Friday, June 23, 2017

මගේ රත්තරං පුතාට

මගේ රත්තරං පුතාට,

මගේ පුතේ දසමාසයක්  මැණිකක් වගේ කුසේ හංඟන් ඉඳල උඹව මේ ලෝකෙට ගෙනාපු අම්ම මම නොවුනට ඒ අම්ම තරංම මමත් උඹට අම්ම කෙනෙක් වෙන්නයි උත්සහා කලේ.

උඹව උකුලේ හොවාගෙන හුරතල් කලේ නැති වුනාට නිදි බිඳින පුංචි කැලෑ මලක් වගේ දවසින් දවස උඹ පෙති දෙපෙති විහිදන කොට මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු උන කීපදෙනාගෙන් මමත් කෙනෙක්.
අකුරෙන් අකුර ගැටගහල උඹේ ලෝකෙ ගොඩ නගන්න මමත් ගඩොලින් ගඩොල බැන්ද.
මං හම්බකරන් කන්න නෙවෙයි ලෝකයේම හෙට දවස ගොඩ නගන්නයි මේ රස්සාව කරන්නෙ කියලයි මං අදටත් විස්වාස කරන්නෙ.

පුංචි පුංචි තරවටු නපුරුකම් කලේ තරහට නෙමෙයි.උඹල වැරැද්දෙන් වලක්වල යහපතේ යොදවන එක අපේ රාජකාරීයේම කොටසක් වුන හංදයි.

උඹල මේ ලෝකෙට බිහිවෙල ඉන්නෙ ලෝකෙ හෙට දවස ගොඩ නගන්නයි.

එහෙව් උඹලගෙ අද දවස ගොඩනගන්න කියල අපිට පත්වීම් ලිපියකුයි පඩියකුයි දීල මයි අපි ලඟට උඹලව එවල තියෙන්නෙ.

උඹල නොහිතුවට අපි කරන්නෙ අපේ රාජකාරීය.

රත්තරං පුතේ,

උඹ ගෙදරවැඩ නොකරනකොට සැර වැර කලේ උඹ ගැන අහිතකින් නම් නෙමෙයි.ජීවිතයේ තමන්ට පැවරෙන කොටස ඉටුකලයුතු බව උඹලට අවබෝධ කරවන්නයි.හොර ලෙඩ බොරු හේතු ඉදිරිපත් කරද්දි සමාවක් නොදුන්නේ එහෙම උනොත් උඹල ජීවිතයේ යුතුකම් කොටස පැහැර හැරල නිදහසට කරුනු කියන කොන්දක් නැති මිනිහෙක් විදිහට වැඩෙයි කියල තියන බයට.

උඹල හරි ආසයි කැපී පෙනෙන්න.හිප් එකට ඇඳපු මේස් දෙක පේන දිග කලිසමෙන්.හැට්ටයක් තරමටම හිර සුදු කමිසයෙන් කමිසෙට යටින් දාපු ලොකු සුදු යකඩ දම්වැලකින්  ,යාන්තමට හැඩ වැඩ දාපු රැවුලකින්,ගලවපු ඇහි බැමකින් විශේෂ විදියකට කපල පීරපු කොන්ඩෙකින් උඹ ල අනිත් අයගෙන් ඉස්මතු වෙන්න උත්සහ කරපු හැම වෙලාවකදිම උඹලට අපෙන් තෙතමනයක් ලැබුන් නෑ.

නිකමට හිතල බලපං පුතේ අපේ සර් කෙනෙක් කොන්ඩෙ වවල කරාඹු දාල ඉස්කෝලෙ ආව කියල,බැංකු මැනේජර් මැඩම් නයිටිය පිටින් වැඩට ගියා කියල,එහෙම නැත්තං උඹ මගුල්ගෙදරකට අඳින වෛවර්ණ ඇඳුමකින් මලගෙදරකට ගියා  කියල...මිනිස්සු ඒ වෙලාවෙ බලන විදිය උඹට හිතා ගන්න පුළුවන් නේද?


හෙට ලෝකෙ ගුරුවරු බැංකු මැනේජර්ලා වෛද්‍යවරු විදියට වැඩ බාරගන්න ඉන්නෙ උඹලයි.එදාට උඹල නුසුදුසු ඇඳුමකින් ගියොත් එතනදි උඹල කොච්චර අසරණ වෙයිද?.අද ඉඳලම අපි උඹලව හැඩ ගස්සන්නෙ  ඒවගේ නරක දවසක් උඹලගෙ ජීවිතේට උදානොවන්නයි.හෙට උඹල යන තැනක සංස්කෘතියට නම්‍යශීලි වන පුරවැසියෙක් ගොඩ නගන්නයි.

නැත්තං අරන් දෙන්නෙ උඹලගෙම අම්ම අප්ප නං අඳින්නෙ උඹල නං උඹලගෙ ඇඳුං ගැන වද වෙන්න අපිට ඇති රුදාව මොකක්ද කියලනෙ උඹල හිතන්නෙ.

අපේ අධ්‍යාපන ක්‍රමයෙ විභාග ක්‍රමයෙ කෙලවරක් නැති වැරදි තියන බව උඹ වගේම මමත් දන්නව.ඒත් මේ පවතින අධ්‍යාපනයෙන් සියල්ල  ගොඩ නොනැගුනත් එ ඔස්සේ ඉහලටම යන එක ජීවිතය ගොඩ යන්න ඇති ෂෝට් කට් එකක් විදියට මම තාමත් විස්වාස කරනව.

