Sunday, November 19, 2017

මගේ ජීවිතය වර්ණවත් කල ඇත්තෝ - යෝධ ආත්මයක් තිබු ඒ පුංචි මිනිසා

හර්කියුලිස් මහා ශක්ති සම්පන්න යෝධ මිනිසෙකි.දුටු විට බිය උපදවන සද්දන්තයෙකි.නමුත් මගේ ජීවිතය වර්ණවත් කිරීමට පැහැයන් එකතු කල මේ අපූර්ව මිනිසා ඉතා කුඩාය.හරියටම කීවොත් එකොලහේ පංතියේ කොල්ලෙකු තරම් වත් උස නැත.එහෙත් මේ මිනිසා සතු වූයේ යෝධ ආත්මයකි.සද්දන්ත පෞර්ෂයකි.දරුවන් දසදහස් ගණනකගේ ජීවිත වල දේදුණු වර්ණ සිත්තම් කල අතකි .හදවතකි.මමද ඒ උතුම් භාග්‍ය ලද දසදහසෙන් එකියකි.
එතුමා මා 6 වසරේ සිට එකොලහ වසර දක්වා උගත් දැරණියගල සිරිසමන් මැදි විදුහලේ විදුහල්පති වරයාය.නැත්තං 2003 දී පමණ විශ්‍රාම ගිය අපේ ධර්මදාස සර්ය.එතුමාගේ මුල් දසුන මට ගෙන ආවේ අප්‍රමාණ භීතියකි. සුදු කමිසයත් සුදු කලිසමත් හැඳ තට්ට හිසෙන් යුතුව ප්‍රතාපවත් පියවරින් උදේ රැස්වීම ඇමතූ එතුමා දුටු හයේ පංතියේ පොඩි උන් වූ අපේ යට කලිසමේ මුත්තරා පහ නොවුනා විතරය.විදුහල්පතිවරයෙක් යනු දුටු විට වහා මඟ හැර යා යුතු බියකරු සත්ත්ව විශේෂයක් යන අදහස මගේ ඔළුවට කෙසේ කවදා ආවාදැයි මට මතක නැතත් එතුමාගේ මුල් දර්ශනය ඒ සිතිවිල්ල සනාථ කල බව නං මට මතකය.කුඩා දරුවන් වූ අප නාමලේඛනය හෝ හුණු කැටයක් ගෙන ඒමට කාර්යාලයට ගිය විට එතුමා එහි සිටී නම් වහා ආපසු හැරී ආවෙමු.අපි ඒ තරම් එතුමාට බිය වූයේ මන්දැයි අදත් මට නොවැටහේ.
එක් දිනක් මමත් තවත් ගෑල්ලමයෙකුත් ජෝඩු දමා කාර්යාලයට ගියේ හුණු කැටයක් ගැනීමටය.එතුමා එහි දොරටුව ආසන්නයේම විය.වහා ආපසු හැරුණු අප දෙපයට අපේ ජීවිතය පටවමින් දුවන්නට සැරසුනා පමණි
“මොකටද ඔය ළමයි ආවේ“ ඒ සැර පරුෂ හඞ නම් විදුහල්පතිතුමාගේය.
ඉතින් අපි ඉවරය.දැන් ඉතින් අප පණ පිටින් ගිල දමනු ඇතැයි බියෙන් යුතුව ආපසු හැරුනෙමු.
“මොකටද ආවේ“ මගේ සඟයා කුණු කුණු ගෑවත් ඌ කී දෙය මටවත් ඇසුනේ නැත.
ම්ම්ම්ම්ම්ම්
ච් ච්...ච්..චෝ..චෝක්
හා හා අරන් යන්ඩ..මේ ළමයින්ට චෝක් කැට දෙන්න...
කවරෙක් හෝ ගෙනත් දුන් හුණු කැට දෙක එතුමා අප දෙස දිගු කරන විට මුව සිනාසුනේ නැතත් ඇස් සිනාසෙනවා අඳ ගොළු බිහිරෙකු සේ ගල් ගැසී සිටි මම යාන්තමට දුටිමි.එදා ඒ බිය හරි අඩකින්ම අඩු වුන අතර ඒ හිස් තැන පුරවන්ට පැමිණි ගෞරවය මේ වන තුරුත් එතැන වැඩෙමින් රැඳී පවතී
එකල හය වසර පංති පැවැත්වූයේ ජනාධිපතිශාලාවේය.සිරිසමන් දූ පුතුන්(එතුමා කියූ ආකාරයට) මෙම ගොඩනැගිල්ල ගැන දනිති.පාසල් කාර්යයාලය පිහිටි ස්ථානයේ සිට එකල එතුමා පදිංචිව සිටි නිවසට යාමේ මාර්ගය වැටී තිබුනේ ජනාධිපති ශාලාවේ මිදුල මතිනි.එතුමා ඒ ඔස්සේ ගමන් කරන ඕනෑම අවස්ථාවක පංති කාමරයේ සිටින අපි නැගිට ගෞරව දැක්වීමට පුරුදු වී සිටියෙමු. පංතියේ උගන්වමින් සිටින ගුරුවරු අන්ද මන්ද වී වටපිට බලද්දී අපි උදාර ලෙස අසුන් වලින් නැගී සිටියෙමු.මේ විකාරය කුමක්දැයි අඳුනා ගැනීමට එතුමාට මෙබඳු අවස්ථා කීපයක් පසු කිරීමට සිදුවිය.අවසානයේ කවුරුන් හෝ ගුරු භවතෙක් එසේ ආචාර දැක්වීම අවශ්‍ය නොවන බවත් පංතියට පැමිණියහොත් ආචාරකිරීම සෑහෙන බවත් අප දැනුවත් කිරීම නිසා මේ පුරුද්ද මඟ හැරිනි.
මා හතවසරේ දරුවකුව හිඳිද්දී විජය පත්‍රය හරි අපූරු වැඩක් පටන්ගත්තේය.ඒ රූපයකට කවියක් ගෙතීමේ තරඟයකි.මේ වන විට මාත් මගේ මිතුරිය චතුරිකාත් අපි කවි අංකුර බව සිතා සිටියෙමු. එක එක විකාර ගැන පද ගොතා කොල වල කවි වැනි දෙයක් ලිවීමට උත්සහා කල අප දෙදෙනාට මෙය හොඳ අවස්ථාවක් බව හිතුනි.නමුත් පරහකට තිබුනේ විදුහල්පති වරයා විසින් එම නිර්මාණය දරුවාගේම නිර්මාණයක් බව සහතික කල යුතු වීමයි.නමුත් තරඟයට ඉදිරිපත් විය යුතුමය.
අන්තිමේදී කවියක් වැනි විකාරයක් ලියා විජය පත්තරේ වූ කූපනය පුරවා අලවා පැකිලෙන පාද වලින් යුතුව විදුහල්පති තුමා වෙත ඇදුන අපි දෙදෙනාගෙන් කවරෙකුටවත් එතුමා ඉදිරියට යාමට ධෛරයයක් නැතිව එතුමා පිටු පසින් රැඳී සිටියෙමු .එතැනින් ඉවත්ව තව තැනකට ගොස් තවත් ගුරුවරයෙකු හා කතා කරන තුරුත් ඇසෙන නෑසෙන දුරකින් අපි රැඳී සිටියෙමු.විදුහල්පති යනු මහා ලොක්කෙක් බැවින් ඔහු ඉදිරියට යාම අප වැනි සොක්කන්ට කැප නැතැයි යන හීනමානය අප දෙදෙනාටම විය.
මේ ආකාරයෙන් තුන් හතර වතාවක් වීමෙන් පසු එතුමාම “අප දෙස හැරී ඔය දෙන්න මාව හම්බෙන්ඩද ආවේ“කියා ඇසූ අතර අපි හිසෙන් පිළිතුරු දීමු.මෙබදු අවස්ථාවක අප නම් “මොකද ළමයෝ කතාකලේ නැත්තේ “වැනි යමක් කීම ස්වභාවිකය.
නමුත් කිසිවක් නොකියූ එතුමා අත දිගු කර කවිය ගෙන රස වින්දේ තාගෝර්ගේ කවියක් රස විඳින ආකාරයේ ප්‍රබෝධයක් පෙන්වමිනි.(මීට වසර පහකට පෙර පරණ කාඩ්බෝඩ් පෙට්ටියක තිබී නැවත දක්නට ලැබුන ඒ පල් හෑලි ගැන විලි ලැජ්ජාවට පත් මම ඒ සියල්ල ගිණි දෙවියාට බිලි කල බව අතුරු කතාවක් ලෙස ලියා තැබිය යුතුය)මෙතන මේ වචනෙ දාල කවිය කියවලා බලන්නකෝ,මේ කියන්නේ මොකක්ද(එලි සමය රැකීමට අප කරන විකාර පද සන්ධි කිරීම් දැක)මෙතනට එන්නේ මූර්තජ “ණ“ ආදී වශයෙන් කියවමින් එය අත්සන් කර දුන් අතර යකා හිතපු තරම් කළු නැතැයි සිතා අප දෙදෙනාට සිතුනි.එදා සිට වසර එක හමාරක් යන තුරුම සතියකට වරක් මේ බහුභූත කියවීමේ වදයට එතුමාට මුහුණ දීමට සිදුවිය
.ඒ එක දවසකවත් එතුමාට හදිස්සියක් තිබුනේ නැත.කවිය මුල සිට අගටම කියවා රස විදිය යුතු බැවින් එතුමා අසල තිබූ පේෂකර්ම හෝ වඩු වැඩ කාමරයට ගොස් නිවි සැනහිල්ලේ වාඩි වී එහි සිටින ගුරු භවතාට කීවේ “ලස්සන කවියක් හම්බුනා..නිවි හැනහිල්ලේ කියවන්න ඕන නිසා මෙතෙනට ආවා යනුවෙනි.අපි අභිමානයෙන් පුපුරා නොගියා විතරය.නමුත් කිසි දිනක කලින් සතියේ කවියට මොකද වුනේ වැනි ප්‍රශ්න නෑසීමට තරම් එතුමා විචක්ෂණ ශීලී විය.දරුවන් සම්බන්ධයෙන් භාවිත කලයුතු සුදුසුම වචන සුදුසුම වෙලාවට භාවිත කිරීමට එතුමා දැන හුන්නේය.අද මේ ලියැවෙන අකුරු වලට හුස්ම දුන්නේ එතුමාය.මගේ ලියැවිලි වල මුල්ම රසිකයා මෙන්ම විවේචකයාද එතුමාය. මා සතු කුඩා හැකියාව පරිස්සමින් රැක බලාගෙන වර්ධනය කලේ එතුමාය.ඉන් පසුවද පාසල් වත්ත තුල අහම්බයකින් මුණ ගැසුන විට “තව කවි ලීවේ නැද්ද?,ආයෙත් ලිව්වොත් මටත් කියවන්න දෙන්න“ වැනි වදනකින් මා දිරි ගැන් වූයේය.ළමයි එක්දහස් පන්සියයක් අතරින් එතුමා තමාට මා මතක බව අඟවමින් මා සුවිශේෂී දරුවෙකු බව මට හැඟෙන්නට ඉඩ හැරියේය.
අද ළමුන් තුන්සිය පනහක් ඇති පලාත්සභා පාසලක අපේ විදුහල්පතිතුමා අවිවේකය ගැන කරන පැමිණිලි අසා පුරුදු මට එතුමා ගැන පුදුම හිතේ.ළමුන් එක්දහස් පන්සියයක් පමණ වුන් ජාතික පාසලක විදුහල්පති වූ එතුමාට ඊට වඩා කිහිපගුණයකවැඩ තිබුනා වන්නට පුළුවන.නමුත් අප ලියූ කවියට මුහුණ ඔබා සිටින එතුමා දුටුවේනම් ඔබට සිතෙනු ඇත්තේ පසුගිය මුළු ජීවිතකාලයම විවේකීව හිඳ මේ කාර්යයෙන් පසුත් මුළු ජීවිතකාලයේම විවේකයෙන් පසුවන්නකුගේ ඉරියව්වකි.පසු කලක හරි පුදුම ඉස්කෝලේ පොත කියවන විට කොබයාෂි ගුරුතුමා ටොට්ටෝ චංට කියූ “දන්නවද ඔයා හරිම හොඳ ළමයෙක්“ යන වදන් අතර මට එතුමාගේ වදන් ඇසී නෑසී ගියේය.එය මට ලැබිය යුතු ආකාරයට හසුරවා මගේ පෞර්ෂය ගොඩනැංවීමේ බලයක් එතුමාට විය. ප්‍රාථමික පංති වලදී ආත්ම විශ්වාසය හුණුසල් කුඩු වන්නට කුඩු වී තිබී හැම විටම මුළු ගැන්නුනු ළමයෙක් වූ මගේ ආත්ම විශ්වාසය බිඳෙන් බිඳ ඉහල දැම්මේ එතුමාය.අවසානයේ පාසලේ උදේ රැස්වීමේ කතාවක් පවත්වන්නට හැකි වන තුරුම.
මා හොඳ වැඩ කර නම තැබූ හෝ නරක වැඩ කර නම කෙටූ ළමයෙක් නොවී ඇල්වතුර වැනි ළමයෙකු වීමි.එබැවින් වසර හයක පාසල් දිවියේ මා සම්බන්ධව විදුහල්පති තුමාගේ මැදිහත් වීම අවශ්‍ය වූයේ අල්ප වශයෙනි.නමුත් නසරාණි වැඩ හිතුවක්කාර වැඩ හා අලුගුත්තේරු වැඩ කරමින් පාසල දෙකක් කෙරූ අපේ පංතිවල කොළු නඩයට නම් අනේක දේවල් කිමට ඇතුවා නිසැකය.
එතුමාගේ ඇඳුම වූයේ පාසලේ වැඩිහිටි ළමුන් අඳින ආකාරයේ සුදුකලිසමහා කමිසයයි.හිරු හොඳින් පෑයූ දහවලක නම් තට්ටයේ දිලිසීමෙන් එතුමා බව ඈත සිට හඳුනා ගත හැක.නමුත් වැඩිහිටි ළමයි මැද කුමණාකාරයෙන් හෝ සැඟවී හිඳ අප නිරීක්ෂණය කිරීමේ හැකියාව එතුමා සතුවිය.එතුමා සතුව තිබූ ඔරලෝසුව පාසලේ වැදගත් ස්ථානයක් හෙබවූයේය.යම් නසරාණි වැඩක් කර මාට්ටු වූවෙකු අල්ලා ගත් පසු එතුමාගේ අත ඔරලෝසුවට ගියේ නම් ඊලඟ ඇත්තේ නැව් ගුටි කෑමක් බව කාටත් දැන ගත හැකිය.ඔරලෝසුව ගලවා වැරදි කරුගේම අතට හෝ ඔහුගේ යහළුවෙක් අතට දෙන එතුමා ප්‍රහාරය දියත් කරන්නේ බලා ඉන්න උදවිය ඒ ආකාරයේ වැරද්දක් කිරීම ගැන හිතේ කොනක හරි බලාපොරොත්තුවකින් ඉන්නවා නම් එම අභිලාශය සුන්නද්දූලි වන ආකාරයටය.නමුත් පහුවදාට ඒ සියල්ල අමතකය.එදා ඒ බඩ පුරා ගුටි කෑ උදවිය අද එතුමා සිහිපත් කරනුයේ මටත් වඩා ආදරයෙනි.ගෞරවයෙනි.
දැරණියගලට පොදු චුරු චුරු වැස්ස බොහොමයක් දවස් වලට උදේ රැස්වීමට බාධා ගෙනාවේය.පොද වැස්සක් නම් එතුමා කවදාවත් රැස්වීම විසුරවා නොහැරියේ අවුවට වැස්සට ඔරොත්තු දෙන ආකාරයෙන් දරුවන් සකස් විය යුතු බව නොකියා කියමිනි.නමුත් හොඳින් සෙවන ඇති ෆැවිලියන් එකේ තෙමෙන කොනක හිඳ එතුමා අප අමතන්නේ අසා සිටින අප මෙන්ම වැස්සේ තෙමෙමිනි.

