ෂ දඩයක් කරුවෙක් විය.ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට කළු මල්ලී මහ කම්මැලි කුසීතයෙක් විය.අප කාගේ හරි උකුලක නැත්තං මෙට්ටයක් උඩ පුරු පුරු ගාමීන් උණුසුම්ව නිදා ගැනීම ඔහුගේ බලල් ජීවිතේ එකම අරමුණ විය.ලේණුන් මීයන් කුරුල්ලන් පවා දඩයම් කරන සුදු නංගී හා සසඳමින් තාත්තා නිතරම කළුට ඇනුම්පද කීවේය.

“මේ ගොං බලලට අපි මීයෙක් අල්ලල පිඟානට බෙදල දුන්නොත් කයි“

මෙය ආත්ම ගෞරවයක් ඇති බලලෙකුට තවත් දරා සිටිය හැකි අපහාසයක් නොවීය

දඩයම පුහුණු වීමට අවසානයේ ඔහු තීරණය කලේය.ගුරු හරුකම් සුදු නංගීගෙනි.

මුල්ම පාඩම වූයේ උඩ නැගීමයි.

එකල අපේ නිවසේ අළුත්වැඩියාවක් වූ බැවින් පලංචි බැඳ තිබිනි.සුදු නංගී පුහුණුවට තොරා ගත්තේ එතැනය.සුදු නංගී වීරයෙකු සේ පලංචි දියේ නගිද්දී කළු මල්ලී වැනෙන දෙපා නුහුරු ලෙස තබමින් ඒ පාර දිගේම ඇවිද ගියේ කන් කෙඳිරි ගාමිනි.ඇතැමි විටක තව දුර යන්න ධෛරයය අහිමිව ඔහු නවතියි.සුදු නංගී ආපසු පැමිණ ඔහු රැගෙන යයි.අම්මාත් මල්ලීත් මමත් මේ පෙරහුරුව දෙස ජනේලයෙන් බලා සිටියෙමු.
වරක් බානු හා බානු ගෙදරටම පැමිණ ඔවුන් දඩයම් කිරීමට ආ කොල දිවියෙක්ගෙන් කළු ගලවා ගත්තත් තව වරකදී ඔහු වාසනා වන්ත නොවන්නට ඇත .රෑක පිටට ගිය කළු නැවත පැමිණියේ නැත.


ළු රෝගය දැන් නංගීටත්  වැලඳී ඇති නිසා ඇය මහ මඟ සිට ඔසවාගෙන ආ බල්ලා “පපී“ ය.

කැපුණු පණුවෙක් මෙන් හැම වෙලේම නලියන හැම තැනම දුවන ඔහු විශේෂ සැලකිලි ලත් බල්ලෙක් විය.දඟ කාර කම මට්ටු කිරීමට නංගී ඔහු දම් වැලකින් බැඳ දැමූ අතර අනෙක් හැම බල්ලෙක්ම නිදහසේ හිතූ හිතූ දිහා ඇවිදිමින් සිටියේය.ඔහුට ඒ අවස්ථාව ලැබුනේ දහවලේ පැයකුත් රෑටත් පමණි.ඒත් ඒ ගැන අහිතක් නොහිතූ ඔහු බංකුවකට වී දවසම නිදා ගත්තේය.තමා ලඟින් යන කවරෙක් වේවා - අම්මා තාත්තා අප භානුලා පූසෝ හෝ දඩු ලේනා_ ටික වෙලාවක් තමා සමග සෙල්ලමට ඈඳා ගැනීමට උත්සහා කලේය.

ඔහු නිදහස් කල ඒ එක දහවල් පැයකදී ඔහු අපට අහිමි විය.අපට ඔහු සොයා දුන්නේ භානුලාය.නමුත් ඒ වන විට තවදුරටත් ඔහු අප සමඟ නොවීය.සුපුරුදු පරිදි ගෙදර නා ඔහුව කොහේ හෙවුවත්  කෙතරම් හඩගෑවත් පලක් නොවීය.පසුදා ඔහු වැතිර සිටි තැන අපිට හමු විය.ඔහු අඩි පාරේ වැතිරී සිටි අතර හොම්බ තිබූ තැන වූයේ මස් වැදැල්ලකි.

“හක්ක පටස් කාලා“ තාත්ත නිගමනය කලේය

“හක්ක පටස් “යනු තෙරපුමක් දුන් විට පිපිරීමට සදා ඇති වෙඩි බේත් ගුලියකි.අපේ ගම් පලාතේ මස් වැද්දන් එය කුණු කරවල සමඟ එය ඌරු මංකඩ වල දමන්නේ එව ඌරන් මැරීමට පහසු ක්‍රමයක් බැවිනි.අපේ අසරණ මෝඩ බල්ලා ඒවා කා ඇත.

