Thursday, September 24, 2015

අධ්‍යයනය අපහසු ව්‍යාපාර හා මගේ ගෝලයා


මම උසස් පෙල පංති වලට උගන්වන ටීචර් උත්තමාවියක් බව දන්නෝ දනිති.මගේ අළුත් ජොබ, ජොබක්ම නොව ඊට වඩා රසවත් යමක් බව මේ ගතවුන මාස හය මට පැහැදිලි කලේය..
මම ඔහුට ගෝලයා  යයි අමතමි.මට පාසල කිරි හොද්දක් සේ දැනේ නං එහි ලුණු පුපුර ඔහු විය.මුළු වාණිජ අංශයම ගෝලයන් තිදෙනෙකුට සීමා වීම ගුරුවරුන් වූ අපත් ඔවුනුත් අතර ඇති දුරස් බව නැත්තටම නැති කර දැමීමට හේතු වන්නට ඇත.සරදම් , ඕපාදුප විෂය කරුණු හා සමෝසමේ ගලා ගියේය.


ඒ අතරින් ඔහු කැපීපෙනුනේ ඔහුගේම හැසිරීම් රටාවන් විය හැක.සීමා මායිම් තඹ සතේකට මායිම් නොකල ගෝලයා තහනම් දේ වඩා රසවත් බව විස්වාස කලෙන් අප අංශයේ අනෙත් සිසුන් දෙදෙනාම එක්ව දෙනවාට වඩා දස ගුණයක කරදර අප වෙත ගෙනාවේය.එසේම ඔවුන් මෙන් සිය ගුණයක් අප හිනැස්සුවේය.

වරකදී පාසල් නීතියට පිටුපා නෑඹිලි කට් එකක් හා එළු රැවුලක් සමඟ පාසල් ආ අතර තවත් වරක් කසි කබල් ෆෝන් කටුවක් බෑගයේ දාගෙන විත් අපව තිගැස්සුවේය.ඊටත් වඩා බරපතල චෝදනා පිලිබඳ ආරංචි වරින් වර අප වෙත හමා ආවෙන් හැම පාඩමකට පෙරම අපට බණ පදයක් දෙකක් දෙසීමට වීම දවසේ අනිවාර්යය අංගයක් විය.

මේ සියල්ලම මැද අසාමාන්‍ය දක්ෂතා කිහිපයක් හා දීප්තිමත් ආකර්ෂණීය පෞර්ෂයක් ඔහු සතු වූයෙන් ඔහු පිළිබඳ අප්‍රසන්න හැඟුම් වැඩි වෙලාවක් අප සිත රඳවා ගැනීම අසීරු විය.සරලවම අපි ඔහුගේ වහා වැටහෙන නුවණ ,ධාරණ ශක්තිය අගේ කරන අතරම ඔහුගේ පිස්සු වැඩ වලට ආදරය කලෙමු.  ඔහු අපේම දරුවෙක් යැයි සිතන තරමටම අපේ සිතෙන් ඉඩක් ඔහුට වෙන්වූයේ ඔහුගේ මේ පරස්පර විරෝධී පෞර්ෂ ලක්ෂණ නිසා විය හැක.කෙසේ වෙතත් ඔහු මගේ ගුරු ජීවිතයේ මතකයන් තුලට පායා ආවේ වර්ණවත් දේදුන්නක් පරිද්දෙනි.ඔහු පාසල් නොපැමිණි දිනවල පවා ඔහුගේ මතකයන් පංතිය හිනැස්සීමට සමත් විය.

“මිස් ගෝලයා හිටියනං මේකට මෙහෙම කියයි නේද?“

 අනිත් ගෝලයා අසන විට මට පවා  ඉබේටම සිනා ගියේය.අප පාසලේ උසස්පෙල පන්ති පටන්ගත්තේ මෙම වසරේ මැයි මාසයේදීය.ඒ වෙන විට 13 පංතියේ දරුවෝ ටියුෂන් සරණං ගඡ්ඡාමි කියමින් සදහටම පාසල අමතක කර දමා ඇති නිසා ඒ කාලසටහනට අළුත් පංති වලට ඉගැන්වීමට අප කතිකාකර ගත්තේ කාලය රන් හා සමාන යැයි සිතමිනි.ඉතින් “ව්‍යාපාර අධ්‍යයනය“ යනු කුමක්දැයි හීනයෙන් වත් දැක නොතිබි පැටවු  දෙදෙනෙකුට  ඒ විෂය ඉගැන්වීමේ භයානක ඉරණම මගේ ඔළුගෙඩිය උඩට කඩා වැටිනි.

