Tuesday, May 26, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද -10 කොටස

10. පුංචි පුංචි පෙති අතර අතරමංව ඇති කඳුලක කතාවක්



ඉරත් ගිණිගත්ත මද්දහනෙම මං මල්වත්තෙන් හනි හනික එලියට ආවේ මල් කිනිත්තේ යුතුකම් වගකීම් කඳු ගැහිලා මං එනකල් මග බලා ඉන්න බව හොඳටෝම දන්න හින්දයි.

මං මල්වත්ත අයිනේ සීරු මාරුවට හිටගෙන හිටියේ මල් ප්‍රවාහන සේවයන් අත්තටු දෙකක් ඉල්ල ගන්න.


මේ  ගින්දර අහස යට වැඩිහිටි මලකට වුනත් පාවෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි තිබුනේ.ඒ හින්දා එකින් එක පුංචි කැකුළු මල් වත්ත අත් හැරලා යන අපූරු චිත්‍රය මං හිස් බැල්මෙන් බලා හිටියා.


මොහොතින් මොහොත ගොඩ ගැහෙන මල් කිනිත්තේ වගකීම් මගේ ඔළුව වටේ භ්‍රමණය වෙන්න ගන්නකොට මගේ පෙති සැළුනේ ආත්මානුකම්පාවෙන්.

ඔන්න එකකොටම තමයි ටුක් ටුක් ඉබ්බෙක් මගේ කකුල් දෙක ළඟ නතර වුනේ.කුරුල්ලෙක් වෙලා ඉන්න කාලෙදි නොතිබුන පිළිගැනීමක් ගෞරවයක් මලක් වෙනවත් එක්කම මට උරුම වුනා....


“යං  මමත් යන්නේ මල් කඩ පේලිය දිහාට “ඉබ්බා කිවුවා..

මමත් හැකි ඉක්මනින් ඉබ්බගෙ පිටට නැග්ගේ ඉතිරෙන්න ගිය සතුට පෙති අකුලලා වහගෙන නැති ගාම්භීර කමක් මවාගෙන.මලක් වුනහම හැම වෙලේම කුරුල්ලෙක් වගේ සරලව සැහැල්ලුවෙන් කීචි බීචි ගගා ඉන්න බෑ නොවැ.

ඉබ්බා ගෞරව පූර්වක හිනාවකින් මට සංග්‍රහ කලා.අතර මැද ගතවෙන කාලය ගෙවාගන්න විදියක් නැති හින්දයි,ඉබ්බා මං උද්දච්ච මලක් කියලා හිතයි කියලා හිතට ආපු බය නිසයි මම ටුක් ටුක් ඉබ්බා එක්ක ආ ගිය තොරතුරු කතාවකට වැටුනා...අන්න එතකොටයි ඒ වටිනා හොයා ගැනීම කරන්න මට පුළුවන් වුනේ.

මේ ඉබ්බා මගේ කුළුඳුල් කැකුළ පිපුණු කිනිත්ත ඉසවුවෙ ම  කූඩුවක් හදාගෙන ඉන්න ඉබ්බෙක්.
“ආහ්...මට දැන් මගේ කැකුළ ගැන වැඩි විස්තර අහගන්න පුළුවන්...“  හැම වැඩිහිටි මලකටම තමන්ගේ කැකුළු අයිති මල් කිනිති ගැන දැන ගන්න එක වැදගත්.

මලක හැම පුංචි සිතිවිල්ලකටම, පුංචි චලනයකටම මල් කිනිත්තේ බලපෑම් තමයි වැඩිපුර බලපාන්නේ..මගේ කැකුළටත් ඒ න්‍යායම බලපානවනේ..


මල් කිනිත්ත හරි ලස්සනට නිල් අහස යට පිපිල ඇති නේද?මගේ පුංචි කැකුලත් හරිම ලස්සනට පිපෙන්න තතනනවනේ“මං හීන් නූලෙන් මාතෘකාවට ප්‍රවිෂ්ඨ වුනා...

ඉබ්බා ටිකක් ඇඹරුනා...මූනේ තිබුනේ අවුල් පාටක්...දෙගිඩියාවකින් එක පාරටම මූණ වැහිලා ගියා...කියම්දෝ නොකියම්දෝ කියලා ටිකක් එකෙල මෙකෙල වුනා...

මං ඇහුවේ වැරදි ප්‍රශ්ණයක්ද?  මං මගේ හිතෙන් ඇහුවා.

එහෙමටමත් නෑ....ඉබ්බා කිවුවේ ටිකක් පසුබෑමෙන් නම් තමයි....

මට ඒ උත්තරේ පිලිගන්න බැරි වුනා..ඇස් දෙකෙන් පටන් අරන් මුළු මූණම එලිය කරන ඒ ලස්සන හිනාව මගේ ඇස් ඉස්සරහ මොහොතකට ඇඳිලා මැකිල ගියා

මගේ පුංචි කැකුළ...උඹේ ඔය හිනාවෙන් හංගගත්ත කඳුළු කතාවකුත් තියනවාද?...

ඒ මොකක්ද?මං ඇහුවේ හිත කටට වැට බඳින්නත් කලින්

ඒක ලොකු කතාවක්...ටුක් ටුක් ඉබ්බා අන්තිමට කතාව කියන්න තීරණය කරගෙන..

ඔයාගේ පුංචි කැකුළ ඉර එලිය දකින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි මේක පටන්ගත්තේ....

ආහ්..... මේක ඓතිහාසිත කතාවක් වෙන්නයි යන්නේ....ඒ කොච්චර කාලෙකට කලින්ද?

හූම්...