මීට පෙර අපේ කිසිම බල්ලෙක් මෙබඳු මෝඩ වැඩක් කර නැත

“ඔක තමයි කියන්නේ බල්ලෙක් උනත් ඕනවට වඩා බැඳල දාල හදන්න හොඳනෑ කියලා“ අන්තිමට අම්මා කිව්වත් අඩා වැලපී හෙම්බත්ව ගිය නංගීට එය තේරුනාදැයි සැකය.

මරු විකල්ලෙන් ඔහු නිවස දෙස දුවගෙන ඇත්තේ අප ඔහුව බේරාගනු ඇතැයි විස්වාසයෙන් විය යුතුය.නමුත් අපට ඔහු සොයා ගැනීමට හැකිවූයේ ඔහුගේ මරණයෙන් දිනකට පසුවය.අප ඔහුගේ විශ්වාසය කඩ කල බව සිහි වන විට දැනුත් මගේ පපුව සූරන්නා සේ  හැඟීමක් දැනේ

අවසානයේ දැන් අපට ඉතිරිව ඇත්තේ භානුලා දෙපල පමණි.

දැන් මා වෙනත් නිවසක පදිංචිව සිටිමි.මගේ නැන්දම්මාට බල්ලං අරහං බැවින් මට දැන් ආදරය දීමට ලැබීමට බල්ලෙක් නැත.පාරේ ඉඳ උස්සන් ආ පූස් නාම්බාට බල්ලෙකුගේ අඩුව පිරවීමට නොහැක.බල්ලෙකුගේ ආදරය නැති මගේ හදවතින් අඩක් හාමත්ව ඇති සේය මට දැනෙන්නේ.


මගේම බල්ලෙකුගේ සිනිඳු ලොම් කබායක මූන ඔබාගෙන සැහැල්ලු වීමට අවසර ලැබෙන යම් දවසක් වේද එය මට මිහිපිට ස්වර්ගය මැවෙන දිනය බව නම් මට නිසැකය.

Thursday, August 27, 2015

මා බාල කාලේ - 02


පොලෝසිය සහ මැණිකෙගේ බාල විය

මැණිකේ හීන් එකී සන්දියේ මැණිකෙගේ සීයා ඉහ නිකට පැහිලා තුං කුදු ගැහිලා හැරමිටි වාරුවෙන් ඇවිදගෙන යන මාල්ලෙක් විතරයි


ඒත් පැඟිරි වියේ කරපු කොළු කම් මැණිකෙගෙ අම්ම මැණිකෙට කියලා දීල තියනවා..මේ ඉන් එක කතාවක්..ඒ කාලේ ජුන්ඩා ආතා වගේම ඒ පලලේ අනිත් උදවියත් දඩයොම රා මැදීම වගේම රා බීමත් යහමින් කොරාපු උදවිය.

වත්තෙ තිබුනු කිතුල් ගස් විස්සේ තිහේ පිපිලා රෑන් ඇදිලා යන මල් ටික ගැන දුකේ බැරුවයි ජුන්ඩා ඒව තලල බේත් තියලා බැන්දේ..ඉතින් විය යුතුම පරිද්දෙන් නිසි වයසේදී ඒවයින් පැණි උනන්න වුනා...

ඒ පැණි කාසි කොර ගත්තොත් පුංචි උන්ට කන්ඩ හාල් තුනපහ ටික ගෙනත් දාන්ඩ පුළුවන් ජුන්ඩ හිතුවා.කිතුල් පැණි වගේම හකුරු හදන එකත් කරදරයි..කාලය යනවා..මහන්සි වෙන්නත් වෙනවා.කරගහගෙන රුවන්වැල්ලටම ගෙනිච්චත් කාසි කොර ගන්න එක සැක සහිතයි.ඒත් පැණි ගහෙන් බා ගත්ත ගමන් විකුණනවනං ඉල්ලුම් කාරයො ඕසෙට ඉන්නව.කිතුල යටදිම ගනුදෙනු හමාර කරන්නත් පුළුවන්.අමතර මහංසියකුත් නෑ..එකම ආරෝව තමයි පොලෝසියෙන් කඩා පනින එක.ඒත් ඉතින් බැදි මූකලන් යහමින් තියන දන්නොරුව ගමේ කිතුල් මුට්ටියක් වහං කොරන එක කජ්ජක්ද?ජුන්ඩ හිතුවේ එහෙම..


ඒත් වැඩිකල් කරුමාන්තය යහතින් කොර ගන්න බැරි වෙච්චි.පොලෝසියෙන් කඩා පාත් වෙච්චි.