වෙනස් වෙනස් විදියෙ උඹල එකම පංතිකාමරයක ඔබල එකම දෙයක් එකම ක්‍රමයට ගිල්ලවන්න හදන එක කොයිතරම් අසාර්ථකද කියල මටත් වෙලාවකට හිතෙනව.


ඒ නිසාමයි විෂය කරුණු අමතක වෙලා සිදුවන ලකුනු අඩුවීම් වලට මං යක්ෂ වර්ෂන් එකක් රඟ දක්වන්නෙ නැත්තෙ.

ගනන් හදන්න බැරි උඹට ලස්සනට සිංදු කියන්නත්,හරියට උක්ත ආක්‍යාතය ගලපල සිංහල රචනාවක් ලියාගන්න බැරි උඹ ක්‍රිඩා වලට දක්ස බවත් මං දැකල තියනව.උඹලගෙ ජීවිතේ තරංම වටින අවස්තා අරං ජීවිතේ උඹ එනකල් මග බලං ඉන්නව.ඒව පාදගන්න උඹලට උදව් කරන එකත් අපේ වගකීමේ කොටසක්.

උඹල කියනව ක්‍රීඩා තරඟ වලට යන්න උන හංද දුන්න ගෙදර වැඩ කරන්න බැරි වුන බව.මම උඹලට කිසිම බුරුලක් දෙන්නෙ නෑ ඒ වෙලාවට.දවසක උඹ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් බිරිඳක් සැමියෙක් වේවි.ජීවත් වෙන්න රැකියාවක් කරන්න වේවි.උඹට ඒ භූමිකා දෙකම රඟ දක්වන්න ඇවැසි පන්නරය දෙන්නයි මේ මගේ උත්සාහය.නැත්තං උඹ ගෙදර වැඩත් රැකියාවේ වැඩත් අතර අසරණ වෙලා දෙකෙන් එකක් අතඅරීවි. එදාට ඒ දේ නොවෙන්නයි පුතේ අද අපි උඹව සූදානම් කරන්නෙ.

උඹලට පුටු පද්දන්න එපා උගන්නන වෙලාවෙදි පෑන් වලින් ඩෙස්වලට ගහන්න එපා කියන්නෙ  උඹ දවසක ලොකු තානාන්තරයක් දරනකොට එදාට මූන දෙන්න වන රැස්වීම් සාකාඡ්චා වලදි නියම මනුශ්‍යයකු වගේ හැසිරිය යුතු හංද.අනුන් කියන දේට සවන් දෙන්න වගේම උඹලගෙ අදහස් නිර්භයව එලිදක්වන්න සුදුසු වටපිටාවක් සකසමින් අපි කරන්නෙ උඹලගෙ ඒ අනාගත දවසට උඹලව සූදානම් කිරීමම තමයි.

මේ උඹලගෙ හෝමෝන විපර්‍ යාස සිද්ද වෙන කාලෙ.ප්‍රජනනයට දැන් උඹලගෙ ශරීර හැඩගැහිල ඉවරයි.ඒත් නැවතල චුට්ටක් හිතපං.උඹලට ඒ සඳහා මානසික සාමාජීය වටපිටාවක් ගොඩනැගිලද කියල.උඹලගෙ හැඟීම් මුදාහැරීමේ ප්‍රතිඵලයක් විදියට මේ ලෝකයට එන අළුත් ජීවියා ලෝකෙට බරක් නොකර හදා වඩා ගැනීමේ හැකියාව උඹට තියනවද?තණ බිස්සේ ලැගුම්හලේ උඹේ ලැජ්ජාවේ සළුපට උනා දමන්න කලින් එක මොහොතක් නැවතිල කල්පනා කරපං

.අද මේ මොහොතේ විඳීම මුළු ජීවිත කාලය මුළුල්ලේම විඳවීමට හේතුවක් වෙයිද කියල.උඹෙන් රොං ගත්ත බඹරා පියඹා නොගිහින් උඹ තුරුලෙම ඉඳීවිද කියල.

හිතපං ලිංගික අවශ්‍යතාව මේ ලෝකයේ බිහිවුන හැම ජීවියෙකුටම ඇතිවෙනව.ඒත් උඹලට මොලයකුත් දීල තියෙනවනෙ. හදවතින් හිතල මොලයෙන් කල්පනා කරල කටින් හරිදේ කියල අතින් හරිදේ කරන්නයි අඟලෙන් අඟල අපි උඹලව මෙහෙයවන්නෙ

ලෝකය හරිම අවස්ථාවාදීයි.තව කෙනෙක්ගෙ කඳුලක උණුසුම දැනෙන්න තරං සංවේදී වෙන්න තරං වෙලාවක් ලෝකයාට නෑ.සිල්ලර කාසි වගේ මිනිස්සු උඹලගෙන් ප්‍ර යෝජන ගන්න හදන්නේ හඞක් නගල තමං වෙනුවෙන් නැගිටින්න තරං ශක්තියක් නැති උඹලට කරන අසාධාරණයක් කරලියට එන්නැතුව වලක්කගන්න පුළුවං හංද.

