Sunday, March 26, 2017

දියවන්නාවෙදි තුං වෙනි නෙළුමත් පිපුනළු ඕං.....

වෝටර් ඒජ් “බුදු අම්මෝහ්!!!!!!! හිලාකතට සේම මටත් හිතුනි.යකෝ සම්මාන උලෙල බලන්ඩ බැරි වුනත් වෝටර් ඒජ් එක බලන්ඩ ලැබෙන එකම කොච්චර දෙයක්ද?අප වැනි මද්දියම පාංතිකයන්ට ඔවැනි තැනක වෙඩිමක්වත් ගන්ට ඇති හැකි යාළු මිත්තරයො නෑයෝ වේයො නැති කොට ඔහොම හරි ඔතැනට ගොඩ වැදුන එකම මදෑ සම්මානයක් වෙන්ඩ.

ඉතින් 25 පාංදර ඉඳන්ම මම ගමනට ලකලෑස්ති වෙනවාය.ඒත් ඇත්තටම පැය 3කින් මට එතෙන්ට ගොඩ බැසිය හැක.

උදේ න්ම ජංගමයාගෙන් එබුන කවරෙක් හෝ සංවිධායක අයෙක් මගෙන් ඇහුවේ නැවතීමේ පහසුකම් උවමනාද කියාය.ඇමතූ අය කවුරු වුවත් මං අන්දොස් අඤ්ඤකොරොස් සේ උත්තර දීම පිළබඳ මට සමාවන සේක්වා!!! 

ඇත්තටම මා මවිතවීමි.සංවිධායක වරු ඒතරම් දුර දිග සිතා බලා ප්ලෑන් කරන බව මම හීනෙන්වත් සිතා නැත්තෙමි.

අවසානයේ මම එතැනට ප්‍රාදුර්භූත වූයේ අතින් කටින් එල්ලා ගත් ප්ලාස්ටික් බඩු මල්ලක්ද සමඟය.කාට හෝ නෝන්ඩි වී මණි බඩු කාරයෙක් යැයි හිතන්නට පෙර එව්වා හිලාකතගේ කාර් ඩිකිය තුල හංගන ලදී.ඒක තුල ඔහුගේ සබ්බ සකලමනාවම වූ අතර නොතිබුනේ වයිපරේත් දරුවනුත් පමණි

මට හෝටලේ උදවිය කියූ පරිදි බෝලරූම් එකට ගියෙමි.එය බෝල රූමක් නොවේය.තරු පිරුන අහස වගේය.සැරසිලි නං මරුය.අපි ගිහින් සැප පුටුවල වාඩි ගෙන ජොලියේ උන්නට ඒ කාගෙ කාගේ හෝ මහංසියය.කැපකිරීමය.ඒ හැමෝටම බොක්කංම රෙස්පෙක්ට් ය.

ගියවර එද්දී මා බුකියෙං හෝ පුද්ලිකව අඳුනං උන් එකම කෙනා අටං හා හිලාකතය.දැං සුරංගයාය.මගේ පූරුව පිනකට ඒ දෙන්නාම එතැන උන්හ.

ඉන් පසුව ය එක එක්කෙනා හඳුනා ගත්තේ.පංතියේ පොඩි උං ඉස්සරහ වීරයා පාට් දැම්මට කුලෑටි හිතැති මං ඔහේ වාඩි වී ඉඳිද්දී බ්ලොග් ලෝකයේ දැවැන්තයෝම පැමින මට තමා හඳුන්වා දී කතාවට වැටුනහ.ඉයන්.සොබා රූ,ප්‍රාජේ,තිලක සිත,රොමා හා නම කී නොකී සියළු දෙනාම හඳුනා ගැනීමට ලැබීම මා එදා ලද මහඟුම සම්මානයයි.

ලවුපූසා,මහේෂ් රූපේ,ටෙක් සයුර  තරු රසී නං ගිය පාරම මීටරේට වැටුන හංද අදුන ගත හැකි විය.
අහසින් ආ කසුන් නිර්මාණී ජෝඩුව..උඹලා නං වැඩ්ඩෝමය.උඹලගේ නොසැලෙන ආත්මශක්තිය අබියස අප මොකුන්දැයි මටම ලැජ්ජා හිතේ.මං හිටියේ ඒ දෙදෙනා ලඟය.ඕනම තැනක අඩ සිහියෙන් පසුවන මට නිර්මාණී ඒ අවස්ථාවේ සිදුවීම් කනෙන් දැක අංගසම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කරන මට මවිත නොවී සිටිය නොහැකි විය.

