Sunday, November 1, 2015

වාසනා දීග ගියාය.

උඹට මතකද වාසනා.......


කොහොම පටන් ගන්නදැයි මට තාමත් පැහැදිලි අදහසක් නෑ.මම තාමත් ඇස් දෙක පියාගෙන කල්පනා කරනව.අවුරුදු විස්සක් විතර අතීතයකට ඇවිද යන එක ලේසි දෙයක් නෙමෙයි.මං හිතුවෙ තව තව ආකර්ෂණීය මතක එක එක තැන්පත් වෙලා ඒ කාලෙ බොඳ වෙලා ඇති කියල. අපි අවුරුදු දෙකක් විතර එකටම වැඩුන .ඒත් අතීතය දිගේ ඇවිදගෙන යනකොට තාමත් පණ තියන හොල්මන් වගේ හුඟක් දේවල් බොඳ නොවී හිතේ පතුලේ තියන බව පේනව..


උඹ මට වඩා බාල වුනේ දවස්  විසි හතකින් විතරයි.ඒ හින්ද සදාචාර සම්පන්න විදියට මං උඹට නංගි කිව්වෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු වාර ගානත් වෙන්න ඇති.පොඩි කාලෙ “වාසනා“ කියල කතා කලත් කාලය ගතවෙද්දි නිකංම “ වාස්“ වුනා.

කාලය අවකාශය වගේ බාධක පුංචි කාලෙ සමීප බව දුරස් කරල දැම්මත් මතකය තාමත් හිතට සමීපයි.

උඔ කසාද බැන්ද

උඹේ ජීවිතේ ලස්සනම දවසෙ උඹත් එක්ක උඹේ සතුට බෙදා ගන්න එන්න මට බැරි උනා.එන්න බැරි වුන හේතුව සාධාරන එකක් වුනත් මං එහෙම කරපු එක අසාධාරනයි කියල මගෙ හිත කියනව.උඹ බුකියෙ තාමත් ඉන්නවනං උඹ දකින්න ඇති “මගේ ලිට්ල් ඩාන්සිස් ප්‍රින්සස්“ගෙ වැඩ කිඩ.එන්න බැරි වුනේ ඒකයි.

ඒත් උඹේ තෑන්කිවු කාඩ් එක අපේ අම්මල ලඟ තිබිල මං දැක්ක.උඹ ඒකෙ ලස්සනට හිනාවෙලා හිටිය.ඒ හිනාව ඇතුලෙන් උඹේ සතුට මං දැක්ක.නළුවෙකුට දෙවෙනි නොවුන මගේ අළුත්ම මස්සිනාකාරයත් දැක්ක(පොර නං ලස්සන වෙලා හිටියෙ මේකප් වලින්ද කියල මං දන්නෑ)

මේ පාර ගමේ ගියාම අපේ දවසේ කතාව උනේ උඹ.අම්ම මට අමතක වෙලා තිබුන කාරණයකුත් මතක් කලා.
මම 1 වසරෙ ඉගනගන්න ඉස්කෝලෙන් අස් කරල උඹලගෙ ගමේ ඉස්කෝලෙට දැම්ම.ඒකට හේතුව දවසක් මාව බලන්න අම්මලා ඒ ගෙදරට ආපු දවසෙ වුන සිදු වීමක්ලු.

අම්මල දවල්ට ඒ ගෙදරින් කාල බීල ඉවර වෙල එලියට බැස්සටත් පස්සෙ මං අම්මගෙ කනට කරල රහසින් ඇහුවළු“අම්මෙ මං අර ඉතුරු කරපු බත් ටික කන්නද කියල“විනය නීති සංග්‍රහයකට අනුව වැඩ කරපු පියසීලි කිරිඅම්මගෙ දැඩි පාලනය පුංචි මට ඔරොත්තු දුන් නැතුව ඇති.එදා අම්ම ගෙදර ආවෙ අඩ අඩාළු.එදා ඉඳල මාසයක් යන්න කලින් මගෙ නවාතැන වෙනස් වුනා.ඒ උඹලගෙ ගෙදරට.