මගේ රත්තරං පුතේ..මේ විෂම සමාජයේ උඹල පහසු ගොදුරු.ඒකයි උඹල යන එන තැං ආශ්‍රය කරන මිනිස්සු ගැන හොය හොයා උඹලගෙ පෞද්ගලික ජීවිතය අපි සැරෙන් සැරේ ආක්‍රමණය කරන්නෙ.
මත් පැං උඹලගෙ ජීවිතය කුණු කාණුවක් කරන්ඩ තරං හයියක් තියන හතුරෙක්.ඒවගේ දේ වලිං උඹලගෙ සිහිය විකල් වෙලා ආත්මය ගරා වැටිලා යනවා.ලෝකය ඉදිරියේ උඹව පිලිලයක් ලෙස මවා පානවා.

උඹල උඹලගෙ ජීවිතය විනාශ කර ගන්නව කියන්නෙ ඒත් එක්කම උඹල ලෝකයේ අනාගතයත් විනාශ කරන ව කියන එකයි.ඒවගේ බරපතල අපරාධයක් උඹලගෙ හෘද සාක්ෂියට බර වැඩියි නේද.උඹගෙ බෑග් සාක්කු වල තියන දුංකල සිගරැට්,බාබුල් අත්අඩංගුවට ගන්නෙ අපේ හිතේ උඹල වෙනුවෙන් ගොඩ ගැහිල තියන අසීමිත ආදරේ හංදමයි.

උඹල හරි ආවේගශීලියි.ඒ උඹලගෙ වයසෙ හැටි.ඒත් ඇයි උඹල මේතරම් ලේසියෙන් පරාජය බාරගන්නෙ.අම්ම බැන්නාම ටීචර් දොස් කීවාම,කොල්ල දාල ගියාම ඒක ලෝක විනාශය වගේ ඇයි උඹලට දැනෙන්නෙ.ඇයි අනුන්ගෙ පුංචි රිදවීමකට උඹලගෙ ජීවිතෙන්ම පළි ගන්නෙ.

මගේ පුතේ ඒක නෙවි හරි ක්‍රමය.උඹට කවුරු හරි මෝඩයා කිව්වනං උඹ ඔප්පු කරපං උඹ මොඩයෙක් නොවන වග.එතකොට එහෙම කිව එකාට හුඟාක් රිදෙයි.උඹ ඒ වචනෙට උඹේ ජීවිතෙන්ම පලි ගත්තනං උඹ මෝඩයෙක් බව එතැනින්ම ඔප්පු වෙනවා.එතකොට ඔයා කියයි “ඕකනෙ මං කීවෙ“ කියල.

ලෝකයේ සියල්ල හිමි වුන කවුරුවත් නෑ.කෙනෙකුට දූවිලි වගේ වටින්නැති දේ තවත් කෙනෙකුට මුතු මැණික් වගේ.ඉතින් සේරම ලඟා කර ගන්න උත්සහා ගන්න එපා.තියන දේවල් වලින් අද දවසේ සතුටින් ජීවත් වෙන්න.හෙටට ඕන කරන දේවල් ඒ සතුටට ආකර්ෂනය වෙලා නිකංම ඔයා ළඟට ගලාගෙන ඒවි.

හොඳටම තරඟ කලත් පලවෙනි තැන නැති වෙලා,ආසාවෙන් බලාපොරොත්තු වුන ශිෂ්‍ය නායක කම නැති වෙලා සමහරු කියයි ඒක අසාධාරන විනිශ්චයක් කියල.ලෝකෙ හැමවිටම ඔයාට සාධාරණ වෙන්නෙ නෑ.ඒ බව මේ පුංචි වයසෙදිම අත්දැකගම  දැනුවත් වුන ඔයාව වට්ටන එක කාටවත් ලේසි වෙන එකක් 
නෑ.අසාධාරණයට ලක් වුන ලෝකෙ පළමු කෙනා ඔයා නෙවි.මාටිං ලුතර් කිං ,සොක්‍රටීස් වගේ අයට ලෝකෙ අසාධාරණ කම් වලින් තමන්ගෙ ජීවිතේ පවා අහිමි වුනා.ඔයාට එච්චර හානියක් වුනේ නෑ නේද?සමහර විට ඒ අවස්ථාව නැති වුනේ ඊට වඩා දාස් ගුණයක් වටින අවස්ථාවක් ඔයාට ලැබෙන්න තියන නිසාද වෙන්න ඇති.ඔයාලම නේද පුතේ කියන්නෙ“ ඊ ලඟ කෑල්ල වඩා රසවත්“ කියල

ඉතිං මගේ රත්තරං පුතේ ජීවිතේ ඇහිඳ ගනින්.තමන්ගේම දෙපයින් හිටගෙන හිස කෙලිං තියාගෙන ජීවත් වෙයං.ලෝකයට උඹ බිහිකිරීමට හේතු වුන උඹේ වගකීම් කොටස හොයාගෙන ඒක ඉටුකරපං.අති දක්ෂයකු ලෙස ජීවත් වෙන්ඩ කියල අපි උඹට කියන්නෑ.නමුත් හැබෑ මනුශ්‍යයකු ලෙස මරණය දක්වාම ඉඳපන්.අති දක්ෂ යක්ෂ යක්සයෙකුට වඩා අදක්ෂ මනුශයෙක් ලෝකයට වටිනව.මොකද අඩුගානේ ඒ මනුස්සයගෙන් ලෝකෙට අවැඩක් වෙන එකවත් වලකිනවනෙ.