නිවේදනය අපූරුය.හොඳය.(අර උණ කාරයා නූතන අහවලෙක් ලෙස නම් නොකරානං තවත් අපූරුය.)අපි මචංලා ත් නියමය.ප්‍රියාලාගේ විහිළු වලත් අපි අසා නැති විහිළු වූ බැවින් කිතිකවා ගන්නැතුවම මං හිනා වීමි.පොඩි එකාගේ නර්ථනය පූරුය.නැටුං ගැන හාංකවිස්සියක් වත් නොදත් මං පොඩි එකා දෙස කට බලියං බලා ඉඳිද්දී නිර්මාණී ඒ කතක් නැටුමක්දැයි මගෙං ඇසුවාය.මං එය දන්නේ නැත.

නිර්මාණි ලඟට විත් සෑහෙන වෙලා කතාකරමිං උන් පොඩි කෙලී කසුන්ගේ දතක් ගලවන්ට කතා කරන තුරුම ඒ සිතූ බව අදුන ගන්නට බැරි විය.සොඳුරු සිත මං එරංදි,නලින්ද,සුදීක,උඩුවා,දුමී,හංසි තව මෙකී නොකී උදවියද  අඳුන ගංට ලැබීම ගැන සතුටුය.

බෝධිනී ගැන නොලියාම බැරිය.රෝහලකදී සුළු සේවකයංගේ රැස්පොට් අනුව මං හිතං උන්නේ දොස්තරලා යනු අපේ ඉහට ඉහලිං දෙපා තබං ඉන්නා පිරිසක් හැටියටය.අපොයි එහෙම කිසි දෙයක් ඇගේ නැතිය.ඇය සරලය.නිරහංකාරය.ඈ මා දන්නා දොස්තරලට වඩා වෙනස්ය.ඔබ නෙළුං යාය තුලදී දොස්තෙරෙක් නොවී බ්ලොග්කරුවෙක් විතරක්ම ව උන්නාට මං ඔබට රෙස්පෙක්ට් කරමි..කොයි කොනට වුවද ඔබ මහඟු සම්පතකි.

මා දුටු පළමු ඔපෙරාව නෙළුං යායෙං දැක ගත්තෙමි.එය කතාකිරීමේ නිදහස හා සොක්‍රටීස්ට වසදීම අතර යමක් යැයි මං හිතමි.මා වැරදි නං තතු දන්නෝ නිවැරදි කරනු මැන.

මහින්ද දේශප්‍රිය මහතා සැබෑ ප්‍රිය මහතෙකි.සුන්දර මිනිසෙකි.සරල සාමාන්‍යව පැමින කාගෙදෝ කරට අත දමා පසුපසින් වාඩි වුන ඔහු කවුදැයි මට සෑහෙන වෙලාවකට මීටර් වූයේ නැත.සැබවින්ම ඔහු අපූරු මිනිසෙකි.ඔහු අතින් සම්මානය ගැනීමට ලැබීමම සම්මානයකි.ඉලෙක්ෂන් කාලයේ යකා සේ කෙලින් කතාකරන්නේ මොහුමදැයි මට හැබෑවටම සැකයක් ඇත...

“මං කලේ රටේ මිනිස්සු ගෙවන බදු වලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෙකු විදියට මගේ රස්සාව.මං ඒකට වැටුපක් ලැබුව.මං කලේ එච්චරයි.“ඔබතුමාට තවත් රජයේ සේවකයෙකුගේ ශීර්ස ප්‍රනාමය පුදකරමි.

කරූ ජයසූරිය මහතා තොරතුරු දැනගැනීමේ පනත ගැන කතා කල අතර අර උණ කාරයා ගැන මුකුත් නොකියමි.උණ බව කියා ඉක්මනින් ගියත් උන්දෑට අද පමණක් නොව හැමදාම උණ ඇති බවත් උන්දෑගේ පුත්තරයාට සහලෝලා උණ බවත් නොදන්නෙක් අම්මට සිරිලංකාවේ ඉඳිය නොහැක.

අමුතු චතුර උන්දෑගේ පුතා බව මං අද දැන ගත් කරුනකි.

ඇත්තද???මං විමතියෙං අහද්දී අපූරු පිළිතුරක් ලැබිනි

“චතුර උන්දැගෙ පුතා තමයි..ඒත් උන්දෑ ට යි උන්දැගෙ හාමිනේටයි මගුල් කපුකම කරල තියෙන්නෙත් චතුරම තමයි“

මං අලිම අමාරුවේ වැටුනේ කෑම ගැනීමට යාමේදීය.මා ගෙනැවිත් තිබූ පිඟානේ ඇති දේවල් මොනවාදැයි දැන ගැනීමට නිර්මානීට උවමනා විය...

