Sunday, January 10, 2016

දුයිෂෙන්,ඈන් ෂර්ලි,ක්‍රිස්ටි හඩ්ල්සන් මොහොතකට ඇවිත් යන්න එන්න


ඈන් ෂර්ලි එන්න
ඇවන්ලී සඳ එලිය දිගේ එන්න
දිලිසෙන වතුර විලට ඉහලින් හොල්මන් ලන්ද ලඟ
මොහොතක් නතර වී ඉන්න
හොඳට මතක් කර ගන්න
ගමේ ඉස්කෝලෙ  පංතියේ
ඉස්සරහම පේලියේ ඩෙස්කුවට පිටිපස්සෙන්
පුංචි පෝල්ගේ නිල් ඇස් දුටුවාම
හිත කී දේ මතක් කරගෙනම එන්න....
හීන පිරුනු බෝට්ටු හඳ
වලා කුලක හැප්පෙනකොට
පුංචි පන්තියේ ඩෙස්කු උඩ හැළුනු
ආදරය මතක් කරගෙන එන්න
දඟකාර ඩේව්ගේ නන්දෙඩවිලි වලට
දුන් උත්තර වල මතකයත් අරන්ම එන්න..........



දුය්ෂෙන් එන්න
ඈත සමාජවාදී රුසියාවේ ඉඳන්ම
 ලෙනින්ගේ මල ගිය හීන ටිකක් අරන් එන්න
ස්ටෙප්ස් තණ බිම් දිගේ
අයිලයෙන් අයිලයට අසු පිටින් එන්න
මහා රාත්තිරියේ වෘක රෑන මැද
 අයිලයේ ඇවිදින්න දිරි දුන්
ළමා බලාපොරොත්තුත් පොදි ගහගෙනම එන්න
නෑඹුල් සෙනේ හිත
පොප්ලර් ගසක පාමුල
සදහට නිදන් කල
උත්තම අරමුණුත් ගෙන එන්න......






ක්‍රිස්ටි හඩ්ල්සන් එන්න
දුර කව් පලාතේ
හිම කඳු උඩින් බැස ගෙන
සෝගම් ගොජ දමන
මහා වගුරත් පහු කර
මග දිගට ඉහිරුනු
මතක සේරම ගෙන එන්න

නීල් මැක් නීල්ගේ,ෆෙයාලයිට්ගේ
ඩේවිට් ග්‍රෑන්ඩ්ලන්ඩ්ගේ
බොඳවුන මතක වස්තුව
මිස් ඇලිස්ගේ බණ එක්ක
මීසමේම තබා එන්න...

පුංචි බර්ල් ගේ
 සපත්තු නැති දෙපය
වඩා උණුහුම් කරන්නට
හිත දුන් හිතත් ගෙන එන්න

මවුන්ටි ඔටීල්ට වචන දුන්
ආදරයත් ගෙන එන්න
පුංචි කවට ක්‍රිඩ් ගේ
තක්කඩියාටත් වැටහුනු
එක් සිතිවිල්ලකින් කල
මහා විප්ලවය ගෙන එන්න

ලුන්ඩි ටේලර්ටත් දුන්
නුඹේ නොමසුරු කරුණාව
බර්ඩ් අයි ටේලර් මිනිසෙක් කලාවද
ඒ කලාවේ තතු
ඕපල්ගෙන් අසා එන්න
 

ටොම් ඇලන් දරුවන්
වෛරයෙන් දුරු කර
ආදරය කියා දුන්
අර තරු දෙනෙත් අරගෙන
මහ දළු උල්පතෙන්
දිය බිඳු ටිකක් ගෙන එන්න


ජීවිතේ නොහඳුනන
ආදර රසය නොදකින
අකුරු වල තතු නොදුටුව
මගේ පංතියේ
හිතුවක්කාර පැටවුන්ට
ජීවිතේ දෙන හැටි
ඇවිත් මට උගන්නන්න.........



16 comments:

  1. හක් ෆින් එක්ක ලෝරාත්

    ReplyDelete
  2. හක් ෆින් එක්ක ලෝරාත්

    ReplyDelete
    Replies
    1. අප්පද බොල එයාල අමතක වුනා මලේ

      Delete
  3. සුන්දරයි................... අගෙයි

    ReplyDelete
  4. මං වැඩිපුරම ආදරය කරපු සහ ආදරය කරන චරිත! අපූරුයි!

    ReplyDelete
    Replies
    1. අපි තාමත් ආදරේ කරන අය

      Delete
  5. දන්න කියන යාලුවො සැට් එකක් නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස්....හිත හොඳටම රිදුන වෙලාවක ලිවුවේ

      Delete
  6. Ask Ricardo Braithwaite too.. (To sir with love) :)
    Really nice poem..

    ReplyDelete
  7. ජීවිතේ නොහඳුනන
    ආදර රසය නොදකින
    අකුරු වල තතු නොදුටුව
    මගේ පංතියේ
    හිතුවක්කාර පැටවුන්ට
    ජීවිතේ දෙන හැටි
    ඇවිත් මට උගන්නන්න......... හරිම ලස්සනයි. තෙත හිතක් ඇති දරුවන් හදන්න. ඔයාගේ විෂය ඉතිහාසය නේද.

    ReplyDelete
  8. නෑ සුජී....මගේ පත්වීම උසස් පෙල ව්‍යාපාර අධ්‍යයනය.ඉතිහාසයට ගුරුවරයෙක් නැති නිසා කරනවා

    ReplyDelete
  9. ලස්සනට ලියල තිබෙනවා. ළමා පොත ටික ගැන.

    ReplyDelete