Friday, January 29, 2016

මට මුළු ලොවම ඔබයි

හීන පිරුණු හඳ
තෙත වළාවක හැප්පෙද්දි
අහම්බෙන් බිමට වැටෙන
හැම දාස්පෙති පාට සිතිවිල්ලකම
මැවී මැවී ඉන්න නුඹ.....


පෙර දිග රෝස අහසින්
රතු ඉර එබෙනකොට
බිඳෙන් බිඳ වැටෙන
සුදු පාට උණුසුම් හිනාවකම
නොවැරදී ඉන්න නුඹ

කිරි කවඩි විසුරවා
මුතු ඇට සඟවමින්
අඩන මුහුදේ හැම කඳුලකම
ලා කිරි පාට තෙතමනයේ රැඳී
මා අසලින්ම උන්න නුඹ

ළපළු සොලවමින්
මුමුනන හැම සුසුම් රැලකම
සීතල දුක් පවන් මැද
නොසෙල්වී ළඟින්ම හිඳ
අස්වැසිල්ලක් උනා නුඹ

කෙතරම් අකුරු ඇමිණුවත්
සිතිවිලි නිමා නොම වන
දෛවයෙන් මට උරුම
එකම එක දායාදය
සදා නොවෙනස් ආදරය නුඹ ..

Friday, January 22, 2016

මගේ නොවන මගේම පුතුට




හුඟාක් ඉස්සර -මගේම කැදැල්ලක් ගැන හීන පිපෙන්නත් ඉස්සර - පුංචි දඟකාරයෙක් මගේ හීන වල හිටිය.ඉන් පස්සේ මං බලං උන්නෙ සුදු නෙළුමක් ගත් ඇත් පැටවෙක් මගේ හීන වලට එබෙන කල්.

දෑස රිදෙන කල් මඟ බලන් උන්න.ඒත් ඒ හීන මාලිගය මසක් පාසා බිඳ වැටෙන විට මටත් හොරා මගේ ඇහෙන් බිමට පැනපු කඳුළු වල ආර්ද්‍රතාවය දන්නේ හිස තබන කොට්ටය විතරමයි.


දවසින් දවස ගෙවුන.මාසෙන් මාසෙ -වසරින් වසර අවසානයේ සිවු වසරක්ම..මගේ හීන වල කවදාවත් මල් පිපෙන්නෑ..මං තනිවම පසක් කර ගත්ත.පංසලෙන් පංසල-දේවාලයෙන් දේවාලය-කාලය දුරටම ඉගිල්ලිලා ගියා.මගේම සිතිවිලි මගේ හුස්ම හිර කරන්න ගත්ත.


නෙත් විල ඉතිරුනා.සිත් සයුර කැලඹුනා.සතුට හුඟක් ඈතට ගහගෙන ගියා.මංම තනා ගත්ත බලකොටුවක මගේ හිතිවිලි හිරකරගෙන හැමෝගෙන්ම ඈත් වුනා....

මගේ හිත අඳුන ගත්තු මගේ පසකින් උන් හේමලයා නපුරු දිව වල් වලින් මා රැක ගන්නා ගමන්ම මේ සියළු නාටකත් නිහඩවම දරා ගත්තා. කෙතරම් ඈතින් උන්නත් අදෘෂ්‍යමාන ආශිර්වාදයක්,යාන්තමින් වැටෙන නමක් නැති උණුසුමක් වෙමින් ඔහු නරකින් හා නපුරින් මා රැක ගත්තා.

ඔවු .......ඉන් මට රැකවරණයක් ලැබුනා තමයි.ඒත් සතුටක් නම් ලැබුන්නෑ...සතුට සදහටම මාව අතහැරල ගිහින්.මං හිතුවේ එහෙම

තාම නැද්ද වෙනසක්....?...?

දරුවෙක්???

බබෙක්???

සමහරු ඇහුවේ කුතුහලයෙන්...සමහරුන්ට උවමනා වුනා ඇත්තටම මට උදවු කරන්න.

