Thursday, April 30, 2015

අවනඩුවක් - සයිබර් අවකාශයේ නන්නත්තාර වුනෙමි

මම බැරිවීමකින් මා අතින් ලියවුනු කවියක් කථාවක් පොත් අල්මාරිය පතුලේ නිධන් කර දැහැමින් සෙමින් සිටි අහිංසක ලමයෙක්.ඒ මීට මාස කීපයකට කලින්....
දමිත් අයියා ඇතුළු “නිර්මාණ කියවීමේ හැන්දෑවේ“ උදවිය මගේ අහිංසක ලෝකය උඩු යටි කුරු කරමින් කඩා වැදී ඕපා දූප සෙවීම සඳහාම හදාගත් මුහුණු පොත කවි වලින් දූෂණය කලා.

මේ මල් මිට මගේ මුහුණුපොතට සැබෑ අර්ථයක් එක් කිරීමේ වරදට  “නිර්මාණ කියවීමේ හැන්දෑවේ“ හැමෝටම..මේ අව නඩුවේ පළමු විත්තිකාරයෝ ඒ හැමෝම.


මූණු  පොතේ සැරි සරද්දී මධ්‍යම රාත්‍රියට කිට්ටු කරද්දී හමුවූ පිස්සු මූකලන් බස්සි තමයි දෙවෙනි විත්තිකාරි.මගේ තියන පිස්සුව ඩබල් වී එනවා යි බියවී මගේ සුදු මහත්තයාත් නැන්දම්මාත් ඇස් උඩ ඉඳවන් බලා ඉද්දී මම සිවුවන වරටත් “බස්සිගේ නවාතැන “ කියවමින් ඉන්න කොට තමයි මුල් වරට ඒ සාපරාධී චේතනාව මගේ ඔළුවට ආවේ.....මමත් බ්ලොග් එකක් ලියනවා“!!!!!!!!

අන්න ඒ සාපරාධී චේතනව මගේ අහිංසක ඔළු ගෙඩිය ඇතුලට රිංගවීම සම්බන්ධයෙන් මේ දෙවෙනි මල් මිට “බස්සිගේ නවාතැනට“
“බස්සා නැත්තං බස්සියෙක් කොයින්ද?බස්සියෙක් නැත්තං බස්සිගේ නවාතැනක් කොයින්ද?මේ තුනම නැත්තං මේ දුප්පත් මම නොදන්නා බ්ලොග් කෙරුවාවකට සෙට් වෙලා වරිගේ නහ ගනීද?“

ඒ නිසා මේ මල් මිටෙන් බාගයක් බස්සාටත් අයිතියි.දෙන්නා රණ්ඩු නොකර සමෝසමේ බෙදා ගනිත්වා.............

ලොකුම ප්‍රශ්ණය වුනේ මගේ අසාමාන්‍ය කොම්පියුටර් දැණුම.විශාරදයෙකුට නොදෙවෙනි දක්ෂ කමකින් ඊතලේ නතර වෙන ඕනම තැනක් ඔබ ඔබා යද්දී පරණ පවක් පලදීලා මොකක් හරි එබිලා අළුත් බ්ලොග් එකක් හදන්න තියන තැනකට ඇවිත්.රජා විතරත් නෙමෙයි මුළු රජ පවුලම මරණ මගේ කඩ්ඩ අමාරුවෙන් මලලසේකරගේ බෙල්ලටත් තියාගෙන වැඩට බැස්සා......
ඔන්න ඔය අතරේ අනුන්ව කොපි කරන්න ට්‍රයි කරන්න ගිහින් තමයි මාතලං අයියගේ බොග දැමීම දැක්කේ..
සන්තෝසෙ විලිලැජ්ජාවෙ පණ ගිය පාර විසිල් එකකුත් ගහගෙන මං වැඩ පටාාාාන් ගත්තා..

රජාට බයේ අතර මග දාල යන්න ඉඩ තිබුනු බ්ලොග් කෙරුවාව දන්න සිංහලෙන් දමා මම වරදට පෙළඹවීම නිසා මේ මල්මිට මාතලං අයියාට

අවුරුදු විසි ගණනක් පුරා එකතු වූ සියළුම පල්හෑලි එක දිගටම පෝස්ට් කර ගෙන කරගෙන ගියේ සංතෝසෙන් ඉහවහා ගිහින්....දැන් ඉතින් මගේ පොත් කබඩ් එකේ ටොන් ගානක් බර පරණ කඩදාසි අයින් කරලා වෙන දෙයක් දාන්න ඉඩ හදා ගන්න පුළුවන්!!!!!
එක දිගට එක දවසක් ඇතුලත පෝස්ටු දාසයක්ම දැම්මේ මගේ සාමාන්‍ය දැනීමේ අසාමාන්‍ය ගතිය හින්දමයි.බ්ලොග බොගක් වීගෙන යනකොට මේ වතාවේ මට පිහිටට ආව නිසා හතර වන විත්ති කරු  කටුසු පුංචා-මේව දාන්නේ ලියන එකාගේ අල්මාරි අස්කර ගන්න නෙමෙයි මිනිස්සුන්ට කියවන්න යැයි මතක් කර මගේ වරදට අනුබල දීම තමයි ඔහුගේ වරද.

අන්න ඒ වරදට අනුබල දීම සහ අටම් ගෙන් අහගන්න කියමින් මුල් වතාවට අටම් අයියාගේ නම නිර්දේශ කිරීමේ වරදට මේ මල් මිට දයාබර කටුසු පුංචා- කටුසු හදවත අයියාට.ඔයාගේ කරේ නම් රත්තරං බැඳීම අවශ්‍ය නැත.

-යාන්තම් සේරම හරිය - කියල හිතාගෙන සැනසිල්ලේ හුස්මක් කටත් ගත්තා විතරයි.චෝදනා පිට චෝදනා කඳු ගොඩ ගැසෙන්නට වූයේ කොමෙන්ටු දාන්න බැරිය කියලාය.ඉතින් ආයෙත් නන්නත්තාර වූ අහිංසක මම හැකි පමණ හොටු කඳුළු වගුරා සමාව භාජනයකට දැම්මේ ලැජ්ජා නහරය කපා දමා මගේ කොම්පියුටර් දැණුමේ විශාරද භාවය මුහුණු පොතේ අලවමිනි.

