Wednesday, April 29, 2015

මංමුලා සෙවනැලි- 2 කොටස

1 කොටස මෙතනින්

අරු‍ණෝදය නැගෙන විටම කාමරයේ දොර කවුළු විවර කිරීම මගේ පුරුද්දයි.සෑම දිනකම නැගෙන හිරුට මුහුණ ලා ඇති කවුළුව තුලින් දවසේ උපත බලා සිටීමෙන් මා ලබනුයේ වදනින් කියනු බැරි අපූර්වතම ආශ්වාදයකි.තුරු පත් අගින් බේරී බිමට වැටෙන පිණි දියර නිල් තණ පත් උරා ගනු ලබන,පිණි පලස මත ළා හිරු රැස් දඟ කරන ,ඈතින් ඇසෙනට සියොත් ගී රාවය පසුබිම් සංගීතය සපයන අරුණෝදයේ දෑසට දෙසවන ට පමණක්  නොව හදවතටද ස්පර්ශ වන යමක් ගැබ්ව ඇත. එහි සුවඳ මම කෑදර ලෙස උරා බොමි.එය නිශා යම මුළුල්ලේ මිහි මත රඟ දුන් සුරංඟනාවියන් අමතකව තබා ගිය සුවඳකි.දූෂිත නොවූ  වාතය පෙනහැලි තුලට රිංගන්නේ වෙහෙසකර දවසකට ඇවැසි ජවය ලබාදෙමිනි.
වැටෙන්නේ සුරලොවින් බට සුර සළු පටක් මෙන් තුනීවය. එය රාත්‍රියේ මනු ලොවට සපැමිණි සුර අඟනුන්ට කරන  සංඥාව එය යුතුය.
අතීතයෙන් ඇවැසි මෙවලම් රැගෙන  හරහා අනාගතයට යන ගමනේ පළමු පියවර තැබීමට මෙය විනා අන් සුදුසු අවස්ථාවක් නැත.
වැලඳ ගැනීමට තරම් සුන්දරද නොවන අතහැර දැමීමට තරම් නොවටිනාද නොවන දුක දැයි සතුටදැයි නිශ්චිතව බෙදා වෙන් කල නොහැකි,නමුත් උදාසීනත්වයෙන් සැලකීමට සිත ඉඩ නොදෙන ව්‍යාකූල අත්දැකීම් රැසක අපිළි‍වෙල මතක ගබඩාවක් මා සතුව ඇත.එයින්  ඔබට තබා මටවත් ඇති ප්‍ර යෝජනය කුමක්දැයි මම වරින් වර මගෙන්ම අසමි.ඊට පිළිතුරක් හෝ නිදහසට  කරුණක් ලෙස යමක් ගොඩනගා ගැනීමට මට තාමත් හැකි වී නැත.පමා වී හෝ මගේ මරණයට පෙර ඊට පිළිතුරු ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව තවමත් මා හැර ගොස් නැත.විවිධ හැඟීම් රැසක් නිරන්තරයෙන්ම මා පෙළයි.ඉන් ඉවත් වීමට මෙන්ම ඇලී ගැලී සිටීමට මට ඇවැසි නැත.නමුත් නිරතුරු කැකෑරෙන සිත සාධාරණයක් ඉටු කරන ලෙස මට නිරන්තරයෙන් අණකරයි.මා මගේ සිත නිදහස් කර ගත යුතුයි.මෙය ඔබට කීමෙන් මගේ සිත නිදහස් වේදැයි මම නොදනිමි.මෙහි පළමු පාඨකයා මගේ සුදු පුතා වනු ඇත.උරුම කරන්නට රිදී රුපියල් නොතිබුනු මුත්, ඔහුගේ පියා තමා සතු  රුව ගුණ පමණක් නොව සිය කළාකාමී හදවතත් තම දරුවා වෙත තබා ගොස් තිබුණි.මෙය ඊලඟට කිව යුත්තේ කාටදැයි ඔහු තීරණය කරනු ඇත.
මින් මගේ සිත නිදහස් වේදැයි මම නොදනිමි.ඇත්ත වශයෙන්ම සිතෙහි ඈ කෙරෙහි වූ හැඟීම් දින දින වෙනස් වන බැවිනි.සැබවින්ම මම ඈ ගැන කිසිත්ම නොදනිමි.මෙය ඇය ආභරනයක් වේද අවමානයක් වෙද යන්න මට තාමත් පැහැදිලි නැත.මේ සා කාළයකට පසුවත් සතර රියනක් තුල වළලාදැමීම නොහැකි වූ වරදකාරී හැඟීම තාමත් මට වදදේ. විවේචනය කිරීමෙන් හා ඇතැම් විට අනිඡ්ඡානුගව  ප්රතික්ෂේප කිරීමෙන් මා කල වරදට  මේ පාපොච්චාරනයෙන් සහනයක් සැලසෙනු ඇත.
කෙසේ හෝ වේවා ඇය හෝ ඇය බිහිකල සමාජය හෝ විනිශ්ශය කිරීම කල හැක්කක් නොවේ.ඒ හදවතේ බර මැනීම ද කල හැක්කක් නොවේ.
ඈ මගේ ජීවිතයට සුනාමියක් සේ හමා එය උඩු යටිකුරු කර දැම්මේය.මගේ හදවතේ මටත් අඳුරු අහු මුළු ගවේශනය කල ඈ මටත් හොරා නික්ම ගියාය.මිය ගිය පසු පවා ජීවිතයේ දුර්ගයන්හි සහ මං සන්ධි වලදී මතකයක්ව මට ආශිර්වාද ගෙනාවේය.
නොහැක්කෙමි.නමුත් මම ලියමි.ඈ ගැන ලියමි.මගේ කාර්යය එය යැයි උප විඥානය නිරන්තරයෙන්ම කියන බැවින් මම ලියමි.මා දන්නේද එපමණකි.



