Friday, August 14, 2015

මා කැමතිම ඡන්ද දවස



මා මෙවර මගේ ඡන්දය නොදැමීමට තීරණය කලේ මැතිවරණය ගැන කනින් කොනින් අසෙන්නට පටන්ගත් දාමය.ඉන් ප්‍රධාන හේතුව නම් අනිත් සියළු අයිතිවාසිකම් කඩ වී යද්දී ඔයි කෙහෙල්මල් අයිතිවාසිකම පමණක් රැක ගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි මගේ මොල ගෙඩියට තාමත් වටහා ගත නොහැකි වීමයි.ඊලඟ එක මේ අච්චාරු පක්ෂ වලින් කෝකට කතිරය ගසන්නදැයි සිතා ගත නොහැකි කමයි

අනිත් හේතුව වඩා සංකීර්ණය. විවාහ වී වසර තුනක් ඉකුත් වී ඇතත් පදිංචිය මාරු කර ගැනීමට කල් ගත කලේ රජයේ රැකියාවකදී වසර තුනක ස්ථිර පදිංචිය පිළිබඳව සලකා  බලන බැවිනි.එබැවින් මෙවරද මගේ නම ඇත්තේ රස්නක්කන්ද වසමේ ඡන්ද නාමලේකණයේය.

එබැවින් මම ඡන්දය දැමීමට මහ ගෙදර යා යුතුය.එහි සිට ගිරි දුර්ග වන දුර්ග ජල දුර්ග හා කූඩැල්ලන් දුර්ග මැදින් පා ගමනින් වසා දමා ඇති රණහිංකන්ද විද්‍යායට යා යුතුය.ඒ දුෂ්කර කටයුත්තට වඩා ගෙදරට වී කා බී නිදා ගත්විට එය ඇඟටවත් අල්ලනවා ඇත.

දැන්නම් ඒ ගමන  ගැන ඇසෙන විටත් ඇඟ කිලිපොලා ගියත් ඡන්ද බලයක් නොමැති හිච්චි එකා සන්දියේදී මෙම සවාරිය දාට අපිට රජ මගුල්ය...

ඡන්දය දා අම්මාත් තාත්තාත් රබර කිරි කැපීමට නොයයි.අම්මා උදෙන්ම රොටී පුළුස්සයි.රොටිය පිඟානක දමා තුනීකර මැදට සීනි හැඳි දෙකක් දමන අම්මා රොටිය දෙකට නවා කොන් අඟිලි වලින් තද කරයි.රොටිය පිලිස්සෙන විට සීනී දිය වී පැණි වෑහෙන රොටියක් බවට පත්වෙයි...එබඳු රොටී 3-4ක් පුළුස්සන්නේ මල්ලිට මට මෙන්ම මගේ බාල වියේ යෙහෙලිය සඳමාලීට හා ඇගේ නැගනියටය.එකල නංගී ඉපදී නොසිටියාය.අම්මලාට තැටිය පිරෙන ප්‍රමාණයේ ලොකු රොටී පුළුස්සා ලුණු මිරිසක් සාදයි.උදෙන්ම ඇය බත් හා කරවල හොදි උයන්නේ මම වරින් වර  මහ මගින් අහුලා ගෙදර ඔසවන් එන බල්ලන්ට කන්නට දී යාමටය.


තාත්තා හරකුන් දිගේලි කර කුකුලන්ට කෑම දමා උන්ගේ සුව පහසුව සොයා බලයි.ඒ අතරේ අපේ සුළු සුළු ඉල්ලීම්ද සලකා බැලීමට වන්නේ ඔහුටය.

මල්ලීටත් මටත් ඇත්තේ වෙනමම කාර්යයකි.තාත්තාගේ සියළු වැඩ අතර මැද නවත්වා ඔහුව ඇදගෙන ගොස් මදුරු දැල ගලවා ගැනීම ඉන් ප්‍රධාන දෙයකි.ඊළඟ එක නම් පුටුවක් තියා උඩට නැග බිත්තියේ ඇණයක එල්ලා ඇ.ි දුං ගෙයි යතුර සොරාගෙන ඉන් කිරි ඇකුලන ලොකු බාල්දි දෙකක් සොරා ගැනීමය.

මල්ලී නාන ටැංකිය ළඟට ගොස් සබන් සහ ප්ලාස්ටික් බාල්දියද ඇඟ ඇතිල්ලීමට ගන්නා පොල් මුඩ්ඩද ගෙන එයි.මම අප දෙන්නාගේ ඇඳුම් ද මදුරු දැලද නවා කවරයක දමා බාල්දියකට ඔබන අතර අම්මා ලොකු තේ බෝතලයක්ද සමඟ කෑම කවරයක දමා අනිත් බාල්දියට ඔබයි.අම්මාත් තාත්තාත් හොඳම ඇඳුම් අදීන අතර මල්ලීටත් මටත් පරණ එහෙත් පිරිසිදු ඇඳුම් අන්දවයි.