ඒ අස්සේ මගේ පිහිටට ආවේ කළ්‍යාණ මිත්‍ර අයියාය.ඔහුට හැකි පමණ උදවු දී ඉතිරිය අටමාගෙන් අහගන්නා ලෙස නිර්දේශ කලෙන් මම අටමා සොයා සයිබරය පීරුවෙමි.

හපෝයි පලපුරුදු බ්ලොග් කරුවෙක් විතරක් නම් මදැයි!!!! සම්මානෙකුත් දිනාගෙන...මා වැනි බිළින්දෙකුට ඒවගේ ජේෂ්ඨ උත්තමයෙක්ගේ මූණු ‍පොතට බලෙන් රිංගලා උදවු ඉල්ලලා ලතෝනි දෙතෑකිද?ඔන්න ඔහෙ මේ බැරි අටමගලය අතහැරලා දානවා කියලා හිතද්දී කල්‍යාණ මිත්‍ර අයියා ඒ ගැන අටම් අයියාටත් කියලාය...මේ බ්ලොග් කෙරුවාව එතැනදී අතහැර දැමීමට ඉඩ නොදුන් වරදට ඊළඟ විත්ති කරු කල්‍යාණ මිත්‍ර අයියාටයි මේ මල් මිට....

ටික වෙලාවකින් තවත් මුහුණු පොතෙන් තවත් මූණක් එබුනා. ජීවිතේට අහලා නැති නමක්.“****  ******“.....මොකාද යකෝ මේ!!!!!
“මං අටම්“ කියනකොට මං උඩ ගිහින් බිම වැටුනා..මං කන්ද ගාවට ගියේ නැතුවට කන්ද මං ගාවටම ඇවිත්....ඒ වෙලේ ඇති වුන සැනසිල්ල කියන්න වචන නෑ...

ඒක නිකං ඉල්ලං කෑමක් වගෙයි.මාත් එක්ක කම්පියුටරයක් ඉස්සරහා වාඩි නොවුන කිසිම කෙනෙකුට තමං වැටෙන්න යන්නේ මොනවගේ අමාරුවකද කියලා තේරුම් ගන්න බෑ නොවැ.
ඉතින් අන්තිමට කොහොම හරි සියල්ලම සතුටින් කෙලවර වුනා.

ඒ අපරාධය මං ළඟටම අරං ඒම නිසාත්..ඊයේ රෑ පටන් ගත් මගේ බ්ලොග රෙපෙයාර් කිරීමේ කාර්යය අද මධ්‍යම රාත්‍රිය දක්වාම ඇදගෙන ආ නිසාත්, හොඩි පොත කියා දෙන්නා සේ සියල්ල කියා දී ඉනුත් නොනැවතී ලස්සන බ්ලොග් එකක් එදා දී බ්ලොග් සම්ප්‍රදාය යනු කුමක්දැයි ඉගැන්වීම නිසා ලොකුම වරදකරු අටම් අයියාය.  මගේ සියළු ගොං කං හා පණ්ඩිතකම් ඉවසා ලස්සන බ්ලොගක් හදා දීම වෙනුවෙන් මේ මල් මිට ඔහුටය.


දැන් කැලයට පිපෙන මල් සයිබර් අවකාශයේ ලා නිල් පාට අහස යට ලස්සනට පීපි ඇත.එහි සුවඳ සයිබර් අවකාශය පුරා විසිරුණත් නැතත් මට ඒ ගැන තැකීමක් නැත.ඒ මල් වලටත් වඩා සුවඳ මිනිසුන් මට හමුවීමම සෑහෙන බැවිනි

ඩබ්.කේ







Wednesday, April 29, 2015

මංමුලා සෙවනැලි -3 කොටස

2 කොටස මෙතනින්

“මේඛලා මිස් ගමෙන් ඇවිත්“නාකි තාරාවියක් සේ ගුරු සේ ගුරු විවේකාගාරයට කඩා වැදුනු සීලවතී මිස් හති දමමින්ම ඔසරි පටින් පවන් ගසන්නට වූවාය.

“ගෙදරින්..... මම බිය වීමි.අම්මාගේ හදිසි මරණයේදී පවා හිත්පිත් නැතිව විදුලි පණිවිඩයක් එවු අයියාගේ හදිසි සත්ත්ව කරුණාව කුමක්දැයි මම කල්පනා කළෙමි.

“ගෙදරින් කිව්වට ඉතින් වෙන්ඩ ගෙදරින්ද කොහෙද.හැන්ඩි කොල්ලෙක්“

අප්පද බොල හිමිකාරයා අදම කැන්දන් යයිද දන්නෑ....... මංගලම් ජය මංගලමි...“නිශානී සිනාසෙන්නට වූයෙන් ඒ කෝලම් වලට මටද ඉබේම සිනා යන්නට විය.නමුත් සිනාව පලා ගිය කැළුම්ගේ මුහුණ දුටු මට දැනුනේ වේදනාවකි.ඔහු සිය හැඟීම් හෙලි කරන තුරු අප දෙදෙනාම මෙසේ වේදනා විඳිනු ඇත.

“මට කොහෙද කොල්ලෝ...මාව හොයාගෙන එන්න ඇත්තේ මාරයා තමයි...“මම එය කීවේ කැළුම්ගේ සිත හැදෙනු සඳහාම වුවත් මා දෙස හෙලූ අවිශ්වාසය හා වේදනාව මුසු බැල්ම දිගින් දිගටම මට පීඩා කළේය.
“මාරයා වුනත් මොකෝ හැන්ඩියා නම්“ යලිත් සිනා සාගරයකි.

සැබවින්ම මා සොයා ආ තරුණයා කවරෙක්ද?මට වඩා බොහෝ වැඩිමහල් මගේ අයියලා මේ වන විට තරුණයෝ නොවෙති.

මිදුලේ වූ නවීන පන්නයේ රථය ඔහු සාමාන්‍ය යෙකු නොවන බව කියා පායි.ඈත කඳු දෙස නිසලව බලා සිටින ඔහු කවුද?

පිළිවෙලට හැඳ පැළඳ සිටින මේ තරුණයා දුටු මම ගෙදර දමා ආ පුහු ආටෝප සාටෝප සියල්ල ආපසු කැඳවා ගතිමි.

