Wednesday, June 7, 2017

ගං වතුර මැද මගුල් කෑම

මමත් සුද්දාත් එක්ව කෑ මගුලට අමතරව  මෙතුවක් මගේ හිතේ ගැඹුරින් රැඳී තිබුන මගුල් කෑම වූයේ කුකුලා ගමුවත් හිවලාවලත් එක්ව කෑ මගුලයි.

රටක් හැඞවූ පසුගිය මස විසි හය වනදා තවත් එවන් අපූරු මගුලක කොටස්කරුවකු වීමට මට හැකි විය.
ඒ මගේ ඥාති සොයුරියකගේ මගුලයි.ඇගේ ගෙදර කාලයක් මගේ ගෙදරම වී තිබුන හංදාත් තාමත් හිතට එහෙම දැනෙන හංදාත් මගුලට කලිං දාම මම එහි නැංගුරං දැම්මෙමි.

මගුලක් කීවට මගුලක්ම නොවේ.පොතේ අත්සන දමන පුංචි මගුලකි.

25 දා හවස ගෙදරට ගොඩ වුනේද ඊතල වගේ ඇදහැලෙන වැහි බිංදු යටිනි.එතැන් සිට සැරසීම වැනි වැඩ අටෝරාසිය මහ රෑ දෙක දක්වා ඇදගෙන යන විටත් ඒ වේගයෙන්ම නංන්ස්ටොප් වැස්ස ඇදහැලෙමිං තිබුනි.
ඒ අතරේ මනාලිය තම හැඩකාර දුරකතනේ මා දෙසට දිගුකලේ නාසයෙන් අඞමිනි.

“බලංඩකෝ අක්කෙ අයිය කේක් එකේ පෝටෝ එකක් එව්ව..ඒක හරි ලස්සනයි ඒත් මගේ නම වරද්දලනෙ..

මගුලයි... යකෝ... මේකිගෙ මගුල දවසේ වෙන එකියක්ගෙ නමක් තියන කේක් එකක්ද මේකිට කපන්න වෙලා තියෙන්නෙ...මම කෝකටත් තිරයට හොට දැම්මෙමි.

රෝස පාට අයිසිං මල් ගොඩක් මැද ලියා තිබූ නම් දෙක වූයේ “ශශිකා..####“ ලෙසය.ශශිකලා නම් වූ ඇයට හතරවරිගෙම ආදරේට සසී කීවත් කේක් එකේ තිබූ නම දුටු මතිං මේ නං ඈ නොව  වෙන එකියෙකු බව මටත් හිතුනි..

ඔන්න ඔහේ කමක් නෑ ..මෙතනට එන හැම එකාම උප්පැන්නෙ තියන නම අහනවයැ...ඇගේ අක්කණ්ඩිය අවස්තානුකූලව තම සොයුරියගේ හිත හැදුවාය.

මගුලේ ප්‍රීතිමත් කාලගුණය මැද  හූනියං පෙට්ටියට අවධානක් දීමට කාලයක් නොවූ බැවින්  අවට කාලගුනේ වන කිසිම අගුණයක් අපට මීටර් නොවීය.

උදේ පාංදර පහට පමණ මනාලිය පිංතාරු කිරීමට එලියට බහිද්දීත් ඊතල වේගෙන් පොලවට එන වැහි වල අඩුවක් නැත.අන්දකාරේ වැඩිපුර කිසිවක් නොපෙනුනත් සිය මස්සිනාගේ කාර් එකේ ටයර්එකෙන් විසිවී යන වතුර දුටු මනාලිය තරමක් නොසංසුං වුනාය.

පාරත් වෙලත් එකක් කරගෙන පාර හරහා ගලන ජල කඳ දුටු ඇය..තව ටිකක් වතුර වැඩි වුනානං ආපහු කාර් එකේ එන්ඩ බැරි වෙයි ..මාව එකක් යන්න අයියට බොට්ටුවෙං එන්න වෙයි යැයි..සිය මස්සිනාට විහිළුවක්ද කලාය.

මේ වන විටත් අවට සිදුවන කිසිම දෙයක් ගැන අපි නොදැන මගුලේම ඇලී ගැලී වුන් අතර පැය තුනක් තිස්සේ කරන ලද සංග්‍රාමයකින්  මාත් එක්ක සරල ඇඳුමකින් ආ ලිය මනාලියක් වූ අතර නොනවතින වැස්ස දෙස බලමින් ඇගේ මස්සිනා රතය දක්කාගෙන එන කං අපි බලං උන්නෙමු.මනුස්සයාගේ මූන හරි නැත.

මොකද අවුලක්ද අයියෙ

එකක් නෙමෙයි ගොඩක්..එව්ව ගෙදර ගිහිං ලිහා ගම්මුකෝ..

මනාලියගේ මූන නොව ඇස් සත පහ විය.තට්ටු ගනං උලා තීබූ දාහක් ජාති මැද මූනේ වෙනස්කං අදුන ගන්න එකත් ඉතිං සුළුපටු දෙයක්යැ..

