Saturday, May 30, 2015

විත්‍යා මගෙ නංගියේ





විත්‍යා මගෙ නංගියේ
එකින් එන හැඩ අකුරු අමුනා
හීන ඇහිඳින වංගියේ
විත්‍යා මගෙ නංගියේ


දෙපා තබනා වැලි කැටත්
අද ගොළුව ඉන්නා සන්දියේ
එදා ගිණි ගත් උතුර අදටත්
නිවී නෑ මගෙ නංගියේ

විත්‍යා මගෙ නංගියේ...

දිනක මල් යහනකදි සැතපෙන
සීනයෙන් නුඹ නංගියේ
මල් සමයෙ මල් හීන පොදි බැද
තනිව ඉන්නා වංගියේ

නොදැනුනිද මරු සැඟව හිටි බව
නුඹට හුරු ඒ හන්දියේ
එකින් එක සළු ලෙහී යද්දී
කුමක් හිතුනද නංගියේ

අවදි වුනු සර්පයන් නුඹ තුල
රසය සොයනා වංගියේ
නුඹේ කෙඳිරිලි මියුරු ගී ලෙස
උන්ට දැනුනද නංගියේ..

ගිණි වැදුනු ගත සතවපන්නට
උන්ගෙ මවු නැති සන්දියේ
පුංචි කැකුලක් විෂ දලින් තැළු
සැපය ඉතිරිද වන්දියේ

විත්‍යා මගෙ නංගියේ
උඹත් මිය ගිය වංගියේ
කඳුළු පමණයි අපට දෙත හැති
මක් කරන්නද නංගියේ






විප්ලව වාදියාගේ මළගම

කුමකටද හිස් අහස
කඳුළු වගුර වන්නේ
මළගමක් වේද මෙය?
මවකගේ දරුවෙක්
ඇගේ තුරුලටම වැදීම
නොහඬන්න මූසලය
අපිදු නොහඬමු............

කුමකටද මැයි ගස
ඉවත ලන්නේ ළපැටි පණ
කුමටද ඔහුට පාවඩ
දූලි හුරු දෙපයට
            නොවැටෙන්න මැයි මල
            අවැසි නැත සෝභන......

කුමකටද සුදු නෙළුම්
නිදි කිරා වැටෙන්නේ
පොකු‍ණේ නිසල බව වෙත
මැඩියෙක් පැන්න හින්දද?


            නොනිදන්න නැගිටින්න
            උන් තාම අවදියෙන්.....



කුමක්ද රැහැයියෝ
මේ මර ලතෝනිය
ඔහු නිහඬ වූයෙත්
නොබිඳාම නිහඬ බව


            යොමා නුඔ සවන් යුග
            අරුත් ගන්වනු ඊට....


සියොතුනේ පලා යවු
කිරි සයුර නිම් සොයා
කොක්කුන්ගෙ වාරයයි
මෙ එලඹි නිමේෂය



            තිත්තයෝ මැරී ගොස්
            කොකුන් කුස ගින්නේය..

කුමකටද වසත් සඳ
ආල වට්ටම් කෑලි
කොහිද මෙහි කුමුදු මල්
නුඹ එක්ක හිනැහෙන්න



            අටවකට ඉඩ දියන්
            පසුව හිනාහෙනු පිණිස...

කුමකටද මද සිනා
ලෝකයම මළ ගෙයක්
මෝඩ ඇස් බමන්නේ
හිස් ලොවක රජ වෙලා


            ලැජ්ජා නැද්ද තොට
            කල්පාන්තෙට පායනු....



            

Thursday, May 28, 2015

ගිරවියකගේ කඳුළු මාලය




මාල ගිරවි ඉස්සරත් හිටියේ තනියම...මාල ගිරවිට මාල ගිරවි කිවුවට හරියටම මාල ගිරවියක්ම නෙමෙයි.මාලෙ පේන්නෙත් යන්තමට.ඒත් ජීව විද්දියාත්මකව මාල ගිරවියක්  ..අම්මයි තාත්තයි සැනසුනා.

