Thursday, October 27, 2016

වැටත් නියරත් ගොයම කානම්



--කෙත මැද පඹයෙක් කියූ කවි--


දඩු වැටත් මායිමෙන් පැනගොස්
‍වෙනත් හේනක් රකිනු බව දැක
නියර සීමා රකිනු නියතයි
හිත හිතා හිත හදා ගත්තෙම්



























හඳෙන් කිරි පැණි නුඹට ලැබෙතැයි
සුරඟනුන් සිහිනයට එබෙතැයි
නියර දිය බැඳ ගොයම රකිතැයි
සිතා රැවටී බලා උන්නෙම්...........

නියර කුළු හරකෙකුගෙ වෙස් ගෙන
බණ්ඩි ගොයමේ යකා නැටු බව
කිරි වැදෙන්නට තිබූ අස්වනු
තැලී පෑගී මිලින වූ වග
නොදැන නුඹ ලඟ රැඳී උන්නෙම්.....

කහ ගැහුන සුදු ගවුම ඇඟලා
ජීවිතේ කළු කැලැල් හංගා
උන්නු උඹ හැමදාම දුටුවෙම්
ඒත් හදවත මෙතෙක් නොදුටිම්....



හඩනවා හිත මගේ තාමත්
උඹව පරවී යන්ට ඇරියට
එකම එක ඉඟියක් ලැබුන නං
රැයෙත් නොනිඳා උඹව රකිනෙම්....

කඳුළු පිහදා නැගිටපන් නුඹ
ලිහිනු මාලයෙ මුතු ඇහිඳගෙන
අහිමි වුනු ලොව දුරක විසි කර
තැනිය යුතු නව ලොවක්  හෙට දින...................



Thursday, October 6, 2016

ඔන්න අද දවස අපේලු


අද ඔක්තෝබර් 6.අම්මට තාත්තට පවා ආදරය දක්වන්න දවසක් ඇති ලෝකයේ අපිවත් අමතක කරල නෑ.ඔවු අද ජාත්‍යන්තර ගුරු දිනේ.අද අපේ දවස








--------අපි----------


ගුරු දිනේට සතියකටත් කලින් ආව චක්‍රලේඛය ගුරු දිනයට දරුවන්ගෙන් තෑගි ලබා ගැනීම තහනම් බවත් ලබාගත හැකි එකම තෑග්ග පොතක් බවත් එය පාසල් පුස්තකාලෙට තෑගි කල යුතු බවත් කීව.



--------------------දරුවන් අප පිලිගනිමින් පැලඳූ පලඳනාව---------------



කලාතුරකින් අළුත් අවුරුද්දට උඹල ගේන බිස්කට් පැකට් එකත් පංතියෙදිම කඩල උඹල එක්ක බෙදන් කන්ඩ පුරුදු වුන අපිට ඔයි ලේඛය කොහෙත්ම අදාල වුනේ නෑ.



------------9 වසර දරුවන්ගේ නර්ථනයක්----------------------



උඹලට යමක් දෙන්න මිස උඹලගෙන් යමක් ගන්න හීනයක් අපි කාටවත් තිබුනෙ නෑ.





--------------------මිහිකත නලවාලා-------------------






සමහර ඉස්කෝල වල ගුරුවරුන්ට ලැබෙන රත්තරං බඩු සාරි තෑගි  වලට අපිට උඹලගෙන් ලැබුන කැලෑ මල් පොකුරට අලගු තියන්න වත්  බෑ.



--------------------මානව හිමිකම් කැඩූ ගුරුවරයා නාට්‍ය 7 වසර දරුවන්ගෙනි---------------------


අතනදි ඉස්මතුවෙන ප්‍රදර්ශනකාමය හා ලකුණු දමා ගැනීම වෙනුවට මෙතනදි අපට ලැබෙන උඹලගෙ හිනාව කෝටියක් වටිනව.මොකද ඒ හිනාව ඇතුලෙ කෑගහල අඩන්න තරම් හුඟක් දේවල් උඹලගෙන් බහුතරයක් හංගං ඉන්න බව අපි හොඳටෝම දන්නව


--------------------අළුත් විදියේ පොල්තෙල් පහන-------------------------------


තාමත් පිණි බිංදුවක් තවරගෙන බඩල්වනස්ස,කැකිල්ල හා පඹ අතු අතරින් එබිල බලන කැලෑ ලූණු මලක් අපේ අතට දීල උඹල අපි ඉස්සරහ දන නමනකොට උඹලගෙ හිතේ අපි වෙනුවෙන් උපන් හැඟීම් අපට දැනෙනව.
ඒ හැඟීම් අවිඥානිකව උඹලගෙ හදවත පතුලෙන්ම නැගෙන හිංද අපේ ගුරු ජීවිතයේ වටිනාම දෙය අපි උපයගෙන ඇති කියල නිකමට අපිට හිතෙනව
---------------------සමරු පොත පිලිගන්වමින්










--------------ප්‍රධාන ශිෂ්‍ය නායක සමිත් පුතු ත්‍යාගය පිලිගන්වමින්-------------------------



කෙටි පීරියඩ් වලින් කාලය ණයට අරගෙන උඹලට ඉඩ දුන්නෙ උඹලට ගුරුදින උත්සවයක් ඔය තරම්ම උවමනා වුන හංද



උඹල දන්නව උඹලගෙ දස්කම් අපිට කවදත් ආඩම්බරයක්.
ජීවන තරඟයෙදි උඹල නොදැවී රැස් කරන හැම ලකුණක්ම අපිට සම්මානයක්.






------------------නියෝජ්‍ය විදුහල්පති තුමා පහන දල්වමින්----------------

එත් අපි උඹල උඹලගේම දෛවය උඹල අතින්ම ලස්සනට ලියා ගන්න එක තමයි අපට කරන්න පුළුවන් ලොකුම උපහාරය...



අපි පිදිය යුත්තන් ලෙස සලකා උපහාර දැක්වුවට උඹලට ස්තූතියි..ඒත් දරුවනේ හොඳට මතක තියා ගනිල්ලා අපි ඉල්ලන්නෙ මේ වගේ උපහාරයක් නෙමෙයි...




------------චක්‍රෙල්ඛ අනුව අප දරුවන්ගෙන් ලද ත්‍යාගය----------------------




ඉගෙන ගන්න ජීවත් යෙල්ලා..ජීවත් වෙන්න ඉගෙන ගනිල්ලා...ලස්සනට ජීවත්වෙයල්ලා...අන්න ඒකයි අපිට උඹලගෙන් ලැබෙන නියම උපහාරය...
අපේ මරණ මංචකය තෙක්ම අපට ආශිර්වාදයක් වනු ඇති නියම උපහාරය .....එයයි...එය පමණමයි...අපට උඹලගෙන් අවැසි


------------------------------තේ මේසයට අප පිලිගත් අයුරු---------------------