සමහරු ඇහුවේ මං රිදවන්නමයි.

අන්න ඒ අය වෙනුවෙන් මං සතුටක් මවා පෑ යුතුව තිබුන..

“ඇයි එකෙක් ...මට ඉන්නවා 350ක්“මං මවාගත්ත ආඩම්බරේකින් කිවුවෙ මුළු ඉස්කෝලෙම දරුවො ගැන හිතමින්.

ඔවුන් ඒ අඩුව පිරිමැහුවා තමයි.පුංචි පැටවු සාරිපොටේ එතෙනකොට ,පංතියේදි මං වටකර ගන්නකොට ,පුංචි පුංචි නෝක්කාඩු පැමිනිලි මං ඉස්සරහ දිග අරින කොට හිතට උනුසුමක් නොදැනුනාම නෙවෙයි.ඒත් ඒ තරමක් දුරට. තව දුරටත් ලොකුම ලොකු රික්තකයක් ශේෂව පැවතුනා.

අන්න ඒ අතරෙයි උඹ මගේ ලෝකයට ආවේ.උඹ මගේ හිතේ තිබුන මොකක්දෝ අඩුවක් පිරෙව්වා වගේ හැඟීමක් කාලයත් එක්ක මගේ හිතට දැනුනා.

ඒකට හේතුව උඹේ පිස්සු දඟකාර වැඩද නැත්තං කියන විකාර කතාද කියල මට පැහැදිලි අදහසක් නෑ..ඒත් උඹ ඒ රික්තකය ශූන්‍ය කලා.... අපැහැදිලි යමක් පැහැදිලි කලා... මං ආයෙමත් හදවතින්ම හිනාවෙන්න ගත්ත.
“එකම එක අඩුවක් ඇතිව මුත් පරිපූර්ණ ජීවිතයක් - මගේත් තවත් අයගේත් යහපත උදෙසා කැපකල හැකි ජීවිතයක්- තවමත් මට ඉතිරිව ඇති බව උඹ මට මතක් කරල දුන්න.

සත්තමයි මං ආයෙමත් ජීවත් වෙන්න ගත්ත...

මං උඹ දිහා ඈත ඉඳන් බලන් උන්න.උඹේ සැහැල්ලුව මාත් සැහැල්ලු කලා....ඕනම දෙයක් මවා පෑ නොසැලකිලිමත් කම මැද්දෙ ප්‍රභල කැපවීමකින් එය ජය ගන්න හැටි මං දැක්ක....

අපව තිගැස්සෙන දඟකාර කම් මැද උඹ විෂය ධාරනය කර ගන්න සීග්‍ර තාවයෙන් මං පුදුම වුනා...

-ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත- යන කියමන නර්මාලාපයක් පමණක් බවට පත් කල උඹේ හැකියා කළඹ මං මවිතයට පත් කලා..ඒත් ඒ එකකින් වත් උඹ ප්‍රයෝජන නොගැනීම මගේ හිතට එක් කලේ වේදනාවක්.


කට කොනකට නගින සරල හිනාවකින් උඹ ලෝකයෙන්ම වසන් කරන උඹේ අධිසංවේදී සිතත් මං දැක්ක

බොහෝ අය ඛේද ජනක බව හඟිමින් ලොවෙන් වසන් කරන යම් සිදුවීම් උඹ සරලව බාර ගන්නා අයුරු දැක මං උඹට ඊර්ෂයාත් කලා

ඇත්තමයි උඹ මේ ලෝකෙට දෙවියො දුන්න තෑග්ගක්...

මට දැනුනේ එහෙමයි...
උඹලගෙ පුංචි ලෝකය සුනාමියකට අහුවෙලා තියන සමයක උඹෙන් විතරක් උඩුගං බලා පීනීමක් බලාපොරොත්තු වෙන්න බෑ...

