Wednesday, April 29, 2015

සැබෑවට ආ සිහින කුමරා

හුස්ම ඇහැරුනු දා පටන් සෙවු - සිහිනයක රැඳි රහස නුඹ විය
මියෙන ඉපදෙන තරු කැකුළු මැද - දිලෙන රිවි මඩලත් නුඹම විය
ගන අඳුර මකමින් සිනාසුන- සොමිගුණය පිරි සරා සඳ විය
නොපැතු මොහොතක නොසිතු විලසට - හමා ආ මල් සුවඳ නුඹ විය

පිණි කඳුල මත රැඳුන නෙතකට -වසන්තය කැඳවූ සුසුම විය
පුරන් සිත් කෙත රනින් සරසා - ඇද හැළුනු නිල් වැස්ස නුඹ විය
බිහිරි හද ගැබ ගීතයක් කල - දෙව් ලොවින් බට වෙණ නදක් විය
පැතුම් වැලලූ සොහොන් පිටියක - පිපී ආ පරසතු මලක් විය

නගින සැඟවෙන උදම් රළ ගැබ - අහම්බෙන් දුටු මුතු ඇටය විය
කුරුළු තුඩඟින් හොරෙන් ගිලිහුනු - සරල සිතිවිලි නුඹම සතු විය
පිපුණු අටපෙතියා කැදැල්ලක -රඟන  සමනල සිතක් හිමි විය
ජීවිතෙන් පැතු සියළු සම්පත - නුඹේ තුරුලෙදි සැබෑවක් විය

මුණ ගැසුනු නෙත් දහස් කිමිදී - මා සෙවූ නෙත් නුඹම සතු විය
කුරිරු ලොවකින් සතුට සොයනට - සිත පැතූ උණුසුම ළයේ විය
අවැසි නැත නිම් තෙර සොයන්නනට-එකම සිහිනය අද සැබෑ විය
නුඹයි හිරු සඳු නුඹයි දියවර - සදෙව් සැප මට නුඹෙන් හිමිවිය


5 comments:

  1. මගේ සුදු මහත්තයා ගැන ලිවුවේ හොඳද?

    ReplyDelete
  2. අනේ ඉතින් අපි නම් ඔවා දන්නේ නෑ.... :-D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.... ඒත් මම හොඳටම දන්නවානේ

      Delete
  3. මොන සුදක්ද බොල?....නම්බ නෝට් වැලි කඩදහියකිං අත තදකරල හූරල දෙපාරක්වත් හුණු ගෑවොත්නං ඔන්න සුදු මහත්තය කියල කිව්වැහැකි...:)

    ReplyDelete
  4. අපහාස කරන්න එපා හරිය- කළු උනාට මගෙ කොල්ලට කියන්නෙ මම සුදු......

    අහල නැද්ද මනුස්සයෝ ආදරේ අන්ධයි කියලා....ඉතින් පාට පෙනෙවියැැැැැැැ

    ReplyDelete