මගේ ජීවිතේ පදනම වැටුනෙ උඹ ලඟ ඉන්නැද්දි උඹේ අම්මගෙ හෙවනෙදි.මගෙ කලා හැකියාව මුලින්ම අඳුන ගත්තෙ උඹේ අම්ම.හැමෝම පිස්සුයි කියල කියපු මට විතරක් පොරක් වුන සුනිල් සර් උඹට මතකද.සාහිත්‍ය කලාවේ මට අත්පොත් තැබුවෙ ඒ සර්.සර් පස්සෙ කාලෙක එල්ලිලා මලා කියල මට කීවෙත් උඹමයි.

උඹට මතකද අපි දෙකේ තුනේ පන්ති වල ඉන්නැද්දි ඉස්කෝලෙ ගිය හැටි.අරලිය ගහකින් සීමා වුනු වැටෙන් ගුරු පාරට බැහැල පයිම්මයි අපි ඉස්කෝලෙ ගියේ.හති කූඩයක් හලාගෙන අපි නැග්ග පාරෙ ඉඳන් ඉස්කෝලෙට තිබ්බ ගල් පඩි සීය දෙසීය තාමත් එහෙමද? හංසිකා ශාලිකා මංජුලා විජිත අපිත් එක්ක පන්තියේ හිටපු උන් දැන් කොහේ  කොහේ ඇතිද?උඹ නං සමහර විට දන්නව ඇති.යගුලිය වෙනුවට පොල් ගෙඩියක් විසිකරල 3 පන්තියේදි මං දෙවෙනිය උනා. විකට ඇඳුම් තරගෙදි මං ඇන්දෙ එලවළු වෙලෙන්දිගෙ චරිතෙට.එතන විනිශ්ච මන්ඩලේ හිටපු කෙනෙක් මගේ වට්ටියට රුපියල් දෙකක් දීල කොල මිටියකුත් ගත්ත.ඉස්කෝලෙ තිබුනු ප්‍රසංගෙකදි

 “කැලණිය මළුවේ අරලිය පඳුරේ අත්තක පිපුනෙමි මං
එනමුදු හිමියනි බුදුගෙයි පුදසුන නැත අවසර මට නම්“

සිංදුවට අපි නැටුවා.අපි යටි කයට ඇන්දෙ සාරි රැළි කරල
.
අපි ඊට ටිකක් උඩහට වෙන්න තිබුන ලොකු මාමලගෙ ගෙදර ගිය හැටි උඹට මතකද? උඹේ නං මහප්ප.මග දිගට තිබුන එරමිණිය දං ගාල් වල අපි පැයක් විතර ගත කලා.එරමිණිය අකුල් වලට සීරුනු අත පයට බේත් කලේ චූටි අක්ක.එයා ගෙදර මිදුලෙ තිබුන ඇඹිල්ල ගහෙන් අපට ඇඹිල්ල කඩල දුන්න.

මතකද අපි ලොකු අක්කලගෙ ගෙදර ගියපු දවස්.එහාගෙදර මිදුලෙ තිබුනු “රවුම් ගල් පාත්තිය“.ඒකෙ තිබුනු ලස්සන රවුම් ගල් ඔඩෙක්කයක් එකතු කරගෙන අපි ගෙදර ගෙනාව.ඒක ඒ ගෙදර අක්කගෙ තාත්තගෙ සොහොන  කියල අපි දැනගත්තෙ ගොඩක් කාලෙකට පස්සෙ. එදා ඉඳන් අපි බයෙන් හිටියෙ එයාගෙ හොල්මන එයාගෙ සොහොන පාගපු වරදට අපිට දඩුවම් කරන්න ඒවි කියල.

ගෙදර මිදුලෙ කොනක තිබුනු උඳුපියලිය  පාත්තිය.ඒකෙ ඉඳගෙන පොත් කියවන්න මං හැමදාමත් ආස කලා.මතකද රබර් ඇට පිපිරෙන කාලෙට අපි රබර් ඇට එකතු කරල එහා ගෙදරට විකුණුව.ඒ අය රබර් ඇට වලින් මක් කලාද කියල මට තාමත් හිතා ගන්න බෑ.

