Wednesday, April 29, 2015

නාග දමනය

නාග දමනය

සමන් දෙවි හාමුදුරුවන්ගේ සිරිපතුල ඉඹ ඉඹ ඉර කල එළි බසී.දාස් මල් සුවඳ හුලං කපොළු වලින් රිංගා අනාරාධිතවම ගෙට එයි.හත්මුතු පරම්පරාවටත් පෙර පටන් සිටි නිළමෙලා,ආරච්චිලා ,රටේ මහත්තුරුන්ගේ තේජසින් සොල්දරය දක්වාම පිරී ඉතිරී ගොස් ඇති දෑල බණ්ඩාර වලව්වට අනාරාධිතව පැමිණීමට හිරු රැස් පවා බිය වන්නට ඇත.හාත්පස වූයේ අඳුරු අළු පැහැයකි.ඕවිට ලියැද්දේ නෙළුම දැනටමත් ඇරඹී අවසන් බව ඇසෙන සීපද හඬින් වටහා ගත හැක.

අතටම ගෙවුන වේවැල් බස්තමට මාරු වී එතැන මුල් තැන අරා වැජඹෙනු ඇත.උයන ගෙයි ඇසෙන කචපචයෙන් එහිද ගිණිරාමෙට වැඩ බව පෙනේ.ඊයේ මද්දහනේ තකහනියක් ම මද්දු අක්කාත් ලොකු අක්කාත් මස්සිනාවරුන් සමඟ වලවුවට ආවේ ඇඹුල තැනීමට අම්මාට උදවු වීමටයි.

හැන්දෑවේ උක්කු රාල සමඟ අත ගම්මැද්දේ ගැහැණුන් රොත්තකටම අම්මා පණිවිඩ යැවුවාය.ඒ අතරට සිරියාවතීද ඇතුලත් වන්නට ඇත.අප්පච්චීගේ හොර අඹුව.හැමෝම ඇඹුල අරන් කමතට යද්දී සිරියාවතී නිවසේ රැඳෙනු ඇත.අප්පච්චී අම්මාට කමතේ මුලසුන පවරා රහසේ ගෙට රිංගනු ඇත.ඊයේ අම්මාගේ දෑසේ වූ කඳුළු අද සිදුවීමට ඇති ඒ දෙයෙහි පෙරනිමිතිය.


වසර අටක විදේශ අධ්‍යාපනය ගමත් ,පවුලත් සමඟ මගේ ඇති බැඳීම හීන කර දමා ඇත.මම කමතටවත් උයන ගෙට වත් අයිති නැත.මම අයිති කොතනැටදැයි මටද හැඟීමක් නැති බැවින් මම තාමත් ඇඳ උඩ දොයි.කට හඬ මිරිකා දමන ලද ගුවන් විදුලියෙන් ඇසෙන්නේ ඒකාකාර මුණු මුණුවකි.ඊයේ රැයේ කුමන හෝ හෝරාවක ඇඳෙන් බිමට වැටුණු “එමා බෝවාරි“ තවමත් බුමුතුරුණ මතම දොයි.


දොරට ලාවට තට්ටු කිරීමක්.පුංවිරාල කොළුවා නම් නොවේ.ඌ නම් දොර කඩන්නට මෙන් ඊට තඩිබානු ඇත.
අම්මාගේ අත් උදවු කාරියක වන්නට ඇත.


“වරෙන් .... දොර ඇරලා තියෙන්නේ“

“පුංචි හාමුගේ කිරි ජොග්ගුව“හීන් කටහඬක්.

“ඔන්න ඔහේ තියලා පලය......“මගේ හඬ මගේ මුව තුලම ගොළු වූයේ පැමිණ සිටින තැනැත්තිය දුටු විටය.
මේ කවුද?මම මගෙන්ම ඇසීමි.“දැකලනම් පුරුදුයි“මගේ හිත කීවේය.

මතකය පැමිණියේ එක්වරමය.

“උඔ නේද පිං ළිඳට පල්ලෙ ගෙදර ඉන්නේ“මම ඇඳ විට්ටමට හේත්තු වීමි.දිනක් ඇය දුටුවේ අහම්බයකින් වුවත් හැඩ වැඩ ඇති රූපය නිසා ඈ මගේ සිතේ රැඳී සිටියාය
.
“කවුද අම්මා ළිඳ ලඟ ගෙදර ඉන්න ලස්සන ළමිස්සි“මා මතක් වූ වෙලාවක නිකමට ඇසීමි.