ඒ තනිකම හරිම සුන්දරයි...බැඳීමක් නෑ..තමන්ට ඕන වෙලාවක ඕනම තැනකට ඉගිල්ලිලා ඕන තරම් කාලයක් රස්තියාදු ගහලා එන්න පුළුවන්.යාළු මාල ගිරවියන්ගේ ආදර කතා වලින් උනපු හොටු කඳුළු පිහදාන ගමන් මාල ගිරවි කල්පනා කලේ තමන්ගේ තනිකම කොච්චර සුන්දරද කියලා..

ඇත්තටම ඊට කලින් එක ගිරවෙක් මාල ගිරවිගේ හිත  හරිම ලේසයෙන් කෑලි කෑලි වලට කඩලා ඈතට ඉගිලිලා වහං වෙලා ගිහින් තිබුන හින්දා මාල ගිරවි අත් දැකීමෙනුත් ඒ ගැන දැනගෙන හිටියා.ඒ හින්දම මාල ගිරවි ඒ තනිකමට මහ ගොඩක් ආදරය කලා.

ඒත් අම්මටයි තාත්තටයි මාල ගිරවිගේ නිදහස් සරල ජීවිතය හිසරදයක්ම වුනා...කිසිම මාලගිරවියකට බෑ තනියම ජීවිතේට මූණ දෙන්න තාත්තා කිවුවේ අවධාරණයෙන්.

අන්තිමට මාල ගිරවිට තර්ක කරලා මහන්සියි.අන්තිමට ගිරවි කට වහගත්තා.රට පුරාම ඉන්න ගිරා පෝතකයන් ගැන විස්තර තුඩ තුඩ බෙනය ඇතුලට ගලාගෙන ආවා.

අන්තිමට වන්දනාවේ යනවා වගේ කදමළු පොදි බැඳ ගත්ත ගිරා පවුල් සැරෙන් සැරේ බෙනයට යන්ට එන්ට ගත්තා...එදාට එක එක රස පල වැල කෑම මේසෙට වඩිනව.ගිරාපෝතකයන්ට කෙසේ වෙතත් මාල ගිරවිගේ හිත හැමදාම ඇද ගත්තේ කෑම මේසෙම තමයි.

අන්තිමට උරුමක්කාරයා ඇවිත්.ඒත් මාල ගිරවි ඒක දැනගෙන හිටියේ නෑ.එදත් මාලගිරවිගේ ඇහැ වැඩි වෙලාවක් රැඳිලා තිබුනේ කෑම මේසෙ තමයි.ආපු ගිරා පෝතකයට මාලයක් තිබුනද කියලවත් ගිරවිට මතකයක් තිබුනේ නෑ...


ඒත් මල් සුවඳ අතේ වැහි වලාකුළු අතේ සීත පවනැල් අතේ මාල ගිරවා එවන පණිවිඩ වලින් හිත කීරි ගැහිලා ගිය හින්දා අන්තිමට මාල ගිරවිටත් හිතුනා මේ නම් මහ බඹා තමන් වෙනුවෙන්ම මවපු කෙනා තමයි කියලා..අන්තිමට සීතල වැහි මාසයක ලස්සනට ඉර පෑවුව දවසක මාල ගිරවි මෙච්චර කාලයක් අම්මයි තාත්තයි එක්ක ජීවත් වුන ගස් බෙනය අත ඇරලා මාල ගිරවගේ ගස්බෙනයේ පදිංචියට ආවා.


එදා ඉඳන් මාල ගිරවිගේ හීනෙ වුනේ බිත්තරයක්....සිනිඳුවට අතට දැනන උණුසුම් බිත්තර ගොඩාරියක් මාල ගිරවිගේ හීන ඇතුලෙ තිබුනා.ඒත් ඒ හීනය දවසින් දවස පමා වුනා.

මාල ගිරවිට කර්තකොලොම්බ අඔ වනයක වැඩ බාර ගන්න වුනේ ඒ අතරෙ.කාර්යය බහුල බවේ ශාපය මාලගිරවිගේ ලෝකයට ආවේ ඊට පස්සෙ.හැන්දෑයාමෙට පුළුං ඇතිරිල්ල උඩ වාඩි වෙලා කීචි බීචි ගාන හෝරාවන් අඩුවුනා.

ඒත් කර්කකොලොම්බ වනයට එක් වුන මාල ගිරවුන්ගේ සින්දු හින්දා මාල ගිරවිට ලොකු පාළුවක් දැනුනේ නෑ... මාල ගිරවි මාල ගිරවා නැති තැනත් හුඟක් සතුටින් හිටියා...


