Saturday, October 31, 2015

කල් ඉකුත් වූ සමනලී


නිවෙන දැල්වෙන පහන් අබියස
මැලවෙලා ඇත මගේ තරු නෙත
ඇයිද මිතුරනි අස්ප වේගෙන්
ඉගිල යන්නේ මගෙන් ඉවතට......

මිහිරි දෙව් සයනයන් මත්තේ
මගේ සිතගත සතපවපු බව
මගේ රොන් සුනු උරා බිව් බව
නුඹලගෙ මතකයේ දැන් නැති........

සඳළුතලයේ  සුරඟනුන් ලඟ
නොතිබි සුවයක් මගෙන් ලද මුත්
ඒ අතීතය සිහිනයක් බව
හඩන කුස මයි කියා දෙන්නේ...

එදා දොඩමළු නෙත් ගිලී ගොස්
සොඳුරු ඉඟි බිඟි අද දෙන්න බෑ
ඇපල් දොකොපුල වැලලිලා ඇත
මුදු හාදු තවරන්න බැරි ඇති..

නමුත් නිතරම හඩනවා දැන්
නිමි වසන්තය කුස දන්නෙ නැති
මටම පමණක් හිමි සිසිර යම
මහතුනේ නුඹලට අහිමි ඇති.............

Sunday, October 25, 2015

පෙල පොතේ මල ගම

සාමා එන්න - මල් පිපී දැයි බලන්න
කෝ අනේ සල් ගහ
මන්ත්‍රීගෙ ලී මෝලෙ
දැනටමත් පතුරු වී ඇති...
ඒත් කෝ අමර දැන්
කුඩු අරන් මත් වෙලා
කුනු කෙලත් පෙරාගෙන
බස්හෝල්ටෙකේ බුදි ඇති.........

රටකජු නාරං තබා
සීනි බෝලවත් නැතිවම
පැය ගනන් කඹුරලා
සොච්චමක් අතට ගෙන
පාං බාගෙත් අරන්
තාත්තා කෝච්චියෙ ඇති............

පැටවුන් බඩ බැඳ ගස්උඩ යනවා
කියන්න මගෙ නම කියන්න කීවත්
ලැයිසොන් තුවක්කු දෙවියගෙ උදහස
හින්දම වඳුරත් ගහ මුල දොයි ඇති...
සමහර විට අර දැල්වෙන ගින්දර
මැද රස හොද්දක් වෙලා හිඳින්නැති
ඒ ගින්දර පණ ගසා කියන්නේ
උගෙ අඹු දරුවක්ගේ දුක් වෙන්නැති............

කොලයක් ගත්තත් ඔරුව හදනු බැරි
සහස්‍රකේ අපි ඒවා දන්නැති
ඒකට ටියුෂන් යන්නත් ඕනැති
කොම්පීතර ගේම් වගේ නොවෙන්නැති..........

ඔරුවක් හැදුවත් වැස්ස දකිනු බැරි
පොත් තුල කිමිදෙමු තෙරක් පේන්නැති
සල්මලකක හැඩරුව නරඹන්නට
ඉන්ටනෙට්ටුවෙන් වරම් සොයන්නැති

Wednesday, October 21, 2015

ඵෙතිහාසික ටොම් පචය

වාල්මිකී උඔ දන්නෙ නෑ
මවු යෝනියකින් මිසක
නගුල් ලීයෙන් දරුවන් නූපදින බව..........

වාල්මිකී උඔ දන්නෙ නෑ
කෛකෛගේ දුස්ට කම් වලට
දඩුවමක් දිය නොහැකි තරමටම
දශරථ ස්ත්‍රී ධූර්තයෙකු බව.......................

වාල්මිකී උඔ දන්නෙ නෑ
රාජධානියක් භරතට දී
අත පිහදාගන්න තරමටම
රාම බියගුල්ලෙකු බව...................

