Thursday, April 6, 2017

“උඹ මහම මහ වල් එකියක්“

“උඹ මහම මහ වල් එකියක්“

මේක ගුරුවරියක් අහගන්න වටින කතාවක්ද?ඒ මදිවට ඉස්කෝලයක් ඇතුලෙදීම

මේ චෝදනාව එල්ල කලේ මගේ ගුරුවර මිතුරියකි.පාසලේ ගුරු විවේකාගාරය තුලදීය

අවුරුදු තිහක් තිස්සේ රැකගෙන ආපු හොඳ නම ඉවරෙටම ඉවරයි..අනිත් උන් නං මදැයි ...යාළුවො කියල හිතං උන්න එවුනුත් මට මෙහෙම කයි කතන්දර කියද්දි රට්ටු මොනව කියයිද?

මේ තරම් කැත කතාවක් අහගන්න මම කලේ එකම එක වැරැද්දයි.

ඒ ක්‍රිස්ටියන් ග්‍රේ ට ආදරේ කරපු එක විතරමයි.

ක්‍රිස්ටියන් ග්‍රේ ...???

ඔහු සියැටල් වල පෝසත්ම අවිවාහකයාය.ලෝකයේ හොඳම නැව් නිපදවන්නාය.පුද්ගලික හෙලිකොප්ටරකද ජෙට් යානයකද අයිති කරුවෙකි.පැයටකට රුපියල් ලක්ෂයක් උපයන්නෙකි..

නමුත් මා ඔහුට ආදරය කලේ මේ කිසිවක් නිසා නොවේ..

“ක්‍රිස්ටියන්..මට ඕනෑ ඔයයි...ඔයා පමණයි...නැතුව ඔය විකාර නොවේ...“ඇනස්ටාසියා ස්ටීල්ද ඔහුට කියා ඇත.

මට ඔහු හමු වූයේ රංජිත් කුරුප්පු මහතා විසින් කරන ලද ප්‍රේම සැදෑවෝ පොත් පෙල තුලිනි.එය E.L. James ගේ  Fifty Shades of Grey නම් පොත් පෙලේ පරිවර්තනයකි.මම පළමු කොටස මිතුරියක් සතුව තිබී කියෙව්වෙමි.එහි පිටකොලය පවා පාසලක දැක්මට නුසුදුසු යැයි සුචරිතවාදීන් චෝදනා කිරීමට ඉඩ ඇති බැවින් මම පත්තරකොලයකින් පිටකොලයක්ද දැමීමි.මම ඊට ආශක්ත වූ තරම් කිවහොත් මුළු දැරණියගලත් අවිස්සාවෙල්ලත් පීරා හමු නොවූ කල ෆාස්ට් පබ්ලිකේෂන් වෙත ඇනවුමක් යවා තැපෑලෙන් ගෙන්වා ගතිමි.
මා ඉහත චෝදනාවට ලක් වූයේ මේ නිසාය...

ක්‍රිස්ටියන් සාමාන්‍ය පිරිමියෙකු නොවේ...සමාජසේවා කටයුතු සඳහා ප්‍රකෝටි ගනන් මුදල් වියදම් කරන්නෙකි..ලෝකයේ බඩගින්න නැති කිරීමට හදවතින්ම කැපවූවෙකි...

ඉතින් ඔහුට ආදරේ නොසිතේද?

නමුත් ඔහු පරපීඩා කාමුකයෙක් නම්....

මම  ඔහේ කරන්නන් වාලේ කරන කෙනෙක් නෙමෙයි. 

ගැහැණියකට දැනෙන්න ඒ දේ කරන කෙනෙක්..ඔහු ඇනා ස්ටීල්ට කීවේ එසේය.

ස්කාලා ගොඩනැගිල්ලේ තිස්වෙනි තට්ටුවේ වූ ඔහුගේ අති විශාල නිවස්කඩේ පරපීඩා කාමරයක්ද වේ.ක්‍රිස්ටියන් ඊට කියන්නේ රතු කාමරය කියාය.ඔහු සමඟ ගැහැණුන් පහලොස් දෙනෙකු වරකට එකා බැගින් ඒ කාමරය තුලට ගොස් ඇති අතර ක්‍රිස්ටියන් ඔවුන්ට දැනෙන්න “ඒ දෙය“ කර ඇත.