“ආ..... සේන රිදී ගේ පොඩි කෙල්ල....මම ඒකි වලවුවේ වැඩට ගෙන්නන්නම්“ ඒ වෙලාවේ කොහෙන්දෝ කඩාපාත් වූ අප්පච්චී කීවේ මගේ පිටට සුහද තට්ටුවක්ද දමමිනි.

අම්මාගේ දෑස කඳුලින් පිරී යනු දුටු මා එතනින් ඉවත්ව ගියේ එය දරා ගත නොහැකි බැවිනි.සෑම විටම ගැහැණියකගේ කඳුළු මා දුර්වල කිරීමට සමත් විය.

අම්මා මට නොඇසෙන තරම් සෙමින් මොන මොනවාදෝ දෙඩුවත් අප්පච්චිගේ පිළිතුර වලව්ව දෙදරවණ හඬින් පිටවිය.

“ඇයි ඔහේගේ මහලොකු අයියණ්ඩියට ඕන කෙල්ලව විස්සවිජ්ජාලෙ දක්කන්ඩනේ.....ඒකි කැන්දක් එන්ට තව සෑහෙන කාලයක් යයි“අම්මා නිශ්ශබ්ධ වූවාය.

එය ඇගේ වරදක් බවට ඈ සිතන්නට ඇත.ඒ හිතුවක්කාර කෙල්ලක් තැනුවේ ඇගේ අයියා බැවිනි.

 අඬ අඳුර මැදින් මට තවමත් මැවී පෙනෙන්නේ අමිමාගේ කඳුළු පිරි ඇස්.මට නයනතාරා සිහිවේ.සුදුසු කල  ඈ හා සරණ යා යුතු බව මම දැන සිටියෙමි.මා හා තරඟයට ගස් බඩ ගෑ දඟකාරිය වැඩිහිටි වියට පත්ව ඇති බව සිතීමත් අමුතුය.


“පුතා හෙට සේන රිදීගේ කෙලී එවන්න කිවුවා.හෙට ඒවි.“අම්මාගේ හීල්ලුම මැද අප්පච්චි කීවේ ඊයේය.අද ඈ පැමිණ ඇත.කඳුළු ගංගාවක් හෙළුද අම්මා අප්පච්චීගේ අණ ඉටු කරමින් ඈ මාවෙත එවා ඇත.


ගැඹුරු විල් දෙකක් වැනි ඇස්,පිලිවෙලකට පිට දිගේ ගලා ගිය කොණ්ඩ කරල,රත් පෑ දෙතොල්,හැට්ට කෑල්ලෙන් එලියට පැනීමට ඔන්න මෙන්න ළැම,වටකුරු උකුල මා සනසවන්නටම බලා හිඳී.

“උඹ සේන රිදීගේ එකී නේද?“


“එහෙමයි හාමු මහත්තයා“.....

“උඹට එන්ඩ කිව්වේ ඇයි කියලා උඹ දන්නවද?

ඇගේ දෑසින් කඳුලක් වැටිනි.ඕ හිස වැනුවාය.

රුක්මල්ගොඩ වලවුවේ පුංචි කුමාරිහාමි කැන්දන් එන තුරු මගේ යහන ඈ බෙදාගනු ඇත.මා සතු දේපලක් වනු ඇත.මම නැගී සිට එක හුස්මට කිරි වීදුරුව හිස් කලෙමි.

මම නැගිට ඈ ලඟට ගියෙමි.මවු බිමට පය තැබූ දා පටන් නිදා සිටි සර්පයා හෙමින් හෙමින් ඇස් හරිනු මට දැණින.මම ඈ මදෙස ඇද්දෙමි.තම රාජකාරිය දැනසිටි ඈ විරොධය නොපෑවාය.විරෝධය පා මරලතෝනි දුන්නද ගෙයි පිරී ඇති සෙනගින් කිසි අයෙක් ඇගේ උදවුවට නොපැමිණෙණ බව මම දැන උන්නෙමි.