හුඟ දෙනෙක් උඹෙන් දැක්ක මදාවි කං, නීති රීති කඩා බිඳ දැමීම් , විලාසිතා මමත් දැක්ක.අනිත් අය කලා වගේම මේ සමාජ සුනාමියට එදිරිව උඹව උඩුගං බලා පීනවන්න පොලඹවන්න මාත් උත්සහා කලා.ඒත් සුනාමියක් තල් කොල වැටකින් නවත්තන්න පුළුවන්ද?

උඹත් ඒ දිහාටම ඇදිල ගියා.ඒත් එක්තරා විදියකින් රැඳුනා.

ඒක මගේ හිතලුවක්ද- උඹට ඇති ආදරය නිසාම හිතේ මැවුන හිතළුවක් විතරක්මද -කියලා මට වැටහීමක් නෑ..
ඒත් උඹ සමබර වුනා.උඹේම අනන්‍යතාවයක් උඹ හදාගත්ත.

සමහර විට උඹේ හැම පුංචි වෙනසක්ම මං ලොකු වරදක් විදියට දකින්න ඇති. උඹට උඹ නොවියං කියල බලපෑම් කරන්නත් ඇති.

සමහර විට මං උඹට වාතයක් වෙන තරමටම...

ඒත් ඒ උඹ ගැන අහිතකින් නෙමෙයි.ඒ පුංචි වෙනස උඹේ වටිනාකම අඩු කරාවි කියල මං බය වුනා..

“මං හැමදාම කියනව වගේ උඹ හරිම වටින පුංචි ආත්මයක්...මහ කැලෑවක් මැද්දෙ පිපුන නමක් නැති ලස්සන සුවඳ මලක්...

උඹට මේ කැලෑව මැද්දෙම පරවෙලා යන්න දෙන්න බෑ...උඹේ ඔය අනේකවිද කුසලතා වලින් ලෝකය වඩාත් ලස්සන තැනක් කරන්න කල හැකි දේ බොහොමයි.

මට ඕන වුනා උඹේ මනෝලෝකයට කටකලියාවක් දාන්න....එක අරමුනකින් තව එකකට පැනපු උඹේ හිත එක තැනක නතර කරන්න...

ඒ තමයි ඕනාම පාසල් දරුවෙකුගේ හීනය -“ සරසවිය“

“සරසවිය“ සියළු ප්‍රශ්න වලට විසඳුම වත් ,ජීවිතයට යන්නට ඇති එකම පාරවත් නොවන බව උඹට නොකීවට මං හොඳාකාරවම දන්නව.

ඒත් ලක්ෂ්මියට අමතක වුන උඹල - අපි වගේ අයට “සරසවිය “කියන්නේ ජීවිතයට “ෂෝට් කට්“ එකක් බව මං තාමත් විස්වාස කරනව...

උඹ නොබෝදිනකින්ම ජීවිතය හොයා ගෙන ලෝකයට පිය මනින බව මං දන්නව.එදාට උඹ ජීවිතයෙන් පැරදුනා කියන්නේ අපි අන්තිම අසාර්ථකයි කියන දේ තමයි.

උඹ වගේ වටිනා මැණිකක් ඔප මට්ටම් නොකර රබහ කෑලි ගොඩටම විසි කරලා දානවා කියන්නේ උපනූපන් ජාති අපට ශාප වෙන අපරාදයක්.

උඹ මගේ පුතා නෙමෙයි...ඒ නිසා උඹේ ජීවිතය තුල මට තියෙන්නේ අංශු මාත්‍රික ඉඩක් විතරයි.ගුරුවරයෙකුට උඹලගෙ වයසෙ දරුවෙකුට බලපෑම් කරන්න ඇති හැකියාවත් බොහොම පොඩ්ඩයි..


ඒත් මට උඹ විශේෂයි..ඒ උඹ  මගේ පුතා නිසා..කවදාවත් මට නොසිටි ....ඒත් සදාකාලයට මගේ මතකයේ ජීවත් වනු ඇති මගේ පුතා උඹ නිසා...