ඉන් එක් ගැහැණියක් සිවිලිමේ ඇති කොකු  වල එල්ලූ බව ඔහුම පිලිගෙන ඇත.ඒ මදිවාට කාමසම්භෝගය පිළිබඳ ටියුෂන් පංතියකටද සහබාගි වෙන්නෙකි.

ඇනා ස්ටීල් අහිංසකය.පරපීඩා කාමුකත්වය තබා කිසිඳු කාමුකත්වයක් ගැන ඇයට අත්දැකීම් නැත.
“අවුරුදු විසි එකක් ඔයා ලිංගිකත්වය මඟ ඇරල ජීවත් වුනේ කොහොමද??/“ක්‍රිස්ටියන්ද සැබෑම මවිතයෙන් ඇයගෙන් ඇසුවේ එබැවිනි.

බිඳී ගිය පවුල් සංස්ථාවක්  මැද සුළු පියා සමඟ වැඩුනු ඇය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය ඉංග්‍රිසි සාහිත්‍ය සම්බන්ධ උපාධි අපේක්ෂිකාවකි.

ඔහුගේ රතු කාමරය ඇය දකින්නේ මධ්‍යකාලීන යුගයේ උසාවියක් හෝ සිරගෙයක් ලෙසිනි.
නමුත් ඇය පෙම් කරන්නේ එහි සිවිලිමේ ඇයව එල්ලා තැබීමෙන් හෝ ඇයට කසපහර දීමෙන් තෘප්තිමත් වීමට කැසකවන පිරිමියෙකුටය.

 ඇය ඔහුගෙන් වයින් බෝතලයක් සමඟ තෑගි ලද බැලුම් බෝලය නවා කොට්ටය යට තබා ගැනීමට තරම් ආදරයේදී භාවාතිශ තැනැත්තියකි..

ඔහු යහනට නැගීමට පෙර ගැහැණියගේ අත් පා ගැට ගසා මුකවාඩම් දැමීමට කැමති අයෙකි.

ඇය ඔහුගෙන් ආදරය පමණකි ඉල්ලන තැනැත්තියකි.


ඔහු කාර් ලැප්ටොප් ටැබ් සියල්ල දුන්නත් ආදරය දීම මානසික වහල් බවක් බව විශ්වාස කරන අයෙකි.

ප්‍රේම සැදෑවෝ නම් මේ දෙදෙනා ඒ පරතරය පියවා ගන්නා ආකාරය ගැන කතාකරන තැනකි.

සිය මිතුරිය ගේ පුවත්පත වෙනුවෙන් ක්‍රිස්ටියන් සමඟ අනපේක්ෂිත ලෙස සම්මුඛ සාකඡ්ජාවක යෙදීමට ඇයට සිදුවේ .සියල්ල ඇරඹෙන්නේ එතැනිනි.

මත්ලෝලී ගණිකා මව හා ඇය සොයා එන පිරිමින් ජීවිතයේ මුල් සතර වසරක කාලය මුළුල්ලේම  ක්‍රිස්ටියන් අපයෝජනය කල අතර.අවසානයේ ඔහුට ජන්මය දුන් වේසාවිය සියදිවි නසාගත් පසු පිංපියෙක් මිනිය සමඟ සතර හැවිරිදි දරුවා තනිකර දමා දොර වසා පිටතට ගොස් ඇත.

මිනිසුන්ට ඔවුන් සොයාගැනීමට දවස් හතරක් ගතවූ අතර  ඒ වන විට විජලනයෙන් පෙලෙමින් සිටි දරුවා රෝහල් ගත කෙරිනි.ග්‍රේස් නම් වෛද්‍යවරියගේ ඇස ගැටුනු ඔහු දරු පල නොමැති ග්‍රෙස් -කාරික් යුවලගේ පළමු දරුවා ලෙස පවුලට එක් කර ගත් අතර ඔහුගේ ජීවිතය ගොඩ නැගුවේ ඔවුන් දෙදනාය.
 ඒ මදිවාට ඔහු පහලොස් වියේදී හදාගත් මවගේ මිතුරියක් විසින් ඔහු පරපීඩා ලිංගික සම්බන්ධතා සඳහා පාවිච්චි කර ඇත.