වාල්මිකී උඔ දන්නෙ නෑ
රාමගේ නැට්ට වගේ
ලක්ෂ්මනයා කැලේට ආවෙ
මං ගැන පිස්සු වැටිල බව...........

වාල්මිකී උඔ දන්නෙ නෑ
පිනට හම්බුනු සැපත් නොතකා
රජ පුටුවෙ සපත්තුවක් ඉන්දවපු
භරත මන්ද මානසික දරුවෙකු බව............

වාල්මිකී උඔ දන්නෙ නෑ
මෙච්චර ගෑනු ඉන්න රටක
මං පස්සෙම ඇවිත්
මහා මිනිස් සංහාරයක් කරපු
රාමට පිස්සු බව......

වාල්මිකී උඔ දන්නෙ නෑ
චාලි මරවලා තාරාදේවි බේරගන්න
රාම ලඟට දුවන් ආපු හනුමා
ඇගෙ අනියං සැමිය බව.................

වාල්මිකී උඔ දන්නෙ නෑ
හුඹහක් උඹ වටේ එතෙනකං
ඒකවත් නොතේරුන
උඹ මහ මැටි හරකෙක් බව..............

වාල්මිකී උඔ දන්නෙ නෑ
අහස් යන්තරයක් හදපු
පලවෙනි මිනිහ දුෂ්ටයෙක් කියල
පචයක් ගොතාපු උඹ
සේරටම වැඩිය දුෂ්ට බව....................

Saturday, October 17, 2015

මගේ කවි කම


මටෝනෑ මේ දෙය
වදනක් කිව්ව විතරයි
හැම තැනම සොය සොයා
ගෙනත් දුන්නා මගේ දෝතට

මගුල් ගෙදරක වුව
දුන් වෙඩින් කේක් එක
සාක්කුවෙ නිදන් කොට
ගෙදර ගෙනවිත් දුන්නෙ නුඹ මට

පලතුරු කඩේ ලොවි දැක
කටට කෙල ඉනු විට
ලොවි පැලයක් ගෙනත්
මිදුලෙ ඉන්දුවෙ මගේ සතුටට

දවාලට මිටි කොට
මගෙ අම්ම එවු බත් පත
තේකකින් බඩ රවටා
ගෙදර උස්සන් ආවෙ නුඹ මට

මා සතු මෝඩකම්
හිතුවක්කාර දඟ කම්
හිනාවකින් ඉවසා
මහ මෙරක් සේ සිටියෙ නුඹ ලඟ

නැතක් කවි ලිව්වත්
වදනක් කෙලෙස පබඳිම්
බැල්මකින් වුව ඇඟවෙන
නුඹෙ සෙනෙහෙමයි මගේ කවි කම

Saturday, October 10, 2015

අද ඔක්තෝබර් හත - සොඳුරු මතකයක්

අපට උපහාරයක් උනු අපේ දරුවන්ගේ දස්කම්

පූසෙකු සමග සවාරියක්


ඕනෑම බල්ලෙකු පූසෙකු දුටු විට උමතුවකට ආසන්න ලැදියාවක් ඇති වීමේ අසාමාන්‍ය රෝගයෙන් මං පීඩා විඳින්නේ උපන් දවසේ ඉඳලම.මගේ දෙමවුපියන් නොසැලකිලිමත් ලෙස  ඉස්පිරිතාලෙන් ගෙදර ගෙන ආ දා පටන්ම මගේ මුර රාජකාරිය ටෝනීට  (බල්ලෙකි) පැවරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වැලඳුනු මෙය අද සුව කල නොහැකිව අසාධ්‍ය වී ඇතුවා මෙන්ම මගෙන් නංගීටත් මල්ලීටත් දෙදෙනාටම සම්ප්‍රේෂණය වී තිබීම ඉතා කණගාටුදායකය.

මගේ රෝගය පාලනය කිරීමට අම්මා උත්සහා කලා නං පොඩි උන් දෙන්නා බේර ගැනීමට හැකියාවක් තිබෙන්නට ඉඩ තිබුනත් ඇය එසේ නොකල නිසා මේ කිසිදු ආන්තරාවක වගකීම මම කිසි සේත්ම බාර නොගනිමි.

