Sunday, June 28, 2015

සිහිනය





වලා සේලයෙන් ඔතා 
සඳ ඔරුවේ නිදි කරවා

තරු කැට කැට එකතු කරන් සීන ගොතන්නයි
තෙරුවන් සරණින් සීනය සැබෑ කෙරෙන්නයි

සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි

සුදු නෙළුමක් සොඩින් දරන්
සමන් කුලින් බිමට බසින



ඇත් රජෙකුට මගේ කුසේ යහන් බඳින්නයි
පත්තින් ගම්බාර දෙවිඳු බැල්ම හෙලන්නයි

සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි

පින්න සීත කටු උසුලා
හිරුට හොරෙන් නෙළු මහනෙල්


කඳුළු දියෙන් දොවා පුදා පින් රැක ගන්නයි
මතු සක්විති රජෙක් මගේ කුසට වඩින්නයි

සිනා අරන් සඳක් මගේ උකුලෙ නිදන්නයි

Friday, June 26, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 12 කොටස

12 මල් වත්ත පිළිකුල් විය


ඇස් දෙක පියා ගත්තම තාමත් මට උඹේ හිනාව මැවිලා පේනවා.උඹේ දඟකාර හැසිරීම හැමවෙලාවෙම මට සතුටක් වුනා. මට උඹව දැනුනේ මගෙන්ම උපන් කැකුලක් විදියට.

ඔවු මගේ පුංචි කැකුල ...............මල් කැකුළක් පුබුදන්න තරම් ශක්තියක් නැති කිනිත්තක රැඳිලා ඉන්න මට උඹේ දර්ශණය පවා සතුටක් ගෙනාවා.උඹ මගේම කැකුලක්.හිතේ ආදරය පුරෝගන්න ගමන් මං හිතුවා.

උඹ ලස්සනට පෙති දෙපෙති විහිදලා ඉර එළියේ නටන දවස වෙනකල් මං ඇඟිලි ගැන්නා.උඹේ නමින් බලාපොරොත්තු කන්දක් හිතේ ගොඩ ගැහුනා.උඹම හොයාගත්ත තාල වලට ලස්සනට නටපු නැටුම් දිහා මං හුස්ම උඩට අල්ලන් බලා හිටියා...



තව ලස්සනට නටපන්...හෙට තවත් ලස්සනට පිපියන් ..ඒ හැම වතාවකම මගේ හිත මුරගෑවා...උඹ ලස්සනට පිපිලා ඉර එලිය යට ලස්සනට නටන හැටි මම හීනෙනුත් දැක්කා.මං උඹට ආදරය  කලා වගේම උඹව විශ්වාස කලා.

මල් කැකුලක් පුබුදන්න වරම් නැති මම උඹ ගැන හිතුවේ පපුව පුරෝගෙන.උඹ වසන්ත සුළඟ මැද නටන දවස මං හීනෙන් ඇඳ ගත්තා.


ඔය දඟකාර හිත යට සංවේදී ආදරණිය දක්ෂ ආත්මයක් මං දැක්කා.ඒත් උඔට හුඟක් ලං වෙලා හිටපු වරදට මට උඹේ අධ්‍යාත්මයේ ගැඹුර දැක්කට උඹේ මල් පෙති දිහා බලන්න අමතක වුනා.ඒත් හුඟ දෙනෙක් ඒක දැකලා තිබුනා...


මගේ මුල්ම ප්‍රතිචාරය වුනේ ඒ කතන්දර කියන අය ගැන හිතෙන් විරෝධය දක්වන එක.උඔ කොච්චර දක්ෂද කොච්චර දඟකාරද කියන එක ඒ හැමෝටම නොපෙනී ගියේ කොහොමද කියලා මං තනියම කල්පනා කලා. 

ඒත් එකක් ඉවර වෙනකොට එකක් සාධක ගොඩ නැගෙද්දී මට ඒ දේවල් පිළිගන්න සිද්ධ වුනේ අවාසනාවට ඒ සේරම ඇත්තම ඇත්ත කතා නිසයි.


උඹ ඉර එළිය යට පිපෙන දවස වෙනකල් මම ඇඟිලි ගැන ගැන ඉන්න අතරේ උඹ අස්ප වේගයෙන් දවසින් දවසම ලංවෙලා තිබුනේ අමාවක අහසක් දිහාට.