පාසලේ ඉබාගාතේ යන උන් අල්ලාගෙන කුණු ඇද්දවීමේ සිරිතක් එතුමාගේ වූයෙන් කුණු ඇදීමට අකමැති අප පාසලේ නිදැල්ලේ යාමෙන් වැලකුනෙමු.එතුමා සතුව එබඳු හරි අපූරු කළමනාකරණ ශිල්ප ක්‍රම විය.
ප්‍රේම සම්බන්ධතා වලට එතුමා දැඩිව පෙනී සිටියේය.හිටි හැටියේ නගරයේ බස් නැවතුම් පලෙන් හෝ කඩයක් ඇතුලෙන් එතුමා ප්‍රාදුර්භූතව පෝලිම් කඩන උන් හා අවිනීතව හැසිරෙන උන් අල්ලා ගැනීමේ අවධානමක් තිබූ බැවින් සිරිසමන් අපි යම් තරමකට හෝ විනය ගරුකව පාසලෙන් පිටදීද හැසිරුනෙමු.
ඔබ වැනි ගුරුවරයෙක් ලැබීම සිරිසමන් අපේ භාග්‍යයයි.ඔබ වැනි ගුරුවරයෙක් වීම ඔබ තුමාට කරනු හැකි උතුම්ම උපහාරයයි.ස්තූතියි ඔබ තුමාට අප අද ගෙවන මේ ජීවිතය උදෙසා එදා තැබූ මුල් ගල වෙනුවෙන්.
මම මහා ලේඛකයෙන් නොවුනද මා ලියන දේ රස විඳින කිහිපදෙනෙක් අද වෙත්.අද මේ ලියැවෙන්නේ එදා ඔබතුමා කවි කියා හිතා බහු බූත ලියූ කුඩා පාසල් දැරියකයේ අභිමානය පළුදු නොකර දිරි දුන් නිසාය. ඔබ තුමා විසින්ම හුස්ම පිඹින ලද අකුරු එකින් එක ගැට ගසමින් මේ ලියන්නේ ඔබතුමා අපේ විදුහල්පති තුමා වීම ගැන උපන් මහත් අභිමානයෙනි.