දන්න දහම් ගැට සේරම ගැහුවත් පොලෝසියේ මහතැන් තම්බන්න ජුන්ඩට බැරි වෙච්චි.අත පය බැඳල කුදලගෙන  යන ජුන්ඩා අන්තිමට දැක්කෙ දරු පැටවු ගෙයි අඹු සිඟිත්තගෙයි කඳුළු තැවරුණු මූණු.
මුළු ගමම බලා ඉන්නැද්දි පාර දිගේ දක්කං ගිය ජුන්ඩව බස් එකේ දාගෙන අවිස්සාවෙල්ලට ගෙනිහින් එතනින් නැග්ගුවෙ කෝච්චියට...

මෙහෙම හරි කොළඹ රට බලා ගන්න හම්බුනානෙ -පෙරළුන පිට හොඳයි කියල ජුන්ඩ හිතුව.කෝච්චිය ඉස්සරහටම යනවා..

ටකස් ටකස් ටකස් ටකස් හූ ඌ   ඌ   ඌ   ඌ   ඌ   ඌ  ඌ

තමන් යන්නේ නොදන්න රටකට

ටකස් ටකස් ටකස් ටකස් හූ                 

තමන්ගෙ අඹු දරුවෝ හවු හරනක් නැතුං තනි වෙච්චි.

ටකස් ටකස් ටකස් ටකස් හූ                 
ඔන්න තව දුර යනකොට එක පාරටම කොච්චියේ සද්දෙ වෙනස් වෙනවා


මොයියට කොහොමද සීටට කොහොමද  ලැයිසට කොහොමද රඟටට කොහොමද දුලියට කොහොමද ජූන්ඩෝඩෝඕඕඕඕඕ

දුලිය යනු මැණිකෙගෙ අම්මා වන අතර මොයිය යනු මැණිකෙගේ කිරි අම්මාය.

පොලෝසිය  සහ සමීප අත්දැකීම් රැසක් උරුම මැණිකෙගෙ පවුලේ කුළුදුලේම හම්බෙච්ච අත් දැකීම ඕං ඕක වෙච්චි…

මැණිකෙගෙ අප්පොච්ච ගැන මැණිකෙට විතරක් නෙමෙයි පවුලේ කිසි එකෙකුට යහපත් හැඟිමක් තිබුනේ නෑ.තමන්ගෙ දරුවන්ට වඩා කළු බල්ලෙකුට ආදරේ කරපු අප්පුච්චයි දරු අට දෙනෙක්ගෙ බඩවල් එක්ක ඔට්ටු උන වීර අම්ම කෙනෙක්ගෙයි හැල හැප්පිලි මැද ගෙවපු බාල වියක් තමයි මැණිකෙට උරුම වෙලා තිබුනේ.
දවල් වරුව කුලියක් මලියක් කරල එකතු කර ගත්ත පනං හතර හවසට හොර කසිප්පු තිප්පොලට පූජ කරල ඇවිත් අහල පහල සේරම මිනිස්සුන්ට අම්ම මෝ නැතිව බැන අඩලන අප්පව බූරු ඇදේ ගැට ගහල කටට පාංකඩ ඔබන්න ලොකු කොල්ලන්ට සිද්ද වුනේ ලෝක ලැජ්ජාවෙන් ගැල වෙන්න නෙමෙයි. අහල පහල මිනිස්සු තරහ නොකර තියා ගන්ඩ ඕන හින්ද

ඒ කාලෙ සුඛෝපභෝගී දේවල් වුන ටිං කිරි,උම්බලකඩ සැමන් ගෙනත් ලාච්චුවක දාල යතුරු දාල තියං ඉන්න අප්පා ඒව වෙලාවට අරං බළු තඩියට ගිල්ලවන හැටි පවුලේ බාලයං වුන මැණිකෙයි මල්ලියි බලං ඉන්නේ කටට උනන කෙල නිහඩවම ගිල දමමින්..ඒව ඇල්ලුවොත් ලමයින්ට හම්බුනේ කෝටු පාර..හැබැයි ලෝක අණ්ඩපාලයෙක් වුන මල්ලි නං හොරා කෑ බව මැණිකෙට යාංතමින් මතකයි.හොරා අල්ලගන්ඩ අප්පට බැරි වුනා.


අප්පත් ඒ කාලෙ රා මැද්ද බව විතරක් නෙමෙයි ඇට්ටි කන්ඩ පොල් ගස් දිගේ බඩගාන වඳුරන්ට වෙඩි තියන්න තුවක්කු කබලකුත් තියං උන්න.ගෙදර උන් විස්වාසෙට ගන්ඩ බැරි හින්ද අප්ප ඒක හංගල තිබුනෙ පොල්ගහක කරබඩේ.


