Sunday, May 3, 2015

ලතාගේ මතක.......(හොරු නොගත් පනස් වසරකට එහා මතකය)

ලතාගේ මතක.......(හොරු නොගත් පනස් වසරකට එහා මතකය)

“හූ...........හූ........අන්න ලතා...කතා...බතා.... තුනම යනවෝ..........“ අප්පුවා මහ හඩින් කෑ ගැසුවේ මුළු පලාතටම ඇහෙන්නය.

ඒ සමඟම තිදෙනාම“අප්පු....කුලප්පූ....කණප්පු.....හෙප්පූ ....“යි කෑ ගැසූ හඩ මුළු සීතාවක රාජධානියටම ඇහෙන්නට ඇත.තුන් දෙනෙකුට එදිරිව එක් අයෙකු වීමේ අභාග්‍ය තේරුම් ගන්නට තරම් අප්පුවා වැඩුණු අයෙකු වීම නිසා මේ විහිළුව ගුටි පූජාවක් බවට පත් වීමට තිබූ අවස්ථාව මග හැරී ගියේය.  අපරාදේ.....................ඇඩ්ඩින් හිටියා නම් මෙය මෙසේ වන්නේ නැත.

“ඇඩ්ඩිං පැඩ්ඩා....කොළඹට ඇහුනා....කොළඹ මිනිස්සූ ...අණබෙර ගැහුවා....“ කී විට අනිවාර්යයෙන්ම බතා සමග ගුටි ඇණ ගැනීමට ඇඩ්ඩින් පැකිලෙන්නේ නැත.

ලතා තමාගේ අයියාත් අක්කාත් සමඟ එලියට බැස්සේ රබර රොටී අල්ලන ඉස්ටෝරුවට යන්නය.ලතාගේ මුල්ම මතකය මෙයයි.එය ඒ තිදෙනාගේ දෛනික රාජකාරි වලින් එකකි..

යකඩ ඇත්තු නැති ඒ කාලයේ......කොටං ඇදීමට ගෙනන අලි ඇත්තු ලතාගේ ගේ ඉස්සරහා පාළු ඉඩමේ බැඳ දැමීම සිරිතක්ව පැවතිනි....එදාට ලතාලාට අවුරුදුය....නොකා නොබී අලියා වටේ කැරකෙන ලතා කතා හා බතා ගෙට ගැනීමට අම්මා යන්නේ ඉරටු දෙක තුනකුත් මිටි කරගෙනය.

වැඩි පුරම අලි පිස්සුව තිබුනේ බතාටය.රෑ හීනෙනුත් අලි පිටේ නැග්ග බතාට දවසක් හැබෑවටම අලියාගේ පිටේ යන්නට දවසක් පොටක් පෑදුනේය.


බතාගේ අලි උණ නිසා කන්දොස්කිරියාව වැලඳුන ඇත් ගොව්වා අවසානයේ දී බතාට එකඟ විය.“බිල...බිල....ඇත්ගොවුවාගේ අණින් අලියා දණ නැමුවේ තමන්ගේ ස්වාමියා පිට මත තබා ගන්නය....ඒත් පිටට නගින්න ගියේ තමාගේ ස්වාමියාගේ දණ හිස තරමට උස කොළුවෙකි.කෝපයට පත් අලියාගේ හොඩ පාරින් ඇත් ගොවුවා ඇද වැටෙද්දී බතා ගෙදර බලා දිව්වේ පසු නොබලාය...ලතා සහ කතා ඒ වෙන විටත් පිල අල්ලාගෙන හති හලමින් සිටියහ....



තිදෙනාටම අලි භීතිකාව වැලඳුනේ එදා සිටය.

ඒත් මේ කියන  දවසේ බතා හිටියේ ලෙඩ ඇඳේය.හොරෙන්ම පැමිණි උණ බතා ඇඳට ගාල් කෙරුවේ සෙල්ලං කරන්නට ලතා හා කතා පමණක් ඉතිරි කරමිනි.එදා දෛනික රාජකාරිය වූ රොටී අල්ලන ගෙදරට යාමට ලතා හා කතා පිටත් වූයේ පරාණ බයෙනි.නපුරෙන් හා නරකින් තමන් රැකගන්නා අයියා එදා නැත.


