Friday, August 28, 2015

වදනින් නොකී ආදරේ



මගේ බාල විය ගෙවී ගියේ හුදෙකලාවම නොවේ...හූ හඩක් ඇසෙන නොඇසෙන මානයේ තවත් මනුස්ස වාසයක් නොතිබුනත් මගේ හීන තුරු ලතා හා ආදරණීය - වඩාත් ආදරණීය චරිත රැසක් එකල මා වටා විය.මගේ බාල විය ගෙවී දශක දෙක හමාරක් ගතවී ඇතත් ඒ මතක තවමත් මා හුදෙකලාවෙන් රැක ගනී.


ඔවුන්ගෙන් මුල් තැන ගත්තේ ටෝනිය.ඔහුගේ මරණය හැර ඔහු මගේ ජීවිතයට එකතු කලේ ඉතා සුන්දර අත් දැකීම් සමුදායකි.

මා ඉපදෙන විට ඉතා දුෂ්කරව ජීවත් අම්මාටත් තාත්තටත් හැකි වූයේ අළුත උපන් දරුවා ගෙන ඒමට කබොක් ගලින් බිත්ති බැඳ වහලයක් ගසා ගත් එක් කාමරයක් හදා ගැනීමට පමණි.කුඩා මාත් අම්මාත්  නිදා ගන්නා රාත්‍රින් වල බිත්ති දිගේ ඇවිදින සර්පයන්ගෙන් අප ආරක්ෂා කිරීමට තාත්තාත් ටෝනිත් අවදිව සිටියාළු.දවසම පොළව සමඟ පොර බදන තාත්තා වෙහෙස නිසා නොදැනීම නිදි කිරා වැටෙන විටත් අවදිව සිටි ටෝනි අනතුරක් දැනුනු වහාම සෙසු බල්ලන් කරන්නා සේ මහ හඩින් බුරා නොවැටී තෙත දිවෙන් තාත්තාගේ කන ලෙවකා ඔහුව අවදි කලේ මා අවදි නොවන ලෙසළු.


එකල කුස්සිය වූයේ අප මා තබා තිබූ කාමරයෙන් මීටර් 50 පමණ එහායින් වූ මඩුවකි.තාත්ත වත්තට යද්දී අම්ම කුස්සියට යද්දී මගේ ආරක්ෂකයා වී ඇත්තේ ටෝනිය.අම්මාට හා තාත්තට හා වත්තෙ වැඩට සිටි ඩෙකර්ටත්  හැර වෙන කිසිවෙක් මා බැලීමට කාමරය තුලට ඇතුළු වීමට ඔහු අවසර දුන්නේ නැතිළු.වෙනත් අයෙක් ඔවුන් තිදෙනාගෙන් අයෙකු සමග කාමරයට ආවත් ටෝනිගේ සාංකාකූල ඇස් ඔහුගේ හැම චලනයක් දෙසම නිහඩව යොමුව තිබුනාළු.


යන්තම් දණ ගාන මා රබර් කට්ටියට ගෙන ගොස් සෙල්ලම් බඩු කිහිපයක් ළඟට දී  ආරක්ෂාවට ටෝනිව ලඟ හිඳුවා අම්මලා කිරි කැපීමට යයි.එතැන් සිට මගේ ආරක්ෂකයා මෙන්ම සෙල්ලම් සඟයාද වන්නේ ඔහුය.මගේ පිරිමැදීම් කෙනිත්තීම් මිරිකීම් හැකි පමණ දරා සිටියේ ඇතැම් විට වේදනාවෙන් කෙඳිරි ගාමින්ළු.දරා ගත නොහැකිම තැන වැතිර සිටි තැනින් නැගිට වෙනත් තැනක වාඩි ගන්නවා හැර දත් විලිස්සීමට වත් මා පෙනෙන මානයෙන් ඉවත් වීමට වත් ඔහු කිසිදා උත්සහා කලේ නැතිළු.


මා වැඩෙද්දී..අපේ ගෙදර නැවතී මා බලා ගැනීමට අයෙක් පැමිනෙද්දී ටෝනි සිය ආරක්ෂක වලල්ල වත්තේ හතරමායිම දක්කාම පුළුල් කලේය.මට ඔහු අහිමි වූයේ එබැවිනි.වත්තේ මායිම් මොනවාදැයි හොඳින් දැන සිටි ඔහු පොල් ඉරටුවක් වත් කාටවත් ගැනීමට ඉඩ දී නැත.එසේ පැමිනෙන ඕනෑම අයෙකුගේ සිරුරේ ඕනෑම ස්ථානයකට සිය තියුණු දත් කිඳා බැස්සවීමට ඔහු පැකිලී නැත.එබඳු අයෙක් දුන් වස නිසා කැලයේ කොල පාටට වමනේ දමමින් මරනාසන්න ව හුන්  ඔහු අසබඩ මා විලාප දී හඩා වැටෙද්දී අඩන්න එපා කීමට මෙන් ලා දුඹුරු පාට වලිගය යන්තම් එසවීමට ඔහු ගත් උත්සහය මට තාමත් කඳුළු නැති දෙනෙතකින් සිහිපත් කල නොහැක.


ලකී අපේ ගෙදරට ආවේ කෙසේදැයි මට මතක නැතත් මල්ලීට මතක තියේ.ඔහු පවසන ආකාරයට ලකී ගෙනවිත් ඇත්තේ අපේ ගෙදර වැඩට හිටි ඩෙකර් විසිනි.ඌ ලැයිමේ සිට ගෙන ආ බැවින් දෙමල බල්ලෙකි.තනි කළු කැහුටු සිරුර මට තාමත් මතකය.ලකී ජීවයෙන් පිරි ආදරණීය අයෙක් වුවත් කවදාවත් පුෂ්ටිමත් බල්ලෙකු වූයේ නැත.කුමක්දෝ හේතුවකට මට ඔහුගේ බාල විය සිහිපත් නොවේ.ඊට හේතුව විය යුත්තේ පාසල් යාම සදහා නෑ ගෙවල් වල නැංගුරම් දාපු අහිකුන්ටික ජීවිතයක්  මා ගත කිරීම විය යුතුය.