ඕක ගැන ඔත්තුවකට දවසක් පොලෝසියෙන් පැන්න.ගේ උඩු යටිකුරු කරල හෙවුවත් තුවක්කුවක හෙවනැල්ලක්වත් නෑ.එක මහතැන් කෙනෙක් දුමට බඩ ගාලා දුක් මූනෙන් බහිද්දි දැලි නෑවුන මූන දැකල මැණිකෙට හිනත් ගියා

අම්මත් අප්පත් ලොකු උනුත් තුවක්කුවක් නැති බව හත් අතේ දිවුරද්දී පොලෝසියේ මහත්තැන් ගෙදරම පුංචි එකා වෙච්ච මැණිකෙගෙ මලය දිහාවට හැරුණා

“පුතේ තාත්ත තුවක්කුව හැංගුවේ කොයිබද?“

“හා  හා මාමේ ඒක නං අල්ලන්ඩ එපා ..ඔයාට තාත්තගෙන් කෝටු පාර හම්බෙයි“

“මං පුතාව බේර ගන්නං කියන්ඩකෝ ඒක කොහෙද කියලා“

පොඩි එකා බැළුවෙ අම්ම දිහා.“එපා“ අම්ම ඔළුවෙන් කිව්වා..දැන් නං ඉතින් රහස හංගන්න ඕන කියල පුංචි එකා දන්නව

“කොහෙද පුතා හොඳ පුතා වගේ කියන්නකෝ“

“බෑ“

“හොඳ පුතානෙ“ මාම කොල්ලට වදකලා

“බෑ“

“අනේ පුතේ කියන්නකෝ..ගේ ඇතුලෙද කැලේද?“

“හා මාමල ඕන දිහාක තුවක්කුව හොයංඩ..ඒ වුනාට ඒක පොල් කරබඩේ නං නෑ“මාමගෙ කරදරෙන් බේරෙන්නම බැරි තැන කොල්ලා ජයග්‍රාහී ලීලාවෙන් කිව්ව

වෙලාවට මැණිකෙලෑ අහ තිබුනේ පොල් ගස් දහයක් පාලොවක් විතරයි..ජීවිතේට ගස් නොනැග්ග මහතැන් සපත්තුත් දාගෙන ගස් බඩගාන්න තතනන දිහා ලොකු කොල්ලො බලා උන්නෙ කට කොනක හීන් හිනාවකුත් එක්ක.

අප්ප ඊයෙ ඒක වල් ඌරු දඩයමේ යන්ඩ සේදර මාමට  දුන් බව ලොකු කොල්ලො දැනගෙන උන්න
ඇඟ පත සූරාගෙන දණීස් පොල් කටු වෙවුල වෙවුල ගස් වලින් බහින තමන්ගෙ උන් දිහා ලොකු මහතැන් බලා උන්නෙ තරහෙන්.

කොළුවගෙ ඔළුවට තට්ටු දාපු ආදරණීය මාමණ්ඩියා තවදුරටත් එතැන උන්නෙ නෑ...
-------------------------------

ඒ වෙනකොට යන්තම් වයස දොලහක් දහතුනක් වුනත් භීෂණ කාලෙ මැණීකෙට හොඳටම මතක තමංගෙ සහෝදරයන් ගැන පපු කැනැත්තෙ ඇවිළුනු ගින්දර හොඳිංම මතක හින්දයි...
ඒ අවිචාර යුගයට පවුලෙ උන් හැමදාම කිවුවෙ භීෂණ කාලෙ කියලා.

විස්ස විජ්ජාලෙ ගිය කොල්ලො දෙන්නෙකුත් ඇතුළුව උගත් හිරිමල් වයසෙ ඉන්න  උගත් කොල්ලො හය දෙනෙක්ම උන් මැණිකෙගෙ පවුලෙ හැමෝටම ඒක දුක් බර කටුක කාලයක් වුනා.

ඒ කාලෙ ගෝනි බිල්ලො විතරයි බයක් හැකක් නැතිව ගමේ හක්කලං කොලේ.උගත්කම විස්ස විජ්ජාල සිසුවෙක් වීම ඒ කාලෙ මරණ වරෙන්තුවක් වුනා.

දේශපාලන එදිරිවාදිකම් විතරක් නෙමෙයි පවුල් එදිරිවාදිකම් පුද්ගලික තරහ මරහ හා කාගෙ හරි දේපල කඩා වඩා ගන්න ඕන නං හොඳම ක්‍රමය වුනේ ගෝනි බිල්ලෙක් වෙලා පොලෝසියට ඔත්තුවක් දෙන එක විතරයි.ගොනි බිල්ලා කිවුවෙ  තුවක්කු ගත්තු යුක්තියේ නියෝජිතයො අපරාධ කාරයො හොයං යන ගමනේ උන්ට ඔත්තු පෙන්නන්ඩ ඔළුව ගෝනියක ඔබාගෙන තමංගෙ අනන්‍යතාවය හංගං එන කේලං කාරයංට.උන් තමන්ගෙම ගමේ උන් කියලා හැමෝම දන්නව.