වැඩි දුරක් යාමට ලැබුනේ නැත.අලියෙකුගේ දම්වැල් එකිනෙක ගැටෙන සද්දෙ ළඟ ලඟම ඇසෙයි.බඩ පපුව දාගිය ලතා අක්කාගේ මූන බැළුවේ දැන් කුමක් කරන්නදැයි අසන්නටය.ඒත් බියෙන්ම මැලවුනු ඒ මූණ දුටු ලතාගේ වචන එළියට ආවේ නැත.කතා කරගත්තා සේ රොටී තැටිය පාර මැදම දැමූ අක්කා නගෝ උපරිම ජවයෙන් ළඟම බඩ වැටියට රිංගා ගත්තේ අලියා මාරු වන තුරුම හැංගී සිටීමටය.....දම්වැල් හඩ ළඟම එයි...


හොරෙන්ම බඩවැටියෙන් එබී අලියා දෙස බැලූ ලතා දැක්කේ රොටී ගෙදර ගෙහුං එන අම්මෙක් හා පුතෙකි.......අම්මා රබර රොටී තැටිය ඔළුව උඩ තියං එන අතරේ...පුතා  ලී කෝටුවකට කිරිපිටි ටිං මූඩියක් ගසා කරත්තයක් හදා ගෙන එය තල්ලු කරගෙන එයි..බෙලෙක් රවුම ටිං  ටං සිලිං බිලිං කියා ගල් වල වැදෙයි......ඒ මදිවාට ඌ ලතාගෙම පංතියේ කොල්ලෙක්....විලි ලැජ්ජාව ඉහ වහා ගිය ලතා... අලියට බය වුනාටත් වඩා බයෙන් පඳුරු ගොල්ලේ හැංගුනාළු....


ලතාගේ ආච්චි සැදැහැවත් උපාසිකාවකි......ඇය පංසලට පේරු දානය අරං යද්දී එක්කරං යන්නේ ලතාය.....ඇත්තෙන්ම බලද්දී ලතාගේ කතාව හැඩ කලේ ලතාගේ ආච්චිය.....ඇටි කුකලන් බුං ගාන්නටත් කලින් නැගිටලා පිරිසුදු සුදු රෙදි කඩකින් හත් වරක් පෙරා ගන්නා ලිඳේ නැවුම් ජලයෙන් ආච්චි දානය උයන්න ගත් විට ලතා ආචිචිගේ තනියට ලිප ළඟ කොලොම්බු කොටේ උඩ ඇණ බාගෙන ඉන්නවාය.....ආච්චි වෑංජනයේ ලුණු ඇඹුල් බලන්නේ සුවඳිනි.එතරම් ගෞරවයෙන් සකස් කල දානය පං පෙට්ටියට අඩුක් කර හිස මත තබා ගත් ආච්චි මල් වට්ටිය දෙන්නේ ලතාටය..


අද ආච්චි නැතත් ලතා තවමත් දානය අරං පන්සලට යයි....වෙනසකට ඇත්තේ අද්දියාපන රේස් එකේ හිරවී හිටින ලතාගේ මිණිපිරීට මල්වට්ටිය අරන් ලතා පස්සෙන් පන්සල් යාමට වෙලාවක් ඉතුරු වෙලා නැති එක විතරය.

බස් රෝදය ගෙදරට ආවේ කෙසේදැයි ලතාට මතක නැත.ඒත් පාසල් ගොස් පැමිණි පසු ඒ සමඟ කල සෙල්ලම් ලතාට මතකය.වාසනාවට ලතාගේ මහ ගෙදර තිබුනේ පොඩි කඳු ගැටයක් මුදුනේය.අමාරුවෙන් කෙලින් කර ගන්නා කුඩා උන් තිදෙනා එය කන්ද පල්ලට තල්ලු කරන්නේ එක හඩින් කෑ ගසමිනි.පඳුරු තලා දමමින් පෙරලෙන ටයරය පසුපස දිවයන කුඩා උන් තිදෙනා ටයරය නැවතුන තැන සිට ආපසු කන්ද මුදුනට තල්ලු කරන් එන්නේ හති දාගෙන දඟලන තවත් පැය බාගෙකට පසුවය.ඒත් ඒ විඳි රස අමතක කර යලි යලිත් කන්ද පහලට එය තල්ලු කරන්නේ තත්පර කිහිපයක් වින්දනයකින් අනතුරුව තවත් පැය බාගයක්  තිස්සේ ටයරය ඉහලට තල්ලු කරගෙන ඒමටය.