අප ආපසු එන ඩිංගට පාසල් ලමයි පාසල දෙසට නොව අනෙත් දෙසට ගමන් කරන නිසා අපි නැවතී විස්තර විමසුවෙමු.සබරගමු පලාතේ පාසල් වසා ඇත.

එල කිරිය ..මගේ නිවාඩුවක් ඉතුරුය.....

පාසල් වසන්නේ මෙතරම් මහා ඛේදවාචකයක් වෙනු වෙන් බව ඒ වන විට මා දැන උන්නේ නැත.

පාරේ වතුර මට්ටම තවත් ඉහල නැගිලාය.ඒ හරහා කාරය දමන්දෝ නොදමන්දෝ කියා ඇගේ මස්සිනා දෙගිඩියාවේය.ජල කඳෙන් එහාද වාහන කීපයක් නවත්තාගෙන ඇත.ඉස්සරලාම වතුරට වාහනය දමන එකාට සිද්දවෙන දේ සලකා බලාම තමංගේ වාහන වතුරට දැමීමට හැම එකාම බලං ඉදිති.

මේ බලං ඉදිල්ල එපා වූ  අයියා අන්තිමට තීරනයක් ගත්තේය.

තම නෑනන්ඩියා කොල්ලෙකුගේ ඇඟේ ගැසීමට ලැබූ චෑන්ස් එක තමන්ගේ අළුත්ම වාහනේ හංදාවත් කැප නොකරමියි හිතා පපුව පුම්බා දකුණු අත සුක්කානමේ  තබා රතය ඉදිරියට ගත්තේය.තරමක් උස වාහනයක් වූ එය අපේ හිතට සැනසුම දෙමිං මෙගොඩට  ඇදුනේය.

ගෙදර යනකොට හැම එකාම ෆෝන් වල එල්ලීගෙනය.මගුලට එන්ට බැරිව අතරමග ගංවතුරට කොටු වුන හතරවරිගේ සමාව යැදීම්ය.සුභ පැතුමය.ඒමදිවාට කෝකි උන්දැලාද ගං වතුරේ දිය නොවුනත් පාර හරහා වැටුනු නායක් නිසා මෙහා පැත්තට ඒමට නොහැකිව කොටු වී ඇත.ඉන් අධෛරමත් නොවුන කාන්තා බැටෑලියන් එක එක්ව කිරිබත් පිස උදේ තේ මේසය සකස් කර තිබුනි.

හැම තැනකටම කෝල් කර බලා කොහෙන්දෝ කෝකියෙකුත් හොයාගෙන තිබුනි.ඇඳ ගැනීමට ගෙනා සුකුරුත්තං සාරි බාරි පැත්තක දමා ගෙදර අඳින ඇඳුමෙන්ම කුස්සියට බැස්සේ දවල් කෑම සකස් කරන උදවියට අත් උදව් දීමටය.

කලවානෙ මගුල්ගේක මනමාලයට එන්ඩ බැරි වෙලා.උයපු කෑම ගංවතුර ආධාර විදියට බෙදල දීල.

ඇයි රත්නපුර මගුලක හෝටල උයල පිහල ලෑස්ති කරලලු
.ජෝඩුවෙන් කාටවත් හෝටලේට එන්ඩ බෑළු

දැරණියගල නායෙ ගිහින් පාරෙ කාර් එකට ඉඩ නැතුව මනමාලි ත්‍රිවිල් එකක් පටෝල ඇරියලු

එක එක ඕපාදූප මැදින් සියල්ල හරිය

ඔන්න ඊළඟ කෝල් එක මනාල පාර්ශවයෙනි.

පාරෙ මැද නායක් ගිහින් වෙලාවට එන්ඩ බැරිවෙයි...

හරි කමක්නෑ අද දවසම සුභයි..ඔයාල එන වෙලාවට වැඩේ කරමු

අයෙත් කෝල් එකක්

අපිට ගෙවල්වලිං අයින් වෙන්ඩ කියල...මේ බඩු ටිකකුයි පවුලෙ ඉතුරු අයයි පංසලට ගිහිං ඇරලල එන්නම්..

ඔවු ඔවු ..ඒ කරදර ඉස්සරල විසඳන්න ඕනෑවුවනේ

සාමාන්‍යෙයන් සුළු දෙයකටත් නොයිවසිලිමත් වන මනාලිය මේ තත්වයට මූන දුන්නේ සාන්තුවර ඉවසීමකිනි.

නෑදෑයින්ගෙන් සමහරු මේ මගුලට නාපු එක වාසනාවක් බව මට දැනුනේ මේ වෙලාවේය.
ඉන් සමහරු බාදාවන් අසුභ පෙරනිමිති කියමින් විධඝ්ඝ මනස්ගාත කියවමින්  අපේ ඔළු ගිණි තබා නැගණියගේ  සතුට කාබාසිනියා කර දමනු ඇත.

ඒ කිසිවෙක් නැති වීමම මගුලට හොඳ පෙර නිමිත්තක් බව මට නිකමට හිතිනි.