“මොකද උඹ බයද?“මම ඇසුවේ ඈ වෙත හොඳටම ලංවය.ඇය දිගින් දිගටම සිමෙන්ති පොළව මත දෑස් අලවාගෙනය.

සර්පයා විමසිලිමත්ව වටපිට බලන්නට විය.මම ඇය මිරිකා ගතිමි. ඈ තවමත් බිම බලාගෙනය.සිතල ගල් කුට්ටිටක් බදා ගත්තා වැනි හැඟමකින් සත වෙලී ගියේය

.කැරන් ලීසා හා ඈන් අත හැර ලඟා කර ගැනීමට සිතූ සිංහල ගැහැණුන් මෙසේද?මා කරා එළඹි විට උණූවී වැගිරෙන ඔවුන්ගේ නාරි ලාලිත්‍ය මා සිහිපත් කලේ ලෝභ කමිනි.නයනතාරාද මෙසේ වනු ඇත.මෙතෙක්ම පිපාසයට අමෘතය පානය කල මට අද සිට පානය කරන්නට වන්නේ සුළු දිය වනු ඇත.

දෙතොලෙන්,ඇස් කොනින්, පටන් ගෙන මා රසාලිප්ත කල හෝරාවන් යලිත් නොඑනු ඇත. එසේ නම් මා පලා යා යුතුමය.කා වෙතටද?කැරන්?ලීසා ? ඈන්?.වලව් වල පිරිමින් උපතින්ම රැගෙන ආ උද්දච්චය නිසා මට ඔවුන් අහිමිව ගොස් ඇත.ඔවුන්ගේ ස්වාධීන ආත්මයන් කීකරු පෙරදිග බිරිඳක ලෙස හීලෑ නොවූ බැවින් මම ඔවුන් අත්හලෙමි.දැන් මෙබඳු ගල් පිළිම  සමඟ මා.................


මම ඈ යහන මත තල්ලු කලෙමි.සර්පයා සීමා මායිම් බිඳ නොබියව පිටතට ඇදෙන්න විය.මගේ දේපල මට උවමනා ලෙස භාවිත කල නොහැක්කේ මන්ද?සර්පයා උපරිම ජවයෙන් කුරුමාණම් අල්ලන්නේ සංවේදීම ස්ථානයට දෂ්ට කිරීමට බව මම අත්දැකීමෙන් දනිමි.

මම ඇගේ සිරුරේ කඳු හෙල් නිම්න ඔස්සේ ඉදිරියටම ඇදී ගියෙමි.සිහින් ඉකියක් නික්මිණ.දැන් බලහත්කාරයෙන්ම ගෙට රිංගා ඇති හිරු රැස් ඒ කෝමල සිරුරේ අඳුරු සේල ඉරා දමමින් සිටියි.ඇය දෑස් තදින්ම පියාගෙනය.නොනවතින දිය සීරා දෙකක් දෙඇසින් පටන්ගෙන ඇඳ ගුදිරිය තෙක් ගලා බසී.සර්පයා දෙගිඩියාවෙන් සැලෙන්නට විය.සීතල ගල්කුට්ටියකට දෂ්ට කර දළ උගුල්ලා ගත යුතුදැයි සර්පයා බුද්ධියෙන් විමසන්නට විය.

කැරන් ලීසා හා ඈන් කාමරය වටා භ්‍රමණය වෙමින් මට සරදම් කරන්නට විය.ඇඳ මත හෙලන ලද ගල් කුට්ටිය තවමත් නිසොල්මනේය.ඒ දෙතොල් මා වෙනුවෙන් පොපියන්නේ නැත.ඒ රුහිරු මා වෙනුවෙන් උණු වී නැත.තිසරුන් අවදිව නැත.ඒ සිතිවිලි වල මා නැත.රාජකාරිය පමණක් රැඳී ඇත.


කැරන් ලීසා ඈන් මා මේ කරගත් විනාශය කුමක්ද?එංගලන්තයේ අධ්‍යාපනය ලත් නිදහස් යෞවන ආත්මය ඔබ ප්‍රිය කලත් උඩරට රදල ලෙය ඉල්ලා සිටියේ යටහත් පහත් කීකරු සේවිකාවකි.මගේ කඹ ඇදිල්ල නිසා මගේ ඉරණම කෙලෙස විසඳේද?