මොනවද කියල නොදැන කන්ඩ බෑනේ අක්කේ..ඇය කියයි.ඇත්තය..

ඒත් ඒ මොනවදැයි මං කෙසේ කියම්ද?සයිවර් කඩයක තෝසෙ වඩේ හා චූං පාං එකේ මාළු පාං රෝල්ස් වලට හුරු සමාජයක ගැවසෙන මං ඒවා වල නං මොනවදැයි හැබැවටම දන්නේ නැත.

ඉන්පසු මං ඒවගේ අන්තර්ගතය විස්තර කරමි.මේ චූටි කොප්පෙ බිස්කට් වගේ රහයි...ඒ වගේම අනිත් කෝප්පෙ පළතුරු පුරවලා..මේක මොකක්ද රෝල් එකක්..හැබැයි මං දන්න රෝල්ස් නං නෙමෙයි...මේ පොඩි රොටියක් වගේ එකක් උඩට සෝස් එක්ක එළවළු දාලා..ඉතින් අපි කෑවෙමු..

තරුනී පත්තරෙං රූපඔලිං විතරක් දැක ඇති කැම කන්ඩ අවස්තාවක් දුන්නට ඉස්කෝතුයි කිව යුතුය.අඳුන ගත්තේ ඉක්ලෙයාස් පමණක් වන අතර මං එරංදි ආපහු එන ගමනේ එවුවගේ නං කීවත් මට දැං එකක්වත් මතක නැත.සමහර විට නැවත කවදාවත් නොදකිනු ඇති ඔයි කෑම වල නං මතක තියාගංට වද විඳින්නෙ මොකටද?

මං ඊයේ සන්නස්ගලයන්ගේ අම්මා කියවා ඉවර කලා විතරය.ඔහු දෑසින් දැකගත හැකි විය.අවසානයේ තිබූ නාට්ටියට නං අවදානය දුන්නේ නැත.ඒ වෙලාවේ අළුත් මිතුරං හමුවීමි.

අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියහ.දැං ඉස්ටෝල් එකෙං ගත් පොත් කියවනවාය.හැමෝම හදුනා ගන්ට ලැබීම සතුටක්මය..මෙකී නොකී ඔක්කොම.

එන්ට බැරි වූ උදවිය නැති අඩුව දැනිනි.ඩයිනෝ හා අටමා නැති අඩුව විසේසයෙන් දැනුනේ ඔවුන් හා හිලාකත නොවන්නට මා එවෙලේ ඔතැන නොහිටිනු ඇති නිසාය.

අන්තිමේදී මං එරන්දිත් සමඟ ආපහු එන්ට පිටත් වුනෙමි.එය වෙනමම කතාවකි

සමස්ථයක් ලෙස වැඩේ එල කිරිය.ඒ එලකිරි වැඩේට පසුබිමිං හිඳ දහඩිය හෙළුවෝ බොහෝ වන්නට ඇත.

අප ඒ කටු ,මඩ,කුණු කසල,විෂ,මාළු කිසිවක් නොදුටිමි.අප දුටුවේ යායට පිපී සුවඳට හිනැහුන නෙළුං විතරමය.අර කටු මඩ කුණු පාදංට උඹලා හෙළු දහදිය බිඳුවක් ගානේ ඉස්තූතිය.

මේ වගේ නිදහස්...(හැබෑවටම නිදහස්) සුන්දර දිනයක ලබන අවුරුද්දේත් හමු වන්ට ලැබේවා!!!




මම එරංදි සහ අපි -පශ්චාත් නෙළුම් කතාවක්


ඊයේ රාත්‍රියේ වෝටර් ඒජ් හි තුංවෙනි හෙවත්  බෝල රූම් තට්ටුවේ නිල් හා කහ තරු යාය මැද නෙළුම් යාය යස රුවට පිපී හිනැහිනි.


( එක එක සික්කා මල්ලිලාගෙන් පාර අසාගෙන නෙළුං යාය හොයනකොට උන්දැලා කීවේ බෝල් රූම් හෝල් එක කියාය.තාමත් බ්ලොග් ගල් රූම් එකත් කපරාරු කර ගන්ට පිච්චිය නැතිව බ්ලොග් ලියන මං දනීද බෝල රූම්???)

ඒ ගැන වෙනම පොස්ටුවක් ලිවිය හැක.මේ පශ්චාත් නෙළුං කතාවකි.