ඒ මගේ නව යෞවනයේ ආරම්භක අවදියි.සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව උසස්පෙළ හා රැකියාවක් අතර දෝලනය වෙමින් සිටි ගන්ධබ්භ අවධියෙහි මගේ එකම කාර්යය වූයේ තවත් ගන්ධබ්භයන් රැලක් පිරිවරා ඇවිදීමයි.එක් පංසලකින් තවත් පංසලකටත් එක් මූදු වෙරලකින් තවකකටත් සිනමාහල් වලටත් සමාජශාලා වලවත් අපේ දෙපා ඉබේම ඇදී ගියේය.සමාජ තරුව වැජබුන දෙමාපියන්ගේ නන්නත්තාරවූ දරුවන් වූ අපි පිල් විදහා රඟදෙන මොණරුන්ගේ නිරුවත් පශ්චාත්භාග මෙන් ඔවුන්ට  අවමානය ගෙනාවෙමු.දිවා රෑ නොබලා රැකියාවටත් ලොකුකම් ප්‍රදර්ශනයටත් ගෙවී ගිය ඔවුන්ගේ ජීවිතයේ අපට ඉඩක් නොවීය. ඉල්ලන මුදල්  නොමසුරුව ලබා දීම පමණක් දෙමාපියන්ගේ එකම  වගකීම බව ඔවුන්ට නිසැක විය.අපේ මඟ අපිම සොයාගත යුත්තෝ වෙමු.එබඳු අවස්ථා වලදී නිරන්තරයෙන් වන පරිද්දෙන් අපට මඟ වැරදිනි. ඒ බව වටහා දීමට කෙනෙකු අවැසි සමයේ අපට ඈ හමු විය.නොඑසේනම් නූල් කැඩී සුළඟේ පාවෙන සරුංගල් මෙන් අපත් ඛේදවාචකයන්ව අතීතයට එක් වනු ඇත.
මඟ දිගටම එකක් නෑර දන්සැල් වැන්ද අප බෙල්ලන්විල පංසලට ගොඩවූයේද  හුදෙක්  වි‍නෝදය සඳහාමය.