මා පිය ආදර විඳි ඔහුගේ භෞතික ලෝකය සවිමත්ව ගොඩනැගුනත් මනස තාමත් ළදරුවියේ විනාශ වූ අයුරින්ම පැවතිනි.කිසිවෙකු සමඟ සමීප සබඳතාවක් ඇතිකර ගැනීමට බිය ඔහුගෙන් ඇනා පතන්නේ සසර සර ආදරයක් පමණි.

නමුත් ඔහුගෙන් ලැබෙනුයේ කෙලවරක් නැති කොන්දේසි හා මිලාධික තෑගි බෝගය.

ඔහු ගැහැණිය දුටුවේ මිලට ගෙන පාවිච්චි කල හැකි කාර් එකක් වැන්නක් මිස ඊට වෙනස් අයුරකින් නොවේ.ඇත්තෙන්ම ඔහුට පෙර හමු වූ ගැහැනුන්ද සැබෑවටම එසේමය.

නමුත් ඇනස්ටාසියාගේ මිහිරි ආත්මය ඔහු හඳුනාගත්තේය
.
ඇගේ ජීවිතයට අවැඩක් වෙතැයි සිතා ඇගෙන් දුරස් වීමට උත්සහා කලේය.

ඇය සතුටු කිරීමට රැක ගැනීමට  උත්සාහ කළේය.

ඇගේ ජීවිතය ඔහුගේ ආගම විය.මනෝ චික්ත්සකයා සමඟ පමණක් බෙදා ගත් රහස් ඇය හා බෙදා ගත්තේය.

ඇය නැති වේ යැයි බියෙන් සිය දුෂ්චරිතය ඇගෙන් සඟවා ගැනීමට උත්සහා ගත්තේය.


ඇය කිසිඳු පිරිමියෙක් ගැන අත් දැකීම් නැතිවම ඔහු ළඟට ආවාය.

අතිශයින් බිය උපදවන හා වේදනාකාරී ක්‍රම වලින් ඔහු සතුටු කිරීමට උත්සහා ගත්තත් සිය අනන්‍යතාවය බිඳ නොගැනීමට තරම් ආත්ම ශක්තියක් ඇති කර ගත්තාය.

ඔහුගේ පෞර්ෂය වර්ධනය වන කාලයේ එසේ නොවීම නිසා ඔහු මුහුන දෙන ගැටළු සියල්ල උපේක්ෂාවෙන් ඉවසුවාය.

අහස පොළව සේ  පරස්පර තම රුචිය හා ඔහුගේ රුචිය අතර මධ්‍ය ලක්සයක් සොයා වෙහෙසුනාය.

ඒවා සරල දේවල් නොවේ.ඔහු ඇයට ශාරීරිකව හා භාවාත්මකව රිදවූයේය.ඇය ඒ සියල්ල දරා ඔහු අසලින් හිඳ ඔහුගේ නරක අතීත මතක සියතින් පිස දැමීමට උත්සහ දරන්නීය.

ඒ මදිවාට ඔහු ආදරයයැයි කියන්නේ ඇය ආදරය යැයි අදහන දෙයට නොවේ...මේ සියළු අලකලංචි මැද ආදරය ජීවත් කිරීමට ඔවුන් දෙදෙනාම දරන වෙහෙස ඇසට කඳුළු නංවන සුළුය.

“මේ ලෝකයේ මා නොදන්නා පැති කඩක් තියනවා...ඔබ මගේ චිත්ත සන්තානයේ  මෙතෙක් මා අත් නොවිඳපු මට තේරුම්ගත නොහැකි දෙයක් ජනිත කර තිබෙනවා..එය මා අවදිකරන්නට නැගූ සයිරන් නලා හඞක් වගේ..“

අවසානයේ ක්‍රිස්ටියන් ඇය පිළිගත්තේය.ඇයට ආදරය කලේය.ඇය සමඟ යහන පමණක් නොව ජීවිතයද බෙදා ගැනීමට උත්සහා කලේය.නමුත් ඔහුගේ පැරණි යහන් සඟයන් ඔවුන් තනාගත් ජීවිතය මැදට වරින් වර බාධකව කඩා වදී....මා තවමත් කියෙව්වේ කොටස් 3ක් පමණි.දන්නා විදියට 4 කොටස තවම මුද්‍රණය වී නැත.