ආදි සිරිසමන් සොයුරනි ස්තූතියි ඡායාරූප ලබාදීම වෙනුවෙන්

Friday, November 3, 2017

ආයුබෝවන් නුගේගොඩ

අහස අඞනවා.ලොකු කඳුළු කැට එකින් එක පොලව උරා ගන්නවා.හරියට මං වෙනුවෙන් අඞනවා වගේ.මට අඞන්න අවසරයක් නැති හංද මං වෙනුවෙං අඞන එක අහස බාර අරං වගේ.නුගේගොඩ අහස මීට වඩා අඞනව ඇති.මගේ සතුටට මාත් එක්ක හිනාවුන,මගේ දුකට මාත් එක්කම වැලපුන එකම කෙනා නුගේගොඩ,මීට වඩා මහ ගොඩක් අඞනව ඇති

මගේ හිත ගිණි ගන්නව.ඒත් අහස් කඳුලින් ඒ ගින්න නිවා දාන්න බෑ.හරියට පොළව යට ලෝදිය පැහි පැහී තිබිල එක පාරටම ගිණිකන්දකට උපත ලබා දෙනව වගේ.

ඔයා ළඟ නැති වුනත් මේ දක්වා ඔයාගේ මතකය ආශිර්වාදයක් වෙලා මගේ සතුට රැක ගත්තා.ජීවිතේ අතඅරින්න හිතපු හැම වෙලාවකම කාලයක් මට ආදරේ කරපු කෙනෙක් උන්නා මං කෙනෙක්ගේ ආදරය ලැබුවා කියන මතකය දරුණු තීරණයක් ගන්න එකෙන් මාව වැලැක්කුව.මොකද ඊට පස්සෙ කවදාවත්ම කිසිම කෙනෙක් මට ආදරය කරල නැති හංද ඔයාගෙ ආදරේ එක මතකයක් පවා මං මුතු මැණික් වගේ රැක්ක.ඔයා මාව රැවැට්ටුව කියන් සාක්ෂි එකින් එක ඉදිරිපත් වෙද්දි පවා මගේ හදවත ඊට එරෙහිව තර්ක කලා....ඔයා මාව රැවැට්ටුවට...ඔයාගෙ ආදරේ අවස්ථාවාදී වංචාවක් වුනාට කවදාවත් ඒක මං ඉදිරියේ ඔප්පු වෙන්න එපා කියලයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ..මොකද ඒ මොහොත මගේ ජීවිතේ අවසාන මොහොත වෙන්න පුළුවන් නිසා...

අද ඔයා මට සදාකාලයටම නැති වුනා වගෙයි මට දැනෙන්නෙ.ඒත් එදා මහරගම ගුරුවිද්‍යාලෙ ළඟදි නිල වශයෙන් අපේ ආදරේ මිහිදන් කරද්දි මට නොදැනුන වේදනාවකින් අද මගේ හිත පිච්චෙනව.එදා බෙල්ලන්විල පංසලේදී මං ඔයාගෙ දෙපා  සිපගෙන වැඳල සමු අරගත්තෙ සදාකාලයටමයි කියල මට හිතුන්නෑ.මං හිතුවේ දෛවය වෙනස් වෙලා කවදා හරි ඔයා මාව හොයාගෙන ආයෙත් එයි කියල.මං අවරුදු හතරක්ම ඔයා එනකල් බලා උන්න.ඒත් ආයෙ කවදාවත් ඔයා ආවෙ නෑ.අඩුගානෙ ඔයා වෙන කෙනෙක්ගෙ වෙන දවසෙවත් මට ඒ ගැන කියන්න ඔයා හිතුවෙ නෑ.ඔයා එයාගෙ වෙලා කියල දැන ගත්ත දවසෙ වත් මං මෙච්චර පිච්චුන්නෑ.
මොකද ඔයාට මතක නැති කර ගන්න ඕන වුන හැම දෙයක්ම මතක තියා ගන්න ඕන වුනා.මගේ ජීවිතය මගේ සතුට රැඳිල තිබුනෙ ඒ මතක එක්ක විතරයි.

මං අදත් ඉඳල හිටල 122  පාරෙ යනව එනව.එදා අපේ ආදර ගමන පටන්ගන්න ඇත්තෙ කොයි බස් එකේදි වෙන්න ඇත්ද කියල ඒ පාරෙ යන හැම බස් එකකම අතීතයට එබෙන්න උත්සහා කරනව.
නුගේගොඩ බෝධිය තවත් දළු දානව.නුගේ ගොඩ හුඟක් වෙනස් වෙලා.ගුවන් පාලමකුත් ඇවිත්.හරියට වෙනස්වුන ඔයාගෙ ආදරේ වගේම නුගේගොඩත් වෙනස්වෙලා...අපි ඉස්සරලාම දවසෙ ගිහින් බත් කාපු සයිවර් කඩේ තාමත් තියනවද මං දන්නෑ.මං කිසිම දවසක ඒ දිහා බලන්නෑ...මොකද ඈතින් බෝධිය දකිද්දී පවා සාහසික අතකින් මගේ හදවත මිරිකනව වගේ හැඟීමකුයි මට දැනෙන්නේ.

ඇත්තමයි නුගේගොඩ කියන්නේ දුෂ්ට නගරයක්.මගේ සතුට සිනාව කඳුල වේදනාව විදවීම මේ හැම දෙයක්ම නුගේගොඩ එක්ක බැඳිල තියනවා.

නුගේගොඩ ආව හැම දවසකම මට මලගිය අපේ ආදර සැමරුම් වල භූතාත්ම හම්බුනා.මං ඒවත් එක්ක කතා කලා.ඒකත් වෙලාවකට සහනයක්.ඒත් හුඟක් විඳවීමක්.මං ආසම කරපු තැන පිල්ලෑවෙ පංසල..ඒ බෝධිය යට හැමදාමත් මං වින්දෙ නිරාමිෂ ප්‍රීතියක්.ඒත් අද මට පිල්ලෑව ගැන හිතන්නත් බයයි.මගෙ හිත කියනවා අතීත මතක තියෙයිද කියල බලන්න එකපාරක් පිල්ලෑවට ගිහින් වරෙන් කියල.ඒත් මං හුඟක් ආස කරපු පිල්ලෑවෙ , අපි හුඟක් සතුටින් අත් වැල් බැඳගෙන ගිය පිල්ලෑවෙ හුදකලාව යන එක මට උහුලන්නෑ.අපි ඔයාගෙ බත්එක කාපු කඩේ.මලවපු පොල් සම්බෝලෙයි හිඳවවපු පරිප්පු මාළුවයි සෝයා මීටුයි.මට අදත් මේ කෑම ජාති තුන එකට හදන්න බෑ.හැදුවත් කඳුළු නොබී කන්නත් බෑ...ඒ හංද හදන්නෙත් නෑ.ඔයයි මායි හැර ඒ කෑම වට්ටෝරුවට කැමති  තව කෙනෙක් මට තාම මුණ ගැහිලත් නෑ.