“මිස් මේඛලා කරුණාරත්න...?මම හිස වැනීමි.මවිතය මගේ කතා කිරීමේ හැකියාව උදූරාගෙන තිබීණි.
“මම නදීක ගොඩමාන්න...හේ අත දිගු කලෙන් මම එය අල්ලා සෙලවීමි.නමුත් ඒ නමින් කිසිවක් අදහස් නොවේ.ඒ නම මට ආගන්තුකය.

“මම ..................... මැඩම්ගේ පණිවිඩයකට ආවේ.

“කාගේ..........?“මට එක්වරම නොසිතා කියවුනත් ඊලඟ නිමේෂයේදී ඒ මුහුන මා ඉදිරියේ මැවී පෙනිනි.ඈ මගේ මතකයේ ගැඹුරුම පත්ලේ නිධන් ගතව ඉන්නට ඇත.නමුත් මවිතයට පත් තරුණයා මා වෙත දිගු කළේ හතරට නැමූ සුදු පැහැ කඩදාසියකි.ඒ මරණ දැන්වීමකි.මියගොස් සිටින්නී ඈය.

මා මෙතෙක් කල්ම ඈ අමතක කලේ ඇයි?මා මෙතරම් නොසැලකිලිමත් වූයේ කෙසේද?මා මේ ජීවිතය පිළිබඳ ස්තුති කල යුත්තේ ඇයටයි.නමුත් මට ඒ යුතුකම මඟ හැරුනේ කෙසේද?එකල ඇය මට කෙතරම් වැදගත් වූවාද?එතෙක් මා නොදුටු ජීවතයේ ගැඹුරුතම හා සංවේදීතම ඉසවු ගවේශනය කරමින්  මනුශ්‍යත්වය යනු කුමක්දැයි මට අවබෝධකර දුන්නේ ඈ නොවේද?මගේම මවගෙන් නොලද ආදරයක් රැකවරණයක් ලබා දෙමින් මට සැබෑම මව වූයේ ඈ නොවේද?ඈ වෙතින් ලද පන්නරය මානව දයාව නොවෙන්නට මේ සා දුෂ්කර පලාතක මේ සා අපිරිසිදු දරුවන් රොත්තකට ආදරය දීමට මට නොහැකි වනු ඇත.ඇගේ ජීවන දර්ශනය දිනෙන් දින සත්‍ය වෙමින් පවතින යුගයක මට ඈ අහිමි වී ගොස් ඇත.

මගේ පුහු මානය සහ නොසැලකිල්ල නොවූවා නම් ඈ වෙත සිව ගොස් මා ඈට කෙතරම් ආදරේදැයි,ඇය මට කෙතරම් වැදගත් දැයි කීමට හැකි වනු ඇත.එසේ නම් ඇගේ මරණය මට මෙතරම් කම්පනයක් නොවනු ඇත.එය මුසාවක් බව විහිළුවක් බව දැන් දැන් ඔහු කියනු ඇසීමට මට  විය.නමුත් නාඳුනන තරුණයා බැරෑරුම් මුහුනින් මදෙස බලා හිඳී.සියල්ල සත්‍යකි.සියල්ල සත්‍යකි.ඈ සදාකාලයටම මට අහිමි වී ගොස්ය.මට මගේ කටහඬ අහිමි වී ගොස් ඇති සේය.උගුරේ හිරවී ඇති බව දැනුනු ගුලිය ගිල දැමීමට දෙතුන් වරක් වැරෙන් කෙල ගිල්ලද සිදුවූ යහපතක් නම් නැත.සහාසික අතක් මගේ හදවත අන්තිම ලේ බිඳුව දක්වා මිරිකනු දැනෙයි. අදෘශ්‍යමාන කක්ෂයක් වටා භ්‍රමණය වී සුදු පැහැය පමණක් ලෝකයේ ඉතිරිවනු මට පෙනිනි.ඒ අහු අස්සේ කැළුම්ගේ මුහුණ මා දුටුවේ සිහිනයෙන්ද?ඔහු තවමත් කථාව නොනවත්තයි.බිම බලාගෙන සිටින ඔහුට මගේ වෙනස නොදැනේ.

......තියනවා.නමුත් ඔයාට එයාගේ ආභරණ සේරම පවරලා.මෙතන තියනවා මුතු මාල.......“
මම අත ඔසවා ඔහු නැවැත්වීමි.අවසානයේ මම මගේ කටහඬ සොයා ගතිමි.

“එයා නැතුව ඕවා මොකටද..එයයි මගේ ඇත්ත අම්මා....“ මගේ යැයි හදුනාගත නොහැකි හඬකින් ඒ ඇසුවේ මාමද“
ඔහුගේ හඬද මුදු විය.වෘත්තීය කබොල්ල ඉවත දමා හැබෑ මිනිසෙකු සේ මුල් වරට කථා කලේය.

“මටත් එහෙමමයි නංගී“....
මට ඇගේ දේපල ඇවැසි නොවීය.මා උවමනාවටත් වඩා ධනවත් බව ඈ දැන සිටියාය.මවු පිය ඇවෑමෙන් මා නිකන්ම කෝටිපතිනියක් වනු ඇත.
ඇගේ මරණය තෙක්ම මම ඈ අමතක කළෙමි.නමුත් ඇය මරණ මංචකය තෙක්ම මගේ මතකය රැගෙන ගොස් ඇත.මට මා ගැනම ඇති වූයේ තරහකි.ඔහු දිගු කල ආභරණ පෙට්ටියෙන්ම ඔහුට දමා ගැසීමට ම උවමනා විය.මගේ හදවත රිදවූයේ මගේම ආත්මාර්ථකාමී බවයි.එය සිහිපත් වූයේ ඔහුගේ පැමිණීම නිසාය.ඔහු පීළිබඳ මට තරහවක්  ඇති වූයේ එබැවිනි.
අකපට සිනාවක් සමඟ පංති කාමරයට කඩා වැදුනු කාර්යයාල සේවකයා ඔහු දෙසට තැඹිලි ගෙඩියක් දිගු කලේය.ආගන්තුකයා ස්තූතිපූර්වකව එය ඩැහැ ගත්තේය.කොළඹ සිට ආ දුර ගමන ඔහුට විඩාවක් වන්නට ඇත.නමුත් ඔහුට සත්කාර කිරීමට පවා මට අමතක විය.