හවසට මාල ගිරවට කියන්න කතන්දර කන්දකුත් උස්සගෙන මාල ගිරවි ගස් බෙනයට ආවේ හුඟක් සැහැල්ළුවෙන්...පුළුන් ඇතිරිල්ල උඩ මාල ගිරවිට තුරුල්කරගෙන තටු පිරිමදන ගමන් මාල ගිරවා ගිරවිගේ ඒ කතා සේරම ඇහුවා...මතක් වුන වෙලාවට හූම් කියලා ප්‍රතිචාරත් දැක්කුවා...

අහල පහල තටු ගහන පුංචි ගිරා පැටවු ඉඳ හිටලා මාල ගිරවිගේ බෙනේටත් රිංගුවේ මාල ගිරවිට මෙතෙක් අහිමි සතුට විනාඩි කීපයකට අරගෙනමයි.ඇත්තටම තනිකමට වඩා මේ ජීවිතේ කොච්චර ලස්සනද මාල ගිරවි තනියම හිතුවා.මාල ගිරවි තනිකමට වඩා මහ හුඟක් මාල ගිරවා එක්ක ගතකරන හුදකලා හෝරාවන්ට ආදරය කලා..


ඒත් මහ විසාල කුණාටුවක් මාල ගිරවිගේ බෙනේට එබුනා.පුළුන් ඇතිරිල්ලෙන් වැඩි කොටසක් ඒ හුළඟට අහුවෙලා ඈතට පාවෙලා ගියා.මාල ගිරවිට මී අඹ වනයට වැඩ බාර ගන්න ආරාධනාවක් ලැබුනේ මේ අතරේ.
මට බෑ...මාල ගිරවි එක පාරටම කිවුවා...

ඇයි....වැඩිහිටි ගිරවු රංචුවම මාල ගිරවිගෙන් ඇහුවේ එක හඩින්...හරි තදින්

මී අඹ වනය කර්තකොලොම්බ වනයටත් වඩා ගොඩාරියක් දුරයි....මාල ගිරවි හේතු ඉදිරිපත් කලා.

ඒ උනාට මී අඹ කර්තකොලොම්බ වලට වඩා කොච්චර රසද   .... වැඩි හිටියෝ තර්ක කලා.

ඇත්ත හේතුව වුනේ මාල ගිරවි දැනගෙන හිටියා .ඒකෙන් තමනුත් මාල ගිරවත් අතර කාලය දුර පිළිඹඳ මහා ආගාධයක් ඇතිවන බව.


අන්තිමට මේ පාරත් මාල ගිරවි තර්ක ඉදිරිපත් කරලා මහන්සි වෙලා නිහඩ වුනා...

මී අඹ රසවත් වුනාට කර්තකොලොම්බ උයනේ වගේ සතුටක් මාල ගිරවිට දැනුනේ නෑ....කර්තකොලොම්බ වනයේ තිබුනු හිත සනසන විහිළු, සැනසිලි ගී වෙනුවට මී අඹ වනය පුරාම ඇහුනේ කන් හාරාගෙන යන බය හිතෙන ගී...

මීඅඹ රසයට අමුතු කුයිලයක් එකතු කරන්න මේ ගී වලට පුළුවන් වුනා.මී අඹ වනයේදී එක දවසක්වත් මාල ගිරවි එකම එක ගී පදයක්වත් ගැයුවේ නෑ.මාල ගිරවිගේ හොට වගේම හිතත් ගොළු කරලා දාන්න මී අඹ වනයට පුළුවන් වුනා..මාල ගිරවි තවත් සතුටින් හිටියේ නෑ

.මෙච්චර කල් මී අඹ වල රසට විතරක්  රැවටිලා මාල ගිරවි පොළඹවපු උදවියටවත් මාල ගිරවිට උදවු කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ..