තුවක්කු කටවල් ටයර් සෑයවල් ධර්මය අධර්මය සාධාරණත්වය දැනං නොහිටි බව දන්න හංදම මැණිකෙගෙ අම්ම තමංගෙ කොල්ලංව පණපිටිං තියා ගන්න ලොකු හටනක් කලා..


ඒත් ලොකු සමාජ ආශ්‍රයක් තිබ්බ කොල්ලො එකෙක්වත් තමංගෙ ඔක්කෙ හංගල තියාගන්න අම්මට බැරිවුනා.උන් දේශපාලනය කලා තමයි.ඒත් තුවක්කු කබලං උස්සං කාටවත් ගිණි බිඳින්න උන් එකෙක්වත් ගියේ නෑ.පස්සෙ කාලෙදි ඒවා කලේ මේ කාලෙ වෙනකොට කිරි සප්පයෙක් වෙලා උන්න මැණිකෙගෙ මලණ්ඩි විතරමයි.


අප්ප ඉස්කෝලෙ යන්ඩ වියදම් නොදෙන කොට ඒක කලේ අහල පහල උන්න මැණිකෙගෙ නෑදෑයො...ඒ උදවිය ඇරුණහම ටිකෙන් ටික ඔළුව උස්සන මේ පවුලට උන්න ඉරිසියාකාරයො එමටයි..ඒ ඉරිසියාව හින්දම බොරු ඔත්තු දුන්න උදවියත් එමටයි.

ඒ හින්දම ඉඳලා හිටල නෙමෙයි නිතරම පොලෝසියෙන් ගෙදරට කඩා පනින එක කොල්ලො කුදලගෙන යන එක ගෙට වෙඩි තියන එක කොහෙත්ම අරුමයක් වුනේ නෑ..එක පාරක් මුළු ගේම පෙරලලා මස්කිමී ගෝර්කිගේ අම්මා පොත අත් අඩංගුවට ගත්ත හැටිත් මැණිකෙට අමතක නෑ.

ඒත් මැණිකෙගෙ අයියලාගෙ යාළුවෝ සමාජයේ ඉහල ස්ථර වල ඉඳල පහලටම උන්න හින්දා මොන දහං ගැටයක් හරි ගහලා කොල්ලන්ව බේර ගන්න පුළුවන් උනා.

ඉස්සර පුරුද්දක් හැටියට පොලෝසියෙන් පයින්ඩ කලින් පණිවිඩ කාරයෙක් ගෙදරට දුවං එනවා.එයත් පොලොසියේම තමයි..

“විමලෙ හැංගෙන්න..අනිත් අය ඉන්න“එයා හති දම දමා කියන්නේ එහෙම කියල මැණිකෙට තාමත් මතකයි.

විමලෙ කියන්නෙ මැණිකෙගෙ දෙවෙනි අයිය.තැන නොතැන නොබලා සාධාරණය ඉල්ලල කෑ ගහන විමලය එක්කං ගියොත් කොල්ලො හය දෙනාම නවතින්නෙ ටයර් සෑයක කියල පොලෝසියේ යාළුව දන්නව.
අනිත් උන් කුදලගෙන ගිහින් දවසක් කූඩුවේ ඔබල තියල පහුවදා උදේට පරිස්සමට ගෙදරටම වාහනේක අරලින්න පොලෝසියේ උන්න යාළුවො හැමදාම සමත් වුනා..


ඒත් එක දවසක් තත්වය හුඟක් බැරෑරුම් උන බව මැණිකෙට මතකයි.එදා යුක්තිය පසිලිඳින්න ආවේ පොලෝසියේ ලොක්කෙක්.යාළුවනුත් කර තියා ගන්න දෙයක් නැතුව අසරණ වුනා.ඒත් ගමේ එකෙක් අතේ තත්තෙ බැරෑරුම් බව දන්නලා එවන්න යන්තං පුළුවං වුනා.කොල්ලො හය දෙනාම පණ රැක ගන්න කැලේ වහං වුනා.


ගෙදර ඉතිරි වුනේ අම්මයි අප්පයි මැණිකෙයි කිරි සප්පයයි විතරයි.


පොලෝසියෙන් ආපු උන්ට හිස් අතින් යන්ඩ බැරි කමට තුවක්කුවක් උස්ස ගන්න තියා කෙලින් ඉන්ඩ බැරි තරං බීමත්ව උන්න අප්පව කුදලගෙන බිම දිගේ ඇදගෙන අරං ගියාළු.