“කොහෙන්ද සරණපාල මේ හදිස්සියේ  තැඹිලි“...?

“කැළුම් මහත්තයා ගෙන්න ගත්තේ.....“ ඔහුගේ සංවේදීත්වය මා සනසන්නක් විය.මා කලයුතු දේ මට නොහැකි අවස්ථාවල මා වෙනුවෙන් ඉටු කරන කෙනෙකු ජීවිතයට සවිමත් අත්වැලක් වනු ඇත.
“විස්තර ඕන නෑ මහත්තයා ..බොහොම ස්තූතියි මෙච්චර දුරට මාව හොයාගෙන ආවාට..ඒත් මට මේ දේවල් ඕන නෑ..මට ඇති තරම් ආභරණ මුදල් තියනවා..“

“මැඩම් කිව්වා ඔයා එහෙම කියයි කියලා.ඒත් ඔයාගේ අනාගතේදී  ඕන වෙයි කියලා කොහොම හරි බාර දෙන්න කීවා...“එය නියත විවරණයක් බඳු විය.මගේ සදාදරණීය කැළුම්ගේ ජීවිතය දෑවුරුද්දකින් දිගු කිරීමට  ඒ ආභරණ හේතු විය.

“මේ ටික බාර ගත්තා කියලා මෙතනින්  අත්සනක් දාන්නකෝ...“

“ස්තූතියි .. කරදර වුනාට..“මම පෑන අතට ගනිමින් කීමි.


“මම මැඩම්ට පොරොන්දු වුනා නංගී...මට මැඩම් අම්මාකෙනෙක් වගේ“

ඔහු පැමිණියා සේම නික්ම ගියේය.මෙය බොරුවක් බව සිහිනයක් බව සිතන්නට මට උවමනා විය.නමුත් ඒ හැම වරකම මා ඉදිරියේ දිස් වූ පාර්සලය එය සත්‍යක් බව මතක් කර දුන්නේය.තාමත් නැගිටිමට දෙපා වාරු නැත.මට තව එක වරක් තවත් එකම වරක් මට ඈ දැකීමට හැකි නම්....උගුරේ හිර වූ ගුලිය දැන් දැන් පපුවටද බරකි.කඳුල හිස් කබල වටා රොක් වුනු මුත් දෑස පරිසරය පීලිබඳ සලකා ඒවා වැගිරුවේ නැති බැවින් හිස පුපුරන්නාසේ වේදනා දුන්නේය.මම හිස ඩෙස්කුව මත තබා ගතිමි.
යමෙකු මගේ උරහිසින් අල්ලා සොලවන්නට විය.“මේනු මේනු.........මේනු“
මම හිස ඔසවා බලන කල කැළුම් ආපසු දුවමින් විය.මගේ පියවි සිහිය මා කරා ගෙන ඒමට කැළුම්ගේ කලබලය සමත් විය.“ඔබට ස්තූතියි කැළුම්“ කීමට  මට උවමනා විය.කලබල වීමට තරම් ප්‍රශ්ණයක් නැති බව කීමට මට උවමනා විය.ඒත් හඬ උගුර තුලම ගොළුවී ගියේය.මම යලි හිසට ඩෙස්කුව වාරු කළෙමි.යමෙකු පිටුපසින් සිට මා එසවූයේය.ඒ සමඟම සීතල වතුර පොදක් මුහු‍නේ තැවරිනි.ඒ සීතල මට දරා ගැනීමේ ශක්තිය ලබා දුන්නෙන් මම සිටියහ.

“ඔයාට දැන් කොහොමද මේනු“

“ඔයාට මොකද වුනේ මේනු“

මම දම්මිගේ දෑත මිරිකා ගතිමි.තවමත් පාර්සලය ඩෙස්කුව මතය.එය සිහිනයක් නොවේ.එය සිහිනයක් නොවේ.

“අනේ මේ ඇයි බබා... මට ඔයාට  උදව්වක් ‍ වෙන්න මොනවද කරන්න පුළුවන්“කැළුම්ගේ හඬ වේදනාවෙන් පිරී තිබිනි.

“බබා“ ඇයත් සමහර විට මට අමතා ඇත.“අනේ බබෝ“යි කියමින් ඈ ම‍ගේ සියළු නොදැනුවත් කම් ඉවසුවාය.
සුපුරුදු ඇමතුම උගුරේ ගුලිය දිය කරන්නට ඇත.අවසානයේ අවසානයේ අවසානයේ කඳුළු ආවේය.දම්මි මගේ මුහුණ සිය සිරුරට තද කර ගත්තාය.

“බය වෙන්න එපා මේනු..ඔයාගේ ඕන දේකට අපි ඉන්නවනේ“.ඈ මගේ කඳුළු පිසිමින් කීවාය.

ඒ වන විට මම සම්පූර්ණයෙන්ම පියවි සිහියට පත්ව  සිටියෙමි.මරණ දැන්වීම කැළුම්ගේ අතේ විය.එහෙත් ඔහු කිසිඳු ප්‍රශ්ණයක් නෑසුවේය.ඊට හේතුව ඔහු මට පැහැදිලි කලේ ඊට වසර ගනනාවකට පසුවය.“ඔයා මට ඒක කියන්න සුදුසු නම් කියාවි කියලා හිතුනා.ඔයාගේ දේවල් බලෙන් හාර අවුස්සන්න මට හිත දෙන්නෑ.“ ඒ වන විටත් ඔහු එසේම වී සිටියේය.ඔවු මිය යන තුරුම ඔහු එසේම වී සිටියේය.

“අපි ඔයාව ගෙදරට කරන්නම්“...

“මට යන්න පුළුවන්.දැන් ඔය දෙන්නටම පන්තිත් තියවනේ“


“පිස්සුද ළමයෝ අපි එනවමයි...“

ඒ වන විටත් තෝන්තු  ගතියෙන් සිටි මට ඔවුන්ගේ අවධානය ශක්තියක්ම විය.ඔවුහු මාව ගෙදරටම කළහ.සිරියා අක්කත් බණ්ඩා අයියත් හේනට යන්නට ඇත.එහෙයින් කෙළවරක් නැති සැලකිලි හා ප්‍රශ්න වලින් මිදීමට මට හැකි විය.