උඹ කිනිත්තක් හදාගන්න තරම් පරිනත වෙන්න කලින්ම උඹ කිනිත්තක් හදා ගන්න උත්සහා අරන් තිබුනා.ඒ හදා ගත්ත කිනිත්ත සවි සක්තියක් නැති නිසා හදන්න පටන් ගත් තැනම කඩා වැටිලත් තිබුනා.ඊට පස්සේ උඹ මල් පැණි උරන්න ගත්තා...ඒකෙන් හදාගන්න කලින්ම බිඳුනු කිනිත්තේ වේදනාව අඩු උනාද?සමන් මල් හැම වෙලේම උඹලට කියන්නේ මල් කැකුළු කැකුළු විදියටම ඉඳපල්ලා කියලා.අකාලයේ පරිනත වෙන්න ගිහින් උඹලා ඇට්ටකුණා වෙනවා.එතකොට කවදාවත් උඹලට ලෝකයේ ලස්සන විඳින්නවත් උඹලගේ ලස්සන ලෝකයට විඳින්නවත් ඉඩක් නෑ.



ඒ අහු අස්සේ විකෘති මනසක් ඇති මත් බඹරෙක් බොරදියේ මාළු බාලා.උඹේ ලපටි පෙති දෙපෙති මත සල්ලාල තුඩ තියලා උඹේ සුවඳ සොරා අරගෙන.

හිත වාවන්නෙම නැතුව ගියේ ඒ සල්ලාල බඹරා මල් වත්ත ඇතුලේ සමන් මලක වේශෙන් පෙනී ඉඳපු එකමයි.මමත් සමන් මලක් වීම ගැන මටම පිළකුලක් දැනුනා.උඹව රකින්න ඕන ,උඹට පිපෙන්න කියා දෙන්න ඕන උඹට මග පෙනවන්න ඕන සමන් මලක් අතින්ම උඹේ පෙති තැලීයාම මට දරා ගන්න බෑ.


උඹ හිතනවද උඹ තාමත් ඔය ආසාවෙන් සොයාගෙන යන දෙය ලෝකයාගේ දෘෂ්ඨිකෝණයෙන් අසම්මතයක් බව..සමහර විට උඹ නොදන්නවත් ඇති.උඹ හිතන් ඉන්නව ඇති ඒක තමයි හරි දෙය කියලා...සියළු නිවැරදි  හා රසවත් දේවල් සියල්ල තියෙන්නේ සම්මතයෙන් ඔබ්බට කියලා ඒ බඹරා උඹට කියා දෙන්න ඇතුවා නිසැකයි.


අනිත් අතට නියර ගොයම් කන හැටි වැට නිසසලව බලා හිඳිද්දී ගොවි ගෙදර මුර බල්ලා බිරුවට වැඩක් වේවිද?


පුංචි කැකුළු මුදු ස්පර්ෂයට කෙතරම් කැමතිද කියලා මනෝ විද්‍යාවේ කියවෙනවා...ඒත් පරිනත වෙලා පිපෙන්න ආසන්නයේදී උඹලා රළු ග්‍රහණයකට ආසා කරන බව මම දන්නවා.තාක්ෂණිකව මල් කිනිත්තකින් කරන්නේ හෙට දවසට මල් උපද්දවන එක.


ඒත් කවදාවත්ම පුමාංග මලකට පුමාංග මලක් එක් වීමෙන් නිර්මාණය වන දෙය මල් කිනිත්තක් වෙන්නේ නෑ.උඹ ඒක තේරුම් ගනින්.එතන තියෙන්නේ ආදරය නෙමෙයි.පිළිකුල් සහගත ආශාව විතරයි.ඔය පෙන්වන බොරුව ඇතුලේ උඹ දැනටමත් අතරමං වෙලා...තවත් දුර ගියොත් උඹ කවදාවත් ආපහු එන්න පාර හොයා ගන්න බැරි විදියටම මං මුලා වේවි.


මගේ ආදරණිය පුංචි කැකුල වහාම ආපසු හැරියන්.උඹට මඟ පෙන්නන බලාපොරොත්තුවෙන් සමන් මල් ගොඩක් උඹ දිහා බලාගෙනයි ඉන්නේ.උඹට කරන්න තියෙන්නේ එක පයක් ආපස්සට තියන එක විතරයි.මං දන්නවා ....වසන්තයට අත වනන හුඟක් කැකුළු හිතන්නේ සම්මතයට එරෙහිවීම වීර කමක් කියලා...උඹ කොහොමත් කැමතියි අනිත් අයට වඩා විශේෂ බව පෙන්නන්න.අනිත් අයට වඩා කැපී පේන්න.මං ඒ බව දන්නවා...


මං දැකලා තියනවා  තෙලි තුඩක් උඹේ හීන් දිගටි ඇඟිලි අග්ගිස්සේ කීකරු වෙන අපූරුව...උඹේ අපූරු කටහඩින් අපේ හදවත් ගී ගයන අපූරුව...ඇයි උඹට බැරි ඒ දේවල් වලින් කැපීපේන්න.මංමුලා වෙච්ච බඹරෙකුට මල්පෙති තලන්න දෙන්නම ඕනද?ඒකෙන් උඹ කැපීපෙනීම කෙසේවෙතත් කැපී යාමනම් සිද්ධ වෙන හැටි මට පේනවා...


