Wednesday, April 29, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 04 කොටස


04.සොබා දහම් අම්මා පුංචි මල් කැකුළු වලට නපුරු කම් කරන්නේ නෑ
අද තවත් දවසක්.සුපුරුදු විදියටම ඉරටත් කලින් නැගිටපු නිදිමත දවසක්.අද මට අයිති වුනේ චූටිම චූටි මල් කැකුළු විකක්.ඊයේ පෙරේදා මෝදු වුන මලු කැකුළු ටිකක්.මේ මල් මොන පාටින් පිපෙයිද කියලා තාමත් හිතා ගන්නවත් බෑ.තාම දළ පත්‍ර කැමති නෑ මල් කැකුළු අත අරින්න.ලෝකෙන්ම ආරක්ෂා කරන්න වගේ තාම මල් කැකුළ වහගෙන ඉන්නවා.“මේ මල් හරිම දඟයි...මුලින්ම සැරට ඉන්න එක තමයි හොඳ“තවත් සමන් මලක් කිවුවේ පෙති නටවමින්.පළපුරුදු මල් වල අදහස් ආගන්තුක මලකට හරියට වටිනවා.මල් ලෝකයට මං තවමත් ආගන්තුකයි.ඊයේ පෙරේදා කුරුල්ලෙක් වෙලා ඉඳපු මතකය තාමත් හිතේ හොල්මන් කරනවා.
ඒත් හුරතල් දඟ මල් මං වට කර ගනිද්දී මට සැර වෙන්න අමතක වුනා.මං සැර වුනේ නෑ නේද කියලා මතක් වුනේ මල් පාත්තියට ගිහින් ආපහු එද්දී.
උපතින්ම එක එක සුවඳ ගෙනාපු මල් මැද මලක් වෙලා මලකට වඩා සුන්දර දෙහෝරාවක් ගෙවී ගියා.මං කියා දුන්න තාල වලටම ලස්සනට නටපු මල් කැකුළු දිහා බලා ඉඳිද්දී මට ඉබේටම මතක් වුනේ කුරුල්ලෙක් වෙලා හිටපු කාලෙදි මෙහෙම සතුටක් මම අත් විඳලා තිබුනේ නෑ නේද කියලා.
ඒත් එක මල් කැකුළකට කට කිසිම තාලයක් ගැන අවබෝධයක් නෑ.මම මොකද කරන්නේ.ඒ කැකුළ අත ඇරලා දානවද?බෑ....බෑ....මේ හැම කැකුළක්ම මේ ලෝකෙට පහල වෙලා තියෙන්නේ කිසියම් නියතයක් නිසා.මේ ලෝකෙට මේ කැකුළු උවමනා කරන නිසා.මේ හැම කැකුළක්ම මලක් වෙලා පතුරවන හැම සුවඳක්ම මේ ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යයි.එක කැකුළකටවත් පිපෙන්න කලින් ගහ මතම කුණු වෙලා යන්න දෙන්න බෑ.මම මලක් වුනේ හැම කැකුළක්ම වෙනුවෙන්.

කැකුළ බිමට නැමිලා ඉන්නේ දුකෙන්ද?ලැජ්ජාවෙන්ද?බයෙන්ද?එයා නටුවෙන් ගිලිහිලා අකාලයේ බිමට වැටෙයිද කියලා මට බයයි.ඒත් සොබා දහම් අම්මා කවදාවත් පුංචි කැකුළු වලට නපුරුකම් කරන්නේ නෑ.එයාට විතරක් තෑග්ගක් නොදී ඉන්නෙත් නෑ.හැම කැකුළකටම දීලා තියෙන සුවඳ පාට ලස්සන නොදී වෙනස්ම විදියේ තෑග්ගක් මේ පුංචි කැකුලට දීලා ඇති.ඒත් ඒක මොකක්ද?මම ඒක අඳුනා ගන්නේ කොහොමද?අර සුරංගනා කතා වලදී වගේ මට රෑට නැති නුවණ උදේට පහල වෙයිද?



ඩබ්.කේ

2 comments:

  1. රෑට නැති නුවණ උදේට පහල වෙයි....

    ReplyDelete
    Replies
    1. ඒහෙම වෙනවනම් කොච්චර හොඳද?

      Delete