මාල ගිරවි හුදකලා වුනා....ආදරය කරන්න බිත්තරයක් නැති අඩුව වඩ වඩා දැනෙන්න ගත්තා..කර්කකොලොම්බ වනයේදී වගේ මාල ගිරවිගේ සිත සනසන්න ,මාල ගිරවිට හිනාවක් ගෙනත් දෙන්න මී අඹ වනයේ කාටවත්ම උවමනාවක් තිබුනේ නෑ.මී අඹ වනයේ විෂ වාතය මාල ගිරවිට දරා ගන්න බැරි වුනා.මාල ගිරවි හිතෙන් ලෙඩ වුනා.කර්තකොලොම්බ වනයේ යාළු ගිරවු නැති අඩුව සමහර වෙලාවට තදටම දැනුනා.මාල ගිරවත් මාල ගිරවිගෙන් ඈතටම වෙලා හිටියා.


මාල ගිරවි මාල ගිරවා ඇහැරෙන්නත් කලින් බෙනයෙන් පිටවෙලා යනවා...මාල ගිරවගේ එක හිනාවක්වත් නැතුවම.හැමදාම හුඟක් ඈතට තටු ගහන හින්දා මාල ගිරවිට හුඟක් මහන්සි දැනුනා.ගිණි ගත්ත අහස යටින් උදේ හවා තටු ගහලා මහන්සියට අන්තිමට ඉහේ ඇම්මකුත් මාල ගිරවි ළඟ අනාරාධිතවම පදිංචියට ආවා.මී අඹ වනයේදිත් කවදාවත් මාල ගිරවිට සතුටක් දැනුන්නෑ....හුඟක් මහන්සි වෙන්නත් වුනා.

..
මේ චක්කරය හින්දා මාල ගිරවි මුළුමනින්ම බිඳ වැටුනා...අන්තිමට විශේෂ‍ඥ උපදෙස් මත මාල ගිරවි විසඳුමක් හොයා ගත්තා.

මී අඹ වනය පලාතෙන් තාවකාලිකව ගස් බෙනයක් හාර ගමු...මාල ගිරවි ගිරවාට කිවුවා.

.
පුංචි කාලෙ ඉඳන් හැදුන බෙනය...වට පිටාවේ ඉන්න යාළු මාල ගිරවු නැතුව මට පාළුයි...කම්මැලියි... මාල ගිරවා නපුරු විදියට උත්තර දුන්නා...

මාල ගිරවිගේ ඇස් වලට කඳුළු පිරුණා.අවුරුදු තුනක් ගිහිල්ලත් මාල ගිරවි ඉන්න තැනක මාල ගිරවට තවමත් පාළු දැනෙනවද...මාල ගිරවි හිතුවේ අත්මානුකම්පාවෙන්.. 

මාල ගිරව ළඟ ඉන්නකොට ලෝකෙම පිරිලා කියලා හැඟුනේ තමන්ට විතරක් ද කියලා මාල ගිරවි තනියම කල්පනා කලා...



අන්තිමට තුඩට තුඩ තියලා රහස් කොඳුරපු හෝරාවල් ටිකින් ටික අඩුවෙලා ගියා....පුළුන් ඇතිරිල්ලෙ තුරුල් වෙලා කියපු කතන්දර නැත්තටම නැති වෙලා ගියා... හොඳටම මහන්සිවෙලා තරහෙන් ගෙදරට තටු ගහන මාල ගිරවිට කතන්දර කියන්න තරම් හිතක් තිබුනේ නෑ...

පුළුන් ඇතිරිල්ලේ දිගා වෙලා හොඳටම රිදුම් දෙන තටුවලට විවේකයක් දෙන්න විතරමයි මාල ගිරවිට ඕන වුනේ.අනිත් අතට විදුලිය කැවිල කරගෑටි වෙලා ගිය මී අඹ වනය ගැන කියන්න මී අඹ තරම් රසවත් කතා තිබුනෙත් නෑ...


ඒත් දවසකට මිනිත්තු කීපයක් හරි මාල ගිරවගේ උණුසුමේ හුදකලාව ගත කරන්න තියන ආසාව හින්දා මාල ගිරවි හැමදාමත් හවසට හති මුනින් දාගෙන බෙනයට තටු ගැහුවා.ඒත් මාල ගිරවා නිතරම හිනාවක් නැතුව මූන පර කරගෙන එන මාල ගිරවිගෙන් ඈතටම වෙලා හිටියා..