මගේ බෝඩිම අසල ගෙදරක පූසියක් දරු දෙදෙනෙකු ප්‍රසූත කිරීමත් මගේ වරදක් නොවේ.බෝඩිමේ ඇන්ටි උදේ හවා උන්ගේ රූප සොබාව හා ඒ පූස් පරම්පරාවේ ගම්බීරත්වය වර්ණනනා කරද්දී අහිංසක මා  ඊට රැවටී නොමග යාමත් මගේ වරදක් නොවේ.ඒ හින්දම නිරායාසයෙන් ඇතිවුන“දඩුලේන් වල්ගයක් සහිත පූස් පැටවු“ පිස්සුව මගේ අනුදැනුමකින් තොරවම මට හැදුන ලෙඩක්.


කකුල් හතරක ඕනෑම සතෙක් ගෙදරට පැටවීම මගේ නැන්දමම්ට අරහංය.දඩුලේන් වලිග පූසා මට ඕනෑමය. බෝඩිමේ උදවිය පූසෙකුත් බෝඩ් කර ගන්න කැමති වෙන එකක් නැතිය.මගේ අයිස්ටයින් මොලය පහුගිය සතියේම යෙදවුනේ මේ “ගෙදර ගියොත් අඹු නසී.මග හිටියොත් තෝ නසී“ ටයිප් එකේ රාජ තාන්ත්‍රික ගැටළුව විසඳීමටය.

අන්තිමට මගේ ඔළුවට ඒ විශිෂ්ට විසඳුම ආවේය.

මං පූසව මගේ මහ ගෙදරට පටවනවා....මෙබදු සරල පිලිතුරක් කලින්ම මගේ කාර්යක්ෂම මොලයට නාපු එක මට තාමත් පුදුමයක්ය.

“එවිට මට මගේ නොවන මගේම පූසෙක් ඉන්නවා“ කියන්න මට හැකිය.දැලේ දාගත හැකි හොඳම කෙනා නංගීය.අම්මාත් තාත්තාත් මගේ හීන් නූලේ කපටි කං වලට පදං වී ඇති බැවින් අන්දවනවා බොරුය.මල්ලී සාමාන්‍යෙයන් නිහඩය.ගෙදර විප්ලවකාරිය නංගී නිසා කෙසේ හෝ ඇය ජය ගනු ඇත.ඇයට පූසා ඕන නං.ඇයට පූසා එපා නං “ඕනෑ කම ඇතිකිරීම “ අක්කා කෙනෙක් හැටියට මාගේ පරම යුතු කමකි.

අල්ලපු ගෙදරට කඩං පැන්න හොරිකඩ පර පූසෙකු අසරණ පැටවු දෙන්නගෙන් එකෙක් හපා මරා දැමීම කෙසේවත් මගේ අනු දැනුමින් වූ දෙයක් නොවේ.අනිකවත් මරා දමාවියැයි බය වුන ගෙදර උදවිය එදා රෑම අනෙක් පැටවා මගේ බෝඩිමට පැටවීමද මගේ අනුදැනුමින් වුන දෙයක් නොවේ.

ඌ ආ වෙලේ පටන් මුකුත් නොකා නොබී එක සීරුවට එකම ටෝන් එකෙන් විලාප තැබීමටද මගේ ඇති සම්බන්ධයක් නැත.නමුත් පූසා නැලවීමට ගොස් නින්ද කැඩුනේ අහිංසක මගේය.බැරිම තැන  ඌ බෙඩ් ෂිට් එකෙන් ඔතා මගේ උකුලේ ගුලි වී නිදා ගන්නා තුරු මට අවදිව ඉන්ටත් සිදුවිය.