අනතුරුව මිදුලට බසින තාත්තා තදින් හුස්ම අල්ලා මහ හූවක් තබයි...අනතුරුව එගොඩහින් ඇසෙන හූ හඩත් සමගම
දැං යං ..කියා අම්මාට කියයි.

අනතුරුව ගෙවල් දොරවල් වසා දැමෙන අතර ලොකු බාල්දි දෙක ගන්නා අම්මාත් තාත්තාත් අප දෙදෙනාත් ඉස්සර කරගෙන පයිංම අඩි පාර දිගේ ඉස්සරහට ඇදෙයි..අප පිටු පසින් එන ගෙදර බල්ලන්ට ගල් ගසා ආපහු පැන්නීමට තාත්තා ඉඳ හිට නතර වෙයි. ආගන්තුක ගමකදී අනුන්ගේ වැයිකයට බලෙන් කඩා වදින අපේ බල්ලන්ට ඒ ගමේ බල්ලන්ගේ දත් පාර වල් වල රස බැලීමට ඉඩ හැරීමට අප කිසිවෙක් කැමති නැත.


තුන්මං හන්දියේ අපි මදක් නැවතී ඉන්නේ මහප්පලා පැමිනෙන තුරුය.එගොඩහින් ඇසුන හූවෙන් කියවුනේ ඔවුන් ගමනට ලෑස්ති බවය.සඳමාලිත් ටිකිරිත් කැටුව ඔවුන් පැමිනෙන්නේ කූරු ගාන ලද මඤ්ඤොක්කා වැනි යමක් ඔතාගෙනය.ළමයින් වූ අපි අපේ බාල්දි වල ප්‍රමාණයත් අල්ලන මාළුන් ප්‍රමාණයත් කෑම ගැනත් මග දිගට කතා කරන අතර ලොකු උදවිය අර මහත්තුරු මේ මහත්තුරු ගැන කතා කරයි.ඒ වදන ඇහෙන පුංචි මට නම් ඒ දවස්වල හිතුනේ උන්දැලා මිනිස්සු නොව සුර දූතයන් බවය.


අතර මගදී  පොඩි දොල පාරක් හරස් කර ගස් කඳක් දමා සකස් කරන ලද ඒ දණ්ඩක් හමු වෙයි.බාල්දි බිමින් තියන වැඩි හිටි උදවිය රෙදි අතරට දමා ගෙනෙන ලද ඡන්ද කාඩ් හා අයිඩෙන්ටි කාඩ් පමණක් අතට ගනී.

තාත්තා වට පිට බලා  “ලකී“ යැයි මහ හඩින් කතා කරනවාත් සමගම අපට නොපෙනෙන්න හැංගි හැංගි  ආපු අපේ කපටි කළු බල්ලා නැට්ට වනාගෙන තාත්තා ලඟට දුවගෙන එයි.
“ළමයි බලාගෙන මෙතනම ඉඳපන්“තාත්තාගේ අණ ලකී නැට්ට වනා යටහත් පහත්ව පිළි ගනියි.
වැඩිහිටියෝ ඒ දණ්ඩින් එගොඩ වී යද්දී පුංචි අපි නතර වෙමු.ඒ දෙස දුක්බර බැල්මකින් බලා සිටින ලකී කෙඳිරි ගාමින් වටයක් දෙකක් කැරකෙයි.අපිත් අත හැර යාමට බැරිවා මෙන්න තාත්තලා අත හැරීමටද ඔහුට බැරිය.

අප පෙනෙන නොපෙනෙන දුරට යන වැඩිහිටියෝ යලිත් ආපසු හැරී අප දෙස බලයි.ලකී වඩාත් තදින් කෙඳිරි ගායි.

“ඔතනම ඉන්න  ඕන“තාත්තා අවධාරණයෙන් කියයි.ලකී හිත හදාගන්නේ එවිටය.පසු ගාත් දෙක බිම තබා වාඩි වන ලකී මල්ලිගේත් මගේත් හැම චලනයක් දෙසම පරීක්ෂාකාරීව බලා හිඳියි.