අපි හුඟාක් දුර වුනත් දුර වුනත් මං හැමදාම ඔයාගෙ හිත  ලඟ උන්න.ඔයා දන්නෑ...ඔයාට හිතා ගන්නත් බෑ....නුගේගොඩ ආව හැම දවසකම මට දැනුනෙ ඔයා ලඟ ඉන්නව වගේ.ඔයාගෙ කෑම වේල් හදල දිදී ඔයාගෙ දරුවො උකුලෙ තියන් ඉස්සර වගේම ඔයා එක්ක වල්පල් කියව කියව  ඔයාට තුරුල්වෙලා ඔයාගෙ ළඟින්ම ඉන්නව වගේ.

මට හැමදාම තිබුනෙ හරි පුංචි හීන.මං ආදරේ කෙනාගෙ අතින් අල්ලගෙන රටේ ලෝකෙ සේරම බූත කියෝ කියෝ  ඔහේ ඇවිද ගෙන යන්න...මං දවසකට එහෙං මෙහෙං අහුල ගන්න  කතන්දර  පණ  පිහිටවල මං ආදරේ කෙනා එක්ක කියවන්න.. එයාගෙ පපුවෙ උණුසුමට තුරුල්වෙලා නිදා ගන්න ...දරුවො මහ ගොඩක් හදල එයාලත් එක්ක සෙල්ලම් කරන්න...අගලෙන් අඟල එයාල වැඩෙනව දකින්න..

මං දෛවයෙන් ඉල්ලුවෙ හුඟක් පුංචි දේවල් .ඒ දේවල් එකක්වත් දෙන්න දෛවය කැමති උන්නෑ.ඔයාව දුන්නෙත් නෑ.ජීවිතේ එකම සතුටක්වත් දුන්නෙත් නෑ...මං සතුට කියල ඉල්ලපු කිසිම දෙයක් දුන්නෑ..දුන්න කිසිම දේක සතුටක් රැඳිල තිබුනෙත් නෑ.නුගේගොඩ  නගරය වගේම දෛවයත් මහම මහ දුෂ්ටයෙක්...
ඔයා ළඟට නාවත් ඇහැට නොදැක්කත් නුගේගොඩ  අහස යට ඔයා ඉන්නව කියන සිතිවිල්ල පවා මට සුවයක් ගෙනාව.ඔයා එයාගේ උනත් ඔයා නුගේගොඩ අහස යට ඉන්න තාක් ඔයාගෙ කොටසක් මාත් එක්ක ජීවත් වෙනව කියල මට දැනුන.නුගේගොඩ හුළඟට මං ඉව ඇල්ලුවෙ ඔයාගෙ ඇඟේ හැපීගෙන එන සුලඟක සුවදක් හරි මගේ ඇඟෙත් දැවටෙයිද කියල බලන්න...

ඒත් අද මට සදාකාලයටම ඔයා නැත්තටම නැති වුනා..ඔයා නුගේගොඩින් සමු ගත්ත..ඔයා මගේ ළඟ පරිස්සමට තියං උන්න ඔයාගේ කොටස ඒත් එක්කම ඔයා ගෙනිහිල්ල. ඔයා මට නැති වුනා කියල ඇත්තටම දැනෙන්නේ දැනුයි .ඒකයි කවදාවත් නැතුව මාව මේ තරම් පිච්චෙන්නෙ..දැන් ඔයා මුළුමනින්ම එයාගෙ වෙලා...

ඉතිං මගේ සුහදයාණෙනි ,ඔබට සුභ ගමන්..සදහටම ආයුබෝවන්........

සංසාරෙදි කවදාවත්ම ආයෙත් මුණ ගැහෙන්න එපා.ඒක සදාකාලික විඳවීමේ චක්‍රයේ දෙවන  ඇරඹුම වේවි...ඒ වගේ වේදනාවක් ආයෙත් දරන්න බැරි තරම්ම මගේ හදවත හුඟක් පුංචියි..


මේ ජීවිතේ කිසිම දවසක ආයිත් මගේ සිතේ නු ඹේ නමින් කවි නූපදිනු ඇත

Saturday, October 28, 2017

අද දවල්ට උයාපු මාළු හට්ටිය හොරා කෑ කළු බල්ලා කෙරෙහි පතල කරුණාවෙන් ලියා දක්වමි



අසරණ ආදරණිය කළු බල්ලානෙණී,

ඔබ දුර දිග සිතා බලා නොකරන ලද යම් ක්‍රියාවක් නිසා අපේ නැන්දම්මාගේ නීති පොතේ හතලිස් ලක්ෂ අසූ අට දහස් නවසිය විසි තුන් වන වගන්තියේ  (ආ) කොටසට අනුව සාපරාධී වරදකරුවෙකු බවට නම් කර ඇති බව මෙයින් කණගාටුවෙන්  දැනුම්දෙමි.

දහවල් ආහාරයෙන් පැය කීපයකට පසු නිකමට හට්ටි මුට්ටි ඇර බැලූ මාමණ්ඩියා හඞ නගා දැනුම් දුන්නේ මාළු හට්ටියේ එකම මාළු කෑල්ලක්වත් බේතකටවත් ඉතිරී වී නැති බවය.

නිවාඩු දින වල දහවල උදාවෙන්නේ හවස පහෙන් පසු බව විස්වාස කරන සුද්දා මේ වන විටත් දවල්ට නොකෑ බව සිහිව දෙකොන ගිණි වැදුනු නැන්දම්මා වහාම පවුලේ කොමිටියක් කැඳවා තමන් කෑ මාළු කෑලි ගනන හෙලිදරවු කරන ලෙස නියම කර සිටියාය.

පෙරේතකමට මාළු කෑලි දෙකක්ම කෑ මම ඉන් එකක්  දෝණීගේ ගිණුමට බැර කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියදී කට බොරු කීවත් බොරු නොකියන දිවෙන් “දෙකක්“ කියා පිටට පැන්නේය.සියල්ල ගනන් හදා බැළු නැන්දම්මා අනතුරුව හැරුනේ දෝණි දෙසටය.ඇය වහා රවා ඉවත බලා ගත්තාය. ඉන් තුෂ්නිම්බූත වූ නැන්දම්මා වරද ඇය පිට පැටවීමට ඔන්න මෙන්න කියා සිටිද්දී අහිංසක ලෙස කතා කල මා මම ඇයට මාළු කෑලි දෙකක්ම අනා බත් දුන්නත් ඇය එක කටක්වත් නොකෑ නිසා ඇය කෑ මාළු කෑලි කීයදැයි ඇසීම යුක්ති සහගත නොවන බව පෙන්වා දුනිමි.

සියල්ල ගනන් හදා බැලූ නැන්දම්මා තමන් දන්නා ගණන් සාස්තරය අනුව නම් හට්ටියේ තව කෑලි හයක් ශේෂව පැවතිය යුතු බව උදාරම් ලෙස ප්‍රකාශ කර සිටියාය.මා දන්නා ගනන් සාත්තරයත් එය එමමයි එසේ මයි යැයි පැවසූ නිසා “මිෂන් ඉතිරි වූ මාළු කෑලී සර්චිං“ මෙහෙයුම වහාම ඇරඹිනි.


වැඩි දුර කරන ලද පරීක්ෂණ වලින් හෙලදරව් වූයේ අවසාන වශයෙන් මාළු බෙදා ගත් තැනැත්තා මා බවය.නැන්දම්මා වහා නියෝග කර සිටියේ මතකය පොල්කටු හැඳි මිටෙන් කූරු ගා හෝ මා බෙදා ගත් පසු හට්ටියේ කෑලි කීයක් තිබුනාදැයි වහාම ප්‍රකාශයක් නිකුත්කරන ලෙසය.අවසානයේ මාළු කෑලි පහකුත් එක ඔළුවකුත් ශේෂව පැවති බව මගේ මතකයට ඒම වාසනාවක්  විය.

අල ඉවූ හට්ටියටවත් මෑකරල් ඉවූ හට්ටියටවත් පපඩම් බැද දමා තිබූ බෝතලයටවත් රයිස්කුකර් එක ඇතුලටවත් මාළු කෑලි අහම්බෙන් වත් රිංගා නැතැයි සැක හැර දැනගත් පසු ගෙදර ඇත්තෝ මාළු කෑලි වලට සිදුවන්නට ඇති දේ ගැන විවිධ උපකල්පන ඉදිරිපත් කලහ.