ඉතින් බියකරු අතීත සෙවනැලි වලින් මිදී තමාට සැබෑවටම ආදරය කරන ගැහැණිය සමඟ සතුට සොයා ගැනීමට වෙරදරන ඒ උත්සහවන්ත මිනිසාට ආදරය නොකර සිටින්නේ කෙසේද?

ආ...මේ පොත මරු..ආයෙ මුළු ක්‍රියාවලියම පටන්ගන්න තැන ඉඳන් ඉවර වෙනකල්ම තියනව....ඒක කියවනකොට මගෙ රෝඕඕඕඕමෝද්ගමනය වුනා.....මිතුරියක් පැවසුවාය....නංගිට එහෙම අහු වෙන්න තියන්න එපා..උපදෙස් ද දුන්නාය...

මෙය ඇමරිකා ජාතිකයෙකු විසින් ලියන ලද්දක් විය යුතුය...කතාවට පසුබිම්ව ඇත්තේ ඇමරිකාවේ නගර ආදියයි.

ඇමරිකාව ගෙදර කවුරුත් නැති ලොවක හෝ  ගෙදර උදවිය තුන් නින්දත් නිදන වෙලාවක දොර යතුල්ලාගෙන නිශ්ශබ්ධව “ඒ දෙය “ කරන රටක් නොවේ.අම්මට සිරි ලංකාව වැනි ලිංගිකත්වය කුණුහරුපයක් සේ සිතන මිනිසුන් සිටින රටක් නොවේ...

මේ පොත පුරාම ඇනා හා ක්‍රිස්ටියන් ලිංගිකව හැසිරෙන ආකාරය පියවර සහිතව විස්තර කෙරේ....

ඔවුන් කියවූයේ එයයි....

මම මහා වලත්තියක් ලෙස ඔවුන් දකින්නට ඇත්තේ ඒ නිසා විය හැක.

නමුත් මා කිය වූයේ ඔවුන් ලිංගිකව හැසිරුනු ආකාරය නොවේ.

තමා ආදරය කරන පිරිමියා සතුටු කිරීමට ශාරීරික වේදනා උසුලමින් තම තෘප්තිය කැප කල ගැහැණියකගේ හදවතයි...
තමා ආදරය කරන ගැහැණියගේ සතුට වෙනුවෙන් අතීත කටුක වේදනාවේ මතක දරා ගනිමින් ජීවිතය පරිවර්ථනය කරගැනීමට උත්සහා කරන පිරිමියෙකුගේ ආත්මයයි.

ඒ නිසා මගේ සිත වේදනාවෙන් සතුටින් හා තෘප්තියෙන් පිරුනා විනා රෝමෝද්ගමනය වූයේ නැත.

මා ගණනය කලේ ඔවුන් සුරතාන්තයට පැමිණුනු වාර ගනන නොවේ..

ඇනාගේ දෑසින් වැටුන කඳුළු කැට ගානය.

ඇනා වේදනාවෙන් හඞද්දී සිය හිස කෙස් ඇදගනිමින් ක්‍රිස්ටියන් නිහඞව වැලපුන වාර ගනනය.

ඇනා සතුටුවෙතැයි සිතා ක්‍රිස්ටියන් වරින් වර ඇය ඉදිරියේ දිග හල අතිත කතා ගනනය.

ඒ ඔස්සේ ඇය ක්‍රිස්ටියන් ගැන ලද අවබෝධයේ දිග පලලය

එබැවින් කාම කතාවක් කියවා ලබන තෘප්තිය ඉන් ලබා ගැනීමට මට නොහැකි විය.එය මගේ වරදක් විය හැක.මක් නිසාද යත් මා දැනටමත් සොයාගෙන ඇති ආකාරයට මගේ මොලේ අංශක කිහිපයක විකෘතියක් ඇත..

එබැවින් මගේ දෘෂ්ටිකෝණයෙන් මම වලත්තියක් නොවෙමි..