Sunday, January 17, 2016

පහත් නිම්නයේ පිපුන නන්නාඳුනන මල

හිරුගෙ ඇස නොගැටෙන පහත්ම නිම්නයක
වැරදීමකින්දෝ පිපුන පෙර නොදුටු සුවඳ මල
ජීවිතේ සොය සොයා දුරට පිය මනිනවද
කෙතෙක් දුර ඉගිලෙන්න සුමුදු පෙති සවි ඇද්ද

එදා දැක්කා වගෙම බිත්ති හතරම ගොළුයි
මේසයෙන් බිමට පැන හුණු කැටය ඉකිබිඳියි
මඟ හැරුණු පොත් මිටිය මතක සිතුවම් මවයි
හුරු පුරුදු හිනාවට මගේ නෙතු මග බලයි...

ජීවිතේ සුන්දරයි උඹ ඒක දන්නවද
නුඹ සතුට නුඹ ලඟයි - අනෙකු සතු නෑ නේද
කොහෙන් හෝ සොයාගෙන ලෝකයේ හොඳ දේම
ඔය සුවඳ පොද හෙටක ලෝකයට  දන් දෙන්න

නුඹ යනෙන මාවතේ කටු බෝම මල් සේම
ඇහිඳගත් අකුරු පොඩි බුමුතුරුණු වෙයි දිනක
බැඳී ඇති මකුළු දැල් මගැර පෙරටම යන්න
යම් දිනක නුඹට හැක අරුණැල්ල දැක ගන්න



Thursday, January 14, 2016

House meet අතුරු සිතා කතා බතා


මේ දවස් House meet දවස්ය.උදේ කෑමටවත් නොහිට 6.30 ටත් පෙර ඉස්කෝලෙට දුවන දවස්ය.පොත් ගුල්ලෝ ස්ට්‍රයික් කරන දවස්ය.දඟයෝ රජ කරන දවස්ය.ගුරුවරුන්ට ගිණි පත්තු වී ඇති දවස්ය.මේ සියල්ල අස්සේ පස්ට ආතල් දවස්ය.

මේ පාර තරඟ සංවිධානය කිරීමේදී පුරාණ කතා ඇදී ඒම වැලැක්විය නොහැක.මේ ඉන් කීපයකි.

පසුගිය වර පාසලේ  මැරතන් තරඟය සඳහා විධානය දීමට සිටියේ ගම් පලාතේ එක් වැදගත් පුද්ගලයෙකුය. තරඟයට දුවන ළමයි ටික සීරුවෙනි.අතර මඟ වැටෙන ළමයි ඇහිලීමට යන වාහන ටිකත් සීරුවෙනි.වතුර පැකට් අත දරාගෙන පස්සෙන් දුවන ලමයි ටිකත් සීරුවෙන්.ප්‍රථමාධාර දෙන්න ගුරු මණ්ඩලයත් සීරුවෙන්.

ඒත් අදාල විධානය එන්න එන්නම පරක්කුයි.තරඟ කරුවෝ නොසංසුං.ළමයි නොසංසුං.ගුරුවරුත් නොසංසුං.
අදාල වැදගතා කෝට්ටක් ඉහලට ඔසවං හැමෝම දිහා මාරුවෙං මාරුවට බලන්නේ ඇස් ගෙඩි පොල්ගෙඩි තරං කරගෙන.තාමත් විධානය නෑ...විධානය ලැබෙන පාටකුත් නෑ...

හදිසියේම එක ගුරුවරයෙක් දැක්කේ බිම ලොකු ලේන්සුවක් වැටිල තියනව

බැලිංනං කොඩිය බිම වැටිල.වැදගතා කෝට්ට උස්සං ඉන්නේ ඒ ගැන හාංකවිස්සියක්කත් නොදැන.කෝට්ට අගිස්සේ කොඩිය එල්ලිලා ඇති කියල හිතං.තරඟකාරයෝ කොඩිය වැනෙනකං බලං ඉන්නවා.ඒත් වැනෙන්නේ කෝට්ට.