යාළු මාල ගිරා රංචුවක් බෙනය වටේ කැරකිලා මාල ගිරවගේ හුදකලාව මකන්න ඉදිරිපත් වුනේ එතකොටයි..මාල ගිරවා මාල ගිරවිගෙන් ඈතට ‍වෙලා හිනාවෙන් පිරුණු ලෝකයක් ගස් බෙනයෙන් එපිට හදා ගන්න හැටි මාල ගිරවි පුලුන් ඇතිරිල්ලෙ දිගා වෙලා අහගෙන හිටියා....

දවසක් අවසානයේ හිතේ ගොඩ ගැහෙන වේදනාව තුඩට තුඩ තියල මාල ගිරවට මුමුනන්න ගිරවිට හොඳටම උවමනා වුනා..මාල ගිරවගේ උණුසුමට තුරුල් වෙලා රිදෙන අත්තටු පිරිමද්දවා ගන්න මාල ගිරවා පුළුං ඇතිරිල්ලට එනකල් මාල ගිරවි මග බලාගෙන හිටියා.


ඒත් මාල ගිරවා යාළු මාල ගිරවු එක්ක කිචි බිචි ග ගා බෙනයෙන් එපිටම රැදිලා හිටියා.අපි ඇහැරෙන වෙලාවට මෙන්න බොලේ ගිරවු නිදි නෑ..බකමූනෝ පුදුමයෙන් කිවුවා.

යාළු ගිරවු හැමෝගෙන්ම ඈත් වෙලා හුදකලා වෙලා ....මාල ගිරවත් දවසින් දවස ඈතට වෙලා ඉන්නවා..මාල ගිරවිගේ ඉස්සරහ තනිකම පාළුව දුක වෙහෙස කඳු ගැහුනා.මාල ගිරවිට තවත් මේක දරා ගන්න බැරි වුනා.ඒ හැම හැඟීමක්ම තරහවේ මහා ගිණි ඡාලාවේ එතිලා එලියට පැන්නා...මාල ගිරවා තව තවත් ඈතට ගියා..


හදිසියේම මාල ගිරවිට ලොකු වෙහෙසක් දැනුනා...හුදකලාව මාල ගිරවිට තදින්ම පහර දුන්නා..තටු වගේම හිතත් වැඩි වැඩියෙන් රිදෙන්න ගත්තා.මේ තරම් මහන්සි වෙලා ආවත් මාල ගිරවට තමන් නැතුව සතුටින් ඉන්න පුළුවන් නේද කියලා මාල ගිරවිට හිතුනා.තමන් මාල ගිරවගේ අත්‍යවශ්‍ය  සාධකයක් නෙමෙයි.තමන් ගේ අඩුව මාල ගිරවට දැනෙන එකක් නෑ...මාල ගිරවි ආත්මානුකම්පාවෙන් හිතුවා...ඒ හින්දම යාළු ගිරවෙක්ගේ බෙනෙන් පුංචි කොටසක් ඉල්ල ගත්තා....


මාල ගිරවි බලන් හිටියා...බලන් හිටියා...බලන් හිටියා...“යන්න එපා ..ඔයා ගියොත් මට පාළුයි“...කියලා මාල ගිරවගේ තුඩින් කියවෙයිද කියලා...එහෙමනම් තටු කැඩිලා අතර මගදි මැරෙන කල්ම හරි හැමදාම හවසට බෙනේට පියාඹන්න මාල ගිරවි හිතන් උන්නේ.

ඒත් මාල ගිරවා මාල ගිරවි ඈතට ඉගිල්ලිලා යන එක ඒ තරම් තැකුවේ නෑ...තමන් නැතුවත් මාල ගිරවට පුළුවන් සන්තෝසෙන් ජීවත් වෙන්න.තමන්ට වඩා වටින මහ ගොඩක් දේවල් මාල ගිරවගේ ජීවිතේ ඇතුලේ තියන බව මාල ගිරවිට තේරුනා...

මාල ගිරවි තීරණය ස්තීර කරලා  මාල ගිරවගෙන් ඈතට පියඹලා ගියා....ඒත් මාල ගිරවගේ මතකය බෙනය ඇතුලේ තනිකරල එන්න මාල ගිරවිට හිත දුන්නේ නෑ..මාල ගිරව කනවද බොනවද? පරිස්සමටද තටු ගහන්නේ හැම දෙයක්ම නිතරම මතක් වෙනව.ඒත් මල් සුවඳ නිහඩයි.සීත පවනත් නිහඩයි..වැහි වලාකුළුත් නිහඩයි..සිතිවිලි කඳුලක් වෙලා බිමට වැටුනා...දෙකක්...තුනක්...හතරක්......අන්තිමට මහ වරුසාවක්..