රිදුම් දෙන දෙපා වැලි මළුවේ සතපා, අප විකාර  විහිළු තහළු පමණක් නොව අවකැපෙන කථාද කියවමින් විනෝදවන්නට වීමු.මගේ මුදල් පසුම්බිය අමතකව එහි දමා ආවේ එදාය.සියල්ල ඇරඹුනේ එදාය.එතැනින්ය.
සැටියේ දිග ඇදී තාලයට සිවුරුහන් කරමින් හුන් මා උඩ ගියේ විදුලි සීනුවේ හඬිනි.මා වහා නැගී සිටියේ ඔහු පිලිගැනීමටයි.ඒ බාප්පාම විය යුතුය.මුළු මහත් ලෝකයෙන්ම මා ඇවැසි වූ එකම කෙනා ඔහු වීම නිසා මම ඔහුට ආදරය කළෙමි.ඔහු බලාපොරොත්තු වීමි.

නමුත් මෙහෙකරු කැඳවාගෙන අවේ අනෙකෙකි.මැදින් බෙදා පිට දිගේ මුදාහල දිගු කොන්ඩය,වටිනා සාරිය,චාම් අයිත්තම් ඇගේ අනන්‍යතාව විය.නිරන්තරයෙන් රූපවාහිනියෙන් දැක පුරුදු ඇය ඒ සිනාවෙන්ම අපේ දොරකඩ වූවාය.වීදි දරුවන්,ගණිකාවන් පුනරුත්තාපනය සහ ළමා මානසික සෞඛ්‍යය හා අපේ ගෙදර අතර ඇති සම්බන්ධය කුමක්දැයි මම නිහඬව කල්පනාකලෙමි.

“අම්මලා ගෙදර නෑනේ“ සංවාදයක් පවත්වාගෙන යාමේ මානසික වදයට පත් මම යන්තම්  කියා ගතිමි.

“මිස් මේඛලා“..........
..
“ආ... ඒ නං මම“

ඇය මට දිගුකල දේ මගේ නැති වූ මුදල් පසුම්බිය බව මුල් බැල්මෙන්ම මට තේරුම් ගියේය. මම වහා එය ඩැහැගතිමි.අනතුරුව කිව යුත්තේ කුමක්දැයි නොදැන අසහනයට පත්වීමි.නමුත් ඇය සිය ලගන්නා සිනාවෙන් හා කාරුණික ඇවතුම් පැවතුම් වලින් සියළු අපහසුතා පිස හැරියාය.ඇය සරල චාම් එකියක් වූවාය.මගේ ආත්මාර්ථකාමී කමට හාත්පසින්ම වෙනස් අයුරින් ඇය සියළු දෙනාගේම සතුට සැපත කෙරෙහි තැකීමක් කලාය.ඇගේ චින්තනය මගේ  සිතැඟි වලට ඉඳුරාම පරිබාහිර විය. නොනවත්වාම කථා කලාය.එතරම් දක්ෂ කථිකයෙකු මට ජීවිතයටම හමුනොවීය.ආයාසයකින් තොරව හදවතින්ම පැන නැගුනු වචන අවිවාදයෙන්ම මම ගිල දැමීමි.ඒවා මගේ ජීවිතයට සමීපදේ නොවුනත් තුල වූ ගුප්ත සත්යට මම ඇදී ගියෙමි.අවසානයේ ඇය නැගී සිටින විට මටත් එබඳු කෙනෙකු වීමට උවමනා විය.යමෙකුගේ කඳුල සියතින් පිස දමා ඔහුට සිනාවක් දීමට,යමෙකුගේ බරගේ උර මත තබාගෙන ඔහුට මඳ සැහැල්ලුවක් දීමට මට ඇවැසි විය.අවසානයේ නිවාඩු දින වල පමණක් ඇය සමඟ ගත කිරීමට මම එකඟ කර ගතිමි.එබඳු ජනප්රිය පුද්ගලයෙකු සමඟ ඇසුර වරදක් ලෙස දෙමාපියන් දුටුවේ නැත.“නීලමනී මැඩම් මෙයාගේ හොඳම යාලුවා වෙලානේඔවුන් උදම් ඇනූහ.මාස කිහිපයක් ගතවූයේ මගේ සමීපතමයා බවට පත් කරමිනි.මගේ දෙමාපියන් මා මෙලොවට බිහිකලා පමණි.මා හැදූ වැඩූ කෙනෙකු ලෙස මගේ මතකයේ රැඳී සිටින්නී . මගේ අම්මාටත් වඩා මට වටිනා අම්මා කෙනෙකු වූවාය.මට මඟ පෙන්වූවාය.මට වටිනාකම් ඉගැන්වුවාය.කොටින්ම දැන් මා ගත කරන ජීවිතයෙහි අඩිතාලම දමා දුන්නීය. නොවන්නට , මුණනොගැසෙන්නට මගේ ජීවිතය ජීවිතයක් නොවීමට ඉඩ තිබිනි.