මගේ පුංචි කැකුල උඹ ට අත වනන වසන්තයෙන් උඹව කැපීයාවි.ගිම්හානය උඹ ලඟම සදහට නවතීවි..කරුණාකර කරුණාකර...... කරුණාකර එකම එක පියවරක් පසු පසට තියපන්.බලය රහිත අය වුනත් සමන් මල්රැසක් උඔ ඒ තීරණාත්මක පියවර තියනකල් මග බලාගෙන ඉන්නවා...


මට ඕන මං ආදරය කරන අනිත් පුංචි කැකුළු වගේම උඔත් හෙට ලෝකෙට පිපෙනවා දකින්න...උඹ එඩිතරව පය ඔසවමින් ඇවිද යන ඔය මාවතේ කෙලවර ශෝකාන්තයක්....වහාම එකම එක පයක් ආපසු ගනින්.අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් උඹව රැක ගන්නවා...


කඩදාසියක් නැමුන තැනින් ආයෙත් නැමෙන බව මං දන්නවා....ඒත් නොනැමී ඉන්න මං උඹට රුකුලක් දෙන්නම්....උඔ කරන්න ඕනෑ එකම එක දෙයක් විතරක්...

එකම එක පියවරක් ආපහු තියන එක විතරමයි.


Saturday, June 20, 2015

කැලයක උපන් මල් වත්තක මතක සුවඳ පොද - 11 කොටස

11.දඟකාර අළුත් කැකුළ

අද තවත් අළුත් දවසක්.අළුත් මල් පාත්තියක් හදපු දවසක්.මගේ මල්පාත්තියේ ඉඩ තිබුනේ එකම එක කැකුළු දෙකකට විතරක් බව මට දැනුම් දීලයි තිබුනේ.ඒත් ඉන් එක කැකුළක් විතරක් හුදකලා වෙලා අහස දිහා බලා ඉන්නවා.මේ අවුරුද්දෙත් මට මුළු පාත්තියටම එකම කැකුළක් විතරද?මං මගෙන්ම ඇහුවා.ඒ ලඟම පාත්තියේ හුදකලාව වැනෙමින් හිටි මගේ කුළුඳුල් කැකුලෙන් ලැබුන ඇස් කොන වක්වෙච්ච සුපුරුදු සිනාවේ තෑග්ගෙන් සතුටු හිත් ඇතිව අළුත් මල දිහාවට හැරුනා.

බැළු බැල්මට කිසිම විශේෂත්වයක් නෑ.පිපෙන්න හොඳටෝම ළඟයි.මට මේ කැකුළට මගේ ආදරේ දෙන්න බැරි වෙයිද?මං උගන්නන නැටුම් කොහොම අවබෝධ කර ගනීද?පුංචි බයකුත් හිතට දැනුනා.


ඒත් ඒ බය නොපෙන්නා සුපුරුදු විදියට මල ඉස්සරහින්ම ඈඳි ගත්තා.නැටුම් පාඩම් කියා දෙන්න පටන් ගන්නවද?මල් කිනිත්තේ විස්තර කතා කරලා මලත් එක්ක සුහද වෙනවද?මං දෙගිඩියාවෙන් සැළුනා.අළුත් මලත් මං දිහා තුෂ්නිම්භූතව බලා හිටියාම විතරයි.මං සුපුරුදු හිනාව සොයා ගත්තා.


මට උඹේ මල් කිනිත්ත ගැන නම් අහන්න බයයි.කැකුළු වල මල් කිනිති ගැන අහන්න ගිහින් සිද්ධ වුන අන්තිම අත්දැකීම තාමත් හිතට වද දෙනවා...ඇයි මම පුංචි කැකුලක් ලවා බොරු කියවන්නේ.

එතකොට..උඹටත් පව් ........මටත් පව්


ඒත් මං උඹ ගැන දැන ගන්න ඕනමයි.උඹත් දවසක ලෝකෙට සුවඳ බෙදන්න ඕන.ඒකට මං උඹව අඳුන ගන්න ඕන.මට ඕන උඹට උදවු කරන්න විතරයි.උඹේ කඳුළු කතා වලට හිනා වෙන්න තරම් කුරිරු හිතක් මට නෑ.මං උඹට උදවුකරන්න නම් උඹේ දුර්වලතා වලදී මම උඹව ආරක්ෂා කරන්න ඕන.උඹට තර්ජනයක් වෙන්න පුළුවන් දේවල් වලට ඈතින් ඉන්ඩ උඹට කියා දෙන්න ඕන.උඹට ජය ගන්න පුළුවන් අවස්ථා උඹට උදා කරල දෙන්න ඕන.උඹත් නොදන්න උඹේ ශක්තීන් උඹට පෙන්නල දෙන්න ඕන.