 හය වසරේ සිට යලිත් අම්මලා සමඟ ගෙදර විසීමට හැකි වූයේ ඒ වන විට දිනකට හතර වරක් ධාවනය වන සී ටී බී බසයක් ගමට ලැබී තිබුන නිසාය. උදේ 6.10 බසයෙන් පාසලට යා හැකි අතර හවස 2.20 බසයෙන් යලි පැමිණිය හැක.මේ අවධිය වන විට මල්ලීද පාසල් යාම ආරම්භ කලා පමණි.ලඳු කැලෑවල සැඟවී දරුවන් බිලි ගන්නා දූෂකයන් ගැන බියකින් තොරව ගලා ගිය ඒ යුගයේ මල්ලීත් මාත් තනිව බසයට එවීමට වැඩිහිටියෝ බිය වුනේ නැත.උදේ බසය සඳහා අප ගෙදරින් පිට වන්නේ 5.30ටය.පෙරමුනේ රාල ලෙස ලකී ඉදිරියෙන්ම යයි.පාර හරහා සර්පයන් මාරු වේද වල් ඌරෙකුගේ ඉව දැනේදැයි ඔහු විමසිලි මත් වෙයි.ඊළඟට උණ බට පන්දම ගත් මාය.පන්දම සදා ඇත්තේ උණ බටයක පුරුක් 2ක් කපා එක් කොනක පුරුක ඉවත් කොට ඒ තුලට ලාම්පු තෙල් වක්කර රෙදි වලින් ඇබයක් ගැසීමෙනි.තෙල් වලින් පෙඟුනු රෙදි ගුලිය ඇවිලෙද්දී හතර වටේටම එලිය විහිදේ.ඌරන් හා සර්පයින් අපේ මගින් ඉවත් වේ.


වැසි දිනයකදී මේ පෙරහැර වෙනස් වේ.මල්ලී කරට ගත් තාත්තා පන්දම අතට ගනී.වතුර සමග බද්ධ වෛරයක් සමඟ ඉපදුනත් ලකී සිය වගකීම පැහැර හැරියේ නැත.අප කුඩ රේන් කෝට් වලින් ආවරණය වෙද්දී නිරුවත් සිරුරේ දිය බේරෙද්දීත් ලකී හැමදාම අපේ උදේ පෙරහැරේ පෙරමුනේ රාල වී සිටියේය.ඒ මදිවාට අප ඇරලා ගෙදර එන විට “ගෙයි කූඩැල්ලන් හලනවා ..යනවා එලියට “කියමින් බැන වදින අම්මාගේ කෙනෙහිලි කම්ද දරාගෙන සිටියේය.


අප බසයට ඇරලවා ආපසු යන ලකී යලි හවස අප ආපසු එක්කාගෙන යාමට පැමිනෙයි.2.20ට දැරණියගලින් එන බසය  හවස 3 වෙද්දී ගමනාන්තයට ලඟාවෙයි.කන දෙපසට ඇඳ දත් දෑන්දම පෙන්වන ප්‍රීතිමත්  හිනාවකින් හා දඟර නැටුමකින් අප පිලිගන්නා ලකී ගෙදරට පිටත් වෙයි.ඇල කටවල් 03ක් පසුකර යා යුතු ගමන ඇත්තෙන්ම විචිත්‍රවත්ය.අපි සුවඳ වැඩි කමට සිපගත් කල ඔළුව කැක්කුම ගෙනෙන ගොඩ මානෙල් හා සමනල මල් කඩමු.අහම්බෙකින් වල් හාවකු දුටු විට ඌ අල්ලන්නට දුවමු.නැත්නම් කොතන හෝ ඇල කටක නැවතී බෙල්ලෙ එල්ලන් සිටින වතුර බෝතල් වලින් හා කෑම පෙටිටි පියනෙන් මාළු අල්ලමු.ඒ මුකුත් නැත්තං ඇලට කෙල තලියක් ගසා මාළුන් ඊට පොර කන අයුරු බලමු.මේ හැම අවස්ථාවකදීම ඉවසිලි මත් බවක් පලකරමින් විපරම් ඇසින් ලකී අප අසලම හිදී.ඔහු සැබවින්ම ඉතා විචක්ෂණශීලී ගමන් සඟයෙකි.මා හවස පන්ති ඇති දවසට 2.20 නොපැමිණි කල හවස 5.30 බසය එන වෙලාවට පැමිණීමට තරම් ඔහු බුද්ධිමත්ය.


එසේම ඔහු පවුලේ ආරක්ෂකයා බවට තමා විසින්ම පත් කරගෙන හිටියේය.දවසක් ගොළු කුමාර අයියා විහිළුවක් කරන ගමන් තාත්තාට අතින් සුළු පහරක් දුන්නේ නිකමටය.එදා සිට අපේ ගෙදර හැදුන වැඩුන කුමාර අයියාට ලකී ආදරේය.ඒත් අපේ තාත්තාට ඊට වඩා ආදරේ බැවින් එක්වරම කඩා බැන කුමාර අයියාගෙ තට්ටමේ රස බැලීමට ඔහු දෙවරක් හිතුවේ නැත.එය ඇත්තටම විහිළුවක් බව ඔහුට අවබෝධ කර ගත හැකි නොවුනත් ඉන් අනතුරුව මල්ලීත් මමත්  කුමාර අයියා සමග පෙර පරිදිම සෙල්ලම් කල බැවින් සතියකට පමණ පසු කුමාර අයියා දකින විට කෝපයෙන් දත් විලිස්සීම නවතා දැම්මේය.


දවසක් අප රුවන්වැල්ලෙ මහගෙදර  ගියේ සියළු ජනෙල් දොරවල් තද කොට වසා දමා අමතක වීමකින් ඉදිරි දොර හායි ගා හැර දමාය.අපේ නොසැලකිල්ල වටහා ගත් ලකී සිය යුතුකම අකුරටම ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය.අප ගෙදර නැති වුනත් පොල් කඩා දාන ලෙස  යන ගමන් විස්වාස වන්ත ලැයිමේ වාසියෙකු වූ චන්ද්‍රන්ට කීවෙමු..