එකින් එක මතක හිත ඇතුලෙ ඉඳන් එබිකම් කරනව...මුමුණපු රහස්,දැනුන උණුසුම ආයෙ ආයෙත් මතක් වෙනවා...රිදෙන තටු එකින් එක් ආදරෙන් පිරිමැදපු හැටි සිහියට එනව...ඕන කරන පල වැලක් ගැන කියපුවාම ලෝකෙ පෙරලලා හරි ඒක හොයන් මාල ගිරවි අතට දෙද්දී මූනෙ තිබුන ආඩම්බර හිනාව මැවිලා පේනව..


..
අන්තිමට මාල ගිරවි මී අඔ මැද හුදකලා වුනා. ඉස්සර තනිකම මීට වඩා කොච්චර ලස්සනද මාල ගිරවි වැටෙන කඳුළු එකතු කරල මාලයක් ගොතන ගමන් හිතනව.......


මාල ගිරව මාල ගිරවිගෙන් හුඟක් ඈත බව දන්න තවත් මාල ගිරවු දෙතුන් දෙනෙක් දැනටමත් මාල ගිරවි වටේ හක්කලං කොරනව...තමන්ගේ මාලෙ හැඩ ආඩම්බරෙන් පෙන්නනවා..මාල ගිරවට තියෙන්නේ පුංචි කඩ ඉරි මාලයක් විතරක්ම බව කියනවා...



ඒත් මේ කඳුළු වලට විසඳුම් දෙන්න තවත් මාල ගිරවෙකුගේ හෙවනැල්ලට බෑ කියලා මාල ගිරවි තාමත් හිතනව




Tuesday, May 26, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද -10 කොටස

10. පුංචි පුංචි පෙති අතර අතරමංව ඇති කඳුලක කතාවක්



ඉරත් ගිණිගත්ත මද්දහනෙම මං මල්වත්තෙන් හනි හනික එලියට ආවේ මල් කිනිත්තේ යුතුකම් වගකීම් කඳු ගැහිලා මං එනකල් මග බලා ඉන්න බව හොඳටෝම දන්න හින්දයි.

මං මල්වත්ත අයිනේ සීරු මාරුවට හිටගෙන හිටියේ මල් ප්‍රවාහන සේවයන් අත්තටු දෙකක් ඉල්ල ගන්න.


මේ  ගින්දර අහස යට වැඩිහිටි මලකට වුනත් පාවෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි තිබුනේ.ඒ හින්දා එකින් එක පුංචි කැකුළු මල් වත්ත අත් හැරලා යන අපූරු චිත්‍රය මං හිස් බැල්මෙන් බලා හිටියා.


මොහොතින් මොහොත ගොඩ ගැහෙන මල් කිනිත්තේ වගකීම් මගේ ඔළුව වටේ භ්‍රමණය වෙන්න ගන්නකොට මගේ පෙති සැළුනේ ආත්මානුකම්පාවෙන්.

ඔන්න එකකොටම තමයි ටුක් ටුක් ඉබ්බෙක් මගේ කකුල් දෙක ළඟ නතර වුනේ.කුරුල්ලෙක් වෙලා ඉන්න කාලෙදි නොතිබුන පිළිගැනීමක් ගෞරවයක් මලක් වෙනවත් එක්කම මට උරුම වුනා....


“යං  මමත් යන්නේ මල් කඩ පේලිය දිහාට “ඉබ්බා කිවුවා..

මමත් හැකි ඉක්මනින් ඉබ්බගෙ පිටට නැග්ගේ ඉතිරෙන්න ගිය සතුට පෙති අකුලලා වහගෙන නැති ගාම්භීර කමක් මවාගෙන.මලක් වුනහම හැම වෙලේම කුරුල්ලෙක් වගේ සරලව සැහැල්ලුවෙන් කීචි බීචි ගගා ඉන්න බෑ නොවැ.