1.       දෝණී හොරෙන් කා ඇත.
2.       පූසා හොරෙන් කා ඇත
3.       ගෙදර කවරෙක් හෝ හොරෙන් කා ඇත.
4.       සරණාගත බල්ලෙක් /හෝ පූසෙක් හොරෙන් කා ඇත.

ගෙදර සියළු දෙනාටම තමා හැම විටම ප්‍රමානවත් තරම් ආහාර සපයන නිසා ගෙදර කවරෙකු හෝ හොරා කෑවා යැයි සිතීම නැන්දම්මා දැඩිව ප්‍රතික්ෂේප කලාය.පූසා කරටි කඩාගෙන අපේ ඇඳේ  නිදන් ඉන්නේ පැය ගානක සිට බව ප්‍රකාශ කල සුද්දා ඌ ගලවා ගත්තේය.දෝණි මාළු දැඩිව අප්‍රිය කරන බවත් උයා ,බැද,තම්බා හෝ මැල්ලුම් හදා දුන්නත් ඌට හොඳටම බඩගිනි වී තිබුනු වෙලාවක මිස මාළු නොකන බවත් මතක් කර දෙමින් මම දෝණී ගලවා ගතිමි.

අන්තිමට ඉතිරි වූයේ එකම සැකකරුවෙක් පමණි. එනම් සරණාගත බල්ලෙක් හෝ පූසෙකි.ගෙදරට එන සරණාගත බල්ලන් හා පූසන් ගැන අනුලෝම හා ප්‍රතිලෝම වශයෙන් හිතා බැලූ ගෙදර ඇත්තෝ මස්සිනාගේ ගෙදර පූසා සැකකාර ලැයිස්තුවෙන් ඉවත්කර දැම්මේ මේ දවස්වල අසනීපයෙන් පෙලෙන ඌ වැඩි පුර ඇවිදින්නට නොයන නිසාය.හන්දියේ සිට දෝණීගේ බත්පතෙන් ඉඳුල් ටිකක් හිඟා ගැනීමට එන එකැස් කැහුටු බැල්ලී ලැයිස්තුවෙන් කපා ඉවත් කලේ දින කීපයක සිට උන්දෑ ආගිය අතක් නැති බවට පලවූ කට කතා හේතුවෙනි.

අවාසනාවත්ත කළු බල්ලානෙණි 

අවසානයට සැකකාර ලැයිස්තුවේ ඉතිරි වූයේ ඔබම පමණි.

විත්ති කරු නැතිවම ගෘහස්ථ උසාවියේ  නඩුව විභාග කල නැන්දම්මාගේ මතය වූයේ අයාලේ යන බල්ලන්ට කන්නට තම පිඟානේ කෑම ඉතිරි කරන දෝණි ප්‍රධානම වැරදිකරු බවත් දෝණිට කා ඉවර කරන්නට බැරිතරම් ගොඩක් බත් අනා දෙන ගෙදර ඇත්තෝ දෙවන වැරදිකරුවන් බවත්ය.තව දුරටත් හේතු දැක්වූ නැන්දම්මා ප්‍රකාශ කර සිටියේ එය සම්පත් නාස්තියක් බවත් මේ ආර්ථික දුර්භික්ෂ සමයේදී මෙම ක්‍රියාව යහපාලනය විසින් අනුමත නොකරනු ඇති බවත්ය.

අනතුරුව පිහිය මිටෙන් තෙවරක් මේසයට තට්ටු කල නැන්දම්මා තීන්දුව දුන්නේ ඔබ දුටු තැන “අණ්ඩක් කඩා දැමීමේ“ දඞුවම ඔබට දිය යුතු බවය.

දයාබර කළු බල්ලාණෙනි ,මට ඔබ ගැන හුඟාක් දුකය.ඒත් උපරිමාධිකරණය පැනවූ  තීන්දුවක් සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට ගෘහස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා  දී නැත.

මේ තීන්දුවෙන් පසු මාමණ්ඩියා අළුත් සාක්ෂියක් ඉදිරිපත් කරමින් කියා සිටියේ හට්ටියේ මාළු කෑලි එකක්වක් නොතිබුනත් මාළු මූඩියෙන්  හට්ටිය තිබූ පරිදිම තිබූ බවත් මාළු කෑලි නැති බව තමා දැන ගත්තේ එය විවර කර බැලීමෙන් පසුව බවත්ය

ඉන් මදක් චංචලව ගියත් නැන්දම්මා පැවසුයේ නඩු තීන්දුව දුන් පසු  සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් වැඩක් නැති බවත් නියම කල දඞුවම කිසිසේත්ම වෙනස් කල නොහැකි බවත්ය.

ඒත් මාමණ්ඩියා දැඩිව කියා සිටියේ හට්ටිය විවර කර මාළු ටික කා නැවත හට්ටිය වසා දැමීමට තරම් සූර බල්ලෙකුට දඞුවමක් නොව සම්මානයක් දිය යුතු බවය.

මමත් ඊට එකඟ වූයේ එතරම් බුද්දියක් ඇති හා කෑම කෑමට කැමති කළු බල්ලා  අරන් හදා ගැනීම පිණිස අපේ ගෙදරට ගෙන්නාගෙන බලෙන් කෑම කැවිය යුතු හා  මරි මෝඩ අපේ දෝණියා ඒ ගෙදරට දිය යුතු බව ප්‍රකාශ කරමිනි.

එය ඇසූ දෝණියා හෙමින් අපේ නිදන කාමරය දෙස පසු බසිනු දුටු මම වහ වහා ඒ දෙසට ගියේ  මගේ අනුවණ දුෂ්ට ප්‍රකාශයෙන් හිත පෑරී ගිය ඇය කොට්ටයකට හිස ඔබා  හඞා වැටෙනවා නම් හිස අතගා  සනසා සමාව ඉල්ලීම සඳහාය.

නමුත් දොර රෙද්ද යාන්තම් එහා මෙහා කර බැලූ මම දුටුවේ දෝණී හොම්බෙන් ඇණ තුන් නින්දේ උන් පූසා ඇහැරවන බවය.පූසා නැගිට්ටේ නින්ද කැඩූ එකාට සාප කරමිනි.

අනතුරුව ඈණුමක් ඇර ඇඟමැලි කැඩූ පූසාත් දෝණීත් අතර සංවාදය පහත පරිදි විය.

පූසා - මොන මගුලක්ද ඕයි.මාව ඇහැරෙව්වෝ..

දෝණී -  අනේ පූසෝ.. හොඳ පූසෝ..මට ලොකූකූකූකූකූ උදවුවක් කරන්න පුළුවන්ද

පූසා- කියනව කියනව මලවදේ..ඉක්මනට කියනව..මට ආයෙත් නිදා ගන්න තියනව..රෑට ටෝක් කරන්න ඕන පූසියො හතර පස් දෙනෙක්ම ඉන්නව....ඒ මදිවට හොරිකඩ පූසෝ තුන්දෙනෙක් මගෙං ගේම ඉල්ලලත් තියනව.

දෝණී -  ඔයා කළු බල්ලව අඳුනනවද?

පූසා - ආ අර පුවක්කොටුවෙ ගෙදර බල්ලනෙ..මට සමහර දවස් වලට හම්බෙලා තියනව.

දෝණි -  එයාගෙන් බඩ්ඩක් අහන්න පුළුවන්ද?

පූසා-(තඩි ඈනුමක් යවමින්)ඉතිං කියනව

දෝණි - එයාටයි මටයි අපි දෙන්නගෙ තැං මාරු කරගන්න පුළුවන්ද කියල අහනවකො

පූසා - (දැන් සම්පූර්ණයෙන්ම නින්දෙන් අවදිව)ඒ මොකද ඕයි..

දෝණි -  බලනවකො මෙහෙ ඉන්නකොට මට කාල ඉවරයක් නෑ..මස්ද මාළුද පීකුදුද උම්බලකඩද  කරවලද  කෙලවරක් නෑ ගෙනත් මගෙ නාහෙ යටිං ඔබනව.පුළුවං ටික කාල බැරි මරගාතෙ ඉතුරු කරොත් මං කාල නෑ කියල හිටං කිරි එකකුත් ගෙනත් දානව.ඒක බීවෙ නැත්තං බේත් විදින සිරිංජරේක දාල උගුරටම විදිනව..මට තවත් මේ කරුම විඳින්න බෑ ඕයි...