අපි දුප්පත්,පංති යන්ඩ සල්ලි නෑ..අම්ම අපිව දාල ගිහින්..අරයට වගේ ලස්සන ගවුමක් නෑ...වගේ නිදහසට කරුනු කියවන්න  කලින පොඩ්ඩක් නැවතිලා වට පිට බලපං.උඹට තරං වත් මුකුත් නැති කීදාහක් මිහිපිට ඉන්නවද?


දුකේ ඇලී ගැලී නොසිට ඒ දුකෙන් පන්නරය ලබපං.ලෝකෙට හඳ වගේ එළිය දෙන්න බැරිනං ඉටිපංදන් එලියක් වත් දියං.

මගේ පුතාට බුදු සරණයි

මේ පුතාට ගොඩක් ආදරේ ඔයාගේ ටීචර්

 (ඡායාරෑප අන්තර්ජාලයෙනි)

Thursday, June 8, 2017

රෝසා දෝණි දිසානායක


දෝණි අපේ ගෙදර ගෙනාවේ ත්‍රීවිලයෙනි.දවසින් බාගයක්ම වාහනවල කොටු වී හිඳ හාමතේ  හොඳ පණ ගිය දෝණි මා වඩා ගන්නා විට යන්තම් අප්‍රාණිකව උදාසීන දෑසින් එක් වරක් මා දෙස බැළුවාය.ඒ බැල්මේ සිටම මා ඇයට අසීමිතව පෙම්බඳින්නට වීමි.


දෝනී අපේ ගෙදරට ගේන්නට හේතුවක් වූයේ ටෙඩීය.තම කොල්ලාට ගිරවෙකු ගේන්ඩ ගිය මස්සිනා එතැන වැඩ දමමින් උන් පොඩි එකෙකුට වහ වැටී වහා තෙසක් රියෙන් ගෙදරට ඉගිල ගියේ පොඩි එකා ගෙදර ඒමට සිතාගෙනමයි.විසිදහසක් ගෙවා මෙබන්දක් කිරීම කිරීම විකාරයක්සේ බුද්දිමත්ව සිතූ නෑනාද ඒ සුරතලේ වීඩියෝවකින් දැක  ඊට එක පයින් අනුමැතිය දුන්නාලු.



දීග ආ දවසේ ඉඳන්ම මෙබදු පොඩි එකෙකු ඉල්ලා සුද්දාව කොනිති ගහමින් උන් මට මෙය අඞන්න උන් එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය.

අන්තිමේ කනක් ඇහී සැනසිල්ලේ ගෙදර ඉන්ට නොහැකිව හෙම්බත් වුන සුද්දා මණ්ඩලය රැස්කොට තමාට සිදුව ඇති උවදුර ගැන පිරිස දැනුවත් කලේය.වහා උපකාරයට එළඹුන මිතුරු නඩයේ පිරිසගේ ඒකමතික තීරණය වූයේ යම් දිනක යුවතියක වූ පසු ටෙඩීට කරකාර බැඳ දිය හැකි වන පරිදි දැරියක් ගෙන ආ යුතු බවයි.
රට වටේට කෝල් කර වට රවුම් ගැසීමෙන් පසු ටක්කෙටම ලැබුන ඔත්තුවක් අනුව මීට අවුරුද්දකට කලින් දෝණී අප වෙත ආවාය.

එතැන් සිට අපගේ නීරස ඒකාකාරී ජීවිතයේ කේන්ද්‍රය වූයේ ඇයයි.කළු පබළු වැනි දීප්තිමත් දෑසින් ඇය නිතරම අප දෙස බැළුවේ ප්‍රිතියෙන් ඉපිලෙමිනි.අප ඇයට ආදරේ තරමටම ඇයත් අපට ආදරේ බව නිහඞව කීවේ සිය වෙල්වට් වැනි මුදු නාසය සීතලට අපේ සරිරයේ කොහේ හෝ තැනක අතුල්ලමිනි.

තණකොල ගොල්ලේ බිම පෙරලීම ඇගේ ප්‍රියතම විනෝදංශය විය.වැඩි පරිස්සමට තාමත් ළදරු ඇය කාමරයක තබා දොරට ගේට්ටුවක් දැම්මෙමු.කාගේ හෝ අඩි සද්දයක් දුරින් ඇහෙද්දි ඒ ගේට්ටුව මත කකුල් තබා තමා එලියට ගන්නැයි කියන ආයාචනාත්මක දෑසට පිටුපෑමට තරං ගල් හිතක් අපි කාටවත් නැති හෙයින් සේරම වැඩ අස්සේ ගෙදර එක් සාමාජිකයෙකුට ඇගේ පරිස්සමට හැමවෙලේම ඈ පසු පස යාමට සිදු විය.

ඇයට නම තැබීම පණ ගිය වැඩක් විය.නම් පනහක් පමණ සලකා බලා ඒවායේ ගන පිහිටීම සුදුසු නැතැයි ඉවත දැමූ මා හිතුවක්කාර ලෙස ඇය දෝණී ලෙස නම් කලෙමි.