මගේ දෑස් උඩ ගියේ මෑත දී විවාහ වූ මිතුරියක් මගෙන් මේ පොත ඉල්ලද්දීය

“දැන් මං බැදලානෙ ...මං දැන් ඒක කියෙව්වට කමන් නෑ....“


“හුටා... මං එතකොටයි දන්නෙ අවිවාහක උදවියට ඒ පොත ගැන වාරණ නියෝගයකුත් දීල තිබුන බව

31 comments:

  1. ඒ ගුරු මිතුරිය ගැන දුකයි.. උඹ කෙසේ වෙතත් එයා නම් තාම 'වල්' නැත්නම් කැලෑ වැදිලා.. ඒ (වගේ) ගුරු(වර)වරිය(න්)ගෙන් ඉගෙන ගන්න/ ගත්ත ළමයින් ගැන ඊට දුකයි..

    මේ සටහන පට්ටයි.. මොළේ හිරි වට්ටනවා..

    //නමුත් ඇය පෙම් කරන්නේ එහි සිවිලිමේ ඇයව එල්ලා තැබීමෙන් හෝ ඇයට කසපහර දීමෙන් තෘප්තිමත් වීමට කැසකවන පිරිමියෙකුටය.

    ඇය ඔහුගෙන් වයින් බෝතලයක් සමඟ තෑගි ලද බැලුම් බෝලය නවා කොට්ටය යට තබා ගැනීමට තරම් ආදරයේදී භාවාතිශ තැනැත්තියකි.// මෙතන තමයි පීක් එක..

    ස්තුතියි ටීචර් මේ සාහිත්‍ය පාඩමට!

    ReplyDelete
    Replies
    1. හිත ගොළු කරපු පොතක් අයියේ...ඒකට වල් අර්ථකතන දීල මදිවට පොතෙත් ගහල තියනව වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියල...

      පරිවර්තනය කරද්දි හරියට වාක්්‍ය ගලපල නැති තැං තියනව...ඉංග්‍රිසි පොතම කියවල තේරුම් ගන්ඩ පුළුවන් නං මීට වඩා රස විඳින්න පුළුවං වෙයි

      Delete
  2. උඹත් මහම වල් එකියක් කියපු ලතාවෝ
    නැතත් දැණුම ඈ ඉන්නේ තුළය මුලාවෝ
    මෙයත් බලපු මගෙ හදවත සතුටු සිනාවෝ
    මමත් දැන්ම ගොස් ගන්නව ප්‍රේම සැඳෑවෝ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී..ගන්ට ගන්ට...ගන්ට යද්දි 4 වෙනි පොත ඇවිත් තිබ්බොත් මටත් කියන්ඩ හොඳේ

      Delete
  3. ඔයා වල් .....කියුවට ....එයා උල් ගැන හිතනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද

    ReplyDelete
  4. Replies
    1. ශෘංගාරය පොතේ හැටියට රසයකි.භාවිතයේ හැටියට කුණුහබ්බයකි

      Delete
  5. මෙව්වා කියෝලා අපිත් වල් වේවිද දන්නෑ.. ;)

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් වල් තමා මලේ...නැත්තං වර්ගයා පවත්වං යන්නේ කෝමද?සංස්කෘතිය වල්කමට සීමා පනවලා තියනව...

      වල් වෙයං කසාදයක් කාරිය කරගෙන.

      Delete
  6. oyath asaida e wage wenna?

    ReplyDelete
  7. කොහොමත් කාන්තාවන් ක්‍රිස්ටියන්ට පට්ට ආදරේය.. පොත් කියවන අය ගෘප් එක පුරාමත් මම් මේ ආලය දුටිමි. මේ පොත ගැන කියවූ හොඳම විග්‍රහය බව නොබා කියමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ආලය නොකර පුළුවනෑ මේ වගේ පෙංවංතයෙකුට

      Delete
  8. මේ ලියල තියන විදිහට නම් පොත හොයාගන කියවන්නම ඕනෙ..
    ලබ්.ඩබ්. කේ නියමෙටම දීල තියනවා වචන ටික... මේක කියෙව්වොත් අර වල් යාළුවා පිස්සෙක් වගේ.. පිස්සෙක් වගේ ඉස්කෝලෙ වත්තෙ වල් ඔක්කොම කාගෙන කාගෙන යයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා රහයි මට නං..හොයං කියවන්ඩ

      Delete
  9. ඔය පොත ආශ්‍රයෙන් චිත්‍රපටයක් තියෙනවා....
    පොත් කියවන්න කසාද බදින්න ඕනේ කියල අදමයි ඇහුවේ ....