නමුත් ආපසු එන ගමනේදි අප නවත්වා ගත් චන්ද්‍රන් කීවේ
“මැණිකෙ කෝමද පොල් කඩාඩාඩාන්නෙ..බල්ල මිදුලටවත් යන්ඩ දුන් නෑනේ කියාය...“


හැමදාම තම පංගුවෙන් කරවල කට්ටක් දෙකක් ලකීට දෙන චන්ද්‍රන් අවිස්වාස කිරීමට හේතුවක් නැති බැවින් අපි මවිත වීමු.මීට පෙර අප කිසිවෙකු නැති දවස් වල ලැයිමෙන් බත් ගෙන ගොස් දී ලකී ඉතා ආස කරන කුරුම්බා ලොඳද උගුල්ලා දුන් ඔහුට  ලකී ඇළුම් කල අතර ඔහු පැමිනෙද්දී පෙර ගමන් ගොස් පිළිගැනීමට තරම් සුහදව හිඳ  එක්වරම නපුරු වූයේ ඇයිද යන්න මහත් ගැටළුවක් විය.අප ගෙදරට ගොඩ වන විටදී ගොළු කුමාර අයියා දොරේ පිල මත වාඩි වී හිටියේය.


“මෙයා කොහොමද දොර ඇර ගත්තේ“ තාත්ත තමාටම මෙන් කියා ගන්නා හඩ මටත් ඇසිනි


ඔහු ලකී සිය ප්‍රීතිමත් ඉරියවු සියල්ල විදහා පාමින් අප පිලි ගත් අතර,කුමාර අයියා අතපය විසිකරමින් ගොළු බසින් කියූ කතාවේ සාරාංශය මෙසේ විය.

අප උදේ පිටත්ව ගොස් ඇත්තේ දොර හැර දමාය.ගෙදර කිරි කැපීමට එන මනුස්සයාටවත් පොතක් ඉල්ලා ගැනීමට පැමිණි එහා ගෙදර මල්ලිටවත් චන්ද්‍රන්ටවත් මිදුලට පය ගැසීමට වත් ලකී ඉඩ දී නැත. 
 කුමාර අයියාට පමණි ලකී නිවස ඇතුලට යාමට ඉඩ දී ඇත්තේ.කාමරයක් කාමරයක් පාසා ගොස් අප සොයා බැළු කුමාර අයියා පසු පස ලකීද ගොස් ඇත. ඔහු  නිවස තුල වූ  කිසිවකට අත තැබූ සැනින් ලකීගේ තරහ මූන එලි දැක්විනි.

අසරණ බල්ලා බඩගින්නෙ බැවින් කුමාර අයියා තමන්ගේ නිවසින් බත් ගෙනැවිත් වෙනදා දමන පිඟානට දැම්මත් ඔහු කෑමට ගොස් නැත.දොර හරස් කරමින් පඩිය පාමුල පා පාපිස්සේ වකුටු වී සිටියාළු.බත් පිඟාන එතැනටම දුන්නාට පසු ඔහු කෑවාළු.අන්තිමේදී අප පැමිනෙන තුරු කොල්ලාද බල්ලා අසල හිඳ බලා සිටියාළු.


  මල්ලී පාසල් නොගිය එක් වැසි දවසක් දවසක් මට මතකය.හවස පංති තිබෙන බව මම අම්මාට කීවෙමි.තාත්තා කොහේ හෝ දුරකට ගොස්ය.එදා ගඟ එක්වරක් පිටාර ගලා පසුව බැද ගියත් නැවත උතුරා යාමේ අවධානමක් ඇති බැවින් සවස පංති අවලංගු කරනු ලැබුවෙන් මම 2.20 බසයේ ගෙදර ආවෙමි.එකල මහ ඇලට බෝක්කුවක් දමා නොතිබු අතර අනිත් දින වල ලැසි ගමනින් ගලා යන දිය පාර වැසි දා පිම්බී සැඩ වන්නේ අලියෙකු වුව ගහගෙන යාමට හැකි අයුරිනි.එසේ ගහගෙන යන කවරෙක් වුව යාර කිහිපයක් යාමට කලින් ගලක වැදී හිස් කබල බිඳි යාම නොවැලැක්විය හැකි ඉරණමක් බැවින් වැසි දින වල අප ඇලෙන් එගොඩ කර ගැනීමට අම්මා හෝ තාත්තා පැමිණීම අනිවාර්ය දෙයක් විය.මා කලින් බසයේ නොඑන බව දැන සිටි අම්මා ඇලේ සැඩ පහර ගැන නොසිතුවත් ලකී සිය සුපුරුදු රාජකාරි ගමන හද්දා වැස්සේද අරඹා තිබිණි.නමුත් ඉදිමී තිබූ ඇල ඔහුගේ මග හරස්කොට ඇති නිසා උඩු බුරලමින් විලාප තියමින් ඔහු එගොඩට වී සිටියේය.මට තනිව එගොඩ විය නොහැකි බව පැහැදිලිය.





මම අම්මේ අම්මේයි ..හඩ ගෑවත් වැස්ස මගේ හඩ වෙනතක ගෙන ගියේය.තනිව කෙසේ හෝ එතෙර වීමට මම ඉටා ගතිමි.මා පයක් ඉදිරියට තිබ්බා පමණි..ඊට පෙර හෝ පසු කවදාවත් ඔහුගෙන් අසන්නට නොලැබුනු  විලාපයක් නගමින් ලකී දියට පැන්නේය..ඔහු මඳ දුරක් ගහගෙන යද්දී  විලාප තිබ්බේ මමය.ඇල කණ්ඩිය අයිනේ සැඩ පහර වඩා රළු නොවූ බැවින් ඔහු දඟලා යන්තමින් ඉවුරට ගොඩ විය.මම මගේ පය ආපස්සට ගත්තෙමි.ඔහු හති ඇරීම සඳහා වාඩි වූයේය.මම නැවතත් පය පෙරට තිබ්බෙමි.ලකී කෑ ගසමින් සතර පයෙන් සිට ගත්තේය.ඔහු නැවත දියට පැනීමට පෙර මම පය ආපස්සට ගතිමි.

අපේ හඩ ඇසුණු ඇල  ලඟ ගෙදර මාමා පැමිණ මා ඔහුගේ නිවසට රැගෙන ගියත් හිතුවක්කාර මා නැවත දියට පැනීමට ඉඩ ඇති බැවින්  මහ වැස්සට තෙමෙමින් බට පඳුරක් යට ඔහු වාඩි වී රැකවල් ලා සිටියේය. හවස 7ට පමණ ගෙදර යන ගමන් තාත්තා මා ද රැගෙන යාමට පැමිනෙන විටත් සීතලෙන් කට කට ගා හැහෙමින් එතැනම හිඳ ඔහු ඇල දෙස බලා සිටියේය.