එය බල්ලෙකුට උචිත නැතැයි කියමින් මණ්ඩලේම කචල් දාන කල “මගේ බල්ලට මට ඕන නමක් කියාගන්ඩවත් අයිතියක් නැද්දැයි“මම උදාරම් ලෙස සුද්දාගෙන් හා නැන්දම්මාගෙන් ඇසීමි.නිකාකාකාං බලු නමකටත් වලි දාගන්නේ මොටදැයි සිතා ඔවුන් නිහඞ වන්නට ඇත.

දෝනී හදා ගත්තේ මිලාධික ලෙඩ රෝගය.ගොඩ වෙදකම් වලින් එවුවාගෙන් ගොඩ යනවා නං බොරුය.අනෙක ලෙඩ දරුවාගේ ජීවිතය ඔට්ටුවට තබා සූදු කෙලීම සුද්දාටත් මටත් ඉහිළුම් දෙන්නේ ද නැත.
වෛද්‍යවරයා ළඟට දෝණි රැගෙන යනවා නම් අඩුගානේ කහ පාට ඉලක්කං හතරක කොලයක්වත් සාක්කුවේ දාගෙන යා යුතු බව අමිහිරි පාඩම් වාර දෙක තුනකින් අපි ඉගෙන ගත්තෙමු.

ඉස්සරලාම දෝණි වෛද්‍ය වරිය ළඟට ගෙන ගියදා මගේ හිතේ ටැටූ එකක් මෙන් සටහන් වී ඇත.ලා නිල්පාට සාළුවෙන් ඔතා හුන් ඇය අගේට මට තුරුල්ව නින්දට වැටුනේ තව විනාඩි කීපයකින් තම හම සිදුරුකරනු ඇති සිලිංජර ගැන හාංකවිස්සියක්වත් නොදැනය


නම මොකක්ද ?වෛද්‍ය වරියගේ පළමු පැනයයි

“දොණී“ කිවහොත් මා අංගොඩ පටවනු ඇත.මං වටපිට බැලීමි.මස්සිනාවත් සුද්දාවත් අහල පහලක නැත
කටට ආ පළමු නමම කීවෙමි “රෝසා“සායන පොතේ ලියවී ඇත්තේ ඒ නමයි

අපි හිතුවෙ දෝණි කියයි කියල.විලි ලැජ්ජාවෙ පුළුවනෑ.ඒකයි අපි මාරුවෙලා ගියේ...ඔවුන් එහෙනං උපක්‍රමශීලීව පසු බැසීමට හේතුව ඒකයි හිටං

“එයාම දැන් පිලිගත්තනෙ බං එයා තියල තියෙන්න ප්‍රසිද්දියෙ කියා ගන්ඩ බැරි නමක් කියල“අයියාත් මල්ලීත් දිගටම මට මඩ ගසමින් ආහ.

මේ විස්තරය ඇසූ නැන්දම්මා හොඳටම හිනාවුන අතර අයියාගේ දොණියැන්දෑ මේ කෙල්ලව“රෝසා දෝණි දිසානායක “ලෙස බෞතීස්ම කලාය.“දිසානායක යනු සුද්දාගේ වාසගමය

ඇයට ඇත්තේ හරි අපූරු ගති ගුනය.ආදරයට හීනියට විකීමේ පුරුද්දක් කුඩා කල ඇයට විය.පං කටු වැනි පුංචි දත් අපට තරු පෙන්නීමට සමත් වූ නිසා අප කලේ ඇය ආදරය දක්වමින් අප වෙත දිව එන ඇසිල්ලේම අහල පහග ඇති ලී කෑල්ලක් රබර් සතෙක් නැත්තං කෝට්ටක් හෝ ඇගේ කටට දීමය.එය භයානක වරදවා වටහා ගැනීමක මූලාරම්භය විය.අදද අප වැඩ ඇරී ගෙදර එන විට අප හමුවට ඇය දිව එන්නේ මගින් අහුලා ගත් මොකක් හෝ දත් අතර හිරකරගෙනය.

දින දෙක තුනක් පිටට ගොස් හිඳ අප එද්දී වැඩි සතුටට එය අමතක වුවත් අපේ ලඟට ඒමට පෙර වහා ආපහු ගොස් බිම වැටුනු කොලයක් හෝ කටට ගෙන යලි දිවඒම දැන් ඇගේ සිරිතයි

වතුර බේසමට ඇය දැක්වූයේ අසීමිත ආදරයකි.මම රෙදි පෙඟෙන්නට දමන ලද ලොකු බේසමේ යකා නටා අහුවූ දිනක මං හොඳටම බැන වැදුන අතර පසුදා රෙදි හෝදද්දී දුක්මුසුව ඒ දෙස බලා හුන්නාය.ගල්හිත දියව ගිය මං රෙදි හෝදා අහවර කර ඉතිරි වතුරට ඇය ඔසවා දැමීමි.ප්‍රීතියෙන් පිනා ගිය ඈ වතුර කලත්තමින් දඟ දමන්නට වූවාය.අද බේසමට වඩා විසාලව වැඩී ඇති ඇයට හැක්කේ බේසම තුල සතර පයෙන් හිටගෙන ඉන්ට පමණි.අදත් මා සෙනසුරාදා රෙදි සෝදද්දී අපේක්ෂා සහගත දෑසින් එතනටම වී ඉන්නේ ඉතිරිවන වතුරේ නැටීමටයි.ආයාචනාත්මකව ටැප් එක දෙස බලා මා ලවා එය ඇර ගන්නා දෝණි තෘප්තිමත් කට කොන් සිනාවක් පාමින් බේසම තුල හිටගෙන දෑස පියාගෙන ඇතිවන තුරුම හිඳියි.

