Thursday, June 8, 2017

රෝසා දෝණි දිසානායක


දෝණි අපේ ගෙදර ගෙනාවේ ත්‍රීවිලයෙනි.දවසින් බාගයක්ම වාහනවල කොටු වී හිඳ හාමතේ  හොඳ පණ ගිය දෝණි මා වඩා ගන්නා විට යන්තම් අප්‍රාණිකව උදාසීන දෑසින් එක් වරක් මා දෙස බැළුවාය.ඒ බැල්මේ සිටම මා ඇයට අසීමිතව පෙම්බඳින්නට වීමි.


දෝනී අපේ ගෙදරට ගේන්නට හේතුවක් වූයේ ටෙඩීය.තම කොල්ලාට ගිරවෙකු ගේන්ඩ ගිය මස්සිනා එතැන වැඩ දමමින් උන් පොඩි එකෙකුට වහ වැටී වහා තෙසක් රියෙන් ගෙදරට ඉගිල ගියේ පොඩි එකා ගෙදර ඒමට සිතාගෙනමයි.විසිදහසක් ගෙවා මෙබන්දක් කිරීම කිරීම විකාරයක්සේ බුද්දිමත්ව සිතූ නෑනාද ඒ සුරතලේ වීඩියෝවකින් දැක  ඊට එක පයින් අනුමැතිය දුන්නාලු.



දීග ආ දවසේ ඉඳන්ම මෙබදු පොඩි එකෙකු ඉල්ලා සුද්දාව කොනිති ගහමින් උන් මට මෙය අඞන්න උන් එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය.

අන්තිමේ කනක් ඇහී සැනසිල්ලේ ගෙදර ඉන්ට නොහැකිව හෙම්බත් වුන සුද්දා මණ්ඩලය රැස්කොට තමාට සිදුව ඇති උවදුර ගැන පිරිස දැනුවත් කලේය.වහා උපකාරයට එළඹුන මිතුරු නඩයේ පිරිසගේ ඒකමතික තීරණය වූයේ යම් දිනක යුවතියක වූ පසු ටෙඩීට කරකාර බැඳ දිය හැකි වන පරිදි දැරියක් ගෙන ආ යුතු බවයි.
රට වටේට කෝල් කර වට රවුම් ගැසීමෙන් පසු ටක්කෙටම ලැබුන ඔත්තුවක් අනුව මීට අවුරුද්දකට කලින් දෝණී අප වෙත ආවාය.

එතැන් සිට අපගේ නීරස ඒකාකාරී ජීවිතයේ කේන්ද්‍රය වූයේ ඇයයි.කළු පබළු වැනි දීප්තිමත් දෑසින් ඇය නිතරම අප දෙස බැළුවේ ප්‍රිතියෙන් ඉපිලෙමිනි.අප ඇයට ආදරේ තරමටම ඇයත් අපට ආදරේ බව නිහඞව කීවේ සිය වෙල්වට් වැනි මුදු නාසය සීතලට අපේ සරිරයේ කොහේ හෝ තැනක අතුල්ලමිනි.

තණකොල ගොල්ලේ බිම පෙරලීම ඇගේ ප්‍රියතම විනෝදංශය විය.වැඩි පරිස්සමට තාමත් ළදරු ඇය කාමරයක තබා දොරට ගේට්ටුවක් දැම්මෙමු.කාගේ හෝ අඩි සද්දයක් දුරින් ඇහෙද්දි ඒ ගේට්ටුව මත කකුල් තබා තමා එලියට ගන්නැයි කියන ආයාචනාත්මක දෑසට පිටුපෑමට තරං ගල් හිතක් අපි කාටවත් නැති හෙයින් සේරම වැඩ අස්සේ ගෙදර එක් සාමාජිකයෙකුට ඇගේ පරිස්සමට හැමවෙලේම ඈ පසු පස යාමට සිදු විය.

ඇයට නම තැබීම පණ ගිය වැඩක් විය.නම් පනහක් පමණ සලකා බලා ඒවායේ ගන පිහිටීම සුදුසු නැතැයි ඉවත දැමූ මා හිතුවක්කාර ලෙස ඇය දෝණී ලෙස නම් කලෙමි.