මගේ පළමු ගෝලයා මට පත්වීම ලැබෙනවිටත් පාඩම් කීපයක්ම පසුකරමින් විෂය තුල කිමිදෙමින් සිටි හෙයින් මෙය මගේද කුළුදුල් අත්දැකීම බව මම දැන උන්නෙමි.
මා තුල වූයේ තිගැස්මකි.ආසන්න පාසල් වල උසස්පෙල ගුරුවරුන් සිසුන් හමුවේ අසාර්ථක වූ විවිධ අවස්ථා මගේ ඔළුගෙඩිය ඇතුලේ රකුසන් සේ කැරකුනි.ඔවුන් දඩබ්බර නං අපට පාලනය කල ගත නොහැකි නං කිසිඳු ලෙසකින් පුහුණුවක් නැති අසරණ මා කුමක් කරන්නද?අනෙක් අතට මගේ මුල්ම දින කිහිපය මත ඔවුන් විෂය එපාකර වීම හෝ  විෂයට ඇළුම් කිරීම තීරණය කරන බැවින් ඒ පිලිබඳවද මං තැවුනෙමි.

සියළු ස්ත්‍රි ධෛරයය එක්තැන් කරගෙන සුවාමි පුරුසයාගෙන් පුරුස ධෛරයය ටිකකුත් ණයට ගෙන මං නමෝවිත්තියෙන් පංතියට කඩා වැදුනේ දකුණ කකුල පෙරට තබා මට බුදු සරණයි කියාගැනීමෙන් අනතුරුවය.

කිසිම හැලහොල්මනක් නැතිව බිරන්තට්ටු වූ කෙල්ලෙකු හා කොල්ලෙකු තම ඩෙස්කු පිටුපස සිට මා දෙස එබී බැලූහ.
මම සියළු ධෛරයය එක් රැස් කරගෙන ඔවුන් ඉදිරියේ සිටගතිමි.

“ආයු බෝවන්“

“ආයුබෝවන් මිස්“

මුලික හඳුනා ගැනීම් වලින් පසු මම ඔවුන්ට වාණිජ විෂය ධාරාවේ වැදගත්කම හා ඒ  ඔස්සේ  ඔවුන්ට විවර වන රැකියා වෙලඳ පල අවස්ථා විස්තර කලෙමි.

වරලත් ගණකාධිකරන,ඒඒටී, ආදී වෘත්තීය පාඨමාලා විස්තර කලෙමි.අවසානයේ ඌන පූර්ණයක් ද එක් කලෙමි.

“වාණිජ විෂයන් කරන අයට ඉදිරියට යන්ට තියන හොඳ පාරක් තමයි චාටඩ් විභාගේ..කැම්පස් තේරුනොත් උපාධිය කරන ගමන්ම ඒ විභාගෙත් කර ගන්න පුළුවන් ....විෂය නිර්දේශ ටිකක් එක ලඟින් යන නිසා..ගොඩ දෙනෙක් කරන්නෙත් එහෙම..මගෙත් යාළුවෙක් ඉන්නවා කටාර් වල.උපාධියත් එක්කම චාටඩ් එxසෑම් කර ගත්ත එක්කෙනෙක්...එයාගෙ මාසෙක පඩිය ලක්ෂ 4යි..(ඇත්තටම මට එබඳු මිතුරෙක් සිටියි.ඔහුගේ වැටුප නං ගමේ ගොඩේ ඕපාදූප කතාවකින් අහුලා ගත් එකකි)


“ඇත්තමට මිස්...එච්චර ලොකු පඩියක්“ කෙල්ලගේ කටත් බාගෙට ඇරිලාය..

“නැතුව නැතුව...ඒ විතරක් නෙමෙයි එයාගෙ නෝනත් උපාධියයි චාටඩුයි දෙකම කරගෙන ඒ රටටම ගිහින්..එයාගෙ පඩියත් ඒ වගේමයි..

“එතකොට මාසෙකට ලක්ෂ 8ක්..බුදු අම්මෝ මිස්“...

“ඒක තමයි මාත් ඔයාලට කිවුවේ....ඉස්සරහට යන්න තියන එකම පාර කැම්පස් එක නෙමෙයි..ඒත් ඒක අනිත් පාර වල් එක්ක බලනකොට අපි වගේ දුෂ්කර පලාත් වල අයට ලේසි ෂෝට් කට් එකක් ..හිතල බලන්න ඔයාලට  ලක්ස 8කින් කරන්න පුළුවන් දේවල්...සතුට සල්ලි වලට ගන්න බැරි උනත් ගොඩක් අයට ඒ සල්ලි වලින් සතුට ගේනත් දෙන්න ඔයාලට පුළුවන්“

“මට නං එක ලක්ෂ 4ක් තිබුනොත් ඇති මිස්“ කොල්ල ගත් කටටම කිවුවා...ඇති යාාාාාාාාාාංතං තව පොඩ්ඩෙන් මං මේ දරුවා ගොළුවෙක් කියල හිතනව

“ආ  ඒ කියන්නේ  ඔයාටත් තේරුනා නේද චාටඩ් එකවුන්ටන් කෙනෙක් වෙන එකේ වැදගත් කම“මම ඇහුවේ දරුවෝ මං කියූ දේ අවබෝධ කර ගරනීම නිසා ඇති වුන අහංකාරය ටිකක් හංගා ගන්නා ගමන්ය.