ඇයි පමා ............ඇයි පමා සර්පයා නොනවත්වාම කොඳුරයි.“වහපිය කට“ මම දැඩිව සර්පයාට අණ කලෙමි.ඇය එක් වරක් දෑස හැර බැළුවාය.ඒ බැල්මෙන් සීතල වූ සර්පයා නිහඬව පසුබැස ගියේය.එම බැල්මේ ආදරයක් නොවීය,අශායක් නොවීය,ඉල්ලීමක් නොවීය,තර්ජනයක්ද නොවීය.ඒ ඇස් තුලින් දැකිය හැකි වූයේ පතුලක් නැති ආගාධයක් පමණි.එය පරාජයට වඩා වැඩි යමකි.වේදනාවට වඩා වැඩි යමකි.භීතියට වඩා වැඩි යමකි.

“නැගිටපන්“ ඈ විශ්මයට පත් වූවාය.

“පලයන් ආයෙ එන්ඩ එපා“..............ඒ දෑසින් කඳුළු ගලා ගියේය.

“ලොකු හාමු.......????

“මම අප්පච්චිට කියන්නම් .උඹලට කරදර කරන්නෑ අප්පච්චි.....“ඇය දොර ළඟට ගියේ වෙව්ලමිනි.අනතුරුව ඇසිපිය ගසන පමාවෙන් පොල්වත්ත හරහා දිව යන ඇගේ රුව දෙස මම බලා සිටියේ හැඟීම් විරහිතවමය.

අම්මා දැන් හොඳටම අඬනවා ඇත.මම ඈ සොයා ගියේ මගදී අල්ලා ගත් මගේ මෙහෙකාර කොල්ලාද සමගිනි.

“අනේ පුංචි හාමු ..........පුංචිහාමු........වලවුවේ හාමු ..............පුංචිහාමු......“

“පුංචි හාමුට කරදර කරන්න එපා කොල්ලෝ.. ඔය වැඩේ කරපන්“අම්මාගේ හඬ බිඳී තිබිණි

“අනේ ඌයි.... ඈයි වලවුවේ හාමු .............පුංවි හාමු“කොල්ලාගේ හඬ වැඩි වන විට මම තවත් තදින් කන අඹරවන්නට වීමි.

“මොන කරදර.........“ රවගෙන පැමිණි අම්මා මා දැක එතැනම ගල් ගැසුනාය.අම්මාට පිටුපසින් පැමිණි නැන්දම්මා අම්මාගේ ඇගේ හැපී නතර විය

.එසේනම් නයනතාරාද ඇවිත් සිටිනු ඇත.මා වෙන එකියක සමඟ කාමරේ සිටීම ඇය නොතකනු ඇද්ද? ඉරණම ලෙස ඇය මේ සියල්ල දරා ගන්නීද?

“ප් ප් පුතා.....

“අයි අම්මෙ මූ අද මගේ කිරි වීදුරුව ගේන්න බෑ කිවුවද?“

කොල්ලාගේ ඇස් දොට්ට පනින්නට මෙන්  විසල් විය....“ව ව ව වලව්....

“අර කෙල්ල පුතා....“

“මම ඒකි ගෙදර ඇරියා “ අම්මාට කිවූ මම තවත් තදින් කොල්ලාගේ කන වරක් මිරිකා අත හලෙමි.

“ආයෙ කවුරු එපා කීවත් නයනතරා හාමු මෙහෙ එනකල් මගෙ තේ ගේන්නෙ උඹ හරිද?“කොල්ලා පැන දිව්වේය.

නැන්දම්මා මගේ මුහුණ අත ගෑවේ කඳුළු කඩා වැටෙද්දීය.ඇගේ ඉරණම දියණියට උරුම නොවන බව ඇය සිතන්නට ඇත.
“හිච්චි ආවේ නැද්ද නැන්දම්මා....“


“එයාට ඕන කම තිබ්බා..පංති පාඩු....“

“එක්ක ආවේ නැත්තේ අර කෙල්ල හින්දද?අම්මාත් නැන්දම්මාත් මුහුණින් මුහුණ බලා ගත්තහ.