මගේ මායම් හැට හතරම යොදා යාන්තමට නංගී ෂේප් කර ගත් මං පසුදාම ඌ ගෙදරට පැටවීමට හිතුවේ මගේ අහිංසක නිදි දෙවු දුවගෙන් වෙන්වී තවත් භයානක රාත්‍රියක් ගත කිරීමට වෙතැයි හිතට දැනුන මාරාන්තික බිය නිසාමය.

පසුදා උදේ වන විට බිය ඇරී බෝඩිම වටා දුව පැන සෙල්ලම් කිරීමට හුරුව හිටි පූස් පැටවාට හැමෝම එකා වන්ව ආදරය කරන්නට විය.

හෙට පවත්වන ගුරු උපහාර උලෙලේ නැටුම් කණ්ඩායම් වල පුහුණු වීම් බැලීමටවත් නොයිඳ මම හැරෙන තැපෑලෙන්ම බෝඩිමට දිව්වේ  හවස 2.45 බස් එකේ පූසාවත් පටවාගෙන දැරණියගල නගරයට යාමට සූදානං විය යුතු හින්දාමය.

හවස 2ට පාසල අසලින් යන බස් එකෙන් ළමයි හා ගුරුවරු සියළු දෙනාම යන බැවින් මං පූසෙකු ප්‍රවාහනය කරන හැටි  පාසලේ කවුරුත් නොදකිනු ඇත.

සවල් පාරවල් තුන හතරකින් බත් පිඟාන අහවර කල මම බිස්කට් පෙට්ටියකට හිල් විද රෙදි කෑලි අසුරා පූසාව ආරක්ෂිතව ඇසුරුම් කලෙමි.අසරණ පූසාගේ ප්‍රවාහන යහපැවැත්ම ගැන ඕනෑවටත් වඩා සංවේදී ඌ බෝඩිමේ ඇන්ටී වහාම පෙට්ටියේ සිදුරු විශාල කිරීමේ ව්‍යාපෘතියක් දියත් කලාය.එහි අවසාන ප්‍රතිඵලය වූයේ පූස් ඔළුවක් එලියට දැමීමට තරම් විශාල සිදුරක් පෙට්ටියේ ඇති වීමත් ඉන්  හිස එලියට දමා අනුකම්පාව ඉල්ලා කෑ ගසන පූස්  විලාපයට සංවේදිව පාර දෙපස සිටින සෑම කෙනෙක්ම මා දෙස වැඩි අවධානයකින් බැලීමත්ය.

කමක් නෑ මේ වෙලාවට අඳුනන කවුරුවත් වත් නෑනේ කියා හිත හදාගෙන බස් හෝල්ට් එකට ගිය මට දකින්නට ලැබුනේ හිත කම්පා කරවන දර්ශනයකි.දැරණියගල දෙසට ගමන් ගන්නා සියළුම ගුරුවරු හා ළමයි එක සීරුවට හිඳ විලාප තියන පූසා දෙස ඇස් නලලට ගෙන බලා සිටියේ විනෝද හිනාවකුත් කටේ තොලේ තවරගෙනය.

හැමෝටම පූසාව බැලීමට ඕනෑ විය.මේ අවධානයෙන් තක්බීර් වී ගිය පූසාට විලාප තබන්න අමතක වී ගියේය.ඉන් මට මද අස්වැසිල්ලක් දැනින.

එවිටය බස් එක ආවේ.කෙඳිරි ගගා කඳු අද්දන වීදුරු කිටි කිටි හඩ නගන කබල් බස්එක දකින්නත් පෙරම බියට පත් අසරණ පූසා  තමන්ගේ තමන්ගේ අති උච්චතම ස්වරයෙන් දීර්ඝ විලාපයත් තිබ්බේය.

කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................

හිත කැලඹුන විට දහයට ගනින්න මාස කිහිපයක් පමක් ජීවත් වුන පූසා ඉගෙන ගෙන හිටියේ නැත.