හැමදාම උඹේ තාත්ත - මගෙ මාමා වැඩ ඇරිල  එනකොට උඹ ඉස්සරහට දුවනව.මාමා උඹව වඩා ගන්නව.උඹේ අත් මාමගෙ බෙල්ල වටේ එතෙනව.ඒ වෙලාවෙ මං කොං වෙලා පැත්තකට වෙනව.ඒත් ඒ මොහොතකට විතරයි.මට හැඟෙන හැටි උඹේ අම්ම දකිනව.මාව කුස්සියට අඩ ගහ ගන්නව.මට ඇස් පියාගෙන තාමත් ඒ මැටි කුස්සිය අස්සක් මුල්ලක් නෑර මතක් කරන්න පුළුවන්.

බිම තිබුන ලිප.ඒකට ඉහලින් ලී එකිනෙක ගැටගහල හදල තිබුන දුම් මැස්ස.ලිප අයිනෙ පේලියට දරණු උඩ තැම්පත් කරල තිබ්බ බත් වෑංජන හට්ටි.දොර අයිනෙ එලියෙ තියල තිබ්බ පරණ වටිටියකින් වහපු මිරිස් ගල.කුස්සියෙ තිබුනු මිටි බංකු දෙක.එකක උඹෙ අම්ම වාඩි වෙලා ලිපට එබිල ඉන්න ගමන් මට කතන්දර කියනව.මං අනිත් එකේ වාඩි වෙලා අහගෙන ඉන්නව.හුලං තවු අස්සෙන් රිංගල එලියට යන්න කලින් කුස්සිය පුරා කැරකෙන මුදු දුම් කැරැල්ල අතරින් මට උඹේ අම්මගෙ කරුණාවන්ත මූණ පේනව.ඒ මූන බොඳ වෙලා ගිහින් සාධාරණ බෝසත් කුමාර වරු ,වීර වරු, නපුරු කුරුමිට්ටෝ ,කතා කරන සත්තු, ලස්සන සුරංගනාවියො මැවිල පේනව.ඉදෙන වෑංජන සුවඳ නාස් පුඩු අතරින් හදවතට රිංගනව.මගේ ජීවිතය පාට කරපු කෙනෙක් හැටියට උඹේ අම්ම හැමදාම මගේ හදවතේ රැඳිල ඉන්නව..

යන්තං දුම් වැදිච්ච මැටි බිත්තියට වැහි වතුර  වැටෙන කොට නැගෙන නැවුම් සුවඳ දරා ගන්න බැරි තරම්.ඒ වෙලාවට හැමදාම මං මැටි ගුලියක් කටේ තියං සූප්පු කෙරුව.අන්තිමට කටේ වැලි විතරක් ඉතුරු වෙන කල්ම.අදටත් හුඟ කාලෙකින් වැහි වැටෙන කොට පොලවෙන් උනන නැවුම් සුවඳ මට මතක් කරන්නේ උඹේ අම්ම.මට කතන්දර කියා දෙද්දී එයාගෙ මූනෙ ඉරියවු.

උඹේ අයියයි මායි හැමදාම ඇවිළුනා.අයිය හැදුවෙ හැමවෙලේම මාව අවුස්සන්න.ඒවටම හරියන්න සිංදු ටිකකුත් එයා රී-මික්ස් කරගෙන තිබුන.ඒ මදිවට කලාතුරකින් ගෙදර ඇවිත් අපි දෙන්නගෙ බල අධිකාරයට අභියෝග කරන අයියට මං ඉරිසියා කලා.එයා ආපු දාට ගෙදර කේන්ද්‍රය වුනේ එයා.වෙන එකක් තියා අයිය ආව දවසට උඔ මාවත් පැත්තකට කලා.අයිය එක්ක ඇවිලෙන්න ඒ කාරනයත් හේතුවක් වෙන්න ඇති.

“පාර පුරා තාර දමා වලක් හැදීලා...........
ඒකෙ වැටුන කුමාරි කෙල්ලගෙ හොම්බ තැලීලා...........“

 ඒ වගෙන් මට මතක එච්චරයි.තව “ රතු නරියගෙයි  නිල් නරියගෙයි“සිංදුවකුත් තිබුනා.දැන්  මට ඒකෙ එක වචනයක් වත් මතක් කර ගන්න බෑ.“ඒත් ගහකින් වැටුන කුමාරි කෙල්ලට ගොනෙක් ඇනපු කතාවකුත්..ඒ ඇනපු පාරට වලකට වැටුන කතාවකුත්, වලේ තිබිල කෝටු බෝටු පස්ස පැත්තෙ ඇනුන කතාවකුත් තිබ්බ මතකයි.(මට පවුලේ උදවිය කියන්නෙ කුමාරි කියල)