උඔ හැමදේකටම හරි කෙලින් උත්තර දුන්නා.....පිය මල ගැන උඹ මුකුත්ම කීවේ නෑ...මගේ කුළුඳුල් කැකුලේ නීරස අත්දැකීම උඔටත් උරුම වෙලාද?මට අහන්න බයයි.ඒත් මට ඒක දැන ගන්න ඕනා...උඹේ කිනිත්තේ ආර්ථිකයේ පදනම ඒ  පිය මලනේ.

“රොන් සුනු එකතු කරන්න පිය මල මොකක්ද කරන්නේ“

උඹට ඒකටත් උත්තර තිබුනා .

“පිය මල කිනිත්තෙන් වෙන් වෙලා දුර ඈත පාවෙලා ගියා.කොහේ ඉන්නවද...කොහොම ඉන්නවද කියලා අපි දන්නේ නෑ“

උඹ උත්තර දුන්නේ ගහෙන් ගෙඩි එන්නා වගේ.මගේ පපුව හිර වෙලා ගියා.මගේ එකම ප්‍රශනෙට කුළුඳුල් කැකුලත් උඹත් උත්තර බැඳපු පරස්පර විරෝධී විදිය සන්සන්දනය නොකර ඉන්න මට බැරි වුනා.

මගේ පුංචි කැකුළ උඹ මාව විශ්වාස කරලා මට ඇත්තම කිව්වා.මං උඹව ආරක්ෂා කර ගන්නවා.උඹ ගැන මගේ හිතේ තියන බය එමටයි.උඹ මොන පැත්තකට හැරුනත් ඒ ඔස්සේ අසීමාන්තිකව ඉදිරියට යන බව මට දැනෙනවා.එදාට උඹට ආපහු හරවන්න කාටවත්ම බැරිවේවි.ඒ නිසා මට උවමනායි උඹව හරි පැත්තටම හරවලා තියා ගන්න.මට ඒක කරන්න පුළුවන් වේවිද?


අනිත් අතට බලනකොට අළුතින් හදපු හැම පාත්තියකම කැකුළු වලින් හරි අඩකටත් වඩා උඔට වගේම කඳුළු කතාවක් තියනවා.

කොනක ඉඳන් නිශ්ශබ්ධවම ඉන්න එක මලක් පුරා වසරක්ම රොන් සුණු එකතු කර කර ඉඳලා තියෙන්නේ කිනිත්තේ කුස් පුරවන්න.ඒ හැම දෙයක්ම කැප කරගෙන ආයෙත් මල් වත්තට ආවේ වඩාත් ලස්සනට පිපෙන්න ඕනම කියලා හිත කියපු හින්දා....


තව කිනිත්තක කැකුළු අටයි.ඒ කිනිත්තේ වර්ග ඵලයට ඒතරම් කැකුළු ගානක් ඔරොත්තු දුන් නෑ.ඒ හින්දා කිනිත්ත බිමටම නැමිලා මල් පෙති වල මඩත් තැවරිලා.

උඔල හැමෝගෙම කතා ඔයාකාරයි.


පස්සෙයි මට ආරංචි වුනේ උඹේ පිය මල මේ ඉසව්වට ආගන්තුකම මලක් බව.නුපුරුදු පරිසරයෙන් හෙම්බත් වෙලා පුරුදු පරිසරයට කැකුළු පහක්ම එක්ක කිනිත්ත දාලා පලා ගිය බිය ගුල්ලෙකු බව.ඒත්  එඩිතරවම ඊට මුහුණ දුන් බව උඹේ සෘජු පිළිතුරෙන්ම මට වැටහුනා.

මේ අහිමි වීම් උඹට විතරක් උරුම දෙයක් නෙමෙයි.උඹේ ඔය දඟ කාර කම කටකාර කම කියන්නේ ඒ අහිමි වීම ගැන උඹ නොතැවෙන බවද?

කවුදෝ කියලා තිබුනා “වැඩිපුර සද්දෙට හිනා වෙන්නේ හදවතින් ගොඩක්ම අඩන අය “ කියලා

.මට හනික කියාපන් .උඹ ඉන්නේ ඒ ගොඩේ නෙමෙයි නේද?මට ඕන උඹ හදවතින්ම හිනා වෙනවා දකින්න.උඹේ මහවුන්ගේ අඩු පාඩු, දවසක ලෝකය උඹේ අඩුපාඩු ලෙස දකීවි.උඹට ඒ අඩුපාඩු නිවැරදි කරන්න බැරි උනත් ඒ අඩුපාඩු වලට චෝදනා නගන්න බැරි තරමට අනිත් හැම දෙයකින්ම උඹ සන්නද්ධ වෙයන්.

ආයෙත් කියනවා ...මට ඕන උඹ හදවතින්ම හිනා වෙනවා දකින්න.මගේ ආදරණිය කැකුළ, අද මාත් උඔ එක්කම අඩන්නම්.අපි දවසක ලස්සනට හිනාවෙමු.