එය බල්ලෙකුට උචිත නැතැයි කියමින් මණ්ඩලේම කචල් දාන කල “මගේ බල්ලට මට ඕන නමක් කියාගන්ඩවත් අයිතියක් නැද්දැයි“මම උදාරම් ලෙස සුද්දාගෙන් හා නැන්දම්මාගෙන් ඇසීමි.නිකාකාකාං බලු නමකටත් වලි දාගන්නේ මොටදැයි සිතා ඔවුන් නිහඞ වන්නට ඇත.

දෝනී හදා ගත්තේ මිලාධික ලෙඩ රෝගය.ගොඩ වෙදකම් වලින් එවුවාගෙන් ගොඩ යනවා නං බොරුය.අනෙක ලෙඩ දරුවාගේ ජීවිතය ඔට්ටුවට තබා සූදු කෙලීම සුද්දාටත් මටත් ඉහිළුම් දෙන්නේ ද නැත.
වෛද්‍යවරයා ළඟට දෝණි රැගෙන යනවා නම් අඩුගානේ කහ පාට ඉලක්කං හතරක කොලයක්වත් සාක්කුවේ දාගෙන යා යුතු බව අමිහිරි පාඩම් වාර දෙක තුනකින් අපි ඉගෙන ගත්තෙමු.

ඉස්සරලාම දෝණි වෛද්‍ය වරිය ළඟට ගෙන ගියදා මගේ හිතේ ටැටූ එකක් මෙන් සටහන් වී ඇත.ලා නිල්පාට සාළුවෙන් ඔතා හුන් ඇය අගේට මට තුරුල්ව නින්දට වැටුනේ තව විනාඩි කීපයකින් තම හම සිදුරුකරනු ඇති සිලිංජර ගැන හාංකවිස්සියක්වත් නොදැනය


නම මොකක්ද ?වෛද්‍ය වරියගේ පළමු පැනයයි

“දොණී“ කිවහොත් මා අංගොඩ පටවනු ඇත.මං වටපිට බැලීමි.මස්සිනාවත් සුද්දාවත් අහල පහලක නැත
කටට ආ පළමු නමම කීවෙමි “රෝසා“සායන පොතේ ලියවී ඇත්තේ ඒ නමයි

අපි හිතුවෙ දෝණි කියයි කියල.විලි ලැජ්ජාවෙ පුළුවනෑ.ඒකයි අපි මාරුවෙලා ගියේ...ඔවුන් එහෙනං උපක්‍රමශීලීව පසු බැසීමට හේතුව ඒකයි හිටං

“එයාම දැන් පිලිගත්තනෙ බං එයා තියල තියෙන්න ප්‍රසිද්දියෙ කියා ගන්ඩ බැරි නමක් කියල“අයියාත් මල්ලීත් දිගටම මට මඩ ගසමින් ආහ.

මේ විස්තරය ඇසූ නැන්දම්මා හොඳටම හිනාවුන අතර අයියාගේ දොණියැන්දෑ මේ කෙල්ලව“රෝසා දෝණි දිසානායක “ලෙස බෞතීස්ම කලාය.“දිසානායක යනු සුද්දාගේ වාසගමය

ඇයට ඇත්තේ හරි අපූරු ගති ගුනය.ආදරයට හීනියට විකීමේ පුරුද්දක් කුඩා කල ඇයට විය.පං කටු වැනි පුංචි දත් අපට තරු පෙන්නීමට සමත් වූ නිසා අප කලේ ඇය ආදරය දක්වමින් අප වෙත දිව එන ඇසිල්ලේම අහල පහග ඇති ලී කෑල්ලක් රබර් සතෙක් නැත්තං කෝට්ටක් හෝ ඇගේ කටට දීමය.එය භයානක වරදවා වටහා ගැනීමක මූලාරම්භය විය.අදද අප වැඩ ඇරී ගෙදර එන විට අප හමුවට ඇය දිව එන්නේ මගින් අහුලා ගත් මොකක් හෝ දත් අතර හිරකරගෙනය.