ඉතින් තිරසාරව නැගෙන කබල් බස් ඇන්ජින් සද්දෙන් රතු කට්ට ඉක්මවා බය වුන පූසා උපරිම ජවයෙන් පෙට්ටිය තුල දඟලන්නට වූයේ හරියට බයානක සද්දය නගන්නේ අසරණ කාඩ්බෝඩ් පෙට්ටිය යැයි හිතාගෙන වගේය.

අවසානයේ බෝඩිමේ ඇන්ටි කරුණාවන්තව පලල් කල සිදුරෙන් එලියට මගේ උකුලට පැන්නේ බස්රියේ සිටි ගුරු සිසු හැමෝම ආආආආආආඅආආආආආආආආආආ............... යනුවෙන් පසුබිම් ගායනය කරදීමය.අතරින් පතර “ඔන්න ඔන්න“..“පනියි අල්ල ගන්ඩ“...“එලියට පැනල බස් එකට යටවෙයි“යනාදී ලෙස පසුබිම් ගායනය රැප් කරනු අතරින් පතර ඇසිණි.

සාරිපොටේ තදින් ඔතාගත් පසු අසරණ පූසා  බස්නාගල සිට දැරණියගලට යන දීර්ඝ විනාඩි හතලිස්පහ තුලදීම ඒකාකාරීව විලාප තිබ්බේය.

කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................
කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................
කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................
කෑකෑකෑඌඌඌඌඌඌඌඌ..................

බස් එක කන්දක් නගින විට හෝ හෝන් එක හඩවන විට මේ විලාපයේ හඩ එක් වරම ඉහල යයි..

ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෑකෑකෑකෑකෑ ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌයියියියියියියි


මුල් විනාඩි 20දී මාව අපහසුතාවට පත් කරමින් හැමෝගෙම අවධානය මා දෙසට යොමු විය.කිසිදා නොලැබුනු මේ අවධානයෙන් වික්ෂිප්තව රත්වූ මුහුණින් කොහු ඇනෙන කබල් ආසනයේ වාඩි වී දඟලන ඉලවු පූසෙක් මෙච්චල් කරන මා විශේෂයෙන් පාසලේ දරුවන්ට රසඳුනක් වන්නට ඇත.මගේ ජීවිතේටම මම මෙතරම් චාටර් වී නැත.පරාණයක් නොවේනම් ජනෙල් වීදුරුවෙන් එපිට මීදුමේ හැංගුන කඳු පල්ලමකට මා පූසාව විසි කර දමනවා නියතය.බලල් මයිල් මගේ ඇඟ පුරාමය.වීදුරු ජනේලයෙන් රිංගන හුලඟ ඉන් වැඩි හරියක් මගේ නාසය තුලට හරවා යවන්ට තරම් කරුණාවන්ත විය.ඒවා පිසදැමීමට ගොස් උමතුවෙන් බසය පුරා දුවන බලල් නට්ටෙකුගේ අවධානම ගන්ටත් මට නොහැක.

කල්පයක් සේ ගෙවී ගිය මිනිත්තු 20කට පමණ පසු හැමෝටම පූස් විලාපය සාමාන්‍යකරණය වූයෙන් මම ඉල ඇදෙන අවධානයෙන් මිදී යන්තං හුස්මක් කටක් ගතිමි.

අවසානයේ යාන්තං ගාටමින් පැමිණි කස් බට්ට දැරණියගලට සේන්දු විය.මං අලිම අමාරුවකට වැටුනේ මේ වෙලාවේදිය.අහිංසක කාඩ්බෝඩ් පෙට්ටිය පරම හතුරෙකු සේ සැලකූ පූසා ඒ තුලට රිංගීම එක හෙලාම ප්‍රතික්ෂේප කලේය .මගේ ගුරු පට්ටමේ ගවුරවය නිසා යන්තම් ඉවසා වදාල රියදුරු තැන ගේ ඉවසීමේ සීමාව ඉක්මෙන්නට පෙර හෑන්ඩ් බෑක්කෙක කරේ එල්ලාගෙන හිස්පෙට්ටියත් අතින අරන් අනිත් අතින් පුසාව ගෙඩි පිටින්ම කිහිලි ගන්නාගෙන බස්එකෙන් මං බැස්ස .