ගිය පාර වගේම නිදාගැනීමට පුටුවකට වඩා ඇඳ පහසු බව කියමින් සුද්දා නෙළුං යාය වර්ජනය කරපු හංදා තමං හිසට තම අතමය හෙවනැල්ල කියාගෙන මං තනියම ආවා....නමිං වත් නොදන්න බ්ලොගේ නමිං අඳුනගෙන උන්න හැබෑ මිනිස්සු පණ පිටිං වටේ කැරකෙද්දි මොන ජගතටද අප්පා කලිං පැනල ගෙදර යා ගන්ට ඕන වෙන්නෙ.

එකිනෙකා අදුන අඳුන ඉවර වෙලා බලනකොට ඔන්න අටහමාරයි..

අම්මට සිරි...සුද්දා දැං මගේ මව දෙමව්පියො නෙමේ කිරි කිත්තලත් මතක් කරනව ඇති...දැන් පලකො මහ රෑ සමයමේ කඩුවෙලට???එතනිං අවිස්සාවෙල්ලට???

රෑ හොල්මංනුත් බය කොරන කතා ලියන යාං හෑල්ලෙ සුරං මලයා ගෙදර යන ගමං ඒ බස් එකටම මාවත් පටෝගෙන යනව කීව හංද තනිකං දෝසෙ ගැනත් බයක් නැතුවාය.ඒ හංද මං වීරය වගේ හිටියාය.

අන්තිමට අපි හතර පස් දෙනෙක් පටෝගෙන මහරගමදි බාන්න සෙට් වුන හිලාකතට සොඳුරු සිතක(මතක හැටියට)බොඩි ගාඩ්  වීමට උන හංද අපිව මහරගමිං බාන වැඩේ මං එරංදි බාර ගත්ත.අපි කිව්වෙ මං ,යාං හෑලි සුරං මලයා හා ටෙක් සයුරේ පුංචි එකාය.

අපිත් ඉතිං  මම එරංදි ඇගේ දසූ හා සුරංගනාවියක් බඳු පුංචි දූ ත් සමඟ නමෝ විත්තියෙං ඔවුන්ගේ ජීප් රියෙං මහරගම බලා පිටත් වීමු..මං හීනෙන් වත් දැක නැති අතුරු පාරවල් හරහා කරකැවී යාංතමට දන්නා මහර ගම දුටුවා පමණි.

“අපි රත්න පුරෙං ඔයාලව දාන්නං එතකොට මඟ ඇරුනු බස් අල්ලා ගත්තෑකි“

ඉස්සරහ පේලියෙං හඞකි.මමත් සුරං මලයාත් මූනෙන් මූන බලා ගත්තේ අපි තුං දෙනා එක්කාසු වී අසරණ මම එරංදිට මොන වින්නැහියක් කැටුවාද යන්න හිතාගන්නට බැරුවාය.

“අපි කෙස් හැලෙන තර්ක කඳු ගොඩ ගැහුවත් මම එරංදිගේ දසූ ඒව නිෂ්ප්‍රභා කරන වචන දැන උන්නේය.අලි මදිවාට හරක් කියන්නැහේ ඒ අස්සේ අවන්හලක් ලඟ ජීපය නැවතිනි.

බහින්න දැං කාල යං

හුටා දැන් ඉතින් කාපියවුකො!!!!!

අපි අදිමදි කලේ මම එරංදිට ඉන්දන බිලට අමතරව අවන්හල් බිලක්ද එක්කිරීම ගැන දෙගිඩියාවෙනි.මේ මහේෂයාගේ අවන්හල නොවන්නේය.ඒක නං බඩපුරා කා බිල ගෙවීම මහේසයාටම බාර දී යාමට පුළුවන.මේ අප්පොච්චිගේ අවන් හලය.මහරගම ඩැඩී‘ස් ය.

“යං යං නැත්තං මිනිස්සු බලයි අපි මෙතන රන්ඩු වෙනව කියල“

අන්තිමට දෙවන යෝජනාවද ඉහ මුදුනින් පිලිගන්නවා ඇර අපට විකල්පයක් නොවීය.ඊට පස්සේ අලි පත ආප්ප පිගානක් ගෙනත් දී සේරම කන්ටලු

කිරි අප්පට බල්ලො පැනපි..නෙළුං යායෙං ඉස්මුරුත්තාවටම සප්පායං උන අපිට තවත් කන්නේ කොහාටද?