අන්තිමට මේ පැටලිල්ල හංදා විනාඩි 20ක් විතර පහු වෙලා තරඟය ආරම්බ කරන්ඩ උනාලු


ගියපාර එල්ලේ මැච් එකත් වාර්තා පිට වාර්තා තියපු එකක්.හැබැයි ඒ ක්‍රීඩකයෝ නං නෙමෙයි.විනිසුරු.....


එල්ලේ තරඟයක රතුපාට කොඩියෙන් දැවී යාමකුත් සුදු පාට කොඩියෙන් ලකුණකුත් කියැවෙන බව දන්නෝ දනිති.


උණුසුම් තරඟය අතර මැද අවස්තාවකදී විනිසුරු එය දැවී යාමක් බව සටහන් කලත් අදාල නිවාසය බාර ගුරුවරු ඒකට එකඟ වුනේ නෑලු.අනිත් නිවාසවලත් ගුරුවරු ඒ තීරණය ගැන සැක සහිත වුනාලු.අන්තිමට එක ගුරුවරයෙක් ඒ තීරණයට කෙලිංම විරුද්ධ වුනාලු.

“නෑ...නෑ සර් ..ඒක අවුට් එකක් නෙමෙයි ...ලකුණක්“


“ආ.....ඇත්තදැයි “ කී විනිසුරු වහාම ඔසවන් උන්න රතු කොඩිය පාත දමා අධිරාජ්‍යක් ජය ගත් වීරයෙකුගේ උදාරම් බවින් වහාම සුදු කොඩිය එසවූවාලු...


තවත් වරක් විනිසුරු සුදු කොඩිය ඔසවන් හුන්නාලු.කිසිම අදාලත්වයක් නැති ඒ ලකුණට විරුද්ධව අනිත් පිලේ හැමෝම කෑගැසුවාලු....

විනිසුරු වික්ෂිප්ත මුවෙන් පැවසුවේ...

“නෑ ...නෑ ...ඒ ලකුණක් නෙමෙයි...මං ඔළුව කැහුවා විතරයි“ යන්නය

හවුස් මීටියේ කවදත් ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ නිවාසාන්තර පොළයි.නිර්මාණාත්මක අපේ දරුවෝ ගමේ ගොඩේ එලවළු වලට අමතරව තවත් විශේෂාංග ඊට එක්කලහ.

වීඩියෝ ගේම් ඉන් එකක් පමණි.

රුපියල් 10ක් වැනි මුදලකට විනාඩි 20ක් සෙල්ලම් කර ජය ගතහොත් බීම බෝතලයක් හිමි වේ.වෙලාව ගණනය කිරීමට ඔරලොසුවක් ගෙන ඒමට අමතක වූ 10 පංතියේ ඉලංදාරි 6 වසර පොඩි එකෙකුගේ ඔරලෝසුවක් ඉල්ලාගෙන තිබිනි.

පොල පවත්වා දවස් 4කට පසු මගේ පංතියේ දරුවෙකුගේ ආච්චම්මා පරලෝකෙට ගිය බැවින් මගේ පංතියේ පැටවුන් තිදෙනෙකු හා මලගෙදර නෑයෙකු වූ 10 වසරේ කොලුවෙකු සමග පිටත් වන විටම අර 6යේ පුංචි එකා 10කොළුවා පසුපස ආවේ ගලිවරයාට මරණ තර්ජනය කරන ලිලිපුට්ටෙක් වාගේය.

“අනේ අයියේ ඔරලොසුව දෙන්න...“

“සඳුදා දෙන්නම්“

“මගෙ ඔරලෝසුව දෙනවද නැද්ද“

“සඳුදා දෙන්නං යකෝ“

“මට ඒක දීපං යකෝ..දැන් කීදවසක් දෙනවා කිවුවද“ ලිලිපුට්ටා සැරය.අතඅරින පාටක් නැත

තව දුර දිග යන්ඩ පෙර මං එතනට හෙමිංම කිට්ටු කලෙමි.