මට එයාට විරුද්දව කවියක් ගොතා ගන්න බැරි කමත් මාව පිස්සු වැට්ටෙව්වා...කටට එන වචන කියල මං කෑ ගැහුව.මේ කන්දොස් කිරියාව ඉවස ගන්න බැරි තැනකදි එකම එක දවසක් උඹේ තාත්ත අත ඉස්සුව.හැබැයි ඒ මට නෙමෙයි.අයියට..ඒ කාලෙදි පවා පරම්පරාවේ ආදර්ශමත් ළමයෙක් වුන අයියට වැඩිහිටියෙක් අත උස්සපු එකම දවස එදාළු.හැබැයි ගැහුවෙ නං නෑ.ගහන්න හැදුව විතරයි.

උඹට මතකද  අපි කහකොටුවෙ මම්මලගෙ ගෙදර ගිය හැටි.නිදන් ගල ලඟින් යද්දි අපි හැමදාම ඒකෙ නිදන් කරල ඇති දේවල් ගන්න කල්පනා කලා.ඒකෙ තියන සල්ලි වියදං කරල අපි ගන්න දේවල් ගැන කතා කලා.නිධානෙ රකින බහිරවයට බයෙන් අපි ගල දිගේ ඇවිද්දෙ ඇඟිලි තුඩු වලින්.එක දවසක් අපි දනිස් පතුරු ගහගෙන කහකොටුවෙ ඉස්කෝලෙ මම්මලගෙ කුස්සියට කඩා පාත් වුනා මතකද?ඒ අතර මඟදි නිධන් ගලේ නිධානෙ රකින නයා අපිට හම්බුන දවස.ඒ හරියෙ තඩි කහ ගැරඩියෙක් ඉන්නව කියල කොච්චර කිවුවත් අපි පිලි ගත්තෙ නෑ.කහකොටුවෙ ගෙදර ගිහින් ආපු හුඟක් දවස් වල රෑට උඹව බිලි දීල ඒකෙ නිධානෙ ගන්න හැටි ගැන මං කල්පනා කරල තියනව.

උඹට මතකද අපි නාන්න ගිය ලිං.ඒව කැලෙන් වැහිල තාමත් එතන ඇති.දැන් කවුරුවත් ඒව පාවිච්චි කරන්නෙ නැතුවත් ඇති.එතන ලිං හතක් අටක් එක ළඟ තිබුන.අපි නෑවෙ මුල්ලෙම තිබ්බ ලිඳෙන්.ජංගි කොට ඇඳන් නාල ඉවර වෙලා අපේ පුංචි බාල්දි වලට වතුර එකකුත් අරං අපි ගෙදර එනව.ලොකු මාමලගෙ ගෙදර තිබුන ලොකු ලිඳ.ඒකෙ හැමදාම ගෙඹි බිත්තර තිබුන.(ලිඳේ අනිත් කෙලවරේ තාප්පෙ එල්ලිල තිබුන සබං පෙන ගුලියක් වගේ ලා කොල පාට ගෙඹි බ්ත්තර)අපි ලිඳ ලඟ තැවරි තැවරි ඉන්න එක නවත්තන්න චූටි අක්ක අපිට කිව්වෙ ඒ නයි බිත්තර කියල.ළිඳ ලඟ ගොඩක් වෙලා හිටියොත් බිත්තර හොරකං කරන්න හදනවා කියල නයා කේන්ති ගන්නවළු.ඉතින් නයි කේන්තියට බයේ අපි ඉක්මනට නා ගන්නව.

අපි කාර් රේස් තිබ්බ මතකද.අපේ ධාවන පථය හදල තිබුනෙ ගේ වටේ.රවුම් තුනකට පස්සෙ ගෙයි ඉස්සරහ දොරෙන් ඇතුළු වෙලා කෑම මේසෙ උඩ තිබුනු වතුර ජොග්ගුවෙන් කාර් එකට පැට්‍රල් හගගෙන පිටිපස්සෙ දොරෙන් ආයෙමත් තරඟයට ඇතුලත් වුනා.වතුර බීල වැඩි වෙනකොට පරණ නරක් වුන ප්‍රැට්‍රල් අයින් කරනව කියල පිලිකන්නට ගිහින් චූ කලා..ආයෙමත් ප්‍රැට්‍රල් ගහගෙන රේස් එක පටන් ගත්ත.