පූසා - ඉතිං ඕයි ආදරේටනේ ඔය කන්ඩ බොන්ඩ දෙන්නෙ

දෝණි - මරු ආදරේ ..යකෝ ආදරේට නං ඔච්චර කවල මරන්න හදනවද?මං බයේ ඉන්නෙ කොයි වෙලේ හරි කාල මාව පුපුරයි කියල

පූසා - එහෙනං නොකා ඉන්නවකො

දෝණි - නොකා හිටියොත් අර ජරා රහ අසමෝදගම් පොවනව බලෙන්ම..නැත්තං මගුල් බේත් විදිනව.ඒකට බලනව කළු බල්ල.ඌට ඕනතරං නොකා ඉන්න පුළුවං..ඒ හංද බඩගිනි වුනාම අනුංගෙ ගෙවල් වලට පැනල හොරෙං කෑමේ ආතල් එක ගන්නත් පුළුවං

පූසා-අනේ මට නං කුප්පමේනිය ගහක් උදුරලා දෙන එකට වඩා කරදර කරන්නෑ එයාල..ඇරත් මං කුප්පමේනිය වලට ආසයි.

සංවාදය ඉතා දුරදිග ගිය අතර රැලේ යන කාලයේ අපේ ගෙදරට ගොඩ වැදුන කළු බල්ලාට සුද්දාත් මාත් ගල් වලින් සංග්‍රහ කලේ තමාගේ අනුදැනුමකින් තොරව බව පවසන මෙන් පූසාගෙන් උදක්ම ඉල්ලා සිටියාය.එසේම මේ ගෙවල් මාරුවට කැමති නං එක රැයකට තමා ඔහුගේ බිරිඳ වීමට වුව කැමති බවත් නමුත් එය ලෝකයෙන්ම රහසක් ලෙස තබා ගත යුතු බවත් කීවාය.තමා යෝජිත විවාහයකින් ටෙඩීට බන්දා දී ඇති බවත් තමා ගර්භණි බවට තමාට සැකයක් ඇති බවත් අනාචාරයේ හැසිරුනු බව ආරංචි වුනොත් ටෙඩී තම දරුවන්ට පිතෘත්වය ලබා දීම ප්‍රතික්ෂේපකිරීමේ අවදානමක් ඇති බැවින් තම දරුවන් අවජාතක කිරීමේ ශාපය නූසුලා මේ සියල්ල රහසක් ලෙසින් රැක ගන්නා ලෙසත් හැඞූ කඳුලින් යුතුව පූසාට පැවසුවාය.

නමුත් කළු බල්ලාණෙනි,මේ අයථා සම්බන්ධයට එරෙහිව ටෙඩීගේ ගෙදරිනුත් අපේ ගෙදරිනුත් දැඩිව සුපරික්ෂාකාරීව පසුවන නිසා ඔබේ ජීවිතයෙන් වන්ි ගෙවීමට වෙන මෙබඳු වරදක් කර නොගන්නා ලෙස මම දැඩිව අවවාද කර සිටිමි


එසේම මේ වන විට මාළු හට්ටිය වසා තිබියදී බල්ලා මාළු කෑ හැටි ගැන විකල්ප ආකාර 03 නැන්දම්මා විසින් ඉදිරිපත් කරන ලදී.බල්ලා විසින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නට ඇති ආකාරය ගැන පරිකල්පනය කිරීමට ගොස් මගේ මොලේ පිටපොට ගිය බැවින් මේ ලියවිල්ලේ බොහෝ ව්‍යාකරන දෝස තිබීමට ඉඩ ඇතිය.

එසේම මගේ පූර්ව ජන්මයක කුසලානිසංශයෙන් මේ මාළු ටික ගෙනවිත් ඇත්තේ සුද්දා වීම හේතුවෙන් මාළු මිල පිළිබඳ කාලගුණ වාර්තාවක් හෝ බල්ලන්ට මාට්ටු නොවන ලෙස මාළු හට්ටි වසා දමන්නේ කෙසේද යන මාතෘකාවෙන්  නැන්දම්මාගේ හරබර දේශනයක් ඇසීමේ අවාසනාව මට උදා නොවීය.
මාමණ්ඩියා තවමත් ඔබට සම්මාන දීමට කැමැත්තෙන් හිඳී.ඒත් නැන්දම්මාගේ දඞුවම වඩාත් බලාත්මකව පවතී.එබැවින් නැන්දම්මා ගෙදර අහල පස් ගවුවක හෝ ඉන්න වෙලාවක අපේ ගෙවල් දෙස බලා බත් කටක් හෝ නොකන මෙන්  දැඩි ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මාමණ්ඩියා ඉන්න වෙලාවක අනතුරක් සිදුවේයැයි මට  සැක කල නොහැකි වුවත් සම්මානයක් දීමේ මුවාවෙන් ඔබ කැඳවීමට මාමණ්ඩියාට පොළඹවා  ඒ අවස්ථාවේ ඔබ “ත්‍රිවිලරයක්“ බවට පත් කිරීමේ හැකියාව නැන්දම්මාට ඇති බැවින් ජීවිතාරක්ෂාව සඳහා වඩාත් සිහි බුද්දියෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

එසේම තවත් එකම එක අහිංසක ඉල්ලීමක් ඇත.නැවත මෙසේ හොරකමක් කරන විට සුද්දාට කන්නට මාළු කෑලි දෙකකුත් මට රෝස් පාං කෑල්ලක් කෑමට හොදි පොඩ්ඩකුත් ඉතිරි කරන්න



Monday, October 2, 2017

බණ්ඩාගේ කොළඹ ගමන part- 02 හෙවත් පොත් ගුල්ලියකගේ බුක් ෆෙයාර් වන්දනාව


මා එදා වේල හම්බ කර ගැනීමට රස්සා වලට යාමට පටන් ගත් මුල් අවධියේම වැටුප බැර වන ගිණුමෙන් තවත් ගිණුමට ස්ථාවර නියෝගයක් දුන්නේ හැම පඩියකිංම 2000ක් වෙනම ගිණුමකට දමන ලෙසයි.එහි එක් රැස් වන මුදලින් සැප්තැම්බර් බුක් ෆෙයාර් වන්දනා කිරීම මගේ සාමාන්‍ය සිරිතයි.

මෙවර  ඒ මුදල වියදම් කිරීමට ලෝබ කමක් හට ගත්තේ සුද්දාත් මාත් එක්ව අටවන් යන අපේ කැදැල්ලේ එක බිත්තියක් වත් කපරාරු කිරීම පොත් ගැනීමට වඩා යහපත් නොවේදැයි මගේ හඳුංපොත මගෙං පුරස්න කල බැවිනි.බිත්තිත් වහලයත් පමණක් ඇති ගෙදරන අහිගුන්ටික ජීවිතයක් ගත කිරීමෙන් මේ වන විටත් අපි බාගෙට පිස්සු වැටී සිටිමු.

අපේ ගරුතර විදුහල්පතිනිය ඊට සහයෝගය දුන්නේ  බස් එක පමා වන විනාඩි 05ට රතු ඉර ගසා මගේ නිවාඩු ටික අනුභව කිරීමෙන් හා පාසල් පැමිනීමට වෑන් එකක් හයර් කර ගැනීම නිසා පඩියෙන් ගෙඩි පිටින් 2000ක්  ඒකට පූජා කිරීමට සලස්වා මාව බංකොලොත්භාවයට පත් කිරීමෙනි.අපේ සුන්දර පෙම්බර විදුහල්පතිනියට ජය වේවාය! වැඩි වැඩියෙන් ඉරි ගහන්ට ශක්තිය ධෛරයය ලැබේවාය.


යන්දෝ නොයන්දෝ යන දෙගිඩියාව බුකි වාසීන්ගේ ජනතා පරමාධිපත්‍යයට යටත් කල විට ලද උපදෙස් වලට අනුව බුක් ෆෙයාර් වර්ජනයකට අවසන් නිගමනයට එළඹියෙමි.කුයි කුයි ගාන හදවත ගැට ගසා පාසලේ පුස්තකාලෙන් ගත්පොත් තොගයක් තුරුල් කොට ගෙන හිත සනසා ගතිමි.