“ඇයි පුතේ...මොකද වෙලාතියෙන්නේ...“

“බලන්ඩ මිස් මේ අයිය ඔරලෝසුව අරං..
“මං ඒක සඳුද ගෙනත් දෙන්නං“

“අනේ මට අදම ඕන මිස්“

“දැන් අයිය ගාව නෑනේ පුතේ..සඳදා දෙයි“

හරිම හේතුව ආවේ ඉන් පසුවය...

අනේ මිස් තාත්ත කිව්ව මට ඔරලෝසුව නැතුව ආයේ ගෙදර එන්ඩ එපා කියල..ගහනව කිව්ව .මට ඊයෙත් ගැහුව සෙල්ලං කරල වතුර බෝතලේ බිම වැටුනා කියල“

මගේ හදවත මේ පැංචා වෙනුවෙන් හඩා වැටින.දරුවට ඕනෑ ඔරලෝසුවක් නැත.ඔහුට ඕනෑ ගුටි නොකා බේරීමටය.ගෙදරට කතා කර මෙය බේරීමට ගෙදර දුරකතන අංකයක් මේ පුංචි එකා දන්නේ නැත.පංති වාර්තාපොත් පෙරලා ඒවා හෙවීමට ලඟ ලඟම ආ බසය ඉඩ දුන්නේ නැත.මං මේ ගැටළුව ඒ දරුවාගේ ගෙවල් ලඟ පදිංචි 11 වසර ලමයෙකුට බාරදී මං මලගෙදර ගියෙමි.

මේ පුංචි එකා තාම 6 වසරේය.ඔහුගේ ගෙදර තත්වය මෙබඳු නං යම් දිනක බෝතලය බිඳුනාට,ඔරලෝසුව නැති වුනාට වැඩි යමක් වූ දාටද එය ගෙදරින් රහසක්ව තබා ගනු ඇත.දෙමාපියන් තමංගේ ගැලවුම්කරුවන් බව නොසිතනු ඇත.වැඩිහිටියන් මෙතරම් නොසැලකිලිමත් ඇයි????


Sunday, January 10, 2016

කැකිල්ලේ රජ්ජුරුවෝ මට ආවේස වුන දවස



මේ වාරය නිවාසාන්තර ක්‍රිඩා වාරයයි.ඒත් අපේ දියවන්නාවේ සර්වබලදාරි දෙවියෝ එය මාසයකට සීමා කිරීමට සමත්විය.ඒ සමඟම දවසේ පීරියඩ් අටම ඉගැන්නිය යුතුයැයි නීතියක් පැනෙවුවේ අපේ සාමාන්‍ය බුද්දියෙන්  උකුණු අධෝමුඛයක තරම්වත් අපට ඉතිරි නොකරමිනි.ඉතින් අපි කාලජේද 8ටම පංතිවලට ගොස් එමු.ක්‍රීඩාද කරමු.


හිරු,සඳු,තරු නම් වූ නිවාස අතරින් මා අයත් සඳු නිවාසයටයි.වාසනාවකට හො අවාසනාවකට මගේ නිවාසයට නිවාස රැස්වීම් පැවැත්වීමට ලබා දුන්නේ මා බාරකාරත්වය දරන 9 වසර සඳු පංතියයි.

අප සාකඡ්ජා පවත්වන අතරේ  පිටුපස පේලියක කිරිමෙල් සිද්දියක් වී ඇත.


රැස්වීම අහවරව ළමයි පංතිවලට ගෙවදුන පසු මගේ කොල්ලන් 17 දෙනාගෙන් වැඩි පිරිසක් ගුරුමේසය වට කර ගත්තේ යකා නටමිනි..


“මිස් බලන්න මිස්  ආයෙ නං අපේ පංතිය නිවාස රැස්වීම් තියන්ඩ දෙන්නෑ...“එකෙකු ආවේග ශීලීව අත පය වනවමින්ම කෑගෑවේය.

“බලන්ඩ මිස්  අපේ  ****යාගේ වතුර බෝතලේ බිඳලානේ“

“ඒක තමයි මිස් ආයෙ නං රැස්වීම් කියාගෙන එකෙකුටවත් දොරෙන් ඇතුලට එන්ඩ දෙන්නෑ“...