ඉබ්බා ගෞරව පූර්වක හිනාවකින් මට සංග්‍රහ කලා.අතර මැද ගතවෙන කාලය ගෙවාගන්න විදියක් නැති හින්දයි,ඉබ්බා මං උද්දච්ච මලක් කියලා හිතයි කියලා හිතට ආපු බය නිසයි මම ටුක් ටුක් ඉබ්බා එක්ක ආ ගිය තොරතුරු කතාවකට වැටුනා...අන්න එතකොටයි ඒ වටිනා හොයා ගැනීම කරන්න මට පුළුවන් වුනේ.

මේ ඉබ්බා මගේ කුළුඳුල් කැකුළ පිපුණු කිනිත්ත ඉසවුවෙ ම  කූඩුවක් හදාගෙන ඉන්න ඉබ්බෙක්.
“ආහ්...මට දැන් මගේ කැකුළ ගැන වැඩි විස්තර අහගන්න පුළුවන්...“  හැම වැඩිහිටි මලකටම තමන්ගේ කැකුළු අයිති මල් කිනිති ගැන දැන ගන්න එක වැදගත්.

මලක හැම පුංචි සිතිවිල්ලකටම, පුංචි චලනයකටම මල් කිනිත්තේ බලපෑම් තමයි වැඩිපුර බලපාන්නේ..මගේ කැකුළටත් ඒ න්‍යායම බලපානවනේ..


මල් කිනිත්ත හරි ලස්සනට නිල් අහස යට පිපිල ඇති නේද?මගේ පුංචි කැකුලත් හරිම ලස්සනට පිපෙන්න තතනනවනේ“මං හීන් නූලෙන් මාතෘකාවට ප්‍රවිෂ්ඨ වුනා...

ඉබ්බා ටිකක් ඇඹරුනා...මූනේ තිබුනේ අවුල් පාටක්...දෙගිඩියාවකින් එක පාරටම මූණ වැහිලා ගියා...කියම්දෝ නොකියම්දෝ කියලා ටිකක් එකෙල මෙකෙල වුනා...

මං ඇහුවේ වැරදි ප්‍රශ්ණයක්ද?  මං මගේ හිතෙන් ඇහුවා.

එහෙමටමත් නෑ....ඉබ්බා කිවුවේ ටිකක් පසුබෑමෙන් නම් තමයි....

මට ඒ උත්තරේ පිලිගන්න බැරි වුනා..ඇස් දෙකෙන් පටන් අරන් මුළු මූණම එලිය කරන ඒ ලස්සන හිනාව මගේ ඇස් ඉස්සරහ මොහොතකට ඇඳිලා මැකිල ගියා

මගේ පුංචි කැකුළ...උඹේ ඔය හිනාවෙන් හංගගත්ත කඳුළු කතාවකුත් තියනවාද?...

ඒ මොකක්ද?මං ඇහුවේ හිත කටට වැට බඳින්නත් කලින්

ඒක ලොකු කතාවක්...ටුක් ටුක් ඉබ්බා අන්තිමට කතාව කියන්න තීරණය කරගෙන..

ඔයාගේ පුංචි කැකුළ ඉර එලිය දකින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි මේක පටන්ගත්තේ....

ආහ්..... මේක ඓතිහාසිත කතාවක් වෙන්නයි යන්නේ....ඒ කොච්චර කාලෙකට කලින්ද?

හූම්...

ඒ කාලෙ ඒ මල් කිනිත්තට ලොකු සුළි සුළඟක් එබිකම් කලා....පුමාංග මල කිනිත්තෙන් ගැලවිලා ඈතට පාවෙලා ගිහින් වෙන කිනිත්තක රැඳුනා...

හපොයි..

“මවු මලයි මමයි විතරයි දැන් කිනිත්තේ ඉන්නේ...මට කලින් පිපුණු මල් දෙකම ඈතට ගිහින් පැණි එකතු කරන්න ...පිය මල පැණිත් එකතු කරගෙන දුර ඈත ඉඳන් පාවෙලා කිනිත්තට එන්නේ පුරා හඳවල් ගොඩකට පස්සේ... උඹේ ලපටි කට හඩ මගේ හිත ඇතුලේ නින්නාද දුන්නා....