පූසෙක් කිහිලි ගන්නගෙන ටවුම මැද්දෙන් යන මං දිහා හැමෝම විපරමෙන් බැලුවත් වට පිට නොබල තිරසාර ගමනෙන් මං නැවතුනේ මාමලාගේ කඩේ අස්සෙ.

අන්තිමට පූසාගෙ පෝෂණය ගැන හිතූ මං පිටි කිරි පැකට් එකකුත් නංගිට අරන් දුන්න.අපේ ගෙදර සේරමල පිටි කිරි බොන්න කැමැත්තක් නැති හින්ද ගෙදර ඒව නැති බව මං හොඳින්ම දන්නව.නංගියි මායි පිටිකිරි අත ඇරියෙ ඉස්කොලෙ යන්ටත් කලින්.මල්ලී තුන් හැවිරිදි වියේ ඉඳන්ම කිරි එක්ක ජන්මාත්තර වයිරයි.අම්ම බලෙන් කිරි පොවන්න පස්සෙන් පන්නද්දී වැටිල උන්දැ අතකුත් කඩා ගත්ත.වැරදි වෙද්දු 5-6 දෙනෙක්ගෙන් බේත් කරල වැරදියට හයි වෙච්ච අත සැරෙන් සැරේ කඩ කඩා අවුරුදු 04ක් විතර උන්දැට බේතුත් කලා.

අන්තිමට මං පූසා සමඟ සවාරිය හමාර කරල බෝඩිමට ආපහු ආවෙ පොපියන නහය අමාරුවෙන් වලංගු කරගෙන.පෙනහැල්ල දිගින් දිගටම බලල් මවිල් ප්‍රතික්ෂේප කලා.ඒත් මහපාරෙදි ඒ ටික ආපහු එන්න තරම් හයියෙන් කිඹුහුම් අරින්නෙ කොහොමද මං.අන්තිමේදි වැස්සටත් තෙමිල ගෙදරට ආව මගේ නහය රෑ වෙද්දි හොඳටම බරයි.

ඒ මදිවට නංගී රෑ කෝල් කරල කිවුව දෙයින් මං උඩ විසි වුනා.පූස් පැටියට කිරි හදලා දුන්නාම ඌ එව්ව බීල.පස්සෙ ආපු අපේ ලොකු සුදු පූසා “අංගුලිමාල“ පොඩි එකාගෙ කට ඉව කරල මොනවද බීල තියෙන්නේ කියල බැළුවළු.තමන්ගෙ පූස් රාජධානිය ආක්‍රමණය කරල ඉන්න අළුත් එකා ගැන ඉරිසියාවෙන් අංගුලිමාල අභිනිෂ්ක්‍රමනය කරයි කියල නංගි කොහොමත් බයෙන් උන්නෙ.ඉතින් උගෙ හිත හදන්න වහාම කිරි ටිකක් හදල ලොකු පූසටත් නංගි දීල.තව පස්සෙ එ තනට ආව චූටි බානු “ඇයි කිරි අපට නැද්ද ..පූසන්ට විතරද “වගේ අහන බැල්මක් නංගි දිහා දැමිමලු.හිත උනු වෙලා ගිය නංගි ආයෙත් කිරි හදල බල්ලො දෙන්නටමත් දීල.

අන්තිමට මගේ දඩුලේන් වල්ග පූස් පිස්සුව සනීප වුනා.ඒත් ඒ වෙද්දි නාකි බල්ලො දෙන්නෙකුටයි තඩි පූසෙකුටයි පොඩි පූසෙකුටයි මාස 5-6ක් කිරි අරන්දෙන්න මං බැඳිල ඉවරයි.ඊ ළඟට හුස්ම ගන්න අමාරු හෙම්බිරිස්සාවකුයි කැස්සතුයිත් මට උරුම වෙලා ඉවරයි.