උන් හිතුව වගේම අප්පගෙ නමට වැඩි තෙතමනක් පපුවෙ නොතිබ්බට එක ලේ කකියෑව හින්ද කොල්ලො හැදුවෙ හැංගුණ තැනිං එලියට එන්ඩ.අනිත් එක අප්පව අරං ගිහින් තිබුනෙ අත්දෙක කඹේකින් ගැට ගහල කඹේ අනිත් කොන වාහනේක ගැට ගහගෙන.වාහනේ වේගෙන් යන වෙලාවට බිම ඉන්දවිලා ඇදීගෙන ගිහින් තට්ටම් ලෙලි ගැහිල ගිහින්..කාට උනත් මෙව්ව ඉවසන්න පුළුවන්ද?


ඒත් මැණිකෙගෙ අම්ම ඊට ඉස්සර වුනා..කොල්ලො ඒ කාලෙ උදවු කලේ ඇන් ඇම් පෙරේරා මහත්තයට.ඒ සම්බන්ධයෙන් සමිති සමාගම් වලට අදාල පොත් පත් සේරම  පං මල්ලකට දාගත්ත.රබර් මුදවන්න ගෙනත් තිබුන ඇසිඩ් බෝතලයක් තවත් මල්ලකට ඔබා ගත්ත.පුංචි කොල්ලව ලඟ ගෙදරක නැවැත්තුව.මැණිකෙව අතිං අල්ල ගත්ත.පයිංම රුවන්නැල්ල පොලෝසියට ගියා.

ඒ වෙනකොට කොල්ලො හැංගිල උන් තැනින් එලියට අරන් ඇන් ඇම් පෙරේරා මහත්තය හරහා පොලෝසියට බාර දෙන්න යාළුවො කටයුතු කරමිං උන්නෙ.එතුමා එකල පාර්ලිමේන්තුවෙ ප්‍රබල ඇමතිවරයෙක්.

“රාලහාමි අපේ කොල්ලො දේසපාලනේ කලා නං කලේ ඇන් ඇම් මහත්තයල එක්ක.මේ ඒ පොත්...එතුම වැරදි කලා නං අපේ ලමයි වැරදි කරල ඇති....

ගෝර්කිගෙ අම්ම පොත කියවල නැති වුනත් ඒ වගෙම අම්ම කෙනෙක් වුන ඇය පොත් සේරම මූනට දමා ගසන්නා සේ ලොක්කගෙ මේසෙ උඩට අත අරිමිං කිවුව.

ඇන් ඇම් පුද්ගලිකවම පොලෝසියට ආව.අන්තිමට කොල්ලො බේරුනා.

මහතුව ඇර අනිත් වුන් ටික ඇන් ඇම් එක්ක යන්ඩ පිටත් වුනා.හදිසි වැඩක් හින්ද මහතුව එයාලත් එක්ක නොගිහින්  ගෙදර යන්ඩයි ආවේ.

එතකොටම කඩු කිනිසි ගත්ත උන් ටිකක් මහතුවා පස්සෙන් පන්නනවා දැක්ක.අරියාදුව මොකක්ද කියල මැණිකෙට මතක නැතත් (ඒ කාලෙ මහතුවා වැඩ කරපු වත්තේ වංචාවක් අල්ලල දුන්න ඒකට වෙන්ඩෑ)අර ඔත්තුව දීල තියෙන්නෙත් මහතුවත් එක්ක තියන අරියාදුවට කියල පස්සෙ මැණිකෙලා දැනගෙන.ඒත් ඉතින් ඔත්තුවෙන් වැඩක් නොවුන තැනයි අරුන් ආයුධ අරං ඇවිත් තියෙන්නෙ.

එයා දුවල ගිහින් ලඟ තිබුන කඩ පේලියකට රිංගගෙන තිබුනා.අඳුරන තම්බි මුදලාලි කෙනෙක් ගබඩා කාමරේට දාගෙන මහතුව වහං කරගෙනත් තිබුන.ඒ කාලෙ ජීවිතේ හරි ලාභ හින්දා මිනි මැරුවට කමක් නෑ කියලා උන්ට හිතෙන්ඩ ඇති.