මගේ සියළු අධිෂ්ටාන යකාට යවමින් මගේ සදාදරණීය නගණ්ඩිය ජංගමයා හරහා පවසා සිටියේ තමාට පොත් තොගයක් ගැනීමට ඇති බවත් ඒකට එක්කං යන ලෙසත්ය.

හදවත බල්ටි ගැහුවේ නගණ්ඩියගේ පානෙන් එලිය ගෙන මටත් බුක් ෆෙයාර් එක වන්දනා කිරීමට හැකි හංදාය.

මේ අහු අස්සේ මගේ පණ කෙන්ද වූ දෝණී ලෙඩ විය.කෑම වර්ජනය කරන්නට වූ හංදා සිරිංජයකිං බලෙන් කිරී පෙවූ අතර ඒවාට වැය වූ මුදල් ප්‍රතිපූර්ණය සඳහා සුද්දා විසින් පන්දහසක් පරිත්‍යාග කරන ලදී.

මම මගේ අන්තිම සතේත් කදමළු බැඳගෙන බුක් ෆෙයාර් වන්දනාව සඳහා දින ගැන්නෙමු.සෙනසුරාදා දෙවන බස ප්‍රවීනතාව ලබා ගැනීමට පංතියකට යන බැවින් ද ඉතුරු දවස් ටික ඉස්කෝලේ යන බැවින්ද සුභ නැකත යෙදී තිබුනේ විසිහතර වෙනිදාටය.

මේ අහු අස්සේ මා හෙලිදරවු කර ගත්තේ සුද්දාගේ සපත්තු  දෙකේ අවුලක් ඇති බවය.අළුත් සපත්තු නොගන්නේ මන්දැයි ප්‍රශන කල විට සපත්තු ගැනීමට තබා වුන් මුදල මට පොත් ගැනීමට දුන් බවත් ලබන පඩියෙන් සපත්තු ගත හැකි බවත් නමුත් ලබන පඩියෙන් බුක් ෆෙයාර් යාමට බැරි බවත් කීවේ මගේ ඇසට කඳුලක් නංවමිනි.


මගේ ආත්මාර්ථකම ගැන මා සිය වරක් මටම ශාප කර ගන්නට ඇත.මගේ සතුට වෙනුවෙන් ඔහු තමාගේ අවශ්‍යතාව කැපකර ඇත.

තාත්තාගේ කොන්තරත් වල චෙක් හම්බවෙනකල් බුක් ෆෙයාර් එක පවත්වන්නේ නැති හංදාත්,ඒත්පොත් ගන්නට ම ඕනෑ හංදාත් මල්ලී ඔහුගේ මාලය උකස් තබා ඇත.අක්කා කෙනෙකු විලස මං ඔහුට බැන වැදිය යුතු වුනත් 2008 මා බුක්ෆෙයාර් වන්දනාවේ ගියේ 3000ට මගේ මාලය උගස් තැබීමෙන් බව මට අමතක කල නොහැක.එහිදී ගත් ඈන් පොත් පෙල තවමත් යලි යලිත් කියවමින්  මා ලබන සතුට මතක්වෙද්දී අහිංසක කොළුවාට දොස් නැගීමට මට හිත දුන්නේ නැත.වසර 9ට පසුව ඔහු අක්කාගේ මල්ලීම බව ඔප්පු කර ඇතුවාම පමණි.

ඉස්සරලාම ආ බාධකය වූයේ මගේ ඇඳුමයි.සුදු රැලි සායත් කළු හැට්ටයකිං යුත් මගේ ඇඳුමට නගණ්ඩි එක හෙලා විරෝධය පලකලාය.

“ඔයි ඇඳුම ඇඳගෙන මාත් එක්ක එහෙම එන්ඩ එපා“යි තර්ජනය කලාය

“දැන් ඔයි ජාතියේ රැලි සායවල් අඳින්නෙ නෑ“යි තියමිං තර්ජනයේ සැර බාල කලාය.

රස්සාව හංන්දා කොතැනටත් සාරි බාරි අදින මං,කොයි දේටත් සාරි බාරි තෑගි හම්බෙන මං ,ඔයි විලාසිතා ගැන වැඩි මනං දේ දන්නේ නැතිය.සාරියක් ඇර අළුත් ඇඳුමක් ගත්ත කාලයක්වත් මතකේද නැතිය.අන්තිමට මගේ සාරි ගොඩ පැත්තකට තල්ලු කල ඇය ඇඳුමක් තෝරා දුන්නාය.එය තරමක පරණය.

ඒකට කමක් නෑ පරණ පැෂන් ඇඳගෙන යනවට වඩා පරණ ඇඳුමක් ඇඳන් යනවා...ඒ නගන්ඩගේ අදහසයි.

අවසානයේ උදේ අපි තිදෙනා-නංගීත් මල්ලීත් මාත් - වන්දනාවේ පිටත් වුනේ  උදේ 6.30 එළඹි සුභ මොහොතිංය.නැකත පට්ටම සුභ බව කියා පාමිං පටංගත් තැන හිටංම ගේන පොත් හෝදලාම ගෙට ගන්ඩ පුළුවං වන  තරමේ මහ වැසි ඇද හැලෙන්ඩ විය

ගමේ බසයෙන් අවිස්සාවේල්ලට ආපහු ගිහින් එතනින්ම බස් එකට නැග වාඩිවෙලාම එනවාද නැත්තං හන්දියෙන් බැස මගින් බස්එකට නගිනවාදැයි මොළය සමඟ කල තර්ක විතර්ක වලින් පසු හංදියෙන් බැස 122 බසයක එල්ලුන අපිට මගේ රමණීය තීරණයේ මරණීය ප්‍රතිඵල පෙන්වමින් මහරගමට යනතෙක් වවුලන්ට පවා ඉරිසියා හිතෙන අන්දමට එල්ලී යාමට සිදුවිය.

අන්තිමට දෙයියනේ කියා අපි කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියෙන් බැස ගත්තෙමු.මේ මා හැමදාම බුක් පෙයාර් වන්දනාවේ ගිය පාරයි.එතැනින් බැස 154 බස් එකක නැග්ග පසු කිසිම ගින්නකින් තොරව පොත් පොළ ඉදිරියෙන්ම බැස ගන්නට පුළුවන.පසුගිය වසර 02  යාමට බැරි වුන බව ඇත්තයි.ඒත් ඒ වරදට මේ තරම් දඞුවමක්....154ක් එන තුරු කවදාවත් මේ තරම් බලා ඉන්නට සිදුවී නැත.

අවසානයේ සැක සහිත වුන මා එතැනට පැමිනි 155 බස්සෙකෙන් විමසුවේ BMICH යාමට හැකිද කියාය.ඇයි ඉතිං එක ඉලක්කමයි නොවැ වෙනස්.
 ඒ මාතලීගේ බහුශ්‍රැත පිළිතුර වූයේ මෙතනිං බස් එක ගත නොහැකි බවත් “තුං මුල්ලට“ යා යුතු බවත්ය.තුං මුල්ල තබා එක මුල්ලක්වත් නොදන්නා මම වහාම නගණ්ඩිගේත් මලණ්ඩිගේත් මුහුණු බැලීමෙන් වැලකුනේ මගේ කාඩ් එක ඉරීගෙන යන ආකාරය ඔවුන්ගේ මූනෙන් දකින්නට වෙතැයි හිතාය.

අවසානයේ තෙසක් රියක් නවතා වීරයා සේ “BMICH“ යැයි මහ හඞින් කීවේ තෙසක් රියට පුදන මුදලින් ගත හැකි පොත් ප්‍රමාණය උපකල්පනය කරමිනි.

අවසානයේ වට කීපයක් ගසා එතැනට ආ රියදුරා 150 කීවේ මීටරයේ 50 අගේට දිස්වෙද්දීය.

“ බොල මීටරේ කැඩිලා“දැයි අහන්ට සිතුනත් 100යි නොවැ පාඩු හිතමිං කට පියා ගත්තේ නැත්තං  තෙසක් රියදුරෙකු සමඟ ඇදෙන්නට ගිය මගේ වලිය උපමා රූපක සහිතවම ගෙදරට වාර්තාවීමේ අවදානමක් ඇති නිසාය.සුද්දා ෂේප් කර ගත හැකි වුවත් තාත්තා ෂේප් කරනවා නං බොරුය.අනෙක ඒක ඇත්තටම කැඩිලාදැයි දන්නෙත් නෑ නොවැ.

අන්තිමට අටාහාමාරට එතැනට ගියෙමු.