Monday, June 1, 2015

පස්ස කාඩ් එක

මා දන්නා දේශභක්ෂනයක් නැත.උසස් පෙල වාණිජ විෂය ධාරාවෙන් ඉගන ගත් මට දේශභක්ෂන විද්‍යා පොතක් අතින් අල්ලා බැලීමටවත් ආසාවක් සිතී නැත.පත්තරයක් ගත්තත් අනිත් සියළුම ලිපි කියවා දේශභක්ෂනය කතා මග හරින මම මාතලං අයියගේ ලිපි කියවන්නේ ඔහුගේ භාෂා ශෛලියට ආසා හිතෙන නිසාත් පසුව ඇනෝලගේ කොමෙන්ට් කෑලි කියවා බඩ පැලෙන තුරු හිනාවී ලේ පිරිසිදු කර ගැනීමට අවස්ථාව ලැබෙන නිසාත්ය...

(ඒවාගෙන් වැඩි හරියක් මට ජීර්ණය නොවන අතර මට මීටර් වෙන්නේ සමස්ථ අදහස නොව මැදින් මැදින් යොදා ඇති මඩ හා ගල් පමණක් බවද සංවේගයෙන් සන්තෝසයෙන් කියමි.මම මාතලං අයියගේ බොගට නිතරම ආවත් කොමෙන්ට් නොකරන්නේ කොමෙන් කරන්ඩ දෙයක් ඔළුවට එන්නේම නැති නිසාය)



කොටින්ම මට දේශභක්ෂනය අරහංය.දේශපාළුවන් එපා තිත්තය. ඒ ගැන ඒ නිසා මා දන්නා දෙයකුත් නැත.

නමුත් වරක් මටද දේශපාළුවෙක් බැහැදැකීමට යාමට සිදුවූ බව විලි ලැජ්ජාවෙන් ලියා තබමි.මේ ඒ කතාවයි.

උපාධියකුත් කරපින්නා ගත් රැකියා විරහිත අවිවාහක දියණිය ජීවිතයේ තෙවන දශකය පසුකරමින් හිඳීම මගේ අහිංසක අම්මාටත් තාත්තාටත් කෙතරම් මානසික වධයක් වන්නට ඇද්දැයි එකල මට සිතාගත හැකි නොවීය.

පුද්ගලික අංශයේ රැකියාවට පිංසිද්ධ වන්නට අතේ පයේ අඟ හිඟයක් නැතිව මහරගම බෝඩිමකට වී යහතින් හිටි මට අම්මලාගේ මනාලයන්  දැක්මෙන් බේරෙන්නටද  එයම පිලිසරණක් විය..(කෙසේ වෙතත් පසුව කරුමක්කාරයාම ආ බැවින් අම්මලා ජය ගත්හ)


ඒත් වැදගත් මනාලයන් හෙවුවේ රජයේ රැකියාවැති මනාලියන්ලු.(දෙයියෝ සාක්කි) එයිනුත් ගුරු වෘත්තියේ ඉන්න මනාලියන්ලු.ගුරු රස්සාව යනු අනිත් රස්සා එක්ක බලද්දී දවසකට වරුවක් වැඩිපුර නිවාඩු තියන එකක් නිසා ගොඩක් පිරිමි හොයන්නේ ගුරුවරියන්ලු.


(ගුරු වෘත්තිය ගැන මුලින්ම ඒ බොරුව කිවුව එකා හම්බ වුනොත් කිසිම හිරිකිතක් නැතුව උන්දෑගේ දත් දෑන්දම බඩට යවමි.මම කලින් කල ලිපිකරු රස්සාවටත් වඩා ලියකියවිලි වැඩ මට දැන් මේ ගුරු රස්සාවේ ගොඩ ගැසී  ඇත.ඔපීසියේ වැඩ එහි දමා නිදහසේ ගෙදර ආවත් දැන් දරුවන්ට වඩා හෝම් වර්ක් මට ගෙදරදී ඇත.මේ සියල්ල හරියට තිතට කරන්ඩ ගියොත් උගන්නන්ඩ වෙලාවක් ඉතුරු වෙන්නේම නැත)

ඉතින් මමත් අනිත් උන් වගේම සසර පුරුද්දට මෙන් ගැසට් කරන හැම රජයේ විභාගයක්ම ලීවෙමි.ඒ වියදම් කල විභාග ගාස්තු පොතක දමා එකතු කලා නම් සෑහෙන ගානක් එකතු කර ගන්නට තිබිණි.මුලින් මුලින් සේරම විභාග ෆේල් විය.ඊළඟට විභාග වලින් පාස්වී ඉන්ටවීව් එකෙන් ෆේල් වන්නට ගතිමි.මම  ඉතා සතුටින් මගේ ජොබත් එක්ක මහරගමට වී සිටියෙමි.