“මම නැන්දාට ලියමනක් ඇරියා.හිච්චි ඔවුව ඉවසන් නෑ පුතා... අන්තිමට අප්පචිචියි මාමණ්ඩියි උදහස් වෙයි...“

“හිච්චිට පංති ඉවර කීයටද?

“බණ්ඩා දැන් ලැහැත්ති වුනා.හිච්චි එහේ ගිහින් අරලියි.....

“බණ්ඩට ඉන්න කියන්න.මම ගිහින් මෙහෙ ඒක්ක එන්නම්.“

පේරා සරසවියෙන් ඉවත ඇදෙන බාලිකාවන් දෙස මා බලා සිටියේ නයනතාරා ඔවුන්ගෙන් කවුරු වනු ඇත්දැයි සිතමිනි.දැනටමත් කාරය මතට මාර මල් කිහිපයක් ඇද වැටී ඇත

.වාහනට හඳුනාගෙන නයනතාරා එතනට එනු ඇත.මම මාර ගසට පිට දී බලා සිටිමි.සෙල්ලක්කාර කෙල්ලන් රැසක් මා අසලින් නැවතුනහ.එකියකගේ ගොතා දැමූ පසුද විළු‍ඹෙහි ඇතිල්ලෙන දිගු කොණ්ඩය දුටු විට මට හුස්ම ගැනීමට පවා අමතක විය.මිනි ගවුම් ඇඳ සිටි කෙල්ලන් රංචුවත් මැද දෙපතුලටම නිල් මල් ගවුමක් ඇඳ සිටි ඇය දුටු මතින්ම ඒ මගේ සංසාරගත බිරිඳ බව මම අවබෝධ කර ගතිමි.

සොයුරියක්ව හුන් නයනතාරා මට තීන්දු  කල දෛවයට මම සාප කලෙමි.කැරන් ලීසා ඈන් සේ මට ඇය හැරයා නොහැකිය.කිසිදා ඈ නොදුටුවා නම් මේ වේදනාව නැත.මම හිස් වූ හදවතින් මේ අහිමි වීමත් දරාගමි.කෙල්ලෝ රංචුව කාරය ළඟ නැවතී වට පිට බලන්නට විය.
“තාරි උඔ යන්නේ කොහොමද?වාහනේ තාම නෑ නේද?
“අද ගෙදර කවුරුත් නෑ ..කාර් එක ආවාම මම මල් වත්තට යනවා“දිගු කොන්ඩයකින් යුත් රුවැත්තිය කීවාය.ලීසාගේ කටහඬෙහි වූ ශෝකී මධුර බව ඇගේ හඬ තුලද විය.ලීසා ලවා සිංහල කථා කරවා ගත හැකි වුවහොත් සංසන්දනය කර බැලීමට හැකි වනු ඇත.

“මස්සිනා ආවා නම්“......එකියක් දෙඇස් නැටවූ ආකාරයට මටද සිනහ පහල විය. .එසේ නම් මාගේ සිහින කුමරියටද යෝජිත මස්සිනෙක් ඇත.මට නෑනෙක් ඇති සේම...

“ඉඳා මල කෝලම....“ ඇය එය කිවූ එකිය තල්ලු කලාය.ඇගේ දඟකාරී දෙඇස මට සිහිපත් කලේ ඈන්ගේ කථා කරන දෙනෙතයි.

“එයා දැක්කාම තමයි මම තීරණයක් ගන්නේ“  

“උඹට පිස්සුද? අම්මලා....
“මගේ ජීවිතේ  මට නාස්ති කර ගන්න බෑ.මම ගුරු පත්වීමක් ඉල්ලුවෙත් ඒක..මම ගෙදරින් අයින් වෙනවා....“

“වලවුව ඉලවුවක් වෙයි.

“දැනටත් එහෙම තමයි..අම්මා වගේ යටත් වෙන්නෑ මම....මරාගෙන මැරෙනවා....“

“ඉතින් මචං කාරයා හැන්ඩියා නම්......“

“හැන්ඩි වුනාට වැඩක් නෑ...අද එයාටත් අ‍පේ අප්පච්චිලාට වගේ කෙල්ලෙක් හම්බවෙනවා.....“මම විමිසිලි මත් වීමි.දරා ගත නොහැකි යමක් සිදු වීමට යන බව පෙනිනි.