මගේ සහජ නර්තන  හැකියාව මෙහිදී වැඩි කාර්යයක් ඉටු ළේය.වීදි දරුවන් තුලින් මා දුටුවේ ආදරයෙන් හාමත්ව ගිය මගේම බිලිඳු වියයි.මගේ නර්ථනයෙන් හා ගායනයෙන් ඔවුන් අටවාගෙන තිබූ අදෘශ්‍යමාන කබොල්ල බිඳ හැරිය හැකි විය.ඉන්  පසු ඔවුන් පහසුවෙන් විශ්වාසයෙන් අප හා දොඩමළු වූහ.තම  තමන්ගේ වේදනා ගැටලු වදන් වලට පෙ ලූහ.ලපටි සිත් වල විෂ බිඳෙන් බිඳ පහව යන විට ඔවුන් යලිත් ළමයින් බවට පත් වන අයුරු අපට දැකිය හැකි විය.එය මට නවමු අත්දැකීමක් විය.යමෙකුගේ කඳුලක් පිස සිනාවක් දීම කෙතරම් සුන්දර අත්දැකීමක් දැයි මා උගත්තේ එහිදීය.මම එය හදවතින්ම ප්‍රිය කලෙමි.

නමුත් වීදි ළඳුන්  එසේ නොවීය.මම ඔවුන් අප්‍රිය කළෙමි.මගේ දැක්මට  අනුව ඔවුන් දූෂිත නැහැදුන පිරිසකි.අන් අයගේ සතුට නැතිකරමින් ජරා ලෙඩද බෝකරති. ඔවුන් සමඟ මගේ කිසිඳු සම්බන්ධයක් නැත.ඔවුන් අපායටම ගියාවේ.මගේ කීම් වලට ඈ ප්‍රතිචාර දැක්වූයේ සිනාවකිනි.“ඔයා ඒක පස්සේ තේරුම් ගනියි.“


මමද සිනාසුනෙමි.

“ඒකේ වෙනසක් නෑ.උන් මහ වල් සත්තු.උන් මකබෑවුන දවසට තමයි මේ ලෝකෙට සෙතක් වෙන්නේ.  “
“මතුපිටින්  පේන දේවල් වලින් විතරක් ලෝකය මනින්න එපා පුතේ.ජීවිතය කියන්නේ සීමා මායිම් වලට කොටු කරලා ,මතු පිටින් අතගාලා බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඒත් උන්..............