මෙන්න මේ කාලයේය ග්‍රාම නිළදාරීන් තෝරන විභාගයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වැඩිම ලකුණු අරගෙන මං පාස් වූයේ....දැන් අම්මාගෙයි තාත්තාගෙයි ඉහේ මල්ම හතක් පිපි ඇත.මේ පාර නම් රස්සාව හරියනවම තමා..අම්මා කීවේ සමන් දෙවියන්ටත්,දැඩිමුණ්ඩ දෙවියන්ටත් පඩුරු වෙන් කරන ගමන්මය....

“මීට කලිනුත් මං ඕව විභාග පාස්වෙලා තියනවා...“මං කිවුවේ වැඩි බලාපොරොත්තු අවදානම් හින්දාමය

“ඒක ඇත්ත...ඒයි...අපි අහවල් ඇමති තුමාට පොඩ්ඩක් මතක් කරල තියමුද?මොන සුදුසු කම තිබ්බත් ඕන නැතුව පුළුවනෑයි“

“මේ මේ..මට නං බෑ එක එකා ළඟ වැඳ වැටෙන්න...මොන ලැජ්ජාවක්ද?“


“මං උඹට වෙන මොනවත් කරන්න කිවුවේ නෑ...උඔ යන්නේ තාත්තත් එක්ක ...ගිහින් ලිස්ට් එකට නම දාගන්න...“

“මට බෑ....“

“උඹට ඕක බෑ...වෙන ගෑනු ඔය රස්සාවල් ගන්නේ ඔය මිනිස්සුත් එක්ක ඇඳටත් ගිහින්...------------අක්ක---------- අමාත්‍යාංශයේ වැඩට ගියේ එහෙමනේ...“(ඒ මේ ඇමැත්තා නොවේ)

එක නම් හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසකි.ඒත් හරියටම ඒ කතා වල ඇත්ත නැත්ත දන්නේ අක්කාත් ඇමතියාත් විතරයි නොවැ....දිව වල් වල ඇට තියනවැයි එකම පැත්තකට හැරිලා තියෙන්ඩ...

“මට බෑ“

“උඹ දන්නෑ උඹ ගැන මගේ පපුවේ ඇවිලෙන ගින්දර“අම්මා අන්තිම තුරුම්පුවත් දමන්නට යයි.තව ටිකකින් නයගරාව ගලන්ඩ පටන්ගනී

හරි ...හරි...අම්මාගේ කඳුළු බලන්න බැරි කමටම මම කිවුවා...හැබැයි කාටවත් කියන්න එහෙම නෑ....මම තර්ජනාගුලිය  දියත් කලා...(දැන් නං ඕං ඉතින් මං රටටටම කියනව)

අම්මා ඒපාර සැනසුම් සුසුම් හෙලා --------ඇමතිගේ දකුණු අත වගේ ඉන්න ගමේ කෙනෙකුට කෝල් එකක් ගත්තා

ඇත්ත නේන්නම්...මගේ හිත වෙනස් වෙන්න කලින් මේ සේරම කර ගන්ඩ එපැයි උන්දෙලා.

අයියේ මං ----------නංගී
---------------------------------------------------------
නෑ අයියෙ මේ දරුව අර විභාගෙ පාස් වෙලා මෙහෙන් පළවෙනියටම
--------------------------------------------------------------
ඒක තමයි අයියේ.......මොන සුදුසු කම නැතත් ඕක එපැයි..
-----------------------------------------------------------------------------------
අනේ අයියේ පිංසිද්ධ වෙනවා...මගෙ හිතේ ගින්දර බාගයක්ම නිමුනා
---------------------------------------------------------------------
ආ හරි...හරි....ඊළග මහජන දිනේට මං දරුවව එක්ක අරයව එවන්නම්කො..
-------------------------------
බුදු සරණයි අයියේ ...දෙවිපිහිටයි...

අම්මගේ කට කපලා හිනාවයි...අම්මේ ඔය හිනාව වෙනුවෙන් මට මොනවද කරන්ඩ බැරි.

ඔන්න මහජන දිනෙත් උදා වුනා.අම්මා මං ළඟට වෙලා ලෑස්ති වෙන එකේ ඇද කුද හොය හොයා ඉන්නවා...(අම්මා මට එතනින්ම මනමාලයෙක් සෙට් කරලද කියලා මට සාධාරණ සැකයක් ඇති වුනා...... මාව හැඩ කරවන්ඩ මහන්සි වෙන හැටි දැකලා)

“පහනත් පත්තු කරලම යන්ඩ“...හිනා මූනක් පුරෝගෙන ආයෙමත් අම්මා

ඔය හිනාව හින්දා විතරමයි අම්මේ මං මේ එක එකාට පජාති වෙන්ඩ යන්නේ...මං හිතුවා

“පොඩ්ඩක් හිනාවෙලා යන්ඩ...“අම්ම මට හිනාවෙන කල්ම කනක් ඇහිල ඉන්ඩ දෙන්නෑ වගේ...