ඕනෑම දරැවෙකුට සේ ඇයට කෑම කැවීම තරමක් දුෂ්කර ක්‍රියාවකි.ඇතැම් විට කන්නේම නැත.එදා එක්කෝ අපි ඇයට බැන වැදී ඇත.නැත්තං ඇයට නොකියා කොහේ හෝ ගොස් ඇත.ඒත් නැත්තං අසනීපයකිනි.නමුත් හොඳින් අනා ගුලිකොට කටේ තබන හාබුං කට වලින් දෙක තුනක් හෝ ඇය ගිලින්නේ මගේ හිත රිද්දීමට බියෙන් මෙනි.

ඇයට බෙහෙත් පෙවීම සංග්‍රමයකි.මුලින්ම සුද්දා ඇගේ සිරුර දෙපස කකුල් දමා කකුලෙන් ඈ හිරකරගෙන වෙර දමා ඇගේ කට විවර කරවයි.මම වහ වහා බේත් කටට දමන අතර ඒවා ගිලීමට ප්‍රමානවත් කාලයක් හිමිවන තුරු කට උඩට හරවං ඉන්ට සිදුවේ.ඒත් කපටිකමට අප අහකබලං ඉන්න කං ඉඳ උගුරේ නවත්තාගත් පෙත්තක්  දෙකක් යලිත් එලියට දමයි.

ආආආආආආං..

අපි දෙන්නා එකාවන්ව කියමු.සංග්‍රාමය මුල සිට යලි ඇරඹේ

අප කවරෙකු හෝ ආසන්නයේ සිටීමට ඇය ප්‍රියකරයි.වැරැද්දක් කොට බැනුම් ඇසූ කල ඇය දඞුවම් මුල්ලටවී පැයක් දෙකක් විස්කෝපයෙන් කල්ගත කර ආයෙත් අප හොයා එයි.දඞුවම් මුල්ල ඇය හදා ගත් එකකි.බැනුම් ඇසූ හැම වෙලාවකම ඇය එතැනට රිංගුවාය.සමහර විට එතැන නිතරම නැන්නදම්මා ගැවසෙන තැනක් වූ නිසා වන්නට පුළුවන.මටත් සුද්දාටත් ඉඳහිට අකීකරු වුවත් දෝණී ඇයට කීකරුය.

ඇය දැන් ලොකු ළමයෙකි.ඇය වැඩිවිය පැමිණී දා සිට ගෙවී ගිය දවස් නමය සුද්දාටත් මටත් අතිශය දුෂ්කර වූවකි.සුද්දා නිවාඩු දමා ඇගේ පරිස්සමට ගෙදර නැවතුනේය.ගේ වටේට හක්කලං කොරන පට පිටාවේ වලත්ත පර බල්ලං එලවමින් නැන්දම්මාටත් මාමණ්ඩිටත් නකර කලදසාවක් ගෙවා දැමීමට සිදු විය.කන්‍යාවක ලෙස ටෙඩීට දීග දීමට සිටින අපේ දෝණියැන්දෑ රැක ගැනීමට පවුලේම සාමූහික ශක්තිය එක්රැස් කිරීමට සිදුව ඇත.

අපි දෝණිට ආදරේය.දෝණිත් අපට ආදරේය.තව බොහෝදෙනෙක් ද ඈට ආදරේය.සරලව කිවහොත් දොණී අපේ ගෙදරට ආවේ සතුට හා වාසනාව යන දෙකම අරගෙනය.



Wednesday, June 7, 2017

ගං වතුර මැද මගුල් කෑම

මමත් සුද්දාත් එක්ව කෑ මගුලට අමතරව  මෙතුවක් මගේ හිතේ ගැඹුරින් රැඳී තිබුන මගුල් කෑම වූයේ කුකුලා ගමුවත් හිවලාවලත් එක්ව කෑ මගුලයි.

රටක් හැඞවූ පසුගිය මස විසි හය වනදා තවත් එවන් අපූරු මගුලක කොටස්කරුවකු වීමට මට හැකි විය.
ඒ මගේ ඥාති සොයුරියකගේ මගුලයි.ඇගේ ගෙදර කාලයක් මගේ ගෙදරම වී තිබුන හංදාත් තාමත් හිතට එහෙම දැනෙන හංදාත් මගුලට කලිං දාම මම එහි නැංගුරං දැම්මෙමි.

මගුලක් කීවට මගුලක්ම නොවේ.පොතේ අත්සන දමන පුංචි මගුලකි.

25 දා හවස ගෙදරට ගොඩ වුනේද ඊතල වගේ ඇදහැලෙන වැහි බිංදු යටිනි.එතැන් සිට සැරසීම වැනි වැඩ අටෝරාසිය මහ රෑ දෙක දක්වා ඇදගෙන යන විටත් ඒ වේගයෙන්ම නංන්ස්ටොප් වැස්ස ඇදහැලෙමිං තිබුනි.
ඒ අතරේ මනාලිය තම හැඩකාර දුරකතනේ මා දෙසට දිගුකලේ නාසයෙන් අඞමිනි.