අවසානයේ මනාලයා ඇතුළු පිරිස් කොට කලිසං  ගසාගෙන කැති පොරෝ උදළු අරගෙන ස්වභාව ධර්මයා මග දිගට එලා තිබූ තහංචි වැටවල් පන්නමින් මෙපිට නෑදෑ ගෙදරකට සේන්දු වී උන්නේ මඩ දාඩිය මෙන්ම වැහි වතුරද සමෝසමේ නාගෙනය.

අවසානයේ දෛවඥයෙකුට දුරකතන ඇමතුමක් දී දැනගත් දොලහකුත් ගානක නැකතට ඔවුන් පොතේ අත්සන් කල අතර තිහක් පමණ වූ නෑදෑ සමූහයක් මැද පැය දෙකකට පමන සීමා වූ  සාදය අවසන්ව අළුත් නෑයෝ ආපසු ගියේ අනාත කඳවුරේ රඳවා ආ තම පවුල්වල ඉතුරු උදවියට සිදුවන්නට ඉඩ ඇති විවිධාකාර දේවල් ගැන සිතමිනි.

ඒ අතර මගේ හිත ගියේ වෙනකකට නොවේ..සාලේ ස්ටූල් එකක් මැද දුඹුරු පාටට දිලිහෙමිං තිබුන මංගල කේක් ගෙඩියටය.

ඊයේ රෝස පාට එකක් නේද තිබුනේ...

මම නොකී කතාව තේරුං ගත් නංගී මා නිවැරදි කලාය.

ඒ කේක් එක ගන්ඩ යන්න බෑ ගං වතුර..අයියල ටවුමෙන් කේක් එකක් අරගෙන එවෙල නං ලියවලා තියෙන්නෙ...


මම ඊට නැවී බැළුවෙමි.

දුඹරු පාටට දිලිහෙමිනං නංගීගේ නිවැරදි නම - ශශීකලා- ලෙස එහි ලියා තිබුනි

වෙච්ච අලකලංචි වල හිලව්වට හරි නම තියෙන කේක් එකක් හරි හම්බුනා මදැයි...


ප.ලි - විශ්වයේ බලවත්ම දහම වූ සොබා දහමේ අභියෝග ජය ගනිමින් බැඳි මේ දෑත ජීවිතයේ සියළු අභියෝග අභියස මේ ලෙසම එක්වී තිබේවා!!!!!




15 comments:

  1. ගංවතුර අස්සෙ මල මගුලයි....

    ReplyDelete
  2. ගංවතුර බාධක මැඩගෙන සතුටිං ඒ ගමන ආ මනාලයා එළ කොල්ලෙකි උන්ගේ සනුහරේ උන්ද වඩා ප්‍රායෝගික මිනිස්සු යැයි හැඟේ.. කේක් ගෙඩියේ නම සුභ නිමිත්තකි.. මේ මගුල අති සාර්තක වෙනවා නොඅනුමානයි .. ජය ශ්‍රී මනාල යුවලට!!!

    ReplyDelete
    Replies
    1. ඒ මල්ලි එක්ක නං වචනයක් වත් කතා කරන්ඩ බැරි වුනා.අඩු ගානෙ ජෝඩුවට සුභ පතන්නත් අමතක වුනා කියහංකො.
      මමත් හිතන්නේ එසේමයි

      Delete
  3. Dennata apenuth suba pathum. Eyath oya wage penuma.ita passe gan wathuren karadara unada?

    ReplyDelete
    Replies
    1. හපොයි ඔමා උඩ මගුල් පිංතූරෙ මගෙ එකක් තමයි.උන්දැගෙ මගුලෙ පොටෝ කෑල්ලක් වත් ගන්ඩ බැරි උනා.මගේ කැමරාව බෑක්කෙකෙන් එලියටවත් ගන්ඩ මට අමතක වුනා.අපිට ගං වතුරෙන් අවුලක් නෑ.

      Delete
    2. ඒකනේ , ;)

      Delete
  4. මට හිතෙන්නෙ මේක සුභ මඟුලක් කියල. ඔවුන්ට වාසනාවන්ත යුග දිවියක්

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..ස්තූතියි ඉයන්

      Delete
  5. Replies
    1. මොන පොටා්ද බං .මට එකක් වත් ගහ ගන්ඩ බැරි වුනානේ

      Delete
  6. බොහොම අපූරුවට ලියල තියෙන්නං..උඹ කොහොමත් ආලවට්ටං දාල ලියන්ට හපනි නෙව...

    මේක නම් වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම මඟුලක් නොවුනට මඟුල් දා ඔහොම පැල් බැඳගෙන වහින්නෙ මනමාලි ගලෙන් පොල් කාපුවමයි කියල කතාවක් තියනව...:)

    ReplyDelete
  7. අන්න ශරි.. ගේම නං ගේම.. පස්සට යන්න නරකයි. ඒ දරුවන්ට උණුසුම් සුභපැතුම් ලබාදෙන්න.එච්චර හිත හයියෙන් පටන් ගත්තුදේ වරදින්නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
  8. ජය මංලගලම්... සුබ මංගලම්.

    ReplyDelete