ඔය අතරේ තාත්ත මන් දිහා බලල හරි අමුතු කතාවක් කිවුවා

“මනුස්සයෙකුට තමන්ගෙ ප්‍රතිපත්ති රැකගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි....ඒත් ජීවත් වෙන්ඩ නම් ඊට කලින් තමන්ගේ බඩ රැකගන්ඩ වෙනවා.....පිස්සො ගොඩක් මැද්දෙ ඉන්නකොට  පිස්සු නැති එක මිනිහෙක් විතරක් හිටියොත් ඒ මිනිහට කවදාවත් හරි හමන් විදියට ඉන්ඩ බෑ...මිනිහත් දෙයියන්ගෙන් ඉල්ලයි තමන්ව පිස්සෙක් කරන්ඩ කියලා“

මොකක්ද යකෝ ඒ කියපු හරුපෙ තේරුම

අන්තිමට අපි පස්ස කාරියාලෙටත් ආවා කියමුකෝ...සෙනග කට කපලා එකයි...ගමේ මාමා හති දාගෙන දුවගෙන ඇවිත් තාත්තයි මමයි මුල්ලකට ඇදගෙන ගියා.....

“ඔයාලගෙ වැඩේටම පස් දෙනෙක් විතරම ඇවිත් ඉන්නවා...“

බලාන ඉද්දිම තාත්තගෙ කට ලේලන්ඩ් බස් එකකට අහුවුන කජු ලෙල්ලක් වෙලා ගියා...

“ඒ උනාට මං කතා කරන්නම්කෝ ඇමතිතුමාට.....ඇමති තුමා ඉතින් අහන්නේ අපි කියන දේවල් තමයි....“

තාත්තගෙ මූණට යන්නම් හිනා පොදක් ආවා.

“මේ ඒක නෙමෙයි ...ඔයාලට පස්ස කාඩ් එකක් තියද?“

“නැහ්“ තාත්තා හොල්මන් වුනා

“ඇමතිතුමා කවුරු ආවත් ඉස්සරලම අහන්නේ ඒක තමයි....“තාත්තගේ මූන ආයෙමත් හතරැස් වුනා....

“හරි හරි ...උඹලට නොකරන උදවු තියද?මං පස්ස කාඩ් 2ක් දෙන්නම් මං අස්සං කරලා. පරණ දිනේකුත් දාලා...ඒක ලෙමිනේටිං කරල පරිස්සමට තියාගන්ඩ“

අන්තිමට අපිට කාඩ් 2ක් හමුබුනා....

මං නිකමට කියවලා බැළුවා...පක්ෂ සාමාජිකත්වය ගත් දිනය...දෙයියනේ මං පක්ෂයට බැඳෙනකොට අටේ පංතියේ දරුවෙක්....සැකය හින්දම තාත්තගෙ එකත් උදුරගෙන වගේ බැළුවා...මං හිතුවා හරි....ඒ තාත්තලා මේ පැත්තට පදිංචියට එන්නත් අවුරුදු 3 කට විතර කලින් මේ පස්ස කාරියාලෙදිම තමයි තාත්තා සාමාජික වෙලා තියෙන්න‍ෙ.කූඨ ලේඛණ වලත් උපරිමය!!!


කට්ටිය තමන්ගෙ කාරිය ඉටු කරගෙන වැඳ වැටිලා ආපහු යනවා....ගාමන්ට් එකකටත් ,කාගිල්ස් එකේ අලෙවි සහයක ඉන්ටවීව් යන්නත් ලිවුම් ගන්න කස්ටිය ඇවිත් හිටියා...(ඒවටත් මෙවුවා ඕනද හැබෑටම.මං දන්න තරමින් නම් නෑ.ඒ වුනාට ඒවටත් ලෙටර් හෙඩ් එකේම ලිවුම් ගහ ගහ යස අපූරුවට දුන්නා)

අන්තිමට ඒ උත්තමයා බැහැ දකින්න අපිටත් පුළුවන් වුනා...

“ඇමති තුමා...මෙයා අපේ පස්සයේ පරණම සාමාජිකයෙක්....දුව මේ පාර ග්‍රාමසේවක විබාගේ පාස් වෙලා පලවෙනියටම(මේ වචනය මාමා අවධාරණය කලා)

හොඳයිනේ..


“අනේ ඔවු ඇමති තුමා.....මේක කෙරෙන්නම ඕනෑ වැඩක්.“

ඇමැත්තා මං දිහාට හැරුණා...නම ගම මට විස්තර දෙන්න...මේ මගේ ඩයරියේ ලියන්ඩ..

උපන්දා ඉඳන්ම මගේ පැටිකිරියම දන්න මාමා මගෙන් නාහ සේරම විස්තර ලියලා දැම්මා..මගෙන් ඇහුවේ අයිඩින්ට කාඩ් නම්බර් එක විතරයි...