අසරණ පුංචි කැකුළ...මගේ හදවත උඹ වෙනුවෙන් හඩා වැටුනා...උඹ කො‍හොමද වැඩිහිටි මලකට කටක් ඇරලා කියන්නේ පිය මලේ සුවඳ රොන්සුණු උඹට ආගන්තුක බව...උඹ මට කිවුව සම්‍යක් බොරුව ගැන මගේ අහිතක් නෑ.


ඇස් කෙලවර වක් වෙලා පටන් ගන්න උඹේ ඔය හිනාව ඇතුලේ ඔය තරම් ගින්දරක් වහන් වෙලා තිබුනද?හැමෝගෙම හිතට සතුටක් පමණක් දෙන්න ගලා හැලෙන ඔය හඩ ඇතුලේ ඔය තරම්ම කටුක අහිමිවීමක් නිහඩ වෙලා තිබුනද?මල් පාත්තියට ඇතුල් වෙද්දිම හිස ඇල කරල උඹෙන් මට පිදෙන හිනාවෙන් මගේ දවසේම වෙහෙස දුරු වෙලා යනවා....එහෙවු උඹට මේ තරම් වෙහෙසකර  රහසක් හදවතේ තුරුල් කර ගෙන ඉන්න උනාද?



ඒත් උඹේ හිනාව ඇතුලේ, උඔ මල් වත්ත වෙනුවෙන් කරපු කැපකිරීම් ඇතුලේ, උඹේ සරල චාම් සිතිවිලි ඇතුලේ මේ තරම් වේදනාවකට ඉඩ ඉතුරු කරගත්තේ කොහොමද?එකම එක සුන්දර හිනාවකින් ඒ සේරම දේවල් වසා ගන්න තරම් ශක්තියක් උඹට උරුම උනේ කාගෙන්ද?

මගේ පුංචි කැකුළ.උඹට පේනවද වසන්තය උඹ ලඟටම හමාගෙන ඇවිත් බව..ඒ වසන්තයේ සුවඳ උඹට දැනෙනවද? නොබෝ කලකින්ම උඹේ සේරම පෙති ඇහැරිලා  බිය සැකකින් තොරවම හිරු දෙස බලාවි...මෙච්චර දවසක් උඹේ කිනිත්තයි..මල් වත්තයි විතරක් දැකපු උඹේ ලස්සන  එදාට ලෝකයම දකින්න ඕන කියන එකයි මගේ හැඟීම.

ඊට පස්සේ ඒ උදාවුන වසන්ත‍යේ සොඳුරුම දවසක මෙතුවක් උඹව දරාගෙන හිටපු කිනිත්තෙන් වෙන් වෙලා අළුතෙන්ම කිනිත්තක් ගොඩ නගා ගනීවි.පස්සෙ කාලෙක උඹේ නමින් ඒ කිනිත්තෙත් පුංචි කැකුළු ඉපදේවි...

එදාට උඹට අහිමි වුන ඒ සුවඳ උණුසුම අඩු පාඩුවක්  නැති වෙන්නම ඒ කැකුළු වලට දීපන්...උඹට අහිමි වුන දේවල්  කවදාවත් උන්ටත් අහිමි කරන්න එපා...ඒකට උඹේ ඔය ලස්සන හිතේ ඉඩ ප්‍රමාණවත් බව මං හොඳටෝම දන්නවා

හා හාපුරා මල් කැකුළක සුවඳ මේ යැයි මට කියා දුන්න මගේ පුංචි කැකුල..

මං කොහොමටවත් උඹට අනුකම්පා කරන්නේ නෑ..අහස තරම් විසල් උඹේ දරා ගැනීමේ ශක්තියට මං හදවතින්ම ගරු කරනවා...


උඹට තාමත් දැනෙනව ඇති ජීවිතේ වටිනා සමහර දේවල් උඹට මගහැරී ඇති බව. ඒත් ඒ අහිමි වීම් මැද්දෙ වසන්තය තෙක්ම උඹ නොනවතින ගමනක ආවා..

.හිතට එකඟව මට උඹව අත ඇරලා දාන්න බැරි ඒකයි...උඹ කවදා හරි දවසක ජයග්‍රහණය කරන්න ඕනත් ඒකයි.උඔට ජීවිතෙන් පැරදෙන්න බැරිත් ඒකමයි