“න්න් නැහ් මිස්“

“නැහැ???????????????“

“එහෙනං...මං හිතුවේ ඔයා ඒ වගේ වෘත්තීය විභාගයක් කරන එකේ වැදගත්කම තේරුම් ගත්තයි කියල“

“ඔ ඔ ඔවු මිස්“

“මට ඔයා අදහස් කරන දේ තේරෙන්නෑ පුතේ“...ඇත්තටම හොල්මං වී ගිය මම කුතුහලයෙන් පිරීගිය බැවින් ඇසීමි.

“ ඔය විභාග වලට  ගොඩක් මහන්සි වෙලා පාඩම් කරන්නත් ඔනනේ මිස්“

 “අනිවාර්යයෙන්ම“

ඉතින් මට ලක්ෂ 4 ක් ඇතිනේ මිස්“..

 “ඔවු

“ඒ ගාන ඇති එකේ...පාඩම් කරනවට වඩා ලේසිනේ මිස් අර වගේ නෝන කෙනෙක් ගත්තාම“

මම ජීවිතේ පළමු වරට මිනිත්තු කීපයකට ගොළුවී ගියෙමි.
ආරම්භය එසේ විය.
ඔවු ඇත්තටම ඒ ආරම්භයම පමණි..


16 comments:

  1. උසස්පෙළ කරපු කාලේ මතක් උනා.. මට දේශපාලන විද්‍යාව උගන්නපු ටීචර් දේශපාලන විද්‍යාව උගන්වන්න බැහැ කිව්වා මට. ඒ ගමන මම භූගෝල විද්‍යාවට මාරු උනා. කාලයක් යද්දී දේශපාලන විද්‍යාව තෝරගත්තු එවුන් එකා දෙන්න භූගොලේටම සෙට් උනා.. ටීචර්ගේ වරදක්ද අපේ වරදක්ද කියල තාම හිතාගන්න බැහැ . අහෝ දේශපාලන විද්‍යාව..

    ReplyDelete
    Replies
    1. මගේ ගෝලයෝ නං තාම මාරු උනේ නෑ.....ඒක ඉතින් ගුරුවරුන්ටම දොස් කියන එක වැරදියි.උපාධි කාරයින්ට විභාගයක් තිබ්බා..ඉන්ටවීව් එක තිබ්බා.පත්වීම් ලිවුම ගෙදරට එවුව අහවල් තැන වැඩ බාර ගනින් කියල.ඉස්කෝලෙට ගියාම කාලසටහන අතට දුන්න උගන්නපං කියල.අපි හදෙන් එතෙන්ට බැහැල වගේ.මක්කෙයි ඉතින් කරන්නෙ.

      Delete
  2. අපෝ මුන් හොදයි! අපේ මිස් අපිට කිව්වේ A3ක් ගත්තම කෙල්ලෝ පස්සේන් එනවා....ඒ හින්දා පාඩම් කරන්ඩ කියලා....අපි ඇහුවේ ඒක විලෝමයත් හරිද කියලා....කෙල්ලෝ පස්සෙන් ආවොත් A3ක් ලැබෙනවද කියලා!!

    හැබැයි ඩයල් එකගේ කතාවත් හරි තමා!! හැබැයි ඉතින් එච්චර පඩි ගන්න එකක් ඉතුරු වෙලා හිටියොත් තමා!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මලයා නං ඉතින් විලෝමය ක්‍රියාත්මක වෙනකල් බලන් හිටිය වෙන්ඩෑ..............

      Delete
  3. උසස් පෙල කාලයට ගියා ආපහු. අපිට ව්‍යාපාර අධ්‍යනය කරපු සර්ගේ පිරියඩ් එකේදි අපේ පන්තියේ උන් විනෝද සමය සජීවීව පෙන්නුවා හැමදාම

    ReplyDelete
    Replies
    1. අපේ උන් දෙන්න නං දඩබ්බර නෑ.ඒත් උන්ට උගන්නන්න කම්මැලිත් හිතෙන්නෑ.ඔක්කොම නරි නාටක අස්සේ උන් සබ්ජෙක්ට් එක ගොඩ දාගන්නවා.ඒකම මදැයි

      Delete
  4. ගෝලයාගේ අදහසත් නියමයි නේ....... ලේසියි පහසුයි..............

    ReplyDelete
  5. ගෝලය ඇවිත් පස්ට පොරක්..
    නව්‍යෝත්පාදනය හැක් ඌ කියන එක වරදක් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නේද?කටු කකා පාඩම් කරනවට වඩා කොච්චර සුන්දරද ඒ ජීවිතේ

      Delete
  6. පැහැදිලි අනාගතයක් තියෙන කොල්ලෙක්..

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා මිත්තරේ...ඕක කොයි අන්තෙන් පැහැදිලි වෙයිද මන්දා

      Delete
  7. Replies
    1. ඔය කිවුවේ කෙල්ලෙකුත්.අපි කොහොමෙයි ඉතින් මේ කොල්ලො හරියට හදා ගන්නේ

      Delete
  8. මූ යකෙක් නේ.... මූව ඔය මාර්කටින් පැත්තට යොමුකලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු ..මිනිස්සු අන්දන්නනං හරිම සූරයා.කෝකටත් ඉස්සෙල්ල ඒ ලෙවල් ගොඩ දාගන්න එපැයි

      Delete