ලකී වයසට යන විට විකී අපේ ගෙදරට පැමිණියේය.අනතුරුව අපේ ගමන සඟයා වූයේ විකීය. තවදුරටත් ඇවිදීමට වාරු නැති ලකී දවසම වැලිගොඩේ නිදා හිටියේය.දවසක් අප කැටුව යාමට පැමිණි විකී ඉතා නොයිවසිලිමත් බවක් පලකලෙන් ඔහුට අනුව අපිත් නිවසට දුව ගියෙමු.එදා අම්මාත් තාත්තාත් නොසිටි දිනකි.ලකී දෙහි ගස යට ඇද වැටී සිටි අතර දිමි ඔහුගේ ඇඟ පුරා සිටියේය.අපි අඩමින් වතුර ගැසුවේ දිමි පලවා හැරීමටයි.අප දුටු ඔහු එක්වරක් අප දෙස බැළුවේය අනතුරුව දෑස් පියා ගත්තේය.අපි හඩමින් ඔහුට කතා කලෙමු.විකීද ඔහුට ලංව ඔහු දෙස බලා හුන්නේය

ලකී...ලකී..ලකී

අපි හඩනු කෑ ගසනු එගොඩ කන්දට ඇසී ඩුබායි සීයා දුවගෙන ආවේය.ලකී දෙස පරික්ෂාවෙන් බැළුවේය.මල්ලීත් මාත් බලෙන් මෙන් ඇදගෙන ගේ තුලට ගියේය.

“ලකී මැරිලා“

අපි හඩා වැටුනෙමු.අප දැක මියැදෙන්නටම ඔහු පණ ඉතුරු කරගෙන සිටින්නට ඇත.

 ජීවත්ව උන් කාලයේ අප හොඳට ඔහුට සැලකූ බැවින්ද ඉතා හොඳ ගුණ යහපත් බල්ලෙකු වූ බැවින් ඔහු හොඳ ලෝකයකට යන්නට ඇති බැවින්ද අප දුක් නොවිය යුතු බව පවසද්දී තාත්තාගෙ ඇස් වලත් කඳුළු තිබිණි.අදටත් මට මගේ ජීවිතයේ සිදුවූ වේදනාබරම අහිමි වීම ඔහුය.

විකී මට අහිමි වූයේ බසයට අසුවෙලාය.මා එතැයි සිතා ඔහු 2.20 බසයට ආවත් මට එදා සවස පන්ති තිබුනි.ලකී මෙන් විචක්ෂණශීලී බුද්ධියක් නැති හිතුවක්කාර බල්ලෙකු වූ විකී ඒ බස්එකට අසුවී මිය ගොස් තිබිනි.එදා සිට අද දක්වාම අපේ බල්ලන්ට ඇලෙන් එගොඩ වීම තහනම්ය.අණ්ඩපාල බල්ලෙක් දෙන්නෙක් ඒ තහන්චි බිඳ නොදැම්මාම නොවේ.

ලකීගේ ඇඹණීය වූයේ ලස්සන බූල් වලිගයක් සහිත උණුසුම් හදැති ලයිකාය.ඇය මෙන්ම ඔවුන්ගේ පැටියාද ඉතා අඩු වයසින් අප හැර ගියේ ලකීගේ මරණයටත් පෙරය.මා පාඩම් කරද්දී මේසය යට නිදන ලයිකාගේ බූල් පිරුණු සිරුරේ උණුසුම නිදි මත මගෙන් ඈතට ගෙන ගියා පමණක් නොවේ මගේ තනිකම පාළුවද නැසුවේය.


මා බල්ලන්ට පිස්සුවෙන් ඇළුම් කරන බව දත් නගරයේ සිල්ලර වෙලඳසලක් හිමි මාමා කෙනෙක් මා පාසල් ඇරී එද්දී බල්ලෙකු පෙට්ටියක දමා පාර්සල් කර මට දුන්නේය.මම ඔහු ගෙදර ගෙනාවෙමි.මගේ බළු පිස්සුව දරා හිඳීමට තරම් මේ වන විට ඉවසීම ප්‍රගුන කරගෙන සිටි අම්මා වෙනසක් නැතුව ඔහුද බාර ගත්තේය.ඉතා ක්‍රියාශීලි බල්ලෙක් වූ ඔහු රෙදි පටියක් බෝලයක් කෝටුවක් සමඟ දවස පුරාම වුව සෙල්ලම් කිරීමට සැදී පැහැදී සිටියේය. ඔහු මට අහිමි කලේ තඩි පිඹුරෙකි.කුරු බල්ලෙක් වූ පැටී සඳහා පිඹුරා දමා තිබුනේ එකම එක වෙළුමකි.කෝපය ඉහ වහා ගිය තාත්තා අධි ශක්තියකින් මෙන් පිඹුරා මරා දැමුවත් ඒ වන විටත් පැටී අප දමා ගොස්ය.තාත්තා ඔහු ඔසවා ගන්නා විට මස් වැදැල්ලක් සේ ඔහු නැමුනේය.කටින් ලේ දහරාවක් වැක්කෙරිනි.ඔහුගේ හැම ඇට කටුවක්ම බිඳී ගොස් තිබිනි.ඉතා කුඩා කාලයකට පැමිනි පැටී නොයන්නම අපේ හදවත් වල ලැගුම් ගත්තේ පිඹුරන් පිලිබඳ ජන්මාත්තර වෛරයක් අපට ඉතිරි කර දෙමිනි.


“භාණු“මමත් මල්ලීත් සීයාගෙන් හොරකම් කර ගෙන ආ බල්ලාය.අප කොපමණ බල කර ඉල්ලුවත් සීයා ඌ අපට දීමට කැමති වූයේ නැත.අපි පරාජව පසුබැස ගියත් බාප්පාගෙ ඇඹෙනිය දුරකතන ඇමතුමක් දී අපට කියා සිටියේ මේ බළු පැටියා තමාට මල වදයක් බවත් සීයා උදේ කිරි කැපීමට යන බැවින් ඒ වෙලාවට පැමිණ බළුපැටියා රැගෙන යා හැකි බවත්ය.