මම ඇඳේ දිග ඇදුනේ හිතේ වෙහෙස ගතටද දැනුන නිසාය.අනවසරයෙන්ම ඇඳ මත වාඩි වූ කැළුම් මගේ හිස මුදුව පිරිමදින්නට විය.

“මේනු ... ඔයා දුකින් නේද?ඔයා දන්නවද දුකට තියන හොඳම බේත් තමයි කාළයයි,කඳුළයි...ඇති තරම් අඬන්න.කඳුළුත් එක්ක දුකත් පිටවේවි...“ඔහු මගේ පිට අත ගාමින් මට දිරි දුන්නේය.එ සා ආදරණීයව මගේ සිරුරට අත තැබූ අනෙක් එකම තැනැත්තිය දැන් මියගොස්ය.සදාචාරයේ සීමා මායිම් හැඟීම් විසින් අමතක කරන ලදුව මම හඬාගෙනම ඔහුගේ උකුලට බර වීමි.

“ඇති තරම් අඬන්න මේනු..අද ඇස් වලින් අඬලා දුක තුනී කරගෙන හෙට හිනාවෙලා ඉස්කෝලෙට එන්න.මේ දරුවන්ට ඇති වෙන්න කඳුළු තියනවා.අපියි එයාලට හිනාව දෙන්න ඕන.“

“අනේ කැළුම්  ..... අනේ...“

“අඬන්න මීනු කමක් නෑ.....ඔහුගේ ග්‍රහණය දැඩි විය.ඔයාට මාව විශ්වාස නම් ඔයාගේ දුක සැප දෙකම බෙදා ගන්න සංසාරෙ පුරාවටම මම ඔයා ළඟින් ඉන්නවා...දැන් නිදාගන්න.

ඒ වදන් මගේ සිතට ගැඹුරින් දැනිනි.“මම ඔයාට ආදරෙයි..මම ඔයාට කැමතියි...අපි බඳිමුද?යන සුළභ වදන් වලින් ඔබ්බෙන් වූ හෘදයාංගම බවක් ඒවායේ විය.මා තනිවී නැතැයි යන හැඟීම මා සැහැල්ලු කළේය.
“හැම ජීවිතයක්ම තාවකාලිකයි...මැරුණු කෙනා  ගැන දුක් වෙන්න හේතුවක් නෑ.එයා කරපු කියපු දේවල් එක්ක බලද්දී එයා දුගතියට යන්න කිසිම හේතුවක් නෑ...ඔයාට ඒ ගැන හිතලා හරි සතුටු වෙන්න පුළුවන්....“මගේ හිස පැළඳි කොණ්ඩ කටුව ගලවා කොන්ඩය ලිහිල් කළේය.අනතුරුව හිස මුදුව පිරිමදින්නට විය.

මම දෑස් පියාගතිමි...අවදිව බලන කල කිසිවෙකු මා අසල නොවීය.පිළිකන්න දෙසින් නැගෙන සද්ද බද්ද ගේනට ගිය අයගේ නැවත පැමිනීම කියා පෑවේය.මම වහා නැගී සිටියෙමි.එතරම්ම රෑ වෙලාද?අඳුර යන්තමින් ගෙට එබිකම් කරමින් සිටියි.වහා නා ගත යුතුය.දැනටමත් ප්‍රමාද වැඩිය.තවත් ප්‍රමාද වුවහොත් වල් අලි පැමිනෙනු ඇත.

නින්ද මගේ දුක අඩු කළේය.නෑම මගේ සිත සැහැල්ලු කළේය.සිරියා අක්කගේ කහට කෝප්පය මා තැන්පත් කළේය.

මට නින්ද ගිය පසු මට සටහනක් තබා නිම්මිත් කැළුමුත් යන්නට ඇත.

“මේනු මගේ රත්තරං මම දන්නවා ඔයාගේ හිත.මට ඔයාව දැනෙනවා...ඔයාගේ දුක මටත් දුකක්..නොකා නොබී අඬ අඬ ඉන්න එපා....මම ඔයා නිදි අතරේ ඔයාගේ නලලට චූටි උම්මා එකක් දුන්නා... තරහා නෑ නේද?හැමදාටම ඔයාගේ දුක කඳුල සතුට හිනාව සේරම මගෙත් බව මතක තියා ගන්න.බුදු සරණයි....ී
යටින් නිම්මි තම ලොකු අකුරින් මෙසේ ලියා තිබිනි.

“ඇති යන්තම්  ..... ගුඩ් ලක්....“

ඇගේ මරණය විසින් මට වඩාත් සුන්දර වඩා අර්ථවත් ජීවිතයක් ඉතිරි කර තබා තිබිණි.

ගෙදරින් ගෙනා ඉටි පන්දමක් දල්වා ගත් මම පාර්සලය විවෘත කළෙමි.ඇගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ මට ඈ එවා තිබුනු ලක්ෂ ගනන් වටිනා ආභරණ වදයක් විය.එය යලිත් නොදකිනු වස් එය ඇඳුම් පෙට්ටිය පතුලේම නිධන් කළෙමි.යලිත් මා ඒවා දැක්කේ එක් වරක් පමණි.ඒ වන විට මගේ සදාදරණියයා ජීවිතයත් මරණයත් අතර සිටි බැවින් මට වැදගත් වූයේ එහි මූල්‍ය වටිනාකම පමණි.ඉන් පසු යලි කවරදාකවත් මා ඒවා දුටුවේ නැත.

නමක් නොකියා භාර දුන් පාර්සලය දිග හැරියේ කුතුහලය මැඩගතනොහැකිවමය.එය රෝල් කරන ලද කඩදාසි පොදියක් විය.එය මගේ පවුල හැර මා ජීවිතයෙන් ලද වටිනාම දෙය විය.කැළුම් හැර මා ජීවිතයේ ලද එකම ශක්තිය විය.ජීවිතයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් මැද කැළුම්ගේ මතකයත් මේ පොතත් මා ජීවිත් කළේය.

මම මහත් බැතියෙන් ඒ අකුරු සිප ගත්නෙමි.