“බලංඩකෝ අක්කෙ අයිය කේක් එකේ පෝටෝ එකක් එව්ව..ඒක හරි ලස්සනයි ඒත් මගේ නම වරද්දලනෙ..

මගුලයි... යකෝ... මේකිගෙ මගුල දවසේ වෙන එකියක්ගෙ නමක් තියන කේක් එකක්ද මේකිට කපන්න වෙලා තියෙන්නෙ...මම කෝකටත් තිරයට හොට දැම්මෙමි.

රෝස පාට අයිසිං මල් ගොඩක් මැද ලියා තිබූ නම් දෙක වූයේ “ශශිකා..####“ ලෙසය.ශශිකලා නම් වූ ඇයට හතරවරිගෙම ආදරේට සසී කීවත් කේක් එකේ තිබූ නම දුටු මතිං මේ නං ඈ නොව  වෙන එකියෙකු බව මටත් හිතුනි..

ඔන්න ඔහේ කමක් නෑ ..මෙතනට එන හැම එකාම උප්පැන්නෙ තියන නම අහනවයැ...ඇගේ අක්කණ්ඩිය අවස්තානුකූලව තම සොයුරියගේ හිත හැදුවාය.

මගුලේ ප්‍රීතිමත් කාලගුණය මැද  හූනියං පෙට්ටියට අවධානක් දීමට කාලයක් නොවූ බැවින්  අවට කාලගුනේ වන කිසිම අගුණයක් අපට මීටර් නොවීය.

උදේ පාංදර පහට පමණ මනාලිය පිංතාරු කිරීමට එලියට බහිද්දීත් ඊතල වේගෙන් පොලවට එන වැහි වල අඩුවක් නැත.අන්දකාරේ වැඩිපුර කිසිවක් නොපෙනුනත් සිය මස්සිනාගේ කාර් එකේ ටයර්එකෙන් විසිවී යන වතුර දුටු මනාලිය තරමක් නොසංසුං වුනාය.

පාරත් වෙලත් එකක් කරගෙන පාර හරහා ගලන ජල කඳ දුටු ඇය..තව ටිකක් වතුර වැඩි වුනානං ආපහු කාර් එකේ එන්ඩ බැරි වෙයි ..මාව එකක් යන්න අයියට බොට්ටුවෙං එන්න වෙයි යැයි..සිය මස්සිනාට විහිළුවක්ද කලාය.

මේ වන විටත් අවට සිදුවන කිසිම දෙයක් ගැන අපි නොදැන මගුලේම ඇලී ගැලී වුන් අතර පැය තුනක් තිස්සේ කරන ලද සංග්‍රාමයකින්  මාත් එක්ක සරල ඇඳුමකින් ආ ලිය මනාලියක් වූ අතර නොනවතින වැස්ස දෙස බලමින් ඇගේ මස්සිනා රතය දක්කාගෙන එන කං අපි බලං උන්නෙමු.මනුස්සයාගේ මූන හරි නැත.

මොකද අවුලක්ද අයියෙ

එකක් නෙමෙයි ගොඩක්..එව්ව ගෙදර ගිහිං ලිහා ගම්මුකෝ..

මනාලියගේ මූන නොව ඇස් සත පහ විය.තට්ටු ගනං උලා තීබූ දාහක් ජාති මැද මූනේ වෙනස්කං අදුන ගන්න එකත් ඉතිං සුළුපටු දෙයක්යැ..

අප ආපසු එන ඩිංගට පාසල් ලමයි පාසල දෙසට නොව අනෙත් දෙසට ගමන් කරන නිසා අපි නැවතී විස්තර විමසුවෙමු.සබරගමු පලාතේ පාසල් වසා ඇත.

එල කිරිය ..මගේ නිවාඩුවක් ඉතුරුය.....

පාසල් වසන්නේ මෙතරම් මහා ඛේදවාචකයක් වෙනු වෙන් බව ඒ වන විට මා දැන උන්නේ නැත.

පාරේ වතුර මට්ටම තවත් ඉහල නැගිලාය.ඒ හරහා කාරය දමන්දෝ නොදමන්දෝ කියා ඇගේ මස්සිනා දෙගිඩියාවේය.ජල කඳෙන් එහාද වාහන කීපයක් නවත්තාගෙන ඇත.ඉස්සරලාම වතුරට වාහනය දමන එකාට සිද්දවෙන දේ සලකා බලාම තමංගේ වාහන වතුරට දැමීමට හැම එකාම බලං ඉදිති.

මේ බලං ඉදිල්ල එපා වූ  අයියා අන්තිමට තීරනයක් ගත්තේය.

තම නෑනන්ඩියා කොල්ලෙකුගේ ඇඟේ ගැසීමට ලැබූ චෑන්ස් එක තමන්ගේ අළුත්ම වාහනේ හංදාවත් කැප නොකරමියි හිතා පපුව පුම්බා දකුණු අත සුක්කානමේ  තබා රතය ඉදිරියට ගත්තේය.තරමක් උස වාහනයක් වූ එය අපේ හිතට සැනසුම දෙමිං මෙගොඩට  ඇදුනේය.