පන් මල්ලත් කිහිලි ගහ ගත්තු අම්ම උන් ඉස්සරහට ගියේ මල්ලෙ දමාගත් ඇසිඩ් බෝතලෙන් හා කිරිපිහියෙන් සන්නද්ධවය(මා බාල කාලයේ කිරි පිහිය මට තහනම් භාණ්ඩයක් විය.ඉන් කැපුන හොත් එහි හැඩය නිසා මැහුම් දැමීමට නොහැකි බව වැඩිහිටියෝ මට පැවසූ බැවින් මා අදටත් සිතන්නේ කිරි පිහිය භයංකාර ආයුධයක් බවය)

කිසිදා මැණිකේ අසා නැති වචන හුවමාරුවකින් පසු එකෙක් කිනිස්සක් රැගෙන අම්මා ඉදිරියට පනිද්දිම ඇසිඩ් බෝතලය ගත් අම්මා තම දරුවන්ගේ ආරක්ෂාව සලකා උගේ මූණටම ඇසිඩ් පාර එල්ල කලාළු.වේදනාව දරා ගත නොහැකිව ඌ එතැනම තිබූ ගුරුගොඩ ඔයට පනිද්දී අනිත් උන් පලා ගියාළු..

ඇසිඩ් ප්‍රහාර එල්ල කරද්දී අම්මා ඇද සිටි බටර් නයිලෝන් සාරියට ඇසිඩ් හැලී උණුවී රූරා වැටුන හැටි මැණිකේට මතකය.අරූගේ මුහුනේ වැදී ආපහු විසිවී ආ ඇසිඩ් බිඳකින් අම්මාගේ අතද පිලිස්සී තිබුනෙන් ඇසිඩ් ගැහුවේ ඒ පසින් බවත් වැරදී උන්ගෙම එකෙක්ට වැදුන බවත් කිරිපිහිය ගෙනාවේ පණපොවා ගැනීමට බවත් නඩුවේදී ඔප්පු වුනාළු.

අන්තිමට මේ දිරිය අම්මා තම දරුවන්ගෙන් එකෙක්වත් භීෂණයට බිලි නොදී රැක ගන්නට සමත් වීම ඒ කාලයේ හැටියට විශ්මජනකය.

විවාහ වී පිටිසර බද වාසයට ගියත් 88/89 භීෂන සමය මැණිකේගේ ගෙදර දොරට තට්ටු නොකලේ නැත.ඊට ප්‍රධානම හේතුව වූයේ අක්කර 10 ඉඩමේ කෙලවරක වන්නට තිබුන ගල් ගුහාවයි.චේ ගුවාර කොළුවෝ එහි නැවතී හුන්හ.

පසු කාලයේ මැණීකේත් සැමියාත් වත්තේ කිරි කපන අතර තුරේදී මැණිකෙගෙ ලොකු දුව ඇගේ බල්ලා ටෝනිගේ අර පරිස්සම යටතේ මේ ගල් ගුහාවේ තබා ගිය බවත් දිනක් කිරි කපා නිමවී එන විට වැලි බත් උයා ඒවා කෝටුවකින් ගසමින් අසරණ බල්ලාට කන්නට බලකරමින් හුන් බවත් බල්ලා මැණිකේ දැක හෙලූ සැනසිලි බැල්මත්  මැණිකේට අමතක නැත.

.උන් අතර මැණිකේගෙම මල්ලී උන්නෙන් උන් පන්නා හැරීමට මැණීකේට හිත දුන්නෙ නැත.මේ ගැන ඔත්තුවෙන් වන ජල හා කූඩළු දුර්ග තරණය කරමින් වරක් දෙවරක් භට කණ්ඩායම් ගෙදරට කඩා වැදිනි.

වරක් ඔත්තුව නිවැරදිවම ලැබී තිබුනෙන් එගොඩ පේමරත්න හා මැණිකෙගෙ පවුල සමීපව ඇසුරු කරන බව පවා උන් දැන ගෙන තිබිණි.

එම නිසා පේමරත්න ගොයියාවත් කුදලගෙන පැමිණි උන් දොරට තට්ටු කර කතා කරන ලෙස ඔහුට අණකලේළු.

“ගාමිණී දොර අරින්ඩ මං පේම රත්න“හඩක් නැගිනි.ගේ වටා බර අඩි සද්ද වලින් දැනටමත් ඇහැරී හිටි යුවල මෙය අසා ඇඳෙන් බිමට විසි වුනාළු.

වෙනදා වගේ “මල්ලියේ දොර අරින්ඩ මං ලොක්කයියා “ නොකීවේ මන්දැයි විමසිලිමත්ව දොර ඇරි මැණිකෙගෙ සැමියා තුවක්කු බට හතරක් දොරෙන් එබෙද්දී කෑ ගසා පස්සට විසි වුනාළු.

“අර වැලිගොඩේ ආයුධ ඇතැයි එක ලොක්කෙකුට සැක හිතුනෙන් එය බැලීමටද ඇරියේ පේමරත්නවළු.
කිනිස්සක් හා කෙටේරියක්  අතගෑවුනත් ඒව තව ඇතුලට ගසා “රාලහාමි බලල් බෙටිනං තියනවා “කියා කීවේ සැබෑ මිතුරු කම වෙනුවෙන් ජීවිත අවධානමක් දරමින්ය.මේ දෙක මලකඩ කා මලමිනියක නහය කැපීමට නොහැකි තත්වයක තිබුනත් තවමත් මතක වස්තුවක් ලෙස මැණිකෙගෙ ගෙදර ඇත.