හුටාය! පට්ට පෝලිමකි.ඉස්සර පාං පෝලිම වාගේමය.බණ්ඩාරනායක ශාලාව වටේටම ගිය පෝලිම පිටුපස ෂෙඩ් එක ලඟටම වී ඇත.

“මේ බුක් ෆෙයාර් එකේ පෝලිම“දැයි මම එකෙකුට ලංවී ඇහුවේ ඇත්තටම ෂුවර් නැති හංදාය

.
අන්තිමට අපි දෙයියනේ කියා ඇතුලට රිංගා ගතිමු.

නගණ්ඩිගේ පොත් හොයා කුටියෙන් කුටියට ගියෙමු.

එක විෂය ඒකකයටක එක පොත බැගින් ලියා ඇති ජීව විද්‍යා විෂය ධාරාවේ පොත් හැට හුට හමාරක් ගත් පසු ඇය සෑහීමකට පත්වුනාදැයි මම නොදනිමි.

වාණිජ විෂය ධාරාවේ 12 ට හා 13ට වශයෙන් උපරිම ව ලියැවෙන්නේ පොත් දෙකක් බැවින් මේ හරුප නොතේරෙන අසරණ නූගත් මං පැත්තකට වී ඔහේ හිටියෙමි.

අන්තිමට මමත් මල්ලීත් අපේ පොත් තෝරංට ගියෙමු.මල්ලී සාමාන්‍යෙයන් කැමති මා මල් පොත් යැයි හඳුංවන සරල පෙම් කතා වලටය.

කරවල ඔතං ගේන පත්තර පිටුවේ ඉඳන් අන්තර්ජාලයේ ගොසිප් පිටු පවා අතනාරින මං ඒවාට සල්ලි වියදං කරන්නට නං මැලිය.

අන්තර් ජංජාලයෙන් බා ගත් මල් පොත් ,පුස්තකාලයෙන්,යාළුවන්ගෙන් ඉල්ලාගත් එවැනි පොත් කියවනවා විනා මා ඒවා මිලට ගන්නේ නං නැතිය.මා මුදල් වැයකරන්නේ නැවත නැවත කියවිය හැකි ඒ කියවන වාරයක් පාසා අළුත් යමක් හැඟෙන දැනෙන ,හද රැඳුන තැං සිහිවද්දී පවා හිත රිදවන සනසන පොත්ය.බොහෝවිට පරිවර්තන පොත්ය.

අන්තිමට බොහෝකාලයක් ආසාවෙන් බලං හුන් ඇනා කැරණිනා ඇතුළු පොත් කීපයක් ගතිමි.

අවසානයේ “නිමිසා ප්‍රකාශන“ සොයං ගියේ රමණී බුලත්සිංහල මහත්මියගේ පොත් වලට සුද්දා හැර අපේ පවුලේ සියළු දෙනාම ප්‍රිය කරන හංදාය.මල්ලී කැමති යෞවන සමීන්ද්‍ර මහතාගේ පොත් වලටය.ඒ දෙබස් වලට බඩ වැල් කටින් එලියට එනකංම හිනාවෙන්නට හැකි හංදාය.

රමණී බුලත්සිංහල මහත්මියගේ අළුත් පොත් රැසක් එලි දැක්වී ඇත.මං කියවා නැති සියල්ල මිලට ගතිමි.මල්ලී ඒ ටික කියවා එවනකං මට මාසයක් විතර බලං ඉන්ට වෙනවාය.ඒත් බලං ඉන්ට බෑ වගේය.

අන්නිමට මම මට ආයෙම ඒ පොත් සෙට් එක මිලට ගන්ට යද්දී නගන්ඩ යුද්ද ප්‍රකාශ කලේ

“ හැබෑටම තමුසෙගේ මොලේ නරක්වෙලා“දැයි අසමිනි.

මටත් ඒ ටික කියවන්න ඕන“මං අහිංසක ලෙස නිදහසට කරුණු ඉදිරිපත් කලෙමි.

“එහෙනං අයියට වෙන පොත්ටිකක් අරංදීලා තමුසෙ ඒ ටික තියා ගන්නව..අයියට පොත් කියවන්ඩ මිසක් තමුසෙට වගේ පොත් එකතු කරන පිස්සුවක් නෑනේ...“

අන්තිමට මං මෝඩ අක්කා බුද්ධිමත් නැගණියගේ අවවාද වලට හිස නැමුවෙමි.

අපි සෙල්ෆි නොගැසුවත් එක යුතුකමක් හෝ ඉෂ්ට සිද්ධ කරනු රිසියෙන් නූල්ඩ්ස් කෑවෙමු.

ආපසු එන ගමනේ තුංමුල්ලෙන් බහින්නට හිතාගෙන 154කට ගොඩවීමු. කකුල් කඩෙත්තුව හැදෙනකං ඇවිද්ද හංදා සීට් එක උඩ ඔහේ තැංපත්ව උන්නේ පහු වන ගම් නියංගම් අඳුන ගන්නට උත්සහා දරමිනි.

අන්තිමට ලඟින් හුන් තැනැත්තෙකුට තුං මුල්ල ආසන්නයේදි මතක් කරන මෙන් ඉල්ලා සිටියේ නැත්තං කඩ වල බෝඩ් ලෑලි කියවමින් අඟුලානටම යාමේ අවධානමක් ඇති හංදාය.

ඔහු කරන්ට් වැදුනකු සේ උඩ පැන්නේය.හතර අතට නැවී සෙනග අතරින් රිංගා වටපිට බැලුවේය

“මේ තුංමුල්ල තමයි.“එවර කරන්ට් වැදුනේ අපි තුංදෙනාටය

පොත් පොල වන්දනාවේ ගිය ගොඩේ බයියංද අද බස්එකේ සිටිය හැකි බව කොන්දා ළමයාටද සිහිපත් වන්නට ඇත.ගිරිය පුප්පා

“තුං මුල්ල බහිංඩැයි“කෑගෑවේ ඒ හංදා වන්නට ඇතිය.

මා මෙන්ම මග හසර නොදත් උදවිය රංචු පිටිංම කරන්ට් වැදුනා සේ ෂීට් වලිං ඉවතට විසි වෙද්දී මං පසක්කර ගත්තේ තුං මුල්ල නොදන්නේ මං විතරක් නොවන බවය.


අන්තිමට ශ්‍රී සම්බුද්ධ ස්වර්ණ ජයන්ති මංදිරය ඈතිං දිස් වන විට තිඹිරිගස්යාය ආසන්නයේ කොහේ හෝ තැනක අපි සිටින බවත් දැන් 122ක නැගී නම්බු පිටිං ගෙදර යා හැකි බවත් පසක් කරගෙන සැනසුම් සුසුම් හෙලීමි.

ඒත් මෙවර බුක්ෆෙයාර් වන්දනාවේ සුන්දරම මොහොත මේ එකක් වත් නොවේ.රාක්ක වල ඉදන් අනේ මාව ගන්නැයි දෑතට පනින්න වෙරදරන ආදරණීය පොත් වලට කුරිරු ලෙස පිටු පාමිං අමාරුවෙන් ඉතුරු කරන් ආ රුපියල් දාහේ කොල 02 සපත්තු ගන්නැයි කියමින් සුද්දාට දුන් මොහොතයි.
ඔහුගේ දෑසේ දිස්නය දුටු මට පොත් කැපකිරීම උදෙසා ලැබිය යුතු වන්දිය ඕනෑවටත් වඩා ලැබුනු බව හැගී ගියේය.
                                 
පලි--.(මම උදේ 2.45 ට නැගිට උයා පිහා 5ට ගෙදරිං අවුත් දැරණියගල ටවුන් එකට 6.20 වෙද්දී ආවත් 7.10 වන තුරු බසයක් නැතිවීම මගේ වරදක් නොවේ.ඊට කලින් 6ට යන බසයේ යාමට දවසකට රු.400 දී තෙසක් රියකින් අවිස්සාවෙල්ලට පැමිණිමට මට සිදු වේ.බස්  එක 7ට දා ගැනීමට කල සියළු ප්‍රයන්තද අසාර්ථක විය-මේ මාගේ තත්වයයි.රාජකාරි දේවකාරි  පිළිබඳ බණ දෙසන්නට සූදානම් වූ ඊනියා අකුරට වැඩ කරන්නන්ට මේ මාර්ගයේ සතියක් එක දිගට අප මෙන්  ගමන් කරන ලෙස ආරාධනා කරමි.)