ගෙදර යනකොට හැම එකාම ෆෝන් වල එල්ලීගෙනය.මගුලට එන්ට බැරිව අතරමග ගංවතුරට කොටු වුන හතරවරිගේ සමාව යැදීම්ය.සුභ පැතුමය.ඒමදිවාට කෝකි උන්දැලාද ගං වතුරේ දිය නොවුනත් පාර හරහා වැටුනු නායක් නිසා මෙහා පැත්තට ඒමට නොහැකිව කොටු වී ඇත.ඉන් අධෛරමත් නොවුන කාන්තා බැටෑලියන් එක එක්ව කිරිබත් පිස උදේ තේ මේසය සකස් කර තිබුනි.

හැම තැනකටම කෝල් කර බලා කොහෙන්දෝ කෝකියෙකුත් හොයාගෙන තිබුනි.ඇඳ ගැනීමට ගෙනා සුකුරුත්තං සාරි බාරි පැත්තක දමා ගෙදර අඳින ඇඳුමෙන්ම කුස්සියට බැස්සේ දවල් කෑම සකස් කරන උදවියට අත් උදව් දීමටය.

කලවානෙ මගුල්ගේක මනමාලයට එන්ඩ බැරි වෙලා.උයපු කෑම ගංවතුර ආධාර විදියට බෙදල දීල.

ඇයි රත්නපුර මගුලක හෝටල උයල පිහල ලෑස්ති කරලලු
.ජෝඩුවෙන් කාටවත් හෝටලේට එන්ඩ බෑළු

දැරණියගල නායෙ ගිහින් පාරෙ කාර් එකට ඉඩ නැතුව මනමාලි ත්‍රිවිල් එකක් පටෝල ඇරියලු

එක එක ඕපාදූප මැදින් සියල්ල හරිය

ඔන්න ඊළඟ කෝල් එක මනාල පාර්ශවයෙනි.

පාරෙ මැද නායක් ගිහින් වෙලාවට එන්ඩ බැරිවෙයි...

හරි කමක්නෑ අද දවසම සුභයි..ඔයාල එන වෙලාවට වැඩේ කරමු

අයෙත් කෝල් එකක්

අපිට ගෙවල්වලිං අයින් වෙන්ඩ කියල...මේ බඩු ටිකකුයි පවුලෙ ඉතුරු අයයි පංසලට ගිහිං ඇරලල එන්නම්..

ඔවු ඔවු ..ඒ කරදර ඉස්සරල විසඳන්න ඕනෑවුවනේ

සාමාන්‍යෙයන් සුළු දෙයකටත් නොයිවසිලිමත් වන මනාලිය මේ තත්වයට මූන දුන්නේ සාන්තුවර ඉවසීමකිනි.

නෑදෑයින්ගෙන් සමහරු මේ මගුලට නාපු එක වාසනාවක් බව මට දැනුනේ මේ වෙලාවේය.
ඉන් සමහරු බාදාවන් අසුභ පෙරනිමිති කියමින් විධඝ්ඝ මනස්ගාත කියවමින්  අපේ ඔළු ගිණි තබා නැගණියගේ  සතුට කාබාසිනියා කර දමනු ඇත.

ඒ කිසිවෙක් නැති වීමම මගුලට හොඳ පෙර නිමිත්තක් බව මට නිකමට හිතිනි.

අවසානයේ මනාලයා ඇතුළු පිරිස් කොට කලිසං  ගසාගෙන කැති පොරෝ උදළු අරගෙන ස්වභාව ධර්මයා මග දිගට එලා තිබූ තහංචි වැටවල් පන්නමින් මෙපිට නෑදෑ ගෙදරකට සේන්දු වී උන්නේ මඩ දාඩිය මෙන්ම වැහි වතුරද සමෝසමේ නාගෙනය.

අවසානයේ දෛවඥයෙකුට දුරකතන ඇමතුමක් දී දැනගත් දොලහකුත් ගානක නැකතට ඔවුන් පොතේ අත්සන් කල අතර තිහක් පමණ වූ නෑදෑ සමූහයක් මැද පැය දෙකකට පමන සීමා වූ  සාදය අවසන්ව අළුත් නෑයෝ ආපසු ගියේ අනාත කඳවුරේ රඳවා ආ තම පවුල්වල ඉතුරු උදවියට සිදුවන්නට ඉඩ ඇති විවිධාකාර දේවල් ගැන සිතමිනි.

ඒ අතර මගේ හිත ගියේ වෙනකකට නොවේ..සාලේ ස්ටූල් එකක් මැද දුඹුරු පාටට දිලිහෙමිං තිබුන මංගල කේක් ගෙඩියටය.

ඊයේ රෝස පාට එකක් නේද තිබුනේ...

මම නොකී කතාව තේරුං ගත් නංගී මා නිවැරදි කලාය.

ඒ කේක් එක ගන්ඩ යන්න බෑ ගං වතුර..අයියල ටවුමෙන් කේක් එකක් අරගෙන එවෙල නං ලියවලා තියෙන්නෙ...


මම ඊට නැවී බැළුවෙමි.

දුඹරු පාටට දිලිහෙමිනං නංගීගේ නිවැරදි නම - ශශීකලා- ලෙස එහි ලියා තිබුනි

වෙච්ච අලකලංචි වල හිලව්වට හරි නම තියෙන කේක් එකක් හරි හම්බුනා මදැයි...


ප.ලි - විශ්වයේ බලවත්ම දහම වූ සොබා දහමේ අභියෝග ජය ගනිමින් බැඳි මේ දෑත ජීවිතයේ සියළු අභියෝග අභියස මේ ලෙසම එක්වී තිබේවා!!!!!