“ආදරණීය බබෝ“

ආමන්ත්‍රණය එසේ විය.අතිශය සංවේදී විමට මානුෂික වීමට මට මගපෙන්වූයේ ඇගේ ඇසුරයි.නමුත් තව ඉදිරියට මට මඟ පෙන්වීමක් නැත.දයාව දැක්වීමට ,සෙනෙහස දීමට සමාව දී ,සමාව ඉල්ලා  ඉදිරියට යාමට යලිත් මඟ පෙන්වීමක් නැත.නමුත් මා වැරදි බව පසුවදාම මම වටහා ගතිමි.


4 කොටස මෙතනින්

මංමුලා සෙවනැලි- 2 කොටස

1 කොටස මෙතනින්

අරු‍ණෝදය නැගෙන විටම කාමරයේ දොර කවුළු විවර කිරීම මගේ පුරුද්දයි.සෑම දිනකම නැගෙන හිරුට මුහුණ ලා ඇති කවුළුව තුලින් දවසේ උපත බලා සිටීමෙන් මා ලබනුයේ වදනින් කියනු බැරි අපූර්වතම ආශ්වාදයකි.තුරු පත් අගින් බේරී බිමට වැටෙන පිණි දියර නිල් තණ පත් උරා ගනු ලබන,පිණි පලස මත ළා හිරු රැස් දඟ කරන ,ඈතින් ඇසෙනට සියොත් ගී රාවය පසුබිම් සංගීතය සපයන අරුණෝදයේ දෑසට දෙසවන ට පමණක්  නොව හදවතටද ස්පර්ශ වන යමක් ගැබ්ව ඇත. එහි සුවඳ මම කෑදර ලෙස උරා බොමි.එය නිශා යම මුළුල්ලේ මිහි මත රඟ දුන් සුරංඟනාවියන් අමතකව තබා ගිය සුවඳකි.දූෂිත නොවූ  වාතය පෙනහැලි තුලට රිංගන්නේ වෙහෙසකර දවසකට ඇවැසි ජවය ලබාදෙමිනි.
වැටෙන්නේ සුරලොවින් බට සුර සළු පටක් මෙන් තුනීවය. එය රාත්‍රියේ මනු ලොවට සපැමිණි සුර අඟනුන්ට කරන  සංඥාව එය යුතුය.
අතීතයෙන් ඇවැසි මෙවලම් රැගෙන  හරහා අනාගතයට යන ගමනේ පළමු පියවර තැබීමට මෙය විනා අන් සුදුසු අවස්ථාවක් නැත.
වැලඳ ගැනීමට තරම් සුන්දරද නොවන අතහැර දැමීමට තරම් නොවටිනාද නොවන දුක දැයි සතුටදැයි නිශ්චිතව බෙදා වෙන් කල නොහැකි,නමුත් උදාසීනත්වයෙන් සැලකීමට සිත ඉඩ නොදෙන ව්‍යාකූල අත්දැකීම් රැසක අපිළි‍වෙල මතක ගබඩාවක් මා සතුව ඇත.එයින්  ඔබට තබා මටවත් ඇති ප්‍ර යෝජනය කුමක්දැයි මම වරින් වර මගෙන්ම අසමි.ඊට පිළිතුරක් හෝ නිදහසට  කරුණක් ලෙස යමක් ගොඩනගා ගැනීමට මට තාමත් හැකි වී නැත.පමා වී හෝ මගේ මරණයට පෙර ඊට පිළිතුරු ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව තවමත් මා හැර ගොස් නැත.විවිධ හැඟීම් රැසක් නිරන්තරයෙන්ම මා පෙළයි.ඉන් ඉවත් වීමට මෙන්ම ඇලී ගැලී සිටීමට මට ඇවැසි නැත.නමුත් නිරතුරු කැකෑරෙන සිත සාධාරණයක් ඉටු කරන ලෙස මට නිරන්තරයෙන් අණකරයි.මා මගේ සිත නිදහස් කර ගත යුතුයි.මෙය ඔබට කීමෙන් මගේ සිත නිදහස් වේදැයි මම නොදනිමි.මෙහි පළමු පාඨකයා මගේ සුදු පුතා වනු ඇත.උරුම කරන්නට රිදී රුපියල් නොතිබුනු මුත්, ඔහුගේ පියා තමා සතු  රුව ගුණ පමණක් නොව සිය කළාකාමී හදවතත් තම දරුවා වෙත තබා ගොස් තිබුණි.මෙය ඊලඟට කිව යුත්තේ කාටදැයි ඔහු තීරණය කරනු ඇත.
මින් මගේ සිත නිදහස් වේදැයි මම නොදනිමි.ඇත්ත වශයෙන්ම සිතෙහි ඈ කෙරෙහි වූ හැඟීම් දින දින වෙනස් වන බැවිනි.සැබවින්ම මම ඈ ගැන කිසිත්ම නොදනිමි.මෙය ඇය ආභරනයක් වේද අවමානයක් වෙද යන්න මට තාමත් පැහැදිලි නැත.මේ සා කාළයකට පසුවත් සතර රියනක් තුල වළලාදැමීම නොහැකි වූ වරදකාරී හැඟීම තාමත් මට වදදේ. විවේචනය කිරීමෙන් හා ඇතැම් විට අනිඡ්ඡානුගව  ප්රතික්ෂේප කිරීමෙන් මා කල වරදට  මේ පාපොච්චාරනයෙන් සහනයක් සැලසෙනු ඇත.
කෙසේ හෝ වේවා ඇය හෝ ඇය බිහිකල සමාජය හෝ විනිශ්ශය කිරීම කල හැක්කක් නොවේ.ඒ හදවතේ බර මැනීම ද කල හැක්කක් නොවේ.
ඈ මගේ ජීවිතයට සුනාමියක් සේ හමා එය උඩු යටිකුරු කර දැම්මේය.මගේ හදවතේ මටත් අඳුරු අහු මුළු ගවේශනය කල ඈ මටත් හොරා නික්ම ගියාය.මිය ගිය පසු පවා ජීවිතයේ දුර්ගයන්හි සහ මං සන්ධි වලදී මතකයක්ව මට ආශිර්වාද ගෙනාවේය.
නොහැක්කෙමි.නමුත් මම ලියමි.ඈ ගැන ලියමි.මගේ කාර්යය එය යැයි උප විඥානය නිරන්තරයෙන්ම කියන බැවින් මම ලියමි.මා දන්නේද එපමණකි.