කිරි අම්මා කියල තියෙන්නෙ කාල වැඩියි වගේ නං උගුරට ඇඟිල්ල ගහල වමනෙ කරපිය කියල.ඇයි දෙයියනේ ඇඟිල්ලක් ගහන්ඩ තව ඉඩක් තිබ්බ නං තව ඉකිලියාස් එකක් දෙසාබානව නොවැ.

මෝටබයිසිකලයක් ඇර රෝද කැරකෙන ඕනම එකකට නැග්ග ගමං කටකපල නින්දක් දාන මගේ පුරුද්ද මටත් අමකත වුනේ සුරංගයා එතන රස සාගරයක් මැවූ හංදාය .ටිකිරි සඳමාලිගේ හා තලයාගේ කතා වලට අමතරව සුරං සේම අරුම පුදුම බඩුවක් වූ උන්දෑගේ කාර් රතේ ගැන කතා ඇදී ආවේය.

අන්තිමට හිනා වෙලා බඩ කොර විය.සුරංග මලයා ලිවීමට දක්කන හැකියාව කතාවටද දැක්විය.

අරකගේ මේකගේ ඇද කුද ගැන කතාකරන කතා අරහං හංද නෝ කතා නෝ හිනා වෙලා හැම වෙලේම පැත්තකට වෙන මමත් වෙනදාට වඩා තකා කලාද මන්ද.

මම එරංදිගෙ දසූ කතාකලේ පරණ තාක්සණය ගැන.අළුත් තාක්සනේට හිතැති ටෙක් මලයාද මයික් එක අත ඇරියේ නැත.නොදන්නා තාක්සනේට ගිහින් වරිගෙ නහගන්නැතුව සුරං මලයාත් මමත් අසා උන්නෙමු.
මෙබදු විවෘත මනසත් ඇති ගවේශනහීලි මං එරංදිගේ දසූ බ්ලොග් ලෝකයට නොඒම ඇත්තටම කනගාටුවට කරුණකි.

ඔහු ඉදිරිපත් කල කතා වල අහකදැමිය යුතු කිසිවක් නොවීය.අන්තිමට නින්දකින් තොරව මම ගමන නිම කලෙමි.

මගේ හෑන්ඩ් බෑක්කෙක ඩිකියට දමා වසා තිබුනෙන් සුද්දාට කතා කලේ සුරං මලයාගේ ජංගමයෙනි.මහ රෑ හංදියේ තනිවුනොත් උන්දෑගේ බාරියාව කවුරුන්හෝ (ඩෝසරයකින් පැමින) උස්සං යාවියි බය වුන සුද්දා කමිසයක් වත් නැතුවය තෙසක් රියක නැග ඇවිත් ඇත්තේ.මගේ යාළුවන් ඉදිරියට නිරිවස්තරෙන් එන්ට බැරුව අඳුරෙ හැංගිල උන්නට මොකද උන්දෑ වාහනේ ඇතුලෙ උන් උදවියගේ රැවුල් පවා යස අපූරුවට ඉස්කෑන් කොරගෙන තියනව නොවැ.

මං ගෙදර සැපසේ උන්නට ටෙක් මලයාත් සුරං මලයාත් තාමත් බස් වල නිදි කිරනවා ඇත.මම එරංදි දසූ සහ පුංචි සුරංගනාවි හෙට දහංපාසල් එක්ක යා යුතු නිසා උදෙංම නැගිටල ආපහු කොලොං තොටට යාත්‍රා කල යුතුය.මම හෙට නමයෙං මෙහා ඇස් නොඅරිමි.

මා ඇහැරගෙන කී බෝඩය ඔබන්නේ තමන්ගේ සුව පහසුව අනුන් වෙනුවෙන් කැපකල මම එරන්දිටත් ඇගේ දසූටත් ඉස්තූති නොකලොත් මට රෑට නින්ද නොයනු ඇති හංදාය.දැං මමත් සුද්දාට තුරුල්ව කටකපා නින්දට වැටෙමි.

අවසානයේ එක දෙයක් ලියා තබමි

පුංචි සුරංගනාවියේ මෙවන් මවක් පියෙක් ලද ඔබ නිවුනේම වෙයි!!!!!!!!

ප.ලි.- මා බ්ලොග් ලෝකයට සාදරයෙන් කැඳවා ආ අටම් අයියා හා සුට්ටං ඩයිනෝසරයාත් ගියවර මා සමඟ උන් ගිම්මි නංගියාත් නැති අඩුව මට හොඳින් දැනිනි


සම්මාන  ලද හැමෝටම මගෙං බොක්කෙංම සුභ පැතුම්ය