“අපරාදෙ අළුත්ම වතුර බෝතලේ“කෙල්ලන්ගෙ පැත්තෙන්ද කොමෙන්ටු වැටෙන්නට විය

“අපේ පංතියේ උන් චූ කරලද කොහෙද“

පංතිය පුරාම වතුර දෝරේ ගොස්ය.

බෝතලේ අයිති කොළුවා වචනයක්වත් කතා නොකලාට ඉතිරි දහනව දෙනාම ඒ වෙනුවෙන් කතා කරයි.

දැන් ඉතිං මං මක් කරන්ඩද?බිඳුනු බෝතලේ මං අලවන්ඩද?  මගේ හිත කෙදිරිගායි

ඒත් හිතෙන හිතෙන ඒවා වචන කිරීමට  දැං මට වරං නැත.බෝතලයකට වඩා දරුවෙකුගේ හිතක් බිඳීම බැරෑරුම්ය.

කොළුවාගේ ඇස් ඇතුලේ නතර කරගන්ඩ දඟ දමන දුකකි.මූනේ ඇත්තේ දුකද බයද පසුතැවිල්ලදැයි ටක්කෙටම හිතා ගන්නට බැරි දෙයකි.

අළුත්ම බොතලේ ගැන කොළුවා දුක් වෙනවා වෙන්ඩත් පුළුවන්.ඒත් ඊට වඩා අළුත්ම වතුර බෝතලේ පරිස්සම් කරන්ට බැරිවීමේ නොසැලකිලිමත් කම ගැන අම්මාගේ දේසනාව හිතේ මැවෙනවා වෙන්ටත් පුළුවන්.එහෙමත් නැත්තං තාත්තාගේ ගුටි මුරය..අළුත් පාසල් වාරයට අළුත් බෝතලයක් හම්බුන ගෙදර එකම සාමාජිකයා වාරය පටන්ගන්ඩත් කලින් ඒක විනාස කර ගැනීම ගැන ගෙදර පුංචි උන්ගෙ ආඩපාලි...ඒ සේරම වෙන්ඩත් පුළුවන්...

මුළු සඳු නිවාසයේ ලමයි 120 ගෙන්නලා නඩු විසඳීමේ බයානක ඉරනම මගේ ඔළුවට කඩා පාත් වුනා..

දඩාං බඩාං දඩාං බඩාං

දෙයියෝ බැළුව වගේ බෙල් හතරක් වැදුන.

.රැස්වීමක්

.තප්පරේකට පස්සෙ පංතියේ ඉතුරු වුනේ මං විතරයි


යංතං ඒකෙන් ගැලවුනා...මං සාරිපොටෙන් දාඩිය පිහින ගමං මටම ප්‍රසංසා කර ගත්ත

අද පිට්ටනියෙ කපපු තණකොල අයින් කරනවා...

නිවේදනය හම්බුනා...සේරම ළමයි ටික පේලියට ගාලකඩාගත්ත හරක් රැල වගේ පිට්ටනියට යද්දි අපිත් අපේ ලැසි ගමන් විලාස වලින් එතනට සේන්දු වුනා...

ආයෙත් මගේ කොල්ලො ටික මාව වට කරගෙන පරණ අවනඩුව..මේ පාර සාක්කිත් එක්කම..දෙයියෝ 
සාක්කි..


“මිස් මේ  මේනකයා දැකලා තියනව එතන වාඩි වෙලා හිටියෙ හතේ පංතියේ  කසුන් මල්ලි“ එකෙක් අපේ නිවාසයේ කොළුවෙක් දිහාට දබර ගිල්ල වනවයි.