දින දෙක තුනක් පිටට ගොස් හිඳ අප එද්දී වැඩි සතුටට එය අමතක වුවත් අපේ ලඟට ඒමට පෙර වහා ආපහු ගොස් බිම වැටුනු කොලයක් හෝ කටට ගෙන යලි දිවඒම දැන් ඇගේ සිරිතයි

වතුර බේසමට ඇය දැක්වූයේ අසීමිත ආදරයකි.මම රෙදි පෙඟෙන්නට දමන ලද ලොකු බේසමේ යකා නටා අහුවූ දිනක මං හොඳටම බැන වැදුන අතර පසුදා රෙදි හෝදද්දී දුක්මුසුව ඒ දෙස බලා හුන්නාය.ගල්හිත දියව ගිය මං රෙදි හෝදා අහවර කර ඉතිරි වතුරට ඇය ඔසවා දැමීමි.ප්‍රීතියෙන් පිනා ගිය ඈ වතුර කලත්තමින් දඟ දමන්නට වූවාය.අද බේසමට වඩා විසාලව වැඩී ඇති ඇයට හැක්කේ බේසම තුල සතර පයෙන් හිටගෙන ඉන්ට පමණි.අදත් මා සෙනසුරාදා රෙදි සෝදද්දී අපේක්ෂා සහගත දෑසින් එතනටම වී ඉන්නේ ඉතිරිවන වතුරේ නැටීමටයි.ආයාචනාත්මකව ටැප් එක දෙස බලා මා ලවා එය ඇර ගන්නා දෝණි තෘප්තිමත් කට කොන් සිනාවක් පාමින් බේසම තුල හිටගෙන දෑස පියාගෙන ඇතිවන තුරුම හිඳියි.

ඕනෑම දරැවෙකුට සේ ඇයට කෑම කැවීම තරමක් දුෂ්කර ක්‍රියාවකි.ඇතැම් විට කන්නේම නැත.එදා එක්කෝ අපි ඇයට බැන වැදී ඇත.නැත්තං ඇයට නොකියා කොහේ හෝ ගොස් ඇත.ඒත් නැත්තං අසනීපයකිනි.නමුත් හොඳින් අනා ගුලිකොට කටේ තබන හාබුං කට වලින් දෙක තුනක් හෝ ඇය ගිලින්නේ මගේ හිත රිද්දීමට බියෙන් මෙනි.

ඇයට බෙහෙත් පෙවීම සංග්‍රමයකි.මුලින්ම සුද්දා ඇගේ සිරුර දෙපස කකුල් දමා කකුලෙන් ඈ හිරකරගෙන වෙර දමා ඇගේ කට විවර කරවයි.මම වහ වහා බේත් කටට දමන අතර ඒවා ගිලීමට ප්‍රමානවත් කාලයක් හිමිවන තුරු කට උඩට හරවං ඉන්ට සිදුවේ.ඒත් කපටිකමට අප අහකබලං ඉන්න කං ඉඳ උගුරේ නවත්තාගත් පෙත්තක්  දෙකක් යලිත් එලියට දමයි.

ආආආආආආං..

අපි දෙන්නා එකාවන්ව කියමු.සංග්‍රාමය මුල සිට යලි ඇරඹේ

අප කවරෙකු හෝ ආසන්නයේ සිටීමට ඇය ප්‍රියකරයි.වැරැද්දක් කොට බැනුම් ඇසූ කල ඇය දඞුවම් මුල්ලටවී පැයක් දෙකක් විස්කෝපයෙන් කල්ගත කර ආයෙත් අප හොයා එයි.දඞුවම් මුල්ල ඇය හදා ගත් එකකි.බැනුම් ඇසූ හැම වෙලාවකම ඇය එතැනට රිංගුවාය.සමහර විට එතැන නිතරම නැන්නදම්මා ගැවසෙන තැනක් වූ නිසා වන්නට පුළුවන.මටත් සුද්දාටත් ඉඳහිට අකීකරු වුවත් දෝණී ඇයට කීකරුය.