ලතා නත්තල් පප්පා හඳුනා ගත්තේ මීට බොහෝ කාලයකට පසුවය.ඒත් කළවානේ ආතා ගෙදර ආ දාට නත්තල් යැයි ලතාට පසුව සිතුනි.කලවානේ ආතා ගෙදර එන්නේ බොහෝ කෑම බීම පොදි බැඳගෙනය.විශේෂයෙන්ම ගේන්නේ හකුරු බෝල සහ පැණි මුලකි.පැණි මුල බෝතලයකට හලන ලතාලගේ තාත්තා පැණි දමා තිබූ කොළපත පුංචී උන්ට දෙන්නේ එහි ගෑවී ඇති පැණි ලෙව කෑමටය....අවසානයේ ලතා කතා බතා තුන්දෙනාම පැණිවලින් මත්වී පැණිත් තිත්ත වූ පසුත් ලෙවකෑමට දේ තවත් කොලපතේ ඉතිරිව තිබූ බව ලතාට මතකය.


ඉස්කෝලේ ඇරිලා එන පුංචි උන්  තිදෙනාගේ සෙල්ලම් පිටිය වූයේ අළුතින් වගා කරන ලද රබර කෑල්ලය.එහි වූ කොමඩු හා උක් ගස් රසවීඳීමට කාගෙන්වත් තහනමක් පොඩි උන්ට නැත.මෙබඳු දවසකය ඔවුන් ගහක එල්ලෙමින් තිබූ දෙබරයකට ඉලක්කයට ගල් ගැසුවේ...පණ එපා කියා ගෙදර දුවගෙන ආවත් දෙබර විත් දෙක තුනක රසය බැලීමට නොහැකි වූයේ නැත.


ලතාගේ මල්ලිලා අතරින් ලතා වැඩියෙන්ම ආදරේ කලේ රත්න මල්ලීටය...අද ඔහු ජීවතුන් අතර නැතත් ඒ ආදරය මැරිලා නැත.කුඩා කොළුවා උණ හැදි විලාප දෙද්දී පුංචි ලතා ඔහු උකුලේ තබා නැලෙවුවේ අම්මා දරට ගොස් සිටි නිසාය.ඒත් පරක් කර ගැනීමට නොහැකි වූ තැන දොඩං කඩා දෙන්නය කියමින් පුංචි එකා රැගෙන මිදුලට බැස්සේ ඇඩිල්ලේ හඩ එන්න එන්නම වැඩි වන නිසාය.ගෑනු ලමයි ගස් නගින්නේ නැත...දැන් කොහොමද ‍දොඩං කඩන්නේ....පොඩි එකා දැන් අඩන්නේ දොඩං ඉල්ලලාය.ඔන්න එතකොටම ගහෙන් ඉදුණු ගෙඩියක් බිමට වැටිච්චි....පොඩි එකාගේ ඇඩිල්ල එතනින්ම කම්මුතුයිලු ඕං.


ඇස්වත්තේ ඒ කාලේ බූරු පොළවල් ජයටම කෙරුනළු.හැමදාම හැන්දෑවට කැලේ මැද පටන් ගන්න බූරු පොල මහ රෑ වෙනකනුත් ඉවර නෑ....මහ රෑ වෙනකොට අඩ අඳුර කැලේ පුරාම රජ කරනවා...එකෙකුට දොට්ට පිලට යන්න ඕනෑ වුනේ මේ අතරේ.ඒකා අතින් කැලේ පඳුරු පොඩි වෙනකොට අනිත් කට්ටියම හිතුවේ බූරු පොලට පොලෝසියෙන් පැනලා තියාය.සරම් කරේ තියාගෙන හිස්ලූ ලූ අතේ දිවගිය පිරිසෙන් එකෙකුට මූන දෙන්ට වූයේ මහා විනබ්බෑසයකටය.මොනම හෝ ක්‍රමයකින් අතක් ගස් දෙබලේ හිර වෙද්දී ඔහු හිතුවේ පොලෝසියට මාට්ටු උනා කියාය. අත කලබලේට දෙබලෙන් එලියට ගැනීමේදී ලෙලි ගොස් ඇත.ලතා මේ කතාව දැන ගත්තේ තුවාලකරු බේත් දැමීමට ආවේ ලතාගේ ගෙදරට බැවිනි.


මේ තවත් බූරු කතාවකි.එදා නම් හැබෑවටම පොලෝසියෙන් පැන්නෝය.කට්ටිය සුපුරුදු පරිදි හිස් ලූ ලූ අත දිව ගියහ....එකෙක් මඩ ගොඩක ඇදගෙන වැටුන අතර අනෙත් උන් ඒකා පාගාගෙනද දුවා ඇත.අමාරුවෙන් වනු ගාගා ලතාලා නාන ලිඳ ලඟට සේන්දු වුන මේ මනුස්සයා කිසි කතාවක් නැතුව ලතාගේ බාල්දිය උදුරං ලිදෙන් වතුර අරං නානවාය..එතැනට ආ පොලොසියේ මහතැන් කමිසයත් ඇඳන් නාන මේ උම්මන්තකයා ගැන පැහැදී තමන්ගේ නවාතැනටම එක්කං ගියේළු.