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටිය බ්ලූ ෆිල්මක් කියාවිද බලන්න ගත්තොත්...ඒක බලල නං නෑ

      Delete
    2. බ්ලූ ෆිල්මක් උනත් කලාත්මක ඇසකින් බැලුවොත් කලාත්මකයි. අනේ මන්ද ගෙදර ඔක්කොම එකට තියාගෙන බලන්න නම් බෑ තමා සමහර තැන් . නමුත් චිත්‍රපටිය කලාත්මකයි. හැම දේම අමුවෙන් නොපෙන්වා පෙන්නලා තියෙනවා...
      පුදුමයි පොත දැනගත්තත් චිත්‍රපටිය නොදන්න එක එකම නමින් තියෙන්නේ. ඒ වගේම 2015 කරලත් තියෙන්නේ.

      http://www.imdb.com/title/tt2322441/

      Delete
  10. අපොයි ඒ ටීචර් ලොලිටා එහෙම කියෙව්වොත් මොනවා කියාවිද?!!

    මමත් කියෙව්වා ඔය පොත් ටික... හැබැයි මට නම් රහක් නැහැ.
    ලිංගිකත්වය ගැන තියෙන නිසා නම් නෙමෙයි. පළවෙනි පොතෙන් පස්සේ මට තිබුනේ මොකද්ද මේකේ මෙච්චර controversial වෙන්න හේතුව හොයන එකේ කුතුහලයක්. ඒ නිසා රහක් නැති උනත් පොත් ටික කියවල බැලුව - දැන් හොඳ වෙයි, දැන් හොඳ වෙයි කියලා. ඔය පොතුත් මට නම් Twilight වල කොපියක් වගේ (Twilight පලවෙනි පොත කියෙව්වා- එපා උනා). පොත් දෙකේම කතා නායිකාවට ආත්ම අභිමානය ගැන ප්‍රශ්න තියෙන බවක් හිතෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. හනේ අම්මේ..ලෝකය විෂමාකාරයි මිනිස්සු ගෝලාකාරයි කිව්වට ඒක සිරාවටම අත්වින්දේ අදය.
      මම නං එඩ්වඩ් කලන්ට පන ඇරලා ලව් කරමි

      Delete
  11. මමත් ඔකේ කොටස් දෙකක් කියවලා තියෙනවා ..වෙනස් කතාවක් ..

    ReplyDelete
    Replies
    1. අනිවා වෙනස් කතාවක්

      Delete
  12. වත්සලා ගේ එඩිතර භාවය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. හෑ මං එඩිතරයි..මක් නිසාද??

      Delete
  13. අපූරු විස්තරයක්... පොත හොයාගෙන කියවන්න ඕනෙ...

    ඒ කතාව හරි හැටි තේරුම් නොගැනීම, වැරදි වැටහීමක ඉන්නවා කියන එකයි නේද.. එහෙම බැලුවම එයයි වල්..

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනා රසවිඳින විදිය වෙනස්නේ නංගී...

      Delete
  14. මන් ඉස්සරින් දැනන් හිටපු ඩබ්.කේ ට වඩා වෙනස් ඩබ්. කේ කෙනෙක්
    කොහොම උනත් ඔය පොත මටනම් තාම බැදලා අනෙති නිසා කියවන්න හොද නෑ

    ReplyDelete
    Replies
    1. හැබෑට...කියමු බලන්න මං ගැන හිතං හිටියෙ කොහොමද කියල..
      වේවැල අතේ කියං මූන රකුසු කරං ඉන්න ඇල්වතුරත් නිවල බොන අහිංසක ටීචරෙක් කියලද

      Delete
    2. එහෙම්ම නෑ ඒත් ඊට ටිකක් කිට්ටුයි

      Delete
  15. ගුරුන්ටත් අකුරු වරදී කිව්වලුනෙ !!!!!!

    ReplyDelete
  16. ඔයාගෙ විචාරය කියෙව්වම පොත හොයාග්‍ර්න කියවන්න හිතෙනවා... ඕකෙ ෆිල්ම් එක ගැන අහලා තිබ්බට බලලා නෑ... ඕනම දෙයක් අපි බලන ඇස අනුව වෙනස් වෙනවා...

    ReplyDelete