“දන්නැති දේවල් ගැන කථා නොකර ඉන්න.ඒ මිනිස්සුත් මිනිස්සු.ඔයා ඒක තේරුම් ගන්න.“

මා නොදැන සිටි සත්‍ය  මා දැන ගන්නා විට ඈ මේ ලෝකයේ නොවීය.මම ඈ විශ්වාස කරන විට ඒ බව පැවසීමට ,ඇගෙන් සමාව ඉල්ලීමට ඉඩ නොතබාම ඈ සමුගෙන ඇත
.
දැන් මම විශ්වාස කරමි.සෑම ගණිකාවක් තුලම පතිනි වරම් පතන ,ගෙදර බුදුන් වීමට පාරමී පුරන ගැහැණියක්  සිටින බව මම දැන් නම් විශ්වාස කරමි.

සුවිසල් මැදුරකින් පරිත්‍යාගශීලී දෑතකින් සහ සුන්දර සිනාවකින් ආවරණය කරගත් ස්ත්‍රීත්වයේ ඡායාවක් ඇය මට පිදූ සෙනෙහස තුල ගැබ්ව තිබූ බව මවක බිරිඳකගේ හදින් දැන් මට පසක් වන හෙයිනි.

කාලයා මේ සියල්ලටම වගකිව යුතුය.මම පාසලට ආයුබෝවන් කීවේ සියල්ලෝම මවිතයට පත් කරමිනි. අසමත් ලැයිස්තුවේ වූ මා විද්‍යාපීඨ වරම් ලදිමි.බාප්පාගේ ආදරය බොර දියේ මාළු බෑමක් බව වීදි දරුවන් මා වෙත ගෙන එන කථා මට අවබෝධ වූ බැවින් ඔවුන් ලද ඉරණමෙන්  ගැලවීමට තරම් මම වාසනාවන්ත වීමි.මවුපියන්ගේ රැකවරණයේ තරම වටහාගත් ඈ මා දැනුවත් කළේ මා ලැජ්ජාවෙන් මිරිකෙන අයුරින් වදන් හසුරමිනි.එමඟින් ඈ තමා ලද අවාසනාවන්ත ඉරණමෙන් මා මුදා ගත්තාය.කාශ්ටක හදවත් ඇති කොළොම්පුරවර අතහැර මම සීත බණ්ඩාරවෙලට පියමැන්නෙමි.ඌව විද්‍යාපීඨය තුලින් මම යලි උපන්නෙමි.ජීවිතය විභාග බවට පරිවර්ථනය වීමෙන් අතීත මතක බොඳවී යන අතර හුවමාරු වූ ලිපි ක්‍රම ක්‍රමයෙන් කෙටි වී ගොස් අවසානයේ මුළු මනින්ම නතර විය.ඒ මතකයන් මත තවත් මතකයන් තැන්පත් වීමෙන් අවසානයේ සහමුලින්ම මට ඈ අමතක විය.ජීවිතය නොනැවතී වේගවත්ව ඉදිරියට ගලාගියේය.
නමුන් ඒ මේ මොහොත වන තුරු පමණි.




...........................................................................................................................................................
3 කොටස මෙතනින්

5 comments:

  1. ලියාගන යමු එහෙනං, අපි එන්නං කියවන්ඩ , මේ කමෙන්ට් කරන්ඩ තියන විදිහනං වාතයක්

    ReplyDelete
  2. ලියාගන යමු එහෙනං, අපි එන්නං කියවන්ඩ , මේ කමෙන්ට් කරන්ඩ තියන විදිහනං වාතයක්

    ReplyDelete
  3. අනේ අයියේ මම දන්නෑ මමම සෙටින්ස් කොහොම හදලද කියලා.මාතලං අයියගේ පාඩම් ටික බලාගෙන හැදුවේ.වැරදුනේ කොතනද කියලා මට හොයා ගන්න බෑ.බස්සි නංගයි කටුස්ස අයියගෙයි උදවුවෙන් තමයි මේ තත්වෙට හරි ගොඩ දා ගත්තේ

    ReplyDelete
  4. ලියමු ලියමු...දිගටම ලියමු...

    ReplyDelete