වහ වහා මදුරු දැල් දිග ඇර ගන්නා අපි මහ බාල්දි වලට අඩ බැගින් වතුර පුරවන්නෙමු..මල්ලී එක කොන් දෙකකුක් මම අනිත් කොන් දෙකත් අරගෙන දිය යටින්  රැගෙන ගොස් කෙකටිය ගාලකට හෝ ඉවුරු කොණකට  ගසා එක වරම කෙලින් කරන්නෙමු.එවිට එහි අහු වී සිටින මාළුන් අපි බාල්දි වලට හලමු.මෙසේ කීප වරක් කල පසු බාල්දි වල තවත් මාළුන් දැමීමට නම් වතුර සියල්ල පෙරා ඉවත්කල යුතු මට්ටමටම බාල්දි පිරෙයි.එවිට අපි එකිනෙකාට වතුර ගසා ගනිමින් මෝඩ කතා ගැන මල්ලීටත් ටිකිරීටත් විහිළු කරමින් දිය මතට වී සිටින්නේ අම්මලා පැමිනෙන තුරුය.

ක්‍රීඩාවේ උණුසුම මැද අපි දොලේ ඉහල පහල දුවමු.අපි ලකීගේ දුෂ්ඨි පථයෙන් ඉවත් ව යන විටම කෙඳිරිලි රාසියකින් නෝක්කාඩු කියමින් ඉවුර උඩින් අප පසුපස දුවයි.අපි ඉවුරේ ඇති මුවාවක හැංගෙමු.ඔහු මග හඩින් බුරමින් ඉවුර කොණටම වී එබී බලයි.අප එවිට ඔහුට වතුර ගසමු..ඔහු පසු පසට දුවා හුරතල් හිනාවකට මෙන් කට ඇද කරයි.


මේ වන විට වැඩිහිටියෝත් දියකෙලියට එක් වෙති.තාත්තාත් මහප්පාත් දියෙහි නොගැඹුරු බවගැන ආඩපාලි කියමින් තරඟයට පීනයි(ගැඹුරු දියක් තිබ්බානම් කිසිසේත්ම අප තනිව එහි දමා යාමට නොහැකි බව ඔවුන් අපූරුවට අමතක කල හැටි)අම්මාත් ලොකු අම්මාත් ඉණ මත්තක් ඇදි ජල තලයේ ඉඳ ගෙන ප්ලාස්ටික් බාල්දි වලින් දිය හිසට හලා ගන්නා අතර දවසේ සිදුවීම් සමාලෝචනය කරයි.

පැය ගානක මෙහෙයුමකින් ගොඩ එන අපේ ඇඟලි රැලි වැටී ඇත.සියළු දෙනාම ගොඩ ආ පසු තාත්තා තණකොල ගහක් කඩාගෙන එය ලකීගේ කරට දමයි.එවිට මේ මෝඩ බල්ලා හිතන්නේ තමා ගැට ගසා ඇති බවය. කොන්ද දෙපසින් අත යවා බල්ලා ඔසවා ගන්නා තාත්තා ඔහු සමඟ දියට බසියි.අම්මා සන්ලයිට් කෑල්ල තාත්තා අතට විසි කරයි.වතුර එක්ක බැඳි ජන්මාත්තර වෛරයක් සමඟ ඉපදුන ලකී තමා බැඳ දමා ඇතැයි සිතා කෙඳිරි ගාමින් සියල්ල ඉවසා සිටියි.අන්තිමට තාත්තා  ඔහු අතහැර වඩා ඉහලින් පිහිටි තැනකින් හොඳින් නා ගනියි.අපි පැණි රොටී විකමින් ලකීගේ මෝඩ කම් වලට හිනාවෙන අතරේ රොටි කෑලි වලින් දොලේ මාළුන්ටත් බාල්දි වල ඉන්න අපේ මාළුන්ටත් සමොසමේ සංග්‍රහ කරමු.

කවදත් යහපත් බල්ලෙකු වූ ලකී කවදාවත් නා අහවර වූ පසු අප තෙමෙන තරම් ලඟක සිට ඇඟ ගැසුවේ නැත.දුරක ට ගොස් ඇඟ ගසා තම ලොම් කබායේ දිය බේරා දැමූ ලකී සිනාසීගෙන අඩව්වකුත් අල්ලාගෙන යලිත් අප ලඟට දුව එයි.ළඟ තිබූ කෙකෝවා ගසෙන් කොලයක් කඩා ඒ මත ලොකු රොටී කෑල්ලක් දමා අම්මා ඔහුට එය පිළිගන්වයි.කෘතඥතා පූර්වක බිරුම් හඩකින් එය පිලිගන්නා ලකී සැනෙකින් එය අතුරුදහන් කරවන මන්තරය දනී.