ඒ මගේ නව යෞවනයේ ආරම්භක අවදියි.සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව උසස්පෙළ හා රැකියාවක් අතර දෝලනය වෙමින් සිටි ගන්ධබ්භ අවධියෙහි මගේ එකම කාර්යය වූයේ තවත් ගන්ධබ්භයන් රැලක් පිරිවරා ඇවිදීමයි.එක් පංසලකින් තවත් පංසලකටත් එක් මූදු වෙරලකින් තවකකටත් සිනමාහල් වලටත් සමාජශාලා වලවත් අපේ දෙපා ඉබේම ඇදී ගියේය.සමාජ තරුව වැජබුන දෙමාපියන්ගේ නන්නත්තාරවූ දරුවන් වූ අපි පිල් විදහා රඟදෙන මොණරුන්ගේ නිරුවත් පශ්චාත්භාග මෙන් ඔවුන්ට  අවමානය ගෙනාවෙමු.දිවා රෑ නොබලා රැකියාවටත් ලොකුකම් ප්‍රදර්ශනයටත් ගෙවී ගිය ඔවුන්ගේ ජීවිතයේ අපට ඉඩක් නොවීය. ඉල්ලන මුදල්  නොමසුරුව ලබා දීම පමණක් දෙමාපියන්ගේ එකම  වගකීම බව ඔවුන්ට නිසැක විය.අපේ මඟ අපිම සොයාගත යුත්තෝ වෙමු.එබඳු අවස්ථා වලදී නිරන්තරයෙන් වන පරිද්දෙන් අපට මඟ වැරදිනි. ඒ බව වටහා දීමට කෙනෙකු අවැසි සමයේ අපට ඈ හමු විය.නොඑසේනම් නූල් කැඩී සුළඟේ පාවෙන සරුංගල් මෙන් අපත් ඛේදවාචකයන්ව අතීතයට එක් වනු ඇත.
මඟ දිගටම එකක් නෑර දන්සැල් වැන්ද අප බෙල්ලන්විල පංසලට ගොඩවූයේද  හුදෙක්  වි‍නෝදය සඳහාමය.

රිදුම් දෙන දෙපා වැලි මළුවේ සතපා, අප විකාර  විහිළු තහළු පමණක් නොව අවකැපෙන කථාද කියවමින් විනෝදවන්නට වීමු.මගේ මුදල් පසුම්බිය අමතකව එහි දමා ආවේ එදාය.සියල්ල ඇරඹුනේ එදාය.එතැනින්ය.
සැටියේ දිග ඇදී තාලයට සිවුරුහන් කරමින් හුන් මා උඩ ගියේ විදුලි සීනුවේ හඬිනි.මා වහා නැගී සිටියේ ඔහු පිලිගැනීමටයි.ඒ බාප්පාම විය යුතුය.මුළු මහත් ලෝකයෙන්ම මා ඇවැසි වූ එකම කෙනා ඔහු වීම නිසා මම ඔහුට ආදරය කළෙමි.ඔහු බලාපොරොත්තු වීමි.

නමුත් මෙහෙකරු කැඳවාගෙන අවේ අනෙකෙකි.මැදින් බෙදා පිට දිගේ මුදාහල දිගු කොන්ඩය,වටිනා සාරිය,චාම් අයිත්තම් ඇගේ අනන්‍යතාව විය.නිරන්තරයෙන් රූපවාහිනියෙන් දැක පුරුදු ඇය ඒ සිනාවෙන්ම අපේ දොරකඩ වූවාය.වීදි දරුවන්,ගණිකාවන් පුනරුත්තාපනය සහ ළමා මානසික සෞඛ්‍යය හා අපේ ගෙදර අතර ඇති සම්බන්ධය කුමක්දැයි මම නිහඬව කල්පනාකලෙමි.

“අම්මලා ගෙදර නෑනේ“ සංවාදයක් පවත්වාගෙන යාමේ මානසික වදයට පත් මම යන්තම්  කියා ගතිමි.

“මිස් මේඛලා“..........
..
“ආ... ඒ නං මම“

ඇය මට දිගුකල දේ මගේ නැති වූ මුදල් පසුම්බිය බව මුල් බැල්මෙන්ම මට තේරුම් ගියේය. මම වහා එය ඩැහැගතිමි.අනතුරුව කිව යුත්තේ කුමක්දැයි නොදැන අසහනයට පත්වීමි.නමුත් ඇය සිය ලගන්නා සිනාවෙන් හා කාරුණික ඇවතුම් පැවතුම් වලින් සියළු අපහසුතා පිස හැරියාය.ඇය සරල චාම් එකියක් වූවාය.මගේ ආත්මාර්ථකාමී කමට හාත්පසින්ම වෙනස් අයුරින් ඇය සියළු දෙනාගේම සතුට සැපත කෙරෙහි තැකීමක් කලාය.ඇගේ චින්තනය මගේ  සිතැඟි වලට ඉඳුරාම පරිබාහිර විය. නොනවත්වාම කථා කලාය.එතරම් දක්ෂ කථිකයෙකු මට ජීවිතයටම හමුනොවීය.ආයාසයකින් තොරව හදවතින්ම පැන නැගුනු වචන අවිවාදයෙන්ම මම ගිල දැමීමි.ඒවා මගේ ජීවිතයට සමීපදේ නොවුනත් තුල වූ ගුප්ත සත්යට මම ඇදී ගියෙමි.අවසානයේ ඇය නැගී සිටින විට මටත් එබඳු කෙනෙකු වීමට උවමනා විය.යමෙකුගේ කඳුල සියතින් පිස දමා ඔහුට සිනාවක් දීමට,යමෙකුගේ බරගේ උර මත තබාගෙන ඔහුට මඳ සැහැල්ලුවක් දීමට මට ඇවැසි විය.අවසානයේ නිවාඩු දින වල පමණක් ඇය සමඟ ගත කිරීමට මම එකඟ කර ගතිමි.එබඳු ජනප්රිය පුද්ගලයෙකු සමඟ ඇසුර වරදක් ලෙස දෙමාපියන් දුටුවේ නැත.“නීලමනී මැඩම් මෙයාගේ හොඳම යාලුවා වෙලානේඔවුන් උදම් ඇනූහ.මාස කිහිපයක් ගතවූයේ මගේ සමීපතමයා බවට පත් කරමිනි.මගේ දෙමාපියන් මා මෙලොවට බිහිකලා පමණි.මා හැදූ වැඩූ කෙනෙකු ලෙස මගේ මතකයේ රැඳී සිටින්නී . මගේ අම්මාටත් වඩා මට වටිනා අම්මා කෙනෙකු වූවාය.මට මඟ පෙන්වූවාය.මට වටිනාකම් ඉගැන්වුවාය.කොටින්ම දැන් මා ගත කරන ජීවිතයෙහි අඩිතාලම දමා දුන්නීය. නොවන්නට , මුණනොගැසෙන්නට මගේ ජීවිතය ජීවිතයක් නොවීමට ඉඩ තිබිනි.