“බෝතලේ  අයිතිකාරයා ඉඳල අනිත් හැමෝම පිට්ටනියට යන්ඩ...අර ලමයට මෙතනට ඉන්ඩ කියන්න...“

“මෙයා තනියෙන්නෙ මිස් ..මාත් ඉන්නං...“

ටිකකින් අර කීව කොළුවා දුවගෙන එයි..“

“පුතා ඉන්න තැනද මේ වතුර බෝතලේ තිබුනේ“

“මං දකින කොටත් මේක බිඳිල තිබුනෙ මිස්..බොරුනං සාගර ගෙන් අහල බලන්ඩ..එයා මං ලඟමයි හිටියේ...“

“සාගරට එන්ඩ කියන්ඩ“

සාගර දුවගෙන එයි...

“ඔවු මිස් ඇත්ත තමයි....මමයි එයයි එකට හිටියේ..අපිට කලින් එතන හිටියේ  පංතියේ  තාරක මල්ලී“

“හා එහෙනං තාරක මල්ලිට එන්ඩ කියන්ඩ“ තාරක දුවගෙන එයි

“නෑ ..නෑ...මං නෙමෙයි මිස් මං ඔතනට එන කොටත් ඒක බිඳිලා වතුර හැම තැනම..බොරුනං කමල් අයියගෙන් අහන්ඩ“

“හා කමල් අයිය එක්ක එන්ඩ“කමල් දුව එයි.

“අනේ අම්මපා බුදුං පා...මිස් පා..මං නං නෙමෙයි ඕක බින්දෙ...මං එනකොට  හයේ හෂාන් මල්ලි ඔය බෝතලෙන් ඩෙස් එකට ගගහ සිංදු කිය කියා හිටියා...බොරුනං මේ දමිත්ගෙන් අහල බලන්ඩකෝ..

“හෂාන්ට එන්ඩ කියන්ඩ“

අනේ නෑ මිස් මං නෙමෙයි...මං එනකොටත් ඒක බිඳිල වතුර සේරම බිම..බොරුනං ලතික ගෙන් අහන්ඩකෝ....“

දැන් ළමයි 50ක් පමණ වරකට දෙන්නා බැගින් ඇවිත් මා වටේ නැංගුරම් ලා ඇත.දැනටමත් පිට්ටනිය සුද්ද කරනවා වෙනුවට මං වගේ හිටගෙන කයිය හගන ලමයි රොත්ත දිහා පී.ටී මිස් දෙතුං වතාවක් රබර් ඇහැ දමා හමාරය.

වයිස් ප්‍රින්සිපල් තුමාද ඇස් කොනක අවදානය මගේ පැත්තට දී ඇත.

එන පොට නං හොඳ නැත...

“හා ලතික එක්ක එන්ඩ“

“ඔවු මිස්..ඇත්ත.  හැබැයි මිස්ල එන්ඩ කලින් ඔතන තේජාන් අයියල ගහ ගත්ත.. නේද මචං.“

මේ වෙනකොට මට හොඳටම පුෂ්පය ජම්ප් වී ඇති අතර

“එන්ඩ කියනවා තේජාන්ට“මං මගේ උපරිම සිංහ නාදයෙන් ගෙරෙව්වෙමි.

“අනේ මිස් අපි ගහ ගත්තෙ විහිලුවට...එතකොට ඔයි බෝතලේ තිබුනෙත් පේලි දෙකක් ඉස්සරහ..බොරු නං මතිෂ ගෙන් අහන්ඩකෝ“

මං හිසේ අත ගසා ගතිමි.

“මිස් මං ගිහින් මතීෂ අයිය එක්ක එන්ඩද? පොඩි එකෙක් පපුව පුම්බා දකුණු කකුල පෙරට දමා අහයි...

පුෂ්පයේ උපරිමය ....
.
“දුවනව සේරමල පිට්ටනියට“

මං මගේ කටහඩේ උපරිම ඩෙසිබල් ගනන ගනනය කරන ගමන් තදින් කීමි.

අනතුරුව අවම තාරතාවයෙන් බෝතල් අයිතිකාරයාගේ කනට මෙසේ කෙඳිරීමි


“පුතේ මං පුතාට අළුත් බෝතලයක් අරං දෙන්නං“