උඹෙයි මගෙයි දෙන්නෙගෙම රස කෑම තෝරන කැත පුරුද්දක් තිබ්බ.අන්තිමට එක දවසක් උඹේ තාත්ත කිවුව “මෙයාල අකමැතියි කියන කෑම  මේ සතියෙ පොලෙන් ගේන්න“ කියල.

උඹයි මායි කතා වුනා එහෙනං අපි කන්න අකමැති කෑම කන්න කැමතියි කියල  උඹේ අම්මට බොරු කියන්න.අපේ කුමන්ත්‍රනේ ප්‍රතිඵලයක් විදියටයි මං උඹේ අම්මට කිවුවෙ “බණ්ඩක්ක කන්න කැමතියි කියල“හොටු වගේ සෙවල බණ්ඩක්ක මහ අප්පිරිය කෑමක් මට.

හරි දැන් අම්ම කීයටවත් බණ්ඩක්ක ගේන්නෑ..උඹත් මා එක්ක රහසින් කුටු කුටු ගෑවා..ඒත් අපේ මූනු දෙල් උනේ රෑ කෑම මේසෙදි.කිරට උයපු බණ්ඩක්ක දිසියක් මේසෙ උඩ.“කුමාරි දුව ආසයි කියපු හින්දම හොඳට තෝරලා මෝරපු නැති ඒවගෙන්ම ගෙනාවා...උම්බලකඩත් දාල රහට ඉව්වෙ දුව කැමති හින්දමයි “කිය කියා නැන්ද මට බණ්ඩක්ක වැඩි වැඩියෙන් බෙදනව.මාත් ඉතින් අමාරුවෙන් ගිලිනව.මොකෝ කලින් කිව්වෙ බොරු කියන්නයැයි.

මතකද දමයන්තිව.කතා කරන්න බැරි ළමයා.එයාට කුමාරි කියල මට කතා කරන්න බෑ.එයා මට කුණුමාලි හොක්ක මාලි වගේ නං වලින් කතා කලේ.එයයි අපි දෙන්නයි කහකොටුවෙ දිනූසයි අපි ඉස්තෝප්පු කාමරේ රාජධානිය කරගෙන කොයිතරම් සෙල්ලම් කලාද?

මතකද අපි දෙන්නට එක වගේම ගවුම් දෙකක් තිබුන.පාට විතරයි වෙනස්.ඇස් දෙක පියා ගත්තාම මට මගෙ ගවුම තාමත් මතක් කර ගන්න පුළුවන්.මට නිල්  පාට.උඹට රෝස පාට.ඒ ගවුම් ඇඳගත්ත අපි දෙන්නව අත් දෙකෙන් අල්ලගෙන අයිය ඉස්සර වෙලා යනව.අපි අත අත ඇරගෙන දුවන්න හදනව.නැන්දයි මාමයි කදමළු පොදි බැඳගෙන පස්සෙන් එනව.අපි දවසක් කිතලංගමු ගියේ එහෙමයි.

උඹේ තාත්ත -මගේ මාම සමහර දවස් වලට පොඩි පොඩි තෑගි ගෙදර ගේනව.කණ්නාඩියක් ඔබ්බපු රවුම් කටර්,සුවඳ ගහන ලස්සන පාට පාට මකන,ලස්සන හැඩ ගම් බෝතල් ඒ දවස්වල අපිට හරි සුඛෝපභෝගී භාණ්ඩ.

අහවල් මාමා අපි දෙන්නට දෙන්න කියල මාමට දුන්න වග එයා කියනව.කාගෙන් හරි තෑග්ගක් ලැබීමේ සතුටින් උඹ වගේම මාත් පිනා යනව.ඒත් ඇත්ත ඒක නෙමෙයි කියල දැං මං දන්නව.තවත් ළමයෙක් ගෙදර ඉන්නව කියල ඔය මාමගෙ හුඟක් යාළුවො දන් නෑ.එයා තෑගි ගෙනත් දෙන්නේ උඹට විතරයි.උඹේ තාත්ත ඒ ජාතියේම වෙන පාට එකක් හොයන්න  වැඩ ඇරිල එන ගමන් කඩ ගානෙ රස්තියාදු වෙනව.

