Wednesday, April 29, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 02 කොටස


02. කුරුළු හදවත මරා දැමුවෙමි!
මම මල් වත්තට පාවෙන්න හිතාගෙන කිනිත්තෙන් බිමට බහිනකොට වෙලාව පාන්දර පහයි.ඉර තාමත් නිදි.නිදි මතෙන්ම වැනි වැනි පුළුවන් තරම් වේගයෙන් පාවුනත් මල් වත්තට එනකොට පැය කාලක්ම පරක්කු වෙලා.සේරම මල් කැකුළු,වැඩිහිටි මල් එක තැනකට රැස් වෙලා.මල් මල් රැස්වීමක්.විවිධත්වය හරිම සුන්දරයි.හිනා මූණු මල් කැකුළු,බුම්මාගත් මල් කැකුළු,නිදිමත මූනු තියන මල් කැකුළු.......

මේ පළමු දර්ශනයම මගේ හදවත ඉහලට එසෙවුවා..ඒත් එක්කම නොරිස්සුම් බවත් ඉවතට ගියා.පුංචි පුංවි මල් සුළඟට වැනෙන කොට මට ඒ එක් එක් මල මොන සුවඳද කියලා ළඟට ගිහින් බලන්න හිතුනා.“මම කොහොම හරි උඹලව ලස්සන මල් කරලා හෙට ලෝකෙට පූජා කරනවා“මගේ හිත මට පොරොන්දු වුනා. මල්පෙති පවා සැළුනා.හදවතේ රොන් සුණු වලින් ඉවතට ටිකක් විසිවෙලා සුළඟට අහුවෙලා මල් වත්ත පුරාම විසිරී ගියා.සිහින් ආගන්තුක සුවඳ සුළං රැල්ලක් විතරක් මල් වත්තේ ඉතිරි වුනා.

ලස්සන හිනාවක් තිබුනු සූරිය කාන්ත මල පරිනත මලක් විදියට පුංචි කැකුළු ගැන ලස්සන සිංදු වක් ගායනා කලා.ඒ ශබ්දය මගේ කනින් රිංගලා හදවතේ පතුලේ මුදුව තැන්පත් වෙලා පරාගනය වෙන්න ගත්තා.තවමත් කුරුළු හදවතක් හිමිව තිබුනු මලකට එහි ඕන කරන සියළුම තාල ඒ සින්දුව ඇතුලේ අපූරුවට ගැබ් වෙලා තිබුනා.ඒත් එක්කම වෙහෙසින් නිදිමතින් මැලවිලා ගිය මගේ පෙති සේරම අපූරු ශක්තියකින් යලිත් පිබිදෙන අයුරු මට දැනුනා.මම හිස ඔසවලා මල් කැකුළු දිහා බලන්න ගත්තේ වෙනස්ම ඇස් දෙකකින්.


හැම වැඩිහිටි මලක්ම පුංචි මල් පාත්ති වෙන් කරගෙන හිටපු නිසා මුල් දවස්වල මට වුනේ ඈත ඉඳන් මල් දිහා බලන් ඉන්න.එහෙට මෙහෙට පාවෙන පුංචි කැකුළු දිහා ආසාවෙන් බලන් ඉන්න ගමන් මට අයිතිවන මල්කැතුළු මොනවද කියලා මම කල්පනා කලා.මල් වත්තේ තිබුනේ මල් විතරක්ම නෙමෙයි.

පේර ගහකුත් තිබුනා.ඒ මදිවට ඒකේ ගෙඩිත් පිරිලා තිබුනා.කුරුළු හදවතට ඕන වුනේ ඉගිලිලා ගිහින් පේර ගෙඩියක වහන්න.ඒත් දැන් මගේ තටු කපලා දාලා.ඒත් උවමනාවක් තියනවනම් පාවෙලා ගිහින් පේර ගෙඩියක වහන එකත් එච්චර අමාරු දෙයක් නෙමෙයි.

ඒත් මට එක් වරම මතක් වුනා ගොඩක් පුංචි කැකුළු මම ගතිනුත් හිතිනුත් මලක්ම කියලා හිතන බව.මලකට කවදාවත් බෑ කැකුළු වලට පේන්න ඒවගේ හැසිරෙන්න.“උඔ දැන් කුරුල්ලෙක් නෙමෙයි මලක්“ මම හිතුවක්කාර හිතට තදින්ම අණ කලා.එදා ඒ පේර ගහ යටදී මම මගේ කුරුළු හදවත මරා දැම්මා.

3 comments:

  1. ආ.....වැරදි වැඩක් කරන්ඩ වගේ...

    මේ පෝට් එකේ යටට ඊළග කොටසට යන්ඩ පුළුවන් විදියට ලින්ක් එකක් දැම්මා නම් මල් හතයි...

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න දන්නෑ හලෝ... මේ සේරම කරලා දුන්නේ අටං අයියා තමයි

      Delete