අවසානයේ වැඩි හිටියෝ මාළු දැමූ  බර බාල්දි ඔසවා ගනී.අපි රෙදි දැමූ කුඩා බාල්දි ගමු.ලකී පෙරටු කරගත් අපේ පෙරහැර ගෙවල් බලා ඇදෙයි.

අනාදිමත් කාලයක සිට අදටත් අපේ මාළු පොකුණ වූයේ ලියැද්දක් මැදිකොට මඩ වලින් තාප්පයක් තනා වතුර එක්රැස් කර මානෙල් වගා කල තැනකි.උඩින් පිහිටි ගල් දෙබුක්කාවක් අතරින් පෙරී එන උල්පත තද නියඟයකට වුව ඔරොත්තු දුන්නේය.

තාත්තා අපේ පොකුණට මාලුන් බාල්ලිය පිටින්ම හැළුවේය.අළුත් පරිසරයේ උන් පීනා යන අයුරු බැලීමට අම්මාද අප සමඟ ආවාය.
අර තල් කොස්සෙක්...අර නළ හඳයෙක්,..අර මඩ කනයෙක්..මගුරෙක් අර පෙතියෙක්.... අර දං කොලයෙක්...මෙන්න බුලත් හපයෙක්...තාත්තා අපිට ඔවුන් හඳුන්වා දෙයි....

මම වහ වහා බුලත් හපයන් ගණන් කර ගනිමි.අප මාළු සංග්‍රාමයේ ජය තහවුරුකර ගන්නේ අප ඇල්ලූ බුලත් හපයන් ගණනිනි.රතු තොල් ඇති වෛවර්ණ බඳවල් සහිත උන්ට මම කවදත් ආදරය කරමි.
මගේ බුලත් හපයන් ගණන මා සඳමාලිට කියූ පසු ඇය තමා අල්ලා ගත් ගනන කියනු ඇත.පරාද වූ එකිය අනිකියට රුපියලේ ඩෙල්ටා ටොපියක් අරන් දිය යුතුය.


ඡන්දට බැලීමට රෑට ගෙදර ඇත්තො  ටී .වී එක වටේට එක් වෙයි.අම්මා විශේෂයෙන්ම එදාට හැලප තම්බයි..
කවුරු දිණුවත් මට පලක් නැත.ඒත් හැලප මා ඇහැරවා තබයි.මා නිදිකිරමින් සිටින පුටුවේ යට ලයිකා දොයි.ඇයගේ බූල් පිරුණු සිරුර මත කකුල දමාගෙන සිටීම සුවදායකය.
අවසානයේ නිදි මතින්ම උකුලේ නිදා හුන් පූසාද කර ගහගෙන මම ඇඳට නගිමි.හැබැයි ඒ හැලපයක් කා කෝපි කෝප්පයක් බීමට කලින් නම් නොවේ.

ප.ලි -

අපි තව දුරටත් දොලේ මාළු ඇල්ලීමට තරම් කුඩා උන් නොවුනත් එදා අල්ලා ගත් මාළුන්ගේ වත්මන් පරපුර තාමත් පරණ පොකුණේ හිදී.උන් බලාගන්නේ මල්ලීය.ඔහු සමඟ මා අද එතැන නැතත් මගේ අඩුව පුරවමින් දැන් නංගී ඔහු අසල හිඳියි.නමුත් වර්ථමාන සමාජයේ ප්‍රවනතා මාළුන්ගේ සමාජය ආක්‍රමනය කිරීමත් සමඟ උන්ගෙන් වැඩි දෙනෙක් තම කුලයෙන් පිට විවාහ සඳහා පෙළඹීම හේතුවෙන් දැන් පොකුණ අච්චාරු හැලියක් වී ඇත.අවසන් වරට මා ගෙදර ගිය අවස්ථාවේ නලලේ හඳක් ඇති ප්ලේටින්,සාරියක් ඇති ප්ලේටීන්,බඳ රතු සාරි ඩප්පි.ඇගේ බාගයක් මඩ පාට ප්ලේටීන් මෙන්න නලලේ හඳක් ඇති සාරි ඩප්පිද දැක ගත හැකි විය.

10 comments:

  1. චන්දේ දවසෙත් නා ගත්තා එහෙනං!