උඹල ලඟදි මං පිට එකෙක් කියල කවදාවත් මට දැනිල නෑ.

දැන් ආපස්සට හැරිල බලනකොට හුඟක් ලස්සන කාලයක් අපි දෙන්න එකතු වෙලා ගෙවද දැම්ම.ඊට කලින් අවුරුද්දෙ පුංචි වැඩිහිටියෙක් හැටියටත් ඊට පස්සෙ රාජ අපරාධකාරයෙක් හැටියටයි ගෙවල දාපු මගේ ළමා කාලෙ හැබවින්ම මම ලමයෙක් වෙලා හිටියෙ උඹත් එක්ක උන්න කාලෙ විතරයි.

අහිගුන්ටික ජීවිතය නිමා කරල ආයෙත් මං මගෙ දෙමවුපියන් ලඟට යද්දි මගෙ ළමා කාලෙ ගෙවිල ඉවරයි.

ඊට පහු කාලෙකදි ළමයෙක් විදියට  මං මූන දුන්න හැම සිදුවීමක් මැදම මනුස්සකම පරිස්සං කරගන්න උඹලගෙ මතකය මට ආශිර්වාදයක් වුනා.හැම ළමයෙකුටම තමන්ගෙ දරුවන්ට වගේම ආදරය කරුණාව දක්වන්න පුළුවන් හදවත් වගේම හැම දරුවෙක් ගෙම ජීවිත සරසවන්න පුළුවන් දෑත් තියන අම්මලත් මේ ලෝකෙ ඉන්නව කියල උඹේ අම්ම මට කියා දීල තිබුන.අද ගුරුවරියක් විදියට උඹේ අම්මගෙන් මං ලබපු ආදරය කරුණාව මාත් අනුන්ගෙ දරුවන්ට බෙදල දෙනව.

මට කවදාවත් කියන්න ලැබිල නෑ මගේ මතකෙට එක්කරපු ඒ ලස්සන කාලය වෙනුවෙන් උඹේ පවුලට ස්තූතියි කියල.අද මට කියන්න ලැබුන මුල්ම අවස්ථාවේදිම මං ඒක කියනව.හුඟාක් කාලෙකට ඉස්සර මං ගෙවපු හැම ලස්සන තප්පරයක් වෙනුවෙන්ම ස්තූතියි.ඒ මතකයෙන් පන්නරය අරගෙන අද ගෙවන හැම තප්පරයක්ම වෙනුවෙන්ම ස්තූතියි.

මේ උඹේ අම්ම මගේ ලොකු නැන්දගෙ මනමාලයා පිලිගන්න හදපු බොහොම කාලෙකට කලින් මං කියවපු(ගායනා කලා වගේ දෙයක් කරල ඒ මාමගේ බෙල්ලෙ එල්ලිලා මල්මාලයක් දැම්ම මතකයි) කවියක්.

“සිත් නිතින් පත් නෙක තුටින් මල් සුවඳ අරගෙන සිනා වෙන්නේ
පත් මෙතැන් කුමරුනි දයාබර ඔබව පිලි ගෙන ගී ගයන්නේ“

මේ වෙනකොට මේ කුමාරයා පිලි අරන් සතියකුත් ඉක්මෙලා ගිහින් හින්ද ඒ පද අදට වලංගු නෑ..

සතුට වේ දිවි මගෙහි සැනසුම රැඳුන සුව සෙත සාදනා
මංගලම් සුභ මංගලම් වේ - සදා යුගදිවි වාසනා!!!!


ඒ එක්කම උඹත් එක්ක සතුට බෙදා ගන්න බැරි උනාට මට සමා වෙයං.උඹේ ජීවිතයේ ඉදිරියේදී යහපත්ම දේවල් ලැබේවි.උඹට වරදින් නෑ.උඹේ අම්ම වගේ අම්ම කෙනෙක් ඉන්න දරුවෙකුට කවදාවත් වරදින්න විදියක් ඇත්තෙත් නෑ

16 comments:

  1. වාස්ට සුබ අනාගතයක්!!!