“තාරීරීරීරිරී......“

“මට බෑ එහෙම ජීවත් වෙන්න“ තාරී ......?නයනතාරාද? මගේ තීරණය ගැන මට සතුටක් දැනිනි.ඇය නයනතාරා නම් මගේ ජීවිතය ඈ අතින් හැඩ වනු ඇත.

ලීසාගේ කට හඬත්,ඈන් ගේ කථාකරන දෙනෙතත් ,කැරන්ගේ එඩිතර බවත් ඈ සතුව ඇත.ඒ තිදෙනාගේම අඩුව ඈ පුරවනු ඇත.මම වහං වී සිටි ගසින් මෑත් වීමි.

“ආහ් ...............නැන්දම්මලාගේ කාර් එක තියනවා....මම බැළුවේ රතු මාමා කොහෙද ගියේ කියලා.....නිල් මල් ගවුම ඇඳි සුරූපිනිය වට පිට බලන්නට වූවාය.තාරි.....එතකොට  තාරි කියන්නේ නයනතාරාමද?විය හැක.අපේ රියදුරුට රතු මාමා කීවේ ඇයත් මාත් පමණි.මගේ සිත පිමිමක් පැන්නේය.

මම හෙමින් කාරය ලඟට ගියෙමි.“මොකද කට්ටිය වාහනේ මංකොල්ල කන්නද ලෑස්තිය“සියළු දෙනාම තිගැස්සී මා දෙස බලූහ.

“නෑයියෝ .....කියූ එකියක් සිනාසෙන්නට වූවාය.“අපි තාරිගේ ගෙදරින් එනකල් ඉන්නේ“

“කවුද එතකොට තාරි..................“


“මම“

“රුක්මල්ගොඩ වලව්වේ නයනතාරා හාමුද?“


“මාව දන්නවද“

“අප්පච්චි කිවා “
“රතු මාමාද?ඔයා රතු මාමාගේ පුතාද?“මම හිස වැනුවේ දෙයියෝ දුන් අවස්ථාවට ස්තුති කරමිනි.

“අයිය මෙතනට ඇවිත් ගොඩක් වෙලාද?

ඇගේ දෙඇස සෘජුව මා වෙත යොමු විය.එඩිතර කෙල්ලෙකි.මම හිස වැනීමි.

“අපි යන්නේ එහෙටද?“මම හිස වැනමි.

“ගොළුවෙක්ද කොහේ “මා දෙස යටැසින් බලමින් ඕ කියයි.ඒ සුරතල් බැල්ම .....මේ මැණික මා සතු වීම මගේ වාසනාවකි.යෙහෙලියන්ට අත වැනූ ඇය පිටුපස දොර විවර කළාය.


“අඩෝ සාලියා...කවද්ද මචෝ ආවේ?....විලම්භීතයා මා වැළඳ ගන්නා අතරේ මම ඇය දෙස බැලීමි.ඇය රතු වූවාය.දෑසේ කෝපය මට දැකිය හැක.

“සතියක් විතර ඇති ..මේ නෑනා එක්ක යන්න ආවා“...මම නයනතාරා පෙන්වමින් කීමි....

“මම ඊයේ එහෙට කතා කලා....අම්මා කීවා අද එන්න එපා කියලා... හෙට එන්න ලෑස්ති වෙලයි මම හිටියේ....“


“අම්ම මට කීවෙ වත් නෑ“ ඊයේ දවසම මාත් සේන රිදීගේ කෙල්ලත් අතර දෝලනය වූ අම්මාට අන් සියල්ල අමතක වන්නට ඇත.

“අද වැඩක් තිබුනද?අම්ම නම් කීවේ නෙළුම කියලා....උඹ ඒවටත් යනවද?ඔහු ඇසුවේ උපහාසයෙනි.