ඇය දැන් ලොකු ළමයෙකි.ඇය වැඩිවිය පැමිණී දා සිට ගෙවී ගිය දවස් නමය සුද්දාටත් මටත් අතිශය දුෂ්කර වූවකි.සුද්දා නිවාඩු දමා ඇගේ පරිස්සමට ගෙදර නැවතුනේය.ගේ වටේට හක්කලං කොරන පට පිටාවේ වලත්ත පර බල්ලං එලවමින් නැන්දම්මාටත් මාමණ්ඩිටත් නකර කලදසාවක් ගෙවා දැමීමට සිදු විය.කන්‍යාවක ලෙස ටෙඩීට දීග දීමට සිටින අපේ දෝණියැන්දෑ රැක ගැනීමට පවුලේම සාමූහික ශක්තිය එක්රැස් කිරීමට සිදුව ඇත.

අපි දෝණිට ආදරේය.දෝණිත් අපට ආදරේය.තව බොහෝදෙනෙක් ද ඈට ආදරේය.සරලව කිවහොත් දොණී අපේ ගෙදරට ආවේ සතුට හා වාසනාව යන දෙකම අරගෙනය.



10 comments:

  1. නියමයි... අපේ ගෙදරත් ඉන්නවා මදි නොකියන්න බලු පවුලක්ම... මුලින්ම අම්මව ගෙනාවෙ... පස්සෙ තමා තාත්තා... මේ දෙන්නට ලමයි තුන් දෙනෙක් හම්බුනා... යාලුවෝ පැටව් ඉල්ලුවත් මම දුන්නෑ... ඒ පැටව්ව අම්මගෙනුයි තාත්තගෙනුයි වෙන් කරන්න මම කැමති උන්නෑ... මම නන් නිදහස් වෙලාව ගතකරන්නේ මේ පැටව් එක්ක... හිතට පුදුම නිදහසක් දැනෙන්නේ මෙයාලත් එක්ක ඉද්දි...

    ReplyDelete
    Replies
    1. මට නං ඒ වෑන්ස් එක නැතිවෙයි වගේ.නැන්දම්ම දැන්නම පෝරියල් එක තවත් බල්ලො තියා මේ බල්ල ගැන බලන්නවත් එයාට ඉවරයක් නෑය කියල

      Delete
  2. මෙහෙම දෙන්නෙක්ම ඉන්නවා... අපොයි පණ ඉවරයි මෙයාලව රැකලම. දවසක් බෙල්ලෙ පටිය බුරුලට දමාගෙන දොස්තර ළඟට ගෙනිහින් ගම වටේ දුවන්න උනා.

    ReplyDelete
    Replies
    1. අපේ උන්දැ මං ටිකක් සැරෙන් කතා කලාම අකුලගෙන එනව.ඒත් සුද්දටනං සැලෙන්ඩර් නෑ.උන්දැත් දෝණිට සද්දයක් දාන්න ඕන වුනාම ඒක මට පවරනව

      Delete
  3. බෙහෙත් දෙනවනම් බෙහෙත් පෙති ටික කෑමවලට හරි කිරිවලට හරි දාල දෙන්න.

    ReplyDelete
    Replies
    1. උගුර ලඟට යනකම් කට ඇතුලටම දාල කට වහල උගුර අත ගෑවහම ඉබේම ගිලෙනව. කටේ පැත්තට ගියොත් ආපහු දානව. ඊට පස්සෙ කෙලෙන් පෙඟුන ලිස්සන පෙති හෝ කරල් ආපහු දාන්න ගියාම එපා වෙනව.:-)

      Delete
    2. @ හැලප -- අපේ උන්දැ අහු වෙි ඕවට.කට තියන්නෙවත් නෑ මස් වලට දැම්මත්

      @ ප්‍රාෙජ් - අසරණ සුද්ද දැනට ගන්නේ ඔයි පියවර තමයි

      Delete
  4. ඉතින් දැං වෙඩිමට ලැස්ත් උනානං ඉවරනේ

    ReplyDelete
  5. මේක මුහුණු පොතෙන් කියෙව්ව ගමන් හරි ආස හිතුනා ...දෝණි මතක්කලා කියන්න

    ReplyDelete