මගේ සහජ නර්තන  හැකියාව මෙහිදී වැඩි කාර්යයක් ඉටු ළේය.වීදි දරුවන් තුලින් මා දුටුවේ ආදරයෙන් හාමත්ව ගිය මගේම බිලිඳු වියයි.මගේ නර්ථනයෙන් හා ගායනයෙන් ඔවුන් අටවාගෙන තිබූ අදෘශ්‍යමාන කබොල්ල බිඳ හැරිය හැකි විය.ඉන්  පසු ඔවුන් පහසුවෙන් විශ්වාසයෙන් අප හා දොඩමළු වූහ.තම  තමන්ගේ වේදනා ගැටලු වදන් වලට පෙ ලූහ.ලපටි සිත් වල විෂ බිඳෙන් බිඳ පහව යන විට ඔවුන් යලිත් ළමයින් බවට පත් වන අයුරු අපට දැකිය හැකි විය.එය මට නවමු අත්දැකීමක් විය.යමෙකුගේ කඳුලක් පිස සිනාවක් දීම කෙතරම් සුන්දර අත්දැකීමක් දැයි මා උගත්තේ එහිදීය.මම එය හදවතින්ම ප්‍රිය කලෙමි.

නමුත් වීදි ළඳුන්  එසේ නොවීය.මම ඔවුන් අප්‍රිය කළෙමි.මගේ දැක්මට  අනුව ඔවුන් දූෂිත නැහැදුන පිරිසකි.අන් අයගේ සතුට නැතිකරමින් ජරා ලෙඩද බෝකරති. ඔවුන් සමඟ මගේ කිසිඳු සම්බන්ධයක් නැත.ඔවුන් අපායටම ගියාවේ.මගේ කීම් වලට ඈ ප්‍රතිචාර දැක්වූයේ සිනාවකිනි.“ඔයා ඒක පස්සේ තේරුම් ගනියි.“


මමද සිනාසුනෙමි.

“ඒකේ වෙනසක් නෑ.උන් මහ වල් සත්තු.උන් මකබෑවුන දවසට තමයි මේ ලෝකෙට සෙතක් වෙන්නේ.  “
“මතුපිටින්  පේන දේවල් වලින් විතරක් ලෝකය මනින්න එපා පුතේ.ජීවිතය කියන්නේ සීමා මායිම් වලට කොටු කරලා ,මතු පිටින් අතගාලා බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඒත් උන්..............

“දන්නැති දේවල් ගැන කථා නොකර ඉන්න.ඒ මිනිස්සුත් මිනිස්සු.ඔයා ඒක තේරුම් ගන්න.“

මා නොදැන සිටි සත්‍ය  මා දැන ගන්නා විට ඈ මේ ලෝකයේ නොවීය.මම ඈ විශ්වාස කරන විට ඒ බව පැවසීමට ,ඇගෙන් සමාව ඉල්ලීමට ඉඩ නොතබාම ඈ සමුගෙන ඇත
.
දැන් මම විශ්වාස කරමි.සෑම ගණිකාවක් තුලම පතිනි වරම් පතන ,ගෙදර බුදුන් වීමට පාරමී පුරන ගැහැණියක්  සිටින බව මම දැන් නම් විශ්වාස කරමි.

සුවිසල් මැදුරකින් පරිත්‍යාගශීලී දෑතකින් සහ සුන්දර සිනාවකින් ආවරණය කරගත් ස්ත්‍රීත්වයේ ඡායාවක් ඇය මට පිදූ සෙනෙහස තුල ගැබ්ව තිබූ බව මවක බිරිඳකගේ හදින් දැන් මට පසක් වන හෙයිනි.

කාලයා මේ සියල්ලටම වගකිව යුතුය.මම පාසලට ආයුබෝවන් කීවේ සියල්ලෝම මවිතයට පත් කරමිනි. අසමත් ලැයිස්තුවේ වූ මා විද්‍යාපීඨ වරම් ලදිමි.බාප්පාගේ ආදරය බොර දියේ මාළු බෑමක් බව වීදි දරුවන් මා වෙත ගෙන එන කථා මට අවබෝධ වූ බැවින් ඔවුන් ලද ඉරණමෙන්  ගැලවීමට තරම් මම වාසනාවන්ත වීමි.මවුපියන්ගේ රැකවරණයේ තරම වටහාගත් ඈ මා දැනුවත් කළේ මා ලැජ්ජාවෙන් මිරිකෙන අයුරින් වදන් හසුරමිනි.එමඟින් ඈ තමා ලද අවාසනාවන්ත ඉරණමෙන් මා මුදා ගත්තාය.කාශ්ටක හදවත් ඇති කොළොම්පුරවර අතහැර මම සීත බණ්ඩාරවෙලට පියමැන්නෙමි.ඌව විද්‍යාපීඨය තුලින් මම යලි උපන්නෙමි.ජීවිතය විභාග බවට පරිවර්ථනය වීමෙන් අතීත මතක බොඳවී යන අතර හුවමාරු වූ ලිපි ක්‍රම ක්‍රමයෙන් කෙටි වී ගොස් අවසානයේ මුළු මනින්ම නතර විය.ඒ මතකයන් මත තවත් මතකයන් තැන්පත් වීමෙන් අවසානයේ සහමුලින්ම මට ඈ අමතක විය.ජීවිතය නොනැවතී වේගවත්ව ඉදිරියට ගලාගියේය.
නමුන් ඒ මේ මොහොත වන තුරු පමණි.




...........................................................................................................................................................
3 කොටස මෙතනින්