“අද මට අප්පච්චි කෙල්ලෙක් එවලා තිබුනා“...ඒක හින්ද වෙන්න ඇති....“නයනතාරා දෑස් විදහා මා දෙස බැළුවාය.මගේ නිවැරදි බව ඇයට වටහා දිය යුතුය.නැති නම් මට ඈ අහිමි වනු ඇත
.
“මටත් ....හැබැයි නෑනා ඉන්න තැනම ඕක කියන එක නරකයි......“

“මම ඒකි එපා කියලා උවමනා එකී ගෙනියන්න ආවේ ඒකනේ“මම ඇගේ කර වටා අත යවමින් කීවාය.කුඩා සිනාවක් පාමින් ඇය මා දෙස ඇදී ආවාය.

“උඹේ කෙල්ල?“

“මට මාරයා නැග්ගා ...නිශා එහෙම දැන ගත්තොත් මැරෙයි...මම අප්පච්චිගේ මූනටම කිවුවා ඉන්න හොර ගෑණු ටික මදිනම් මේකිවත් තියා ගන්න කියලා.....“අප තිදෙනාම හඬ නගා සිනාසුනෙමු.

පිටු පස දොර වසා දැමූ  ඇය ඉදිරිපසින් වාඩි වූවාය.“බොරු නේද කීවේ.....?

“මම ඔයාව බොරු කියන් නෑ නංගී“ කියමින් පටන්ගත් මම කැරන්,ලීසා ,ඈන්, පමණක් නොව පාසල් සමයේදී මුදල්දී නවාතැනට කැඳවා ගත් ගැහැනුන් ගැනත් කීමි...

“ඔයා කැමති තීරණයක් ගන්න...ඒත් මාව විශ්වාස කරලා ඔයා මං ගාවට ආවොත් මම කවදාවත්ම ඔයා ඇර  වෙන කෙනෙක් ලඟට යන් නෑ“....

“අකමැති වුනත් ඒකත් කියන්න ගෙවල් වල කරදර වලින් බේරලා ඔයා කැමති......“මගේ හඬ බිදී යන්නට විය.ඇය සුක්කානම මත තිබූ මගේ අත යාන්තමට ස්පර්ෂ කලාය..මම මීදුමෙන් සැඟවී ඇති කඳු වලල්ල දෙස අරමුණකින් තොරව බලා සිටියෙමි.

“ඔයා මට ආදරේ කලාද?......

“කලින් නම් නෑ...ඒත් අද ඔයා දැක්කාම ඔයා නයනතාරා කියලා දැනගන්න කලි න් ඉඳම්ම......

“එතකොට මං ඔයා බැන්දොත් අර පොරොන්දුව.......ඇය මා දෙසට අත පෑවාය.නිදහස් අතින් එය අල්ලා සිපගතිමි.මෙතෙක් සිටි එඩිතර කෙල්ල වෙනුවට සබකොලීව සිනාසෙන යුවතියක් දුටු මට මගේ සතුට කීමට වදන් නොමැති විය.ඇය සර්පයා පමණක් නොව මගේ හදවතද බුද්ධියද එකසේ අවදි කරනු ඇත.

“ඒ විතරක් නෙමෙයි...ඔයා කැමතිනම් උගන්නන්න යන්න......මට වැකිය අවසන් කිරීමට ඉඩ නොදුන් ඇය....මගේ සුදු අයියායි....කියමිනු මා වැළඳ ගත්තේ අපේ ළමා විය සිහි කරවමිනි....පේරාදෙණියත් රත්නපුරත් අතර දුර අපේ කථාව නිම කිරීමට ප්‍රමාණවත් නොවීය.


හිරු අවරට ගොස් තිබිණි.හාත්පස අඳුර ගලා එයි.අම්මාත් නැන්දාත් අත් අල්ලා නිවස දෙස එන අප දෙස බලා සිටියේ කඳුළු අතරිනි.ඔවුන්ගේ කඳුළු මගේ ආදර නයනීට උරුම කර නොදෙන බව ඒ දෙදෙනාගේ පිවිතුරු  කඳුළු වැල් ඉදිරියේ මම මටම පොරොන්දු වීමි.




5 comments:

  1. මම මේක කියෙව්වෙ දැන් දෙවෙනි වතාවට. ලස්සන තේමාවක්, සත්‍යයෙන් දුර උනත්. තව තවත් ලියන්න. කියවන්න ආසයි.

    ReplyDelete
  2. ස්තූතියි මලී...ආදරෙන් පිලිගන්නව මගේ මල් වත්තට

    ReplyDelete