සොර කම් කිරීමේ ආදීනව ගැන දේශනයක් තාත්තාගෙන් බලාපොරොත්තු වුනත් ඔහු කලේ සිනාසීම පමණි.
සීයා බනියි“ අම්මා කීවත් අපි එය ද නොතැකුවෙමු.අපට මග වියදම් තාත්තා සැපයීය


මමත් මල්ලීත් පාන්දර 6.30 බසයේ පිටත් වූයෙමු.දැරණියගලින් බසයට නැග්ගේ කඩේකින් ඉල්ලා ගත් කාඩ්බෝඩ් පෙට්ටියක් සමඟමය.උදේ 10.30 වන විට අපි මහ ගෙදරට ගියෙමු.නිදන් උන් බළු පැටියා ගෙඩි පිටින්ම පෙට්ටියට ඔබාගත් අපි එය පිහියකින් සිදුරු කපා බාප්පගේ ඇඹෙනිය දුන් ලණුකින් පෙට්ටිය බැඳගෙන තේ බීමටවත් නොසිට ඒ බස් එකේම ආපසු ආවෙමු.

ඊට පසුදාම සීයා බළු පැටියා බැලීමට අප ගෙදරට පැමිණියත් ආපසු ඔහු ගෙන ගියේ නැත.බල්ලා කඩල මරුවෙක් බව පැවසීමට පැමිණි බව අපට කීවේය.එතැන් සිට ඔහු වෙනුවෙන් අප අකමැති කඩල කෑමට අපි සැදී පැහැදී හිඳිමු.තව දුරටත් ගුණ දේවල් නොකන බව කියමින් අපට බැන වැදීමට අම්මාව සිදු නොවීය.

ඔහු බෙල්ලෙ හඳක් හා කකුල් වල සුදු මේස් දමා සිටින ඉතා කාරුණික හදවතක් හිමි බල්ලෙකි ..අද වන විට ඇස් පෙනීම අහිමිව වයස්ගතව සිටියත් ආදර රඟපෑම් තවමත් වියපත් වී නැත
.
නැගිට නැට්ට වනවනා ඔහු පාර දිහා බලා ඉන්නවා නම් පවුලේ කවරෙක් හෝ පාර දිගේ නොපෙනන දුරක එන බව ගෙදර ඇත්තන්ට දැන ගත හැක.

ඔහුගේ ඇඹෙනිය කුක්කු මැණිකා විය.ඇය ගෙනාවේ අම්මාගේ ගමෙනි.මා දකින විටත් වැඩුනු පැටියෙකු වූ ඇය කාඩ්බෝඩ් පෙටිටියක ඔබාතැබීමට නොහැකි තරම් සවිමත්ය.විලාප දෙමින් පහුරු ගාමින් ඇය එලියට ඒමට තැත් කලාය.

විලි ලැජ්ජාවවට වඩා බළු සුරතල් වටිනා බැවින් රෙදි කැබැල්ලක් ගෙන ඇය ඔතා ගනිද්දීත් ඇය නිසොල්මන්ව හුන්නාය.මම ඇය හරහට වඩා ගතිමි.මගේ උරහිසට හොම්බ තියා ඇය නින්දට වැටෙද්දී අපි දන්නොරුවේ සිට බස් 03ක දැරණියගලට පැමිණියෙමු.එක් බසයකදී මා දරුවෙක් වඩා ගත් අයෙක් බව සිතා ආසනයක් දෙන ලෙස කොන්දොස්තර වරයා කෑ ගසද්දී තාමත් පාසල් යන මගේ මූන රතුවිය.ඒ බල්ලෙක් බව හඳුනාගත් බසයම සිනා සාගරයක ගිලෙද්දී ගැස්සී අවදි වුවත් ඇය දැඟළුවේ නැත.

ඇය නිසා අසරණ භානු මුහුන දුන් දුක් කරදර නිමක් නොවීය.රැලේ යන කාලෙට අහල පහල පර බල්ලන් 10-15 කෙල හලමින් අපේ ගෙදර දෙස බලා හිඳී.
එය භානුගේ ඉවසීමේ සීමාව නැති කරන්නකි.ගෙදර උදවිය එකතුව ගෙදරටම ගෙනවිත් දුන් පැණි කැවුම වෙන එකෙකුට දීමට ඔහු සූදානම් නැත.ඔහු ගුගුරා හැලෙයි.බළු පොර බේරීමට අපි වතුර බාල්දි අරන් වත්ත වටේ දුවමු.

උන් එලවා ඔහුගේ අයිතිය ලබා ගැනීමට ගල් කැට පොලු කෑලි වලින් ආක්‍රමණිකයන්ට පහර දෙමු

ඔවුන්ගේ විවාහයෙන් දරු තිදෙනෙකු ලැබුවත් එක් අයෙකු ළමා වියේදීම මිය ගිය අතර අනෙකා මගේ ළමා වියේ මිතුරිය රැගෙන ගොස් “චබී“යන නමදී ආදරයෙන් ඇති කරගනු ලැබ මෑතකදී මිය ගියේය.

අනෙකා භාණුගේ ලොම් කබාය කිසිඳු මයිලක වෙනසක් නැතුව උරුම කර ගෙ හිටි නිසා “චූටි භානු“ ලෙස නම් කල අතර  පසුව “චුට්ටං කොල්ලා “ යන ආදර නාමය ඔහුට දුනිමු.ඔහු තාමත් ගෙදර හිඳි.පිය පාර්ශවයේ විචක්ෂණ නුවන හෝ මවු පාර්ශවයේ සංසුන් බව උරුම නැති ඕපපාතිකයෙක් බදු ඔහුට දඟ කාර ආදරණීය හදක් උරුම වුවත් කල්පනා ශක්තියක් නම් ඇත්තේම නැත.ඒ නිසාය මල්ලී ඔහුට “ගොං බල්ලා “ලෙස බැන වදින්නේ.එවිටද නැට්ට වනන ඔහුගේ සාමාන්‍ය බුද්ධිය ගැන අපට ඇත්තේ සැකයකි.අනෙක් කවර බල්ලෙකුට වුවත් එසේ බැන්න විට කන් බිමට නවාගෙන මරණීය පෙනුමක් ආරුඩ කර ගනු ඇත.