ආ....ඔයාල සාමාජික කාඩ් ගෙනාවද?

තාත්තා වැඩ්ඩා වගේ ඉක්මනටම සාක්කුවෙන් කාඩ් 2 ඇදලා පෙන්නුවා...මං කිවුවා නේද කියන්ඩ වගේ මාමණ්ඩියා මං දිහා බැළුවා...

ඔවු ඉතින් පස්සය වෙනුවෙන් රුපියල් 10ක් දෙන්ඩ බැරි කෙනෙකුට පත්වීමක් අරන්දීලා වැඩක් නෑනේ..

මගේ ඇස් උඩයන්නට ඇත.තාත්තා මං දිහා බැලූ බැල්මේ තිවුනේ තරවටුවක් නෙමෙයි ආයාචනයකි...පිංසිද්ධ වෙයි මේ වෙලාවේ වත් ඔය හැකර කට වහගෙන ඉඳින්...තාත්තාගේ ඇස් කීවේ එහෙම කතාවකි.

“මෙයාට ලකුණු *** තිබුනා ඇමතිතුමා....තාත්තා කිවුවේ ටිකක් විතර ආඩම්බරයෙන්..“

.කාටවත් හිස නොනමා රජෙක් වගේ ආඩම්බරයෙන්  ජීවත්වෙන මගේ තාත්තා......... අද මෙතන යටත්  පහත් ව ඉන්නේ ලොකු දුවගේ අනාගතේ හින්ද  නේද කියලා හිතෙනකොට මගේ පපුව පැලෙන්න ආවා...

ඇමැත්තා හයියෙන් හිනා වුනා....

ලකුණු බිංදුවක් තිබ්බත් 200ම තිබ්බත් මට වැඩක් නෑ...පස්ස කාඩ් එක තමයි වැදගත්..“ ඒක සහතික ඇත්ත තමයි..ඒත් ඒක ප්‍රසිද්ධියේ පිළිගත් නිර්ලජ්ජිත විදිය මගේ හිතට ගෙනාවේ පිළිකුලක්

.......යකෝ ඇයි ඕක කලින් කිවුවේ නැත්තේ...දන්නවනං මං උපන් දවසෙම තාත්තට කියනවනේ ඔයි කෙහෙල්මල් කාඩ් එක අරන් දියන් කියලා...අපරාදේ අවුරුදු 16ක් විතර පාඩම් කරන්ඩ ගත්ත මහංසිය....වියදම් කරපු සල්ලි කන්දරාව...සේරම රුපියල් 10න් ෂේප් කර ගන්න තිබුනනේ....

මං මග දිගට කට වහගෙන ආවේ තාත්තගෙ හිත රිදෙයි කියලා...මගේ හිත හරිම දොඩමළුයි....හෙට ඔපීසියේ යාළුවොත් එක්ක වරුවක් කැකිරි පලන්ඩ කතන්දරයක් මට හම්බ වුනා නොවැ...

ඒ වුනාට තාත්තා ගෙට ගොඩ වුනේ “චික් මේ මිනිස්සු“ කියාගෙන

“අනේ ඇයි වැඩේ හරියන එකක් නැද්ද?“අම්මා දැම්මම අඩන්න ලෑස්තිය...තාත්තා අම්මට කතාව කියනකොට අම්මගේ මූනෙත්  පිළිකුලක් ඇඳෙනවා මං දැක්කා...

ප.ලි

මම සුගතදාස ක්‍රීඩාංගනයේදී පත්වීම ගත්තේ හිතේ කැමැත්තින් නොවේ...මේ ජරා සංස්කෘතියට මාත් ගොදුරු වුනාද කියලා මගේ හිත වද දුන්නා..පත්වීම ලබා ගන්න දේශ පාළුවා සම්බන්ධ වුනාද නැද්ද කියා මං තාමත් දන්නෑ.ඒත් මුලින්ම ලකුණු තිබූ සියළු දෙනා තේරී සිටියා.දේස පාළු අත ගසන්නේ  ඊළඟ පත්වීම් වටයට බව එහිදී කවුදෝ කියනව ඇහුනා..ග්‍රාම නිලධාරි පුහුණුවට යන අතරම මට රජයේ වෙනත් රස්සාවක් සෙට් වුනා...ඒකෙදි මං කාටවත් පන්දම් ඇල්ලුවේ නෑ කියලා දන්න හින්දා මේක අත ඇරලා හිතට එකඟව ඒ රස්සාව මං බාර ගත්තා...ඊටත් අවුරුද්දකට පස්සෙ තමයි මං මල් වත්තක වැඩිහිටි  සමන් මලක් වෙලා ආවේ...

----සුදු වෑන් එකක් එයිද ???එහෙම වුනොත් මගේ සුදු මහත්තයා බලාගන්නේ කවුද????-----------