එවිටම දැක ඇත්තේ කුඩා දැරියක් ඇඳ මත සැපට නිදං ඉන්න ආකාරයයි(හිලාකත අනුමාන වශයෙන් දැනටමත් හෙලි දරවු කර ඇති බැවින් ඒ දැරිය මම බව මෙසේ කියමි.අසරණ බල්ලාට වැලි කැවූ ලොකු දුවත් මමය)

එවිටම තමා මනුස්සෙක් බව ඔප්පු කරමින් තමාගේ යටතේ සිටි අයට ඔහු මෙසේ අණ කලාළු

“ශබ්ධ කරන්නැතුව සර්ච් කරන්න..දරුවව ඇහැරවන්න එපා..බය වෙයි“ 

 ඔහු කවුරු වුනත් නිළ ඇඳුමට යටින් තිරිසන් ආත්ම ඇතැයි හැමෝම සැක කල අවධියක මනුස්සකමේ මාත්‍රයක් පෙන්වූ ඔහුට මං අදත් ගරු කරමි.

ඔවුන් ආවා වගේම කිසි කතාවක් නැතිව කිසිවෙකුටත් හානියක් නොකර නිශ්ශබ්ධව නික්ම ගියාළු....නමුත් වැලි ගොඩ පරීක්ෂා කලේ ඔවුන්ගේ භටයෙක්ම නං...මා නොනිදා ඇහැරී  හිටියා නං....  ????
දරුවා නිදන් උන්න ඇඳ  මෙට්ටය යට තමන්ගේ මලයා චේ ගුවේරා පත්‍රිකා සඟවා තබා උන් බව මැණිකෙ දැන ගත්තේ ඉන් මාසෙකට හමාරකට පසු ඔහු ඒවා ගෙන යාමට පැමිණි විටළු.

අවසන් වරට මැණිකෙගෙ පවුලත් පොලීසියත් අතර සිදුවීමක් වූයේ මීට වසර පහලොවකට පමණ පෙරය.
එය තරමක් හාස්‍ය ජනක සිද්දියකි.

මැණිකෙලා මහ ගෙදර ගොස් යලි ගෙදර බලා එමින් සිටියේ ඔවුන්ට අයත්ව තිබූ තැපැල් නයින්ටියෙයි.හොඳටම වැසි දිනයක් වූ එදා බයිසිකලේ උන්නේ මැණිකේත් සැමියාත් ඔවුන්ගේ දෙවන දරුවා වූ පුතාත් පමණි.වට පිටාවේ එකඳු වාහනයක් වත් නැති බැවින් ඇගේ සැමියා කරවනැල්ලෙදී වට රවුම මග හැර වීරයා සේ  වැරදි ආකාරයට අවිස්සාවෙල්ල පැත්තට බයිසිකලය හැරෙවුවාළු.


එවිටම විසිල් හඩක් නැගුනාළු.වැඩේ වැරදුන බව කටිටිය තේරුම් ගත්තේ එකකොටයි.බයිසිකලය නැවැත්තුවා නොව නිකංම නැවතුනාළු.

එවුන් අතර වූ දෙබස මෙසේවිය.

“තමුන් කරපු වැරද්ද මොකක්ද කියල දන්නවද?

“ඔවු රාලහාමි“

“දැන දැන වැරදි කලේ මොකද?“

ඔන්න එකකොටළු  මැණිකෙගෙ සැමියට ගණදෙවි නුවන පහල වුනේ

“රාලහාමි දරුවත් ඉන්නවනේ ..පාර ලෙස්සයි කියලා බය හිතුනා“

“ආ  ...දරුව වැටෙයි කියලා බයට“

“ඔවු රාලහාමි“හැකිතරම් යටහත් පහත්ව ඔහු කීවාළු

“එහෙනම් නොනයි දරුවයි බස්සලා තමුසෙ තනියෙන් වට රවුම ගහලා එනවා“...

මොනව කරන්නද මැණිකෙ දරුවත් වඩාගෙන හෙල්මට්ටුවක ඔළුව ඔබාගෙන පාර අයිනේ හිටගෙන හිඳිද්දී ඔහු තනියම ආපසු ගොස් නිවැරදි පාරෙන් පැමිණියාළු

“ආ එහෙනම් දරුවත් එක්ක පරිස්සමට යනවා“ රාලහාමි හිනාවකින් ඔවුන්ට සමු දුන්නාළු

___________ මතු සම්බන්ධයි__________________