පිංකම් සමයට ලතා ඇතුළු පුංචි උන්ට රජ මගුල්ය.අවසාන දවසේ සල් පිල ගමේ කාගෙත් හිත් ගත් දෙයකි.එක් වරක් ලතාලාට බඩ පැලෙන්න හිනා වන්නට ලැබුනේ මෙහෙම සල්පිලක වූ හදියක් නිසාය.සල් පිලේ වූ “තලාපු කජු මුලකට“ තිබූ උද්වේගකර තරඟකාරී ඉල්ලුමකින් පසු ගමේම හිටි ලෝභ කුණාට එය හිමි විය.ඔහු තව හකුරු මුලකුත් ගත්තේ තලාපු කජු සමඟ කන්නටය. ඒත් ගමේ කොළු ගැටවු එහි දමා තිබුනේ කජු ගසක මුලකි...හිනා වෙන්නට පමණක් එය දමා පසුව එය ඉල්ලා ගන්නට සිටි කොල්ලෝ ලෝභයා සමඟ පරණ කෝන්තරයක් තිබූ නිසා නිහඩ වුනත් ඔහු පසුපස නිවසට ගොස් හැංගී අහගෙන සිටියේ ඔහුගේ කටින් පිට වන සංස්කෘතික වචන වලට සවන් දෙන්නය.
“හකුරු අලියාගේ “ සිද්ධියත් සිදු වූයේ සල්පිලකය....කුල බේධය තදින්ම තිබූ ඒ කාලයේ  අල්ලපු ගමේ විසුවේ ගොයිගම(හන්දුරු) මිනිස්සුය..මේ ගමේ විසුවේ හකුරෝය....අල්ලපු ගමේ මිනිස්සු අලියෙකුගේ හැඩේ හකුරු වලින් සදා සල්පිලට ඉදිරිපත් කලේ හකුරන්ට පාඩමක් ඉගැන්වීමටය....නමුත් සල්පිල බාරවූ පුද්ගලයා මේ කපටි කම අඳුනා ගත්තේය....හකුරු අලියා ....කියන විට හකුරන් පත්වන අපහසුතාවය තේරුම් ගත් ඔහු  අලියා දෙස හොඳින් බලා....ආ...ආ...මේ ඉන්නේ හම ගහපු අලියෙක්....හම දුරු කරපු අලියෙක්-හංදුරු අලියෙක්....ඈවරයි කීවෙලු.....එදින අල්ලපු ගමේ ගමේ කිසිවෙක්  ඉන් පසු සල්පිලේ රැඳුනේ නැතිළු..

ලතා ට පොඩිකාලේ පොල් පිති හරකෙක් හිටියේළු....පොල්කටු අං දෙකක් සවිකල මේ හරකා පාසල් යාමට පෙර තණකොල ගොල්ලේ බැඳිම ලතා කිසිදා අමතක නොකලාය.
                                                                                           
ලතාලගේ තවත් සෙල්ලමක් වූයේ කඩ දැමීමය.මුදලාලි පට්ටම හැමදාම ගත්තේ ‍බතාය...

ගම්මිරිස් කොල බුලත්,වේළුඛු ගස්ලබු කොල දුංකල ගන්නට ලතාත් කතාත් පනම් පෙති නෝට්ටු හා  ගල් කැට කාසි අරගෙන කඩයට ආවෝය...අම්මාගේ සාරි ඇඳගෙන ඉස්කොලෙ හාමිනේට ඇඳීම ලෙල්ලම් වූ සෙල්ලමකි.මේ දෙදෙනා පාර කිට්ටුවට එනු දුටු රියදුරු බසය නැවැත්තුවත් ලතාත් කතාත් හැති උපරිම වේගයෙන් ඇතුළු වූයේ බසයේ දොරටුවෙන් නොව ගෙදර දොරටුවෙන්ය

.
---------------අවුරුදු පනහකට පසුත් ලතාගේ මේ මතක වියපත් වී නැත.----------------------

ඩබ්.කේ-



15 comments:

  1. සුන්දර මතක පෙලක්. දශක හතරකට පහකට පෙර ඔහුන් ලද අද්දැකීම් වර්ථමාණයේ ලබාගත නොහැකිවීම කණගාටුවකි........