    ReplyDelete
  2. අපි කවදත් නාන හොඳ ලමයි හරිය මලියා

    ReplyDelete
  3. අන්න කතා ගාණට වෙලාව ඇරං කලාවට ලියල තියෙයි කියවන එකාටත් පිස්සු කොර වෙන්ට... සාරි ඩප්පිද සාරි ගප්පිද ගප්පි කියල කියන්නෙ අපි නං මංද පැති වල නං වෙනස් ද කියල ඒත් නිකං ගන්න පුලුවං ලස්සනම මාළු තමයි උං... අනික ඕන තරං ඉන්නවනෙ හිහි... පගප්පින්ට නං එච්චර කැමති නෑ උං ලොකු වෙනව විතරයි මෙලෝ රහක් නෑ හිකිස්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්.....අනේ මන්දා හරි වචනේ..අපි නං ඩප්පි කියලා කියන්නේ.උන් ඕන දේකට ඔරොත්තු දෙනවා...ගෝල්ඩ් ෆිෂ් ලා එහෙම පොඩ්ඩ ඇත්තං මැරෙනවනේ.හදන්නත් ලේසියි.මං නං කැමති උන්ට

      Delete
  4. ඡන්දේ නොදා ඉන්න ඒපා... කොහොම හරි දාන්න... ඔබ කැමත් පක්ෂයකටවත් දාන්න.. මිනිස්සු ගැන හිතන්න ඒපා.... අනික් හැම අයිතියක් ම තීරණය වෙන්නේ ඔය අයිතිය හරියට භාවිතා කරනවාද කියන ඒක මතයි.. ඔබට තියෙන්නේ ඒක ඡන්දයයි තමයි... ඒත් රටම ඒකතු වුණාම ඡන්ද ගොඩක්.. ලොකු බලයක්....... අපි ඉල්ලන්නේ ඒක කොහොම හරි භාවිතා කරන්න....

    ReplyDelete
    Replies
    1. කොහොිමෙයි දාන්නේ.අන්න ඩියුටි යන්නත් ඇවිත් කුරුටු..රටේ හැටියට මං නොදැම්මට මගේ ජන්දෙ මොකා හරි දාවි.....වැඩේ කියන්නේ එකෙක් එකක් ගැනවත් මනාපයක් නැතුව කතිරෙ ගහන්නේ කොහොමද?හොඳ වෙලාවට වැරදි ලකුණු කරන්න තියෙන්නේ.බැරි වෙලාවත් හරි මාක් එක දාන්න තිබුනනං අපි වැටෙන්නේ ලෝක අමාරුවක

      Delete
  5. හෙහ්..නියමයි බන්ස්...මල් හතයි...ඔය ලියල තියෙන්නෙ ඇට්ටි නෙවෙයි ගොබලු ඉඳලම හැලෙන්ට...

    දෙහිඕවිට කිව්ව නේද? මම දන්නෙ ඔය පැත්තෙ ධනපාල වීරසේකර මහත්තය. 77 වෙනකල් මන්ත්‍රී. උඹනම් ඒ කාලෙ ගිය ආත්මෙ බුලත් හපයො අල්ලනව ඇති...තාත්ත දන්නව ඇති අහපන් බලන්න ගමේ ගිය දොහක...

    ReplyDelete
  6. ස්තූතියි
    හපොයි රවියෝ මං ඉපදුනෙත් 86.දෙහිඕවිටට සැහෙන්න එහා...

    ReplyDelete
  7. මට නම් ආසම හිතුනේ අර පොකුණට.. ඒත්..
    අපේ ගෙදර අන්තිමට හදපු බල්ලාගේ නමත් ලකී.. ඔය කියුව වගේම හරිම ගුණ යහපත් ළමයෙක්.. අන්තිම කාලේ ඇඟේ ලෙඩක් හැදිලා ගෙදරට දවල් දවසේ එන්නේ නැතුව හිටියා.. පොඩි අපි නිදා ගත්තට පස්සේ රෑට කුස්සිය කිට්ටුවට ඇවිත් අම්මගෙන් මොනවා හරි ඉල්ලගෙන ගිහින් කාල තේවත්තට වෙලා නිදගන්නවලු.. ඒ විදියට මස ගානක් ඉඳල එක දවසක් රෑක ආපහු ඇවිත් පරණ පුරුදු ගෙදර පඩියේ උඩ නිදාගෙන තිබුන.. හැබැයි ඒ එයාගේ අන්තිම නින්ද.. ඔය මං කියුවේ වත්සලා ඉපදෙන්නත් අවුරුදු දෙහෙකට විතර කලින් වෙච්චි දෙයක්.. එදා ඉඳන් අපි ආයි බල්ලෝ හැදුවේ නෑ..

    ReplyDelete
  8. ආනේ..දැන්නම් පොකුණ දැක්කමත් මට හිනා යනවා....ආදරෙන් හදන සත්තු මැරෙනකොට නම් එපා වෙනවා...

    ReplyDelete