ගෙදර අප ගේ පමණක් නොව ගෙදර ඉන්නා සෙසු සතුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම  ද ඇත්තේ තමන්ට බව භානු සහ භානු සිතාගෙන සිටියි. ඒ නිසාය ඔවුන් දෙදෙනා එකතුව කළු මල්ලීට පහර දුන් කොල දිවියෙක් මරා දැමුවේ.


කළු මල්ලී යනු පූසෙකි.දවසක් අපි රෑ කමින් සිටියදී වහලයෙන් ඤාව් සද්දයක් ඇසිනි.කුමන සතෙක් ගැන උවත් උමතුවකට ආසන්න රුචියක් ඇති මම වහා මාළු කෑල්ලක් සමඟ වහලයට නැග්ගෙමි.කුසගින්නෙ හිටි ඔහු - ඇත්තටම ඇය- එයට ඇදී ආවාය.මං ඇය වඩා ගන්න විටත් මාළු කෑල්ලට ඉව අල්ලමින් සිටියා විනා දැගළුවේ නැත.අපි කෑමදී ඇය යාළු කර ගතිමු.ඇය අපට පැටවු  03ක් දුන්නාය.එකෙකු කුමාර අයියා රැගෙන ගිය අතර අනෙත් දෙදෙනා සුදු නංගී හා කළු මල්ලී කියා නම් තබා අපි ඇති කර ගතිමු.


සුදු නංගී ඉතා දක්ෂ දඩයක් කරුවෙක් විය.ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට කළු මල්ලී මහ කම්මැලි කුසීතයෙක් විය.අප කාගේ හරි උකුලක නැත්තං මෙට්ටයක් උඩ පුරු පුරු ගාමීන් උණුසුම්ව නිදා ගැනීම ඔහුගේ බලල් ජීවිතේ එකම අරමුණ විය.ලේණුන් මීයන් කුරුල්ලන් පවා දඩයම් කරන සුදු නංගී හා සසඳමින් තාත්තා නිතරම කළුට ඇනුම්පද කීවේය.

“මේ ගොං බලලට අපි මීයෙක් අල්ලල පිඟානට බෙදල දුන්නොත් කයි“

මෙය ආත්ම ගෞරවයක් ඇති බලලෙකුට තවත් දරා සිටිය හැකි අපහාසයක් නොවීය

දඩයම පුහුණු වීමට අවසානයේ ඔහු තීරණය කලේය.ගුරු හරුකම් සුදු නංගීගෙනි.

මුල්ම පාඩම වූයේ උඩ නැගීමයි.

එකල අපේ නිවසේ අළුත්වැඩියාවක් වූ බැවින් පලංචි බැඳ තිබිනි.සුදු නංගී පුහුණුවට තොරා ගත්තේ එතැනය.සුදු නංගී වීරයෙකු සේ පලංචි දියේ නගිද්දී කළු මල්ලී වැනෙන දෙපා නුහුරු ලෙස තබමින් ඒ පාර දිගේම ඇවිද ගියේ කන් කෙඳිරි ගාමිනි.ඇතැමි විටක තව දුර යන්න ධෛරයය අහිමිව ඔහු නවතියි.සුදු නංගී ආපසු පැමිණ ඔහු රැගෙන යයි.අම්මාත් මල්ලීත් මමත් මේ පෙරහුරුව දෙස ජනේලයෙන් බලා සිටියෙමු.
වරක් බානු හා බානු ගෙදරටම පැමිණ ඔවුන් දඩයම් කිරීමට ආ කොල දිවියෙක්ගෙන් කළු ගලවා ගත්තත් තව වරකදී ඔහු වාසනා වන්ත නොවන්නට ඇත .රෑක පිටට ගිය කළු නැවත පැමිණියේ නැත.


ළු රෝගය දැන් නංගීටත්  වැලඳී ඇති නිසා ඇය මහ මඟ සිට ඔසවාගෙන ආ බල්ලා “පපී“ ය.

කැපුණු පණුවෙක් මෙන් හැම වෙලේම නලියන හැම තැනම දුවන ඔහු විශේෂ සැලකිලි ලත් බල්ලෙක් විය.දඟ කාර කම මට්ටු කිරීමට නංගී ඔහු දම් වැලකින් බැඳ දැමූ අතර අනෙක් හැම බල්ලෙක්ම නිදහසේ හිතූ හිතූ දිහා ඇවිදිමින් සිටියේය.ඔහුට ඒ අවස්ථාව ලැබුනේ දහවලේ පැයකුත් රෑටත් පමණි.ඒත් ඒ ගැන අහිතක් නොහිතූ ඔහු බංකුවකට වී දවසම නිදා ගත්තේය.තමා ලඟින් යන කවරෙක් වේවා - අම්මා තාත්තා අප භානුලා පූසෝ හෝ දඩු ලේනා_ ටික වෙලාවක් තමා සමග සෙල්ලමට ඈඳා ගැනීමට උත්සහා කලේය.

ඔහු නිදහස් කල ඒ එක දහවල් පැයකදී ඔහු අපට අහිමි විය.අපට ඔහු සොයා දුන්නේ භානුලාය.නමුත් ඒ වන විට තවදුරටත් ඔහු අප සමඟ නොවීය.සුපුරුදු පරිදි ගෙදර නා ඔහුව කොහේ හෙවුවත්  කෙතරම් හඩගෑවත් පලක් නොවීය.පසුදා ඔහු වැතිර සිටි තැන අපිට හමු විය.ඔහු අඩි පාරේ වැතිරී සිටි අතර හොම්බ තිබූ තැන වූයේ මස් වැදැල්ලකි.

“හක්ක පටස් කාලා“ තාත්ත නිගමනය කලේය

“හක්ක පටස් “යනු තෙරපුමක් දුන් විට පිපිරීමට සදා ඇති වෙඩි බේත් ගුලියකි.අපේ ගම් පලාතේ මස් වැද්දන් එය කුණු කරවල සමඟ එය ඌරු මංකඩ වල දමන්නේ එව ඌරන් මැරීමට පහසු ක්‍රමයක් බැවිනි.අපේ අසරණ මෝඩ බල්ලා ඒවා කා ඇත.