ඒ කාලෙ ඒ මල් කිනිත්තට ලොකු සුළි සුළඟක් එබිකම් කලා....පුමාංග මල කිනිත්තෙන් ගැලවිලා ඈතට පාවෙලා ගිහින් වෙන කිනිත්තක රැඳුනා...

හපොයි..

“මවු මලයි මමයි විතරයි දැන් කිනිත්තේ ඉන්නේ...මට කලින් පිපුණු මල් දෙකම ඈතට ගිහින් පැණි එකතු කරන්න ...පිය මල පැණිත් එකතු කරගෙන දුර ඈත ඉඳන් පාවෙලා කිනිත්තට එන්නේ පුරා හඳවල් ගොඩකට පස්සේ... උඹේ ලපටි කට හඩ මගේ හිත ඇතුලේ නින්නාද දුන්නා....


අසරණ පුංචි කැකුළ...මගේ හදවත උඹ වෙනුවෙන් හඩා වැටුනා...උඹ කො‍හොමද වැඩිහිටි මලකට කටක් ඇරලා කියන්නේ පිය මලේ සුවඳ රොන්සුණු උඹට ආගන්තුක බව...උඹ මට කිවුව සම්‍යක් බොරුව ගැන මගේ අහිතක් නෑ.


ඇස් කෙලවර වක් වෙලා පටන් ගන්න උඹේ ඔය හිනාව ඇතුලේ ඔය තරම් ගින්දරක් වහන් වෙලා තිබුනද?හැමෝගෙම හිතට සතුටක් පමණක් දෙන්න ගලා හැලෙන ඔය හඩ ඇතුලේ ඔය තරම්ම කටුක අහිමිවීමක් නිහඩ වෙලා තිබුනද?මල් පාත්තියට ඇතුල් වෙද්දිම හිස ඇල කරල උඹෙන් මට පිදෙන හිනාවෙන් මගේ දවසේම වෙහෙස දුරු වෙලා යනවා....එහෙවු උඹට මේ තරම් වෙහෙසකර  රහසක් හදවතේ තුරුල් කර ගෙන ඉන්න උනාද?



ඒත් උඹේ හිනාව ඇතුලේ, උඔ මල් වත්ත වෙනුවෙන් කරපු කැපකිරීම් ඇතුලේ, උඹේ සරල චාම් සිතිවිලි ඇතුලේ මේ තරම් වේදනාවකට ඉඩ ඉතුරු කරගත්තේ කොහොමද?එකම එක සුන්දර හිනාවකින් ඒ සේරම දේවල් වසා ගන්න තරම් ශක්තියක් උඹට උරුම උනේ කාගෙන්ද?

මගේ පුංචි කැකුළ.උඹට පේනවද වසන්තය උඹ ලඟටම හමාගෙන ඇවිත් බව..ඒ වසන්තයේ සුවඳ උඹට දැනෙනවද? නොබෝ කලකින්ම උඹේ සේරම පෙති ඇහැරිලා  බිය සැකකින් තොරවම හිරු දෙස බලාවි...මෙච්චර දවසක් උඹේ කිනිත්තයි..මල් වත්තයි විතරක් දැකපු උඹේ ලස්සන  එදාට ලෝකයම දකින්න ඕන කියන එකයි මගේ හැඟීම.

ඊට පස්සේ ඒ උදාවුන වසන්ත‍යේ සොඳුරුම දවසක මෙතුවක් උඹව දරාගෙන හිටපු කිනිත්තෙන් වෙන් වෙලා අළුතෙන්ම කිනිත්තක් ගොඩ නගා ගනීවි.පස්සෙ කාලෙක උඹේ නමින් ඒ කිනිත්තෙත් පුංචි කැකුළු ඉපදේවි...

එදාට උඹට අහිමි වුන ඒ සුවඳ උණුසුම අඩු පාඩුවක්  නැති වෙන්නම ඒ කැකුළු වලට දීපන්...උඹට අහිමි වුන දේවල්  කවදාවත් උන්ටත් අහිමි කරන්න එපා...ඒකට උඹේ ඔය ලස්සන හිතේ ඉඩ ප්‍රමාණවත් බව මං හොඳටෝම දන්නවා

හා හාපුරා මල් කැකුළක සුවඳ මේ යැයි මට කියා දුන්න මගේ පුංචි කැකුල..

මං කොහොමටවත් උඹට අනුකම්පා කරන්නේ නෑ..අහස තරම් විසල් උඹේ දරා ගැනීමේ ශක්තියට මං හදවතින්ම ගරු කරනවා...


උඹට තාමත් දැනෙනව ඇති ජීවිතේ වටිනා සමහර දේවල් උඹට මගහැරී ඇති බව. ඒත් ඒ අහිමි වීම් මැද්දෙ වසන්තය තෙක්ම උඹ නොනවතින ගමනක ආවා..

.හිතට එකඟව මට උඹව අත ඇරලා දාන්න බැරි ඒකයි...උඹ කවදා හරි දවසක ජයග්‍රහණය කරන්න ඕනත් ඒකයි.උඔට ජීවිතෙන් පැරදෙන්න බැරිත් ඒකමයි





6 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. // හිතට එකඟව මට උඹව අත ඇරලා දාන්න බැරි ඒකයි...උඹ කවදා හරි දවසක ජයග්‍රහණය කරන්න ඕනත් ඒකයි.උඔට ජීවිතෙන් පැරදෙන්න බැරිත් ඒකමයි//

    මෙන්න මේ ටික නම් මේ ලගදි මේ විදිහටම මටත් හිතුනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්...මේක කියෙවුවේ රැට නිදා ගන්න කලින්ද..උදේ නැගිට්ටට පස්සෙද? 3.14 කියන්නේ බය හිතෙන වෙලාවක්

      Delete
    2. ඔයා ගුරුවරයෙක්ද?

      Delete