    ReplyDelete
  2. ඔබට සතුට ලබා දුන් ඒ පවුලේ සැමටම ජය වේවා. ඔබගේ ඥාති සොයුරියට සුභ මංගල්ලයක් වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා අපි සුභ පතමු.මට ලබාදුන් සතුට ඒ අයට සදා කාලිකවම උරුමවේවා කියල

      Delete
  3. Bus was ta Wada dawas 27 nam wedimal umba kohomada was ge ammage manamalayawa piliganne kawi kiyala?
    Patta.. Man hithanne me was ge ayyawa man dannawa.. was ta jaya mangalam.. !!!

    ReplyDelete
  4. නෑ ..නෑ වාස් මගෙ අම්මගෙ අයියගෙ දුව.කවි කියල පිලිගත්තෙ තාත්තගෙ නංගිගෙ මනමාලයව.නෑ නෑ වාස්ගෙ අයිය ඔයා දන්නෑ...ඒ වෙන පවුලක්

    ස්තූතියි මිත්තරේ

    ReplyDelete
    Replies
    1. E kiyanne kawiya kiyuwe (haduwe?) Was ge ammage? Ehemanam mage loku nendage manamalayawa piliganne ube amma liyapu' kiyala ethana wenas karanna. And one sinhala.. heh heh..
      Ayi e kawiya kiyanna was ta dunne neththe?

      Delete
    2. දන්නූ අප්ප මොකක් කියෙවුවද කියල.මං ගියේ නෑනෙ

      Delete
  5. Replies
    1. ඒ මොකැයි කුරුටු

      Delete
  6. අපූරු ළමා කාලයක් හරිහමන් විදිහට ගෙවන්න ඔයාට උරුම වෙලා තිබීම සතුටක්. මමත් පුංචි කාලෙ කාර් රේස් ගියා. හැබැයි ඒ ගෙදර තිබුණු රිම් එක අයින් කරපු පරණ ලොකු ටයර් එකකට වතුර දාලා ලී දෙකක් දෙපැත්තට දාලා තල්ලු කරගෙන යාම. ප්‍රෙට්‍රල් වෙනුවට තමා වතුර දාන්නෙ. අනික කුස්සියේ කතා සාගරය. අපේ අම්මා ආත්තම්මා තමා හොදි හැඳිගාන ගමන් පොල් ගාන ගමන් කතන්දර කියා දෙන්නේ. අද කතාව හරිම ලස්සනයි යාළු කියවන්නෙ පුදුම ආසාවකින් . ඒ වගේම ඔයාගේ ඥාති නැගණියට සුභ පැතුම්!!!.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මතක හරි ලස්සනයි නේද යාළු.අපේ දරුවන්ට ඒ වගේ කාලයක් උරුම නොවෙන එක ගැන දුකයි.ස්තූතියි

      Delete
  7. ජීවිතය ලස්සන වෙන්නෙ මේ වගෙ මිනිස් සම්බන්ධකම් නිසයි. ඒ කාලෙට ආයෙ ආපහු යන්න තියනවනම් කියලත් අපට සමහරවිට හිතෙන්නෙ මේ සම්බන්ධකම්වල මිහිරියාව නිසාමයි. ඇත්තටම අපට ආදරයක් ලැබුනොත් තමයි ඒක සමාජයට පෙරලා බෙදන්නෙ. හුඟක් කෲර අයගෙ ළමා කාලය හරිම අමිහිරියි.
    කතාව ලියල තියන ශෛලියට මම කැමතියි. එහෙම වුනහම කියවගෙන යන්න ලේසි නිසා.

    නව යුවලගෙ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා.....ඒ අය මගේ ජීවිතේ ලස්සන කරන්න දායක වුනා.ඒත් මේ ආදරේ ගෞරවේ එයාලගෙ මූණට කියන්න අවස්ථාවක් එන් නෑනේතඒ හන්ද මෙහෙම හරි කියල දැම්ම

      ස්තූතියි

      Delete
  8. යාලුව බදලද බං මෙච්චර හොටු පෙරන්නේ

    ReplyDelete
    Replies
    1. යාළුව බැන්ද...හික්...ඒත් ඌට කලින් මං බැන්දනේ...ලේසි පහසුයැ..දවස් විසිහතකට අක්ක නෙවැ මං

      Delete