    ReplyDelete
  2. ඒක ඇත්ත තමයි පූසෝ....අපි යන්ත්‍ර වෙලා හිටියා...අපේ ළමයි මුක්කු වේවිද මන්දා....සරල සුන්දර හැඟීමක් විඳින්නවත් අපිට වෙලාවක් නෑ.....ටියුෂන්....!!!

    ReplyDelete
  3. ඒ කාලේ පට්ට වෙන්ඩ ඇති නේද???
    අර අලියෙක් එන සද්දේට හැංගුන එක කියවපු ගමන් මම හිතුවේ අපේ ටීචර් ගැනම තමයි මෙ කියන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. අනේ අනේ රූපේ මං නං අලියෙක් සයිස් හින්දා කොහොමත් අලියෙක් එක්ක ගේම ඉල්ලන්න බය නෑ.නැන්දම්මා සූටියි ...අහිංසකයිනේ....හයියෝ තව තව මරු මරු කතා තියනවා...පුළු පුළු වන් වෙලාවලට කියන්නම්කෝ

      Delete
  4. ලතා............ කතා හා බතා සුපර්.................... අැඩ්ඩින්ගේ කවියත් ඒහෙමමයි

    ReplyDelete
    Replies
    1. එවුවනම් ඇත්තටම උන දේවල් ගී පොත

      Delete
  5. ලතාගේ මතක......ඉතාම අපූරුවට පෙළගස්වල තියනබව නිසැකවම කිව්වැහැකි. බොහොම අපූරුයි...බොහොම අපූරුයි..ඔබගේ හැකියාව අති විශිෂ්ඨයි ..:)

    අපෙ ඉස්කෝලෙ ක්‍රීඩාංගණ භාරකරුගෙ නමත් ඇඩ්ඩිං..ඔය ඇඩ්ඩිං පැඩ්ඩා..කවිය අපිත් කියනව. " කොළඹ මිනිස්සූ අණබෙර ගැහුවා " පද දෙක මට අමතක වෙලයි තිබුනෙ...හෙහ්,හෙහ්,

    පලි - මේ ඒක නෙවෙයි, නැන්දම්ම ෂේප් එකේ තියාගෙන තව ලතාගෙ කතා හත අටක් අහගන්ට හොඳද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවි.....හහ් එහෙනම් මේක ඒ කාලේ ප්‍රසිද්ධ සිංදුවක් වගේනේ...අහගමු අහගමු..කොහොමත් නැන්දම්මා ෂේප් එකේ තියන් ඉන්නේ ...පුතා ආපහු ඉල්ලුවොත් කියලා බයේ...හිකිස්

      Delete
    2. එක එක නම් වලට ආවේණිකව තිබ්බ ඔය වගෙ තාලෙට කියන්ට පුලුවන් විරිදු වගෙ එව්ව. ඔව්ව කිව්වම අදාල නාමධාරියා කුලප්පු වෙච්ච මීමෙක් වගෙ අපෙ පාරෙ පන්නන්නෙ...හෙහ්,හෙහ්..

      සරත්ල මල පන්නපු විරිදුවක් මෙහෙමයි..

      සරත් බරත් බර කරත්තෙ, රෑට අදින ගූ කරත්තෙ. ( ඒ කාලෙ තිබ්බ බාල්දි කකුස්සිවල එකතුවෙන මල අයින් කරන්නෙ රෑට කරත්තවල පටවගෙන ගිහිල්ල )

      Delete
  6. ලතාගෙ සුන්දර මතකයන් ටික වත්සලා ලස්සනට ලියල තියෙනව. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
  7. math asaven kiyavana blog ekak...

    ReplyDelete
  8. ලතාගේ මතක ටික ඔක්කොම අහගෙන ලියන්න. මාත් ඔහොම එකක් පටං ගත්තා ලියන්න අපේ ආච්චී ගැන.. පළැවෙනි එකෙන් පස්සෙ ඉතුරු ටික තාම ලියන්න බැරි උනා.. ලතාගේ මිණිපිරීත් දවසක ලතාගේ දුව වගේ කලා කාමීහිතක් තියෙන කෙනෙක් වෙන්න නම් ඉතින් ඔය පාසල් වැඩ අතරින් පතරම මේ දේවල් වලට ඇහුන් කම් දෙන්න එහෙමත් හුරු කරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි මිත්තරයෝ....මම තව තව වයසක උදවියගේ මතක කූරු ගාලා බලන්නම් කෝ....ඔයාලා හැමොම ආසයිනේ

      Delete