මීට පෙර අපේ කිසිම බල්ලෙක් මෙබඳු මෝඩ වැඩක් කර නැත

“ඔක තමයි කියන්නේ බල්ලෙක් උනත් ඕනවට වඩා බැඳල දාල හදන්න හොඳනෑ කියලා“ අන්තිමට අම්මා කිව්වත් අඩා වැලපී හෙම්බත්ව ගිය නංගීට එය තේරුනාදැයි සැකය.

මරු විකල්ලෙන් ඔහු නිවස දෙස දුවගෙන ඇත්තේ අප ඔහුව බේරාගනු ඇතැයි විස්වාසයෙන් විය යුතුය.නමුත් අපට ඔහු සොයා ගැනීමට හැකිවූයේ ඔහුගේ මරණයෙන් දිනකට පසුවය.අප ඔහුගේ විශ්වාසය කඩ කල බව සිහි වන විට දැනුත් මගේ පපුව සූරන්නා සේ  හැඟීමක් දැනේ

අවසානයේ දැන් අපට ඉතිරිව ඇත්තේ භානුලා දෙපල පමණි.

දැන් මා වෙනත් නිවසක පදිංචිව සිටිමි.මගේ නැන්දම්මාට බල්ලං අරහං බැවින් මට දැන් ආදරය දීමට ලැබීමට බල්ලෙක් නැත.පාරේ ඉඳ උස්සන් ආ පූස් නාම්බාට බල්ලෙකුගේ අඩුව පිරවීමට නොහැක.බල්ලෙකුගේ ආදරය නැති මගේ හදවතින් අඩක් හාමත්ව ඇති සේය මට දැනෙන්නේ.


මගේම බල්ලෙකුගේ සිනිඳු ලොම් කබායක මූන ඔබාගෙන සැහැල්ලු වීමට අවසර ලැබෙන යම් දවසක් වේද එය මට මිහිපිට ස්වර්ගය මැවෙන දිනය බව නම් මට නිසැකය.

22 comments:

  1. Lassanai.... aasawen iwara wenakal kiyewwa...
    Good luck...

    ReplyDelete
  2. අවුලා නැති එකේ අවුලියෙක් හරි ඉන්න එක කොයි තරං රසවත්ද???

    ReplyDelete
    Replies
    1. ඒකනං තේරුනේ නෑ..ඇයි එහෙම කිවුවේ.කවුද අවුලා?මංද අවුලී

      Delete
  3. සාදරෙන් පිලි ගන්නව මගේ මල්වත්තට.ආවට ස්තූතියි උපුල්.දිගටම ඇවිත් යන්න හොඳේ

    ReplyDelete
  4. හරිම අපූරුයි නෝනා මහත්මයා හරිම අපූරුයි, කිව්වට කටවහක් එහෙම නෑ ඔන්න මෙච්චර කාලෙකට මම කියවපු ඉතාම චමත්කාරජනක මතක සටහනක්….:)

    පලි -බල්ලො හැදිල්ලට නැන්දම්මව ෂේප් කරගන්ට ක්‍රමයක් කියන්නෙයි? සුට්ටි බලු පැටියෙක් අරන් පලයන් ඔය කොහෙන් හරි . ඒ කරල නැන්දම්මට මෙහෙම කියාපන්..

    " අනේ අම්මෙ මේ බලන්ටකො, අම්මගෙ මූණමයි මූට තියෙන්නෙ. මට දැක්ක ගමන දුකේ බැරිවුනා. ඉතින් මම අරගෙන ආව "

    නැන්දම්ම ෆුල් ෂේප් වෙනව අනිවා.. හෙහ්...මම කිව්වට කරල බලපන්.මෙතෙක් කල් අප කරදුන් ගුරුකමක් වැරදුනේ නැත. හරි නොගියොත් මුදල් ආපසු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වයෝවෘද රවී උතුමාණනි.
      ඔය සිස්ටම් එකට වැඩ කරන්න ගියොත් මමත් ‍ ගෙයින් එලියට දාවිද මන්දා.බස් ස්ටෑන්ඩ් එගේ ඉඳල ගෙනිච්ච පූසත් දැක්ක ගමන් නැට්ට උස්සලායි බැළුවෙ.මගේ පෙර පිනකට ඌ පුරුෂ පරාණයක් උනා.නැත්තං පූසටයි මටයි ඉන්න තැනක් හොයා ගන්ඩයි වෙන්නේ
      හැක්...හැක්

      Delete
    2. නැන්දම්මව එලියටදාල බල්ලෙක්ව ගෙදරට ගේන්න පුලුවන් නෙ?

      Delete
    3. හෝවු හෝවු යකෝ නැන්දම්මගෙ පුතාට ඇහුනොත් මං සුනේ සුං එදිරියෝ

      යන්තං අටෝ ගත්ත මගේ කූඩු පොජ්ජ

      Delete
  5. මගෙත් ප්‍රියතම සුරතලා බල්ලෝ තමයි.දැන් ඉන්න එක්කෙනා නම් පොඩ්ඩක්වත් සැර නෑ.අපේ අම්මා කියන්නේ පෙර ණයක් කියලා. :P

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලි ගන්නවා මගේ මල්වත්තට කොළුවෝ..
      ට්විලයිට් මං ආසම ෆිල්ම් එකක්.වැඩිපුරම කැමති නං ඔයාට නෙමෙයි එඩ්වට්ට

      බල්ලො ගැන මට නං තියෙන්නේ පිස්සුවක් වගේ ආසාවක්.අනික මට බල්ලොත් එක්ක ගණුදෙනු කරන්ඩ ලේසියි මිනිස්සු එක්ක ඉන්නවට වඩා.

      හුඟක් බල්ලොත් එකපාරම මාත් එක්ක යාළු වෙනවා

      අපේ ගෙදර ඉන්න එක බල්ලෙක් වත් සැර වුනේ නෑ.ටෝනි ඇරෙන්ඩ

      Delete
  6. සුපිරි පොස්ටුව ....අපේ ගෙදර හිටියා සින්දුයි ,බින්දුයි කියලා බල්ලෝ දෙන්නෙක් ...අපේ තාත්තා අපිට බනින්නේ අපිට වඩා බල්ලෝ දෙන්න එයා ගැන හෙවිල්ලෙන් ඉන්නවා කියලයි .කරුමෙකට සිඳුට වනචර ඌරෙක් ගහලා මරුනේ ...

    හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
    පළාතෙ එන්නෑ බිල්ලෙක් උගේ ඇඟේම නෑ එක මැක්කෙක්

    දවසක්දා ඌ දික්කරගෙන කළු හොම්බත්
    සිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
    කෑම කන්නේ නැ බුරන්න යන්නෑ නගුට වනන්නැ ලෙව කන්නේ නැ
    නෑ ....... හරිම ලෙඩක් ..

    බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ
    කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
    තොට මස් කටු ඕනද බලු සුප් ඕනද ගස් ලබු ඕනද පපඩම් ඕනද
    ඌ ...... උපවාසේ ..

    මේ මොන දෙයක් ද කියලා දැවෙනවා කොල්ලා
    නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලා
    තොට දම්වැල එපාද කුඩුව එපාද තලන්න එපාද කරන්න එපාද
    කෝ ....කියන්නේ නැ

    මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලා
    දවසින් දවසම දිරාලා යනවා බල්ලා
    දෙන්නද බුල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්
    නෑ ....කියන්නේ නැ

    දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
    මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්‍රයි
    පන අදින ගමන් මූ වනලා දෙකන්
    කියනවා මු දැන් මෙහෙම බොලන්
    ඒ ....අහගල්ලා ...

    ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නැ
    එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
    මිනිසුන් අතරේ පොකැට් ගහන්නේත් බෙලිද කපන්නෙත්
    උන්ට කියන්නෙත්.........
    බල්ලා බල්ලා බල්ලා බල්ලා
    බල්ලා බල්ලා බල්ලා බල්ලා ...

    ගායනය - ෆ්‍රෙඩි සිල්වා
    පද රචනය - හර්බට් රන්ජිත් පිරිස්

    ReplyDelete
  7. ඒක තමයි හැමෝටම බල්ලොත් එක්ක ලස්සන අත්දැකීම් තියනව.“බල්ලොත් එක්ක බෑ“ කීව මෝඩය කවුද එතකොට හැබෑටම

    ReplyDelete
  8. 'අපේ ලකී' ගැන මං කලින් පොස්ට් එහෙකට කොමෙන්ට් එකක් දැම්මා මතකයි..

    බොරු සෝබන සෝස් බෝස් නැති පට්ට 'වල් බලු පොස්ට්' එකක්.. මේ වගේ බල්ලනට වගේම මෙහෙම ලියනවටත් මං මනාපයි..

    බල්ලෝ හැදීම නම් තවත් කරන්නේ නෑ..

    'මගේම බූල් බල්ලෙකුගේ' පහස ළඟදීම ලැබීමට වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්තරේ..මසුරං වටින ප්‍රාර්ථනාවක්.අපිටත් ඉන්නෙ හිටි්යෙ පියෝ වල් බල්ලො තමයි

      Delete
  9. අපේ ගෙදරත් මෙහෙමම තමා.... කලු මල්ලිලා ගොඩක් ඉන්නවා... ඒ කාලේ අපේ ගෙදර හිටපු පූසෝ සෙට් ඒකම තනි කලු අය... ඒයාලාගේ නමත් කලු මල්ලි.... පස්ස අාවා අලු මල්ලී කෙනෙක්... ඒයා අලු පාටයි... අා.......... තව කලු මල්ලී කෙනෙකුත් ඉන්නවා ඒයා බල්ලෙක්... හරි අහිංසකයි... ගෙදර කොහොමත් සත්තු ගොඩක් තමයි... ඒ අතර අපිත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔය මල්ලිලා නං පැටලිලා අවුලක් වෙලා නැද්ද හැබෑවටම.මාත් ආසයි බල්ලො පූසො ළමයි පිරිල ඉන්න ගෙදරකට

      Delete
  10. අදයි මේ පැත්තෙ ආවේ. එනකොට ම පට්ට පෝස්ට් එකක් තිබුනේ. මමත් කැමතිම බල්ලාට. අපේ ගෙදරත් හිටියා සැරම සැර බල්ලෙක්. හැබැයි ගෙදර අයට විතරක් කිසිම සැරක් නැති, දැඟලිල්ලට හරිම දක්ශයෙක්. ඌ මැරුනෙත් ගෙදරින් මොනවාහරි හොරකම් කරන්න ආපු කෙනෙක් දීපු වසක් නිසා. ඊට පස්සේ ඒ වගේ හොඳ බල්ලෙක් හම්බුනේ නෑ. ඌ මැරුනු දවසේ අපේ ගෙදර හැමෝම ඇඬුවා මතකයි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව මගේ මල් වත්තට.පූසන්ගෙ ආදරේ ආත්මාර්ථකාමියි.මමත් ආසම බල්ලන්ට තමයි

      Delete
  11. බල්ලෝ ගොඩාක් ගැන ලියපු එකක් දැක්කමයි.. මොනවා උනත් නියමයි.. කියවද්දී මගේ ඉස්සර හිටිය බල්ලොත් මතක් වෙලා කඳුලුත් ආවා.................. දිගටම ලියන්න..

    ReplyDelete
  12. ස්තූතියි බණ්ඩෝ..සාදරෙන් පිලිගන්නව මගෙ මල් වත්තට

    ReplyDelete
  13. මං අද ආවේ මේ ඉසව්වට. මං වගේම කෙනෙක් සොයාගත්තා. ඒ ඔයා. බලු බළල් ඇතුලු සියලු සත්ව උන්මාදය යහමින් තියෙන කෙනෙක් මමත්. මම අත් දැකපු දේ තමා. සැබෑම ලෙන්ගතුකම තියෙන්නේ අපිට හීලෑ වන තිරිසන් අය ලඟ. ඔවුන් සැබවින්ම අවංකයි. ඔවුන් නිර්ව්‍යාජයි. මිනිස්සුන්ගෙන් ඈත්වන යහගුණ නතර වෙලා තියෙන්නේ අපේ මිතුරු සතුන් ලඟ. මං අත් විඳින සත්‍යය එයයි. කොහොම වුණත් ඔයාගේ පෝස්ට් ලස්සනයි. රසවත්. දිගටම ලියන්න. ජයෙන් ජය.

    ReplyDelete
  14. අනිවා සුජීව...මිනිස්සු එක්ක ඉන්නවට වඩා සැහැල්ලුවෙන් විනෝදෙන් එයාලා එක්ක ඉන්න පුළුවන්.


























































































































































































































































    ReplyDelete